ත්‍රස්තවාදය ත්‍රස්තවාදය මයි

 
 

විදුලි සහනය කෝටි 3000 යි

 
 

විදුලි බිල වැඩි වුණත් වසරකට කෝටි තුන්දහසක සහනාධාරයක් ජනතාවට දෙනවා

 
 

දැන් මට පාර මාරුවෙන්න පුළුවන්

 
 

මුල් පිටුව

 
 

ඉස්කෝලෙ යන කාලෙ මං හොඳ පොල්අඩි කාරයෙක්

 
 

හිරිමල් හිරු

 
 

ඕනෑවට වඩා වතුර බීවොත් මුත්‍රාශයේ ගල් වතුර අඩු වුණත් ගල්

 
 

ස්කූටර් වෙළෙඳපොළට යමහා රේ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

අලුත් වෙවී යන තිරිකුණාමලෙ

අලුත් වෙවී යන තිරිකුණාමලෙ

ත්‍රිකුණාමලය යනු නැගෙනහිර ශ්‍රී ලංකාවේ ඓතිහාසික උරුමයක් ඇති පුරාතන ශ්‍රී ලංකාවේ ප්‍රධානම වරායකි. මේ වන විට සිරිගෝණමලය හෙවත් මේ ත්‍රිකුණාමල ප්‍රදේශය සිංහල ද්‍රවිඩ මුස්ලිම් ජනකොටස් තුනම සමගියෙන් ජීවත්වන කෘෂිකාර්මික ප්‍රදේශයක් කීවොත් නිවැරැදිය.

වර්ග කිලෝ මීටර 2723.5 කින් සමන්විත මේ ප්‍රදේශයේ ගොඩබිම් ප්‍රදේශය ව. කි. මී. 2531.8 කි. ඒ මුළු භූමි ප්‍රදේශයෙන් 92.8% කි. ගොඩබිම් ප්‍රදේශයේ ව. කි. මී. 197 ක්ම ජලයෙන් පිරී ඇත. ඒ වැව් හා ගංගා ආශ්‍රිත ප්‍රදේශයයි.

සිංහල ජනතාව ජනගහනය වශයෙන් ගතහොත් 2011 සංගණනය අනුව 108961 කි. එනම් සියයට 26 කි. දෙමළ ජනතාව 128098 ක් වන අතර එය මුළු ජනගහණයෙන් සියයට 31 කි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩි ජනගහනය වනුයේ මුස්ලිම් ප්‍රජාවයි. ඒ 177890 කි. මුළු ජනගහණයෙන් සියයට 42.9 කි. අනිකුත් වාර්ගික ජනතාව 867 කි.

මෙවන් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වැඩි දෙනෙකුගේ රැකියාව වන්නේ කෘෂිකර්මයයි. ජනගහනයෙන් 58% ක්ම යැපෙන්නේ කෘෂිකර්මයෙනි. මේ ප්‍රදේශය ඈත අතීතයේ සිටම වී ගොවිතැනට ප්‍රසිද්ධ සශ්‍රීක ප්‍රදේශයකි. වී ගොවිතැනට අමතරව රතුලූනු වගාව ප්‍රධාන කොට විවිධ භෝග වර්ග වගා කෙරේ.

විශාල මුහුදු සම්පතකින් යුත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ ධීවර ජනතාව 21% කි. මෙයට අමතරව නිරිතදිග මෝසම් කාලවලදී දකුණු හා නැගෙනහිර වෙරළේ සිට ද ඇදී එන ධීවර ප්‍රජාව ත්‍රිකුණාමල ඈත මුහුදේ මත්ස්‍ය සම්පත නෙළා ගනිති.

මෙහි රජයේ රැකියා කරන්නන් ඇත්තේ 5% ක් පමණි. 12% දෙනා ස්වයං රැකියාවන් වලින් යැපෙති. පෞද්ගලික අංශයේ රැකියා කරන්නේ ජනතාවගෙන් 0.4% ක් පමණි.

මෙවන් වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය පුරා වසර 30 ක් තිස්සේ කෙරුණු යුද්ධයෙන් බැට කෑ ප්‍රදේශයකි. ත්‍රිකුණාමල වරාය ආශ්‍රිත නගර ප්‍රදේශය නාවික යුද හා ගුවන් හමුදාවන් ගේ ආරක්ෂාව යටතේ තිබුණත් දිස්ත්‍රික්කයේ පදවි සිරිපුර මොරවැව කුච්චිවේලි ගෝමරන්කඩවල වෙරුගල් වැනි ප්‍රදේශ ත්‍රස්තවාදී තර්ජන වලින් බැට කෑ ප්‍රදේශ විය.

නැගෙනහිර මුළුමනින්ම ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදාගත් පසු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියාත්මක වුණු ‘නැගෙනහිර නවෝදය’ යටතේ ත්‍රිකුණාමලය යළිත් සශ්‍රීකත්වයේ හා සංවර්ධනයේ හිරුකිරණින් එළිය ලබන්නට විය.

අද මේ වන විට සංවර්ධනයේ හිරු කිරණ ගලා එළිය ලැබූ ත්‍රිකුණාමලයේ සංචාරය කරන්නටත් ඒ සංවර්ධනය සියැසින් දැක බලා ගන්නටත් අපට අවස්ථාව සැලසුණේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙනි.

මෙහිදී අපට දක්නට ලැබුණේ ත්‍රිකුණාමල වැසියන් සිය ජන ජීවිතය යථාවත් කරගෙන නිදහසේ හුස්ම ගන්නා අයුරුය. ඔවුන් සියලු දෙනාගේම මුහුණුවල රැඳී තිබුණේ සතුටු සැනසුම් සිනහ රැළිය. පා පැදිවලින් පාසල් බලා ගමන් ගන්නා සිසු සිසුවියන්ට එදා මෙන් කටු ලැහැබ් පිරි පටු මංපෙත් දිගේ අබලන් පාරවල් දිගේ පාපැදි පැද යන්නට අවශ්‍ය නැත. අද ඔවුන්ට අතපය දිගහැර යන්නට මහා මංමාවත් ලැබී තිබේ. සිය කෘෂි උපකරණ නගරයට ගෙන යාමට, ධීවර ප්‍රජාවට සිය මත්ස්‍ය අස්වැන්න ඈත නගරවලට ඉතා ඉක්මනින් ගෙන යාමට අවශ්‍ය මංමාවත් ලැබී තිබේ.

2006 මාවිල්ආරු මුදාගෙන නැගෙනහිර ජන ජීවිතයට ජීවය ලබාදුන් පසු රජයේ ප්‍රධාන අරමුණ වූයේ ජනතාවට කැඩි බිඳී ගිය මාර්ග වෙනුවට ප්‍රධාන මංමාවත් තනා දීමය. සංවර්ධනය වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ගමන් කරන අපට මේ මීට පෙර දකින්නට ලැබුණු ත්‍රිකුණාමලයදැයි වරෙක සිතේ.

මහ රෝහලේ නව ගොඩනැගිල්ල

වෙරළබඩ මාවත්

සංවර්ධනය කළ මාවතක්

වී ගබඩාවක්

පළාත් අතර දිවයන ප්‍රධාන ‘ඒ’ පන්තියේ මහාමාර්ග තුනත් මාර්ග 17 සී පන්තියේ මාර්ග 41 ක් හා ඩී පන්තියේ මාර්ග 65 ක් වශයෙන් මුළු දිස්ත්‍රික්කයේම මහා මාර්ග කාපට් අතුරා සංවර්ධනය කර තිබීම ගමනාගමනයට ඉමහත් පහසුවකි. වෙනදා පැය දෙක තුනක් ගතවන ගමනකට අද ගතවන්නේ පැයකටත් අඩු කාලයකි. සංවර්ධනය වන රටකට එය අත්‍යවශ්‍ය දෙයකි. ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ මහාමාර්ග හා පාලම් සංවර්ධනය සඳහා ඉකුත් තෙවසර තුළ රජය විසින් වියදම් කොට ඇති මුදල රුපියල් මිලියන 5350 කි.

පාලම් සංවර්ධනයේ මුල්ම හා ප්‍රධානම සාධකය වන්නේ කින්නියා පාලමයි. පැය ගණනක් පුරා පාලම් පාරුවක නැග දිය මතුපිටින් එදා ගිය ඒ මාරක ගමන අද විනාඩි කීපයකින් නිම කළ හැක. මීටර් 396 ක් දිග මීටර් 10.5 ක් පළල කින්නියා පාලම ශ්‍රී ලංකාවේ දිගම පාලමයි.

මාර්ග අංක ඒ15 යටතේ ත්‍රිකුණාමලය මඩකලපුව මහා මාර්ගයට බද්ධ වී ඇති කින්නියා පාලම සඳහා රජය වැය කළ මුදල රුපියල් මිලියන 720 කි. 2009 වසරේ ඔක්තෝබරයේ එය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතින් විවෘත කෙරුණේ ලක්ෂ ගණන් ජනතාවට සෙත සලසමිනි. අද මේ මහාමාර්ගය හා පාලම හරහා ලක්ෂ ගණන් ඒ ජනතාව ඉතා ආඩම්බරයෙන් හා පහසුවෙන් ගමන් බිමන් යන්නේ රජයට පින් දෙමිනි.

ත්‍රිකුණාමල පුල්මුඩේ පාර බෝගහවත්ත පුල්මුඩේ පාර ඇල්ල කන්තලේ මහාමාර්ගය නැගෙනහිර නවෝදය යටතේ සංවර්ධනය වූ තවත් මාර්ග කීපයකි. මීට වසර කීපයකට පෙර අබලන්ව තිබු ඉරක්කණ්ඩි පාලම පුදවයිකඩ්ඩු පාලම නැගෙනහිර නවෝදය යටතේ සංවර්ධනය වූ නව පාලම් කීපයකි.

ත්‍රිකුණාමලය සංවර්ධනයේ සංකේතයක් වනුයේ මෙවර ජාතික නිදහස් උලෙළට සමගාමීව සංවර්ධනය කරන ලද ප්‍රෙඩ්රික් කොටුවේ සිට ගාන්ධි වට රවුම සඳහා වූ වෙරළබඩ මාර්ග පද්ධතියයි. 2009 වසරේ මුල කාලයේ දී ත්‍රිකුණාමලයේ සංචාරය කළ අපට මේ මාර්ගයේ දියුණුව නෙත් අදහාගත නොහැකි විය. ඒ යුගයේ වල්බිහි වූ වන ලැහැබක් මැදින් වැටී තිබුණු පයින්වත් යා නොහැකිව තිබු තාර ගැලවුණු මේ මාර්ග පද්ධතිය අද රමණීය වූ භූමි භාගයකි.

විනෝද චාරිකාවන්හි යෙදෙන ජනතාවට ඉසුබුලෑමට සුදුසු පරිදි ත්‍රිකුණාමලයේ වෙරළ තීරය සකස් වී ඇති අතර දිය නෑම සඳහා ද වෙන්කොට ඇති මුහුදු තීරය ද මනරම්ය. ප්‍රෙඩ්රික් කොටුව ඓතිහාසික මර්මස්ථානයකි.

ත්‍රිකුණාමලයේ ඓතිහාසික ස්ථාන නරඹන්නට එන සංචාරකයන්ට ඉසුබුලන්නට හැකි පරිදි මේ වෙරළ තීරය සකස් කොට ඇත්තේ පසුගිය නිදහස් උත්සවය සමගාමීව නවීකරණය කොට ඇත්තේ නැගෙනහිර නවෝදය වැඩසටහන යටතේය. ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ දැඩි උත්සාහය වූයේ අකර්මණ්‍ය වී තිබු මේ ප්‍රදේශයේ පරිපාලනය විධිමත් කිරීමයි.

දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරාල් ටී. ටී. ආර්. ද සිල්වා මහතා යටතේ නවීකරණය කරන ලද දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සිංහල දෙමළ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම කටයුතු කළ හැකි සංවර්ධන නිලධාරීන් පිරිසකගෙන් සමන්විත වන අතර නගරයේ පමණක් නොව ඈත පිටිසර ගම්දනව්වල ජනතාවට ද සේවය කිරීමට සැදී පැහැදී සිටී.

ත්‍රිකුණාමල සංවර්ධනයේ අප දුටු තවත් සාධකයක් වූයේ ත්‍රිකුණාමල මහ රෝහලයි.

ත්‍රිකුණාමල මහ රෝහලට ඇතුළු වූ අපට මුලින්ම දකින්නට ලැබුණේ පරිගණක ගතකරන ලද බාහිර රෝගී අංශයයි. මුලින්ම ඇතුළුවන රෝගියාගේ නම ගම අසා ඔහු අංකයක් යටතේ පරිගණක ගත කරනු ලබයි. සිංහල හා දෙමළ භාෂා දෙකෙන්ම රෝගීන්ව භාර ගැනීම සිදු කෙරෙයි.

පරිගණකගත කරනු ලබන රෝගියාට දෙනු ලබන අංකය යටතේ වෛද්‍යවරයා විසින් බෙහෙත් නියම කරනු ලබන්නේ ද පරිගණකය හරහාය. ඉන්පසු ඒ බෙහෙත් වට්ටෝරුව පරිගණකය හරහා බෙහෙත් දෙන ස්ථානයට යොමු කෙරෙයි. රෝගියාට දෙනු ලබන අංකය යටතේ ඔහුගේ රෝගය හා ප්‍රතිකාරයන් පරිගණක ගත කෙරේ. මෙය අප වෙනත් රෝහල්වල නොදුටු විශේෂයක් වෙයි.

පෘතුගීසි සමයේ ආරම්භ කරන ලද ත්‍රිකුණාමල රෝහල මහ රෝහලක් වූයේ 2002 වර්ෂයේදීය. මේ වන විට එය අංග සම්පූර්ණ මහ රෝහලකි.

නැගෙනහිර ත්‍රස්තවාදයෙන් මුදාගත් පසුව ක්‍රියාත්මක කළ නැගෙනහිර නවෝදය යටතේ 2011 සිට 2013 මේ දක්වා රුපියල් මිලියන 135 ක් වියදම් කොට සංවර්ධනය කළ ත්‍රිකුණාමල රෝහල මහල් තුනකින් යුත් නවීන පහසුකම් සහිත ළමා වාට්ටු සංකීර්ණය විවෘත කරන ලද්දේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා අතිනි.

මෙය අති නවීන අංගෝපාංගයන්ගෙන් යුත් නවීන රෝහලකි. සාමාන්‍යයෙන් දිනකට බාහිර අංශයේ රෝගීන් 642 දෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණෙන අතර අවශ්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඒ ඒ අංශවලට යොමු කෙරෙන රෝගීන්ට ලැබෙන්නේ කොළඹ පෞද්ගලික රෝහලක රෝගීන් ලැබෙන තරම් සාත්තු සප්පායම් හා ප්‍රතිකාරයන්ය.

එහි වෛද්‍ය අධිකාරි වෛද්‍ය ඤාණ ගුණලන් අපට කියා සිටියේ මේ නව ළමා වාට්ටු සංකීර්ණය පිහිටුවූ පසුව කිසිදු රෝගියකු අවට මහ රෝහල්වලට යැවීමට අවශ්‍යතාවයක් නොවූ බවයි.

පිට පළාත්වලින් පැමිණෙන රෝගීන් සංඛ්‍යාව මසකට සාමාන්‍යයෙන් 1387 කි. ඒ මේ රෝහලේ ඇති වෛද්‍ය පහසුකම් නිසාය. පිටත රෝහල්වලට ප්‍රතිකාර සඳහා යවනු ලබන්නේ මසකට රෝගීන් 193 දෙනෙකු පමණකි. රෝහලේ සියලුම රෝග සඳහා අවශ්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සිටින බව ද පවසයි. සැත්කම් සඳහා ශල්‍යාගාර 5 ක් නිතරම සූදානම්ව ඇති බව වෛද්‍ය අධිකාරි ඤාණ ගුණලන් කීය. ත්‍රිකුණාමල රෝහලේ තවත් විශේෂයක් නම් එහි උපදේශක සේවාවයි. දිස්ත්‍රික්කයේ ගෘහස්ථ හිංසනය වැඩිවීම නිසා බොහෝ සැමියන් අතින් හිංසනයට ලක්වන බිරින්දන්ගේ සහනය උදෙසා මේ උපදේශන සේවාව පැවැත්වෙයි.

ත්‍රිකුණාමල රෝහලේ ජීව ගෑස් පද්ධතිය ද එහි විශේෂයකි. මේ ජීව ගෑස් පද්ධතිය රෝහලේ ඉන්ධන පිරිමැස්මට හේතුවක් වී ඇත. එමෙන්ම අපද්‍රව්‍ය පිරිසිදු කරනු ලබන ජල පවිත්‍රාගාරය ද රෝහලට සම්පතකි. රෝහලේ ඔක්සිජන් නිපදවන යන්ත්‍ර පද්ධතිය ද තවත් විශේෂයකි. .

මෙයින් නිපදවන ඔක්සිජන් රෝහලේ ප්‍රයෝජනයට ගෙන ඉතිරි ඒවා සිලින්ඩර් ගතකොට අවට රෝහල්වලට හා යුද නාවික ගුවන් හමුදා පරිශ්‍රයන්හි ප්‍රයෝජනය සඳහා ද මිලට දෙනු ලබන බව වෛද්‍ය අධිකාරිවරයා පැවැසීය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා රජය විසින් වෙන් කරන ලද මුදල රු. කෝටි 2272 කි. ත්‍රිකුණාමල මහා ජල සම්පාදන ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 2636 ක් වෙන් කරන ලද අතර එයින් 297080 ජනතාවකට සෙත සැලැසේ.

කන්තලේ තඹලගාමම් නාගරික ප්‍රදේශය කින්නියා හා කුච්චිවේලි දිස්ත්‍රික් ලේකම් කොට්ඨාසවල සියයට 80% වඩා ජනතාවට මේ ජල සම්පාදන ක්‍රමය මඟින් පිරිසිදු ජලය සැපැයේ.

හලින් ස්වයං පෝෂිත කෘෂිකාර්මික කලාපයක් වන ත්‍රිකුණාමලය රජ දවසේ සිටම තඹලගමුව කන්තලේ වැන ගොවිබිම් නිසා සුප්‍රසිද්ධය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සංචාරය කළ අපට එහි ‘ලව් ලේන්’ හි ඇති වී ගබඩා සංකීර්ණය ද දක්නට ලැබිණ.

අප එහි යන විටත් ගොවීන් කීප දෙනෙක් සිය වී ගෙනැවිත් බාර දීමට බලා සිටියහ. එහිදී වී වල විසල් බව හා බොල් බව මැන බලා වී බාරගන්නා අයුරු අපට දකින්නට ලැබිණ.

මෙවර වෙනදාට වඩා වී අස්වනු රජය විසින් මිලදී ගත් බව වී ගබඩා සංකීර්ණයේ කළමනාකාර ඩබ්ලිව්. ඇම්. ඇන්. ආර්. වීරසේකර මහතා අප සමඟ පැවැසීය. “මෙවර රජය මඟින් වී මිලදී ගැනීමේ සහතික මිල වැඩි කොට තිබෙනවා. ගිය වසරේ රුපියල් 28 ට මිලදී ගත් නාඩු කිලෝවක් මෙවර අපි මිලදී ගත්තේ රුපියල් 32 ට. රුපියල් 30 ට ගත් සම්බා කිලෝවක් ගන්නේ රුපියල් 35 ට. මෙවර මේ වන විට අපි රුපියල් මිලියන 186.82 ක් මුදල් ගෙවා වී මිලදී ගෙන තිබෙනවා. මිලදී ගත් වී ප්‍රමාණය මෙට්‍රික් ටොන් 6556 ක්. එය ගියවර මිලදී ගත් ප්‍රමාණයට වඩා වැඩියි.”

මෙවර ගෝමරන්කඩවල මොරවැව තඹලගමුව කින්නියා මුතුර් සේරුවිල කන්තලේ වැනි ප්‍රදේශවලින් ගෙනා වී වලින් ලව්ලේන්හි වී ගබඩා 8 ඉතිරී තිබිණ. මෙවර වැඩි මිලක් ගොවීන්ට ලැබීම සහනයක් බව ගබඩා සංකීර්ණයේ කළමනාකාර මහතා අප සමඟ පැවැසීය. “ගොවීන් හරිම සතුටින් වී ලබා දුන්නේ. ඔවුන් ගියේ සිනා මුහුණින්”

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රජය 2011, 2012, 2013 වර්ෂවලදී රුපියල් මිලියන 509.51 ක් වියදම් කොට ඇති අතර කන්තලේ යාන්ඔය සවරාරු යන වැව් ප්‍රතිසංස්කරණයට හා වාරිමාර්ග ප්‍රතිසංස්කරණයට විශේෂ තැනක් දී තිබිණ.

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දෙවැනි වැඩිම ආදායම ලබන්නේ ධීවර කර්මාන්තයෙනි. රුපියල් මිලියන 95 ක් වියදමින් තනන ලද ත්‍රිකුණාමල මාළු තොග වෙළෙඳ සල නුදුරු අනාගතයේ දී වෙළෙදුන්ට ලබාදීමට නියමිතව ඇති අතර කොඩ්බේ ධීවර වරාය ද නවීකරණය කොට සංවර්ධනය කිරීම සඳහා රජය විසින් රුපියල් මිලියන 242.5 ක් වියදම් කොට ඇත. මෙමඟින් ඈත දියඹට යන බහුදින ධීවර යාත්‍රාවන්ට පහසුවක් ලැබේ. මුලදී වනාන්තරයෙන් වැසී තිබු මේ ධීවර වරාය බහුදින යාත්‍රාවන්ට ඉන්ධන ලබාදීමට විශාල ටැංකි දෙකක් ද සහිතව නවීකරණය කොට ඇති බැවින් ඈත මුහුදෙන් ගෙනෙන මත්ස්‍ය අස්වැන්න කෙළින්ම කොළඹ හලාවත වැනි පිට පළාත්වලට ගෙන යාම පහසු වී ඇත.

මේ වන විට මුළු ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සමස්ත සංවර්ධනය සඳහා පසුගිය වසර තුන ඇතුළත රජය විසින් රුපියල් මිලියන 13698.7 ක් වියදම් කොට ඇති බව දිස්ත්‍රික් ලේකම් මේජර් ජෙනරාල් ටී. ටී. ආර්. ද සිල්වා මහතා පැවැසීය.

ඒ අනුව ත්‍රිකුණාමලයේ දෙමළ, මුස්ලිම්, සිංහල ජනතාවට සහයෝගයෙන් සංවර්ධනයේ හිරු කිරණ සමඟ ජීවත් වෙන්නට අවස්ථාව ලැබී තිබේ.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අනුග්‍රහයෙන් පැවැත්වූ මාධ්‍ය චාරිකාවක් ඇසුරිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්