ජනාධිපතිතුමාගේ ඓතිහාසික ආදර්ශය

 
 

ඩෙංගු අධි වසංගතයක් වුණේ ආයතන කඹ ඇදීම නිසයි

 
 

ඡන්දය දමන්න ඡන්ද ලේඛනයේ නම තිබෙන්නම ඕනෑ

 
 

දෙ+පැත්ත

 
 

ඩෙංගු! ඩෙංගු!! ඩෙංගු !!!

 
 

සනත් ඉන්දියාවේ ඩාන්සින් රියැලිටියක

 
 

තාත්තා

 
 

වැව්, විල්, කලපු, ගංගා එක තැන දැකගන්න පානමට එන්න

 
 

දරුවාගේ කෑම ගැන වද වෙන අම්මලාටයි...

 
 

ටිකිරි හමුව

 
 

LOLC විශිෂ්ටතම ලාබය මෙවර

 
 

අනේ මට අපායට යන්න බෑ

 

»
»
»

වැව්, විල්, කලපු, ගංගා එක තැන දැකගන්න පානමට එන්න

වැව්, විල්, කලපු, ගංගා එක තැන දැකගන්න
පානමට එන්න

නැඟෙනහිර වෙරළ තීරයේ තවත් එක් මනරංජනීය ඉසව්වකට අද අප ඔබ කැඳවා ගෙන යනවා. ලංකාව තරම් සොබා සිරියෙන් අනූන මනරම් දිවයිනක් ලොව අන් කොතැනකවත් නැතුව ඇතැයි මේ සොඳුරු දසුන් නෙත ගැටෙන හැම මොහොතකම අපට සිතෙනවා. නැෙඟනහිර පළාතේ ලාහුගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ‘පානම’ නැඟෙනහිර සංචාරයේදී අපේ නෙත් සිත් බැඳගත් තවත් එක් සන්ධිස්ථානයක්.

කොළඹ සිට මොනරාගල හරහා පොතුවිල් නගරයට පැමිණ එහි සිට දකුණට කිලෝමීටර් 17.5 ක් පමණ ගිය තැන පානම ඓතිහාසික ගම්මානය හමු වෙනවා.

එක් පසෙකින් සුන්දර පානම කලපුවෙන් ද අනෙක් පසින් මහ සයුරෙන් සහ තවත් පසෙකින් කුමන වන රක්ෂිතයෙන් ද වට වූ පානම ගම්මානය ගොඩබිම හා සම්බන්ධ වන්නේ එක් පැත්තකින් පමණයි. සොබා දම් මාතාවගේ සොඳුරු දායාදයක් බඳු පානම වටා ඓතිහාසික පුරාවෘත්තයක් ද ගොනු වී තිබෙනවා.

නැඟෙනහිර වෙරළ තීරයේ පොතුවිල්, අරුගම්බේ මෙන්ම පානම ද සුදෝ සුදු ලවැලි තලාවන්ගෙන් යුතු රමණීය මුහුදු තීරයකින් යුක්තයි. ප්‍රදේශයට ආවේණික තුරුවැල්, සතා සීපාවා මෙන්ම විහඟුන් ගෙන් ද සපිරි පානම කලපුව දෑසට මවන්නේ රසඳුනක්.

වසර පුරා පවතින දැඩි මූදු සුළං හේතුවෙන් ගොඩගැසුණු ස්වභාවික වැලි කඳුවලින් පානම මුහුදු තීරයට ලැබී ඇති ආරක්ෂාව ඉමහත්. පසුගිය සුනාමි ව්‍යසනයේ දී එයින් හානියක් නොවී පානම ගම්මානය ආරක්ෂා වුණේ මේ වැලිකඳු නිසයි. ස්වභාවිකව ගොඩගැසුණු එවන් ඇතැම් වැලි කන්දක් මුදුනට නැඟි කළ හොඳින් වැඩුණු උස පොල් ගසක කරටිය දිස්වන්නේ අඩි ගණනාවක් පහතින්. අරාබියේ වැලි කතරේ දැවැන්ත වැලි කන්දක් සිහියට නංවන එම වැලි කඳු මතට රූට රූටා නැඟීම මහත් විනෝදජනකයි. පළාතේ ජනයා විවේකී හැන්දෑයාමයට දරුවන් සමඟ මේ වැලි කඳු මතට නඟිමින් විනෝද වන අයුරු එහි යන කාටත් දැකිය හැකි දසුනක්.

