අලුත් කඩේ ලිප්ටන් වටරවුමක් වීම

 
 

අගවිනිසුරුවරියගේ හැසිරීම තනතුරට ගැළපෙන්නේ නැහැ

 
 

ජේ. ආර්. විනිසුරුවන් හත් දෙනෙක් ගෙදර යවාපු බව අමතක කරන්න එපා ජනපති

 
 

ලෝක විනාශ කතාව විකුණන්ඩ හදාපු පට්ටපල් බොරුවක්

 
 

දෝනිගේ ගොවිපොළ

 
 

ක්‍රීඩා පිට්ටනියේ දී “කකුල් තුනේ” දිවිල්ලෙන් මං හැමදාම පළමුවැනියා

 
 

තමාට නොගැළපෙන යෝජනා හා පෙලඹවීම් ප්‍රතික්ෂේප කිරීමට ශක්තියක් තිබිය යුතුයි

 
 

දියවැඩියා රෝගීන් කකුලේ නියපොතු රවුමට කපන්න එපා

 
 

AMW දුන් පොරොන්දු ඉටු වේ

 
 

ටිකිරි හමුව

 
 

ආදරේ වැඩි හින්දා එයාගෙ ඇඟට ඇතුළුවෙන්න බැරිවුණා

 

»
»
»
»
»
»


මනාලිය මංගල උලෙළේ මෝස්තර නිරූපිකාව නොවෙයි

මනාලිය මංගල උලෙළේ මෝස්තර නිරූපිකාව නොවෙයි

දියණියන් සිටින අම්මාවරුන්ගේ එකම සිහිනය දෑකුල සිරිතට අනුව දියණිය විවාහ කර දීමය. එමෙන්ම මංගල දිනය දා ඈ හැඩකාරව සිටිනු දැකීමය. එමෙන්ම සෑම යොවුන් දියණියකගේම අදහස තම විවාහ මංගල්‍යය දා කාගේත් නෙත් සිත් ඇදබැඳ තබා ගන්නා සොඳුරු මනාලියක ලෙස හැඩවැඩ වීමය.

සුන්දර මනාලියක ලෙස හැඩ ගැන්වී සිටීමේ සිහිනය අතීතයේ පටන්ම සෑම තරුණියක වෙතම තිබිණි. වර්තමානයේදී ද එය එසේමය. ඇතැම් මනාලියන් දෙස ඇසිපිය නොහෙලා බලා සිටිද්දී තවත් මනාලියක දෙස එක්වරක් පමණක් බලා අහක බලාගන්නා අවස්ථා ද ඇත. මංගල උත්සව අවස්ථාවේ කැපී පෙනෙනම චරිතය මනාලිය හා මනාලයා වේ. එසේ කියා මනාලිය අනවශ්‍ය ලෙස සිරුර ප්‍රදර්ශනය වන අයුරින් මංගල ඇඳුම ඇඳීම සුදුසු ද? අද ඇතැම් මනාලියන් දෙස බැලීමේ දී අපට එවැනි ප්‍රශ්න මතු වේ. එමෙන්ම ලක්ෂ ගණන් මුදල් ගෙවා සොඳුරු පියකරු මනාලියක් නොව මෝස්තර ගොඩක් දැකීමට සිදුවීම කොතරම් නම් අභාග්‍යයක් ද?

එදා මනාලිය සහ අද මනාලිය අතර ඇත්තේ කොතරම් නම් වෙනසක් ද? මේ වෙනස හොඳින්ම දන්නේ කාලයක් තිස්සේ මනාලියන් හැඩ ගැන්වීමේ නිරතව සිටින්නවුන්ය. වසර විසිහතකට අධික කාලයක් හැඩවැඩ කලාවේ බොහෝ අත්දැකීම් ඇති මනාලියන් හැඩ ගැන්වීමේ කලාවේ ප්‍රමුඛයෙක් වන පේ‍්‍රමසිරි හේවාවසම් මහතා මේ වෙනස හොඳින්ම දන්නා අයෙකි. එමෙන්ම මුදල් නොව චාරිත්‍රවලට සහ සොඳුරු හැඩකාර බව තුළින් චාම් ලෙස මනාලියක හැඩ ගැන්වීම ඔහුගේ අරමුණයි. මේ ඔහුගේ සිතුවිලිය.

“මම මනාලියන් හැඩ ගැන්වීමට පෙලඹුණේ මීට අවුරුදු විසිහතකට පමණ පෙර. ඒ කාලේ අද වාගේ අමුද්‍රව්‍ය තිබුණේ නැහැ. අද නම් කොණ්ඩය හැඩ ගැන්වීමේ දී ඊට යොදාගන්න බොහෝ දේ තිබෙනවා. විවිධ සාරි වර්ග විවිධ මිල ගණන් යටතේ තිබෙනවා. මල් කළඹට යොදාගන්න පුළුවන් විවිධ මල් වර්ග තියෙනවා. මට මතකයි අපි මුල් කාලේ මල් කළඹ සඳහා යොදා ගත්තේ ඇන්තුරියම් මල්. ඒ කාලේ රෝස මල් හොයාගන්න අමාරුයි. ඒ වගේම මිල අධිකයි. නමුත් අද උඩවැඩියා මල් වර්ග ආදිය ඕනැ තරම් තියෙනවා. මේකප් වර්ග විශාල ප්‍රමාණයක් තිබෙනවා. සාරි වර්ගත් එසේමයි. එදාට වඩා අද අමුද්‍රව්‍ය තිබෙනවා වගේම නව ප්‍රවණතා තිබෙනවා.

අන්තර්ජාලය ඔස්සේ ලෝකයේ තිබෙන නව නිෂ්පාදන අපට ඇණවුම් කර ගෙන්න ගන්න පුළුවන්. රූපලාවණ්‍ය ශිල්පියකුගේ යුතුකමක් තිබෙනවා මේ අලුත් දේවල් හඳුන්වා දීමට. ඒ කාලේ නම් මනාලියක් හැඩ ගන්වන්න අය කළේ රුපියල් පන්සියක් වැනි අඩු මුදලක්. නමුත් අද තත්ත්වය ඊට වඩා වෙනස්. ඉතාම කනගාටුදායක දේ තමයි ලක්ෂ ගණන් දීලා හැඩවන ඇතැම් මනමාලියෝ මංගල උත්සවය දාට ඉන්නේ ප්‍රදර්ශන භාණ්ඩයක් වෙලා. අනවශ්‍ය ලෙස සිරුර නිරාවරණය කරගෙන.

මං කැමතියි මේ කතාබහේදී මනාලියන් වෙන්න ඉන්න තරුණියන්ට මෙන්ම දූලා ඉන්න අම්මලාට ඉතා විවෘතව මේ ටික කියන්න.

ශ්‍රී ලංකාව කියන්නේ දේශීයත්වය අගය කරන රටක්. මිල මුදල් තිබෙනවානම් අපට සුපිරි දේ කරන්න පුළුවන්. නමුත් අනවශ්‍ය ලෙස මංගල්‍යය වෙනුවෙන් මුදල් විසි කිරීම සුදුසු නැහැ. දියණියගේ මංගල්‍ය කියන්නේ හෙළ කුල සිරිතට, චාරිත්‍රවලට මුල්තැන දී කරන කටයුත්තක් මිස විලාසිතාවක් නොවෙයි. අපි මංගල්‍යයක් සැලසුම් කිරීමේදී මූලිකත්වය ලැබෙන්නේ මනාලියට. මනාලිය හැඩ ගැන්වීමේ කටයුතුවලට. මෙහිදී මනාලිය හැඩ ගන්වන ශිල්පියා සමඟ ඒ කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීම ඉතාම වැදගත්. සල්ලි තිබුණ පළියට මංගල්‍ය වෙනුවෙන් ලක්ෂ ගණනින් සල්ලි විසි කිරීම සුදුසු නැහැ. ඇතැම් අයගේ මතයක් තිබෙනවා මංගල්‍යයේ පළමු දිනට අඳින සාරිය මිලට ගත යුතුමයි කියලා. එහෙම ගන්න පුළුවන්කමක් තියෙනවානම් ගත්තට කමක් නැහැ. නමුත් අපි මෙහෙම කියමු, තමන්ට මුදල් වියදම් කිරීම අමාරුයි. එහෙම තියෙද්දිත් මුදල් වියදම් කිරීම විහින් කරදරයන් පටවා ගැනීමක් නේද? අන්න ඒ වගේ අවස්ථාවක පළමු දවසේ සාරිය කුලියට ගත්තට කමක් නැහැ. එහෙම නැතිව මනාලිය පළමු දවසේ සාරිය මිලට ගත යුතුමයි කියලා නියමයක් නැහැ. මංගල දිනය දා බොරු සෝබනයට මුදල් වියදම් කිරීම නම් මම කිසිසේත්ම අනුමත කරන්නේ නැහැ.

මනාලියක් වීමට පෙර ඇගේ පියකරු පෙනුම ලබා ගැනීම සඳහා මුහුණට සත්කාර කළ යුතුයි. මෙය ඉතාම ප්‍රවේශමෙන් කළ යුතු දෙයක්. හර්බල් කිය කියා ගෙදරට වෙලා යම් යම් දේ කිරීම සුදුසු නැහැ. එහෙම කරන්න ගිහිල්ලා ඇතැම් විට විෂබීජ යන්න පුළුවන්. නමුත් පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පිනියක, ශිල්පියකු ලවා මුහුණට සමට සත්කාර කරවා ගැනීම වඩා සුදුසු වේ.

මං මේ දේවල් කතා කරන්නේ මගේ අත්දැකීම් එක්ක. මනාලියන් මනාලයන් මංගල දිනයට සැරසිය යුත්තේ ගැළපෙන ඇඳුමකින්. ගැළපෙන ඇඳුම කියන්නේ, මනාලිය උඩරට විදිහට ඇඳලා මනාලයා ටයිකෝට් ඇඳීම නොවෙයි. මනාලිය උඩරට විදිහට අඳිනවනම් මනාලයා අඩුම තරමේ ආරියසිංහල ඇඳුමවත් ඇඳිය යුතුයි. මේ නොගැළපීම ඒත්තු ගන්නත් බැරිවුණ විට මම ඇතැම් මනාලියන් හැඩ ගැන්වීමට බාර නොගෙන තිබෙනවා. අපි කරන හැම දෙයකම පිළිවෙළක් තිබිය යුතුයි.

මංගල අවස්ථාවක මුල් තැන හිමි විය යුත්තේ චාරිත්‍රවලට. නැකැත් වලට. සිංහල ක්‍රමයට නම් හැම දෙයක්ම කෙරෙන්නේ නැකතට අනුව.. අපේ මඟුල් ගෙවල්වලට එකතු වුණු “ගොයින් අවේ” එකට මම පෞද්ගලිකව විරුද්ධයි. මනාලිය හැඩවෙන්නෙ නැකතට. එහෙම හැඩවන මනාලිය පිටත්වෙන්න ඕනෙත් ඒ ඇඳුමෙන්මයි. එකක් තමයි නැවත ඇඳුම් ඇඳීම අමතර වියදමක් දැරීමක්. ඒ වගේම අනෙත් එක මංගල්‍ය අවසන් කරන්න සූදානම් වන මොහොතේ හරිම කලබලයි. මනාලිය පැයක් දෙකක් මඟුල් ගෙදර නැහැ. ඇය ඇඳුම් මාරු කරනවා. මං මුලිනුත් කිව්වනේ මනාලිය කියන්නේ මංගල උත්සවයේ මෝස්තර නිරූපිකාවක් නොවෙයි.

ඒ නිසයි මම කියන්නේ ඇය මනාලයා සමඟ පිටත්විය යුත්තේ මංගල ඇඳුමින්මයි. අනෙක් අතට එය කොතරම් සොඳුරු දසුනක් ද? අද ඇතැම් මංගල උත්සවවල මල් කුමරියෝ පස්හය දෙනෙක් ඉන්නවා. දෙවැනි මනාලියෝ හතර පස් දෙනෙක් ඉන්නවා. එහෙම අවශ්‍ය නැහැ. අඩුම තරමේ මල් කුමරියෝ දෙදෙනෙකුයි දෙවැනි මනාලියෝ දෙදෙනෙකුයි හිටියම එය හොඳටම ප්‍රමාණවත්.

ඇතැම් අවස්ථාවල මනාලියෝ වෙන්න ඉන්න තරුණියෝ කියනවා ඇයට මංගල දිනයේදී කොටට අන්දන්න සාරි හැට්ටයේ කර වැඩියෙන් කපන්න, ඇතැම් තැන් නිරාවරණය කරන්න. මේ ආදි වශයෙන් කියන අයත් ඉන්නවා. මෙහිදී රූපලාවණ්‍ය ශිල්පියාට අයිතියක් තිබෙනවා එසේ නොකර සිටීමට හා ඔවුන්ට කරුණු පහදා දීමට. මට මතකයි මට එවැනි යෝජනා ගෙන ආව ඇතැම් තරුණියන්ට ඇන්දවීම මම ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මනාලියන් හැඩ ගැන්වීම මුදල් ඉපයීමේ මාර්ගයක් වුණත් එය ඉතා හොඳ කලාවක්. අපි මේ කලාවේ ගෞරවණිය බව රැකිය යුතුයි.

යම් යම් අයගේ හැඩතල අනුවයි ඔවුන්ගේ සිරුර හැඩ කරන්න පුළුවන්. මේ දේවල් රූපලාවණ්‍ය ශිල්පියා එක්ක කතා කළ යුතුයි.

මවක දියණියක ප්‍රසූත කළ පසු ඒ අම්මට සිහිනයක් තියෙනවා. තමාගේ දියණිය හැඩකාර මනාලියක වනු දැකීම. සෑම දියණියකටම සිහිනයක් තිබෙනවා සොඳුරු මනාලියක වීමට. යම් දිනෙක දියණිය පතිකුලයට යන දා මව දුව වෙන්න බැහැ.

මං එහෙම කියන්නේ දුවගේ මඟුල් ගෙදර දා අම්මා දුවටත් වඩා මෝස්තර කරලා තරුණ වෙන්න හදනවා. අම්මා කියන්නේ උතුම් පදවියක්. ඇය ඒ තැන ආරක්ෂා වෙන ලෙස ඇඳුම් ඇඳිය යුතුයි. දියණිය හැඩකාර විය යුතුයි. නමුත් ඇය ඇගේ මංගල දිනය දා තොරොම්බෝල කරත්තයක් නොවිය යුතුයි. මල් කුමාරියක් නොවිය යුතුයි. ජුවලරි ෂොප් එකක් නොවිය යුතුයි.

ඇතැම් මංගල උත්සවවල සංවිධායක වෙන්නේ වීඩියෝ ශිල්පියා නැතිනම් කැමරා ශිල්පියා. අද තියෙන්නේ අලුත්ම කලාවක්. මංගල උත්සවවල ගන්නා ඡායාරූපවල අම්මලා තාත්තලා නෑදැයෝ හා විශේෂ චාරිත්‍ර කරන අවස්ථා නැහැ. මංගල්‍ය ඉවර වෙලා ඡායාරූප ඇල්බමය බැලුවාම එහි ඉන්නේ මනාල යුවළ පමණයි.

මට අවසානයට කියන්න තියෙන්නේ මෙච්චරයි නැකැත් නැති චාරිත්‍ර වාරිත්‍ර නැති අම්මා තාත්තා ඥාතින් නැති මංගල ඡායාරූප මොකට ද? අපිට කවදාහරි අපේ ජීවිතයේ සොඳුරුම දිනය කියලා ඒ ඡායාරූ පෙරළා බලද්දි ඒ ඡායාරූපවල අම්මා තාත්තා ඥාතින් නැත්නම් එයින් ඇති ඵලය කුමක් ද?

ඒ නිසයි මං මෙහෙම කියන්නේ සල්ලි තිබුණ පළියට සල්ලි විසිකරලා තේරුමක් නැති මංගල උත්සව කරන්න එපා. ඉතාම චාම්ව පියකරු ලෙස සොඳුරු ලෙස මනාලිය ලෙස සැරසීමයි දියණියනි ඔබගේ මංගල දිනය දා සිදුවිය යුත්තේ.

අද

කතාබහ

පේ‍්‍රමසිරි හේවාවසම්


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්