තවලම ඉදිරියට යා යුතුය

 
 

කරුගේ සහ සජිත්ගේ නි.නායක තනතුරු අවදානමේ

 
 

තරග බිම ඇද නොවැටෙන රාජ්‍ය මාධ්‍ය

 
 

නෙළුම පිපිණි

 
 

උද්ඝෝෂණ පිටුපස සිටියේ දියාරු දේශපාලකයෝ: ගෝනි විකුණා සල්ලි ගරන මුදලාලිලා:

 
 

යාත්‍රා

 
 

අලි වැටට කොටු වී ජීවිතේ යදින මහරත්මලේ ඇත්තෝ

 
 

ලන්දේසින්ගේ මල්වත්තට යාපනයෙන් මනාලියක්

 
 

සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ට ඩොලර් මිලියන 65ක ණය සැලසුමක්

 
 

පනහ පැන්නාම...

 
 

ටිකිරි හමුව

 
 

ඊළග ලෝක යුද්ධයේ පෙර නිමිති පහළ වෙයි

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
කතා කරන චිත්‍ර අඳින සිබිල් නැන්දා

දේශය සැරසූ මල් මාලය

කතා කරන චිත්‍ර අඳින සිබිල් නැන්දා

ලාංකීය කලා කෙතේ පමණක් නොව අන්තර්ජාතික තලයේ ද සිය පන්හිඳේ මෙන්ම තෙලිතුඩේ අපූර්වත්වය විදහා දක්වමින් ළමා ලොව දිනු සිත්තරාවියක ළමා කතා නිර්මාණ ශිල්පිනියක වූ ඇය නමින් සිබිල් වෙත්තසිංහ නම් වන්නීය. ඇයටම ආවේණික වූ ශෛලියකින් සිතුවම් නිර්මාණය කරන ඇය ළමා ලෝකයෙහි අපූර්වත්වයක් සිය නිර්මාණවලට එකතු කර ගත්තාය.

එපමණක් නොව ළමා ලෝකයෙන් අහුලා ගන්නා වස්තු විෂයයන් ඇය සැම විටම තම නිර්මාණවල ආධ්‍යාත්මය කොට ගත්තාය. ඒ නිසාම සුන්දර ළමා ලෝකය සිතුවමට නඟන්නට උපන් හපන්කම් දක්වන ඇයගේ සිතුවම් කලා නිර්මාණ ළමා ලොව වඩා ඔපවත් කරන්නේය. සිය ස්වීයත්වය විදහාපාමින් සිතුවම් මෙන්ම ළමා කතා නිර්මාණය කිරීම නිසා පරම්පරා කිහිපයක ළමා ලෝකයේ ඇය වීරවරියක වී සිටින්නීය.

දෙස් විදෙස් සම්මානයට පාත්‍ර වෙමින් එදා මෙන්ම අද දක්වා ළමා නිර්මාණ සිතුවම් කරන්නීය. සිබිල් වෙත්තසිංහ නම් ළමා කතාකාරිය සිත්තරාවිය මෙතරම් සියුම් ලෙස දෙස් විදෙස් ළමා ලෝකය ස්පර්ශ කර ඇත්තේ ද ළමා මනස පිළිබඳව ඇයට දැනුම් සම්භාරයක් ඇති නිසාය.

එහෙයින්ම ලොව දිනු ළමා කතා සහ චිත්‍ර ශිල්පීන් සැම දෙනා අතරම ඇය ද එක් වී සිටින්නීය. සූත්තර පුංචා, කුඩ හොරා, වෙසක් පහන එදා සිට අද දක්වා ළමා පරපුර අතර එක සේ ජනපි‍්‍රයය.

ළමා පොත් දෙසීයකට අධික සංඛ්‍යාවක් ඇගේ අතින් නිර්මාණය වී ඇත. ඒ සෑම නිර්මාණයකම සිතුවමකම ඇගේ ගිංතොටගම සිතුවම් කිරීමට අමතක නොකළාය. ගිංතොටගම තම ආත්මය හා බැඳි පවතින බව ඇය පවසන්නීය.