වැලි කන්දේ රූටමින් ඉහළටම නැඟි කල වැල්ලේ තැනූ පීඨිකාවක් බඳු මුදුනතෙහි සිට හාත්පස සිසාරා අවට බලන්නෙකුගේ නෙතට අනන්තය තෙක් දිවෙන මහා සාගරයත් ඈත ක්ෂිතිජ ඉමේ නැංගුරම් ලූ යාත්‍රාවලින් නිකුත් වෙන ආලෝක ධාරාවනුත් මවන දසුන සිත් වසඟ කරවන සුලුයි.

පානම් පත්තුවේ සෞන්දර්යය සැඟව ඇත්තේ අලංකාර මුහුදු තීරයෙහි පමණක් නොවේ. අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි විශාලතම කලපුව වන පානම කලපුව ජෛවවිවිධත්වයෙන් පොහොසත්. පානම කලපුවේ ජීවත්වන අලංකාර පක්ෂීන් අතර මහ දියකාවා, අබිකාවා, අළු හිස් උකුස්සා, කුඩා ඇලි සයුරු උකුස්සා, රෑ කොකා, කරවැල් කොකා, අළු කොකා, ලතුවැකියා, සුදු කෑදැත්තා, වන සිලිබිල්ලා, ළය සුදු වැලි පිළිහුඩුවා සහ තිත් හොට පැසිතුඩුවා පානම කලපුවටම විශේෂිත වූවෝ. මොවුන් අතරට විදේශීය රටවලින් සංක්‍රමණය වන පක්ෂීන් ද අයත් වෙනවා. පානම කලපුවේ බහුලව දැකිය හැකි මසුන් අතර කළු කොරලි, කහ කොරලි, අංගුළුවා, ආරා, තිලාපියා සහ මගුරා විශේෂයි.

කලපුව ආශ්‍රිතව පිහිටි කඩොලාන පද්ධතිය ඉතා සරුසාරයි. මහ කඩොල්, මල් කඩොල්, කටඉකිරිය, මුට්ටි කඩොල්, මණ්ඩ කඩොල් හා තිල්ලන් කඩොල් (දැරියා) යන කඩොලාන විශේෂවලින් පානම කලපුව ආරක්ෂා වෙලා තිබෙනවා. කලපුවට ආවේණික ඉස්සන් හා කකුළු විශේෂ කිහිපයක් ද එහි වෙසෙනවා.

පානම කලපුවේ දැකිය හැකි තවත් විශේෂත්වයක් වන්නේ කලපුවේ තැනින් තැන පිහිටි ගල්කුළු සමූහයයි. සුනිල දිය කඳ මැද සැතැපී ගිමන් හරින ඇත් රළක් සේ දුරට දිස් වන මේ ගල්කුළු සමූහය පානම කලපුවේ චමත්කාරය තව තවත් ඔප් නංවනවා. පානම කලපුව අසලට පැමිණ එහි සුන්දරත්වය දුර සිට නැරඹී මෙන් පමණක් සෑහීමකට පත්වෙන්නට බැරි තරම්. පානම අසිරිය විඳිමින් එහි ගිය අපේ නඩේටත් කලපුවේ දියමංකඩකින් ඔරුවකට ගොඩවෙලා කලපුව වටා සවාරියක් යන්නට ඕනෑ වුණා. අපේ නඩේ ගුරා විමලසේනගෙන් ඊට ලැබුණේ ලොකු සහයක්.

ක්ෂිතිජ ඉමේ හිරු කුමරා සැඟව යන්නට තතනන අසිරිමත් හෝරාවේ පුංචි ඔරුවක නැඟිලා පානම් කලපුවේ ඈතින් ඈතට පාවී යන විට හදවතට දැනෙන සුවය වදන්වලට පෙරළන්නට බැරුවා වාගෙයි. පානම නගරයෙන් කිලෝ මීටරයක් දෙකක් වමට හැරිලා යන විට කලපුවට යා හැකි තොටුපළ කිහිපයක්ම හමු වෙනවා. පානම් කලපුවේ ලොකුම තොටුපොළ බලා කියා ගන්නේ “ගම ඇති සුදු අප්පු” මහත්තයා. වෘත්තියෙන් ධීවරයකු වන සුදු අප්පුත් ඔහුගේ බිරියත් ජීවත් වෙන්නේ පානම් කලපුව අසබඩ ඉදිකළ පුංචි පොල් අතු වාඩියක.

කලපුවේ මසුන් ඇල්ලීම ප්‍රධාන ජීවිකාව වුණත් කලපුවේ ඔරු පාරු පදින්නට එන කොයිකාටත් සුදු අප්පුගේ ඔරුවේ පිහිට ලබා දෙන්නේ බොහොම කැමැත්තෙන්. සුදු අප්පුගේ පොල් අතු වාඩිය ඉදිරිපිට තොටුපොළේ ඔහුගේ පුංචි ඔරු දෙක නතර කරලා. ඉඳ හිට ඇදෙන බෝට්ටුවක් වුණත් ඔහුගේ තොටුපොළේ නවත්තාගන්නට පුළුවන්.

අපි ඔහුගේ වාඩියට යන විට බැහැරක ගිහින් සිටි සුපු අප්පු අප ආ ආරංචිය කනවැකිලා කඩිමුඩියේම දුවගෙන ආවා..

”හා හා යං මහත්තයෝ කලපුවේ රවුමක්. මං සීරුවට හබල් ගාන්නං.

ඔරුව පෙරළුණත් බයවෙන්ඩ එපා. කර තියාගෙන පීනලා ගොඩට ගෙනත් දාන්නම්” සුදු අප්පුගේ කීමට කවදාවත් ඔරු පැදලා නැති ආධුනිකයෙකුට වුණත් ඔහුගේ ඔරුවේ නැඟලා කලපුවේ ඈතට ඈතට පාවෙලා යන්නට ආසාවක් ඇතිවෙනවා.

හැන්දෑ අහස රන්වන් පාටින් දිලිසෙනවා. ටිකෙන් ටික රන් පැහැය රතු පැහැයට හැරිලා. ගිනියම් වූ හිරු ක්ෂිතිජ ඉමේ ගිළිලා සැඟව යනවා. ඈත දුරක සිටන් මනෝහර රාවයක්

රැව් පිළිරැව් නංවමින් පියඹා ආ ලිහිණි රෑනක් කලපු දියඹේ කිරල කැලේ අතරින් වහංගු වෙලා නොපෙනී ගියා. සුදෝ සුදු කොක්කු රෑන් රෑන් ඇවිදින් කිරළ කැලේ තැනින් තැන වහලා රාත්‍රිය ගත කරන්නටයි සුදානම.

අඳුරේ තැනින් තැන සුදෝ සුදට දිස්වන කොකුන් ගේ දසුන මනරම්. සුදු අප්පුගේ ඔරුවේ නැඟිලා පුංචි තිතක් වෙලා ඈතින් ඈතට නොපෙනී ගිය දුෂ්මන්ත ආයෙමත් සෙමෙන් සෙමෙන් තොටුපොළ වෙත ඇදී එනවා. සුදු අප්පුගේ වාඩියේ පොල් අතු වහලයේ අග්ගිස්සක එල්ලූ ලන්තෑරුමේ කණමැදිරි එළියෙන් හාත්පස ගන අඳුර බිඳලන්නට හිතන්නත් බැරි තරම්.

ඉහටත් උඩින් වැවී ඇති මානා පඳුරුවලට ඉහළින් අඩ සඳක් පායා නැඟෙනවා. කලපුවට එහායින් කැලේ සද්දන්තයන් කල එළි බහින වේලාව. අතරමඟදි හදි ගැහෙන්ට කලින් විල්ලුවෙන් එළියට නො ආවොත් අලි අමාරුවේ. සුදු අප්පුගේ වාඩියත් අමුත්තන්ට නවතින්නට කදිමයි.

සුව පහසු යහන් නැතිවාට හඳ එළියේ මූදු වැල්ලේ ගිනිමැලයක් ගහගෙන ඒ වටා වාඩිලාගෙන පැදුරු සාජ්ජයක් දාන්නට කියාපු තැන. සුදු අප්පුගේ බිරිය උයා දෙන ඉස්සන් බැදුමක් තම්බපු මඤ්ඤොක්කා කෑල්ලක දවටා ගත්තාම කුසගින්න වගේම හිතේ ගින්දරත් ඉබේටම නිවී යනවා. රාත්‍රිය ගත කරන්නත් කලපුවේ සවාරියක් යන්නත් සුදු අප්පුගේ වාඩියට එන කොයි කාටත් ඔහු පුළුවන් හැටියට සලකනවා. ඒ එන ඇත්තො තමන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා දුන්නොත් බිරිය එක්ක එකතු වෙලා පුළුවන් හැටියට ඒවා පිළියෙළ කරලා දෙන්නත් ඔහු සූදානම්.

කලපුව අසබඩ මානා යාය පීරාගෙන අප රැගත් වාහනය ගමනට පිටත් වුණේ සුදු අප්පුට සමුදෙමින්. කලපුවේ අසිරිය විඳගන්නට වගේම ඒ ආශ්‍රිත ජෛව විවිධත්වය දැක බලාගෙන ඒ ගැන අධ්‍යයනය කරන්නට රිසි වූවන්ටත් ඒ පරිසරය කදිමයි. කලපුව හරහා මූදු මෝයට වැටෙන තුරුම ;බීට්ටු සවාරියක යෙදෙන්ටත් පුළුවන්.

මෝටර් බෝට්ටුවල සද්දෙ නිසංසලේ කලපු දියේ ජීවත්වෙන මත්ස්‍ය සමූහයාට බලවත් හානියක් වෙන්නට පුළුවන්. මෝටර් බෝට්ටුවලින් පිටවන දුම් හා ජලයට එක්වන තෙල් වැනි දෑ හේතුකොට ගෙන කලපුවේ ජලය මෙන්ම අවට වාතය ද දූෂණය වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා කලපුව නරඹන්නට එන දෙස් විදෙස් සංචාරකයන්ට පරිසර හිතකාමී බෝට්ටු සවාරියක යෙදෙන්නට අවස්ථාව සලසා දෙන්නට අදහස් කරන බවයි අපේ නඩේ ගුරා වූ ලාහුගල පානම ප්‍රාදේශීය සභා මන්ත්‍රී විමලසේන පවසන්නේ.

ප්‍රජා සංචාරක කර්මාන්ත ව්‍යාපෘතිය යටතේ පානම ග්‍රාමීය ආර්ථික සංවර්ධන සංගමය මඟින් ඒ ප්‍රදේශයේ සංචාරයේ නියැළෙන දෙස් විදෙස් සංචාරක යන්ට සැබෑ සංචාරක මාර්ගෝපදේශකත්වයක් සපයන්නට සැලසුම් සකස් කරමින් සිටින බවත් ඔහු පවසනවා.

ඒ අනුව පානම කලපුව ආශ්‍රිත කුරුල්ලන් මත්ස්‍යයින් කඩොලාන පද්ධතිය වගේම ජෛව විවිධත්වය නරඹන්නටත් ඒ පිළිබඳව අධ්‍යයනයක යෙදෙන්නන්ටත් සහය වන්නට ඔවුන් සූදානම්. පොතුවිල් ලාහුගල හා පානම අවට මහා පරිමාණයේ සංචාරක හෝටල නැතත් සාධාරණ මුදලකට හොඳ සේවයක් සපයන නවාතැන් පොළ කිහිපයක් හඳුන්වා දෙන්නටත් ඔවුන් කැමතියි.

පානම් පත්තුවේ සෞන්දර්යය මුහුදු වෙරළට හෝ කලපුවට සීමා වෙන්නේ නෑ. පානම නගරයට නුදුරින් පිහිටි ශාස්ත්‍රවල ගමේ පිහිටි මණිනාග පබ්බත විහාරය ඓතිහාසික වටිනාකම් රැසකින් හෙබි සිද්ධස්ථානයක්. පානම සිට කුමන පාරේ කිලෝ මීටර හයක් පමණ යන විට හමුවන පානකල කලපුව කලකට පෙර සරුසාර ලුණු ලේවායක්. පානමට අවශ්‍ය පමණටත් වඩා ලුණු තිබූ එම කලපුව එකල පානම ජනතාවගේ ලුණු අවශ්‍යතාව සම්පූර්ණ කළා.

පානම සිට කුමන පාරේ කිලෝ මීටර් දොළහක් පසුකළ විට හමුවන්නේ සුප්‍රකට කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයයි. එතැන් සිට තවත් කිලෝමීටර් හතරක් පමණ ගිය තැන කුමන වන අරණ මැද පිහිටි ඔකඳ දේවාලය හමුවෙයි. කුමන අභය භූමියේ වනසතුන් හා කුරුල්ලන් නරඹන්නටත් එහි යන ඔබට පුළුවන්. පානම වැවේ වගේම කිඹුල් වලේ කිඹුලන් බලන්නටත් එහි යන කාටත් හැකි වෙනවා. මහ මුහුද, කලපුව, වැව්, විල් වගේම ගංගා එකම ප්‍රදේශයක වර්ග සැතපුම් කිහිපයක් ඇතුළත එකවර දැක බලා ගැනීමේ අවස්ථාව ඔබට උදා වෙන්නේ පානම් පත්තුවෙදි විතරයි.

ඈත අතීතයේ දී ඌව වෙල්ලස්ස කැරැල්ලෙන් පලා ආ උඩරට සිංහලයන් මුලින්ම පදිංචි වුණේ පානම අසල ප්‍රදේශවල. මැදගම, මීයන්ගොඩ, හැලව, රදැල්ල වැනි ප්‍රදේශවල මුලින්ම පදිංචි වූ ඔවුන් විවිධ දුෂ්කරතා හේතුවෙන් එම ප්‍රදේශ අතහැර පානම පදිංචි වී සිටිනවා. හේන් ගොවිතැන ප්‍රධාන ජීවිකාව කරගත් පානම වැසියන් ඔවුන්ටම ආවේණික සිරිත් විරිත් හා සංස්කෘතික අංග පාරම්පරිකව රැකගෙන එන පිරිසක්. පානම අයත්වන්නේ මඩකලපුව පරිපාලන දිස්ත්‍රික්කයට.

මුස්ලිම් වැසියන් බහුලව වෙසෙන පානම, සිංහල ජනතාවත් මුස්ලිම් ජනතාවත් ඉතා සුහදව ජීවත් වෙනවා. පානම වෙසෙන සිංහලයන් බොහෝ දෙනකුට ද්‍රවිඩ භාෂාව හොඳින් කතාබහ කරන්ට පුළුවන්. ඒ වගේම හොඳ සිංහල උඩරට වාසගම් එක්කම ද්‍රවිඩ වාසගමුත් එකට යෙදී ඇති අයුරු බහුලව දැකිය හැකියි. පානම සංචාරයේ යෙදෙන ඔබට සොබා දහමේ අපූරු දායාද රාශියක් දැක බලාගන්නවා වගේම පානම ජන ජීවිතය ගැනත් බොහෝ දේ ඉගෙන ගන්නට අවස්ථාව ලැබෙනවා සිකුරුයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්