කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
ඔබ මගෙන් දුර ගියා හිත ළඟින් දුක තියා...!

ඔබ මගෙන් දුර ගියා හිත ළඟින් දුක තියා...!

නිල් දෑසෙ මදහාස -
මට තාම අද වාගෙ මතකයි
නුඹ පෑව ආදරය -
හිත ගාව හැමදාම සොඳුරුයි
පෙම් දමක රන් හීන -
මට බෝම ස්නෙහෙවන්තයි
හිමි නොවන නුඹ ගැනම -
හිත මාගේ ආලවන්තයි

එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මගෙ හීනෙම නවතින්න -
මගේ සිහිනේ
එන්න හීනෙන් වත් ඔබ එන්න
ඉන්න හැම හීනෙම ඔබ ඉන්න
එන්න මගෙ හීනෙම නවතින්න -
ආදරේ හිමි නොවන නුඹ ගැනම
හිත මාගෙ ආලවන්තයි

රෑ සිහින යාමේ - හද ගැස්ම මා වේ
සිහින තරු විලේ - මගේ හිත තනියේ
ඔබ මගෙන් දුර ගියා - හිත ළඟින් දුක තියා
සිහින මායිමේ මගේ හිත තනියේ - සිත තනියේ
එන්න හීනෙන් වත් ... ... ... ...

පද රචනය – තාරකා වාසලමුදලිආරච්චි

සංගීතය – දිනේෂ් සුබසිංහ

ගායනය – කසුන් ශ්‍රීමාල්

”ජීවත් වෙන අපි හැමෝටම සිහින තියෙනවා. සිහින කියන්නේ බලාපොරොත්තු. තමන් පතන ආදරය, හිමි නොවුණත් බොහෝ දෙනෙකු ඒ සිහිනෙම ඉන්නවා. ‘නිල් දෑසෙ මදහාස’ ගී පද රචනයේ සංකල්පනාවට පසුබිම් වෙන්නෙත් එවැනි සිහිනයක්මයි.”

ඇය – තාරකා වාසලමුදලිආරච්චි. මෙවර “ගී මිහිර” ගෙනෙන “නිල් දෑසෙ මදහාස” ගී පද රචනයේ හිමිකාරිය ඇයයි. සිංහල ගී පද රචනා ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය අවම වී ඇති මේ වකවානුවේ දක්ෂ මාධ්‍යවේදිනියක, නිළියක සහ නවකතාකාරියක වන තාරකා ගී පද රචිකාවියක ලෙස කටයුතු කරමින් සෞන්දර්ය මෙහෙවරකට එක්වීම විශේෂයකි.

“ආදර මණ්ඩිය” – “දෙහි” – “මැටි” – “කළු” වැනි තාරකා ලියූ නවකතා මෙන්ම “පතිනි” – “උඩු වියන්” – “ගැහැනු ළමයි” – “ආදරේ අහස තරම්” – “සත් රළ පෙළ” සහ “පිනි අග පුළිඟු” වැනි රූපවාහිනී නාට්‍ය සඳහා ඇය ලියා ඇති තේමා ගීතද ශ්‍රාවකයින්ගේ සිත්ගත් නිර්මාණ වී ඇත. දාහතර හැවිරිදි සිසුවියකව සිටියදී ගුවන් විදුලියේ රුහුණු සේවයට සිය මුල්ම ගී පද රචනය නිර්මාණය කර ඇති තාරකා රූපවාහිනී නාට්‍ය ක්ෂේත්‍රයේ ගී පද රචිකාවියක් ලෙසින් ලබා ඇති ස්ථාවරය පැහැදිලි වන වකවානුවකි මේ ගෙවී යන්නේ.

ඒ, මෙම වකවානුවේ සෑම දිනකම තාරකා ලියූ ගී ඇතුළත් රූපවාහිනී නාට්‍ය විකාශනය වීම නිසා ය. “පතිනි” රූපවාහිනී නාට්‍යයේ තේමා ගීතය වූ “රත්තරං හීනයේ” ගීතය තාරකා ලියූ මුල්ම රූපවාහිනී නාට්‍ය තේමා ගීතය වන අතර අද “ගී මිහිර” ගෙනෙන්න අප එක්කරගන්නේ මේ දිනවල විකාශනය වන “පිනි අග පුළිඟු” සඳහා ඈ ලියූ “නිල් දෑසෙ මදහාස” ගීතය ය.

තාරකා වාසලමුදලිආරච්චි

”තේමා ගීතයක් ලියද්දී සාමාන්‍යයෙන් කතා පිටපත කියවන්න ලැබෙනවා. ඒත් මේ ගීතය ලියන්න ආරාධනය ලැබුණේ හදිස්සියේම මට ‘නිම්න’ පුතා ලැබිලා දවස් පහකදීයි. Music track එකට සතියක් ඇතුළත ලියා දෙන්න ඕන වුණා. ඉතින් කතා පිටපත කියවා කියවා ඉන්න කාලයක් තිබුණේ නැති හින්දා මං කතාව අහලා දැනගත්තා. ප්‍රධාන චරිත හැම එකක්ම වාගේ වෙන වෙනම බලාපොරොත්තු තුළ ජීවත් වෙන චරිත නිසා මේ ගීතයට සිහිනයක පසුබිම සුදුසුයැයි මට හිතුණා. ජීවත් වෙන අපි හැමෝටම සිහින තියෙනවා - නේ. හැමෝම සිහින සමඟ.”

”ගීතය සරලව ලියැවෙන්න ඕනෑ බවටත් උපදෙස් ලැබී තිබුණු හින්දා ගැඹුරට නොගොස් සරල පදමාලාවක් ලියන්න මමත් හිතුවා. එහෙම හිතාගෙන දිනේෂ්ගේ Music track එක ඇහුවාම කිසිම අපහසුවක් වුණේ නැහැ, මේ පදමාලාව ලියැවුණා. තනුවේ මිහිරියාව විඳිමින් මා ලියූ ගී පද රචනයට කසුන්ගේ ගායනයෙන් ඔහුත් සාධාරණය ඉටු කර තිබීම නිසා මේ දිනවල ‘නිල් දෑසෙ මදහාස’ ගීතයට වැඩි ශ්‍රාවක ප්‍රතිචාරයක් ලැබෙනවා. ඒ අතරින් මේ ගීතයට ආදරය අහිමි වූ හදවත් ඇති රසික රසිකාවියන්ගෙන් ලැබෙන උණුසුම් ප්‍රතිචාර විශේෂයි.”


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2011 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk