ලජ්ජා නොවී මේ පාරෙන් එන්න

 
 

සහල් හිඟයක් මවාපාන්න බැහැ

 
 

සාමකාමී අනාගතයක් සඳහා සියලු බේද නොසලකා ඉදිරියට යමු

 
 

අපගේ දිවයින කුඩා නමුත් මෙරටින් ලෝකයට ලබාදුන් දායකත්වය අති විශාලයි

 
 

යාත්‍රා

 
 

ලෝකෙට ගණන් පෙන්වූ අපේ පුංචි හපන්නු

 
 

පාන්දරම පිං ළිඳෙන් නාලා ආවාම කිරි අම්මාගෙන් උණු උණුවේ ලුණු කැඳ කෝප්පයක්

 
 

Foton මෝටර් රථ 4ක් වෙළෙඳ පොළට

 
 

දරුවන්ට පාපැදි අරන් දෙන වැඩිහිටියන් මේ ගැනත් හිතන්න

 
 

රටත් ජනජීවිතයත් නැංවීම අරමුණු කළ අයවැයක්

 
 

ටිකිරි හමුව

 
 

එතෙරින් කෙටියෙන්

 

»
»
»
»
»
»
»
»
»
»
»
අපගේ දිවයින කුඩා නමුත් මෙරටින් ලෝකයට ලබාදුන් දායකත්වය අති විශාලයි

ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ දේශනය

අපගේ දිවයින කුඩා නමුත් මෙරටින් ලෝකයට ලබාදුන් දායකත්වය අති විශාලයි

මහාචාර්ය ආනන්ද ඩබ්ලිව්.පී.ගුරුගේ

ඇතැම්විට චීනය හැරුණුකොට වෙනත් කිසිම රටක් අපගේ දිවයින මෙන් දීර්ඝ වූත්, අඛණ්ඩ වූත්, කාලපරිච්ඡේදයක් පුරා සිය අසල්වැසියන්ට මෙන් ම ඒ ඒ අවස්ථාවල දී ලෝකයට අනාවරණය වී තිබූ දුරස්ථ ප්‍රදේශවලට විවෘත වී නොතිබිණි. ශ්‍රී ලංකාව විසින් ඉහළ මට්ටමේ දෘශ්‍යතාවක් පවත්වාගෙන යනු ලැබූ අතර, ලෝකය කෙරෙහි තීරණාත්මක බලපෑමක් ද එල්ල කරනු ලැබිණි. ශ්‍රී ලංකාවේ විශාලත්වය නොසලකා මෙවැනි තත්ත්වයක් උදාකර ගැනීමට අපි සමත් වීමු.

අපගේ දිවයින කුඩා වූ නමුත් ලෝකයට මෙරටින් ලබාදුන් දායකත්වය අතිවිශාලය. මෙය වූ කලී අප විසින් ප්‍රෞඪත්වයෙන් යුතුව අනුස්මරණය කළ යුතු වාර්තාවකි. කුමක් නිසාද යත් අප විසින් සාක්ෂාත් කරගත යුතු බවට අපගේ මුතුන්මිත්තන් විසින් අපට පනවා තිබෙන ඉලක්කයක් වන ලෝකය දෙසට පුළුල් ලෙස යොමුවීමේ උදාහරණය අනුගමනය කිරීමෙහිලා අප එමඟින් පොලඹවනු ලබන බැවිනි.

පෞරාණික චීන පුරාවෘත්තයකට අනුව ‘සිංහල’ නමැති මුහුදුබඩ වෙළෙන්දකු විසින් ශ්‍රී ලංකාව ජනාවාසකරණයට ලක්කොට තිබේ. මෙරටේ ආදිවාසීන් සමඟ ඇතිකර ගනු ලැබූ වෙළෙඳ සබඳතා හේතුකොට ගෙන එසේ සිදුවී ඇත. බෞද්ධ ශික්ෂාවේ මේ පිළිබඳ යොමුවක් සඳහන් වී නොමැති නමුත්, බුදුන්වහන්සේගේ චාරිතා පිළිබඳව බෞද්ධ සම්ප්‍රදායන් දෙකේම කරුණු ඉදිරිපත් වී තිබේ; බුදුන්වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ බව මහාවංශය ප්‍රකාශ කරයි.

සබඳතා

මේ අතර මහායාන සම්ප්‍රදායට අනුව මෙ රටේ දී මනස පිළිබඳ දේශනයක් පැවැත්වීමට බුදුන්වහන්සේ වැඩම කරවා ගනු පිණිස රාවණ විසින් ඔහුගේ දඬුමොනර වාහනය යැවූ බව සඳහන් වෙයි. අපගේ ඉතිහාසයට අනුව විජය සහ ඔහුගේ අනුගාමිකයන් පිරිස ලාට රටින් පිටුවහල් කරනු ලැබුවේ මංපැහැරීම නිසා වන නමුත් ඔවුහු තවදුරටත් ඉන්දියාව සමඟ සබඳතා පවත්වාගෙන ගියහ.

දකුණු මධුර ප්‍රදේශයෙන් භාර්යාවන් කැඳවාගෙන ඒමටත්, තම අනුප්‍රාප්තිකයා වශයෙන් සහෝදරයකු ගෙන්වා ගැනීමටත් විජය පියවර ගෙන ඇත. අනතුරුව උතුරු ඉන්දියාවෙන් නිරතුරුව පැමිණි ආගමණිකයෝ මවුබිම සමඟ තවදුරටත් සබඳතා පැවැත්වූහ.

ක්‍රි.පූ. හතරවැනි ශතවර්ෂයේ දී වර්තමාන පකිස්තානයේ ඉන්දු නිම්නයත්, ශ්‍රී ලංකාවත් අතර මෙරට නැව් යාත්‍රා කළ බවට සාක්ෂි ඉදිරිපත් වී ඇත. මෙම මුහුදු ගමනට දින විස්සක් ගතවූ බවත්, ශ්‍රී ලංකාවේ නැව් තාක්ෂණික වශයෙන් බාල තත්ත්වයකින් පැවැති බවත් මහා ඇලෙක්සැන්ඩර් (ක්‍රි.පූ.356 – 326) නාවික අද්මිරාල්වරයා වන ඔනෙසික්රීටස් වාර්තා කරයි.

මේ අවදියේ දී ම පණ්ඩුකාභය රජතුමා (ක්‍රි.පූ. 380- 310 පමණ) අනුරාධපුර නව නගරයෙන් ඉඩම් කොටසක් ග්‍රීකයන්ට පවරන ලද බව මහාවංශය වාර්තා කරයි. ඊට දශක කීපයකට පසුව මහින්ද තෙරුන්වහන්සේගේ ආගමනයට කලින් ප්‍රකාශිත අශෝක සෙල්ලිපි ii සහ iii අනුව ඔහු විසින් ආධාර සපයනු ලැබූ රටවල් අතුරින් එකක් වශයෙන් තම්බපණ්ණිය හැඳින්වෙයි.

මෙකී ආධාර අතර දුර්ලභ ශාක, ඖෂධීය පැළෑටි සහ මනුෂ්‍යයන්ට හා තිරිසනුන්ට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර තිබිණි. තවද තමා දුන් ආධාර සඳහන් කරන අටියෙන් බ්‍රාහ්මී අක්ෂරයෙන් ප්‍රකාශිත අභිලේඛන ගණනාවක ම බෞද්ධ ආයතනවලට ආධාර සැපයූ අය වශයෙන් විදේශීය වෙළෙඳුන් හා නාවිකයන් පිළිබඳව විස්තර සඳහන් වෙයි.

එයින් කීප දෙනකු නම්, උතුරු පකිස්තානයේ කාම්බෝජ-වාර්ගික, සීතියන් ප්‍රදේශයේ මුරුන්ඩා හෝ ශක ඇෆ්ගනිස්තානයේ ලම්පදා සහ ඉන්දුනීසියාවේ ජාවකයි ඉන්දියාවේ ගංගානම් ඩෙල්ටාවේ තාම්රලිප්නි සහ යාපනය අර්දධද්වීපයේ වුලිපුරම් ආසන්නයේ ජම්බුකෝල අතර විධිමත් නාවික සේවාවක් පැවැති බව පෙනේ.

සංඝමිත්තා තෙරණිය බෝ අංකුරයක් සමඟ මෙරටට පැමිණියේත් මේ මුහුදු මාර්ගය ඔස්සේය. ඉන්දියාවෙන් මෙරටට යාත්‍රා කළ නැව් පැමිණි තවත් වරායක් නම් ගෝකණ්න හෙවත් ත්‍රිකුණාමලයයි. මේ සියලුම කරුණුවලින් පෙනී යන්නේ අසල්වැසි රටවල් සමඟ වෙළෙඳ මාර්ග පැවති බවටයි.

 “අපේ පියාණන් අපට අහිමි වූ දිනයේ පටන් ඔහු අපට මාර්ගෝපදේශකත්වය ලබා දෙමින් උපකාර කළේයි එම රික්තය ආවරණය කරනු ලැබුවේ බෝසත්වරයෙකු වැනි ඔහු විසිනි. බෝසත්වරයකුගේ ගුණාංග ඔහු සතු වීය. කිසිම දිනක ඔහු බොරුවක් කීවේවත් පරුෂ වචනයක් දෙඩුවේවත් නැති ඔහුගේ ම පවුල වශයෙන් සලකනු ලැබූ අපේ පවුලට ඔහු පහන් කණුවක් වීය. අපේ බඩගින්න ඔහුගේත් බඩගින්න බවට පත්විය. අපගේ ඕනෑ එපාකම් ඔහුගේත් ඕනෑ එපාකම් විය. අප ඔහුගේ සහෝදරයාගේ දරුවන් වූ නමුත් අපට සෑම විටම මුල්තැන හිමි විය. ඔහු ධනපතියාගේ ගේට්ටුව අසල රැඳී සිටි පුද්ගලයකු නොවන නමුත් උපකාරයක් කිරීම පිණිස නිතර දුප්පතාගේ පැල්පතට ඇතුළු විය. ඔහු අපට ලබා දුන්නේ එයයි. එම දැක්ම ඔහුගේ දරුවන් විසින් මේ දක්වා පවත්වාගෙන යනු ලබයි.”

හම්බන්තොට

ඉන්දුනීසියාව සමඟ පැවැති වෙළෙඳ කටයුතු දේවානම්පියතිස්ස (ක්‍රි.පූ. 250 –210) සමය තරම් ඈතට යයි. විෂ කැවූ අඹ ගෙඩියක් මඟින් දිවි තොර කරවීමට යත්න දරනු ලැබූ අවස්ථාවේදී මාගමට පළාගොස් දිවි බේරාගත් මහානාග නමැති ඔහුගේ සොහොයුරු කුමාරයා දසබෑරජුන්ගේ ජාවා ජාතික රෙජිමේන්තුවේ ප්‍රධානියා වශයෙන් සේවය කළේය. නැව හඳුන්වන කැන්ටන් ශබ්දය වන’සම්පන්’ සඳහා වූ වරාය යන අරුත දෙන ‘හම්බන්තොට’ යන නාමය එම අවදියේ පටන් භාවිතයේ පවතින්නට ඇත. අම්බලන්තොට අසළ පිහිටි ගොඩවාය ජාත්‍යන්තර වරායක් බව බ්‍රාහ්මී අභිලේඛනයක සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලැබූ භාණ්ඩ අතර කුළුබඩු හා ලෝහ වර්ග විය. සංස්කෘත භාෂාවෙන් ‘සිංහලක’ යන්නෙහි අර්ථය වන්නේ කුරුඳු, ගම්මිරිස් හා පිත්තලයි. හින්දි භාෂාවෙන් සාදික්කා හඳුන්වනු ලබන්නේ ‘ලංකා’ ශබ්දයෙනි. යුරෝපයේ ග්‍රීක - රෝමානු ප්‍රදේශයත්, නැඟෙනහිර ආසියාවේ චීනයත් සෞභාග්‍යයෙන් ඉහළ තත්ත්වයකට පැමිණීමත් සමඟම ඒ දෙපාර්ශවය ම සුඛෝපභෝගී භාණ්ඩ හුවමාරු කර ගැනීම ආරම්භ කළ අතර, ගමන් මාර්ග ගණනාවක් ද භාවිතයට පත්විණි.

මේවා අතරින් ගොඩබිම් මාර්ග තුනක් හා එක් මුහුදු මාර්ගයක් ප්‍රධාන තැන ගනී. මේ මුහුදු වෙළඳ මාවතේ හරියටම මධ්‍ය ලක්ෂයේ ශ්‍රී ලංකාව පිහිටා තිබූ බැවින් තලෙයිමන්නාරම අසළ මහාතිත්ථ හෙවත් මාන්තොට හෙවත් මන්නායි ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්විය.

මෝසම් සුළඟ ද මීට දායකත්වයක් සපයා ඇත. බටහිරින් පැමිණි ග්‍රීක රෝමානු නැව් ද නැඟෙනහිරින් පැමිණි චීන නැව් ද මේ වරාය තුළට යාත්‍රා කළේය. පැහැදිලි වශයෙන් ම ශ්‍රී ලංකාවේ නැව් මේ දිසා දෙකටම යාත්‍රා කළ අතර, තමන්ගේ වරායන්ට පැමිණි විශාලතම නැව් ශ්‍රීී ලංකාවේ නැව් බවට චීන වංශකථාකරුවකු වාර්තා කර තිබේ.

බටහිරට අපනයනය කරනු ලැබූ ශ්‍රී ලංකා භාණ්ඩ අතර කුළුබඩු, මුතු, මැණික් සහ අනර්ඝ පාෂාණ වර්ග ප්‍රධාන තැනක් ගන්නට ඇති අතර, නැඟෙනහිරට අපනයනය කරන්නට ඇත්තේ මහා පරිමාණයේ වාරිමාර්ග වැඩපිළිවෙළ යටතේ නිපදවන ලද සහල්, මෑතක දී සිදු කරනු ලැබු කැණීම්වලින් සොයාගත් වාණිජ පරිමාණයේ උඳුන්වලින් නිපදවන ලද යකඩ, ඇත් දත් සහ අලින් විය හැකිය. දෙපාර්ශ්වයටම අපනයනය කරනු ලැබු භාණ්ඩ දෙකක් වන්නේ ඉහළ තත්ත්වයේ කපු රෙද්දක් වන මුස්ලින් සහ රජුන්ගේ පි‍්‍රයතම ආහාරයක් වූ කිතුල් පැණි යි.

වංශ කතා

ක්‍රි. පූ. හතරවැනි සියවසේ පටන් ශ්‍රී ලංකාව සමඟ තම රටවල් සබඳතා පැවැත්වූ බවට ගී‍්‍රක හා ලතින් ලේඛකයන් හතළිහක් පමණ වාර්තා කර තිබෙන අතර, පර්සියානු හා අරාබි ලේඛකයන් ද එතරම් ගණනක් එවැනි වාර්තා පළකොට තිබේ. ක්‍රි. පූ. පළමුවැනි ශතවර්ෂයේ දී ප්ලීනි විසින් රෝමයේ ඔගස්ටස් නැත්නම් ක්ලෝදියස් අධිරාජයාගේ රාජ සභාවට පත් කරනු ලැබු තානාපතිවරුන් හතර දෙනා සම්මුඛ පරීක්ෂණයකට ලක් කරනු ලැබු අතර, ඔවුන් විසින් ශ්‍රී ලංකා රජතුමා සහ රජය පිළිබඳ ඉතා සතුටුදායක විස්තරයක් සපයා ඇත. එයින් එක් තානාපති නිලධාරියකු වූයේ චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයාගේ පුත්‍රයායි.

ඉතාමත් සවිස්තර තොරතුරක් ලැබෙන්නේ ශ්‍රී ලංකාව “තැප්‍රොබේනය” යනුවෙන් හඳුන්වා දෙමින් තොලමි විසින් දෙවැනි ශතවර්ෂයේ දී අඳින ලද සිතියමෙනි. දිවයිනේ ප්‍රධාන භූ ලක්ෂණ සහ නගර ගණනාවක හා වරාය හතරක පිහිටීම සහ නම් එහි අඩංගු වෙයි.

පැහැදිලි වශයෙන්ම නාවිකයන්ගේ කතන්දරවලට අනුව මෙරටට පවරා දී තිබු වැදගත්කම පිළිබිඹු වන ආකාරයෙන් මෙරටේ විශාලත්වය බොහෝ ගුණයකින් වැඩිකර මෙහි පෙන්වා දී තිබේ. ක්‍රි. ව. 550 දී පමණ කොස්මාස් ඉන්ඩිකෝප්ලියුස්ටේස් ක්‍රිස්ටියන් ටොපෝග්රැපි (ක්‍රිස්තියානි භූ ලක්ෂණ) නමින් ග්‍රන්ථයක් රචනා කළේය; රතු මුහුදේ හා ඉන්දියානු සාගරයේ සිදු කළ චාරිකා පිළිබඳ කරුණු අඩංගු වන එහි ශ්‍රී ලංකාව පිළිබඳ විස්තීර්ණ වර්ණනාවක් ද දක්නට ලැබේ.

දේවගැතියන් හා භක්තිකයන් සහිත නෙස්ටෝරියානු ක්‍රිස්තියානි දේවස්ථානයක් අනුරාධපුරයේ තිබෙන බව ඔහු සඳහන් කොට ඇත. රටේ අගනුවර විදේශිකයන් පදිංචි වී සිටි බව තවදුරටත් සනාථ කරමින් චීන ජාතික ෆාහියන් (ක්‍රි. ව. 410 දී පමණ) වන්දනාකරුවා පවසන්නේ සේබියානු (පැරණි යේමනය) ජාතික වෙළෙදුන්ගේ නිවාස ඉතා අලංකාර ලෙස සරසා තිබු බවයි.

කොස්මාස් ඉන්ඩිකෝප්ලියුස්ටේස් මේ දිවයින හැඳින්වූයේ අතරමැදි මහා වෙළෙඳපොළ හෙවත් එම්පෝරියම් මීඩියාට්‍රික්ස් යනුවෙනි. වත්මන් ව්‍යවහාරයට අනුව එහි අර්ථය “සුපිරි වෙළෙඳ මධ්‍යස්ථානය” යන්නයි. එය ඇත්ත වශයෙන්ම ඒ අවදියේ දී යුරෝපයත් චීනයත් අතර වැටී තිබුණු මුහුදුබඩ සේද මාවතෙහි මධ්‍ය ලක්ෂ්‍යය විය.

තවද, එම ස්ථානයේ දී භාණ්ඩ හුවමාරු කරගනු ලැබු ජාතීන්ගේ විවිධත්වය පිළිබඳව මාන්නායි වරාය මොනවට සාක්ෂි දරයි. 1980 දශකයේ මුල් භාගයේ දී මාන්නායි හි සිදු කරනු ලැබූ මූලික කැණීම් තුනක දී ගී‍්‍රසිය, රෝමය, පර්සියාව, වෙනීසිය හා අරාබියේ පැරැණි මානව කෘති ගණනාවක් හමු විය.

යළිත් මෙරටට සාමය උදා වී ඇති බැවින්, මාන්නායි හි පුරා විද්‍යාත්මක කටයුතු උද්යෝගීමත් ලෙස ඇරැඹීමට අවශ්‍ය විධි විධාන සලසන මෙන් මම මේ අවස්ථාවේ දී ජනාධිපතිතුමාගෙන් අයැද සිටිමි. යුරෝපීය - ආසියානු වෙළෙඳ මධ්‍යස්ථානයක් වශයෙන් ශ්‍රී ලංකාව සතු වැදගත්කම ලොවට හෙළිදරව් කිරීමට අවස්ථාව උදාවීම ඊට හේතුවයි.

ඉතිහාසය

චීනයේ විවිධාකාර රාජවංශවල ඉතිහාසයෙන් මීටත් වඩා පුළුල් සවිස්තරාත්මක තොරතුරු ලැබෙයි. පුරා ශතවර්ෂ දහසකට වැඩි කාල පරිච්ඡේදයක් ඇතුළත ශ්‍රී ලංකාවෙන් චීන රාජ සභාවලට යවන ලද දූත මෙහෙය ගණනාවක් පිළිබඳව එරට ඉතිහාසය සඳහන් කරයි. මේ අතරින් අවසාන දූත මෙහෙය වන්නේ කෝට්ටේ හයවැනි පරාක්‍රමබාහු සමයේ දී (ක්‍රි. ව. 1411 - 1466) සිදු කෙරුණු දූත මෙහෙය හතරයි.

අපගේ විදේශ සබඳතා පිළිබඳ මෙකී තොරතුරු සියල්ලටම සාපේක්ෂ වශයෙන් ශ්‍රී ලංකා මූලාශ්‍රයන් අතිශයින් දුර්වල වෙයි. නිදසුනක් වශයෙන්, දුට්ඨ ගාමිණි රජු (ක්‍රි. පූ. 161 - 137) විසින් රුවන්වැලි සෑය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වූ නියෝජිතයන් වශයෙන් වහාවංශය ගෙනහැර දක්වන නම් ලැයිස්තුවේ සුප්‍රකට ඉන්දියානු ආරාමයන්ට අමතරව කාශ්මීරය, පල්ලවභෝග සහ අලිකාසන්ද පිළිබඳ සඳහන් වෙයි.

