දූරදර්ශී විපක්ෂයක වගකීම

 
 

සංවර්ධනය වන ශ්‍රී ලංකාවට හිරිහැර කරන්නේ ඇයි?

 
 

නිර්මාණශීලිත්වයේ සහ සංවිධාන ශක්තියේ පොදු සාධකය බැසිල්

 
 

ආයුර්වේද කොමසාරිස්ට ඇසිඩ් ගැහුවේ රුපියල් 75000 කටද?

 
 

එහෙම ඔළුවක් තියෙනවයැ?

 
 

මස්සිනාට බයේ ගෙදරින් පැනලා පන්සලේ ඉඳන් ඉස්කෝලෙ ගියා

 
 

හිරිමල් හිරු

 
 

ළෙන්ගතු ඇසුර පිළිකා රෝගියකුට දිව්‍ය ඖෂධයක්

 
 

ජනශක්ති රක්ෂණ සමාගමෙන් ’ලයිෆ් සේවර්’ විශ්‍රාම සැලසුම

 
 

ටිකිරි හමුව

 
 

ඉස්සර මගේ ඉහට උඩින් කපුටෙක්වත් ගියේ නැහැ

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

බුදු දහම ලොවටම ලබාදෙන බෞද්ධ විශ්ව විද්‍යාලයසාංචි

බුදු දහම ලොවටම ලබාදෙන බෞද්ධ විශ්ව විද්‍යාලයසාංචි

ජපානයේ ප්‍රධාන සංඝනායක ශ්‍රී ලංකා මහා බෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමි

ක්‍රි.පූ. 05 වැනි සියවසේ ඉන්දියාවේ සිට මෙහි පැමිණි ධර්මාශෝක රජුගේ පුත් මිහිඳු මාහිමියන් බුදු දහම හඳුන්වා දීමත් සමඟ අපේ රටේ බුදු දහම ප්‍රතිෂ්ඨාපනය වුණා. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසගෙන් සැදුම්ලත් බෞද්ධ ජනතාව එය පරපුරෙන් පරපුරට ආරක්ෂා කර ගත්තා. බෞද්ධ භික්ෂුන් වහන්සේ එහි පුරෝගාමී වූවා. එසේ ලංකාවේ බුදු දහම ප්‍රතිෂ්ඨාපනය වී කාලය ගෙවී යත් ම ක්‍රමයෙන් ඉන්දියාවේ බුදුදහම පිරිහෙන්නට පටන්ගත්තා. බෞද්ධ සිද්ධස්ථාන, වෙහෙර විහාර විනාශ වෙන්නට පටන් ගත්තා. අනගාරික ධර්මපාල චරිතය ගොඩ නැඟුණේ එවන් මොහොතකයි. එතුමා ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථානවලට වන විනාශය දැක ඒවා යළි ගොඩනඟන්නට, ප්‍රතිසංස්කරණය කරන්නට දිවි හිමියෙන් කැප වුණා. ඉන්දියා මහා බෝධි සමාගම පිහිටුවමින් බුදු දහම නඟා සිටුවීමට දැඩි ආයාසයක් දැරුවා. එතුමා ඇති කළ ඒ පුනර්ජීවනය ඉන්දියාවට යන එන අයට අදත් දැක බලා ගන්නට පුළුවන්.

කාලයාගේ ඇවෑමෙන් ආචාර්ය බාබාසා බම්බෙස්කර් මහා බෝධි සමාගමට සම්බන්ධ වුණා. ඔහු ඉතා සමීපව ආශ්‍රය කළේ ධර්මපාලතුමා ගේ පළමුවැනි ශ්‍රාවකයා වූ දේවප්‍රිය වලිසිංහයන්. මේ දෙදෙනා අතර තිබූ මිත්‍රත්වය නිසා ඔහු 1956 වසරේදී බුදු දහම වැලඳ ගත්තා. ලක්ෂ පහක පමණ පිරිසක් එදා එතුමාට එක්වුණා.

ඒ ආරම්භය ආශිර්වාදයක් කරමින් එදා සිට මේ දක්වාම ඉන්දියාවේ බෞද්ධයින් ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා. 2550 බුද්ධ ජයන්තියේ දී බොම්බායේ දී ලක්ෂ 15 ට වැඩි පිරිසක් බුදු දහම වැලඳ ගැනීම ඒ ගමන් මගේ තවත් සුවිශේෂී සිදුවීමක්.

අද වනවිට ඉන්දියාවේ බෞද්ධයින් ගේ සංඛ්‍යාව ජනගහනයෙන් ප්‍රතිශතයක් බවට පත්ව තිබෙනවා. එය සමස්ත ජනතාවගෙන් 3% ක පමණ ප්‍රමාණයක්. ඉන්දීය ජනගහනයත් සමඟ සසඳා බැලීමේ දී ඒ ප්‍රතිශතය ඉහළ අගයක්.

50 - 60 දශක වන විට ඉන්දියාවේ ප්‍රබලම බෞද්ධ නායකයින් බවට පත්වුණේ රාහුල් සංස්කෘත්, ජගදීස් කාශ්‍යප්, නාගාර්ජුන්, ආනන්ද කෞශල්‍යයන් භික්ෂු ධර්ම රක්ඛිත් වැනි භික්ෂුන් වහන්සේ. මේ පිරිසෙන් බොහෝ දෙනෙක් ලංකාවට පැමිණ බුදු දහම ඉගෙන ගත් අය. ඒ අතරට ඔරුගොඩ ධම්මරතන ස්වාමීන් වහන්සේ වැනි ධර්මපාල තුමා ගේ ශිෂ්‍යයින් ද එකතු වුණා. ඒත් ධර්මපාලතුමා ගේ ශිෂ්‍යයින් වඩාත් යොමු වුණේ අධ්‍යාපනික පැත්තට වඩා සංරක්ෂණ හා පරිපාලන කටයුතුවලටයි.

කෙසේ වෙතත් වර්තමානය වනවිට ඉන්දියාවේ බොහෝ බෞද්ධ සිද්ධස්ථානවල භික්ෂුන් වහන්සේ පන්සියයක් හයසියයක් වැනි විශාල සංඛ්‍යාවක් දැක ගැනීමට ලැබීම සුලබ දෙයක්. මේ භික්ෂුන් වහන්සේ අතර ඉතා සුළු ප්‍රමාණයකින් විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලැබූ උගත් භික්ෂුන් වහන්සේ සිටියත් බුදු දහම ගැන උසස් අවබෝධයක් නො ලැබූ පිිරිස සුවිශාලයි. උන්වහන්සේගෙන් ඉටු කෙරෙන්නේ පන්සිල් සමාදන් කරවීම වැනි සරල කාර්යයන් පමණයි. මේ භික්ෂුන් වහන්සේ පළමුවෙන් සඳහන් කළ භික්ෂුන් වහන්සේ ගේ ශිෂ්‍ය හාමුදුරුවන් ගේත් ශිෂ්‍යයින්. උන්වහන්සේලා නිතර නිතර ඇසුරු කරන්නට, උදව් උපකාර කරන්නට මටත් අවස්ථාව උදාවෙනවා.

මේ හැමෝම ථෙරවාදී බෞද්ධයෝ. ඒ ඇසුරේ දී, විශේෂයෙන් බුදු දහමේ පුනර්ජීවනය වෙනුවෙන් උත්කෘෂ්ඨ මෙහෙවරක් කළ අනගාරික ධර්මපාල තුමා සිහිපත් කරමින් මෙසේ විසිරී සිටින භික්ෂුන් වහන්සේට හොඳ ධර්ම ඥානයක් දිය යුතුය යන අදහස මගේ සිතේ ඇති වුණේ කාලයකට පෙර සිටමයි.

මේ අදහස ක්‍රියාත්මක කිරීමට සුදුසුම අවස්ථාවක් එළඹුණේ 2008 අවුරුද්දේ. ශ්‍රී ලංකා රජයේ අනුග්‍රහයෙන් සාංචියේ ඉදි කළ විශාල විශ්‍රාම ශාලාව විවෘත කරන අවස්ථාවේ දී. එම අවස්ථාවට එවකට ශ්‍රී ලංකා අගමැතිතුමා ඇතුළු මැති ඇමැතිවරු රැසක් සහභාගි වුණා. ඒ වගේ ම ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශයේ මහ ඇමැති ආචාර්ය ෂවරාජ්සිං චව්හාන් ඉන්දීය කොංග්‍රස් පක්ෂයේ මහ ලේකම් ආචාර්ය දිග්විජය සිං ඇතුළු තවත් පිරිසක් එක්වුණා.

විශ්‍රාම ශාලාව විවෘත කරන උලෙළේ දී කළ කතාවේදී මම මගේ අදහස ඉදිරිපත් කළා. ඒ වනවිට විශ්වවිද්‍යාලයක් ගොඩ නැඟීමේ දළ සැලැස්මක් මා අත තිබුණා.

මගේ කතාව අවසානයේ බොහොම සතුටට පත්වුණු මධ්‍ය ප්‍රදේශයේ මහ ඇමැතිතුමා විශ්ව විද්‍යාලය සඳහා සාංචි ප්‍රදේශයෙන් ඉඩම් අක්කර 65 ක් වෙන්කර දෙන බවට ඒ මොහොතේ ම පොරොන්දු වුණා. මේ අවස්ථාවට වත්මන් ඉන්දීය විපක්ෂ නායිකා ෂුෂ්මා සුරාජ් මහත්මියත් සම්බන්ධ වුණා. ඇය කීවේ ‘අද ඔබ වහන්සේ ඔය අදහස ඉදිරිපත් නොකළා නම් මුලින් ම ඒ අදහස දෙන්නේ මම’ යි කියලයි. සාංචි ප්‍රදේශය නියෝජනය කරන්නේ ද ඇයයි. ඉතින් මේ කටයුත්තට ඇයගේත් සහාය ලැබුණා.

කෙසේ වෙතත් විශ්ව විද්‍යාලය ගොඩනැඟීමේ කටයුතු ක්‍රියාත්මක කරන්නට කලින් විවිධ ගැටලු මතු වුණා. එය ජාත්‍යන්තර තත්ත්වයට පත් කිරීමට නම් මධ්‍ය ආණ්ඩුවේ අවසරය ගත යුතු වුණා. ලියාපදිංචිය කාටද කියන ප්‍රශ්නය පැන නැඟුණේ මහාබෝධි සමාගමත් ලියාපදිංචි කර නොතිබුණු නිසා.

ඉදිවීමට නියමිත සාංචි විශ්වවිද්‍යාලයේ අනුරූවක්

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා විසින් සාංචියේ දී විශ්වවිද්‍යාලයට මුල්ගල තැබූ අවස්ථාව. බානගල උපතිස්ස නාහිමියෝද මෙහි වෙති.

ඒ අතරෙම අපි විශ්ව විද්‍යාලය ගොඩනැඟීමේ කටයුතු සඳහා ජපානය, කොරියාව ආදී විවිධ රටවලින් සාංචියට දානපතියන් ගෙන ගොස් අපේ සැලසුම් ඉදිරිපත් කළා. විශ්වවිද්‍යාල සැලසුම නිර්මාණය කළේ ඉසුරුනාත් බුලත්කුලම මහතා. ඒ සඳහා යන වියදම ඉන්දියානු මුදලින් රුපියල් කෝටි තුන්සියයක්. මේ අතරම ලංකාවෙන් ඉංජිනේරු ශිල්පීන්, ගෘහ නිර්මාණ ශිල්පීන් සාංචියට ගොස් මේ පිළිබඳ විවිධ පරීක්ෂණ කටයුතු සිදු කළා.

ඒ අනුව පසුගිය වසරේ සැප්තැම්බර් මාසේ සාංචියේ බෞද්ධ විශ්වවිද්‍යාලයට මුල් ගල තැබීමේ ඓතිහාසික අවස්ථාව උදා වුණා. අනගාරික ධර්මපාල තුමා සිහිපත් කරමින් කෙරෙන මෙහෙවරක් නිසා ධර්මපාල සතිය යෙදුණ සැප්තැම්බර් 17 - 21 දින අතරින් 21 වැනි දින ඒ සඳහා තෝරා ගැනුණා.

ඒ උත්සවය පැවැත්වුණේ අපේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ගේ ප්‍රධානත්වයෙන්. එම මංගල අවස්ථාවට භූතානයේ අගමැති ඇතුළු තවත් රටවල් 30 ක පමණ නියෝජිතයින් සහභාගි වුණා. මුල් ගල තැබීමේ කටයුතු සිදු කෙරුණේ ඉතා අලංකාරව. එම අවස්ථාව හා සමගාමීව සැප්තැම්බර් 21, 22, 23 යන තෙදින තුළ ‘ධම්ම ධර්ම’ නමින් සම්මන්ත්‍රණ මාලාවක් පැවැත්වුණා.

එයට ලංකාවේ මහාචාර්යවරු, ආචාර්යවරු 60 ට වැඩි පිරිසක් සහභාගි වුණා. තායිලන්තය, කොරියාව, සිංගප්පූරුව ආදී බොහෝ රටවල බෞද්ධ විද්වතුන් විශාල ප්‍රමාණයක් ද එක් වුණා. ශ්‍රී ලංකා මහා බෝධි සමාගම හා ඉන්දියා පදනම සංවිධානය කළ මෙම සම්මන්ත්‍රණය මඟින් විශ්ව විද්‍යාලය ගොඩනැඟීමේ ආරම්භයට සුවිශේෂී එළියක් ලැබුණා. ඒ වගේ ම මුලදී අක්කර 65 ක් වුණු භූමි ප්‍රමාණය දැන් අක්කර 110 දක්වා වැඩි වී තිබෙනවා. මේ භූමියේ බෞද්ධ ධර්මය, පාලි හා සංස්කෘත භාෂාවන් ඇතුළු අධ්‍යයන අංශ රාශියක් මේ විශ්වවිද්‍යාලය තුළ ආරම්භ කිරීමට නියමිතයි.

අපේ බුදු හාමුදුරුවෝ දේශනා කොට වදාළේ ‘චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය, බහුජන සුඛාය....” යනුවෙන් සියලු ලෝක සත්වයාගේ හිත පිණිස, සුව පිණිස ධර්ම චාරිකාවෙහි යෙදෙන ලෙසටයි උන්වහන්සේ වදාළේ. ඒ සදූපදේශය ගුරු කොට ගනිමින් ඉන්දියාවේ සාංචි ප්‍රදේශයේ ඉදි කෙරෙන මේ ජාත්‍යන්තර විශ්ව විද්‍යාලයෙන් බෞද්ධ ධර්මය පිළිබඳ දැන ඉගෙන ගන්නට කැමැති දෙස් විදෙස් ජනතාවට අපමණ සෙතක් සැලසෙන බව අප ගේ විශ්වාසයයි.

ඒ නිසා ම මුල්ගල තැබූ මේ භූමියේ විශ්වවිද්‍යාලය ගොඩනඟන තුරු අදාළ අධ්‍යයන කටයුතු වෙනත් ස්ථානයන්හි ඇරඹීමට කටයුතු සූදානම් කෙරෙනවා. මේ වසර අවසන් වීමට පෙර අධ්‍යයන කටයුතු ඇරඹීම අප ගේ ඒකායන අරමුණයි.

එදා දේවානම් පියතිස්ස රජ දවස ඉන්දියාවේ සිට මිහිඳු මාහිමියන් බුදු දහමත් රැගෙන අපේ රටට වැඩම කළ නිසා මේ රටේ ජනතාව නව ජීවයක් ලැබුවා.

සුවිශේෂී මානසික නිදහසක් ලද ඔවුන් මිථ්‍යා විශ්වාස අතහැර නිර්මල බුදුදහම වැලඳ ගත්තා. ඒ දහමට අනුව ආර්ථික, සමාජීය මෙන් ම සංස්කෘතික කටයුතු ද වෙනස් වුණා.

මේ රටේ අදත් පවතින්නේ ඒ නිර්මල බුදු දහමයි. ඉන්දියාවේ සාංචි ප්‍රදේශයේ ඉදිවෙන මේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලය, ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ නිර්මල බුදු දහම නැවත ඉන්දියාවට හඳුන්වා දීමේ මහාරම්භයක් ලෙසයි මම දකින්නේ. එය මිහිඳු මා හිමියන්ට කරන කෘත ගුණ සැලකීමක් ද වනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්