අවසර හාමුදුරුවනේ...

 
 

සෙවනගල කෝටි ගණනක වාහන 32 ක් හදිසියේ විකුණලා

 
 

සහජ කුසලතාව සහ නිර්මාණශීලිත්වය සාර්ක් කලාප ජාතීන් සතු විශාලම ශක්තියයි

 
 

ජාතියේ නියමුවා ඔබයි...

 
 

විදේශ ආයෝජනවලට පෞද්ගලික ව්‍යාපාරවලට මේ පනතින් හානියක් නැහැ

 
 

යාත්‍රා

 
 

අඬන්නෙපා කිරි අම්මාවරුනේ උඹලා නිදහස්

 
 

‘මම කැමැතිම පොත’ රචනාවට මං ලිව්වේ හාල් පොත ගැනයි

 
 

සමන් දේවාලේ ආලෝක පූජාවට මෙවරත් ස්වදේශි කොහොඹ

 
 

දරුවන් අනතුරු කරගන්නේ වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කමින්

 
 

ටිකිරි හමුව

 

»
»
»
අර්ථසාධකෙන් ණය අරන් නොගෙව්වොත් පාඩු ගොඩයි

අර්ථසාධකෙන් ණය අරන් නොගෙව්වොත් පාඩු ගොඩයි

විශ්‍රාම වැටුපට හිමිකම් නොකියන වැඩ කරන ජනතාවට තම විශ්‍රාම දිවිය ගත කිරීමට ඇත්තේ සේවක අර්ථසාධක අරමුදලේ පිහිටයි. එහෙත් බොහෝ දෙනකු තම විශ්‍රාම දිවිය අවුලින් අවුලට පත් කර ගන්නේ අර්ථසාධක අරමුදල නිවැරැදිව කළමනාකරණය කරගැනීමට මෙන්ම එහි ප්‍රතිලාභ නිවැරැදිව භුක්ති විඳීමට නොදන්නාකම නිසාය.
 

වියපත් දිවිය කාටවත් බරක් නොවී ගත කිරීමට සේවක අර්ථසාධක අරමුදල (ඊ. පී. එෆ්.) උපකාර කරගන්නේ කෙසේ ද? මේ පිළිබඳව සේවක අර්ථසාධක අරමුදල් දෙපාර්තමේන්තුවේ අධිකාරිනී රූපා ධීරසිංහ මහත්මියගෙන් විමසමු.

සේවක අර්ථසාධක අරමුදල පිහිටුවීමට මූලික වූ අරමුණ කුමක් ද?

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ ආයතනවල වගේම රාජ්‍ය සංස්ථා මණ්ඩලවල සේවය කරන අය, විශේෂයෙන්ම විශ්‍රාම වැටුප් හිමිකම් නොලබන වැඩ කරන ජනතාවගේ විශ්‍රාමික දිවිය සුරක්ෂිතව වගේම ආත්මාභිමානයෙන් යුතුව ගත කිරීමට අවස්ථාව උදා කිරීමේ අරමුණින් මේ අරමුදල ආරම්භ කෙරුණේ.

කාන්තාවක නම් අවුරුදු 50 දීත් පිරිමියකු නම් අවුරුදු 55 දීත් විශ්‍රාම යා යුතුයි. ඒ අයට අත්වැලක් සැපයීමට 1958 දී ආරම්භ කළ මේ අරමුදල මේ වන විට රුපියල් බිලියන 975 ක් ඉක්මවා තිබෙනවා. දැනට මුදල් ගෙවන සාමාජිකයන්ගේ ගිණුම් ලක්ෂ 23 ක් සහ මුදල් නොගෙවන හෙවත් අක්‍රීය සාමාජික ගිණුම් ලක්ෂ 110 ක් පමණ මේ වන විට අප පවත්වාගෙන යනවා.

රජයේ විශ්‍රාම වැටුපක් ලබන අයකුට සේවක අර්ථසාධක අරමුදල ලබාගන්නට හැකියාවක් නැද්ද?

සමහර අයගේ මතයක් තිබෙනවා විශ්‍රාම වැටුප ලබන අයට අර්ථසාධක අරමුදල් ලබාගන්න බැහැ කියලා. නමුත් යම් විශ්‍රාමික අයකු විශ්‍රාම වැටුප ලබන අතර තවත් පෞද්ගලික අංශයේ රැකියාවක යෙදී සිටිනවානම් ඔහු හෝ ඇයට ඊ. පී. එෆ්. ලැබීමට කිසිම බාධාවක් නැහැ.

සේවක අර්ථ සාධක අරමුදලට බැඳෙන්නේ කෙසේ ද?

ජීවිතයේ පළමුවැනි වරට විශ්‍රාම වැටුප් නොලබන රැකියාවකට යන පුද්ගලයකු දින 14 ක් ඇතුළත කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම සේවා යෝජකයාගේ වගකීමයි. එහිදී සේවකයාගේ නමින් ඒ, බී, එච් නමින් සහතික පත් තුනක් ලැබෙනවා. ‘ඒ’ සහතිකයෙන් සේවකයාගේ සියලු තොරතුරු ද, ‘බී’ සහතිකය සේවකයාගේ අයිතිය තහවුරු කරන ලියවිල්ල ද, ‘එච්’ සහතිකය තමන්ගෙන් පසු තම අරමුදල්වල උරුමකරුවන් නම් කළ පත්‍රය ද වශයෙන් හඳුන්වනවා.

සේවකයාගේ වගකීම වන්නේ මෙහි ‘බී’ කාඩ්පත් සුරැකිව තබා ගැනීමයි. එය සාමාන්‍යයෙන් සේවකයා ළඟ තිබිය යුතු වුවත් බොහෝ විට සේව්‍යයා සතුව තබා ගන්නා අවස්ථා තිබෙනවා. යම් හෙයකින් සේවකයා එම ආයතනයෙන් අස්වී වෙනත් ආයතනයකට යනවානම් සේව්‍යයා ළඟ ඇති ‘බී’ කාඩ්පත ඉල්ලාගෙන නව රැකියා ආයතනයට බාර දිය යුතුයි. එවිට දෙවැනි ආයතනයට එම අංකයෙන්ම සේවකයාව ලියාපදිංචි කළ හැකි වනවා. යම් ආයතනයක් සේවකයන් එසේ ලියාපදිංචි නොකිරීම හෝ අර්ථසාධක අරමුදලට දායක නොකිරීම දඬුවම් ලැබිය හැකි වරදක්. එවිට සේවකයාගේ මුළු සේවා කාලයට මෙන්ම අධිභාරය සඳහා වන මුළු මුදල එකවර ගෙවිය යුතු වනවා.

සේවක අර්ථසාධක අරමුදලට දායක විය නොහැකි පිරිසකුත් සිටිනවා නේද?

සාමාන්‍යයෙන් ලාභ ලැබීමේ පරමාර්ථයෙන් පවත්වාගෙන යන ඕනෑම ආයතනයක සේවය කරන අය මේ සඳහා සුදුසුකම් ලබනවා. යම් කිසි ආයතනයක සේවය කරන්නේ එක පුද්ගලයකු පමණක් නම් ඒ පුද්ගලයා වුණත් පැය කීපයකට හෝ දින භාගයකට හෝ දෛනික වැටුප් ක්‍රමයට වුවත් සේවයේ යෙදෙනවා නම් මේ අරමුදල සඳහා අයිතිවාසිකම ඉල්ලා සිටිය හැකියි.

නමුත් ගෘහ සේවයේ යෙදෙන්නන්, බාල වයස්කාර පිරිස්, අඳ ගොළු බිහිරි සේවා වැනි සමාජ සේවා ආයතන ඒ වගේම සේවකයන් 10 දෙනකුට අඩු පුණ්‍යායතන සහ පවුලේ උදවිය පමණක් සේවය කරන ආයතන නම් මේ අරමුදලට දායක වීමට අවශ්‍ය නැහැ.

නමුත් එසේ නොවන විට සේවයේ යෙදෙන එක සේවකයකුට වුවත් ඊ.ටී.එෆ්. ගෙවිය යුතු වෙනවා. එහිදී ස්ථිර, අස්ථිර, ආධුනික, තාවකාලික, අනියම්, දවසේ කඩින් කඩ වැඩ කරන, දවසට අඩු කාලයක් වැඩ කරන, කොන්ත්‍රාත් පදනම මත වැඩ කරන හෝ වැඩ ප්‍රමාණයට ගෙවුම් ලබන කියා වෙනසක් හා මුදලින් හෝ වෙනත් ක්‍රමයකින් ගෙවුම් ලබනවා ද කියා වෙනසකුත් නැහැ.

සේවක අර්ථසාධක අරමුදලට දායක වීමෙන් සේවකයකුට ලැබෙන ප්‍රතිලාභ මොනවා ද?

මේ අරමුදල යටතේ බොහෝ ප්‍රතිලාභ ලබා ගැනීමට අරමුදලේ ගිණුම් හිමියන්ට හැකියාව ලැබෙනවා. පුරුෂයකු නම් අවුරුදු 55 සම්පූර්ණ වීම හෝ කාන්තාවක නම් වයස අවුරුදු 50 සම්පූර්ණ වී සේවයෙන් ඉවත්වීමේදී හෝ ඉන්පසු වයස සම්පූර්ණ වීමේදී අර්ථසාධක අරමුදල ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

කාන්තාවක් විවාහ වීමේ හේතුව මත සේවයෙන් ඉවත් වූ විට වගේම ඕනම අයකු සේවයේ යෙදීමට නොහැකි ලෙස සදහටම රෝගී වී සේවයෙන් ඉවත් වූ විටත් මේ මුදල ලබාගත හැකියි.

ස්ථිර වීසා බලපත් ලබා විදේශ රටක පදිංචියට යාමේදී, රජයේ හෝ පළාත් පාලන සේවයේ හෝ ස්ථිර විශ්‍රාම වැටුප් හිමි රැකියාවක සේවයේ නියුක්ත වීමට යාමේදී, රාජ්‍ය ව්‍යාපාරයක් සංස්ථාවක් බවට පත් කිරීම, සංස්ථාව වසා දැමීම, අතිරික්ත සේවකයන් ඉවත් කිරීම, රාජ්‍ය සංවිධානයක් හෝ රාජ්‍ය ව්‍යාපාර ආයතනයක් වසා දැමීම යන අවස්ථාවල සේවයෙන් ඉවත්වන සේවකයන්ට, එසේත් නැත්නම් සාමාජිකයකු මියගිය විට එම සාමාජිකයාගේ උරුමකරුවන්ට හෝ නම් කළ අයටත් මේ ප්‍රතිලාභ ලබා ගැනීමට හැකියාව තිබෙනවා.

මෙහිදී කාන්තාවන් සඳහාම පමණක් වන විවාහ හේතුවෙන් සේවයෙන් ඉවත් වීමේදී අනිවාර්ය කරුණු දෙකක් තිබෙනවා. කාන්තාවක සේවයෙන් ඉවත් වී මාස තුනක් ඇතුළත විවාහ වන්නේ නම් හෝ විවාහ වී වසර 5 ක් ඇතුළත සේවයෙන් ඉවත් වන්නේ නම් පමණයි ඔවුන්ට මේ ප්‍රතිලාභය විශ්‍රාම යාමට කලින් ලබා ගත හැකි වන්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් එසේ ආපසු ලබා ගැනීමේ ක්‍රමවේදය කුමක් ද?

ප්‍රතිලාභ ලබා ගැනීමේදී තමන් විසින්ම ඉල්ලුම් කරන්නේ නම් ‘කේ’ ආකෘතිය සම්පූර්ණ කර එයට අවශ්‍ය අදාළ ලිපි ලේඛන එනම් බී කාඩ්පත, ජාතික හැඳුනුම්පත, විවාහ සහතිකය, උප්පැන්න සහතිකය ආදිය සමඟ කම්කරු කාර්යාලයට බාර දිය යුතුයි.

මියගිය අයකුගේ ප්‍රතිලාභ ලබා ගැනීමේදී සාමාජිකයාගේ මරණ සහතිකය, දරුවන්ගේ උප්පැන්න සහතිකය, කසාද සහතිකය ආදිය සමඟ ‘එල්’ අයැදුම්පත සම්පූර්ණ කර ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් සහතික කළ විස්තර පත්‍රිකාව සමඟ කම්කරු කාර්යාලයට බාර දිය යුතුයි. අයදුම් කරන්නේ බාල වයස්කරුවකු විසින් නම් එල් 3 පෝරමය සමඟ ග්‍රාම නිලධාරී සහ ප්‍රාදේශීය ලේකම් ඉදිරිපත් කරන ලිපියකුත් අවශ්‍ය වනවා.