මහාවංශය පාදක කර ගනිමින් දහවැනි ශතවර්ෂයේදී රචිත ටීකාවේ රුවන්වැලි සෑය අලංකාර කිරිම පිණිස භාතිකාභය රජු (ක්‍රි. පූ. 22 - ක්‍රි. ව. 7) විසින් පබළු ලබාගත් ස්ථානය වශයෙන් රොමානුක්ක (රොමානුස්) නම් කරයි.

තවද, ඇත්ත වශයෙන්ම ගාලු වරායේ චීන, පර්සියානු හා දෙමළ භාෂාවලින් රචිත තෛ‍්‍රභාෂික අභිලේඛනයක් දක්නට ලැබේ. වාසනාවකට මෙන් ලෝක සංස්කෘතියට ශ්‍රී ලංකාවෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව තොරතුරු රාශියක් විදේශිය මූලාශ්‍රයන්හි දක්නට ලැබේ. මේවායේ විශේෂයෙන්ම සඳහන් වන්නේ බෞද්ධාගම ප්‍රවර්ධනය කිරීමෙහිලා ශ්‍රී ලංකාව ඉටු කරන ලද මෙහෙවර පිළිබඳවයි.

ඉන්දියාවේ ආන්ද්‍ර ප්‍රදේශ්හි නාගර්ජුනකොණ්ඩහි දක්නට ලැබෙන ;දවැනි හෝ තුන්වැනි ශතවර්ෂවල රචිත ප්‍රකෘත අභිලේඛන දෙකක සිහල විහාරයක් (සිංහල විහාරයක්) පිළිබඳ සඳහනක් ඇත; මේ විහාරයේ ශ්‍රී ලංකාවට ආවේණික චේතියඝරයක් සහ බෝධිඝරයක් තිබු අතර, කාශ්මීරයට, චීනයට හා ඉන්දියානු අර්ධද්වීපයේ ප්‍රදේශ ගණනාවකට බෞද්ධාගම පැතිරවීමට උත්සුක වූ තම්බපණ්ණියේ භික්ෂුන් එහි වාසය කළ බවත් සඳහන් වෙයි. සමුද්‍රගුප්ත (ක්‍රි. ව. 330 - 375) නම් ගුප්ත අධිරාජයා පිළිබඳ ප්‍රශස්තියක් අඩංගු අලහබාද් අභිලේඛනයෙහි ශ්‍රී ලංකාව, “සෛන්හලක” වශයෙන් හඳුන්වා දී ඇත.

බුද්ධගයාව වන්දනා කිරීම පිණිස පැමිණෙන ශ්‍රී ලංකාවාසීන්ගේ ප්‍රයෝජනය පිණිස සිරි මේඝවර්ණ රජු (ක්‍රි. ව. 301 - 328) විසින් ගුප්ත අධිරාජයාගේ අවසරය මත සාදන ලද විහාරයක් පිළිබඳ වාර්තාවක් බුද්ධගයාවේ දක්නට ලැබේ. ඉන්දියාවෙන් බෞද්ධාගම අතුරුදන් වී යන තෙක්ම එම විහාරය භාවිතයට ගෙන තිබූ බවට සාධක ඇත.

ඉන්දියානු බෞද්ධ දර්ශනවාදියකු වූ නාගර්ජුනගේ (දෙවැනි ශතවර්ෂයේ පමණ) ශිෂ්‍යයා වූයේ ආර්යදේව නමැති ශ්‍රී ලංකා කුමරෙකු වූ අතර, නාලන්දා විශ්ව විද්‍යාලයේ ආශ්‍රමාධිපති වශයෙන් ඔහු පත් වී ඇත. මේ අන්දමින් ම අජන්තාවේ බලවත් තනතුරක් දැරූ ශ්‍රී ලාංකික භික්ෂුවක් සිටි අතර, දිවයිනට සිංහලයන්ගේ ආගමනය සනිටුහන් කෙරෙන ඉතාමත් ආකර්ෂණීය බිතුසිතුවමක් එහි චිත්‍රණය කර ඇත්තේ ඒ නිසා බව විශ්වාස කෙරේ.

සිංහල භාෂාවෙන් චීන භාෂාවට සිදුකළ පරිවර්තන පිළිබඳවත් චීනයෙන් සාක්ෂි ලැබී ඇත. අභයගිරි විහාරයේ උපතිස්ස ස්ථවිරයන්ගේ කෘතියක් වන “විමුක්තිමග්ග“ චීන භාෂාවට පරිවර්තනය කර ඇත්තේ සී-ටාවෝ-ලූන් නමිනි. මේ අතර සිංහල විනය අටුවාවක් “ෂෑන්-ජියැන්-ලු-පිපෝෂා” නමින් පරිවර්තනය කෙරී ඇත. මේ විනය අටුවාව චීන භාෂාවට පරිවර්තනය කෙරී ඇත්තේ සිංහල මුල් කෘතිය ඇසුරෙන් වන අතර, එය බුද්ධඝෝෂ හිමියන් විසින් “සමන්තපාසාදිකා” නමින් පාලි භාෂාවට පරිවර්තනය කෙරිණි.

ෆාහියන් භික්ෂුව ශ්‍රී ලංකාවෙන් රැගෙන ගිය ධර්ම ගුප්තික විනය ග්‍රන්ථය මේ දක්වා සමස්ත නැඟෙනහිර ආසියාවේ ආශ්‍රමික කටයුතු සඳහා මාර්ගෝපදේශකත්වය දක්වන සංඝ විනය නීති වෙයි. මීට සමාන බලපෑමක් එල්ල කෙරෙන මෙහෙවරක් සිදුකළ තැනැත්තියක වන්නේ දේවසාර නමැති ශ්‍රී ලාංකික භික්ෂුණියයි. ඇය ක්‍රි. ව. 439 දී චීනයේ භික්ෂුණි සාසනය ස්ථාපනය කළාය. භික්ෂුණි සාසනය පිළිබඳ සම්ප්‍රදාය ආසියාවේ සෙසු රටවලින් ගිලිහී යද්දී නැඟෙනහිර ආසියාවේ මේ දක්වා අඛණ්ඩව එම සම්ප්‍රදාය පැවතෙයි.

ෆාහියන් හා ෂුවාන් ෂෑන්ගේ ග්‍රන්ථවල දක්නට ලැබෙන විස්තරාත්මක කරුණුවලට අමතර වශයෙන් චීන ඉතිහාස ග්‍රන්තවලින් එවැනි චාරිකා පිළිබඳ තවත් තොරතුරු ලබාගත හැකිය.

කාශ්මීරයේ රජතුමකු වූ ගුණවර්මන් අභයගිරි විහාරයේ රැඳී සිටීමෙන් අනතුරුව චීනයට ගොස් විනය පිළිබඳ සුප්‍රකට ප්‍රමාණිකයකු බවට පත්විය; අමෝග්වජ්රා සහ ඔහුගේ ගුරුවරයා වන වජිර බෝධි චීනයේ තාන්ත්‍රික බුද්ධාගම පැතිර වූහ; සිංහල භික්ෂුන් පස්දෙනකුගෙන් සමන්විත කණ්ඩායමක් චීනයට වැඩම කළ අතර, ඉන් එක් හිමිනමක් අතිදක්ෂ මූර්ති ශිල්පියකු විය.

ලොන්-ගන් ගුහා පිළිබඳව ඉදිරිපත් කරන විස්තරයකට අනුව ශිල්පීන් හතළිස් දහසක් පුරා අවුරුදු පනහක් එහි සේවයේ නියුක්ත වී සිටි අතර, ශ්‍රී ලංකාවේ ශිල්පීහු ද ඔවුන් අතර සිටියහ. යි-ජින්ට අනුව ෆාහියන්ට අමතර වශයෙන් චීන භික්ෂුන් පස් දෙනකුවත් ශ්‍රී ලංකාවේ සංචාරය කොට ඇති අතර, ඉන් එක් අයකු රජුගේ අතින් දළදා වහන්සේ පැහැර ගැනීමට ප්‍රයත්න දරා ඇත.

දළදා වහන්සේ අත්පත් කර ගැනීමට චීනය ප්‍රයත්න කීපයක් දැරූ බවට වාර්තා වන අතර, චෙන්-හෝගේ අවසාන දූත මෙහෙයේ අරමුණත් එය බව ප්‍රකාශ වෙයි; පහළොස්වැනි ශතවර්ෂයේ දී මෙරට පාලකයකු වූ අලගක්කෝනාර පැහැරගෙන යෑමට තුඩු දුන් හේතුවත් මෙයයි.

සංඝයා වහන්සේ විසින් අරඹන ලද විදේශ සම්බන්ධතා අතර ප්‍රධාන තැනක් ගන්නේ අග්නිදිග ආසියාවේ පුළුල් වශයෙන් සිදුකළ දූත මෙහෙවරයි. තායිලන්තයේ ද්වාරවතීහි දී නවවැනි ශතවර්ෂයේ ලියැවුණු අභිලේඛනයක තේලකටහ කථාවේ ආරම්භක කාව්‍ය කීපයක් අඩංගු වෙයි; ඉන් ප්‍රකාශ වන්නේ කැලණිතිස්ස රජුගේ හා ඔහුගේ දියණිය විහාරමහා දේවියගේ කථාන්දරය යි.

මියන්මාරයේ තාටොන්හි සහ තායිලන්තයේ නකෝන් සි තම්මරාත්හි පිහිටි සිංහල ආරාම ශ්‍රී ලාංකික බුද්ධ ධර්මය ඒ රටවල ප්‍රචලිත කිරිමට පුරෝගාමී විය. මේ අනුව මියන්මාරය, තායිලන්තය හා ඉන් ඔබ්බට කාම්බෝජය සහ ලාඕස් දක්වා බුදුදහම පැතිරුණු අතර, ජෝර්ජ් කෝදේස් විසින් මේ වැඩපිළිවෙළ සිංහල ප්‍රතිසංස්කරණ වශයෙන් හඳුන්වනු ලැබීය.

චපත නමැති බුරුම භික්ෂුවක් කාම්බෝජයේ කුමරකු ඇතුළු භික්ෂුන්වහන්සේලා කණ්ඩායමක් සමඟ ශ්‍රී ලංකාවට පැමිණ ඇති අතර, දිවයිනේ දී යළිත් පැවිදි බව ලබා ගැනීම ඔවුන්ගේ අරමුණ විය. ගිනිකොණදිග ආසියාවේ සංඝයා වහන්සේලා එක් අවදියක දී “ලංකාවංස” වශයෙන් හඳුන්වා තිබේ.

සුඛෝතායිහි අභිලේඛනවල වාර්තා වී ඇති පරිදි දොළොස් වැනි ශතවර්ෂයේ දී එරටේ රාමකම්හෙන් හා ලිතායි රජවරුන්ගේ ආධ්‍යාත්මික උපදේශකවරුන් වශයෙන් සේවය කොට ඇත්තේ සිංහල භික්ෂුන් වහන්සේලායි.

මියන්මාරයේ ධම්මසේදි රජතුමා 1476 දී කල්යාණි සීමාවේ දී පැවිදි කරවීම පිණිස භික්ෂුන් වහන්සේලා කණ්ඩායමක් පිටත් කර එවූ අතර, ඔවුහු මෙරටින් පාලි ග්‍රන්ථ ගණනාවක අත්පිටපත් එරටට රැගෙන ගියහ. යළි පිටපත් කරනු ලැබු එම අත්පිටපත් ගිණිකොනදිග ආසියානු රටවල් කීපයක සුරක්ෂිත කොට තිබේ.

පාලි භාෂාව කලාපයේ පොදු භාෂාව බවට පත් වූ අතර, එහි ආගමික පුරවරය වශයෙන් ශ්‍රී ලංකාව සලකනු ලැබී ය. තායිලන්ත හා කාම්බෝජ අකුරුවලින් ලියන ලද මහාවංශයේ විස්තෘත සංස්කරණයක් ද භාවිතයේ පැවතිණි. මුල් ග්‍රන්ථයේ දක්නට ලැබෙන පද්‍ය ගණන මෙන්ම ආවරණය වූ කරුණු අතින් ඊට වඩා දෙගුණයකටත් වැඩි ප්‍රමාණයකට එම ග්‍රන්ථ පුළුල් වී තිබිණි.

සිංහල සංඝයා වහන්සේ බාහිරට යොමු වීමේ වපසරිය පිළිබිඹු කරමින් ඉන්දුනීසියාවේ ෂයිලේන්ද්‍ර අධිරාජ්‍යයේ අගනුවර වන රටුබෝකාහි තිබෙන අභිලේඛනයක් අභයගිරි විහාරයේ ශාඛාවක් එරට පැවති බවට සාක්ෂි දරයි. මෙහිදී සැලකිල්ලට ලක්වන තවත් ආකර්ෂණීය කරුණක් වන්නේ ශ්‍රී ලංකාවත් මෙකී අධිරාජ්‍යයත් අතර රාජකීය විවාහ සබඳතා පවා පැවතීමයි. මේ අතර එවැනි එක් සබඳතාවක් හේතුකොට ගෙන මහා පරාක්‍රමබාහු (1153 - 1186) රජතුමා විසින් මියන්මාරය ආක්‍රමණය කරනු ලැබිණි.

මේ අනුව, නැඟෙනහිරට යොමු වී තිබුණු වෙළෙඳ මාර්ග ඔස්සේ බුද්ධාගම ශ්‍රී ලංකාවෙන් සමස්ත කලාපයටම ව්‍යාප්ත විය. සංඝයා වහන්සේ සිය චාරිකා සඳහා වෙළෙඳ නැව් භාවිත කළහ. ෆාහියන් භික්ෂුව ඉන්දියාවේ තාම්රලිප්ති සිට ශ්‍රී ලංකාවට යාත්‍රා කළේ විශාල වෙළෙඳ නැවකිනි. ජාවා දූපත් හරහා උන්වහන්සේ ආපසු චීනයට වැඩම කළේ පුද්ගලයන් දෙසීය ගණනකට ඉඩකඩ තිබුණු වෙනත් වෙළෙඳ නැවකිනි. ශ්‍රී ලංකාවේ වරායේ පර්සියානු නැව් තිස්පහකින් සමන්විත නැව් කණ්ඩායමක් තිබුණු බව ඇමෝග්වජ්රා දැක ඇත. දකුණු ඉන්දියාවේ දී හා මියන්මාරයේ දී යුද වැදුණු පළමුවන පරාක්‍රමබාහු රජතුමා සතුව නාවික බළඇණියක් තිබුණු බවත් පැහැදිළි කාරණයකි.

බටහිර කෙරෙහි බලපෑමක් එල්ල කිරිමට ශ්‍රී ලංකාවේ බුද්ධාගමට අවස්ථාවක් ලැබුණු බවට කිසිම වාර්තාවක් දක්නට නොලැබේ. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ හැකි සුළු සාක්ෂියක් වන්නේ තුන්වැනි ශතවර්ෂයේ දී ඇලෙක්සැන්ඩ්‍රියාවේ සාන්ත ක්ලෙමන්ට් විසින් බුද්ධාගම පිළිබඳ ඉතා නිරවද්‍ය අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරනු ලැබීමයි.

පහළොස්වැනි ශතවර්ෂයේ දී පෘතුගාලයේ නාවික කුමාර හෙන්රි විසින් අරඹන ලද වැඩපිළිවෙළ අනුව ඉතිහාසය වෙනසකට ලක්විය. කුරුස යුද්ධ නිසා අරාබි ජාතීන් සමඟ පැන නැඟුණු එදිරිවාදිකම් හේතුකොට ගෙන යුරෝපීය ජාතීන් හා අරාබි ජාතීන් අතර විවෘත තරගයක් ඉස්මතු වූ අතර, ඒ අනුව යුරෝපීය ජාතීහු දකුණු ආසියාව දෙසට නව මුහුදු මාර්ග සෙවූහ.

වෙළෙඳ කටයුතු සමඟ ජනපදකරණය හා අධිරාජ්‍ය බිහි කිරීමේ ව්‍යාපෘති එක විට දියත් කිරීමේ බටහිර ප්‍රතිපත්තිය හේතුකොටගෙන එතෙක් පැවති වඩාත් සහයෝගාත්මක වෙළෙඳ සබඳතාවල අවසානය ළඟා විය. පෘතුගීසින් කුණාටුවකට මැදිවීම නිසා අහම්බෙන් මෙරටට ගොඩබට නමුත් වාණිජ ලැදිකම්වලට ලොල්වීම නිසා මුහුදුබඩ ප්‍රදේශයේ කොටසක් අත්පත් කර ගැනීමට ඔවුහු පෙලඹුණහ.

සිංහල රජවරුන් කිසියම් ජාත්‍යන්තර සබඳතාවක් පැවැත්වූයේ නම් එහි ස්වභාවය හා අරමුණ යුදමය විය. පෘතුගීසීන් පළවා හැරීමට නාවික සහාය ලබා ගැනීම ඔවුන්ගේ අභිලාෂය විය. කැලිකට්හි සැමොරින් සමඟ මුලින්ම සබඳතා පැවැත්වූ අතර, පසුව ලන්දේසීන්ගේ සහාය පැතීය. ලන්දේසීන් මුහුදුබඩ ප්‍රදේශ අත්පත් කර ගැනීමෙන් අනතුරුව ප්‍රංශ සහ ඩෙන්මාර්ක ජාතීන්ගේ පිහිට පැතූ බව පෙනේ.

ස්වාධීනත්වය

1815 දී දේශපාලන ස්වාධීනත්වය අහිමි වීමත් සමඟ විදේශ සබඳතා තවදුරටත් පවත්වාගෙන යෑමට තරම් ප්‍රබල ශ්‍රී ලංකා බලධාරියකු ඉතිරි නොවීය. එහෙත් ශ්‍රී ලංකාව වූකලී ලෝක ප්‍රජාවගෙන් දුරස්ථ කොට තැබිය හැකි වූ රටක් නොවී ය. මෙවන් අඳුරු සමයක පවා ලොව පුරා නම රැඳවීමට අවස්ථාව සෙවීමට ශ්‍රී ලංකාවාසීහු ප්‍රයත්න දැරූහ. යළි ස්වාධීනත්වය දිනා ගැනීම පිණිස 1818 හා 1848 දී සිදු කරන ලද අසාර්ථක ප්‍රයත්න දෙකට අනතුරුව මේ අවස්ථාව ලැබුණේ විශේෂයෙන් බුදුදහම මුල් කර ගනිමින් සංස්කෘතික ක්ෂේත්‍රයේ සිදු කළ ක්‍රියාකාරකම් හරහා ය.

බ්‍රිතාන්‍ය පාලනය ඇරැඹීමෙන් අඩ සියවසකට පසුව බ්‍රිතාන්‍ය පාලකයන්ට බුද්ධාගම සහ ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳ කරුණු හඳුන්වා දීමට සංඝයා වහන්සේලා පියවර ගත්හ. පාලි භාෂාව අධ්‍යයනය කොට බටහිර උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනපි‍්‍රය විෂයයක් බවට එය පත් කිරීමෙහිලා පුරෝගාමී බ්‍රිතාන්‍ය විද්වතුන් වූ රොබට් චිල්ඩර්ස් සහ ටී. ඩබ්ලිව්. රිස් ඩේවිඩ්ස් වැනි අය පෙළඹ වූයේ සිංහල භික්ෂුන් වහන්සේලා යි.

1870 ගණන්වල දී හික්කඩුවේ ශ්‍රී සුමංගල සහ දොඩන්දූවේ පියරතන තිස්ස හිමිවරුන් කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කොට් සමඟ පැවැත්වූ ලිපි ගනුදෙනුව මෙරට භික්ෂුන් වහන්සේලා කෙතරම් දුරට බාහිර ලෝකයට යොමු වී සිටියා දැයි යන කරුණ පෙන්නුම් කරයි; ඒ අනුව පරම විඥානාර්ථ ව්‍යාපාරය ඇතුළත ඔවුන් මිතුරන් ගොඩනඟා ගත් අන්දමත් පැහැදිලි වෙයි.

කර්නල් ඕල්කොට්ගේ සමීපතම ආශි‍්‍රතයන් වූ අනගාරික ධර්මපාල තුමා සහ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මහතා ගිහි ජනතාව ද මේ ක්ෂේත්‍රයට සහභාගි කරවා ගැනීමට පුරෝගාමි වූහ. රිස් ඩේවිඩ්ස්ට ශ්‍රී ලංකාවෙන් ලැබුණු සහාය හා උපදෙස් හේතුකොට ගෙන 1881 දී ලන්ඩන් නගරයේ දී පාලි පාඨ සමාජය ගොඩනැංවීමට අවස්ථාව ලැබුණි. මේ අනුව වෙනත් පාලි ග්‍රන්ථවලට අමතර වශයෙන් බෞද්ධ ත්‍රිපිටකය පාලියෙන් හා ඉංගී‍්‍රසියෙන් ඉදිරිපත් කිරීමට පියවර ගැනීම නිසා ජාත්‍යන්තර ප්‍රාචීන විද්වතුන් ගණනාවකට ඒවා පරිශීලනය කිරීමේ අවස්ථාව උදා විය.

සිද්ධස්ථාන

ඉන්දියාවේ බෞද්ධ සිද්ධස්ථාන යළිත් බෞද්ධයන්ට පවරා දෙන ලෙසට උද්ඝෝෂණ ව්‍යාපාරයක් මෙහෙයවීමට අනගාරික ධර්මපාල තුමා 1891 දී මහා බෝධි සංගමය ස්ථාපනය කළේය. පෙරදිග මෙන්ම අපරදිග කැපී පෙනෙන විද්වතුන් සමූහයකගේ සහයෝගිතාව එක්තැන් කෙරුණු ප්‍රථම ජාත්‍යන්තර බෞද්ධ සාකච්ඡා සම්මේලනය බවට එය පත් විය.

එම සංගමය විසින් පළ කරන ලද සඟරාවෙන් චිකාගෝ නගරයේ පැවැත්වූ ලෝක ආගම්වල ප්‍රථම පාර්ලිමේන්තුවේ සංවිධායකයන්ගේ සිත කෙතරම් දුරට ඇළලී ගියේ ද කියතහොත් එම පාර්ලිමේන්තුවේ සංවිධායක කමිටුවේ සේවය සඳහා අනගාරික ධර්මපාලතුමා කැඳවනු ලැබීය. 1893 දී ඔහු එම පාර්ලිමේන්තුවට සහභාගි වී බුදුන් වහන්සේට සකල ලෝකයම ණය ගැති බව පෙන්වා දෙමින් ඓතිහාසික දේශනයක් පැවැත් වී ය. හයදහසක් ඉක්මවූ නියෝජිතයන් සංඛ්‍යාවක් දේශනයට සවන් දුන් අතර, ඒ අනුව ඔහු ලෝකයේ පිළිගැනීමට පාත්‍ර වූ බෞද්ධ නායකයකු බවට පත්විය. ඉන්දියාවට බෞද්ධ විහාරය ස්ථාපනය කිරීමටත් පුරෝගාමී කාර්ය භාරයක් ඉටු කළේ ය.

ඔහුටත් ඊට අනතුරුව ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලකටත් පින්සිදු වන්නට නව ලෝකයේ බුද්ධාගම ව්‍යාප්ත කිරීමේ කාර්ය භාරයෙහි නායකත්වය දැරීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමි විය. ශ්‍රී ලංකාවේ සංවර්ධනය කෙරුණු විද්‍යොදය සහ විද්‍යාලංකාර පිරිවෙන වැනි ආයතන ආසියාවේ බෞද්ධ රටවල උසස් අධ්‍යාපන කටයුතු පිළිබඳ ආදර්ශක ආයතන බවට පත් විය. විසි වැනි ශතවර්ෂයේ මුල් භාගයේ චීනයේ බෞද්ධ පුනර්ජීවනයේ පුරෝගාමියකු වන තායි - ෂූ හිමි තමන්ගේ ආදර්ශය ශ්‍රී ලංකාව වන බව ඉඳුරා පිළිගත්තේ ය.

මේ අතරතුර, ශ්‍රී ලංකාවාසීන් බටහිර සාහිත්‍යයට, විද්‍යාවට හා තාක්ෂණයට නිරාවරණය කරනු ලැබීමේ උපරිම වාසිය ඔවුන් විසින් ගනු ලැබුවේ ය. බාල පරම්පරාවට අධ්‍යාපනය ලබාදීම කෙරෙහි උපරිම ප්‍රමුඛත්වය දක්වමින් විවිධාකාර ක්ෂේත්‍රවල වෘත්තිය සහ තාක්ෂණික නායකත්වය අත්පත් කර ගැනීමට අදාළ පහසුකම් ප්‍රයෝජනයට ගනු ලැබිණි. විදේශීය අධ්‍යාපනික මධ්‍යස්ථානවලට ගිය ශිෂ්‍යයෝ ඒ ආයතනවල ශිෂ්‍ය සංගම්වල නායකත්වයට පත් වී ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාකාරී වීමෙහිලා ඔවුන් සතු හැකියාව ප්‍රදර්ශනය කළහ. පුළුල් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ නව ගොදුරු බිම් සොයමින් ලංකා විද්වත්හු වීරචාරිකාවල නිරත වූහ.

ඔවුන්ගේ සුපිරි බුද්ධිමය ප්‍රභාව සහ මනෝහර කාර්ය ආචාර ධර්මවලට පින්සිදු වන්නට ඔවුන්ට සෑම තැනකදී ම ඉහළ පිළිගැනීමක් ලැබිණි. ක්‍රමක්‍රමයෙන්, සංවර්ධනය වෙමින් පවතින රටවල පමණක් නොව බ්‍රිතාන්‍ය හා වෙනත් සංවර්ධිත බ්‍රිතාන්‍ය ඩොමීනියන් රාජ්‍යවල වෛද්‍ය, අධ්‍යාපනික, ඉංජිනේරු, ගණකාධිකරණ සහ තාක්ෂණික අංශයන්හි දක්නට ලැබුණු ශ්‍රී ලාංකික නියෝජනය රටේ විශාලත්වය සමඟ සැසඳීමේ දී සංඛ්‍යාත්මක වශයෙන් ඕනෑවටත් වඩා වැඩි වූ අතර, දෘශ්‍යතාව අතිනුත් අධිකතර විය. ශ්‍රී ලාංකිකයන් ලෝකය පුරා සැරිසැරුවේ උපකාර අපේක්ෂාවෙන් නොව සංවර්ධනයට නොමසුරු දායකත්වයක් සපයන පිරිසක් වශයෙනි.

යුද ගැටුම්

ස්වාධීන රාජ්‍යයක් වශයෙන් සමාජ දේශපාලනික ප්‍රජාව තුළට ප්‍රවිෂ්ටවීමෙන් අනතුරු කාල පරිච්ඡේදයේ අපේ විදේශ සබඳතාවල දක්නට ලැබෙන සන්ධිස්ථාන කීපයක් ඉස්මතු කර දැක්වීම අත්‍යවශ්‍ය වෙයි. සුප්‍රකට ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු වන මහාචාර්ය ගුණපාල මලලසේකර හා මහාචාර්ය කේ.එන්. ජයතිලකගේ යෝජනා පදනම් කර ගනිමින් යුනෙස්කෝවේ ආදර්ශ පාඨය සකස් කෙරුණු බව මා අසා තිබේ. එම පාඨයේ බෞද්ධාගමික හා ශ්‍රී ලාංකික අනුප්‍රාණය පැහැදිලි ලෙස දක්නට ලැබේ.

“යුද ගැටුම් ඇරඹෙන්නේ මිනිසුන්ගේ චිත්ත සන්තානය තුළ වන බැවින් සාමයේ ආරක්ෂක විධිවිධාන ගොඩනැංවිය යුත්තේ මිනිසුන්ගේ චිත්ත සන්තානය තුළයි.” දෙවැනි ලෝක සංග්‍රාමයෙන් අනතුරුව 1951 දී සැන් ෆ්‍රැන්සිස්කෝ නගරයේ පැවති සාම ගිවිසුම පිළිබඳ සම්මන්ත්‍රණයේ දී ධම්මපදයෙන් ‘නහි වේරේන වේරානි’ යන දහම් පාඨය උපුටා දක්වමින් එරට ආර්ථික යෝධයකු බවට පත් කිරීමට මග පාදමින් ජපානය යුද වන්දි ගෙවීමෙන් නිදහස් කරගනු ලැබුවේ ශ්‍රී ලංකා නියෝජිතයා විසිනි.

