අවුරුදු කුමාරයා විපක්ෂයට අභියෝග කළේය

 
 

ශ්‍රී ලංකාවේ බටහිර - දකුණ නැඟෙනහිර හෙල්ලෙයි

 
 

ආර්ථික වාර්තා දහයක් තැබූ වසරක්

 
 

ඉස්පිරිතාලෙන් පැනලා ගිහින් වැස්සට තෙමිලා උණ අඩුවුණා

 
 

ගැමි කතුන් රැකගත් අත් යන්ත්‍ර රෙද්ද

 
 

යාත්‍රා

 
 

ගම්මැද්දේ අවුරුද්ද

 
 

ගෙයි පිළිකන්නේ කෝපි ගාලේ මල් සුවඳ අදත් මට දැනෙනවා

 
 

AMW ටයර් අලෙවි නියෝජිතයන්ට සම්මාන

 
 

ටිකිරි හමුව

 

»
»
»

ගෙයි පිළිකන්නේ කෝපි ගාලේ මල් සුවඳ අදත් මට දැනෙනවා

 ගෙයි පිළිකන්නේ කෝපි ගාලේ මල් සුවඳ අදත් මට දැනෙනවා

අද අපේ කතානායකයා සම්මානිත මහාචාර්ය ජේ.බී. දිසානායක. මහාචාර්ය ජේ.බී. දිසානායක කිව්වාම මේ රටේ එතුමා ගැන අහලා නැති කෙනෙක් නැති තරම් ය. ඒ තරම්ම එතුමා මාධ්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රියයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ව සිටි එතුමා කලක් ජන සන්නිවේදන අංශය ද භාරව කටයුතු කළා. විශ්ව විද්‍යාල සේවයෙන් විශ්‍රාම ලැබූ එතුමා පසුගිය වසර කිහිපය තුළ තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙසත් කටයුතු කළා. තානාපති සේවය නිමා කොට මෑතදී යළිත් සියරට පැමිණි මහාචාර්ය තුමා සුපුරුදු පරිදි ස්වකීය ශාස්ත්‍රීය ලේඛන කටයුතුවලත්, මාධ්‍ය කටයුතුවලත් යෙදෙමින් විශ්ව විද්‍යාලයේ බාහිර මහාචාර්යවරයකු ලෙසත් විද්‍යාර්ථීන්ට දැනුම ලබාදීමේ මෙහෙවරෙහි යෙදී සිටිනවා.

රාජපක්ෂ රාජකරුණා මහවාසල දුක්ගන්නා දිසානායක මුදියන්සේලාගේ ජයරත්න බණ්ඩා දිසානායක” ඒ එතුමාගේ උප්පැන්න සහතිකේ සඳහන් සම්පූර්ණ නම. පසු කාලෙක ජයරත්න බණ්ඩා යන්නෙහි ඉංග්‍රීසි මුලකුරු දෙක කෙටියෙන් යොදා ගත් මහාචාර්ය ජේ.බී. දිසානායකට අපේ ප්‍රවීණ මාධ්‍යවේදි ඩී.එෆ්. කාරියකරවන මහතා කීවේ ජේ.බී. යන්නෙහි අරුත ‘ජන බස’ බවයි. ඒ මහාචාර්යතුමා නිතරම ජනතාව ගේ භාෂාව පිළිබඳ කතා කරන, උගන්වන පොතපත ලියා පළ කරන නිසයි.

එතුමා උපන්නේ කෑගල්ලේ රඹුක්කන සිට වල්ගම පාරේ මද දුරක් යනවිට හමුවන ‘පුවක්මොටේ’ නම් වූ පුංචි සුන්දර ගම්මානයේදී. නවසිය තිස් හතේ බක් මාසේ දාසය වැනිදාට යෙදුණු හිස තෙල් ගෑමේ උත්සවය දවසේ.

ගමේ හිටි දක්ෂ ප්‍රවීණ සර්වාංග වෛද්‍යවරයකු වූ උක්කුබණ්ඩා දිසානායක වෙද මහත්තයා ඔහුගේ පියා. අම්මා උඳුගොඩ ගෙදර මුතු මැණිකේ. ඈ රැකියාවක් කළේ නැතත් කාලේ හැටියට දැන උගත්කමින් පිරිපුන්ව සිටියා. හිසතෙල් ගාන අවුරුදු දා උපන් මේ පින්වත් පුත්‍රයාගේ හිසේ එදාම හිසතෙල් ගෑවේ අප්පච්චිමයි. ගමේ හැමදෙනාම අවුරුද්දට හිස තෙල් ගාන්න එකතු වුණේ වෙද මහත්තයා ගේ ගෙදරට නිසා ඒකට අමුතු මංගල්ලයක් ගන්න වෙද මහත්තයාට සිද්ධ වුණේ නෑ.

ජයරත්නලාගේ ගෙදරට ගමේ කවුරුත් කීවේ පරණ ගෙදර කියලයි. පුවක් මොටේ කඳු දෙකක් අතර පිහිටි සරුසාර කෙත්යායකින් වට වූ අලංකාර ගම්මානයක්. ඒ නිසා ඒ ගමට දෙකඳුවල කියලත් කීවා. ගමේ පන්සල පිහිටියෙත් ඔවුන් ගේ නිවසට බොහොම ළඟින්. ජයරත්නගේ පවුලේ ඔහු ඇරුණාම සහෝදරයොම හතර දෙනයි. ලොකු අයියා විජයරත්න බණ්ඩා. දෙවැනියා සෙනවිරත්න බණ්ඩා, තුන් වැන්නා කරුණාරත්න බණ්ඩා. ඊළඟට අපේ කතා නායකයා. බාලයා මල්ලී අබේරත්න බණ්ඩා. මේ බාල මල්ලී පසුගියදා අභාවප්‍රාප්ත වූ මහාචාර්ය ඒ.බී. දිසානායක.

ජයරත්නට අකුරු කියෙව්වේ අප්පච්චි. පන්සල බොහොම සමීපයෙන් පිහිටි නිසා පුංචි ජයරත්න නිතරම ගැවසුණේ පන්සලේමයි. පසු කාලෙක බණ දහමට බොදු සංස්කෘතියට ඔහු බෙහෙවින් ඇලුම් කළේත් ගමයි පන්සලයි ගැමි හැදියාවයි ගැන නිතර ලියන්ට කියන්ට පෙළඹුණේත් පුංචි කාලේ ඔහු ලැබූ මේ පන්සල් ඇසුර නිසා බවයි මහාචාර්යතුමා අද පවසන්නේ.

පුංචි ම කාලේ මතකයෙන් අදත් එතුමාට පළමුවෙන් ම සිහියට නැඟෙන්නේ ගෙයි පිළිකන්නේ සරු සාරෙට වැවිලා තිබුණු කෝපි ගාලේ ගස්වල පිපිලා සුදට සුදේ බැබැළුණු කෝපි මල්වල සුවඳයි. කෝපි ගස්වල කෝපි හැදෙන කාලෙට රතට රතේ ඉඳුණු කෝපි ගෙඩි කඩාගෙන කන්න පුංචි ජයරත්න හරි කැමැතියි. දවසක් ඉඳුණු කෝපි පොකුරක් කඩාගන්ට හිතාගෙන පාත් කළ කෝපි අත්තක් හොළවන්නට ගිහින් ඒක වැදිච්චි උළුකැටයක් විසි වෙලා ඇවිත් ජයරත්නගේ නළල පැළුණා. ඒ කාලෙ අද වගේ ඉස්පිරිතාල හැම ගමේ ම නෑ. අප්පච්චි වෙද මහත්තයා වුණාට පුංචි පුතාගේ නළලෙන් ලේ ගලන හැටි දැක්කාම බොහොම බය වුණා. ඉක්මණට ම රඹුක්කන ඩිස්පෙන්සරියට එක්ක ගිහින් නළලට මැහුම් දැම්මෙව්වා.

අප්පච්චි වෙදකම වගේම ගොවිතැනත් එක වගේ කළා. ජයරත්නලාත් පුංචි කාලේ ඉඳන් ම කුඹුරේ වැඩට පුළුවන් හැටියට උදව් කළා. අප්පච්චි කුඹුරට යනවිට ඔහුත් අයියලාත් එක්ක කුඹුරට ගියා.

කුඹුරේ පෝරු ගාන කාලෙට පෝරුවට නැඟලා යන්න ඔවුන් හරි කැමැතියි. ගොයම් පාගන කාලෙට කමතට ගිහින් අම්බරුවන් දක්කන්න කට්ටිය එක්ක එකතුවෙලා එළිවෙනකල් කමතේ ඉන්න ඔහු කැමැතියි.

අප්පච්චිට හොඳ සරුසාර බුලත් කොටුවක් තිබුණා. මේ බුලත් කොටුවේ බුලත් හුඟක් එකවිටම කඩනවා. කඩන බුලත් පොළට ගෙනියන්නට මිටි බඳිනවා. මේ බුලත් මිටි බඳින්න ගමේ පවුලේ සාමාජිකයො වගේ ම අහල පහල ගෙවල්වල ගැහැණු පිරිමි උදවියත් පරණ ගෙදරට එක් රොක් වෙනවා. හැන්දෑවට පටන්ගන්න බුලත් තේරිල්ල ඉවරයක් වෙන්නේ පාන්දර ජාමෙට.

රාත්‍රියේ පැට්‍රෝල් මැක්ස් ලාම්පුවක් පත්තු කරලා කට්ටිය වට වෙලා ඉඳ ගෙන සාද තෙපුල්, කවි සීපද කියමින් කරන මේ කාරිය හරිම විනෝද ජනකයි. වරෙක කට්ටියට ඇහෙන්න ලොකු අයියා නවකතාවක් කියනවා. ඒ කාලෙ ජනප්‍රියම නවකතා කරුවා ඩබ්ලිව්.ඒ. සිල්වා. ඔහු ලියූ හිඟනකොල්ලා, කැලෑ හඳ වගේ පොතක් හැමෝටම ඇහෙන්නට අයියා කියවනවා. අප්පච්චි කලෙකට ඉහත ගමේ වුණු කතාවක් විස්තර කරලා කියනවා. අම්මා ඒ කතාවට තවත් අටුවා ටිකාවක් එකතු කරනවා. ඒ අහපු තව කෙනෙක් ඔහු අහපු කතාවක් කියනවා.

ඒ අතරේ අම්මා කහට වත්කරනවා. කැවිල්ලක් එක්ක කවුරුත් කහට උගුරක් හෝ කෝපි උගුරක් බීලා කතාවට හූ මිටි කියමින් රාජකාරිය කරනවා. එළිවෙනකොට තෝරා බැඳපු බුලත් මිටි ටිකත් අරගෙන අප්පච්චි පොළට යනවා.

අප්පච්චි නිදහසේ ඉන්න විට හොඳ හොඳ ශ්ලෝක කවි ගායනා කරනවා. මේ කවි සීපද ඇහෙන විට ජයරත්නලාටත් ඉබේටම ඒවා මතක හිටිනවා. ජයරත්නලගේ නිවෙසට නුදුරින් තිබුණේ අම්මාගේ මහ ගෙදර. ඒ අලුත් ගෙදර. අලුත් ගෙදර හිටියේ කිරි අම්මයි, කිරි අත්තයි මාමායි. ජයරත්න ඉඳහිට දවසක රෑට කිරි අම්මලාගේ ගෙදර නතර වෙන්ට යනවා. එහෙම ගියදාට කිරි අත්තා බිම පැදුරක් එළලා ජයරත්න ඉඳුවලා ඔහුට ඇහෙන්ට ජාතක පොත කියවනවා. අමාරු තැන් තෝරා බේරා දෙනවා. ඒ ජාතක කතාවලට සවන් දෙමින්ම නින්දට වැටෙන ජයරත්න ඒ කතාවල එන රජවරු කුමාරවරු දෙවිවරු දේවතාවියො පිළිබඳ සුන්දර හීනවලින් අපූරු මිහිරක් විඳිනවා.

පුවක්මොටේ බෞද්ධ පිරිමි පාඨශාලාවෙන් මුල් වසර දෙක ඉගෙනුම ලැබු ජයරත්න මහනුවර ධර්මරාජ විද්‍යාලයට ඇතුළු වුණේ ලොකු අයියාත් ඒ වන විට ධර්මරාජේ ඉගෙනුම ලැබු නිසා. අයියා නතර වෙලා හිටපු සළුවඩන මහත්තයාගේ ගම ගෙදර නතර වෙලා ජයරත්නත් පාසලට ගියා. පුංචි වුණත් අලුත් පාසලේ පරිසරයට ඉක්මනින් හුරු වුණු ජයරත්නට අයියා හිටි නිසා ගෙදරින් ඈත්වුණු කාංසිය ඒ හැටි දැනුණේ නෑ.

දළදා මාලිගාවේ නාථ දේවාල භූමියේ පිහිටි බාලාංශ පන්තිවල උගත් ජයරත්නලාට බෞද්ධ පරිසරයෙහි ආභාසය හොඳින්ම ලැබුණා. දළදා මාලිගාවට වන්දනාවේ යන්ට පෙරහර කාලෙට පෙරහර බලන්ට නිතර අවස්ථාව උදා වුණා. අයියා උසස් පෙළ සමත් වෙලා කොළඹ නීති විද්‍යාලෙට ආවා. ජයරත්න ධර්මරාජෙන් අයින් කරලා හතරවැනි ශ්‍රේණියේ පටන් කොළඹ ආනන්ද විද්‍යාලෙට ඇතුළු කළා.

