ගිනිගත් ගිනි අවි

 
 

කොළඹ නාගරික සංවර්ධන අධිකාරිය නිසැකවම පිහිටුවනවා

 
 

පොලිසියට මිනිස්සු මරන්ඩත් බෑ මිනිස්සුන්ට පොලිසි කඩන්ඩත් බෑ

 
 

බෝතලයක් ඇවිදිල්ලා තුන්දෙනාම අරන්ගියා

 
 

අපට තවම කිසිම චෝදනා පත්‍රයක් නෑඑජාප පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ

 
 

පිටරටකට නොගියා නම් මමත් අද ප්‍රවීණ සිනමා නිළියක්

 
 

බුදුන් උපන් දේශයට පැය තුනෙන්

 
 

කෑමෙන් මරු කෑම අඹරාගෙන කෑම

 
 

උතුරු-දකුණු දරුවන්ට සහජීවනයේ සහ සාමයේ අගය කියන දෙනුවර මිතුරෝ

 
 

දරුවාගේ හිස තුවාල වුණත් මොළයට හානි වෙන්නේ කලාතුරකින්

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

තාත්තලගේ සින්දු කියන්න අපිට අයිතියක් නැද්ද

තාත්තලගේ සින්දු කියන්න අපිට අයිතියක් නැද්ද?

තාත්තලාගේ ගීත කියන පුතාලා කියන කතා

2003 නොවැම්බර් 12 වැනි දිනට සිට ශ්‍රී ලංකාවේ බලාත්මක වූ බුද්ධිමය දේපළ නීති සංග්‍රහයේ 2003 අංක 36 දරන වගන්තියෙන් ගී පද රචකයින්ට සහ ස්වර (සංගීත) රචකයින්ටත් ඔවුන් මියගිය පසු ඔවුන්ගේ පවුල් සාමාජිකයින්ටත් ලැබී ඇති ගීතයේ අයිතිය පිළිබඳ විවිධ මතවාද මේ දිනවල කතාබහ කෙරෙනු ඇසේ. අප රටේ ඇතැම් ජ්‍යෙෂ්ඨ ගායන ශිල්පීන් ගැයූ ජනපි‍්‍රය ගීත පවා නැවත ගායනයට වෙනත් ගායන ශිල්පීන් හට ලබා දීම හෝ ආර්ථික ප්‍රතිලාභ උදෙසා විකිණීම දැන් සුලභව සිදුවෙන අතර එම නිසා මුලින් එම ගීත ගැයු ගායකයින්ගේ පවුල් සාමාජිකයින් අසීරුතාවයට පත්වෙනු පෙනෙන්නට ඇත.

ඒ සම්බන්ධයෙන් ගායක පියවරුන්ගේ ගීත ගයන පුතුන් හට සිය අදහස් පවසන්නට ‘රසඳුන’ සකස් කර දුන් වේදිකාවයි මේ...!

සින්දුවක අයිතිය තියෙන්න ඕනෑ ගායකයාටයි
 

- ඉෂාක් බෙග්

“ගී පද රචකයොයි සංගීතඥයොයි කියනවා අපි ලිව්වේ නැත්නම් කොහොමද ගායනා කරන්නෙ, ගීත අයිතිකාරයෝ ඒ ගොල්ලෝ කියලා. එහෙම වෙන්නෙ කොහොමද, ගායනා කරන්නේ නැතිව පද මාලාවකුයි තනුවකුයි තිබුණු පළියට ජනපි‍්‍රය ගීතයක් වෙනවා ද? හඬක් ඕනි ගීතයකට. අද වුණත් ගීතයක් හඳුන්වන්නේ මේ ගීතය ජෝතිපාලගේ, අර ගීතය මිල්ටන් පෙරේරාගේ ඒ ගීතය මොහිදින් බෙග් මාස්ටර්ගේ කියලයි.”

“මේවා අසාධාරණ නීති. ගායකයාට තමයි සින්දුවක අයිතිය තියෙන්න ඕනේ. ගායකයා තමයි ගීතය හැඩ කරන්නේ. ගීත රචකයින්ටයි සංගීතඥයින්ටයි අයිතිය තියෙන හින්දා තමයි මගේ තාත්තාගේ සින්දු වෙනත් ගායකයෝ ගායනා කරලා ලක්ෂ ගණන් හම්බ කරන්නේ. දැන් බෙග් මාස්ටර්ගේ ‘සකල සතම’ සින්දුව නෙමේ රිංගින් ටෝන්ස්වල තියෙන්නේ, වෙන ගායකයෙකුගේ සින්දුවකුයි. එක්තරා ළමා ගායකයෙක් (නම සඳහන් කරන ලෙස ඉල්ලුවත් අපි මෙහිදී එම නම නොලියමු.) මගේ තාත්තාගේ සින්දු කියලා වෙබ් අඩවිවලට දාලා. ගීත රචකයින්ගෙනුයි සංගීතඥයින්ගෙනුයි ඒ ගැන අහපුවාම එයාලා කියනවා අපි නම් දුන්නේ නැහැ කියලා. මේවා විසඳන්නේ කොහොම ද?”

“බෙග් මාස්ටර් ගීත ගායනා කරලා තියලා ගියේ එයාගේ දරුවන්ටයි. බෙග් මාස්ටර් කියන්නේ මේ ඉෂාක් පුතාගේ තාත්තා. ඒත් දැන් බෙග් මාස්ටර්ගේ ගීතවලින් ජනපි‍්‍රය වෙලා හම්බ කරගෙන කන්නේ බොන්නේ වෙන අයයි. අර ළමා ගායකයා පොඩි ළමයෙක්. එයාට සුදුසුකමක් හෝ අයිතියක් නැහැ බෙග් මාස්ටර්ගේ සින්දු කියන්න. මේ දේවල් හැමදාම වෙන්න ගියොත් මොකද වෙන්නේ? අපි ජීවත් වෙන්නේ තාත්තාගේ සින්දු කියලා. තාත්තාගේ සින්දු අයිති අපිට. ඒවා වෙන කාටවත් ගායනා කරන්න අයිතියක් නැහැ.”

ගීතයක් විකුණන්න තුන් පාර්ශවයම එකඟ විය යුතුයි

- චලක චමුපති

“අද තියෙන ලොකුම ප්‍රශ්නය තමයි ඕක. ගායකයාව ඕනි ගීතය අසන්නා වෙත ගෙනියන්න. ගීත පද රචකයොයි සංගීතඥයොයි එකතු වෙලා ගීත විකුණනවා. ගීතයක අයිතිය ගායකයාට නැත්තේ ඇයි?”

“ගායකයාට අයිතිය නැති හින්දා තමයි ගී පද රචකයොයි සංගීතඥයොයි එකතු වෙලා ආර්ථික වාසි ගන්න හරියට ගායනය බැරි අයට සින්දු විකුණන්නේ. මුල් ගායකයාට එයින් සිදුවෙන්නේ අසාධාරණයක්. සින්දුවක් ජනපි‍්‍රය වෙන්න එනම් අසන්නන් අතරට ගෙනියන්න දායක වුණු මුල් ගායකයාගේ හඬ නැති කිරීම මෙහිදී සිදුවෙන බලවත්ම අසාධාරණයයි. බුද්ධිමය දේපළ නීතිය වෙනස් විය යුතුයි.

ගීතයක් විකුණන්න ගී පද රචකයා, සංගීතඥයා සහ ගායකයා තුන් පාර්ශවයම එකඟ විය යුතුයි. එවිට අසාධාරණයක් නොවේවි. අපි ඉන්න කල් මිල්ටන් පෙරේරා ගයපු සින්දු වෙන කාටවත් තැටි, පටවලට කියන්න අපි දෙන්නේ නැහැ. ඉරානි ඇන්ටි (ගී පද රචක කරුණාරත්න අබේසේකරගේ බිරිඳ) වත්, සාලි ඇන්ටි (සංගීතඥ මොහොමඩ් සාලිගේ බිරිඳ) වත් අපේ තාත්තාගේ ගීත කාටවත් විකුණන්නේ නැහැ.”