මේ ප්‍රකාශය ඇමෙරිකාවේ ‘නිව්යෝක් ටයිම්ස්’ පුවත්පතේ ප්‍රශංසාවට ලක් වූයේ පහත සඳහන් පරිදි ය. “නිදහස් ආසියාවේ කාහල නාදය සම්මන්ත්‍රණයේ දී ප්‍රමුඛත්වය ගත්තේ ය. ඔක්ස්ෆර්ඩ් උච්චාරණයට නෑකම් කියන ශෛලියකින් පැවැත්වූ එම දේශනය වාග්චාතුර්යයෙන් සපිරිවූත්, අනුවේදනීය වූත් ප්‍රබල වූත් ඉදිරිපත් කිරීමක් විය.”

එම ප්‍රසංසාවට වැඩිමනත් වශයෙන් “නැගෙන හිරුගේ දේශයේ” සදාකාලික කෘතඥතාව ලැබීමටත් අපට අවස්ථාව ලැබිණි.. 1950 කොරියානු යුද සමයේ දී බ්‍රිතාන්‍යය හරහා එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙරටට එල්ල කරනු ලැබූ පීඩනය නොතකමින් චීනයට තවදුරටත් රබර් සැපයීමට පියවර ගැනීම තුළින් ශ්‍රී ලංකාව සිය ස්වාධීනත්වය තහවුරු කරගත් අතර, ඒ අනුව යථා කාලයේ දී ලෝක සංවිධානයට ඇතුළත්වීමේ වරම ද ලබාගත්තේ ය.

ශ්‍රී ලංකාවේ නාවික හා ගුවන් හමුදා මධ්‍යස්ථාන පවත්වාගෙන යෑමට බ්‍රිතාන්‍යයට ලබා දී තිබූ අවසරය 1956 දී අවලංගු කරනු ලැබූ අතර, චීනයත් රුසියාවත් සමඟ පැවති තානාපති සබඳතා පුළුල් කර ගැනීමටත් පියවර ගැනිණ. ශ්‍රී ලංකාව නොබැඳි ව්‍යාපාරයේ ක්‍රියාකාරී සාමාජිකයකු බවට පත් වූ අතර, කොළඹ දී 1976 දී පැවති සමුළුව සන්ධිස්ථානයක් වශයෙන් සැලකේ.

ශ්‍රී ලංකාවේ නියෝජිතයෝ එක්සත් ජාතීන්ගේ සංගමයත්, එහි ෂ;ශ්ෂිත සංවිධාන තුළත් තීරණාත්මක කාර්ය භාරයක් ඉටු කරති. ඒ අනුව නොයෙකුත් ක්ෂේත්‍රවල කැපී පෙනෙන දායකත්වයක් ලබා දීමටත් ඔවුහු සමත් වී සිටිති. මහා මණ්ඩලයේ සභාපති සහ කොමිෂන් සභා හා කමිටු ගණනාවක සභාපති ඇතුළු තීරණාත්මක තනතුරුවලට ඔවුන් පත්වී තිබෙන අතර, ඒ අනුව මෙරටට ඉමහත් කීර්තියක් හා පිළිගැනීමක් ලබා දී ඇත. මේ අන්දමින් ම සියලුම ක්ෂේත්‍රවල ඉහළ මට්ටමේ වෘත්තිකයන් සිය ගණන් එක්සත් ජාතීන්ගේ පද්ධතිය ඇතුළත ප්‍රධාන කාර්යාලවල පමණක් නොව සමස්ත ලෝකය පුරා ක්‍රියාන්විත මෙහෙයවමින් ඒවාට උපදෙස් සපයන විශේෂඥයන් වශයෙන් ද සේවය කොට ඇති අතර, තවදුරටත් සේවයේ යෙදෙමින් ද සිටිති.

ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී නිවාස නොමැති ජනතාව වෙනුවෙන් ජාත්‍යන්තර නිවාස වසරක් ප්‍රකාශයට පත් කරනු ලැබීමට පියවර ගත් අතර, වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිවාඩු දිනයක් වශයෙන් නම් කිරීමටත් පුරෝගාමී විය. යුනෙස්කෝ - ලෝක ආහාර වැඩසටහන - ශ්‍රී ලංකා සංස්කෘතික ත්‍රිකෝණ ව්‍යාපෘතිය යටතේ ලෝක ප්‍රජාව මෙරටේ සංස්කෘතික උරුමය ආරක්ෂා කිරීමෙහිලා මැදිහත් කරවා ගැනීමට පියවර ගෙන තිබේ. අවම සම්පත් දැඩි කැපවීමකින් ප්‍රයෝජනයට ගැනීම තුළින් මානව සංවර්ධනය අත්පත් කර ගැනීමෙහිලා ආදර්ශයක් වශයෙන් ශ්‍රී ලංකාව හුවා දැක්වීමට යුනිසෙෆ් සංවිධානය පියවර ගෙන ඇත. ත්‍රස්තවාදී තර්ජනයට මුහුණපෑමේ දී මෑතකදී ලබාගත් ජයග්‍රහණයන් සමඟ එවැනි අනතුරුවලට මුහුණපා තිබෙන ජාතීන් ශ්‍රී ලංකාවේ අත්දැකීම් අධ්‍යයනය කිරීමට පෙළඹී සිටී.

ශ්‍රී ලංකාව පිළිබඳව ප්‍රකාශිත තවත් ආකර්ෂණීය මතයක් වන්නේ සතුරන් ඇති කර ගැනීමට තරම් ශ්‍රී ලංකාව කුඩා වෙන නමුත්, මිතුරන් ඇති කර ගැනීමට සෑහෙන තරම් විශාල බවයි. මනුෂ්‍ය ප්‍රජාවගේ සුබසිද්ධිය වෙනුවෙන් දායකත්වය ලබාදීමට අප සැදී පැහැදී සිටින බව අපි ලෝක ප්‍රජාවට ප්‍රකාශ කර ඇත්තෙමු. අප විසින් එල්ල කර තිබෙන සමස්ත ලෝක සමාජ - දේශපාලන බලපෑම් එක්තරා අන්දමකට අපගේ දේශයේ විශාලත්වය හා සීමිත සම්පත් සමඟ සසඳා බැලීමේ දී ඉතා අධික වෙයි.

ඩී.ඒ. රාජපක්ෂ මැතිතුමා විසින් අපට දායාද කර තිබෙන කැපවීමෙන් සේවය සැලසීමේ මහඟු ආදර්ශය දැඩි භක්තියකින් යුක්තව සමරනු ලබන මේ අවස්ථාවේ දී අප සතු සියලුම මානව හා භෞතික සම්පත් හරහා වැඩි ප්‍රමාණයකින් මෙන් ම ගෞරවාන්විත ලෙස ජාත්‍යන්තර සේවාවන් සැපයීමට අපි ඇප කැප වෙමු. අපට ඇත්තවශයෙන් ම තවදුරටත් ලෝකයේ ශ්‍රේෂ්ඨත්වයට පැමිණීමට අවකාශ තිබේ.