තවමත් අවසන් නැති මුස්ලිම් කොංග්‍රස් අර්බුදය | සිළුමිණ

තවමත් අවසන් නැති මුස්ලිම් කොංග්‍රස් අර්බුදය


ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් ධුරයට මන්සූර් ඒ. කාදර් පත්කර ඇත. දින කිහිපයකට පෙර පැවැති පක්ෂයේ විසිහත් වන නියෝජිත සමුළුවේදී මෙතුවක් කල් මුස්ලිම් කොංග්‍රස් දේශපාලනය තුළ තිරයෙන් පිටුපස දිගහැරුණු මන්සුර් ඒ. කාදර්ගේ රංගනය ප්‍රසිද්ධ ප්‍රදර්ශනයට මුල් වරට විවර වූමුත්, එම පත්කිරීම ප්‍රශ්න වැලක් මත පිහිනමින් සිටින රටේ ප්‍රධාන මුස්ලිම් දේශපාලන පක්ෂයේ අර්බුද තවත් සංකීර්ණ කර ඇති බවක් පෙනෙන්නට තිබේ.

මීට වසර 36කට පෙර කාත්තන්කුඩි අවට සිටි මුස්ලිම් ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගේ අධ්‍යයන සාකච්ඡාවක ප්‍රතිඵලයක් ලෙස බිහිවූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, මේ පසුකරමින් සිටිනුයේ තම ඉතිහාසයේ අඳුරුතම පැයක් යන්න ප්‍රශ්න විරහිතය. අභ්‍යන්තර අර්බුද, කැඩි බිඳී වෙන්ව යෑම් මුස්ලිම් කොංග්‍රස් දේශපාලනයට නුහුරු නුපුරුදු අත්දැකීම් නොවේ.

එහි පසුගිය ඉතිහාසය පිරී ඇත්තේ එබඳු සිදුවීම්වලිනි. පක්ෂයේ සමාරම්භක නායක දිවංගත එම්. එච්. එම්. අශ්රොෆ් ගේ සමයේ පවා “අභ්‍යන්තර සෙලවීම්” මුස්ලිම් කොංග්‍රසය තුළ දැකගත හැකි වූ අතර, හකීම් පක්ෂ නායකත්වය භාරගත් 2000 වසරේ සිට එය අතිශය සාමාන්‍යකරණය වූ තත්ත්වයක් විය.

කෙසේ වෙතත් ඒ හැම අවස්ථාවකදීම පාහේ අවසාන ජයග්‍රහණය, හකීම් සතු වූ මුත් මේ වතාවේ දී නම් ඔහුට ඒ සඳහා සෑහෙන වෙහෙස මහන්සි වීමට සිදුව ඇති බව පෙනෙන්නට ඇත. ඒ හකීම්ගේ නායකත්වයට විශාල ශක්තියක් වූ ඔහුගේ සමීපතමයන් දෙදෙනෙකු වූ බෂීර් සේගු ඩාවුඩ් හා හසන් අලීගේ මූලිකත්වයෙන් “වත්මන් කැරැල්ල” දියත් වෙමින් ඇති පසුබිමක ය.

පසුගියදා පැවැති පක්ෂ නියෝජිත සමුළුවේදී හකීම් තම ආධිපත්‍යය පෙන්වමින් හසන් අලීව හා සේගු ඩාවුඩ්ව පක්ෂ මහා ලේකම් හා සභාපති ධුරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ මුත්, අළු යට ගිනි පුපුරු තවමත් දැල්වෙමින් පවතී. සභාපති හා මහලේකම් යන තනතුරු නාම පවා ඉවත් කිරීමට හකීම් එහිදී කටයුතු කළ අතර, මහලේකම් ධුරය වෙනුවට ලේකම් නමැති නාමමාත්‍රික තනතුරක් අලුතින් හඳුන්වා දෙන ලදී.

පිටතට මහා ප්‍රජාතන්ත්‍රවාදියකු ලෙස පෙන්වුවද, පක්ෂ නායකයා ලෙස හකීම් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය පාලනය කරනුයේ, සෑහෙන අධිකාරිවාදී පාලනයක් සහිතවය. පක්ෂය පුරා තම අණසක පැතිරවීමට හකීම් කටයුතු කරනුයේ අතිශය සියුම් ආකාරයටය. පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් ය කියා එය සාධාරණීකරණය කිරීමට ඔහුට හැකියාව ඇති මුත්, අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය නමැති කාරණය සමඟ නම් එය කිසිසේත්ම සමපාත නොවේ. කෙටියෙන් සඳහන් කළහොත් එය ලෝකේට පරකාසේ ගෙදරට මරගාතේ වැනි තත්ත්වයකි.

පක්ෂ අභ්‍යන්තර ධුරාවලිය අනුව තීන්දු තීරණ ගැනීම සම්බන්ධව මුස්ලිම් කොංග්‍රසය තුළ ඉහළම බලය සහිත ආයතනය වනුයේ එහි උත්තරීතර මණ්ඩලයය. මේ වන විට හකීම් එය තම අණසකට ගෙන අවසන්ය. සාමාජිකයන් අනුවක් පමණ සිටින එහි මුළු සාමාජිකත්වයෙන් හැටපහක් පමණ තම හිතවතුන්ගෙන් හකීම් පුරවාගෙන සිටී. ඒ නිසාම බොහෝ අවස්ථාවලදී තීරණාත්මක තීරණ ගැනීම සම්බන්ධයෙන් “ස්වයංවරය” හකීම්ටම පැවරීමට උත්තරීතර මණ්ඩලය පසුගිය කාලයේ කටයුතු කර ඇත.

හකීම්, පක්ෂ මහලේකම් ධුරයේ කටයුතු කළ හසන් අලීගේ බලතල කප්පාදු කළ ආකාරය අපට පෙන්වා දෙනුයේ ඔහු කොතරම් කපටි සූක්ෂ්ම දේශපාලනඥයකු ද යන්නය. එය පල නොකියා පලා බෙදීමක්ම විය. හසන් අලීව එකවර ඉවත් නොකළ හකීම් ඒ වෙනුවට මහලේකම්වරයාගේ බලතල කප්පාදු කරමින් පරිපාලන ලේකම් ධුරයක් පක්ෂ ව්‍යුහයට අලුතින් හඳුන්වා දුන්නේය. දේශපාලන නොවන තනතුරක් යැයි කියමින් ස්ථාපිත කළ ද වැඩි කලක් යන්නට මත්තෙන් පරිපාලන ලේකම්වරයාව පක්ෂයේ වැඩ කටයුතුවලට හකීම් විසින් ක්‍රියාකාරීව සම්බන්ධ කරගන්නා ලදී. මැතිවරණ කොමසාරිවරයා හා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සමඟ පක්ෂය වෙනුවෙන් සම්බන්ධතා පැවැත්වීමේ වගකීම පරිපාලන ලේකම්වරයාට පැවරීමට හකීම් වැඩි කලක් නොගත්තේය.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් නොලැබීම තුළ බලවත් සිත්තැවුලෙන්, නහයෙන් අඬමින් සිටි හසන් අලීගේ එම ඇඬුම දෙගුණ තෙගුණ කිරිමට මෙම “කුඩම්මාගේ සැලකිල්ල” සමත් විය. “අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය රැකගැන්ම” යන සටන්පාඨය ඉදිරියට දැමුව ද හසන් අලීලාගේ අභ්‍යන්තර කැරැල්ල ද මුළුමනින්ම පදනම් වී ඇත්තේ බලය අහිමි වීම තුළ මතුව ඇති විරහ වේදනාව වටාය.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස‍යට ප්‍රධාන ශක්තිය සපයන නැ‍ඟෙනහිර පළාතේ මුස්ලිම් පළපුරුදු දේශපාලන නායකයන් දෙදෙනෙකු වන හසන් අලී හා බෂීර් සේගු ඩාවුඩ් 2015 මහා මැතිවරණයට තරග කළේ නැත. එක්සත් ජාතික පෙරමුණ යටතේ මුස්ලිම් කොංග්‍රසය මැතිවරණයට ඉදිරිපත් වූ අතර තමනට හිමි වන ජාතික ලැයිස්තු කෝටාවෙන් “දියවන්නාව” තරණය කිරීම ඔවුන් දෙදෙනාගේම අපේක්ෂාව විය. මුස්ලිම් කොංග්‍රසයෙන් ලැබෙන සහාය වෙනුවෙන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකක් එම පක්ෂයට පිරිනැමීමට එජාපය කල්තියා එකඟ වී තිබිණි.

රාවුෆ් හකීම් හැරුණු විට පක්ෂයේ ඊළඟ ප්‍රධාන ධුර දෙක හෙබවීම තුළ ඒ පිළිබඳව හසන්ට හා සේගු ඩාවුඩ් තුළ වූ බලාපොරොත්තුව “සාධාරණ” එකක් ම විය. බහුතර කොංග්‍රස් පාක්ෂිකයන් අනුමාන කළේ ද එවැන්නක් සිදුවේ ය කියාය. මුස්ලිම් කොංග්‍රසයට වැඩිපුර ඡන්ද ලැබෙන නැ‍ඟෙනහිරට ඒ සැලකීම ලැබෙනු ඇති බව හා අම්පාර හා මඩකළපුව නියෝජනය කරන හසන් අලීට හා සේගු ඩාවුඩ්ට එය ලැබෙනු ඇතැයි ඔවුන් තුළ දැඩි විශ්වාසයක් විය.

නමුත් ඒ කිසිවක් මහ පොළොවේ ඇත්තක් බවට පත්වූයේ නැත. තම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙක සඳහා හකීම් නම් කළේ තම සහෝදරයා වන වෛද්‍ය ඒ. ආර්. ඒ. හෆීස් හා මහනුවර නීතිඥයකු වන මැලේ ජාතිකයකු වන එම්. එච්. එම්. සල්මාන්වය. එම පත් කිරිම් තාවකාලික බවත් පක්ෂයේ අවශ්‍යතාව වෙනුවෙන් ඕනෑම මොහොතක ඒවා වෙනස් කරන බවත් ඒ ගැන විරෝධයක් එල්ල වූ මුල් අවස්ථාවේදී හකීම් පැවසුවේය.

ඒ බව තහවුරු කරමින් වැඩි කලක් යන්නට මත්තෙන් හෆීස් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ අතර ඒ වෙනුවට ත්‍රිකුණාමල දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී එම්. එස්. තව්ෆික්ව මන්ත්‍රීවරයකු ලෙස නම් කළේය. හසන් අලීට හෝ සේගු ඩාවුඩ්ට එවර හෝ අවස්ථාව ලැබුණේ නැත.

හසන් අලී හා සේගු ඩාවුඩ්ව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර සඳහා නම් නොකිරීම සම්බන්ධව හකීම්ගේ හිතවතුන් ගෙනෙන තර්කය, වන්නේ එසේ කළහොත් එකම ප්‍රදේශයට මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරු දෙදෙනා බැගින් ලැබෙන බැවින් එය දීර්ඝ කාලීනව පක්ෂයට අවාසියක් විය හැකි බවය. හසන් අලී නියෝජනය කරන නින්තවූර් ප්‍රදේශයම නියෝජනය කරමින් මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු ලෙස, ෆයිසාල් කාසීම් සිටින අතර බෂිර් සේගු ඩාවුඩ් නියෝජනය කරන එරාවුර් ප්‍රදේශයෙන්ම අලී සහීර් මවුලානා පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටිති.

ඒ අර්ථයෙන් බලන විට හකීම්ගේ හිතවතුන් ඉදිරිපත් කරන තර්කය ද එක එල්ලේ පහසුවෙන් බැහැර කළ නොහැකිය. නැ‍ඟෙනහිර පළාත් මහ ඇමැති නසීර් අහමඩ් ද එරාවුර් ප්‍රදේශය නියෝජනය කිරීම මෙහිදී හකීම්ට තම මතය වෙනුවෙන් තවත් තර්කයක් නිර්මාණය කර දෙයි.

පසුගිය මහා මැතිවරණයට තරග නොකිරීම හසන් අලී කරගත් විශාල අත්වැරැද්දක් මය. මැතිවරණයට ඉදිරිපත් වූයේ නම් ඒ වන විට පැවැති තත්ත්වය තුළ කාසීම් අබිබවා මනාප ලැබීමේ පැහැදිලි ඉඩ ඔහුට තිබිණි. නමුත් කාසිම්ගේ ජය තහවුරු කිරීම වෙනුවෙන් මැතිවරණයට තරග නොකරන ලෙස ඔහුට පක්ෂ නායකත්වයෙන් උපදෙස් ලැබුණු බව කියවෙයි.

බෂිර් සේගු ඩාවුඩ්ගේ තත්ත්වය ද ඊට දෙවැනි නොමැත. ඔහු පසුපස ද කළ හොඳ පන්නමින් සිටී. අලි සහීර් මවුලානාව මුස්ලිම් කොංග්‍රසය වෙත රැගෙන ඒමේදී තීරණාත්මක වැඩ කොටසක් කළේ බෂීර්ය. මවුලානා පාර්ලිමේන්තුවට තේරී පත්වූ පසු තමනට නිසැකවම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබෙනු ඇතැයි සිතා ඔහු ද 2015 මහ මැතිවරණයට ඉදිරිපත් වූයේ නැත.

ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වය විසින් තමනට සිදුකරන ලද අසාධාරණයට එරෙහිව සටන් කරන බව බෂිර් සේගු ඩාවුඩ් මෙන්ම හසන් අලී ද පවසයි. මුස්ලිම් ජනතාව වෙනුවෙන් නව දේශපාලන සංවිධානයක් රාවුෆ් හකීම් විරෝධී කොටස් එකතු කරගනිමින් ගොඩනැඟීමට ඔවුන් කටයුතු කරමින් සිටින බව කියැවෙයි.

මේ ආකාරයේ ආකර්ෂණීය කථාන්දර හකීම්ගේ දේශපාලනයට එරෙහිව අනන්තවත් පසුගිය වසර 15ක කාලයේ අසන්න දකින්න ලැබුණ මුත්, ඒ සියලු තත්ත්වයන් තමන්ට අවශ්‍ය ආකාරයට කළමනාකරණය කරගැනීමට දේශපාලනයේ පළපුරුදු නූල් සූත්තරකරුවකු වන හකීම් අවසානයේ සමත් විය. ඒ කෙසේ වෙතත් මෙවර සමීකරණය තරමක් වෙනස්ය. මේ වතාවේදී හකීම්ට මුහුණ දීමට සිදුව ඇත්තේ සෑහෙන කලක් තමන් සමීපයේ සිටි පළපුරුදු සොල්දාදුවන් දෙදෙනෙකුට එරෙහිවය.

හසන් අලී යනු සෑහෙන කලක් හකීම්ගේ දකුණත මෙන් සිටි ඔහුගේ සැලසුම් උපාය උපක්‍රම හොඳින් දන්නා ඒ පිළිබඳ මනා වැටහීමක් ඇති පුද්ගලයාය. බෂිර් සේගු ඩාවුඩ් ද පහසුවෙන් තැම්බිය හැකි කෙනෙක් නොවේ. විප්ලවීය දේශපාලනයක උරුමය සහිත පාර්ලිමේන්තුවට පැමිණි එකම මුස්ලිම් මන්ත්‍රීවරයා ඔහුය. බෂිර්, “ඊරෝස්” සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයකු ලෙස කලක් කටයුතු කර ඇත.

ශිෂ්‍යයකු ලෙස එම සංවිධානයට එක්වූ බෂීර් එහි ජ්‍යෙෂ්ඨ බුද්ධි අංශ නායකයකු දක්වා ක්‍රමයෙන් ඉහළට ගියේය. ඊරෝස් සංවිධානය ආයුධ අත්හැර 89 මහ මැතිවරණයට “ස්වාධීන”ව තරග කරද්දී බෂිර් ද මඩකළපුවට තරග කළේය. නමුත් ඊරෝස් සංවිධානයට මඩකළපුවෙන් දිනාගත හැකි වූයේ එක් මන්ත්‍රී ධුරයක් පමණි. ඒ අවස්ථාව ලැබුණේ ඒ. ගුණසීලන්ටය. බෂීර් ස්ථානගතව සිටියේ ඊට පහළිනි. නමුත් එල්ටීටීඊයෙන් එල්ල වූ තර්ජන හමුවේ ඊරෝස් මන්ත්‍රීවරු කළ පාර්ලිමේන්තුව වර්ජනය හමුවේ ඔවුනගේ මන්ත්‍රී ධුර අහිමි වූ අවස්ථාවේදී එය තවත් පිරිසකට වාසනාව රැගෙන ආවේය.

 බෂිර්ට ද වාසනාවේ දොර තට්ටු කළේය. එල්ටීටීඊයේ තර්ජනවලට මුහුණ දෙමින් 1994 පාර්ලිමේන්තුව විසුරුවන තෙක්ම මන්ත්‍රීවරයකු ලෙස හෙතෙම කටයුතු කළේය. ඒ වන විට ඔහු තිස්හතර හැවිරිදි වියේ පසු විය. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමඟ බෂීර් එම්. එච්. එම්. අශ්රොෆ් සමඟ එකතු විය. තමන් සමඟ එකතු වූ මේ තරුණයා තම දේශපාලන මණ්ඩලයට නම් කිරීමට අශ්රොෆ් අප්‍රමාදව කටයුතු කළේය.

වර්තමානයේදී හකීම් සමඟ අර්බුදයකට ගමන් කර සිටිය ද වසර කිහිපයකට පෙර බෂීර් සේගු ඩාවුඩ් මුස්ලිම් කොංග්‍රස් නායකයාගේ විශ්වසවන්තම සටන් සගයෙක් විය. පෞද්ගලික හා දේශපාලනික වශයෙන් හකීම් අර්බුදයට ලක්වූ සෑම අවස්ථාවකදීම බෂිර් ඔහු වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටියේය.

ඒ නිසාම 2003 වසරේදී බෂිර්ව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සභාපති තනතුරට නම් කිරීමට හකීම් කටයුතු කළේය. 94ට පෙර සිට පාර්ලිමේන්තුව නියෝජනය කළ ද මැතිවරණ දේශපාලනය සම්බන්ධයෙන් බෂිර් සේගු ඩාවුඩ් සතු වාර්තාව සතුටු විය හැකි එකක් නොවේ. 94, 2000, 2001, 2004, 2010 යන පාර්ලිමේන්තු මැතිවිරණ පහටම ඉදිරිපත් වූමුත්, බෂිර් ඉන් ජයගත්තේ 2001 දී හා 2010 දී පමණි.

එරාවුර් ප්‍රදේශයේ මුස්ලිම් ඡන්ද බෙදී යෑම හා කාත්තන්කුඩි හා ඔට්ටමාවඩ්ඩි ප්‍රදේශවල බහුතර මනාප වෙනත් මුස්ලිම් කොංග්‍රස් අපේක්ෂකයන් ලබා ගැන්ම තුළ මැතිවරණ ජයග්‍රහණය ඔහුට පහසු කටයුත්තක් නොවීය. නමුත් 2004 දී පරාජයෙන් අනතුරුව පවා ඔහු ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමට හකීම් කටයුතු කළේය.

2010 දිනුමෙන් පසු රාජපක්ෂ රජය ශක්තිමත් කිරීම වෙනුවෙන් තවත් මන්ත්‍රීවරු පිරිසක් සමඟ බෂීර් රජයට එක්වූ අතර එය ඔහු හා හකීම් අතර විශාල බෙදුම් රේඛාවක් නිර්මාණය කිරීමට සමත් විය. ඇතැම් විට මේ බෂිර්ට ලැබෙමින් ඇත්තේ එහි “ප්‍රතිලාභ” විය හැකිය.

සැබවින්ම හකීම්, මෙම දේශපාලන අභියෝගයට මුහුණ දෙන ආකාරය දෙස බලා සිටීම රසවත්ය. කවුරුන් කුමක් කීව ද මේ වන විට මුස්ලිම් කොංග්‍රසයේ බලය නැ‍ඟෙනහිරට පමණක් සීමා වී තිබේ. වවුනියාව හා මන්නාරම අවට මුස්ලිම් දේශපාලනය තුළ මේ වන විට රිෂාඩ් බදුර්දීන් තම තැන තහවුරු කරගෙන අවසන්ය.

එබඳු පරිසරයක ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ හදවත නොඑසේනම් එහි ඡන්ද බලකොටුව වන නැ‍ඟෙනහිර නියෝජනය කරන ඊට ඓන්ද්‍රීය සම්බන්ධයක් ඇති මුස්ලිම් දේශපාලන නායකයන් දෙදෙනෙකු එල්ල කරන අභියෝගයට හකීම් මුහුණ දෙන ආකාරය බලා සිටීම දේශපාලනය ළඟින් සිට කියවන කෙනකුට පාඩුවක් නොවේ.

 

 

Comments