ඔබේ පියාත් අනුන්ගේ ගීත ගායනා කරලා තියෙනවා නේද?

“ඔව්. ඒ කාලේ මෙහෙම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අපේ තාත්තලා සින්දු මාරු කරගෙන කියලා තියෙනවා. ටියුඩර් ජයශාන්තගේ ‘මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු

වේ’ වගේ ගීත ගායනා කරලා තියෙනවා. මමත් පසුව එම ගීතය ගායනා කළා. එවිට මම ඒ ගීතයේ පද රචනය කළ තලවතුගොඩ සරත් චන්ද්‍රසිරි ගී පද රචකයා සොයා ඔහුට මුදල් ගෙව්වා. අපි ඒ විදිහට අපේ යුතුකම් ඉටු කරනවා. අපේ තාත්තලා, ජෝති, කරු, මොහොමඩ් සාලි අංකල්ලා එකතු වෙලා ආදරෙන් කරපු නිර්මාණ එදා තිබුණේ. දැන් ඉන්න අය ඒවා මංකොල්ල කනවා. ඒ නිසා තමයි දැන් හොඳ ගීත නිර්මාණය නොවන්නේ.”

“දැන් තවත් අසාධාරණයක් වෙනවා. ආරාධිත ශිල්පීන් හැටියට අපිව ප්‍රසංග වලට ගෙන්වා ගෙන අපි ගයන ගීත පටිගත කරලා විකුණලා කැසට් මුදලාලිලා නිකම්ම මුදල් හම්බ කරගන්නවා. අපිට සත පහක් වත් ලැබෙන්නේ නැහැ. අපේ ගීත ඇල්බමයක් කළත් එහෙමයි. රිංගින් ටෝන්ස් අයිතියක් නිෂ්පාදකයා ලබා ගන්නවා. (තවත් කාරණාවක් තියෙනවා කියන්න. මේ ටික නම් අනිවාර්යෙන්ම ලියන්න.) අද ජෝතිපාල නම් මේ රටේ නැති කරගෙන යනවා. ජෝති අංකල් කියපු ගීත නෙමේ අද ප්‍රචාරය වෙන්නේ සුරේන්ද්‍ර කියපු ඒවා. දැන්මම මේවා නතර කළේ නැත්නම් ගායන ක්ෂේත්‍රයේ ජෝති අංකල් ගැයු ගීත නැත්තටම නැති වෙලා යනවා.”

තාත්තාගේ සින්දු ලියාපදිංචි කරලා ඒ නිසා අපිට ප්‍රශ්නයක් නැහැ

- පි‍්‍රයන්ත ප්‍රනාන්දු

සී. ටී. ප්‍රනාන්දු ගායන ශිල්පියාගේ පුතා වන පි‍්‍රයන්ත ප්‍රනාන්දු අප සමඟ එක්වූවේ ඔහුගේ මෑණියන් (සී. ටී. ගේ බිරිඳ ධානා ප්‍රනාන්දු) අසනීපව පසුවන හෙයින් එම කටයුතු අතර මැදයි. “මේක වැරදියි. ගීත රචකයන්ට සින්දු ලියලා තියාගෙන ඉන්න තමයි වෙන්නේ ගායකයෝ නොගයනවා නම්. ගීතයක් රසවත් වෙන්නේ ගායනා කළාමයි. ජනපි‍්‍රය වෙන්නෙත් ගායනා කළාට පසුවයි.”

“කොහොම වුණත් ගීත පද රචකයින්ටයි සංගීතඥයන්ටයි අයිතිය තිබුණාට අපිට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ තාත්තාගේ ගීත සම්බන්ධයෙන් නම්. මොකද තාත්තා ගායනා කරපු ගීත සියල්ලම අම්මා ලියා පදිංචි කරලා තියෙන හින්දා.”

එම ආයතනයේ නම කියන්න පුළුවන් ද?

“ඒ ආයතනයේ නම දන්නේ අම්මා. අම්මාට මේ දවස්වල සනීප නැහැ. වෙන දවසක ඒ ගැන අහලා දැනගමු.”

අනුන්ගේ සින්දු කියනවා නම් බස්වල නැඟලා කියන්න

- අමල් පෙරේරා

ගායන ශිල්පී මර්වින් පෙරේරා ගේ පුතා වන අමල් පෙරේරා අපේ කතාබහට එක්වූවේ “ගීත පද රචනයයි, සංගීතයයි තමන්ගේ බුද්ධිමය දේපළ කියලා තමන්ගේ ගීතය ගායනයට දායක වූ සමකාලීනයා නැති වුණු තැනදී එම නිර්මාණය විකුණා ගෙන කෑම පහත් ක්‍රියාවක්” යයි පවසමින් ය.

“තාත්තාට සින්දු ලියපු ගීත රචකයන් වැඩි දෙනෙක් දැන් ජීවතුන් අතර නැහැ. තාත්තාගේ සින්දු වැඩිපුර තාත්තාමයි මියුසික් කළේ. ඒ නිසා ඒ ගීත විකිණීම ගැන නම් කියන්න දෙයක් නැහැ. ඒත් අද තමන්ගේ සමකාලීන ගායකයා මියගිය පසු තමන්ගේ ගීත විකුණන ගී පද රචකයොයි, සංගීතඥයොයි නම් කරන්නේ පහත් පෙළේ ක්‍රියාවක්. ඒ වගේම තමයි එවැනි පරණ සින්දු අරගෙන කියන ගායකයොත් ගායකයෝ නෙමෙයි. ඔවුන් ගීත ඇල්බම් කරනවාට වඩා හොඳයි කෝච්චිවල බස්වල ගිහින් සින්දු කියනවා නම්.”

තමන්ටම කියලා නිර්මාණය හදාගන්න බැරි අයගේ හිඟන වැඩක් විදිහට තමයි මම ඔය අනුන්ගේ ගීත ගායනා කිරීම දකින්නේ. සල්ලි වලට එහෙම ගීත ලබා ගෙන ගායනා කළත් ඒක නින්දිත පහත් වැඩක්. එවැනි පුද්ගලයන්ට ගීත විකුණන ගී පද රචකයොයි සංගීතඥයොයි කියන්නේ නිර්මාණවලට හෝ තමන් සමඟ නිර්මාණයට දායක වූ ගායකයාට කිසිදු ආදරයක් නැති අයයි. ගායකයාගේ අභාවයෙන් පසුව කීයක් හෝ හොයාගන්න නිර්මාණය විකුණන කවුරු වුණත් කරන්නේ ගසා කෑමක්. මොකද ගායකයාටත් එම නිර්මාණයේ අයිතියක් තියෙනවා. එය අමතක කිරීම සදාචාරාත්මක නැහැ.”

“බුද්ධිමය දේපළ නීතියෙන් ගායකයාට ගීතයේ අයිතිය නැති හින්දා ‘දෙන දේ කාලා වෙන දේ බලාගෙන ඉන්නයි’ වෙලා තියෙන්නේ.”

තාත්තගේ සින්දු සල්ලිවලට ඉල්ලුවා ඒත් අපි දුන්නේ නැහැ

- ජනේශ් සිල්වා

උපහාස ගීතයෙන් ගීතලෝලීන් පිනවූ ගායන ශිල්පී ෆෙ‍්‍රඩී සිල්වා වෙනුවෙන් අපට අදහස් පවසන්නට ඔහුගේ පුතා ජනේශ් සිල්වා දියණිය සහ චාන්දනී යන දෙදෙනාම එක්වූහ.

“තාත්තාගේ සින්දු තාම නම් කවුරුවත් කියලා නැහැ. කියන්න අමාරු හින්දා ද දන්නේ නැහැ, සුපර් ස්ටාර්ස්ලාගෙන් වුණත් කවුරුවත් කිව්වේ නැහැ. හැබැයි ලක්ෂ ගණන් දීලා තාත්තාගේ සින්දු ඉල්ලා ගෙන නම් ආවා. අපි දුන්නේ නැහැ. ඉදිරියේදී වචන වෙනස් කරලා කියයි ද දන්නේ නැහැ.”