නැවත රැකියාවක් කළ නොහැකි ආකාරයට රෝගී හෝ ආබාධිත වූ විට වෛද්‍ය සහතික මඟින් සනාථ කළ පසු ප්‍රතිලාභ සඳහා අයැදුම් කළ හැකියි. ඒ සඳහා රජයේ රෝහලක වෛද්‍යවරයකුගේ සෞඛ්‍ය 307 ආකෘති පත්‍රය මඟින් නිකුත් කරන සහතිකයක් ලබාගෙන කම්කරු කොමසාරිස්වරයා වෙත ඉදිරිපත් කළ යුතුයි. එවිට කම්කරු කොමසාරිස්වරයා විසින් ‘එම්’ ආකෘති පත්‍රයක් හා අදාළ උපදෙස් සාමාජිකයාට ලබා දෙනවා. ඉන්පසු වෛද්‍ය මණ්ඩලයේ පරීක්ෂාවට ලක්කර රෝගී තත්ත්වය අනුව තවදුරටත් සේවයේ යෙදිය නොහැකි බව තහවුරු වුවහොත් ප්‍රතිලාභ ලබා දෙන්නට කටයුතු යොදනවා. ස්ථිර පදිංචිය සඳහා විදෙස්ගත වන විට ‘කේ’ අයැදුම්පත සමඟ ස්ථිර වීසා බලපත්‍රය ද සේව්‍යයා මඟින් සහතික කර ඉදිරිපත් කළ යුතුයි. පෞද්ගලික අංශයේ රැකියාවකින් මිදී විශ්‍රාම සහිත ස්ථිර රැකියාවකට යන්නේ නම් ‘කේ’ අයැදුම්පත සම්පූර්ණ කර ‘බී’ කාඩ්පත සමඟ පත්වීම් ලිපියේ මුල් පිටපත තමා සේවය කරන ආයතන ප්‍රධානියාගෙන් ලබාගත් රැකියා තත්ත්වය පිළිබඳ සහතිකයක් සමඟ කම්කරු කාර්යාලයට ඉදිරිපත් කළ යුතුයි. පවුලෙන් පිටත උරුමකරුවන් නම් කිරීමට හැකි වන්නේ අවිවාහක අයට පමණයි. එවැනි විටෙක සාමාජිකයාගේ මරණයෙන් පසුව එම නම්කළ තැනැත්තාට අදාළ ප්‍රතිලාභ ලබාගත හැකියි.

අර්ථසාධක අරමුදල ආපසු ලබා ගැනීම හැරුණු කොට ලබාගත හැකි ප්‍රතිලාභ මොනවා ද?

නිවාස ණය පහසුකම් ලබාදීමට සේවක අර්ථසාධක අරමුදල කටයුතු කරනවා. ඒ සඳහා සුදුසුකම් ලබන්නේ ශ්‍රී ලංකාවේ නිවසක් ඉදිකරන අය පමණයි. අනුමත බැංකුවක් මඟින් නිවාස ණයක් ඉල්ලුම් කරන සක්‍රිය සාමාජිකයකු සඳහා සේවක අර්ථසාධක අරමුදලේ ශේෂයෙන් සියයට 75 ක් සහ අක්‍රිය සාමාජිකයකු සඳහා ශේෂයෙන් සියයට 50 ක් ඇපයට තබා ලබාගත හැකියි.

සමහර අවස්ථාවලදී සේවක අර්ථසාධක අරමුදල ඇපයට තබා ලබාගන්නා ණය නොගෙවීමට හෝ එය අතපසු කිරීමට සාමාජිකයන් උත්සාහ කරනවා. මෙහි ප්‍රතිඵලය කෙබඳු ද?

යම් ආකාරයකින් ඊ. පී. එෆ්. එක ඇපයට තබා ණය ලබා ගතහොත් එය නිසි පරිදි ගෙවීමට උත්සුක විය යුතුමයි. එසේ නොවන අවස්ථාවල පාඩු සිදු කරගත් අය ඕනෑ තරම් දැක තිබෙනවා. ණය මුදල ලබාගත් පසු ශේෂය ඇපයක් ලෙස වෙන් කරනවා. පොලියක් අය කෙරෙන නිසා ණය මුදල නොගෙව්වහොත් ඒ ණය මුදලත්, පොලියත්, දඩයත් අරමුදලේ ශේෂයෙන් බැංකුවට ගෙවීමට සිදු වෙනවා. එවිට තමන්ට හිමි මුදලෙන් හිතනවාට වඩා විශාල මුදලක් අඩු වෙනවා.

උදාහරණයක් ලෙස පසුගිය වසරේ රුපියල් මිලියන 1855 ණය පොලී නොගෙවීම නිසා බැංකුවලට ගෙවා තිබෙනවා. සාමාන්‍යයෙන් එසේ ණය ලබාගෙන නිසි ලෙස නොගෙවූ ප්‍රතිශතය 2009 වසරේදී සියයට 40 ට ආසන්නයි. ඔවුන් දන්නෙ නැහැ මෙය ඔවුන්ට විශාල පාඩුවක් වගේම තමන් වයස්ගත වූ විට නිදහසේ ගෙවන්න තිබෙන ජීවිතය ව්‍යාකූල කර ගැනීමක් බව. එනිසා බාහිර අයගේ වැරැදි උපදෙස් අනුගමනය නොකර නිසි වේලාවට ණය පොලි ගෙවා විශ්‍රාමික දිවිය ගත කිරීමට ඇති මුදල සුරක්ෂිත කරගන්නා ලෙසයි අප වරප්‍රසාද ලබාගන්නා අයගෙන් ඉල්ලා සිටින්නේ.

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ආයෝජනය කිරීම ගැන සමහර අයට ගැටලු තිබෙනවා.

අර්ථසාධක අරමුදලින් සියයට 92 ක්ම ආයෝජනය කරන්නේ රජයේ සුරැකුම්පත්වලයි. ඉතිරියෙන් සියයට 7 ක් කොටස් වෙළෙඳපොළෙත් සියයට 1 ක් සාංගමික බැඳුම්කරවලත් ආයෝජනය කරනවා.

රජයේ සුරැකුම් පත්වල ආයෝජනය කිරීම කියන්නේ ඉතාම විශ්වාසවන්ත අවදානමකින් තොර කටයුත්තක්. කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන්නේ ඉතා සුළු කොටසක් වගේම එය දිගු කාලීන අරමුණු සහිතව කරන කටයුත්තක්. එය සඳහා අප යම් ආයතනයක් ස්වාධීනව ඇගැයීමට ලක්කර අනාගතය පිළිබඳ ඇති අපේක්ෂාව මතයි තීරණය ගන්නෙ.

අනෙක කොටස් වෙළෙඳපොළේ නිරන්තර වෙනස්වීම් අනෙක් සියලු දෙනාට මෙන්ම අපටත් එක ලෙස බලපානවා. එය අපට විශේෂ තත්ත්වයක් නොවේ. අපට කොටස් වෙළෙඳපොළ මිල ඉහළ යනතුරු බලා සිටින්නට පුළුවන් ආකාරයටයි අප මුදල් යොදා තිබෙන්නෙ. දිගුකාලීන ලාභ අපේක්ෂාවෙන්. අනෙක අප හැම විටම බලන්නෙ අවම අවදානම හා උපරීම ප්‍රතිලාභ සාමාජිකයන්ට අත්කරදීමයි. ඒ නිසා සාමාජිකයන්ට කිසිම සැකයක් ඇති කරගන්න හේතුවක් නෑ.

අප හා සමාන අනෙක් ආයතන සමඟ සසඳද්දී වැඩිම පොලී අනුපාතිකයක් ලබා දී ඇත්තේ අප විසින්. 2009 එය සියයට 13.75 ක්, 2010 දී 12.5 ක් මේ වසරේදීත් අන් අයට වඩා වැඩි පොලියක් ලබාදීමට අප බලාපොරොත්තු වනවා.

ඇතැම් අවස්ථාවල අරමුදල් ආපසු ගැනීමේදී ප්‍රමාද වූ අවස්ථා ගැන චෝදනා එල්ල වෙනවා?

එසේ සිදු වෙනවා නම් එයට හේතුව තම ගිණුම් පිළිබඳ තොරතුරු නිසි ලෙස පවත්වාගෙන නොයාමයි. නම්වල විවිධ දෝෂ පැවතීම හා ‘බී’ කාඩ්පත නැති කරගැනීම. ජාතික හැඳුනුම්පතේ ඇති නම මාරු කිරීම ආදි හේතු නිසා සිදුවන ප්‍රමාදයන් ගැන විය යුතුයි එසේ කියන්නෙ.

එසේ නැතිනම් ණය ලබාගෙන නිසි ලෙස ගෙවා නිමා කර නැත්නම් හෝ ඒ පිළිබඳ තොරතුරු ඉදිරිපත් කර නැත්නම් ඒ සඳහා ද කාලයක් ගත වනවා. ඒ හැර නිවැරැදිව සම්පූර්ණ කරන ලද අයැදුම්පත මහ බැංකුවට ඉදිරිපත් කළ විට දින 3 ක් හෝ 4 ඇතුළත මුදල ලබා ගත හැකියි.

නව තාක්ෂණය ඔබේ ආයතනයට යොදාගෙන ඇත්තේ කෙසේ ද?

සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට පහසු වන පරිදි ඒකීය අංකයක් යටතේ ලියාපදිංචි කිරීමේ කටයුතු දැන් සිදු කෙරෙනවා. ඒ අනුව සියලු සාමාජිකයන් සිය ජාතික හැඳුනුම්පත් අංකය යටතේ ලියාපදිංචි කිරීමට කටයුතු යොදා තිබෙන්නෙ.

අලුතෙන් බැඳෙන සාමාජිකයන් තමන්ගේ සේව්‍යයා මඟින් සිය ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ලියාපදිංචි කිරීමට කටයුතු කරන ලෙස දැනුම් දීම වගකීමක් සේ අප සිතනවා. එය ‘ආර් ආර් 6’ පෝරමය මඟින් කළ හැකියි. සේවා යෝජකයන් විද්‍යුත් මාධ්‍යයෙන් ‘සී’ වාර්තා සහ අරමුදල් එවීමේදී නව ක්‍රමයට ඇතුළත් වෙතැයි අප අපේක්ෂා කරනවා. ඒ සඳහා අවශ්‍ය පහසුකම් හා තොරතුරු මෙන්ම පුහුණුව අප නොමිලේ ලබා දෙනවා.

ජාතික හැඳුනුම්පත් අංකය යටතේ සේවකයන් ලියාපදිංචි කරන්නේ පහසුව තකායි. මොකද එකම සේවකයකු ආයතන කිහිපයකට මාරු වූවත් එහිදී අංකය වෙනස් නොවන නිසා සේවකයන්ට සේව්‍යයන්ට මෙන්ම අපටත් කටයුතු කිරීම පහසුයි.

යමකු තමන්ගේ සේවක අර්ථසාධක අරමුදල් ගිණුමේ කෙතරම් මුදලක් තිබේදැයි දැනගන්නෙ කෙසේ ද?

සෑම සාමාජිකයකුටම සේවක අර්ථසාධක අරමුදලේ අර්ධ වාර්ෂික වාර්තා එවීමට අප කටයුතු කරනවා. මේ වන විට 2010 වසර සඳහා වූ වාර්තා දැන් නිකුත් වෙමින් පවතිනවා. ඒ වාර්තා සේවා යෝජකයාගෙන් ලබාගෙන යම් විසමතාවක් තිබේනම් නොවැම්බර් 01 දා සිට විමසීම් කරන්නට හැකියි.

මෙතෙක් තිබුණු සේව්‍යයා කේන්ද්‍ර කරගත් ක්‍රමයෙන් මිදී දැන් අප සේවකයා කේන්ද්‍ර කරගත් ක්‍රමයකට පරිවර්තනය වෙමින් පවතින්නේ. අලුත් තාක්ෂණය භාවිත වන නිසා මෙතෙක් පැවති අර්ධ වාර්ෂික දායක මුදල් විස්තර රැස් කිරීමේ ක්‍රමය විද්‍යුත් මාධ්‍ය මඟින් මාසිකව දායක මුදල් විස්තර ලබා ගැනීමේ ක්‍රමයකට පරිවර්තනය කෙරෙමින් පවතිනවා.

විද්‍යුත් මාධ්‍ය මඟින් සාමාජික සේවා ලබාදීම හඳුන්වා දී තිබෙනවා. කෙටි පණිවිඩ මඟින් හා අන්තර්ජාලයෙන් තම ගිණුමේ ශේෂය දැනගැනීමට හා ප්‍රතිලාභ අයදුම්පත පිළිබඳ විස්තර දැනගැනීමට පහසුකම් තිබෙනවා.

මේ පිළිබඳ දැනුම්වත් කිරීම් කෙරෙන අතරතුර ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම ද අපේ ජංගම සේවා මඟින් සිදු කෙරෙනවා. ඔබට අවශ්‍ය ඕනෑම තොරතුරක් දැන් සිංහල දෙමළ හා ඉංගී‍්‍රසි භාෂාවලින් අංක 53, බාරොන් ජයතිලක මාවතේ, ලොයිඩ්ස් ගොඩනැගිල්ලේ පිහිටි අප ආයතනයේ මහජන සම්බන්ධතා කවුළුවෙන් ලබාගත හැකියි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා