රනිල් ගේ “ලැප් ටොප්” කතාව

 
 

පාර්ලිමේන්තුවේ උත්තරීතර බව රැකීමට සැමගේ ආශිර්වාදය අවශ්‍යයි

 
 

ගොවින් හා රජයේ සේවකයන් ලක්ෂ 28කට සෙත සලසන අයවැයක්

 
 

ආතර් සී. ක්ලාක්ගේ සිහිනය සැබෑකරමින් අපේ රටින් යවන ප්‍රථම චන්ද්‍රිකාව

 
 

සු.මිගෙන් අහන්න

 
 

මගේ දෙවැනි අම්මා මගේ ඉස්කෝලෙ

 
 

අමුමස් කන ගුරුතුමී

 
 

ඇදුම ඉන්හේලරය නිවැරැදිව භාවිත කරන හැටි ඉගෙන ගන්න

 
 

ඩිමෝ අංශ 5ක් ඉදිකිරීම් සහ සංවර්ධන ආයතනයේ ඇගැයුමට

 
 

ටිකිරි හමුව

 
 

සාමාට යක්ෂයන් සිවු දෙනකුගෙන් හිරිහැර

 

»
»
»
»
»


මගේ දෙවැනි අම්මා මගේ ඉස්කෝලෙ

මගේ දෙවැනි අම්මා මගේ ඉස්කෝලෙ

- මහාචාර්ය සුනිල් ආරියරත්න

අද නුගේගොඩ සාන්ත ජෝන්

මගෙ ස්කෝලෙ තමයි ඇත්තටම මගේ ජීවිතයේ පටුන. ඒක නිකමට කියන කතාවක් කියල නම් හිතන්න එපා. මේ ලිපිය කියවගෙන යනකොට ඒක ඔබට නිතැතින්ම දැනේවි. අද මා නොයෙක් ක්ෂේත්‍රයන්වල යම්බඳු කාරියක් කරනවා නම් ඒකට කෙළින් ම බලපෑවේ පාසල. පාසල තමයි මගේ දෙවැනි අම්මා.

මේ අපූරු ප්‍රකාශය මා හමුවේ කළේ ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ මහාචාර්ය සුනිල් ආරියරත්න. එතුමා චිත්‍රපට මාධ්‍ය, ගීත රචනය, කවිය, ශාස්ත්‍රීය පර්යේෂණ මතු නොව තවත් ක්ෂේත්‍ර ගණනාවක කීර්තිමත් චරිතයක්. අපි එතුමාගේ හඬින් ම ඉතිරියත් දැනගනිමු.

ස්කෝලයට උප්පැන්නයක් දෙන්ඩ නම් ඒකෙ ඉතිහාසය ටිකක් හෝ කියන්න වෙනවා. 1915 කියන්නෙ බටහිර ආධිපත්‍යයට අපේ රට යටත්ව තිබූ කාලයක්. ඒ කාලෙ නුගේගොඩ සාන්ත ජෝන් දේවස්ථානය බාරව ඉඳලා තියෙන්නෙ ජේ.එච්. වික්‍රමනායක නම් පියතුමෙක්. එතුමන්ගේ අදහසක් මත 1915 මැයි මස 05 වැනිදා සිසුන් 14 දෙනෙකුගෙන් මේ පාසල ඇරැඹිලා තියෙනවා. විදුහලට සාන්ත ජෝන් යන නම තැබුණේ ද එදායි. පුරෝගාමීන් වශයෙන් ජේ.එච්. වික්‍රමනායක පියතුමාට අමතරව මුල්ගුරු ඊවා අබේනායක මහත්මිය, කොන්ස්ටන් ඒකනායක මැතිනිය හා ෆ්ලෝරා මැතිනිය වගේ ම විදුහල සඳහා ඉඩමක් පරිත්‍යාග කළ බාරොන් ද ලිවේරා මැතිඳුන් ද ගෞරවයෙන් සිහිපත් කළ යුතු යි.

අපේ තාත්තාත් අම්මාත් අපිත් එක්කාසු වූ ඒ සුන්දර කුටුම්භය තියෙන්නෙ නුගේගොඩ නගරය මැද්දෙ තිලක උයනෙ. අපට පාසලට එතරම් දුරක් නෑ. අයියා කුරුවිට බණ්ඩාරටත් මටත් වෙලාවට තාත්තා අම්මාගෙන් සංඥාව ලැබෙනවා ස්කෝලෙ යන්ඩ. පාසල් වැඩට උනන්දු වුණත් උදේට තව ටිකක් ගුලි ගැහිලා කොම්බුවෙ පිළිවෙලට ටිකක් නිදාගන්ඩ අපිත් කැමැතියි. ඒත් තාත්තගෙත් අම්මාගෙත් සද්දෙ ඉර එළිය වැටෙන්න වැටෙන්න වැඩි වෙනවා. ඒත් ඒ හඬ අපේ ජීවිතවල පසුකාලීන යසෝරාවය නැ¼ගූ මුල් බිජුවට වපුල හීන්කෙඳිරියක් බව අද අපට හිතන්ඩ පුළුවන්.

ඒ කාලෙ සාන්ත ජෝන් පිරිමි පාසල වගේ ම ටිකක් එහායින් සාන්ත ජෝන් බාලිකා විද්‍යාලයත් තිබුණා. පසුකාලීනව ඒ බාලිකාව තමයි සමුද්‍ර දේවි බාලිකාව වෙන්නෙ. ඒ කාලෙ අපෙ විදුහල්පති හැටියට හිටියෙ නවරත්න රාජා කියලා දෙමළ ජාතිකයෙක්. එතුමා ක්‍රිස්තියානි ලබ්ධිකයෙක්. පාසලේ ආගමේ කටයුතු සිද්ධ වෙන වෙලාවට බෞද්ධ ගුරුවරුන් හා ළමයින් හොරෙන් පන්සිල් ගන්නවා. භාවනා කටයුතු කරනවා. කාලය 1955 දී විතර. මේක ප්‍රින්සිපල් හා ක්‍රිස්තියානි ගුරුවරු දන්නවා. ඒත් බලවත් ලෙස එරෙහි වෙන්නෙ නෑ. අවසර දීලාත් නෑ. නොදන්නවා වගේ ඉන්නවා. ඒ කියන්නෙ බෞද්ධ කටයුතු හොරෙන් කරගන්ඩ නොනිල අවසර ලැබිලා.

මට මතකයි විවේක කාලය හඟවන සීනුව නාද වූ ගමන් මාත් අයියත් දුවන්නෙ ස්කෝලෙ වැට ළඟට. අපෙ අම්මා ලෝකයේම මහා දයාවන්තිය නොවරදවාම උණුවතුර බෝතලයකට දාගෙන තේ ගෙනල්ලා වැටෙන් එබෙන බව දන්නා නිසා. අපට තේ ටික දීලා හිස අත ගාලා අම්මා ඊළඟට ගාටන්නෙ අපෙ සහෝදරියගෙ ඉස්කෝලෙ ගාවට. මං ඇය ගාටනවා කියලා කිව්වෙ ඇය හෙමින් හෙමින් එහෙම එන්නෙ දරු කැක්කුමට මිස පුළුවන්කමට නොවන බව දන්නා හින්දයි.

පුංචි කාලෙ ඉඳන් ම මගෙ හිත ගියේ අයියා තිලකරත්න කුරුවිට බණ්ඩාරගෙ වගේ ම සාහිත්‍ය හා සෞන්දර්ය කලා පැත්තට. ක්‍රීඩා අංශයට මා කැමැත්තක් ඇත්තෙම නෑ. ඒත් ළමයෙක් වුණා ම සාහිත්‍ය වගේ ම ක්‍රීඩාවත් ඇසුරු කරන්නට ඕනෑය කියලා වැඩිහිටියන් නිතරම කියන නිසා මං දවසක් ඉස්කෝලෙ ක්‍රීඩා තරගයකට අවුරුදු 8 න් පහළ දුර පැනීම ඉසව්වට ඉදිරිපත් වුණා. දැන් තරගය පවත්වන දවස. ‘රනින්ෂෝට්’ එකයි බැනියමයි ඇඳගෙන මං ඉස්කෝලෙ පිට්ටනිය පුරා හැම තැනම දැන් තරගය පවත්වන තැන හොයනවා. හොටු පෙරාගෙන අඬ අඬා හෙව්වත් සවස් වනතුරු මට එතැන හොයාගන්ඩ බැරි වුණා. අන්තිමට තරගෙත් පැවැත්විලා. මං නෑ. ඒ තමයි මගේ ක්‍රීඩා අංශයේ පළමු සහභාගිත්වය හා අවසන් සහභාගිත්වය.

අපේ ස්කෝලෙ හිටියා පුදුමාකාර දක්ෂ සංගීතඥයෙක්. එතුමා තමයි සංගීතයට ළමයින් පුහුණු කළේ. බී. වික්ටර් පෙරේරා සංගීත ගුරුතුමාගේ සංගීත වාදන අසන්න මං හරිම ආසයි. හොරෙන් සංගීතය විඳින ගමන් ම මං සෞන්දර්ය විෂය හැටියට තෝරා ගත්තෙ හීන් බබා ධර්මසිරි නර්තන ගුරුතුමාගේ නැටුම් පන්තිය. එතුමාත් බොහොම පරසිඳු නැට්ටුවෙක්. හැබැයි ඉතින් හරියට මැන්ඩිය තියලා නැටුමට සූදානම් නොවන හැම විටම කකුල්වලට තට්ටම්වලට වදිනවා ඇට්ටේරිය කෝටු පාර. අම්මගෙන් බීපු කිරි මතක් වෙනවා දවල් තරු පෙනෙනවා. ඒ රිදුම් දෙන පහරට. මං බෙර ගහන්ඩ පුරුදු වෙන්නෙ ඒ නැටුම් පන්තියේදී. ටික දවසකින් මට හොඳට බෙර ගහන්ඩ පුළුවන් වුණා.

අපේ කාලෙ ගුරු සිසු සබඳතාව හරිම ප්‍රබලයි. ගුරුවරයා වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම පරමාදර්ශී පුද්ගලයෙක්. අතරින් පතර එහෙම නැති අය සිටියා වෙන්නට පුළුවන්. විශ්ව විද්‍යාලය තුළත් මා හැමවිටම සිසුන් එක්ක ඉන්නෙ ඒ ගුරු ආභාසය නිසා වෙන්නටත් ඇති. මට විශේෂයෙන් මතක් වන ගුරු දෙපළක් ඉන්නවා. ගුණදාස පෙරේරා මහත්මයා හා ඔස්ටින් ද සිල්වා මහත්මයා. ඔස්ටින් මහත්මයා ටිකක් වාමාංශික අදහස් තිබුණු කෙනෙක්. මා නමෝ විත්තියෙන් ගුවන් විදුලියට යන්නෙ ඔස්ටින් පෙරේරා ගුරුතුමා නිසයි. පහේ හයේ පන්තිවල සිසු කණ්ඩායමක් ගයන බණ්ඩාරනායක සමරු ගීයක් ගයන්ඩ අපි ගියා. ගීතය ලීවේ ඔස්ටින් සර්. “ලංකා මාතා නිදහස් සටනේ... බණ්ඩාරනායක නාමය දිලුනේ.” මේ එම ගීයේ වචන පෙළක්.

මාත් අර කණ්ඩායමේ ගායකයෙක් විදිහට එදා ගුවන් විදුලි තැටිගත කිරීමට සහභාගි වුණා. 1962 දී සිද්ධ වුණ මේ සුන්දර අවස්ථාවේ පටිගත කිරීම් ශිල්පි වශයෙන් කටයුතු කළේ නාරද දිසාසේකර මහත්මයා. ඒ වනවිට ‘රන්මුතු දූව‘ තිරගත වෙලා. කවුරුත් එතුමා හඳුන්වා දුන්නේ මේ ‘රන්මුතු දූවේ’ ගලන ගඟකි ජීවිතේ කියන ගායකයා කියලයි.

ගුණදාස පෙරේරා සර් හොඳ රසවතෙක්. එතුමා ‘හදවතින් හරසර’ ‘දර දිය ඇද්දෙමි’ වගෙ නවකතා ලියලා තිබුණා. ‘සෙනෙවි පදවිය’ කියලා නාට්‍යයක් හැදුවා. කොටින් ම ඒ නාට්‍යයේ චරිතයක් මාත් රඟපෑවා. තිලක් අයියත් රඟපෑවා. රොබින් තම්පෝ මේ නාට්‍යයට ආසාවෙලා ඒක චිත්‍රපට ගත කරන්න තිරනාටකය ලියන්නැයි අපේ සර්ට කීවා. ඒත් චිත්‍රපටිය නම් කෙරුණේ නෑ.

එතුමා මාත් රැගෙන ආර්. ටී. චිත්‍රාගාරයට ගියා තම්පෝ මහත්මයා හමුවෙන්න. ඒ වෙලාවේ මට මතකයි එල්.එම්. පෙරේරා ගේ ‘හතර මහ නිධානය’ චිත්‍රපටිය සංස්කරණය කටයුතු සිද්ධ වෙනවා. අපි ඒ කාලෙ 7 - 8 ශ්‍රේණිවල ඉන්න ඇත්තෙ... එතැන එදා හිටියා කොණ්ඩය කර්ල් කැමරාකරුවෙක්. ඇහුවාම එයා තිමති වීරරත්න කියලා කීවා. එදා තමයි මං මුලින් ම තිමති මහත්මයා දුටුවේ. නවකතාව, කවිය, කෙටිකතාව වැනි සාහිත්‍යාංග ගැන මගේ කුහුල වැඩුණේ ගුණදාස පෙරේරා වැනි ගුරුවරුන් නිසයි. ඔස්ටින් සිල්වා මහත්මයා වගෙ අය ලෝක දේශපාලනය, රටේ විත්ති, ආර්ථිකය ගැනත් අප අවදි කළා. සිංහල සාහිත්‍ය සංගමයේ බෞද්ධ සංගමයේ කටයුතු කරන්ට ගුරුවරු අප මෙහෙය වූවා.

පාසලේ විවිධ ප්‍රසංගවල මාත් නොයෙක් ක්‍රියාකාරකම් කළා. මට මතකයි එක්තරා ප්‍රසංගයක අපි ළමයින් කට්ටියක් (50 ක් විතර) පෙරහරක් නිරූපණය කළා. සුසිල් ප්‍රේමරත්නගේ ජනප්‍රිය ගීයක් පසුබිමේ ඇසෙද්දි පෙරහර එන්නෙ.

හේවිසි නාදේ - හඬ පැතිරෙන්නේ -
ගුවනෙහි ගී රැව්දෙන්නේ
දැන් දැන් එන්නේ පෙරහර වාගේ -
සෙංකඩගල නුවරේ

සුනිල් අතින් ලියූ සමරුවක්

පෙරහර එනකොට ලී කෙළි, හිටි පිනුම්, බඩ පිනුම්, අලි මේ සේරම එනවා. එක වෙලාවක නැට්ටුවෙක් වෙන මා ඊළඟ මොහොතේ වෙනත් ඉසව්වකින් පෙරහරට එකතු වෙනවා. ඒ කාලෙ අයියා නාට්‍යයක් ලීවා ‘අමල් බිසෝ’ කියලා. ඒ නාට්‍ය රඟ දැක්වූවේ පාසල් වේදිකාවේ. ඊට පස්සෙ එතුමා ලියූ ‘දෙන දෙයියො’ ‘මඟුල්කෑම’ වගෙ නාට්‍ය අපි තවදුරටත් පාසල් වේදිකාවේ රඟ දැක්වූවා. අපේ තිලක උයනෙ එක නාට්‍යයක් රඟ දක්වන්ඩ මටත් අයියටත් බොහොම ආසාවක් ඇති වුණා. අම්මගෙ සාරි වියන් ඇඳක් වටේට දාලා වේදිකාවක් හදාගෙන ‘අමල් බිසෝ’ නාට්‍ය එහිත් රඟ දක්වලා අපි විනෝද වුණා. හැබැයි! මේක ටිකට් කඩලායි ගෙදරදි වුණත් පෙන්නුවේ, ටිකට්වලින් ලබන ආදායමට වඩා අපෙ අම්මා එන අයට කරන සංග්‍රහවල වියදම වැඩියි. ඇත්තටම අපි නාට්‍ය පෙන්නුවාම පාඩුව අම්මටයි. ඒත් අම්මා මේවා සතුටින් බලාගෙන හිටියා.

ඉස්කෝලෙ සාහිත්‍ය සංගමයේ විතරක් නෙවෙයි. පළාතේ විශේෂයෙන් දෙහිවල ගල්කිස්ස කථික, විවාද, පද්‍ය රචනා තරගවල පදක්කම ඉස්කෝලෙට ගේන්ඩ මටත් අයියටත් හැකි වුණා. පාසල වෙනුවෙන් සමරු බොහෝ විට සකස් කළේ මමයි. පාසලේ ගුරු දෙවිවරු ඉන්නවා වගේ ම ඇතැම් විට හිත කීරි ගහන අත්දැකීම් ගෙනෙන දේවල් සිද්ධ වෙන්ඩ පුළුවන්. ඒත් ඒවා දරාගෙන ඉදිරියට යන්ඩ අප පුරුදු වෙන්න ඕනෑ.

එක්තරා ක්‍රීඩා තරගයකදී පාසල වෙනුවෙන් සමරුවක් මුද්‍රණය කරදීමට බාර වුණේ මටයි. මං හතර වටේ ඇවිදලා වෙළෙඳ ව්‍යාපාරිකයන්ගෙන් මුදල් හොයාගෙන දවස් ගණනාවක් දුක් විඳලා සමරුවක් මුද්‍රණය කරගත්තා. එතකොට තිලක් අයියා පාසලෙන් පිටවෙලා පත්තර කන්තෝරුවක වැඩ කරනවා. කොහොම හරි සමරුව මුද්‍රණය කරගෙන විදුහල්පතිතුමා හමුවුණාම පුදුම දෙයක් වුණේ. මං ඒකෙ පාසලේ ගුරුන්ගේ ලිපි කීපයක් ද පළ කළා. සෝදුපත් කියවා පිටු සැකසුම් කළා. සංස්කරණය සුනිල් ආරියරත්න කියලත් කවරයේ දැම්මා. විදුහල්පතිතුමා කිසිම තෙතමනයක් නැතුව අර මගේ නම තිබූ කොටස කතුරකින් කපා වෙන් කරලා සමරුව බෙදන්ඩ නියම කළා.

මට ජීවිතයේ මුල් වරට ගුරුවරයෙක් නිසා ඇස් දෙකට කඳුළු ඉනුවා. මගේ යෝධයා වීරයා අයියා. අයියට කීවා. අයියා ඇවිත් මාවත් ඇදගෙන කෙළින් ම ගියේ එදා හිටපු විදුහල්පතිතුමන්ගේ කාමරයට. “ඇයි, මේ විදිහට ළමයින් උදාසීන කරන්නේ. මේ සල්ලි හොයාගත්තෙත් හැමදේම කරගත්තෙත් එයා නේදැයි! අයියා විදුහල්පතිගෙන් විමසුවා. විදුහල්පතිතුමා පුදුම වෙලා තුෂ්නිම්භූත වෙලා බලා හිටියා. ගුරුවරුන්ගෙත් එකඟතාවක් නොවීම නිසා විදුහල්පතිතුමා තමන්ගෙ වැරැද්ද පිළිගත් ලෙස නිහඬ වුණා. පසුගිය කාලේ මේ පාසල් මව මා වෙනුවෙන් උපහාර උලෙළක් පැවැත්වූ අවස්ථාවේත් මා ඒ පිළිබඳව සඳහන් කළා. ගුරුවරුන් පූජනීයයි. වන්දනයට සුදුසුයි. අප ගුරුකම රැකගන්ඩ හිතන්න ඕනෑ.

ඔස්ටින් සිල්වා සර් ගුණදාස පෙරේරා සර් ළමයින්ට තමන්ගෙ පොකැට් එකෙන් වියදම් කරලා පොත් ගෙනැත් දුන්නා. ඒ ළමයින් අතර සාහිත්‍ය තරග පවත්වලා ජයග්‍රාහකයාට. මටත් ළිහිණි පොත් ගුණසේන පොත් ගොඩක් ඒ විදියට ලැබුණා. ගුණසේන සමාගම විසින් පරිත්‍යාග කරන ලදී කියලා සීල් එක ගහලා බාර දුන් පොත් කට්ටල මා ළඟ අදත් සුරැකිව තිබෙනවා.

මට අවුරුදු 11 දී මා පළමු පොත ලියන්නෙ මේ පෙලඹවීමෙන්. ‘අහිංසකයෝ’ පොතේ නම. තනිකරම මේ පොත අතින් ලියන ලද්දක්. පිටපත් දෙකයි තුනයි අදත් ඒ පොත මා ළඟ තිබෙනවා. ඒ වෙලාවට ගුරුවරු රැස්වීමක් කැඳවලා පුදුම වර්ණනාවක් කරනවා මට තවම මතකයි.

දෙහිවල ගල්කිස්ස නගර සභාව විසින් පවත්වන ලද විශේෂ පද්‍ය රචනා තරගයක් ගැන මට සුවිශේෂී මතකයක් තිබෙනවා. එතකොට මට අවුරුදු 12 ක් විතර ඇති. ක්ෂණිකව දෙන විෂයයක් යටතේ එළිසමය ඇතිව කවි දෙකක් පබඳින්න ඕනෑ විනාඩි 15 ක් ඇතුළත. මේක තමයි තරගය. අපිට එදා ලැබුණු මාතෘකාව තමයි පෑන. මං විනාඩි 5 කින් කවි දෙකක් ලියලා සංවිධායකයන්ට දුන්නා. ඒ අය පුදුම වෙලා මට ප්‍රථමස්ථානය ලබාදීලා තේ වතුරත් දුන්නා. අයියයි මමයි බස් හෝල්ට් එකේ ගෙදර එන්ඩ ඉන්දැද්දී ඒ අය ඇවිත් අහනවා “කොහොමද ළමයො මේ කවි මේ තරම් ඉක්මනට ක්ෂණිකව ලීවෙ“ කියලා. ඒ කවි පද දෙකක් මට අදත් යම්තමට මතකයි.

මල් විමනෙන්දෝ පෑන උපන්නේ
සුර කුමරුන්දෝ පෑන සදන්නේ

ඒ පදවැල මුලටම තිබුණා.

ඉතිරි කොටස ලබන සතියේ

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්