“කොහොම වුණත් ඔය බුද්ධිමය දේපළ නීතිය අසාධාරණයි. ගීතයේ අයිතිය ඒ ගීතය නිර්මාණය කරපු ගී පද රචකයාට, සංගීතඥයාට සහ ගායකයාට වශයෙන් තුන්දෙනාටම තියෙන්න ඕනේ. ගීතය හරියට තුන් පාද කනප්පුවක් වගේ. කැපවීම් කරලා තාත්තලා දරුවන්ට ඉතිරි කරලා ගිය දේපළ වස්තුව ඔය ගීත විතරයි. ඒවා මංකොල්ල කන්න ඉඩ දෙන්න බැහැ. අපේ තාත්තාගේ සින්දු හොරකම් කළොත් අපි නීතියෙන් කරන්න පුළුවන් හැමදේම කරනවා. තාත්තලාගේ ගීත ඔවුන්ගෙන් පසු දරුවන්ට අයිතියි. කොහේවත් ඉන්න උන්ට ඒ ගීත කියන්න දෙන්න අපි සූදානම් නැහැ.”

තාත්තාගේ සින්දු කාටවත් විකුණන්න එපා

- මරියෝ ආනන්ද

“ගීත පද රචක මාමලයි, සංගීතඥ මාමලයි එකතු වෙලා තාත්තා ගායනා කරපු ගීත විකුණුවොත් එය නවත්වන්න පුළුවන් ද කියන එක මට ලොකු ප්‍රශ්නයක්. මං තාම ළමයෙක්. ඒත් මට හැඟෙන විදිහට ගායකයාට අයිතියක් නැති එක වැරදියි. තාත්තාගේ ගීත වෙන කාටවත් දෙන්න බැහැ. කවුරු හරි එහෙම දෙනවා නම් ඒක අසාධාරණයි. ගී පද රචකයාට සහ සංගීතඥයාට වගේම ගායකයාටත් අයිතිය දෙනවා නම් තමයි සාධාරණ වෙන්නේ.

තාත්තා වෙනුවෙන් මම ඔහු ගැයු ගීත ආරක්ෂා කරගෙන පවත්වා ගෙන යාමට බලාපොරොත්තු වෙනවා. ඒ නිසා මගේ තාත්තා ගායනා කළ ගීත නිර්මාණයට දායක වුණු ගී පද රචක සහ සංගීතඥ මාමලාගෙන් සහ ඔවුන්ගේ පවුල්වල නැන්දලා, අයියලා සහ අක්කලාගෙන් මම ඉල්ලනවා ‘මගේ තාත්තා ගයපු ගීත කාටවත් විකුණන්න එපා’ කියලා. මම දැන් එම ගීත ගායනා කරනවා.”

තාත්තා කියපු චිත්‍රපට සින්දු අපිට අයිතියක් නැතිලු

- අමිත් වල්පොල

අමිත් වල්පොල ප්‍රවීණ සංගීතඥ ගායන ශිල්පී ධර්මදාස වල්පොලගේ පුතාය. අමිත් මෙම කතාබහට එක් වූවේ ‘ජෝතිපාලගේ ගීතවලට අත තිබ්බට වල්පොලගේ සින්දුවලට කවුරුත් අත තියන්නේ නැහැ. මොකද ඔය ගීත විකුණන සහ ඒවා මිලදී ගන්නා කවුරු කවුරුත් දන්නවා. වල්පොලට කටකාර වැඩකාර පුත්තු ඉන්න බව‘ යයි පවසමිනි.

