කොළඹ යූ.ඇන්.පී.බූදලයක් නොවේ

 
 

ඡන්දෙන් පසුව එ.ජා.ප.ය අවුලෙන් අවුලට

 
 

මේ ඡන්දයෙදිත් වාර්තාවක් තියනවා

 
 

නුගේගොඩට අලුත් පොළක්

 
 

මෙගා ටෙලි නාට්‍ය නිසා 75 දෙනෙක් යැපුණත් දහස් ගණනක් අනාථයි

 
 

වතු ආශ්‍රිතව පුරවැසි කමිටු පිහිටුවනවා

 
 

හදාගන්න බැරිනම් අපට දෙන්න

 
 

හැදෙන කොළඹ තවත් හදමු

 
 

ESET ආයතනයෙන් පරිගණක ආරක්ෂණ පද්ධති දෙකක්

 
 

දියවැඩියා රෝගීන්ට කන්කුන් දිව්‍ය භෝජනයක්

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
පැරැණි වේලි සවිමත් කරන අලුත්ම යුග මෙහෙවර

පැරැණි වේලි සවිමත් කරන අලුත්ම යුග මෙහෙවර

“සුම්බරේ බැඳන් හක්මං වැවේ නැතී
පච්චවඩම් ඇඳ වෑකඳු මත නොයතී
හරක් වටේ වෑකන්දෙන් නොදක්කතී
නොඑන ගමන් වත් වෑකන්දෙන් නොයතී”

වැවත් වෑකන්දත් පිළිබඳව අපේ මුතුන් මිත්තන් තුළ මුල් බැස තිබූ ගෞරවනීය ජනමතය මේ ජනකවියෙන් විවරණය වේ. විශේෂයෙන් “වෑකන්ද” ජනතාවගේ ගතානුගතික ගරු බුහුමනට ලක්වී තිබුණි. වෑකන්දේ හරි මැද අයියනායක දෙවියන්ට පිදූ තැන “අයියනාමුණය” වශයෙන් දේවත්වයෙන් සැලකිණ. වෑ බැම්මේ කෙළවර, වැවට අරක් ගත් දෙවියන්ට ගරු බුහුමන් පුද සත්කාර කෙරෙන සංහිද පිහිටා තිබුණි. මේ තරමට අපේ මුතුන් මිත්තන් වෑ බැම්මට ගරු බුහුමන් දැක්වූයේ ඇයි?

ගම රැකුණේ වැව නිසාය. ගමේ සියලු ආර්ථික - සාමාජික හා සංස්කෘතික කටයුතු ගොඩනැඟී තිබුණේ වැව පදනම් කරගෙනය. ගමේ ආත්මය වැවයි. වැව රකින වෑ බැම්මට ගමේ මිනිසුන් ආදරය කළේත් ගරු බුහුමන් කළේත් මේ නිසා පමණක්ම නොවේ. වැවක “වෑ බැම්ම” යනු ගමේ මිනිසුන්ගේ දහඩිය සහ කඳුළුය. ඔවුන්ගේ එකමුතුකම සාමූහිකත්වය හා සහයෝගය මූර්තිමත් වන්නේ වෑ බැම්ම තුළිනි. ඔවුන් හදා වඩාගත් වෑ බැම්ම තුළින් ඔවුන්ගේ අප්‍රතිහත ධෛර්ය හා අයෝමය ශක්තිය ද අපූරුවට ඉස්මතු වී පෙනෙයි. ඔවුන්ගේ දුවා දරුවන්ට ආදරය කරන්නාක් මෙන් ඔවුන් වෑ බැම්මට ද ආදරය කළේ ඒ නිසාය.

ව්‍යාපෘතිය යටතේ වැඩ නිම කළ වැව් බැම්මක්

අනුරාධපුරය ආශි‍්‍රතව පිහිටි අභය වැව, තිසා වැව, නුවර වැව, කලා වැව, නාච්චාදූව, රාජාංගනය, තුරුවිල වැනි වැව්වලට මේ වන විට වසර දෙදහස ඉක්මවා ඇත. සතා සීපාවා, ගහකොළ, මිනිසා වියපත් වන්නාක් මෙන් මේ වැව් බැමි ද කල් යාමේදී වියපත් වෛයි. කල්ගත වීමේදී පසේ සංයුතිය වියුක්ත වී පස බොල් වී යාමට ඉඩ තිබේ.

ඉපැරැණි යෝධ ඇළ ඉදිකිරීමේදී පස පහසුවෙන් වියුක්ත නොවන ලෙස ශක්තිමත් පසක් ඇළේ බැම්මට යොදා ඇත්තේ ඒ නිසාය. සමහර වැව් කැඩී බිඳී ගොස් ‘කඩවල’ සෑදී ඇත්තේ පස වියුක්ත වී යාමෙන් වැව් දියේ සැඩ පහරට ඔරොත්තු දීමට නොහැකි වීම නිසාය.

දිව්ලන්කඩවල, මහ මංකඩවල, තිඹිරිකඩවල, කෝන්කඩවල, මානියං කඩවල, ගෝමරංකඩවල, මහගල් කඩවල, කුඹුක්කඩවල, පාළු කඩවල, බෙල්ලන් කඩවල ආදී නම් වලින් සනාථ වන්නේ වැව් බැමි බිඳී යාමේ සංවේදනීය කථාවයි. මෙසේ කඩවලවල් හැදීමෙන් නැසී ගොස් ඇත්තේ වැව හා වෑ බැම්ම පමණක් නොව ඒ වැවෙන් පෝෂණය වූ කෙත් යාය ද, වැව් ගම්මානය ද, වැව් ගම්මාන සංස්කෘතිය ද, ගමේ ආර්ථිකය ද විනාශ වී ගොස් මුළු ගමම පාළු වී ගොස් ඇත.

1986 දී කන්තලේ මහ වැව බිඳී යාමෙන් ජීවිත 127 ක් විනාශ විය. 10864 ක් වූ ජනතාව අවතැන් වූහ. ගොවි පවුල් දහස් ගණනක ගෙවල් දොරවල්, දේපොළ, හරකබාන යන මේ සියල්ලම විනාශ විය.

2011 දී රජරට ඇති වූ වැව් දිය විපතින් වසභ රජුගේ නිර්මාණයක් වූ “කිව්ලේ කඩ” වැව කැඩී ගියේය. තවත් වසභ රජුගේ නිර්මාණයක් වූ රජරට වැව් “දහයා” ලෙස ප්‍රකට වී ඇති ඒරු වැවේ වෑ බැම්ම කැඩී නොගියත් මිටි තැනින් වතුර උතුරා ගොස් වෑ බැම්ම සේදී යන්නට විය. මේ අවදානම් මොහොතේ වාරිමාර්ග කාර්ය මණ්ඩලය හමුදාවේ සහාය ලබා ගෙන දිවා රෑ වැඩ කොට වෑ බැම්ම රැක ගත්තේය.

කන්ඩලම මහ වැවේ රළපනාව යළි සකස් කරන අයුරු

මේ විපත් සමයේදීම නාච්චදූව වැව සහ නුවර වැව ද වැව් බැමි කට ළඟට උතුරමින් දැඩි අවදානමකට පත්විය. ඒ අවස්ථාවේ ද මේ වැව් බේරා ගැනීමට වාරි කාර්ය මණ්ඩලය යුහුසුලු විය. මේවායින් සනාථ වන්නේ කුමක් ද? වෑ බැම්මට වෑදිය බර වූ විට වෑ බැම්ම කැඩි බිඳී යා හැකි බවය. අතීතයේදී සිංහල රජ දරුවන් ඉදිකළ මේ වන විට වසර දහස් ගණනක් වියපත් වී ඇති ඇතැම් මහ වැව්වල වෑ බැමිවල අබල දුබල තැන්වලින් මහ වැස්සට වැව් බැමි කැඩී බිඳී යා හැකි බවය.

“එගොඩ ගියත් ඔරුකඳ මෙගොඩට එනවා
යකඩ වුණත් කලකදී බිම්පස් වෙනවා
දෙගොඩ තලන වතුරට කඩවල යනවා
කලා වැව වුණත් දවසක නැති වෙනවා”

මේ ජනකවියෙන් කියවෙන්නේ ද වැවක් වියපත් වන විට එහි ඇති අවදානම ගැනයි.

මේ සියලු කරුණු පුළුල් ලෙස අධ්‍යයනය කිරීමෙන් පසු වාරිමාර්ග දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය හා එක්ව දිවයින පුරා පිහිටි කල්ගිය මහ වැව් 350 ක පමණ වැව් බැමි එකිනෙක පරීක්ෂා කිරීමේදී, මහ වැව් අසූවක පමණ වැව් බැමිවල තැනින් තැන අබල දුබල තැන් ඇති බව හඳුනා ගනු ලැබීය. මෙයින් මහ වැව් 32 ක වැව් බැමිවල අබල දුබල තැන් බහුල විය. රජරට පිහිටි නාච්චදූව, කලා වැව, තිසා වැව, නුවර වැව, හුරුළු වැව, කවුඩුල්ල වැව, මින්නේරිය මහ වැව, පරාක්‍රම සමුද්‍රය, රාජංගන වැව, ගිරිතලේ වැව, දඹුලු ඔය, කණ්ඩලම වැව යන මහා සාගරය බඳු මහ වැව් ඇතුළු වැව් 32 ක් වෑ බැමි වියපත් වීමේ හේතුවෙන් අවදානමකට පත්ව ඇති බව තේරුම් ගත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව මහින්ද චින්තනයෙන් හඳුනාගත් යුග අවශ්‍යතාවක් ලෙස සලකා මෙම වෑ බැමි ප්‍රතිසංස්කරණය කිරීමේ දැවැන්ත කාර්යයකට දැන් අතගසා තිබේ.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය

නිමල් සිරිපාල ද සිල්වා

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ තවත් එක් විප්ලවීය ප්‍රතිසංවර්ධනයක් ලෙස පටන්ගත් මේ ව්‍යාපෘතියට වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය නමින් විශේෂ ව්‍යාපෘති ඒකකයක් පිහිටුවා ඇත. ඔවුන්ගේ ව්‍යාපෘතියේ තේමාව වී ඇත්තේ “තිරසර දියවරට වේලි ආරක්ෂණය” යන අර්ථවත් ඉලක්කයයි.

සිංහල රජ දරුවන් විසින් ඉදිකරන ලද වසර දහස් ගණනක් වියපත්ව ඇති මේ මහ වැව් මතු පරපුර වෙනුවෙන් තවත් වසර දහස් ගණනක් පවතින්නට නම් වෑ බැමිවල අබල දුබල තැන් සොයා යළි ශක්තිමත් කිරිම යුග අවශ්‍යතාවක් වී ඇත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යුගයේ ඓතිහාසික කාර්ය භාරය වී ඇත්තේ ද ඉපැරණි රජ දරුවන් විසින් වර්තමානයට දායාද කර ඇති සිංහල වාපි ශිල්පයේ අපූර්ව නිර්මාණයන් වූ මහ වැව් ටික පරිස්සම්කොට අනාගත පරපුරට බාරදීමය. වේලි ආරක්ෂණ හා ජල සම්පත් සැලසුම්කරණ ව්‍යාපෘතිය මඟින් ලෝත බැංකුවේ ජාත්‍යන්තර සංවර්ධන අරමුදලින් රුපියල් මිලියන 7055 ක පොලී රහිත ණයක් ලබාගෙන රුපියල් මිලියන 570 ක ශ්‍රී ලංකා රජයේ දායකත්වය ලබා ගනිමින් මහ වැව් මතුමත්තට ජීවත් කරවන මෙම දැවැන්ත ව්‍යාපෘතිය දැන් ක්‍රියාත්මක කර තිබේ.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය, වාරිමාර්ග දෙපාර්තමේන්තුව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව හා ලංකා විදුලිබල මණ්ඩලය, ලෝක බැංකුව පෙරදැරි කරගෙන තවත් ආයතන නවයක් හා සම්බන්ධ වී මෙම බාරදූර ජාතික අවශ්‍යතාව සක්‍රීය වෙයි. වැව් බැමි ආරක්ෂාව සහ ඒවායේ මෙහෙයුම් කටයුතු කාර්යක්ෂම කිරීම දැනට පවත්නා ජල මිණුම් දත්ත පද්ධතිය නවීකරණය කිරීම, ජල සම්පත් සැලසුම්කරණය සහ ව්‍යාපෘති කළමනාකරණය යන සිව් වැදෑරුම් අංශයන් මෙම ව්‍යාපෘතිය යටතේ ශක්තිමත් කිරීමට පියවර ගෙන තිබේ.

වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය ඇමැති ඩබ්ලිව්. බී. ඒකනායක

මේ අනුව යට කී වැව් 32 වැව් බැමි කිලෝ මීටර් 71 ක් තරම් දුරට ප්‍රතිසංස්කරණය වෙයි. මෙයින් සිදු වන්නේ අපේ පුරාතන වාපි ශිල්පයට හානි කිරීමක් නොව තවත් වසර දහස් ගණනක් පැවතීම සඳහා අබල දුබල තැන් සකස් කොට සංරක්ෂණය කිරීමක් බව ව්‍යාපෘති භාර අධ්‍යක්ෂ වාරි ඉංජිනේරු ඩී. සී. ඇස්. ඇලකන්ද මහතා සඳහන් කරයි.

මහවැලි මහ සැලැසුම යළි සපුරා අධ්‍යයනය කොට මග හැරුණු හෝ අතපසු වී ඇති තැන් ප්‍රතිසංවර්ධනයට සැලසුම් සම්පාදනය කිරීම, විශේෂයෙන් තවමත් අතහැරී ඇති නැගෙනහිර පළාතේ “මුංදෙණිආරු” ගංගා ද්‍රෝණිය විධිමත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා සැලැසුම් සකස් කිරීම යන ජාතික අවශ්‍යතාවන් ද ඉෂ්ට සිද්ධ කරන බව අධ්‍යක්ෂවරයා පැහැදිලි කරයි.

වැව හා වැව් බැමි ආරක්ෂා කිරීමේ හා සංරක්ෂණය කිරීමේ වැඩ පිළිවෙළ මඟින් එහි වැඩි වාසිය අත්පත් වන්නේ වැව පාමුල ජීවත්වන ජනතාවටය. කන්තලේ වැව කැඩී යාමේදී ද වැව පාමුල විසූ ගොවි පවුල් සිය ගණනක් නැත්තටම නැති වී ගියේය. සෙසු මහ වැව් කැඩී යාමෙන් ද මේ අන්දමට ජන ජීවිත හා දේපොළ විශාල වශයෙන් විනාශයට පත් වී යා හැකිය. පෙරදා පැවැතියේ වැව් ආශි‍්‍රත වැව් ගම්මානයන්ය. වැවේ විශාලත්වය අනුව වැව් ගම්මාන ද විශාල වන අතර ඒවායේ ජීවත් වන ගොවි පවුල් ද අති විශාල වේ. මේ අනුව ඉපැරණි වැව් බැමි සංරක්ෂණය කිරීමත් සමඟ ඒ වැව යටතේ ජීවත් වන ජනතාවගේ ජීවිත ද සංරක්ෂණය වන්නේය.

වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩබ්ලිව්. අයිවන් ද සිල්වා

ඉදිරි සැප්තැම්බර් මාසයේදී මෙම වැඩ පිළිවෙළ යටතේ ධාතුසේන රජතුමා විසින් ක්‍රිස්තු පූර්ව 254 වසරේදී පමණ ඉදි කරන ලද කලා වැවේ වෑ බැම්මේ සංරක්ෂණ කටයුතු ආරම්භ කිරීමට නියමිතය. කලා වැවේ ධාරිතාවය අක්කර අඩි ලක්ෂයකි. කලා වැවේ වෑ බැම්මේ දිග කිලෝ මීටර් 6 1/2 ක් පමණ වේ. වෑ බැම්මේ උස මීටර් 14 1/2 කි. වැව යටතින් අවුකන, විජිතපුර ආදී ගම්මාන රැසක් පවතින අතර මහවැලි එච් කලාපයේ ගොවි පවුල් තිස්පන් දහසකට පමණ යල මහ දෙකට සිය ගොවිතැන් කටයුතු සඳහා දියවර සපයන්නේ කලා වැවෙනි.

මීට අමතරව අනුරාධපුර තිසා වැව, නාච්චදූව හා තුරුවිල යන වැව්වලට ජලය සැපයීම ද කලා වැවෙන් සිදු කෙරේ. බහු කාර්යයන් සඳහා කලා වැවේ ජලය යොදා ගන්නා අතරම වැව ආශි‍්‍රතව ධීවර ජනතාව ද, ගොවි ජනතාව ද ජීවත් වන හෙයින් වඩාත් ශක්තිමත් ලෙස වෑ බැම්ම නවීකරණය කිරීම යුග අවශ්‍යතාවක් වී තිබේ. කෙසේ වුවද ධාතුසේන සංකල්පයට හානියක් නොවන පරිදි කලා වැව සංරක්ෂණය කිරීමට වග බලා ගන්නා බව අධ්‍යක්ෂවරයා අවධාරණය කරයි.

මෙම වැව් ආශි‍්‍රතව ඉපැරැණි සංස්කෘතික හා පුරා විද්‍යාත්මක වටිනාකම් ඇති විවිධ සම්පත් පවතී. ඒවා තවදුරටත් සංරක්ෂණය කිරීමට පියවර ගැනීම ද මෙම ව්‍යාපෘතියේ කාර්ය භාරයකි. විශේෂයෙන් ධාතුසේන රජතුමා විසින් කලා වැවේ සිට තිසා වැවට දියවර ගෙන යාම සඳහා ඉදි කරන ලද අපූර්ව නිර්මාණයක් වූ ඓතිහාසික යෝධ ඇළ මහවැලිය මඟින් අවශ්‍ය අවධානය යොමු නොකිරීම නිසා මේ වන විට අභාවයට ගොස් ඇත.

ව්‍යාපෘතිය භාර අධ්‍යක්ෂ ඉංජිනේරු

ඩී. සී. එස්. ඇලකන්ද

ඉපැරැණි වැව් හා වැව් බැමි පැවති තත්ත්වයෙන් සංරක්ෂණය කරන පරිද්දෙන්ම අපෙන් දැනටමත් අභාවයට ගොස් ඇති යෝධ ඇළ පැවති තත්ත්වයෙන් සංරක්ෂණය කිරීමට මෙම ව්‍යාපෘතිය මඟින් නිසි පියවර ගනු ඇතැයි ප්‍රදේශයේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටිති. ඉදිරි සැප්තැම්බරයේදී කලා වැව සංරක්ෂණයට මුල පුරන ගමන්ම යෝධ ඇළ සංරක්ෂණය කිරීමට ද පියවර ගන්නා ලෙස ජනතාව ඉල්ලා සිටිති.

මේ පිළිබඳව සිය අවධානය යොමු වී ඇතැයි වාරිමාර්ග හා ජල කළමනාකරණ නියෝජ්‍ය අමාත්‍ය ඩබ්ලිව්. බී. ඒකනායක මහතා මෙහි පැවැති උත්සවයකදී සඳහන් කළේය.

රජරට මහ වැව් ටිකත්, වැව් බැමි ටිකත් ශක්තිමත් ලෙස සංරක්ෂණය කර දීම රජරට ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන ඓතිහාසික සේවාවකි. විශේෂයෙන් “බ්‍රවුන්රීග්” ආණ්ඩුකාරයා මුල්කොට සුදු පාලකයන් විසින් “වැව් බැඳි රට” ලංකා සිතියමෙන් මකා දමන්නට ගත් උත්සාහය, මතකයට ගෙන යළිත් රජරට සැබෑ වැව් බැඳි රටක් බවට පත් කරමින් තවත් වසර දෙතුන් දහසක් කල් පවතින්නට රජරට වැව් ටික හැදීමේ “මහින්ද ජනපතිගේ යුග මෙහෙවර” පැරණි රජ දරුවන් වැව් ඉදිකිරීමෙන් කරන ලද ජාතික මෙහෙවර තරමටම රටට හා ජනතාවට වටින්නේය.