ගමේ ගහකොළ ඇළදොළ සතුන්, ගේදොර සුන්දර වටපිටාව ඇගේ සිතුවම්වලට වස්තු විෂය වී ඇත. සිතුවම් කලාවේ, ළමා කතා කලාවේ මේ තරම් දිගු ගමනක් යෑමට ඇයට මඟ පෑදුණේ කෙසේ ද? යන්නත් ඇයට මුලින් ම අන්තර්ජාතික සම්මානයක් ලැබුණු දවස සහ ඒ සම්මානයට පාත්‍ර වූ කෘතිය පිළිබඳවත් අසා දැන ගැනීමට අපි පසුගිය දිනෙක නුගේගොඩ පැපිලියාන පාරේ ඇගේ නිවෙසට ගොඩ වුණෙමු.

“වෙසක් පහන” නම් වූ ළමා කතා පුවතට 1965 වසරේ බ්‍රිතාන්‍යයේ පැවැති කාන්තා සංවිධානයක් මඟින් පිරිනමන ලද සම්මානයක් ඇයට මුල් වරට ලැබිණි. ඉන් අනතුරුව ඇය ජපානය, යුගොස්ලොවියාව, චීනය වැනි රටවල් ගණනාවක සම්මානයන්ට පාත්‍ර වූවාය. මුලින්ම සම්මානයට පාත්‍ර වූ “වෙසක් පහන” නම් ළමා සිතුවම් සහ කතාව සම්මානයට පාත්‍ර වීමෙන් ඇගේ ළමා කතා කලාවට නැවුම් වින්දනයක් ධෛර්යයක් ලැබුණු බව ඇය සඳහන් කරන්නීය.

“මට මුලින් ම සම්මානයක් ලැබුණේ 1965 වසරේ. එංගලන්තයේ කාන්තා සංවිධානයක් සංවිධානය කළ තරගයකට මම කතාවක් ලියලා තැපැල් කළා. ‘වෙසක් පහන’ කතා පිටපත ලියවුණේ මෙහෙමයි. මගේ පුතා පුංචි කාලේ මේ සිද්ධිය වුණේ. මගේ පුතාගේ වයස අවුරුදු දහයක් ඇති. වෙසක් උත්සවයත් ළඟම ආවා.

කුඩා අවදියේදී

පුතා ආච්චි අම්මත් එක්ක එකතු වෙලා ලොකු කූඩුවක් හදන්න පටන් ගත්තා. මමයි මහත්තයයි කූඩුවට අවශ්‍ය බට කෝටු, සව්කොළ සැරසිලි වලට අවශ්‍ය දේ ගෙනත් දුන්නා. දවස් ගණනක් මහන්සි වෙලා මුනුපුරයි, ආච්චි අම්මයි ඉස්සරහා කාමරයකට වෙලා මහන්සි වෙලා කූඩුව හැදුවා. වෙසක් උත්සවයට දවස් දෙකක් විතර තිබියදී පුතාලගේ තාත්තා ඉස්සරහ කාමරයට එබිලා කූඩුව දිහා බැලුවා. හරිම අලංකාරයි. මහත්තයා එක පාරටම කියනවා ‘කූඩුවනම් අපූරුයි ඒත් කොහොමද? පුතේ දැන් මේ කූඩුව එළියට ගන්නෙ’ කියලා.

එතකොටයි දෙන්නට මතක් වුණේ. ‘ඇත්ත නේන්නං ආච්චි අම්මේ දැන් අපි මොකද කරන්නෙ’ කිව්වා. කාමරේ උලුවහුවෙන් එළියට ගන්න බැරි නිසා කූඩුව කඩලා දෙන්නා ගෙයින් එළියට ගත්තා. කූඩුව සරසන ආසාව හැර දෙන්නට මේක එළියට ගන්න බැරි බව මතක් වුණේ නැහැ. අන්තිමට කඩපු කූඩුවේ කෑලිවලින් දෙන්නා වෙන වෙනම කූඩු දෙකක් හදලා ගෙයි දෙකොනේ එල්ලුවා.”

“මේ වගේ ජීවිතේ අත්දැකීම පසුබිම් කරගෙන මම අලංකාර කතාවක් ගොඩනැඟුවා. ඒ කතාවට තමයි මට සම්මානය ලැබුණේ. එහි කතානායකයා දුප්පත් දරුවෙක් එළවුළු විකුණන අවිහිංසක මිත්තනියක් විතරයි මේ දුප්පත් දරුවට හිටියේ. ඈත පළාතක වෙසක් බලන්න ගිය වෙලාවක මේ දරුවා දකිනවා ලොකු කූඩු. ආච්චි අම්මට සල්ලි නැති නිසා ඒ දරුවා කූඩුව හදන්න උනන්දු වුණේ නැහැ. ඒත් ආච්චි අම්මා කිව්වා ‘අපි කූඩුවක් හදමු’ කියලා. සිල් සමාදන් නොවී ආච්චිත් මුනුපුරත් එක්ක එකතු වෙලා කූඩුව අලංකාර කළා. අන්තිමට කූඩුව විශාල නිසා ආච්චි කූඩුවේ ඇතුළට වෙලා කොළ ඇලෙව්වා. කූඩුව අලවලා ඉවරයි ආච්චි අම්මාට එළියට එන්න බැහැ. හතරවටින්ම කොළ අලවලා. කොළ ඉරුණොත් ගන්න මුදලුත් නැහැ. මුනුපුරාගේ සතුට වෙනුවෙන් ආච්චි අම්මා කූඩුව ඇතුළට වෙලා හිටියා. ඉටිපහන් පත්තු කරලා හරිම අලංකාරයට ආච්චි කූඩුව ඇතුළට වෙලා භාවනා කරනවා.

ඉටිපහන් ආලෝකයට ඇගේ සෙවණැල්ල කූඩුවට වැටුණා. හරිම අලංකාරයි. මිනිස්සු සාධුකාර දෙනවා. දුප්පත් ළමයාට ප්‍රශංසා කරනවා මේ බලන්න හරිම ලස්සනයි සිල් ඇත්තියක් ඇතුළේ භාවනා කරනවා. මේ ළමයා මේක කොහොම ද? හැදුවේ මිනිස්සු කතා වුණා.

එංගලන්තයේදී ඇලෙක්සැන්ඩ්‍රා කුමරියත් විනිශ්චය මණ්ඩලයේ ඉඳලා තියෙනවා බුදු දහමේ ඇති ගැඹුරු ධර්ම කරුණු මෙහි අන්තර්ගතයි කියලා එයාලා මෙම කතාව සියුම්ව විග්‍රහ කරලා මට රටවල් ගණනාවක ළමා රචනාවලින් ප්‍රථම ස්ථානය ලබා දී තිබෙනවා.” “1982 වසරේ දී මට ඊළඟ සම්මානය ලැබුණේ. ළමා පොත්වල චිත්‍ර ශිල්පය ජපානය සැලකුවේ සියුම් කලාවන්ගෙන් එකක් ලෙසයි. ලෝකයේ ම ළමා පොත් සහ චිත්‍ර ශිල්පීන්ගෙන් තුන්වැනි ස්ථානය මට හිමි වුණා. ඒ අවස්ථාවේ ජපානයේ ප්‍රකාශකයෙක් මගේ “කුඩ හොරා” කතාව ප්‍රකාශයට පත් කළ යුතුයි කිව්වා. 1986 දී කුඩ හොරා ළමා සිතුවම් කතා පොත ජපානයේ ප්‍රකාශයට පත් කළ හොඳම විදේශීය කතා පොතට හිමි සම්මානය හිමි වුණා.

ඇය ලද සම්මාන

ලෝකයේ ළමා පොත් ලේඛකයින් වඩා සාර්ථකත්වයට පත් වී ඇත්තේ තමන්ට ම ආවේණික ශෛලියකින් චිත්‍ර ඇඳීම හා කතා නිර්මාණය කිරීමෙනුයි. ඉතිහාසයේ ගත් විට බියට්‍රිස් පොටර් ලේඛිකාව ස්වීය අනන්‍යතාවකින් යුතුව කතා ලිව්වා. මම කියන්නේ නැහැ කතාව ලියන කෙනාම චිත්‍රයත් ඇඳිය යුතුයි කියලා. ළමා මනස පිළිබඳ හොඳ හැඟීමක් ඇති චිත්‍ර ශිල්පියකුට ලේඛකයා ලියන දේ වටහා ගත හැකියි. ළමා මනස හොඳින් වටහා ගත හැකි කෙනෙකුට ළමා මනෝ විද්‍යාව හොඳින් හැදැරූ කෙනෙකුට පමණයි ළමා මනස ක්‍රියාත්මක වන ආකාරය දැනෙන්නේ.

ධනපාල මහත්තයාත් මට එක් වරක් කිව්වා මම අඳින චිත්‍ර කතා කරනවා කියලා. මගේ චිත්‍ර දෙස බැලු විට සිතුවම තුළින් කතාව තේරුම් ගත හැකි බවයි ඔවුන් සඳහන් කරන්නේ. මම ඒ ඒ චරිතවල හැඟීම් ප්‍රකාශනය කිරීමේ මාධ්‍යය ලෙස චිත්‍රය යොදා ගන්නවා. සිතුවම කියන්නේ විශ්ව භාෂාවක්.

මගේ අම්මා මට චිත්‍ර අඳින්න දුන්නෙ නැහැ. ගිංතොට පාසලෙන් කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට ආවා. ඒ පාසලෙනුත් මට චිත්‍ර අඳින්න රුකුලක් ලැබුණේ නැහැ. ඒත් මම මගේ හැකියාව අතහැරියේ නැහැ. ගිංතොට අපේ මහ ගෙදර දවසක් සිංහල අවුරුද්දට හුණු පිරියම් කරලා තිබුණ බිත්තියේ අඟුරු කෑල්ලකින් සිතුවම් ඇන්දා මගේ හිතේ තියන හැමදේම ඇන්දා. අවුරුද්දට ගෙවල් හුණු පිරියම් කරලා තිබුණ නිසා බිත්තිය පුරා අඟුරු කෑල්ලෙන් ඇන්ද නිසත් අම්මා කඳුළු රෙදි පොටින් පිසදාගත්තා. අම්මගේ හිත තේරුම් ගන්න තාත්තා අවුරුදු ලබන්නට කලින් මගේ අඟුරු සිතුවම් මකලා දාලා ආයෙත් හුණු පිරියම් කළා. ළමා මනසට දැනෙන හැඟීම් තේරුම් ගන්න තාත්තට පුළුවන් වුණා.

එදා තමයි මගේ හිතේ හැටියට මම මුල් වරට චිත්‍ර ඇඳපු දවස. එදා මගේ ළමා මනස මට අදත් හොඳින් තේරුම් ගන්න පුළුවන්.”

“ළමයින්ගේ සිතැඟිවලට අනුව එයාලගේ ලෝකයට ගිහින් මම චිත්‍ර අඳින්නේ. පාසලේදී තැඹිලි ගෙඩියයි, වතුර වීදුරුවයි බලාගෙන චිත්‍ර අඳින්න කිව්වට මම කවදාවත් ඒ චිත්‍ර කලාවට පි‍්‍රය කළේ නැහැ. මගේ සහජ හැකියාවෙන් මම පාසලේදීත් චිත්‍ර ඇන්දා. ගණිතය උගන්වන වෙලාවෙත් මම දවසක් ගුරුතුමීගේ මූණ ඇන්දා. ඒ චිත්‍රයත් සමඟ ඉස්කෝලේ පුරා ප්‍රචාරය වුණා මට චිත්‍ර අඳින්න හැකියාවක් ඇති බව.

නිතර සිනා නොවන මවුතුමියක් හිටියා. මම ඒ මවුතුමියගේ මුහුණ ලස්සනට ඇන්දා හැමදාම මූණ රැළි ගන්නගෙන රවාගෙන ඉන්න එතුමියගේ අතට මේ චිත්‍රය පත්වුණා. මම හිතුවා එතුමිය පන්තියට එන විට මට ගහයි කියලා. මට අඬ ගහලා කිව්වා “මම හුඟ කාලයකින් මම මගේ සැබෑ මූණ දැක්කේ ඔය ළමය නිසයි ඊට ස්තුතියි කියලා. අන්තිමට වුණේ කවදාවත් හිනා නොවුණ ඒ මවු තුමිය හිනාවුණ එකයි. ළමයි හරි සතුටු වුණා එදා ඒ මවුතුමිය හිනාවුණ නිසා.

ළමයි කියන්නේ දකින දේ කියන ලියන අඳින හරිම අවංක පිරිසක්. ළමයි මේ ලෝකයට ආධුනිකයි. මුළු ජීවිත කාලයත් අපට තියනවා අපේ හිත් පාරගන්න, දුක් වෙන්න, ළමයින්ගේ ලෝකයට අපි ඊර්ෂ්‍යාව, බොරුව, කුහකකම ඇතුළු කළ යුතු නැහැ. සමාජයත් සමඟ ගැවසෙන විට ඉබේම සමාජයේ නපුරුකම්, කුහකකම්, බොරුව ඉගෙන ගන්නවා. ළමයිගේ ලෝකයේ ජීවත්වන වැඩිහිටියන් ද සුන්දරයි.”

සිබිල් මහත්මිය ධර්මපාල වෙත්තසිංහ මහතා සිය දරුවන් සමඟ

අන්තර්ජාතික සම්මානයට පාත්‍ර වූ සිබිල් වෙත්තසිංහ මහත්මිය මෙරට කලා කෙතේ අග්‍ර ඵලයකි. මේ ප්‍රවීණ චිත්‍ර ශිල්පිනිය හා ළමා කතා රචිකාව රචනා කළ කුඩ හොරා ළමා කතාව ජපන් ළමා පුස්තකාල සංගමයේ ජනපි‍්‍රයතම ළමා පොත ලෙසත් ජපානයේ 1986 දී පළවූ හොඳම විදේශ පොත ලෙසත් සම්මාන ලැබීය. ලංකාවේ චිත්‍ර ශිල්පිනියන් සඳහා ලියැවුණු මුල්ම චරිතාප්‍රදානය ඇය වෙනුවෙන් ලියවිණි. එය “ලොව දිනු සිත්තරා” ලෙස එළි දැක්විණි. මෙවැනි දිගු ගමනක් යෑම සඳහා ඇයට උපකාරී වූයේ තමන්ටම ආවේණික වූ කතා ශෛලිය බවත් ඇයටම ආවේණික වූ සිතුවම් පෙළ බවත් ඇය පවසන්නීය.

එච්. ඩී. සුගතපාල මහත්තයාගේ උදව්වෙන් “ලංකාදීප” පුවත්පතට මම 1948 දී බැඳුණා. ඒ කාලේ ලංකාදීප පුවත්පතේ කර්තෘ ඩී. බී. ධනපාල මහතායි. ඒ කාලයේ අලුත් දරුවන්ට පත්තර කලාවේ කැපිලි කෙටිලි නැහැ. හැකියාවන් දියුණු කර ගන්න අතහිත දෙනවා. සුනිල් ශාන්ත, චන්ද්‍රරත්න මානවසිංහ, ඩබ්ලිව්. ඒ. සිල්වා වැනි ප්‍රවීණයෝ මට හරියට උදව් කළා. ඒ කාලේ අපිට හුඟාක් පහසුකම් තිබුණේ නැති වුණත් මම චිත්‍ර කලාවේ අනන්‍යතාවක් ගොඩ නඟාගෙන ඉදිරියට ගියා.

මම කුඩ හෙරාගෙන් පටන්ගත් ළමා කතා කලා සම්ප්‍රදාය අද බොහෝ දෙනෙක් අනුගමනය කරනවා.

මම අලුත් පරපුරෙන් ඉල්ලන්නේ තමාට ආවේණික ශෛලියන් ගොඩනඟා ගන්න කියලයි. නිර්මාණ හැකියාව ලබා උපන් දෙයක් මට සහජයෙන් ආ දැනුමක් චිත්‍ර ඇඳීම. මගේ සීයා හරිම ප්‍රසිද්ධ කලාකරුවෙක්. ලේක්හවුස් ඉදිරිපස අලංකාර පහන නිර්මාණය කර තිබෙන්නේ මගේ සීයා. කලා භවනෙත් දොරකඩ ඉන්න සිංහයන් දෙදෙනාත් අපේ සීයාගේ නිර්මාණ. අනුරාධපුර ඇත් පවුර අපේ සීයාගේ අතින් හැඩ වී තිබෙනවා.

සව්දිරිස් ද සිල්වා මහතාගේ සහ ජොසලින් ද සිල්වා මහත්මියගේ දෙවැනි දැරිවිය ලෙස මෙලොව එළිය දුටු සිබිල් වෙත්තසිංහ මහත්මිය ගිංතොට බෞද්ධ පාසලකින් අධ්‍යාපනය ලැබුවාය. ඉන් අනතුරුව ඇය කොළඹ ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබුවාය. පාසල් අවදියේ සිට චිත්‍ර ඇඳීමට උපන් හපන්කම් පෑ ඇය පසුකාලීනව ලංකාදීප පුවත්පතේ සේවයට බැඳුණාය. ඒ 1948 වසරේදීය. ජනතා පුවත්පතේ ද සේවය කළාය.

1999 වසරේ ආරම්භ කළ බිංදු ළමා පුවත්පතේ මුල්ම කතුවරිය ලෙස කටයුතු කළාය. ඇයට 1965 වසරේ “වෙසක් පහන” නම් ළමා කතා පුවතට බ්‍රිතාන්‍යයේ කාන්තා සංවිධානයක් විසින් සම්මානයක් හිමි විය. 1982 වසරේ ජපානයේ ළමා පුස්තකාල සංගමයේ ජනපි‍්‍රයතම ළමා පොත ලෙසත් 1986 දී ජපානයේ පළවූ හොඳම විදේශ පොත ලෙස ‘කුඩ හොරා’ ළමා කතා පොත සම්මාන හිමිකර ගෙන ඇත. දුටු විගස සිබිල් නැන්දාගේ සිතුවමක් හඳුනා ගැනීමට ඕනෑම දරුවෙකුට හැකියාවක් ඇත.

ඇගේ අතින් නිමවූ වෙසක් පහන, සුත්තර පුංචා, කුඩ හොරා එදා මෙන්ම අද දක්වා පරපුර කිහිපයක ළමා ලොව දිනුවේය. ළමා ලෝකයට පිවිස එහි අපූර්වත්වය සිය නිර්මාණයේ අන්තර්ගත කිරීම තුළින් ඇගේ ළමා නිර්මාණ අතිශයින්ම විචිත්‍රවත් වී ඇත. ලොව දිනු සිත්තරාවන් 60 දෙනා අතරට ඇය එක්වූයේ ද ඇගේ මෙම සුවිශේෂ කුසලතාවන් නිසා විය හැකිය. සිබිල් වෙත්තසිංහ දුර්ලභ ගණයේ නිර්මාණ කාරියකි. ළමාමනස සියුම් ලෙස ස්පර්ශ කළ ඇය ළමා හදවත් තුළ සදා මතකයේ රැඳෙන්නේය. අන්තර් ජාතික කීර්තියට පත් වූ සිබිල් නැන්දාට ලොව පුරා ළමා පරපුරේ අමිල ආදරය හිමි වන්නේය. සිබිල් වෙත්තසිංහ යනු අප රට ලද සම්පතක් බඳු කලාකාරියකි. පරපුර ගණනාවක් ළමා ලොව දිනු ඇය අසු තුන්වැනි විය පසු කරමින් සිටින්නීය. ඇයට අප දිගාසිරි පතමු.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා