නීතිය කොතැනක සැඟවිණි ද?

 
 

තාත්තා මරාපු අයට දඬුවමක් නැද්ද?

 
 

ජනපතිතුමාගේ නායකත්වයත් අරක්ෂක ලේකම්තුමාගේ සැලසුමත් රණවිරුවන්ගේ කැපවීම අර්ථවත් කළා

 
 

ගාලු මුවදොර අභිමානයේ මුවදොර වූ මොහොත

 
 

මුල් පිටුව

 
 

දත් බේරාගන්න පැණි රස කන බොන වාර ගණන අඩු කරන්න

 
 

ඩාබර් ලංකා පලතුරු බීම නිෂ්පාදනාගාරය ඇරඹේ

 
 

සිවු වසරකට පෙර ලියූ හෙළ වංශ කතාවේ අභිමානනීය සටහන

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


බුදු බණ සිංහල බෞද්ධයාට විතරක් සීමා වන්නේ නැහැ

බුදු බණ සිංහල බෞද්ධයාට විතරක් සීමා වන්නේ නැහැ

පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි

මුදුන් වූ තද ඉර අව්වෙන් බාධාවක් නැත.ළා දලු බෝපත් සෙමින් සැලෙන හෙයින් බේරේ වැව මැද සීමා මාලකයේ සිහිලස ද අඩු නැත.කව් ගී සංකල්පනා උපදින හදකට වැව් තලයේ පිහිනා යන මේ පෙලිකන් කුරුල්ලන් පවා ප්‍රස්තුත සපයයි.කලබලකාරී කොළඹ නගරයේ වැව් තලයක් මැද පිහිටි පන්සල් බිමෙහි උන්වහන්සේ වැඩ වසති.එහෙත් හුදෙකලාවක් නැත. සමාජය අරා නැඟෙන ගිනි දැල් උන්වහන්සේට පෙනෙයි. පන්හිඳ අවදි වී ගී පදවැල් ලියැවෙයි.බුදු බණ තරම් ශාන්ත වූ ඒ පදවැල් සසල වූ සමාජයට යමක් කියයි.රඹුකන සිද්ධාර්ථ හිමිගේ කම්පා වූ හදවතට අස්වැසිල්ලක් දැනෙයි.ඉඳින්, වෙසක් මහේ වෙසක් දා උපන් උන්වහන්සේ සමඟ කතා බහට තවත් නිමිති කුමට ද...

ඔබ වහන්සේගේ උපන් දිනය ජීවිතයේ පී‍්‍රතිමත් ම දවසක්...

ඔව්. මං උපන්නෙ 1950 මැයි 22 දා. එදා ඉස්පිරිතාලේ නර්ස් නෝනා අම්මට කියලා තිබෙනවා, මේ ළමයා හොඳයි මහණ කරන්න කියලා. මට තේරෙන කාලෙ නෑයොත් මගේ ඔළුව අත ගාලා කියන්නෙ, ‘මහණ වෙන්න ඉන්න දරුවනේ...’ කියලා. ඇත්තටම මටත් ඕනෙ වුණා මහණ වෙන්න.

එතකොට වයස...

මං මහණ වෙද්දි වයස අවුරුදු දොළහයි. මාතර මොරවක් කෝරලේ ‘සේලගිරි’ විහාරෙදියි මං මහණ වුණේ.

ඒත් ඒ, දරුවකුට තේරෙන වයසක් නෙවෙයි...

අම්මා කියන හැටියට ඒ කාලෙ මං බොහොම දඟ කොලුවෙක්. ඒ කොච්චර දඟවුණත් මහණ වෙන්න ඕනෙ කියලමයි කිව්වේ. මොකද ගෙදර තිබුණෙ බෞද්ධ පරිසරයක්. අපි දහම් පාසල් ගියා. පන්සල් ඇසුර තිබුණා. බණ භාවනාවල යෙදුණා. අත්තලා මුත්තලා එක්ක තුන්සරණේ, යශෝධරාවත, බුදුසිරිත හයියෙන් කෑ ගහලා තාලෙට කිව්වා. ගාථා කිව්වා. බෞද්ධ සිරිත් විරිත් පුංචි කාලෙ පටන් ම ඇඟට දැනුණා.

ඔබවහන්සේගේ ගම් පළාත...

රඹුකන. ඒක මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරලයේ තිබෙන හද්දා පිටිසර ගමක්. නමුත් ගම පුරා තිබුණෙ බෞද්ධ පසුබිමක්. ගමේ ඉස්කෝලෙ අල්ලපු ඉඩම පන්සල. අපි හිටියෙම ඉස්කෝලෙයි පන්සලයි එක්ක.

ගිහි ජීවිතයේ නම...

බරනිවල ලියනගේ ආනන්ද.

එතකොට කොළඹ රටට ආවේ...

උසස් පෙළ ඉගෙන ගන්න පැපිලියානේ සුනේත්‍රාදේවි පිරිවෙනට ආ ගමනින්. ඉන්පස්සෙ 1974 දි කැලණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ගීත රචනා ජීවිතය පෝෂණය වන්නේ – වර්ධනය වන්නේ එතැන් පටන්.

ගීතයට ඇයි මෙතරම් ළැදියාවක්...

අපේ හත්මුතු පරම්පරාවකවත් නැහැ කලාවට සම්බන්‍ධ කෙනෙක්. ඒත් පුංචි කාලේ අර පවුලේ අයත් එක්ක එකතු වෙලා ගයපු බෞද්ධ කවි – ගාථාවල අමුතු මිහිරක් දැනුණා. ඒත් විශේෂත්වයක් තිබුණෙ නැහැ.

එතකොට ගීත රචනාවට යොමු වන්නේ...

1970 දශකයේ මෙරට තිබූ ‘ගීතයේ පිබිදීම’ ත් එක්ක. ඒ පිබිදීම විශ්ව විද්‍යාලයටත් ආවා. අමරදේවයන් ප්‍රමුඛ ප්‍රබුද්ධ ගණයේ සැලැකෙන ගායක – ගායිකා පරපුරක් බිහිවුණා. ඒ කාලෙ හොඳ සංගීතඥයින් පරපුරක් හිටියා. ගුවන් විදුලිය ප්‍රමුඛව තමයි මේ සුභාවිත ගීතයේ පිබිදීම ඇති වුණේ.

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ, ඩෝල්ටන් අල්විස්, මහගමසේකර, මඩවල එස්. රත්නායක වැනි විශිෂ්ටයන්ගේ, ප්‍රවීණයන්ගේ ගීත රචනාවලට සවන් දීලා ඒවායේ මිහිර විඳගෙන ඒවාට ඇතිවූ ඇල්ම සහ රසිකත්වය නිසයි ගීත රචකයෙක් වීමට මාවත විවර වූයේ.

70 දශකය තමයි සිංහළ ගීතයේ ස්වර්ණමය යුගය. අපිත් ඒ යුගයෙන් බිහිවූ අය.

ඔබවහන්සේ අතින් ලියැවුණු ගීත බොහොමයකට පාදක වූයේ බෞද්ධ සංකල්ප...

මවු ගුණ ගීත, පිය ගුණ ගීත, බුදු ගුණ ගීත සහ මේ සංසාරයේ නිවැරැදිව ජීවිතය ගත කිරීම පිළිබඳ සිත් පුබුදන ගීත හැම එකකටම පාදක වුණේ බෞද්ධ සංකල්ප.

බුදු බණ කියන්නට ගීතය තරම් සංවේදී භාෂාවක් තවත් නැහැ කියලයි ඔබවහන්සේ කියන්නේ...

බුදු හාමුදුරුවෝ අපිත් දකින්නැති – බණත් අහන්නැති ඒ කාලේ..., හරි හම්බ කරපු දේවල් දුක් මහන්සියෙන්, සියක් ආයු ලැබ – මගෙත් ආයු ගෙන, අව්වට වැස්සට හුරු මිනිසුන්නේ, බුදු බණ ඇසුවා නිරන්තරේ, මලෙක මෙලෙක හිතාගන්න, ළා දලු බෝපත් සෙමින් සැලෙන සේ..., පන්සලේ පල්ලියේ දහදියෙන් අප තැනූ, සඳතරුමල් - මට දන් දුන්..., මේ හැම ගීතයක් තුළම කියැවෙන්නේ බුදු බණක්. මිනිසුන්ට පණිවුඩයක්. ඒ හික්මීම විනය ඇතිව ලියන්නට, මේ මහණදම ඇසුරේ ලබන පෝෂණය අති මහත්.

අද ලියැවෙන – ඇහෙන ගීත පිළිබඳ ඔබවහන්සේගේ අදහස...

අද ලියැවෙන බොහෝමයක් ගීතවල සාහිත්‍ය රසයක් – මිනිසුන්ට පණිවුඩයක් හෝ අර්ථ රසයක් නැහැ. නමුත් එදා ගුවන් විදුලියෙන් අපට ඇහුණෙ කිසියම් ප්‍රමිතියකට ලක්වූ නිර්මාණයක්. එහි පදවැල, තනු නිර්මාණය සහ ගායනය කියන අංශ තුනම ඒ ප්‍රමිතියට හසුවූවා. නමුත් අද ඒ කිසිවක් නැති නිසයි, බොල්, හරසුන් ගීත අහන්න වෙලා තිබෙන්නේ.

කසුන් කල්හාර වැනි අද පරපුරේ අතළොස්සක් හැරෙන්නට බහුතරයකගෙන් ඇහෙන්නෙ මේ හරසුන් ගීතමයි.

මේ ගෙවෙන්නෙ ඔබවහන්සේගේ කලා ජීවිතයේ...

37 වැනි වසර. මහණ වෙලා නම් අවුරුදු 50 ක් සම්පූර්ණයි.

මේ වෙනකොට ලියවී ඇති ගීත ගොන්න...

හාර පන්සියයකට වැඩි මිසක් අඩු නැහැ.

සිංහල බෞද්ධ කියා ‘බෞද්ධකම’ කොටු කරන්න බැරි බව ඔබවහන්සේ වරක් කියා තිබෙනවා.

ඔව්. බෞද්ධකමට කුල ගෝත්‍ර නෑ. ජාති බේද නෑ. හැම වෙසක් දවසකම ඇහෙන ‘බුද්ධං සරණං ගච්ඡාමී...’ ගීතය ගයන්නේ මුස්ලිම් ජාතික මොහිදීන් බෙග්. ‘සිරි බුද්ධගයා විහාරේ...’ ගැයූ රුක්මණී, ජාතියෙන් දෙමළ, ආගමෙන් කතෝලික. ‘වෙසක් කැකුළු අතු අග හිඳ නටන විලාසේ...’ ලිව්වේ ගරු මර්සලීනු ජයකොඩි කතෝලික පියතුමා. මේ වගේ තව ගණනාවක් ඉන්නවා.

එහෙනම් බෞද්ධ අපට මොකටද කුල ගෝත්‍ර. ජාතිවාද.

බුදුන්ගේ දේශනාව සකල ලෝකවාසි ජනතාවටයි. ඒක සිංහල බෞද්ධයාට පමණක් කියලා වෙන්වෙන්නේ නැහැ. එතකොට ජපන් බෞද්ධ, තායිලන්ත බෞද්ධ, ඉන්දීය - දෙමළ බෞද්ධ අයට මොකද වෙන්නේ. මේක විශ්ව ව්‍යාපි - විශ්ව සාධාරණ දහමක්. ජාතියකට ආගමකට හෝ පළාතකට සීමා වෙන්න බැහැ බෞද්ධයකුට හෝ බෞද්ධ දහමට.

ඔබවහන්සේට කලින් ගීත ලියූ යතිවරු සිටියද...

වැලමිටියාවේ ධම්ම රක්ඛිත හිමි ගීත නාටක ලියා තිබෙනවා. ජනපි‍්‍රය නිවේදකයකු වූ ප්‍රේමනාත් ජයතිලක මහතා පැවිදිව සිටියදී ගීත කිහිපයක් ලියා තිබෙනවා. කේ. සේන ගායනා කරන, ‘මවකගේ උණුසුම නොලබා...’ ගීතය ලිව්වේ ඔහු.

ඔබවහන්සේගෙන් පසු ගීත රචනා කරන යතිවර පරම්පරාවක් බිහිවූවා...

ඔව්. පල්ලේගම හේමරතන, වත්තේවැවේ ධම්මානන්ද, පාතේගම ඥානිස්සර, රූපහ සුමනජෝති, කෝන්වැවේ ආරියරත්න වැනි යතිවර පරම්පරාවක් මගෙන් පසු බිහිවී තිබෙනවා. එය හොඳ ප්‍රවණතාවක්. මොකද බුදු දහම, බුදු බණ ගීතයෙන් මිනිසුන්ට කියා දෙන්න හොඳ හැකියාවක් තිබෙන බුද්ධ පුත්‍රයන් පිරිසක් මේ.

ඔබවහන්සේ වෙසක් මංගල්‍යයට සූදානම්ද...

ඔව්. ඒත් මේ සරල ජීවිතේ ආයේ විශේෂ සූදානමක් නැහැ.

මහණදම් පිරූ ජීවිතය පිළිබඳ ඔබ වහන්සේ තෘප්තිමත්ද?

ගම්වල ඉපදුණු කුල දරුවො විදියට අපි ලබාපු මේ මනුෂ්‍ය ආත්මයේ අමා ඵල නෙළා ගත්තාය කියන සන්තුෂ්ඨිය තිබෙනවා. ඒ නිසා කම්පාවෙන්න අඬන්න වැලපෙන්න ශෝක වෙන්න දෙයක් නැහැ. ජන සමාජයට යහපත කරමින් දිග ගමනක් ආවා කියලා හිතෙනවා. මේ වයසට යන කාලෙ ජීවිතේ දිහා ආපහු හැරිලා බලන්න පුළුවන් එහෙම සතුටක් ඉතිරිවෙලා තිබෙනවා.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්