‘වෙඩි නොවදින රථවලට මොකද වුණේ’ | සිළුමිණ

‘වෙඩි නොවදින රථවලට මොකද වුණේ’

‘වෙඩි නොවදින රථවලට මොකද වුණේ’ ශීර්ෂ පාඨයෙන් පසුගිය 12 වැනිදා (ඉරිදා) සිළුමිණ පුවත්පතේ පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා කරුණු පැහැදිලි කිරීමක් එවා ති‍බේ. එය මෙසේය.

2015 ජනවාරි 09 වැනි දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව සියලු තොරතුරු සොයා බලා ජනාධිපති කාර්යාලය සතුව පවතින වාහන පිළිබඳ විධිමත් ලේඛනයක් ජනාධිපති කාර්යාලය මඟින් මේ වනවිට පවත්වාගෙන යනු ලබයි.

විවිධ ජනාධිපතිවරුන් විසින් වසර ගණනාවක් තිස්සේ භාවිතා කරනු ලැබූ සහ පසුගිය යුද සමයේ විවිධ ඇමතිවරුන් විසින් භාවිතා කරනු ලැබූ වෙඩි නොවදින රථ 48 ක් පමණ ජනාධිපති කාර්යාලය යටතේ පැවති අතර ඒවා දැනට භාවිතා කළ නොහැකි මට්ටමක පැවතිණි. එම වාහන අලුත්වැඩියාව වෙනුවෙන් විශාල මුදලක් වැය කළ යුතු බවට තක්සේරු කර තිබූ අතර යුදමය වාතාවරණයක් රටේ නොමැති බැවින් මෙම වාහන භාවිතය සීමා කිරීමට ද රජය තීරණය කර තිබුණි.

වෙඩි නොවදින රථයක් ඉවත් කිරීමේදී කරුණු 03 ක් කෙරෙහි අවධානය යොමු කළ යුතු අතර වෙඩි නොවදින රථයක් සෑම අවස්ථාවකම රජය භාරයේ තිබීම, අදාළ රථය ආනයනය කරන ලද සමාගමට නැවත යොමු කර ප්‍රතිචක්‍රීකරණය කිරීම හෝ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම එම පිළිගත් රීතීන් ය.

ඒ අනුව මෙම වෙඩි නොවදින රථ භාර ගැනීමට ත්‍රිවිධ හමුදාවෙන් සහ එම රථ ආනයනය කරන ලද සමාගම්වලින් ජනාධිපති කාර්යාලය විසින් 2016 ජනවාරි මාසයේදී ලිඛිතව කැමැත්ත විමසනු ලැබීය.

මෙම වෙඩි නොවදින රථ ඒවා නිෂ්පාදනය කළ රටවලට නැවත අපනයනය කිරීම වෙනුවෙන් සහ ප්‍රතිචක්‍රීකරණය වෙනුවෙන් විශාල මුදලක් වැය වන බවත් එම මුදල් ජනාධිපති කාර්යාලය මඟින් ගෙවිය යුතු බවත් අදාළ සමාගම් විසින් දන්වා සිටින ලදී.

මෙම රථ ගැඹුරු මුහුදේ ගිල්වා විනාශ කිරීම සඳහා ද අදාළ රථ නැව් මඟින් ගැඹුරු මුහුදට ගෙන යෑමට අතිවිශාල මුදලක් වැය කිරීමට සිදුවේ.‍

ඒ අනුව මෙම වෙඩි නොවදින රථ භාර ගැනීමට පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ කැමැත්ත විමසීමේ දී ශ්‍රී ලංකා යුද හමුදාව පමණක් එම රථ භාරගැනීමට කැමැත්ත පළ කරමින් ශ්‍රී ලංකා යුද හමුදාවේ පුහුණු කටයුතු සහ යුද රථ සඳහා අදාළ කොටස් භාවිතා කිරීම සඳහා මෙම රථ භාරගත හැකි බව දන්වා සිටින ලදී.

ඒ අනුව වෙඩි නොවදින රථ 48ක් ශ්‍රී ලංකා යුද හමුදාව වෙත භාරදීමට ජනාධිපති කාර්යාලය විසින් කටයුතු කරනු ලැබූ අතර මෙම භාරදීමේ ක්‍රමවේදය ද නිසි පරිදි සිදුකර තිබේ.

අදාළ වාර්තාවේ සඳහන් කරන පරිදි ජනාධිපති කාර්යාලයේ හිමිකරුවන් නොමැති වාහන කිසිවක් නොමැති අතර විවිධ ව්‍යාපෘති සඳහා ගෙන්වන ලද වාහන ද එම ව්‍යාපෘති නිමවීමෙන් පසු අදාළ අමාත්‍යාංශ වෙත පවරාදීම සිදු කර තිබේ.

ඔබ පුවත්පතේ සඳහන් කර ඇති පරිදි කිසිදු අක්‍රමිකතාවක් මෙම වාහන සම්බන්ධයෙන් සිදුව නොමැති අතර 2015 ජනවාරි 09 ‍වැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව එවන් අක්‍රමිකතාවන් සඳහා කිසිදු ඉඩක් ලබාදී නොමැති බව ද තරයේ දන්වා සිටිමි‍. 

 

Comments