දහ තුනට මෙන් ම අටටත් අපේ ප්‍රණාමය

 
 

ඊළම සිහිනයක් කළ නිසා පළිගන්න උත්සාහ කරනවා

 
 

තිරසාර දේශය සරුසාර කරන ජපන් - ශ්‍රී ලංකා මිතුදම

 
 

“දැයට කිරුළ” බලන්න එන්න !

 
 

සිනා කතා

 
 

“බ්‍රෙන් ගන්” එකෙන් වෙඩි තියන්ඩ ගිහින් මා විසිවෙලා පස්ස බිම ඇනුණා

 
 

හිරිමල් හිරු

 
 

පවුලේ අඬදබර දරුවාගේ සිතට බරක් කරන්න එපා

 
 

ටිකිරි හමුව

 
 

ගංගාට ආදරේ නිසා මං පළිගන්නෙ නෑ

 

»

හිරිමල් හිරු

සංස්කාරක, හිරිමල් හිරු, සිළුමිණ, ලේක්හවුස්, කොළඹ 10 ලිපිනයට ඔබේ නිර්මාණ එවන්න. එහිදී අපට ඔබ හා සම්බන්ධ විය හැකි දුරකතන අංකයක් ද ලියා එවන්නට අමතක නොකරන්න.

නේකඩ් මැරේජ්

මොකද හිතෙන්නේ මාතෘකාව දැක්කම? නිරුවත්ව මඟුල් ගෙයක් ගන්නවා කියලද? එහෙම කරන උන්මත්තකයන් ගැනත් අන්තර්ජාලයෙන් හොයාගන්න පුළුවන්. ඒත් මේක ඊට වඩා ගැඹුරුයි.

චීනයේ තරුණයන්ගේ අලුත්ම ප්‍රවණතාව තමයි නේකඩ් මැරේජ් හැටියට හඳුන්වන්නේ. එය අසූව අනූව දශකවල පවා සිදුකෙරුණු සාම්ප්‍රදායික මංගල්‍යයන්ට වඩා වෙනස්. එහෙම වෙන්න හේතුව චීනයේ ආර්ථිකය. තරුණයන්ගේ අත මිට සරු නැති වුණත් ඔවුන්ට ආදරය අවශ්‍යයි. ඒ නිසා ගෙයක්, වාහනයක් නැති අය අඩු වියදමින් එකතුවෙන එක තමයි නේකඩ් මැරේජ් කියන්නේ.

මේ ගැන සමීක්ෂණය කරලා තිබෙන්නේ සමාජවිද්‍යාව පිළිබඳ සිචු වැන් ඇකඩමියේ මහාචාර්ය හියු ග්වෑන්වේ. ඔහුගේ සමීක්ෂණයට එක්වුණු තරුණ පිරිස් බහුතරයක් කියන්නේ ආදරය නැතිව ජීවත්වෙන්න බෑ කියලා. ඒ වගේම වාහනයක්, ගෙයක් වගේ භෞතික සාධක නිසා ආදරයට පයින් ගහන්න බෑ කියලා.

අපේ රටේ නම් කතාවක් තියෙනවා නැතිබැරිකම ඉස්සරහ දොරින් එද්දී ආදරේ පෑළදොරින් පලා යනවා කියලා. ඒත් චීනයේ ඒක එහෙමම වෙලා නෑ වගේ. ඔවුන්ට වටිනාම ලියැවිල්ල වෙලා තියෙන්නේ කසාද සහතිකය. ඉතාම සුළුවෙන් අඩුම වියදමින් එළවළු මස් මාළු ටිකක් ගෙනත් උයලා අම්මලාට තාත්තලාටයි හොඳම යාළුවො තුන්හතර දෙනකුටයි කන්න දීලා කසාද සහතිකේ ලැබුණ සතුට බෙදා ගන්න තරම් සරල තත්ත්වයට චීන තරුණයන්ගේ මංගල උත්සවය ඇවිල්ලා.

අපි චීනය ගැන එහෙම කීවට අපේ රටේ වුණත් සමීක්ෂණයක් කළොත් ගෙවල් දොරවල් නැතුවට, වාහන නැතුවට කසාද සහතිකේ ගන්න පුළුවන් වුණු තරුණ යුවළ ඕනෑතරම් හොයාගන්න පුළුවන් වේවි. ඒත් අපේ රටේ ප්‍රවණතාව ඒකද කියන්න තරම් මේ ක්‍රමය ප්‍රචලිත වෙලා නැහැ.

එක අතකින් සමහරු කියන විදිහට ලොකුවට වියදම් කරලා මඟුල් ගෙයක් අරගෙන හෙම්බත් වෙනවට වඩා චීන තරුණයන්ගේ ක්‍රමය සාක්කුවට හොඳයි. ඒත් වැඩිහිටි චීන පිරිස වගේම අපේ ආසියාතික සමාජයේ දෙදෙනකුගේ එකතුවීම ගැන තිබෙන සතුට ගෞරවය වගේ වගකීම දැනෙන්නේ ටිකක් බරපතළ විදිහට ඒ කටයුත්ත සිදුවුණාමයි.

එහෙම මඟුල් කාලා ජෝඩුව වෙනම ජීවත්වෙන්න ගත්තම දෙපාර්ශ්වයේම අම්මලා තාත්තලා අසරණ වුණු වෙලාවල් ඕනතරම් අපේ රටෙත් දකින්න ලැබෙනවා. ඒත් සමීක්ෂණයේ සිටි චීන තරුණ පිරිස් නම් කියලා තිබුණේ ඔවුන්ට තව කල් තිබෙන නිසා ආදරය ළං කරගත්තත් දෙමවුපියන් පළමුතැනට අරගෙන ඔවුන්ව සුඛිත මුදිත කරලා තමයි තමන් ගැන හිතන්නේ කියලා. එහෙම බැලුවාම ’නේකඩ්’ කීවට ඒ අය අපේ කට්ටියට වඩා රෙද්දක් ඇඳගෙන පාරේ යන්න පුළුවන් විදිහටයි හිතන්නේ කියලත් හිතෙනවා.

ඇත්තටම නේකඩ් මැරේජ් කියන දේ නිර්වචනය කරලා තිබුණේ වස්තුව දේපොළ වලින් තොරව කසාද බැඳීම කියලා. සමහර විට ඒකත් ඇත්ත. මොකද දෑවැද්ද දිහා බලාගෙන බඳින අය ඒ සල්ලි දේපොළ නැති වුණ කාලෙක විරසක වුණ අවස්ථාවන් ද තිබෙන නිසා. අනෙක චීන තරුණයන්ගේ අදහසට අනුව නියම ආදරයක් තිබෙනවා නම් ජීවිතයේ ඕනම බාධකයක් ජයගන්නත් වස්තුව දේපළ හරි හම්බ කරගන්නත් අමාරු වෙන්නේ නැහැ.

වැඩිවන ජනගහනයත්, ආර්ථික අපහසුතාවත් සමඟ චීන තරුණයන්ගේ සිතීමේ නිදහස මේ ප්‍රවණතාවට හේතු වුණා කියලයි තතු දන්නෝ පෙන්වා දෙන්නේ. කොහොම වුණත් ‘නේකඩ් මැරේජ්’ ක්‍රමය සම්ප්‍රදාය, ආදරය හා වස්තු තණ්හාව අතර දෝලනය වන අයට හොඳ පාඩමක් වෙන බව නම් නොකියාම බැහැ.


අරුණි
 

ආයාචනයයි...!

අනේ දොස්තර මහත්තයෝ තව වතාවක්
තව එකම එක වතාවක් උත්සාහ කරන්න
මාරි කියුරි නෝනගෙ පොතකවත්
නැද්ද බලන්න
ආ... සමහර විට ග්‍රෙගරි මෙන්ඩල්
මහත්තයාගේ
ප්‍රවේණි රෝගයකවත්
ඩාවින්ගෙ පරීක්ෂණයක අගකවත්
අනේ... එක මහ මොළකාරයෙක්වත් නැද්ද
මේ බෙහෙත හොයාගෙන
සක්විති දෙවිහාමුදුරුවනේ,
එදා ජීවක වෙදාටවත් ඉගැන්නුවේ නැද්ද
අනේ අසාධ්‍යයයි...
ඉක්මන් කරන්න
පැතිරෙනවා; බෝවෙනවා;
”හරි හරි මොකක්ද ඔය ලෙඩේ?”
”සමාවෙන්ඩ සර් ...
”ඉරිසියාව“

මොනරාගල සුපේශලා ශිෂාන්ති
 

ඇදුර

අරුතක් නොදත් මා හට
අරුතක් දුන් ඔබ
සංසාරගත ඇදුරාණෝය.

දිවුලපිටියේ මල්ෂි පබසරා
 

ප්‍රේමය

සංසාරික පුසුඹට
හිත් මළුවට
ඇදහැලෙන
සිරි පොද වැස්ස...

බෙලිඅත්තේ අමිලා සෙව්වන්දි පුංචිහේවා
 

කිවිඳියගෙන් සිත්තරාට

සබඳ
නුඹ
ඉතිං මා මුදාලනු
අඳුරු රේඛා
අරුමැසි වර්ණ ලෝකයෙන්,
ප්‍රාණ දහරා නොගලන
හුදෙකලා වූ අවකාශයන් අතුරින්
හිස් වූ සිතින්ම
මා මුදාලනු...
ඉක්බිති,
මමද නුඹ මුදාලමි
අපතේ හල වචන, අකුරු
කෙරෙන්...
සදාකාලිකවම,
ඇතිවූ ප්‍රේමයෙන්ම,


එම්.පී.අනුෂ්කා නර්මදී
 

කවියක්දෝ

සංකා නොනිවේ හද
වියවුල්ලේ
සැනසුම මිහිදන් වී...
සුවඳින් අත්ලස්
පුදලා පින්දම්
සොයනා... සිල් සිතකි...

බෝසත් වෙස් ගත්
මළ මිනිසුන්ගේ
සාධුකාර හඬ දී...
මලානිකව
ඉකිබිඳින දෑස්..
දස දහස් ගණන්
මියැදී...

මහ ගල් පිළිමේ
බුදු නෙත මැවුවේ
පින් කෙතකට පණ දී...
වසිනා පින් මල්
නිවනා දුක් ගිනි
කවියක් දෝ සිතමි...

ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
ඉසුරිකා සියඹලාපිටිය
 

ඔබ මහලු ද?

මා මහලු නැත.
අට වැනි දශකයේ ගමන් කරමින්
සිටින මම,
ඒ කියන මුසා බස මා සසල කළා
මගේ සිත,
මා මහලු නැති බව මම දනිමි.
මා අණ දෙමි.
මගේ සේවකයෝ වැඩ කරති.
පසිඳුරන් නැමති සේවකයෝ
මට අවනතය, කීකරුය
මම මහලු නොවෙමි.
බව සයුරෙන් ඉමට
යනතෙක්
සිත කියයි
සිත මහලු නොවේ.
මම කියා කියා ගන්නේ.

ඉඳගොල්ලේ විජිතා මල්පාන
 

සියපත

බොහෝ සෙයින් විඩාබර වූත්, වෙහෙසකර වූත්, අපහසුදායක වූත්, ගමනක මම යෙදී සිටින්නෙමි. එසේ අපහසුවෙන් ගමන් කරන මට ගෙවෙන සෑම මිනිත්තුවක්ම, සෑම පැයක්ම, සෑම දිනයක්ම ‘තවත් එක් දිනයක්’ පමණක්ම විය. නමුත් එක් දිනක හිරු උදා වූයේ මාගේ සිත ගත දෙකම ප්‍රබෝධවත් වන, මාගේ වෙහෙසකර වූ ගමනට වචනයෙන් විස්තර කළ නොහැකි තරම් වූ අස්වැසිල්ලක් ලබා දෙන්නාක් බඳු වූ පෙරනිමිති පහළ කරමිනි.

එකී දිනයත් සමඟ මා නැවත මාගේ ගමන ඇරැඹූයේ මාගේ ඉලක්කයට එක් පියවරක් හෝ ළඟාවීමේ අදිටනින්ය. නමුත් එදින මට ‘තවත් එක් දිනයක්’ නොවීය. ඒ මන්ද යත් කියා මට වැටහුණේ එදින මා දුටු සුන්දර දසුනකිනි. මා ජීවන ගමනේ නියැළෙන අතරතුර අලංකාර වූ විලක නෙළුම් මල් විශාල සංඛ්‍යාවක් විකසිත වී තිබෙනු මම දුටුවෙමි. නමුත් එකී විශාල ප්‍රමාණයක් වූ නෙළුම් මල් අතුරින් එක්වරම මා නෙත ගැටුණේ එකම එක නෙළුම් මලක් පමණි.

එය දුටු විගසම මා සිත තුළ ඇති වූ සතුට නිම්හිම් නැති විය. එදා මෙදා තුර, මාගේ වෙහෙසකර වූත්, අපහසුදායක වූත්, ජීවන ගමනේදී මා දුටු සුන්දරතම මෙන්ම මාගේ සිත් පහන් වූ එකම දසුන එය යැයි කීමට මා මැළි වන්නේ නැත.

ඉතින් එකෙණෙහිම මාගේ සිතට ඇතුළත් වූ සිතුවිල්ල නම් එකී සුන්දරතම වූත්, අලංකෘත වූත් නෙළුම් මල දෝතින්ම නෙළා මගේම කරගන්නට ඇත්නම් යන සිතුවිල්ලයි. ඉක්බිතිව එකෙණෙහිම මම එකී මල මගේම කර ගැනීමට උත්සුක වූවෙමි. එම අලංකෘත නෙළුම් මල මට අයිති කර ගැනීමට මා හට වැඩි වෙහෙසක් යොදන්නට වූයේ නැත. මා එම මල අසලට ළං වන විට එය ද මා අසලට ඇදී ආවේය. මම කිසිඳු අපහසුවෙකින් තොරව එකී මල මා සන්තක කර ගතිමි.

එතැන් පටන් මාගේ වෙහෙසකර වූ ගමනේ තිබු වෙහෙසකර ගතිය, විඩාබර බව උඩු ගුවනට පාවී ගියේය. එතැන් පටන් මට ‘තවත් එක් දිනයක්’ උදා නොවිණි. මාගේ ගමන තව තවත් වේගවත් විය. එතැන් පටන් සිහින රාශියක් පොදි බැඳගෙන, මම විශාල බලාපොරොත්තු සහිතව නැවතත් ජීවන ගමන හා අත්වැල් බැඳ ගතිමි.

කලින් තිබූ වෙහෙසකර ගතිය වෙනුවට දැන් ඇත්තේ සිතේ අපමණ වූ සතුටකි. කලින් තිබූ අපහසුකාරී ගතිය වෙනුවට දැන් ඇත්තේ දෝතින්ම පොදි බැඳගත් සිහින රාශියකි. කලින් විඩාබර ගතිය සිතට තදින්ම කාවැදී තිබුණ නමුත් දැන් ඒ වෙනුවට ඇත්තේ බලාපොරොත්තු රැසකි. මම දෝතින්ම නෙළා ගත් නෙළුම් මල මාගේ නිරස වූ ජීවන ගමන ඉතා සතුටුදායක එකක් බවට පත්කර හමාරය.

දැන් මට ඒ මල නැතිවම බැරිය. අඳුරේ තිබු මාගේ ජීවන ගමනට ආලෝකයක් එක් කළ එකී නෙළුම් මල නොදැක මට එක් දිනක්වත් ජීවත් වන්නට නොහැකි විය. මම ඒ තරම්ම එම මලට ළෙන්ගතුකමක්, ආදරයක්, සෙනෙහසක් දැක්වූවෙමි.

මාගේ ගමනට හරස් කපන විවිධ බාධක රැසක් එක දිගට එන්නට පටන් ගත්තේ මාගේ ගමන වළක්වාලීමටය. නමුත් මාගේ සුරතෙහි රැඳී තිබු මල එකී සියලුම බාධකවලින් මාව බේරා ගත්තේය.

විශාල චණ්ඩ කුණාටු, මහා වරුෂා ආදියෙන්, මාගේ ආදරය දිනාගත් එම මල විසින්, මා දැඩි ලෙස ආරක්ෂා කරවූවද, මම ඒ මල ආරක්ෂා කරගැනීමට අපොහොසත් වුණෙමි. කරුමයක අරුමය! නොසිතූ වේලාවක එක්වරම හැමු චණ්ඩ මාරුතයකට හසුවී එම මල මාගේ දෑතින් ගිලිහී ගියේය.

මාගේ ජීවන ගමනේ අඳුරුම දුක්බරම දිනය වූයේ එදිනයි. දහසක් බලාපොරොත්තු සිහින පොදි බැඳගෙන මාගේ දෝතින්ම නෙළාගත් එම මල සමඟ ජීවන ගමනේ ඉදිරියට යාමට දෛවය මට අවසර දී නැත. මාගේ සියලු සිහින බොඳ වී ගියේය. සියලු සිතුම් පැතුම් සුනු විසුනු වී ගියේය. මම තනි වුණෙමි. මාගේ සියලුම සිහින සමඟ මගෙන් ඈතට පාවුණු ඒ නෙළුම් මල දැන් මට හිමි නැත. එම මලෙන් මා වෙන් කෙරූ එම චණ්ඩ මාරුතයට මම රෑ දිවා ශාප කරන්නෙමි.

මගේම දෑත හිමි මගේම නෙළුම් මලේ... නුඹ නැවත මා සොයා එනතුරු කල්ප කාලයක් වුවද බලා සිටින්නම්...

අයේෂ් ලක්ෂාන්
 

දෙබස

පෙම්වතා - ගත මනකල්
හරි හුරතල්
මගෙ මනමේ කුමරි
චොක්ලට් පෙත්තටත් යාවි
වැදි රජු ළඟ
ඇඹරී....

පෙම්වතී - පවන් පුත්‍ර,
සුර සෙන් හා
ධීර වීර හනුමන්...
තෙලෙන් මලෙන්
පුද දුන්නත්
පැන පැන යයි
වඳුරන්....

මොරටුව නිලංක මහේෂාන් ප්‍රනාන්දු
 

නික්මෙමි

හන්තානෙට නුඹ මුමුනන කඳුළු හීනයෙන්
මල්යායට මීපැණි ඉහිනවා හීනියෙන්

රොබරෝසිය අහුලා මුදු මලක පෙති අගින්
මගෙ දෑසෙහි තවරා ඉකිගසමි මහහඬින්

නෞකාවක් තනාන මේ සිඟිති පෙතිවලින්
නික්මෙමි මං නුවර වැවේ කඳුළු තොටුපළින්

දෙල්තොට දිසා රෝහලේ දිලේඛා ධීරසිංහ
 

ඉතිරිය

බොහෝ දෙනා හමුවේ
ඇතැම් අය රැඳෙති
ඇතැම් අය යති
යන්නෝ මෙන්ම
රැඳෙන්නෝ ද
දිනෙක යති
ඇතැම් අය මතකයෙන් ද යති
ඇතැම් අය මතකයන්
ඉතිරි කර යති
කෙසේ වුවද
ජීවිතයේ අවසන
ඉතිරි වනුයේ මතකයන් පමණි
(අන්තර්ජාලය ඇසුරිනි)

රාගම අජිත් පි‍්‍රයන්ත නවරත්න
 

එදා සහ අද

එදා
නුඹ ගැන
සිතෙන දෙයක්
ලියූ මම....
අද...
නුඹ ගැන...
ලියන දෙයක්
සිතමි...

කොළඹ ප්‍රභාත් කුමාර දේශප්‍රිය
 

ආදරය

අහුලා ගතිමි ලස්සන කිළිටි මලක්

නොපරවුණු ගසටත් සල්පිලටත්

පුදසුනටත් එපාවුණු

වැලිගම එන්.ඩබ්.පී.ලාල්
 

පියාණෙනි

කුරහන් යායේ
පිදෙන අරුණැල්ල ඔබයි
ඉරි තැළු පොළෝ තල
සිඹි දිය බිඳුව ඔබයි.
නෙතින් වැටෙන
කඳුළු පොදට
සිනහව ද ඔබයි
මුළු සංසාරේ
මා සෙනේ පිදූ
පියා ඔබයි...

පොල්ගහවෙල ලසන්ති සාගරිකා
 

ඇඳුම්‘

එංගලන්තයේ සිට
ගසා ගෙන ආවත්
සාරය උරා ගෙන නිසා
ඉවත දැමීමට සිතුවත්
පසුව ප්‍රයෝජනයට
ගැනීමට
ළඟ තබා ගන්නා
විසිතුරු බිත්තර
කටු ගොඩකි
පුතුට....
ලොකු
අම්මා දුන්...
පරණ ඇඳුම්

කෝට්ටේ ආර්.ඩබ්.ප්‍රීති විජේතිලක
 

පන්තිය

නවය වසරෙදි අපි හිටියෙ හරිම විනෝදයෙන්. හැම වෙලේම හිනා වෙනවා. එක එක විදියෙ සෙල්ලම් පෙන්නපු පිස්සු පැටවු ටිකක්. කොල්ලොත් එහෙමයි... කෙල්ලොත් එහෙමයි...

ඔය අතරෙ පොඩි පොඩි ආදර පළහිලව්වලට අපේ පන්තියත් ප්‍රසිද්ධ නොවුණම නෙමෙයි. බොලිවුඩ් නිළියන් පස්සෙ හැංගිලා දුවන පැපරාසි කැමරා ශිල්පින් වගේ ඉස්කෝලෙ ඉන්න කුළුදුල් ආදරවන්තයන් අල්ලන්න ප්‍රින්සිපල්ගෙ ඉඳන් ප්‍රයිමරියෙ ඇත්ත කියන චූටි නංගිලා මල්ලිලා දක්වාම හැමෝම ඒ දවස්වල උකුසු ඇස් දාගෙන හිටියෙ.

කුළුදුල් ආදරවන්තයො කියලා ලිව්වට මොකද ඒ අතරෙ හොඳ බහුශ්‍රැතයො, විශාරදලා, වගේම දාර්ශනිකයොත් හිටියා...

ඒ කාලෙදි ෂේප් එකේ පැත්තකට වෙලා හිටපු මටත් අපේ පන්තිය ඇතුළෙන්ම කට කතාවක් හැදුණා හැමෝම හිනාවෙවී ඔච්චම් කරනවා... කිසිම හේතුවක් නැතුව පන්තියෙ පිරිමි ළමයෙකුගේ නමක් කියලා විහිළු කරනවා. එයාටත් එහෙමයි. දරාගන්න බැරි තරම් හිනා වෙන්න පුළුවන් වෙන තරමටම ඒ විහිළු ඉස්කෝලෙ පුරාමත් පැතිරුණා...

ඔය අතරෙ අපේ ගැහැනු ළමයි ටිකක් අර පිරිමි ළමයා වටේම තමයි කැරකෙන්නෙ. එයා පස්සෙම දුවනවා... කරන වැඩ ගැන හොයනවා... ඒ විස්තර රස කර කර මටත් කියනවා. මම ගියේ නැත්නම් News Alerts මට ලියලා එවනවා. Breaking News සැණින් එසැණින් මං ළඟම. හරි ආදරෙයි කෙල්ලො ටික එයාට. අදටත්...

ඒත් මම... කිසිම කතාවක් නැහැ එයත් එක්ක. හරියට අපි අපිටම කතා කරන්නෙ නැහැ කියලා පොරොන්දු වෙලා වගේ. හිනාවක් නැහැ. මූණවත් බලන්නෙ නැහැ. යාළුවන්ගේ විහිළු වලට මට හිනා ගියත් තරහින් බැණපු එක තමයි කළේ.

ඒත් මට අහන්න දේවල් තිබුණා... ඇයි මෙහෙම මට ඔච්චම් කරන්නෙ? ඇයි ඔයා එපා කියන්නෙ නැත්තෙ? තව... නරියා, බූරුවා, ගොනා, ගොන් පැටියා... ඒත් කිසිම දෙයක් අහන්නැතුව ආඩම්බර මමත් මුනිවතම රැක්කා... කාලය ගෙවිලා ර්‍ණ/ඹ් ඉවර වෙලා ඒ/ඹ් වලට යාළුවො හැම තැනම විසිරිලා ගියා. එකට හිනාවුණ යාළුවො වෙන් වුණා... එයත් එයාගේ ගමට ගියා. ඔච්චමුත් නැවතුණා...

ඒත්, ඊට පස්සෙ අහම්බෙන් හරි මුණ ගැහුණොත් අපි කතා කරනවා. කරපු ඔච්චම් ගැන දෙන්නටම ගාණක් නැහැ. එකට හිනාවුණ යාළුවො දෙන්නෙක් වගේ අපි දෙන්නත් කතා කරනවා. හරිම යාළුකමක්... ඊයෙත් අහම්බෙන් මුණ ගැහිලා මමයි, මගෙ යාළුවයි, එයයි කතා කරන්න ගත්තා.

ගෙවුණ මිනිත්තුවෙදි අපිට අමතක වුණා මේ නිදහසේ හිනාවෙවී කතා කරපු පාසල් කාලය නෙමෙයි කියලා. එයා ඉන්ටර්වීව් එකකට ආපු ගමන්. අපිත් මේ කාලේ ජොබ් එකක් හොයනවා.

ඉස්සර වගේ සැහැල්ලු, සරල ජීවිත නෙමෙයි දැන් අපිට තියෙන්නෙ. හරිම සංකීර්ණයි. ඒත් ඒ අහඹු හමුවීම සුන්දර අතීත මතකයන් ගොන්නක් අපිට මතක් කරලා දුන්නා.

විනාඩියයි කතා කළේ. බස් එක ස්ටාට් කළා. කොච්චර දේවල් කතා කරන්න තිබුණත් ඒ පමාව, දුවන ලෝකය මැද අපිව තවත් අසරණ කරනවා කියන්න වගේ බස් එක ඇද්දුවා. යන්නම් අත වනලා අපි ඔයාට සමු දුන්නා...

“කාලයේ අකාල - සුළඟට ගසාගෙන ගියා - ඔබ හිටපු බස් එක...”

නදී - අවිස්සාවේල්ල


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්