නවසිය හතළිස් හතේ ආනන්දෙට ඇතුළු වුණු ජයරත්න නවසිය පනස් හත වන තුරුම ආනන්දේ ඉගෙනුම ලැබුවා. ආනන්ද බෞද්ධ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයරත්න වැඩිපුර යොමු වුණේ ආගමික හා සාහිත්‍ය අංශයට. ක්‍රීඩා අංශයට එතරම් රුචි නොකළ ඔහු වාද විවාදවලින් ජය ගත්තා. ලොකු අයියා සාහිත්‍යය පත පොත බොහොමයක් පරීශීලනය කළා. ජයරත්නගේ භාෂා සහ සාහිත්‍ය දැනුම වර්ධනයටත් මේ පතපොත බොහොම ප්‍රයෝජනවත් වුණා. ඔහු ආනන්ද විද්‍යාලයේ විශිෂ්ටතම ශිෂ්‍යයාට හිමි ජ්පඪබල ම්භදල සම්මානයත් දිනාගත්තා.

ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙන ගත් ජයරත්න ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය ඉහළින්ම සමත් වුණා. තනියම පාඩම් කරලා සිංහල මාධ්‍යයෙනුත් ඒ විභාගය සමත් වුණේ ප්‍රථම පන්ති සාමාර්ථ්‍යයක් ලබා ගනිමින්. උසස් පෙළ සඳහා සිංහල, ලංකා ඉතිහාසය, හා දේශපාලන විද්‍යාව යන විෂයයන් තෝරා ගත් ඔහු උසස් ප්‍රතිඵල ලබමින් සරසවි පිවිසුම් විභාගය සමත් වී 1957 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට තේරුණා.

මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි, මහාචාර්ය දයානන්ද, මහාචාර්ය ඇම්. බී. ආරියපාල, මහාචාර්ය සුගතපාල ද සිල්වා සහ මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි ඇදුරුතුමන්ලාගෙන් ශිල්ප ලත් ජයරත්න 1961 දී අවසාන විභාගයෙන් ප්‍රථම පන්තියේ ගෞරව සම්මානයක් සහිතව සමත් වුණා. එවකට විශ්ව විද්‍යාලෙ ගාන්ධර්ව සභාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළ ජයරත්නට පසු කලෙක ඔහුගේ ජීවන සහකාරිය බවට පත්වූ “කුසුම්” මෙනෙවිය හඳුනා ගන්නට ලැබුණේ . සුගතපාල සිල්වා සහ විමල් දිසානායක ආචාර්යවරුන් එක්ව නිෂ්පාදනය කළ “සොකරි” ගීත නාටකයේ පුහුණුවීම් නරඹන්නට ආගිය ගමනේදීයි මහාචාර්ය සරච්චන්ද්‍ර වැනි ආචාර්යවරුන්ගේ ඇරැයුම අනුව ජයරත්නත් නාට්‍යයක් ලීවා. දශ රථ ජාතකය ඇසුරින් ලියූ මේ නාට්‍යයේ නම රාවණා. මේ නාට්‍යයේ ආනන්ද විද්‍යාලයේ උගන්වාපු ගුරුවරුත් රඟපෑවා. මේ නාට්‍යය පිළිබඳ ලංකාදීප පත්තරේ ජයවිලාල් විලේගොඩ හොඳ විචාරයකුත් ලියා පළ කළා.

නවසිය පනස් හයේ බුද්ධ ජයන්තිය උදෙසා ඔහු ‘ආනන්දය’ සඟරාවට ලියූ “බුද්ධ ජයන්තිය මෙය ද?” යනුවෙන් ලියා පළ කළ විවේචනාත්මක ලිපිය සිළුමිණ පත්‍රයේ පළ වුණා. ඊට ඔහු ලැබු විශාල ජනප්‍රසාදය නිසා තව තවත් ලිපි ලියන්නට ඔහුට විශාල ධෛර්යයක් ලැබුණා.

ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාව විවෘත කළ අවස්ථාවේ එවකට සිටි විදුහල්පති කර්නල් රාජපක්ෂ මහත්මයාගේ ඇරැයුමෙන් ඔහු සිය බිරිය කුසුම් දිසානායක මහත්මියගේ සහායෙන් වීරෝදය නම් වූ නාට්‍යයක් ලියා රඟ දැක්වූවා.

1961 අවසාන විභාගේ ප්‍රතිඵල පිටවෙන්නටත් පෙර සිට මහාචාර්ය හෙට්ටිආරච්චි ගේ ඇරැයුමෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලේම සහාය කථිකාචාර්යවරයකු ලෙස සිසුනට ඉගැන්වූවා. 1963 දී ෆුල් බ්‍රයිට් ශිෂ්‍යත්වය ලබා ගෙන ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්ව විද්‍යාලයට ඇතුළු වුණා. 1965 දී වාග් විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලැබු ආචාර්ය තුමා 1965 - 66 වසරේ එංගලන්තයේ ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇතුළු වී තවදුරටත් වාග් විද්‍යාව පිළිබඳ ඉගෙනුම ලැබුවා.

එම වසර අවසානයේ යළි මවුබිමට පැමිණි ආචාර්ය තුමා පේරාදෙණියේම ඉගැන්වීම් කළා. කොළඹ විශ්ව විද්‍යාලයේ කලා පීඨය ආරම්භ කරන විට සිංහල අංශයට සම්බන්ධ වූ ඔහු 1969 දී එහි වාග් විද්‍යා අංශයක් ආරම්භ කළා. 1971 කැරැල්ලෙන් පසු විශ්ව විද්‍යාල ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියෙන් අනතුරුව වාග් විද්‍යා අංශය කැලණිය විශ්ව විද්‍යාලයට ගෙන ගියා. 1972 දී ආචාර්යතුමාත් කැලණිය විශ්ව විද්‍යාලේ සිංහල අංශයට සම්බන්ධ වුණා. එතුමා යුගදිවි ඇරැඹුවේ 1967 අපේ‍්‍රල් මාසේ. විශ්ව විද්‍යාලෙදි දැන හැඳින ගත් කුසුම් හේමචන්ද්‍ර මෙනෙවිය සමඟ. කොළඹ විශාඛා විද්‍යාලයේ සිංහල පිළිබඳ ආචාර්යවරියක ලෙස සේවය කළ ඈ පසු කලෙක පරිවර්තිකාවක හා ගත් කතුවරියක ලෙස ජනාදරයට පත් වුණා. ඔවුන් ගේ දියණිය මධුභාෂිණි දැන් ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉංගී‍්‍රසි භාෂාව පිළිබඳ ආචාර්යවරියක ලෙසත් පුතා සමිතජීව ඔස්ට්‍රේලියාවේ සමාගමක ගණකාධිකාරිවරයකු ලෙසත් කටයුතු කරනවා. දිසානායක යුවළ දැන් මිනිබිරියන් සිවු දෙනකුගේම සුරතල් බලනවා.

කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල අංශයේ මහාචාර්යවරයා ලෙස කටයුතු කළ ඇදුරු තුමා වසර 2000 දී සේවයෙන් විශ්‍රාම ලැබුවේ සම්මානිත මහාචාර්යවරයකු ලෙසයි. 2003 වසරේදී දේශමාන්‍ය ජනාධිපති සම්මානයෙන් පිදුම් ලද එතුමා 2007 වසරේ පටන් තායිලන්තයේ ශ්‍රී ලංකා තානාපති ධුරයට පත්ව ගියා. 2011 අවසානය දක්වා එම තනතුර දැරූ මහාචාර්ය තුමා එරටට පත්වූ කලාපීය තානාපති වරුන් අතර සිටි එකම බෞද්ධ තානාපතිවරයා ලෙසත්, එකම මහාචාර්යවරයා ලෙසත් තායිලන්ත රජුගේ සුවිශේෂ අගැයීමට පාත්‍ර වුණා.

ජාතක කතා, ජන කතා හා ජන සාහිත්‍ය ඇසුරින් මෙරට ළමා පරපුර වෙත වටිනා ග්‍රන්ථ අනූවක් පමණ ද, භාෂාව හා සංස්කෘතිය අළලා ඉංගී‍්‍රසි, සිංහල ද්වී භාෂාවෙන්ම පොත් අසූවක් පමණද ලියා පළකර ඇති මහාචාර්ය තුමා පුංචි දරුවන් ගේ භාෂා දැනුම වැඩීමේ අටියෙන් ලියන ලද අකුරු මිහිර පොත් පෙළේ අලුත්ම කාණ්ඩය මේ දිනවල සකස් කරමින් සිටිනවා. ජනතාවගේ දැනුම වඩන දේශන, මාධ්‍ය සාකච්ඡා විශ්ව විද්‍යාල දේශන ඇතුළු දහසකුත් එකක් වැඩ රාජකාරිවලින් තවමත් එතුමාගේ දවස පිරිලා.

පුංචි දරුවන්ගෙන් ලැබෙන ආදරණීය ප්‍රතිචාර හමුවේ ජීවිතයේ විඩාව නොදැනීම පහව යන බව අපට සමු දෙමින් මහාචාර්ය තුමා පැවසුවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්