නිදහසේ ප්‍රතිඵලය

 
 

බලවත් රටවල් රැසක් ශ්‍රී ලංකාව ගැන සතුටු වෙයි

 
 

පරණ යාළුවො කතාකරන්නෙ දරාගන්ඩ බැරි ඊර්ෂ්‍යාවකින්

 
 

විසල් මිනිසෙකු පිළිබඳ සොඳුරු මතකය

 
 

ක්‍රීඩා ලෝකයෙන්

 
 

ප්‍රින්සිපල්ගේ කනේ පාරෙන් මං එදා දේවතා එළිත් දැක්කා

 
 

හිරිමල් හිරු

 
 

කැස්ස ඇති දරුවන්ට පිටඋගුරේ යෑමේ ඉඩකඩ වැඩියි

 
 

රණවිරු අභිමංසල ව්‍යාපෘතියට ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දායකත්වය

 
 

ටිකිරි හමුව

 
 

මං බත් හැළියට වැලි දැම්මා පුළුවන්නම් කාපල්ලා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

 ගොඩවායේ ගිලුණු නැවේ කතාව මුහුදු පත්ලේ ගල් බංකුවක්

 ගොඩවායේ ගිලුණු නැවේ කතාව මුහුදු පත්ලේ ගල් බංකුවක්

ඉන්දියන් සාගරයේ උපාය මාර්ගික වැදගත් ස්ථානයක පිහිටි ශ්‍රී ලංකාව අතීතයේ සිටම නාවුක කටයුතු හා සබඳතා පැවැත්වූ බවට ඉතිහාස පුරාවෘත හා ලේඛන සාක්‍ෂි දරයි.

ගිලීගිය නැවේ නටඔුන්

වර්තමානයේ ඉහළ යන හා වැඩිදියුණු වන නාවුක ප්‍රවාහන කටයුතු සඳහා ගාල්ල කොළඹ ත්‍රිකුණාමලය හැරුණු විට හම්බන්තොට වරාය ද ඉදිවිණි.

එම වරායන් මඟින් වර්තමානයේ කරන කාර්යය අතීතයේ මාන්තොට ගෝකණ්ණ, නාග පට්ටම්, ගොඩවාය යන වරායන් මඟින් ඉටුවිය. ක්‍රිස්තු පූර්ව අවධියේ සිටම පෙර අපරදිග සම්බන්ධ කරන නාවික මධ්‍යස්ථානය බවට ලංකාව පත්ව තිබිණි.

මානව ශිෂ්ටාචාරයේ ඉතිහාසය සයුර හා බැඳේ. ඈත අතීතයේදී සයුරේ ගිලී ගිය ඇට්ලාන්ටික් නම් මහා ශිෂ්ටාචාරයේ පුරා වෘත්තය සැබෑ කරමින් 1973 දී සමුද්‍ර පත්ලේ (මැක්සින් ඈෂර්ගේ ප්‍රධානත්වයෙන්)) කළ ගවේෂණයකින් ඉතිහාසයේ එවන් ශිෂ්ටාචාරයක් පැවැති බව පුරාවිද්‍යාත්මකව තහවුරු වී තිබේ.

1970 දි ආචාර්ය රේ බ්‍රවුන් බහ මාස් දූපතින් එපිට සාගර පත්ලේ ද යටගිය අතීත ශිෂ්ටාචාරයක නටබුන් සොයා ගෙන ඇත.ඵ

ලංකාව අවට මුහුද නාවුක ගමනා ගමනයේ කේන්ද්‍රස්ථානයක් බවට සාක්‍ෂි සපයමින් ගිලීගිය නෞකා කිහිපයක තොරතුරු හමුවී ඇත. ඒ අතරින් පැරණිම නෞකාව ලෙස සලකනු ලබන්නේ ගොඩවාය වරායට ඔබ්බෙන් ගිලී ගිය නෞකාවයි.

දිරාපත්ව විසිරී ගිය තත්වයේ පවත්නා මෙම නෞකාව 2003 වසරේදී හඳුනාගෙන ඇත්තේ කිමිදුම්කරුවන් වන ජෙමින් කුමාර සහ සුනිල් විසිනි. ඔවුන් සයුරු පත්ලේ තිබි ගොඩ බිමට ගෙන ආ ගල් බංකුව හෙළිකළේ ගිලී ගිය ඉපැරණි නෞකාවක තොරතුරුය. ඒ ඔස්සේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මධ්‍යම සංස්කෘතික අරමුදල, යුනෙස්කෝ පැසිපික් ආසියාතික කාර්යාලය හා නෝර්වේ සංස්කෘතික අරමුදල එක්ව ගවේෂණය කොට එහි දැව කොටස් කාබන් 14 පර්යේෂණය සඳහා යොමු කරන ලදි.

ඇමෙරිකානු බීටා (Bita)භෞතික විද්‍යා පර්යේෂණ ආයතනය මඟින් ගොඩවාය නැවේ දැව කොටස් ක්‍රිස්තු පූර්ව පළමු හා දෙවන සියවස් අතර එනම් අදින් වසර 2000 හෝ 2200 කට වඩා පැරැණි බව තහවුරු කර ඇත.

(glassingot) වීදුරු අමුද්‍රව්‍ය

ලංකා ඉතිහාසයේ ආරම්භක වෘත්තාන්තය ද සාගරය හා බැඳී පවතී. එනම් විජයා ගමනයයි. මහින්දා ගමනයෙන් අනතුරුව යළි ඉතිහාසයේ අලුත් පිටුවක් පෙරළන්නේ ශ්‍රී මහා බෝධිය වැඩම වීම නම් ඉතිහාසගත සාක්‍ෂියයි. එහිදී ද නාවුක ක්‍ෂෙත්‍රයේ තොරතුරු ඉතිහාස ගතවී ඇත. සංඝමිත්තා තෙරණිය සම්ප්‍රාප්තවූ නෞකාවේ කොටස් උන්වහන්සේ වැඩ විසූ ආරාමයේ ප්‍රදර්ශනයට තබා තිබුණු බවට පැවැසේ. එසේ නම් ක්‍රි.පූර්ව 5 වැනි සියවසට එපිට නාවුක ක්‍ෂෙත්‍රය හා බැඳි ලාංකිකයන්ට ක්‍රිස්තු පූර්ව 1 – 2 සියවස්වලට අයත් නැවක් හමුවීම විශාල සම්පතකි. එතුළින් ලාංකේය ඉතිහාසයේ නව මංපෙතක් හමුවනු ඇත.

අනුරාධපුර යුගයේ මුල්කාල සීමාවට අයත් නැවක් ලෙස හඳුනා ගත හැකි ගිලී ගිය මෙම නෞකාව තුළ එම යුගයට අයත් කාල රක්ත මැටි බදුන් ද හමුවී ඇත. අනුරාධපුර යුගයේ මුල් කාලයේ හමුවන පුරාවස්තුවලට සමාන පුරාවස්තු මෙම ගිලී ගිය නෞකාව අසලින් සොයා ගත හැකි අතර ඒ සමඟ ඇඹරුම් ගලක්, ගල්බංකු, මැටි බදුන්, අමුද්‍රව්‍ය ලෙස භාවිතයට ගත හැකි( glassingot) වීදුරු කුට්ටි හමුවී ඇත.

මෙම වීදුරු අමුද්‍රව්‍ය ලෙස අනුරාධපුර යුගයේදී උළු වර්ණ ගැන්වීමටත් භාජන වර්ණ ගැන්වීමටත් පබලු සැකසීමටත් භාවිත කර ඇත. ඊට අමතරව වීදුරු භාජන නිෂ්පාදනය සඳහා ද උපයෝගී කොට ගෙන ඇත. නිල්, කහ, කොළ යන වර්ණ ත්‍රිත්වයකින් යුත් glassingot හමුවී ඇති අතර මෙය රසායනික ද්‍රව්‍ය එකතු කොට කරනු ලබන නිෂ්පාදනයකි. ලංකාවේ වීදුරු නිෂ්පාදනය කළ බවට සාක්‍ෂි ලෙස මන්නාරමෙන් හමුවූ වීදුරු උදුන රාජාංගනයේ ගිරිබාව වීදුරු නිෂ්පාදන උදුන සාක්‍ෂි දරයි. එසේ නම් මේ වීදුරු glassingot ලංකාවේ නිෂ්පාදිත ඒවාද අමුද්‍රව්‍ය ලෙස ලංකාවට ගෙන ආවේද යන්න අනාගතයේ විසඳා ගත හැකි වනු ඇත.

ගල්බංකුවක්,

ගොඩවායේ ගිලී ගිය නෞකාවෙන් හමු වූ ගල්බංකු හා ඇඹරුම් ගල් රක්ත වර්ණ කාලවර්ණ මැටි බඳුන් ඉන්දියාවෙන් මෙන් ම ලංකාවෙන් ද සමකාලීනව හමුවේ. අනුරාධපුර, යටාල, තිස්සමහාරාමය ප්‍රදේශවලින් නන්දි පාද සලකුණ හා මත්ස්‍ය ලකුණ සහිත ගල් බංකු හමුවී ඇත. එම ගල් බංකුවෙහි ඇති එක් ලාංඡනයක් හඳුනාගෙන නැත. එසේ නම් ගොඩවායේ සිට නාවුක සැතපුම් 4 ක් පමණ ඈතින් අඩි 120-125 ගැඹුරින් හමුවූ නෞකාව කුමන දේශයකට අයත් ද යන්න විමසා බැලිය යුතුව ඇත. අඩි 20 පමණ දිගින් යුත් අඩි 8 පමණ පළලින් යුත් මෙම නෞකාව කුමන හේතුවක් නිසා ගිලී ගියේ ද විමසා බැලිය යුතුවේ. ඒ යුදමය හේතුවක් ස්වභාවික හේතුවක් හෝ කාර්මික දෝෂයක් විය හැකිය.

තවදුරටත් එම නෞකාවේ තිබූ ගල් බංකු හා මැටි භාණ්ඩ හා(glassingot)වීදුරු කුමන දේශයකින් කුමන දේශයක් කරා නාවුක ප්‍රවාහනයේ යෙදවූවාද යන්න විමසා බැලිය යුතුයි. එහෙත් මෙතෙක් එම නෞකාවේ මිනිසුන් සිටි බවට සාක්‍ෂි හමුවී නැති බව පවසන පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සාගර පුරා විද්‍යා අංශයේ සහකාර අධ්‍යක්‍ෂ පාලිත වීරසිංහ මහතා පවසන්නේ නෞකාවේ සම්පූර්ණ වපසරියෙන් සීයට එකක්වත් තවමත් ගවේෂණය කර නොමැති බවයි.

කෙසේ වුවද නෞකාව කුමන ශිෂ්ටාචාරයකට අයත් ද, රටකට අයත් ද යන්න විමසා බැලීමට විධිමත් පර්යේෂණ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මධ්‍යම සංස්කෘතික අරමුදල, මුහුදු පුරාවිද්‍යා ගවේෂණ ආයතනය(INA)සමඟ ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්වවිද්‍යාලයය හා ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයය ඒකාබද්ධ පර්යේෂණයක නියැළේ.

මේ නෞකාව ගිලීගිය ගෙඩවාය වරායෙන් රැස්කර ගන්නා බදු මුදල් ගෝඨපබ්බත විහාරයේ දියුණුවට යෙදිය යුතු බවට සඳහන් සෙල් ලිපියක් ද අතීතයේ ස්ථාපිතකොට ඇත. ඉන් ප්‍රකට වන්නේ මෙම ප්‍රදේශය අතීත ලංකාවේ වාණිජ නගරයක්ව පැවැති ස්වර්ණමය ප්‍රදේශයක් බවයි. ගොඩවායේ ගිලී ගිය නෞකාවේ සුන්බුන් අතර සැඟැවී ඇති අතීත ලංකාවේ ශ්‍රී විභූතිය වසර දෙදහස් දෙසීයකටත් පසු නුදුරු අනාගතයේදී හෙළිකර ගත හැකි වනු ඇත. ඒ සමඟ අතීත ලංකාව සමඟ නාවුක සබඳතා ගොඩනඟාගත් රෝමය, චීනය, ඊජිප්තුව, අපි‍්‍රකාව, කෙන්යාව වැනි රටවල් පිළිබඳව ද ඒ අතීතය පිළිබඳව ද නැවුම් අතීත තොරතුරු මතුවනු ඇත.

අනාගත ලෝකය ගොඩනැඟෙන්නේ අතීතයේ පදනම මතය. නිවර්තන කලාපීය උණුසුම් මුහුදු දියෙහි වසර දෙදහසක් සැඟව සිටි යාත්‍රිකයෝ ආසියාතික පැසිපික් කලාපයෙන් හමුවූ පැරණිම නෞකාව ලෝකයේ නවීන පුරාවිද්‍යාඥයින් එක්ව ගවේෂණය කරනු ලබද්දී රාමඤ්ඤ දේශය සමඟ යුද වදින්නට බටහිර වෙරළ එකම කම්මලක් කොට පස් මසකින් නැව් තනා ඒ නැව් දළුවන් තොටට රැස් කරවා යුදට ගිය පැරකුම් රජුගේ සමයේ ලංකාවේ නැව් කර්මාන්තයේ අබිමන සිහි කරමින් අපි උදම් වෙමු.

ඡායාරූප – පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව හා සුසන්නා ස්නොව්ඩීන්

 

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්