“ඒ වුණාට මේ ගීත විකිණීම අපිටත් බලපානවා. තාත්තාගේ ‘මේ සෞම්‍ය රාත්‍රී’ ගීතය පුන්සිරි සොයිසා වචන වෙනස් කර ගායනා කෙරුවා. අපි කතා කරලා එය විසඳා ගත්තා. ඒත් මෙය සදාචාර විරෝධියි. ජෝතිපාලගේ ගීත අද විකුණගෙන කන්නේ ඒවා ගැන කතා කරන්න කෙනෙකු නැති හින්දා. එය පාළු ගෙයි වළං බිඳිනවා වගේ වැඩක්. රනිල් මල්ලවආරච්චි නම් කිව්වේ ‘තාත්තාගේ සින්දු කවුරු හරි කිව්වොත් ආයේ සින්දු කියන්න බැරි වෙන්න කට කපනවා’ කියලයි. ජෝතිපාලට වගේ අසාධාරණයක් නම් වෙන කාටවත් සිද්ධ වෙන එකක් නැහැ.” “අපේ තාත්තාගේ ගීත වැඩි ගණනක් චිත්‍රපට ගීත. ඒවා චිත්‍රපට නිෂ්පාදකයින්ගේ ගිවිසුම් අනුව අයිති ඔවුන්ටයි. එම චිත්‍රපට මිලදී ගැනීම නිසා ඒ ගීතවල දැන් අයිතිය ඇත්තේ තිස්ස නාගොඩවිතානටයි. රිංගින් ටෝන්ස් අයිතියත් ඔවුන්ටයි. ඉතින් කාටද කියන්නේ?

“බටහිර රටවල නම් ගායකයාගේ අයිතිය උරුමක්කාරයන්ට ලැබෙනවා. ඒ නිසා ජිම් රිවුස් ගේ බිරිඳ මල්ටි මිලියන පතිනියක් වුණා. ඒත් අපේ රටේ රිංගින් ටෝන්ස් සඳහා අපේ ගීත ගන්න බැහැ කියනවා. සදාචාරයෙන් තොර අවිචාරවත් පිරිසකගේ ඕනෑ එපාකම් අනුව සිදුවෙන මේ ගීත මංකොල්ලය නතර කරන්න නම් ජනමාධ්‍ය ඇමැතිතුමා මැදිහත් වෙන්නම ඕනේ.”

බුද්ධිමය දේපළ නීතිය ගැන මම දන්නේ නැහැ

- මිත්‍ර කපුගේ

“මම නම් බුද්ධිමය දේපළ නීතිය ගැන හරියට දන්නේ නැහැ. ඒ නිසා මට පැහැදිලි අදහසක් පවසන්න බැහැ ඒ ගැන. ඒත් ඉතින් තාත්තාගේ ගීත නම් කාටවත් විකුණන්න දෙන්න බැහැ. තාත්තාගේ ගීත වැඩි ප්‍රමාණයක සංගීත නිර්මාණයත් ඔහුගේම නිසා මට ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. කොහොම වුණත් ගීතයක අයිතිය ගායකයාටත් තියෙන්නම ඕනි.”

“යුරෝපයේ බොහෝ විට සංගීතය සහ ගායකයා වෙන්නේ එකම ශිල්පියාමයි. සමහර විට ගී පද රචනයත් ඔහු විසින්ම කරනු ලබන අවස්ථා ද තියෙනවා. අසියාවේ එහෙම නැහැ. සාහිත්‍ය (ගී පද රචනා) සහ සංගීතයට සුවිශේෂ පුද්ගලයින් ඉන්නවා. ඒ නිසා අපේ රටේදී පොඩි ගැටලුවක් මතු වී තිබුණත් තුන්දෙනාටම අයිතියක් තිබීම තමයි සාධාරණ වෙන්නේ.”

“තාත්තාගේ ගීතවල වගේම පණ්ඩිත් අමරදේවයන් සහ වික්ටර් රත්නායකයන් ගායනා කළ ගීත වැඩි ගණනක සංගීත නිර්මාණ ඔවුන්ගේමයි. ඒ නිසා එවැනි ගීත මෙම අර්බුදයට මැදි වෙන්නේ නැහැ. ගීතයක් ශ්‍රාවකයින්ට මතක තිබෙනවා නම් ඒ ගායකයාගේ කට හඬින් තමයි. වෙන කෙනෙකු ඒ විදිහටම ගායනා කළත් මිනිස්සුන්ට මතක තියෙන්නේ මුල් ගායකයාගේ කටහඬයි. අනුන්ගේ ගීත ගායන ගායකයින් කරන්නේ අනුකරණයක් විතරයි.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා