බිලි පූජාවක බළල් අත

 
 

සරසවි ප්‍රවේශ ප්‍රතිඵල සැකසීමේදී පුළුල් විද්වත් නියෝජනයක් ලබාගත යුතුයි!

 
 

අන්තර්ජාතික කුමන්ත්‍රණවලට අසුවී රට අස්ථාවර කිරීමට ඉඩ දෙන්න එපා

 
 

විශ්‍රාම වැටුප හැර වෙන කිසි දෙයක් මට ලැබී නැහැ

 
 

යාත්‍රා

 
 

මා ගායකයෙක් වුණේ අම්මගේ නැළවිලි ගීයේ මාධූර්යයෙන්

 
 

මනල්කාඩු වැලි කඳු අතර ඔත්තුකරුවෙක්

 
 

ශ්‍රී ලංකා ඇඟලුම් අපනයන ආදායම ඩොලර් බිලියන 4කට ළඟා වේ

 
 

ටිකිරි හමුව

 
 

ආර්ථවහරණයෙන් පසුව...

 
 

නිර්මලීට වැහුණු බීමත් අමනුෂ්‍යයා

 
 

ශිෂ්‍ය ගැටලුවලට විසඳුම් ලබාදීමේදී බුද්ධිමත්ව කටයුතු කළ යුතුයි

 

»
»

මත්ද්‍රව්‍ය කෙළින්ම බලපාන්නේ මොළයේ සන්නිවේදන පද්ධතියටයි

මත්ද්‍රව්‍ය කෙළින්ම බලපාන්නේ මොළයේ සන්නිවේදන පද්ධතියටයි

යම් දෙයක් නිසා අපට නිතරම සතුටක්, සැපයක් ලැබේ නම්, ඒ දෙය නැතිව අපට සතුටෙන් ඉන්නට නොහැකි නම් අපි ඒ දෙය වැඩි වැඩියෙන් ලබාගැනීමට උත්සාහ කරමු. එහෙත් එසේ කිරීමෙන් අපට සිදුවන්නේ විපතක් ම නම්? එවැනි ප්‍රශ්නයකට මැදිවුණොත් ඔබ කරන්නේ කුමක්ද?

අපට නැතිව ම බැරි දෙය කෙසේ හෝ අතහැර දමා ඉතා දුකින්, පිස්සුවෙන් මෙන් ජීවත් වෙනවාද? නැතහොත් අප ආසා කරන ඒ දෙය කෙසේ හෝ ලබාගෙන විනාශයට පත්වෙනවාද?

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකුට සිදුවන්නේ ද ඒ දෙය ය.

ශරීරයේ සහ අතේ කැපුම් තුවාල සහිතව පාරේ වැටී සිටි තරුණයෙක් පොලිසිය විසින් රෝහලට ඇතුළත් කරනු ලැබීය. තුවාලකරුගේ සිහි කල්පනාව ද සාමාන්‍ය නොවීය.

“ඔබට මොකද වුණේ” මම ඔහුගෙන් ඇසුවෙමි.

“ඒක තමයි ඩොක්ටර් මමත් කල්පනා කරන්නේ”

තුවාලවලින් ලේ ගැලීම නැවැත්වීම සඳහා මැහුම් යෙදිය යුතු බව මම පැවසුවෙමි. එවිට ඔහු කීවේ තමාට තුවාලවල කිසිදු වේදනාවක් නොදැනෙන බැවින්, මැහුම් දැමීමට පෙර හිරිවැට්ටවීම සඳහා දෙන එන්නත අවශ්‍ය බවයි. ඔහුගේ ඉල්ලීම මත හිරිවැටීමකින් තොරව මැහුම් යොදන ලදී. එය ඉතා වේදනාකාරී දෙයක් වුවත් ඔහුට ගාණක්වත් නැත.

මේ අතර තුවාලකරුගේ දෙමාපියෝ සහ මිතුරෝ කීප දෙනෙක් රෝහලට පැමිණියහ.

ඔහුගේ මිතුරන් අතර සිටි එක් අයකු වෙත මගේ නෙත යොමු විය. ඔහු අමුතු තාලයකට කොණ්ඩය වැවූ එක් කනක කරාඹුවක් දැමූ තරුණයෙකි. ඔහු පසුපසට ම වී, මාහට මුහුණදීමෙන් වැළකී සිටියේ ය.

මට එම තරුණයා වෙනමම කැඳවා ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූයේ, තුවාලකරුත් ඔහුත් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන බව ය. මත්ද්‍රව්‍ය භාවිතයෙන් පසුව ඔහු තම ශරීරය තියුණු ආයුධයකින් කපාගෙන තිබේ.

මත්ද්‍රව්‍ය යන ගොඩට අයත්වන රසායන ද්‍රව්‍ය රාශියක් තිබේ. ඒවා ආහාර ලෙස, බීම වර්ග ලෙස, එන්නත් ලෙස, බෙහෙත් වර්ග ලෙස හෝ රස කැවිලි ලෙස නිෂ්පාදනය කර තිබේ. වෙන එකක් තබා බුලත් විටට පවා ඒ මත් රසායන මිශ්‍රකර තිබෙන අවස්ථා තිබේ.

මත්ද්‍රව්‍ය භාවිත කරන විට මොළයට සහ ශරීරයට සිදුවන්නේ කුමක්ද? විවිධ මත්ද්‍රව්‍යවල ක්‍රියාකාරිත්වය විවිධාකාරය. එහෙත් සෑම මත්ද්‍රව්‍යයක් ම ප්‍රධාන මොළය සහ මොළයේ ක්‍රියාකාරිත්වය ඉලක්ක කරගත් ඒවා ය.

මත්ද්‍රව්‍යයක් ශරීරයට ඇතුළු වූ විට එය වහාම සොයාගෙන යන්නේ මොළයේ සන්නිවේදන පද්ධතියයි. එම මත්ද්‍රව්‍ය රසායන මොළයේ සන්නිවේදන පද්ධතියේ සෛල සමඟ සම්බන්ධ වී අසාමාන්‍ය සන්නිවේදන ඇති කිරීමට පටන් ගනියි. එය මත්ද්‍රව්‍ය ගත් පුද්ගලයාට දැනෙන්නේ, මීට පෙර නොදැනුණු අමුතු හැඟීමක්, අසාමාන්‍ය තරමේ සතුටක්, තමා සිටින තත්ත්වයේ වෙනසක් හෝ තෘප්තියක් ලෙසටයි. මානසික පීඩනයට පත්වූ අයෙකුට තමා එයින් මිදුණ හා සමාන හැඟීමක් ඇතිවෙයි.

එපමණක් නොව එම හැඟීම, ඔවුන්ගේ මතකයේ තදින් රැඳෙයි. එය ඔවුනට නිතරම මතක් වෙයි. ඒ නිසා එම හැඟීම යළි යළිත් ඇති කරගත යුතු බවට මොළය විසින් සංඥා නිකුත් කරනු ලබයි.

එසේ කලක් ගතවන විට ජීවිතයේ වෙනත් දේවලින් ලබන සතුට අබිබවමින් මත්ද්‍රව්‍ය මගින් ලබන ‘සතුට’ ඉදිරියට එයි. යටපත් වී ඒවා වෙනුවට මත්ද්‍රව්‍ය මඟින් ලැබෙන සතුට පැලපදියම් වෙයි. මත්ද්‍රව්‍ය ගැනීම අත්‍යවශ්‍ය දෙයක් බවට පත්වෙයි.

මේ අතර මොළයේ රසායන ද්‍රව්‍ය හා සෛලවල දීර්ඝකාලීන වෙනස්කම් සිදුවීමට පටන්ගනියි. මුලදී මත්ද්‍රව්‍ය සුළු ප්‍රමාණයකින් සෑහීමට පත්වූවන්ට පසුව එම හැඟීම ලබාගැනීම සඳහා මත්ද්‍රව්‍ය වැඩි ප්‍රමාණයක් අවශ්‍ය වෙයි. වැඩි වැඩියෙන් මත්ද්‍රව්‍ය ගැනීම නිසා මොළය හා ශරීරය ලෙඩ වෙයි. ඔහු සංකීර්ණ කායික - මානසික රෝගියකු බවට පත්වෙයි.

මත්ද්‍රව්‍ය භාවිත කරන කිසිම කෙනෙකු තමා ඉදිරියේ දී එවැනි තත්ත්වයකට පත්වෙතැයි සිතන්නේ නැත. ඔවුන් හැම දෙනෙකුම කියන්නේ මත්ද්‍රව්‍ය තමන්ට අවශ්‍ය ඕනෑම වෙලාවක නැවැත්විය හැකි බව ය. එය අදහස ඔවුන්ගේ ජීවිතයේ ඇති ලොකුම වැරදි විශ්වාසය බව කිව යුතු ය. මත්ද්‍රව්‍ය අත්හැරීම ඔවුන් කියන තරම් පහසු දෙයක් නොවන බව අවධාරණයෙන් පැවසිය යුතු ය.

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අයෙක් ඔහුගේ ඥාතීන් විසින් මා වෙත රැගෙන එන ලදී. ඔහු පැවසුවේ තමාට ඕනෑම විටක ඒවා අත්හැරිය හැකි නිසා ප්‍රතිකාර අනවශ්‍ය බවයි. තමා මීට පෙර බොහෝ වතාවක් මත්කුඩු ගැනීම නවත්වා ඇති බව ඔහු අවධාරණය කළේ ය. මත්කුඩු ගැනීම බොහෝ වතාවක් නවතන්නට වූයේ ඔහු විසින් බොහෝ වතාවක් මත්කුඩු ගැනීම ආරම්භ කර ඇති නිසා බව ඔහු නොදැන සිටියේ ය.

මා ඔහුට කීවේ හැකිනම් එසේ ටික කලකට හෝ මත්කුඩු ගැනීම නවත්වා පෙන්වන ලෙසයි. එහෙත් ඔහුට පසුවදා ම මත්කුඩු අවශ්‍ය විය. එවැනි ම තවත් තරුණයෙක් සිටියේ ය. තදින් ම මත්පැනට ඇබ්බැහි වී සිටි ඔහු රෝහලේ අසාධ්‍යව සිට ප්‍රතිකාර ලබා නිවසට යාමට පිටත් වන මොහොතේ මා සමඟ කතා කළේ ය. මින් ඉදිරියට මත්පැන් නොබී සිටීමට ඔහුට අවශ්‍ය විය. නමුත් ඔහුට ඒ සඳහා මානසික ධෛර්යයක් තිබුණේ නැත. ඔහු මගෙන් අසා සිටියේ කලාතුරකින් හෝ යළි මත්පැන් බිව්වොත් තම රෝගය නැවත හටගනී ද යනුවෙනි. මා ඔහුට අවධාරණයෙන් ප්‍රකාශ කළේ නැවත මත්පැන් බොනවා නම් වහ බොනවා යැයි සිතා එසේ කරන ලෙසයි.

ඔහු නිවසට ගොස් කලක් ඉතා වීර්යයෙන් මත්පැනින් වැළකී සිටියේ ය. නමුත් උත්සවයකට ගිය අවස්ථාවක මිතුරෙකු ලබාදුන් මත්පැන් වීදුරුවකට ඔහු ගොදුරු විය. එදා සිට නැවත පරණ පුරුද්ද ආරම්භ විය.

යළිත් වරක් අසාධ්‍ය වී ලේ වමනය කරමින් ඔහු රෝහල්ගත විය. මෙවර ඔහු මා සමඟ කතා කළේ නැත. නිදහසට කරුණු කීවේ ද නැත. ඔහු තම දරුවන්ගේ අනාගතය ගැන කියමින් හැඬුවේ ය. ළතැවුණේය.

ටික දිනකට පසු මිය ගියේ ය.

මත්ද්‍රව්‍යවල ඇති භයානකකම එයයි. මත්ද්‍රව්‍යවලට හුරු වූ කෙනෙකුට ආපසු හැරීම සිහිනයක් බඳු දෙයකි.

එක්තරා තැබෑරුමක් අසල යම් කිසිවකු විසින් ලියා අලවා තිබූ කොළ කෑල්ලකි.

“මත්පැන් බීවොත් ඔබ මිය යා හැකියි”

මමත් වඩාත් කිට්ටු වී එය කියවූවෙමි. එහි පහතින් ලියා තිබුණේ මෙසේ ය.

“මත්පැන් නොබීව ද ඔබ මිය යනු ඇත. එසේ නම් මත්පැන් බී මිය නොයන්නේ ඇයි”

මතට ඇබ්බැහි වූ අයෙකුට එවැනි බොළඳ තර්කයක් වුව ද ප්‍රමාණවත් ය. ඔවුන්ගේ මනස කොතරම් විකෘති වී ඇති දැයි එයින් ම පෙනෙයි. මොළය හොඳින් තිබේ නම්, ඇඟේ පතේ රෝගයක් හැදුණ විට ඒ බව තේරුම් ගෙන පිළියම් කළ හැකිය. එහෙත් මොළය විකෘති වූ විට ශරීරය රෝගී වූ බව අවබෝධ කරගන්නේ කෙසේද?

මත්ද්‍රව්‍ය නැවැත්වීමට සැබෑ උවමනාවක් ඇති අය කියන්නේ “ආයෙ මැරුණත් ඒවා ගන්නේ නෑ” කියා ය. මත්ද්‍රව්‍ය පාවිච්චිය නැවැත්වූ පමණින් හදිසියේ මිය යන්නේ නැත. නමුත් දැඩි අපහසුතා නම් ඇතිවන බව සත්‍යයකි. ඒවාට ඖෂධ ප්‍රතිකාර තිබේ. තමා විසින් ද දැඩි ආයාසයකින් ඉවසා සිටිය යුතු ය.

ඔවුන්ව දීර්ඝකාලීන ලෙස පුනරුත්තාපනය කළ යුතු ය. මතට හුරුවීම සඳහා බලපෑ සමාජ හේතු ඉවත් කළ යුතු ය. ඔවුනට ආදරයෙන් සැලකීම සහ උපදේශන සේවා ලබාදීම කළ යුතු ය. මෝහන ක්‍රමයට මෙහිදී විශේෂත්වයක් හිමිවෙයි. එමඟින් ඔවුන්ගේ මානසික ධෛර්යය සහ අධිෂ්ඨාන ශක්තිය වර්ධනය කළ හැකි ය.

ඉතා පහසුවෙන් වළක්වාගත හැකි ඇතැම් දරුණු රෝග තිබේ. ඒවා වැලඳුණ පසුව සුවකිරීම ඉතාම අපහසු ය.

මතට ඇබ්බැහි වීම ද එවැනි දරුණු රෝගයකි.

මහනුවර මහ රෝහලේ

හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රධානී

සායනික මෝහන වෛද්‍ය

එච්. දමිත් හෙට්ටිආරච්චි


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා