කොළඹ යූ.ඇන්.පී.බූදලයක් නොවේ

 
 

ඡන්දෙන් පසුව එ.ජා.ප.ය අවුලෙන් අවුලට

 
 

මේ ඡන්දයෙදිත් වාර්තාවක් තියනවා

 
 

නුගේගොඩට අලුත් පොළක්

 
 

මෙගා ටෙලි නාට්‍ය නිසා 75 දෙනෙක් යැපුණත් දහස් ගණනක් අනාථයි

 
 

වතු ආශ්‍රිතව පුරවැසි කමිටු පිහිටුවනවා

 
 

හදාගන්න බැරිනම් අපට දෙන්න

 
 

හැදෙන කොළඹ තවත් හදමු

 
 

ESET ආයතනයෙන් පරිගණක ආරක්ෂණ පද්ධති දෙකක්

 
 

දියවැඩියා රෝගීන්ට කන්කුන් දිව්‍ය භෝජනයක්

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
අපි හරිහැටි නොදත් මරදාන

අපි හරිහැටි නොදත් මරදාන

’මරදාන’ යනුවෙන් ඇසුණු සැණින් සිතට නැඟෙන්නේ සියලු දූෂණ, අපරාධ සහ මැරකම්, හොරකම්වල කේන්ද්‍රස්ථානයක්. මත්ද්‍රව්‍ය බිස්නස්කාරයින් කොන්ත්‍රාත් මිනීමරුවන් ගේ පාරාදීසයක්. ඒත් මරදාන කියන්නේ මින් කලකට පෙර අපේ දේශීය ව්‍යාපාරවල කේන්ද්‍රස්ථානයක්. දේශප්‍රේමී චරිත ජීවත්වූ ප්‍රදේශයක්. රටේ යහපත වෙනුවෙන් ‘මරදාන’ කළ මෙහෙවර අතිවිශාලයි. මේ ඒ අතීත ‘මරදාන’ සොයාගිය මාධ්‍ය සංචාරයක් පිළිබඳ සටහනකි.

“වැලිකතරක් වූ ප්‍රදේශයට දී තිබෙන නම මරදාන ය. මෙහි වගාකර තිබුණේ හොඳම කුරුඳු වර්ගයකි.””

කොළඹ ශත සංවත්සර පුස්තකයෙහි මරදාන ගැන වූ එක් ලියවිල්ලක් එබඳු විය. එහි තිබූ තව ලියැවිල්ලකි මේ.

හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි

“පළමු වැනි ඡන්ද රැස්වීම සංවිධානය කරන ලද්දේ මරදානේ ඡන්ද දායකයන් පිරිසක විසිනි..... ... කිසිදු අරගලයකින් තොරව කුණු බිත්තර ගැසීමක් නැතිව පැවැත්වූ එම රැස්වීමෙහි සාමය නොඅඩුව රැකුණ නමුදු කථිකයන්ගේ කතා පරිවර්තනය කිරීමට අවශ්‍ය වූ හෙයින් බොහෝ වේලාවක් ඒ සඳහා ගත වූ බව සඳහන් වේ.”

කොළඹ නගර සභාවේ මුල් ම මැතිවරණය වෙනුවෙන් එහි ඡන්ද දායකයන් පැවැත්වූ මුල්ම ඡන්ද රැස්වීම ගැනය ඒ සටහන. සභාවේ පළමු මැතිවරණ රැස්වීම එලෙස සාමකාමී වුව ද සමස්තයක් ලෙස පළමු මැතිවරණයම බොහෝ කලබලකාරී වූ බව ය ඉතිහාසය සඳහන් කරනුයේ. ඒ කලබලය නම් අදටත් එසේමය. කෙසේ වුව ද මේ ලියන්නට යන්නේ ඒ ගැන නම් නොවේ. පළමු මැතිවරණයේදී බෙදා වෙන් කළ ඡන්ද කොට්ඨාස නවයෙන් එකක් වූ මරදාන ගැන ය

තවත් විදියකින් කියතොත් ස්වාධීන ජාතියක් ලෙස නැඟී සිටීමට සිංහල බෞද්ධයා මෙහෙය වූ ජය භූමියක් ලෙස මරදාන ඉතිහාසගත වූ සැටි සැකෙවින් සොයා බැලීම මේ ලිපියෙහි අරමුණ ය.

මේ රට නිදහස දිනුවේ ලේ බිඳකුදු නොසෙල්වා යැයි වරෙක යමකු කියනු මම අසා ඇත්තෙමි. ඇතැමෙකු එය උපහාසයෙන් කියන අතර තවත් අයකු එය පවසන්නේ සාඩම්බර ලීලාවකිනි. ඒ කරුණු කෙසේ වුව ද 1948 අප නිදහස ලබන විට නිදහස වෙනුවෙන් හැලූ ලේ, ඩහදිය, කඳුළුවල නිමක් නැත. වරින් වර විවිධ අන්දමින්, විවිධ මට්ටමේ සටන් නිදහස උදෙසා ක්‍රියාත්මක විය. මේ නිදහස් සටන්වල වූ වීර චරිත එමට ය.

එස් මහින්ද හිමි

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියෝ ද එවැනි එක් වීර පූජිත චරිතයකි. උන්වහන්සේ සිය ජාතිය අවදි කිරීම වෙනුවෙන් ගත් වෙහෙස කැපවීම අනන්තය. මහා ප්‍රාඥයකු ලෙස සුප්‍රසිද්ධ වෙමින් සිටි සුමංගල මා හිමියන් මරදානට කැඳවුණේ උන්වහන්සේ ගේ සේවය වඩාත් හොඳින් මෙරට තුළ ව්‍යාප්ත කිරීම වස් ය.

උන්වහන්සේගේ ප්‍රඥාව ඇසූ කොළඹ ප්‍රභූවරු උන්වහන්සේ සොයා ගියහ. හික්කඩුවේ තිලකාරාමයේ සිට කොළඹට වඩින ලෙස ඔව්හු උන්වහන්සේගෙන් ඉල්ලා සිටියහ. ධර්ම ශාස්ත්‍රය ඉගැන්වීමට ආයතනයක් පිහිටුවා මිෂනාරි ව්‍යාපාරවලට ගොදුරු වෙමින් සිටි සිංහල දරුවන් ඇතුළු රට බේරා ගැනීම එහි අරමුණ විය.

මරදානේ අප්‍රසිද්ධ භූමියක් විද්‍යෝදය පිරිවෙන බවට පත් වූයේ ඒ අරමුණ අනුව ය. දොන් පිලිප්පු සිල්වා, ඈපා අප්පාහාමි, දොන් කරෝලිස් සිල්වා මුදලි තුමා ඇතුළු 13 දෙනකු එකතුව මේ ඉඩම මිලදී ගත් බව සඳහන්වෙයි.

එලෙස ආරම්භ කළ විද්‍යෝදය පිරිවෙන පිළිබඳ ඇති එක් සටහනක් මෙබඳු ය.

“ශ්‍රී සුමංගල මා හිමියන්ගේ සම්පූර්ණ ප්‍රඥා ශක්තිය පතුරුවා ලෝකයේ පාලි භාෂාවත් ථෙරවාද බුද්ධ ධර්මයත් පැතිරවීමට මෙය හොඳ තෝතැන්නක් විය.... විද්‍යෝදය පිරිවෙන ආරම්භ කිරීමෙන් පසුව පෙර අපර දෙදිසාවෙන් ම ධර්ම ශාස්ත්‍ර හැදෑරීමටත් පාලි භාෂාව ඉගෙනීමටත් බොහෝ දෙනා පැමිණෙන්නට වූහ.

අනගාරික ධර්මපාල තුමා

ලංකාවේ සියම්, අමරපුර, රාමඤ්ඤ නිකායත්‍රයේ ම භික්ෂුන් වහන්සේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත පැමිණ ධර්ම ශාස්ත්‍ර පිපාසය දුරු කර ගත්හ. ගිහි භවත්හු වෛද්‍ය - නක්ෂත්‍ර ඇතුළු භාෂා උගෙන පරිහානි පථ්‍යන්තව පැවැති අපේ පැරැණි ශාස්ත්‍රවලට නවාලෝකයක් දුන්හ.”

(පූජිත ජීවිත - පළමු වෙළුම)

වර්ෂ එකසිය දහසයක යුගය ඇතුළත විද්‍යෝදය පිරිවෙණෙන් සිප් සතර හැදෑරූ පැවිදි ශිෂ්‍ය සංඛ්‍යාව දහස් ගණනකි. ගිහි ශිෂ්‍යයන් සිය ගණනකි.

ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය මහගොඩ ශ්‍රී ඥානෙශ්වර හිමි, බෙන්තර ශ්‍රී සරණංකර නාහිමි, කොත්මලේ ශ්‍රී ධම්මානන්ද නාහිමි, කහවෙ ශ්‍රී සුමංගල රතනසාර නාහිමි, පැලෑනේ ශ්‍රී වජිරඥාන මහ නාහිමි, වැලිවිටියේ ශ්‍රී ධම්මරතන නාහිමි, ආදී මහා ප¼ඩිවරු එහි පැවිදි ආදි ශිෂ්‍ය සමූහයට අයිති වූහ.

යක්කල සිද්ධායුර්වේද විද්‍යාලයේ ආදි කර්තෘවරයා වූයේ පණ්ඩිත පී.පී. වික්‍රමරාච්චි රාලහාමි ය. පණ්ඩිත කේ.ජී.පී. ජයතිලක, වේරගම පුංචි බණ්ඩාර, ඩී.ඇම්. ජයසිංහ මහත්වරු ඉන් බිහිවූ වෛද්‍ය ක්ෂේත්‍රයට අප්‍රමාණ සේවයක් කළ අය වූහ. මහාචාර්ය ජි.පී. මලලසේකර, මහාචාර්ය ඩී.ඊ. හෙට්ටිආරච්චි වැනි විද්වත්හු ප්‍රාචීන භාෂා දියුණුවට මහා සේවාවක් කළ විද්‍යෝදයේ ආදි සිසුහු වූහ.

ඕල්කට්තුමා

දේශීය ගිහි, පැවිදි ශ්‍රේෂ්ඨයන්ට අමතරව විදේශිකයන් ද මින් පිටවූයේ මහා ඥාන සම්භාරයක් ඇති වියතුන් විලසිනි. ඉන් එක් විදේශිකයකු ගැනය මේ සටහන.

එස්.කේ. තෂිනම්ග්‍යල් නැමැත්තා මෙරට ට පැමිණියේ 1912 - 1914 කාලය ඇතුළත ය. ඔහු සිය පැවිදි සොහොයුරා සමඟ මරදානේ විද්‍යෝදය පිරිවෙනට ඇතුළු වූයේ භාෂා ශාස්ත්‍රය හැදෑරීම පිණිස ය. ඔහු ඊළඟට ඉංගී‍්‍රසි අධ්‍යාපනය හැදෑරීම පිණිස මරදානේ මහා බෝධි විද්‍යාලයට ඇතුළත් විය.

පසුකලෙක නිදහස් සටනට කවියෙන් ජවය දුන් ඔහු වෙන කිසිවකු නොව ටිබෙට් ජාතික එස්. මහින්ද හිමි ය. උන්වහන්සේට ගෞරව පිණිස උන්වහන්සේ නම් ගත් විදියේ, ආරම්භක ස්ථානයේ ම උන්වහන්සේගේ පිළිරුවක් අදටත් ඇත්තේ අපේ මහත් ගෞරවාදරයට පාත්‍රවෙමිනි.

එලෙස අධ්‍යාපනය හදාරා පැවිදි බිමට වන් මහින්ද හිමියෝ නැවත වඩින්නේ මරදානට ය. ඒ බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව හෙවත් මරදාන ආනන්ද විද්‍යාලයට එන දරුවන්ගේ නැණැස පාදන්නට ය. කොම්පඤ්ඤවීදියේ “සෞගතාවාසයෙ” හි නැවැතී හිඳිමින්, උන්වහන්සේ ආනන්ද විද්‍යාලයේ දරුවන්ට (1934 - 1936) සිංහල, පාලි, බුද්ධ ධර්මය ඉගැන්වූහ.

මරදානේ ආනන්ද විද්‍යාලය, සිංහල බෞද්ධ පුනරුදය පිණිස ද මිෂනාරී අධ්‍යාපනයෙන් හා ආකල්පයෙන් සිංහල බෞද්ධ දරුවන් ගලවා ගැනීම උදෙසා ද බිහිවූ ශාස්ත්‍රාලයක් විය.

මිෂනාරී පීඩනයෙන් ගැලවීම වස් ආරම්භ වූ “බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව හෙවත් ආනන්ද විද්‍යාලය ගැන අඹන්වැල්ලේ ශ්‍රී ප්‍රඥාශේඛර හිමියන් කළ සටහනක් මෙබඳු ය.

“... ආනන්දය 1886 දී ඇරඹුණේ එවැනි ඛේදජනක යුගයක අනාථ සිංහල බෞද්ධ දරුවන් සනාථ කරගනු පිණිස ය. එබැවින් 19 වන සියවසේ අවසාන දශක දෙක තුන තුළ ඇති වූ අධ්‍යාපනය ප්‍රගතිය හා බෞද්ධ පුනර්ජීවය ජාතියේ ඉතිහාසය වෙනස් කළ සිද්ධින් ලෙස සලකනු සුදුසු ය.... බෞද්ධ ඉංග්‍රීසි පාඨශාලාව මැලිබන් වීදියෙන් කුමාර වීදියට ද යළිත් මැලිබන් වීදියට ද යමින් ගත කළ දුෂ්කර වසර කීපයකින් පසු ‘ආනන්ද විද්‍යාලයය’ යන අන්වර්ථ නාමයෙන් මරදානේ පරණවාඩියේ සිය ‘ජය භූමිය’ සොයා ආ ගමන විද්‍යාලයීය ඓතිහාසික පියසටහන් ඇසුරෙන් දැකිය හැකි ය.”

පියදාස සිරිසේන

ආනන්ද විද්‍යාලය අද පිහිටි ස්ථානය අතීතයේ දී කොළඹ පුරා පැතිර තිබූ කුරුඳු යායේ එක් මායිමකි. කුරුඳුවත්ත කෙළවර කුරුඳු ගබඩා තිබෙන්නට ඇත. මේ ප්‍රදේශයේ අදත් ස්ටොක්වත්ත හෙවත් ගබඩා වත්තක් ඇත. අක්කර ගණනක් පුරා පැතිරුණු කුරුඳුවත්තේ කාර්යාල කටයුතු කැරුණු ස්ථානය මෙහි තිබෙන්නට ඇත. කුරුඳුවත්තේ කම්කරුවෝ වැටුප් ලබාගැනීමට පැමිණි විට විවේකය සඳහා වාඩි ගත්තේ මේ ප්‍රදේශයේ ය. මෙහි ආනන්ද විදුහල ගොඩනැඟීමෙන් පසු බෞද්ධ බලය පතුරවන කේන්ද්‍රස්ථානයක් බවට පරණවාඩිය පත්විය.

මේ ජය භූමියේ කාර්ය භාරය වූයේ ශිල්ප සතර දරුවන්ට ලබාදීම පමණක් නොවේ. එය උන්වහන්සේගේ ම වචනවලින් පවසතොත් මෙලෙස ය.

“විසිවන සියවසේ මුල් දසක කිහිපය තුළ ජාතික, ආගමික ප්‍රශ්න සාකච්ඡා කිරීමට, සාහිත්‍යයික වාද විවාද පැවැත්වීමට විවිධ සමාජ ප්‍රශ්න පිළිබඳ ජනමතය ප්‍රකාශ කිරීමට ආනන්දය ජාතිය සතු විජය භූමිය විය.

එහෙයින් ප්‍රධානතම බෞද්ධ විද්‍යාලය වශයෙන් ද ජාතිය සතු වස්තුවක් වශයෙන්ද, සැලකීම නිසා ගිහි පැවිදි කාගේත් ආදරය ආනන්දය කෙරෙහි යොමුවීම සහේතුක විය.”

(ආනන්දය - 1886 - 1986)

මේ රචනාව ප්‍රකට වන තැනක් ඉතිහාසයේ තිබේ. දිනක් විද්‍යාලයට වැඩම කළේ විද්‍යෝදය පරිවෙනාධිපතිව වැඩ විසූ කළුකොඳයාවේ ශ්‍රී ප්‍රඥාශේඛර මහා නායක හිමියෝ ය. උන්වහන්සේ වාහනයෙන් බසිත් ම එහි ආචාර්ය මණ්ඩලයේ සිටි අඹන්වැල්ලේ ශ්‍රී ප්‍රඥාශේඛර හිමියන් ගෙන් විමසා සිටියේ,

“කෝ, ඕල්කට් ශාලාව?” යන්න ය.

“වඩාත් ප්‍රයෝජනවත් පරිදි ප්‍රතිසංස්කරණය කර තිබෙනවා” යැයි උන්වහන්සේගේ පිළිතුර විය.

මහත් සැලකිල්ලකින් එදෙස බලා සිටි කළුකොඳයාවේ ප්‍රඥාශේඛර හිමි මුවෙන් පිට වූයේ මෙබන්ඳකි.

“අපේ ජාතික ප්‍රශ්න සාකච්ඡා කළ තැන?”

මේ බෞද්ධ ප්‍රබෝධය කෙතරම් සිංහල ඇට මිඳුලුවලට දැනී තිබුණේ ද යත් සිඟන්නකුට පවා ඉන් ගැලවී සිටීමට නොහැකි විය. වරක් ගුවන් විදුලි සාකච්ඡාවකට සහභාගි වෙමින්, කලක් ආනන්දයේ ගුරුවරයකු වද විදුහල්පතිවරයාව ද සිටි, මහාචාර්ය ගුණපාල මලලසේකරයන් සිය අමතක නොවන සිදුවීම ගැන කර තිබූ ප්‍රකාශය ඊට නිදර්ශන සපයයි.

“... අපි ආනන්ද විද්‍යාලයේ දියුණුවට ආධාර ලබා ගැනීමට සැණකෙළියක් පැවැත්වූවා.. එක් දිනක් එහි පැමිණි යාචකයකු අද දවසටම මට ලැබුණේ ශත දහයයි. එය මම මේ විදුහලේ ආධාර මුදලට දෙනවා. මම අද නිරාහාරව සිටිනවා කියා පරිත්‍යාග කළා. මේ තමයි මට කිසි දිනෙක අමතක නොවන සිද්ධිය.”

මේ ප්‍රකාශයෙන් අපට වටහා ගත හැකි දේ බොහෝ ය. එනම් වසර සිය ගණනක් විවිධ ජාතීන්ගේ අණසකට යටත්ව සිටි අප, ජාතියක් ලෙස, ස්වාධීනත්වය, නිදහස පිපාසාවෙන් සිටි බව ය. එමෙන් ම ඒ වෙනුවෙන් මේ බෞද්ධ පුනරුදය කෙතරම් බලපෑවේ ද යන්න ය. ආනන්දය ගැන කතා කරන විට ඇමරිකන් ජාතික කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ගැන යමක් නොකියා බැරි ය. මන්දයත් ආනන්ද විද්‍යාලය පිහිටුවීමේ පුරෝගාමියා ඔහු වූ බැවිනි. 1880 දී ලංකාවට පැමිණ, බෞද්ධාගම වැලඳගත් මේ ඇමෙරිකානුවා පරම විඥානාර්ථ බෞද්ධ සමාගම පිහිටුවා ආනන්ද විද්‍යාලය පමණක් නොව කොළඹ නාලන්දාවත්, මහනුවර ධර්මරාජ විද්‍යාලයත් ගාල්ලේ මහින්ද විද්‍යාලයත් ආරම්භ කෙළේ ය. බෞද්ධ පාසල් ආරම්භ කිරීමට ඔහු යොමු කරනු ලැබුවේ ද හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් විසින් ය.

ඕල්කට් තුමා රට පුරා දේශන සඳහා ගියේ ය. එමෙන් ම බෞද්ධාගමත් එහි පුනර්ජීවයක් පිළිබඳ විවිධ සාකච්ඡා දේශන විද්‍යෝදය පිරිවෙනේ සිදුවෙන විට ඔහු ද ඒවා නියෝජන කළේ ය. වරක් එහි පැවැත්වූ දේශනයක් ගැන එතුමා සිය දින පොතක තබා තිබූ සටහනක් මෙලෙස ය.

“දේශනය පවත්වන ලද්දේ හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවන් වහන්සේ ගේ විද්‍යෝදය පිරුවනහිදී ය. එහි මාතෘකාව වූයේ නිර්වාණය, කුසල හා බෞද්ධ දරුවන්ගේ අධ්‍යාපනයයි...”

(නිදහස් සටනේ පුරෝගාමියෝ)

“මරදාන” ප්‍රදේශශය බෞද්ධ පුනර්ජීවනයට උර දුන් කේන්ද්‍රස්ථානයක් බව මෙහිදී පැහැදිලි ලෙස ම පෙනී යන්නකි. ඕල්කට් තුමාගේ පරම විඥානාර්ථ සමාගම මරදාන මාලිගාකන්දේ ආරම්භ කිරීම හික්කඩුවේ ශ්‍රී සුමංගල, මොහොට්ටිවත්තේ ගුණානන්ද නාහිමියන් ප්‍රමුඛ බෞද්ධ භික්ෂුන් වහන්සේ ආරම්භ කළ බෞද්ධ බලය යළි ස්ථාපිත කිරීමේ සටනට මහත් ශක්තියක් විය.

මරදාන කේන්ද්‍ර කොට ගනිමින් අවදි වූ මේ මහා වෑයමේ තවත් ප්‍රධාන කොටස්කරුවකු වන්නේ අනගාරික ධර්මපාල තුමා ය. එතුමා 1891 දී මහාබෝධි සමාගම ආරම්භ කළේ ය. මරදානේ බිහිවූ මේ නව සමාගමේ අරමුණ සිංහල වීරයෝ කෘතියෙහි සටහන්ව තිබුණේ මෙලෙස ය.

“සමස්ත ලෝකයෙහි බුද්ධ ධර්මය ප්‍රචාරය කරවීමත් බෞද්ධ ශිෂ්ටාචාරය අනුව බෞද්ධ ජනතාව හැඩ ගැස්වීමත් බෞද්ධ අධ්‍යාපනය දියුණු කරලීම හා ආරෝග්‍ය ශාලා, විශ්‍රාම ශාලා ආදිය ගොඩ නැංවීමත් සාමාන්‍යයෙන් යහපත් වැඩට රුකුල් දීමත් මේ සමිතියේ පරමාර්ථයෝ ය.

මහා බෝධි සංගමයේ තවත් කාර්යයක් වූයේ සිංහල බෞද්ධයන් කෙරෙහි ජාතික ප්‍රබෝධයක් ඇති කරනු පිණිස ‘සිංහල බෞද්ධයා’ පුවත්පත ආරම්භ කර පවත්වාගෙන යාමයි. විශේෂයෙන් වෙනත් ආගමිකයන්ගෙන් බෞද්ධාගමට විරුද්ධව යම්කිසිවක් සිදුවුණ විට කාලෝචිත ලිපි පළ කරමින් බෞද්ධාගමේ ගෞරවය ආරක්ෂා කිරීම වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කිරීමට සිංහල බෞද්ධයා පුවත්පත මඟින් කටයුතු යෙදිණි.

ධර්මපාල මඟ ගත් විද්වතුන් අතර මහාචාර්ය ගුණපාල මලලසේකරයෝ මෙන් ම පියදාස සිරිසේනයෝ ද මුල් තැනක වූහ. අනෙක් අතට සිංහල බෞද්ධයා ගැන කියවෙන විට පියදාස සිරිසේන නාමය සිහියට එන්නේ නිතැතින් ය. මේ දෙදෙනාගේ ම මුල් නම් වෙනස් කිරීමට ද කටයුතු කළේ ධර්මපාල තුමන් ය. මරදාන ගැන ලියන්නට ගොස් ඔවුන්ට නම් වැටුණ හැටි ගැනත් ලියන්නට සිතෙන්නේ සැබැවින් ම ඒ තොරතුරු රසවත් බැවිනි.

මලලසේකරයන් ධර්මපාල තුමා පළමු වරට මුණගැසෙන්නේ ඔහු කදිම තරුණයකුව සිටි සමයේ දී ය. එනම් වයස දාසයේ දී ය. ඒ වනවිට ද ඔහුගේ පුදුම සහගත ඥාන සම්භාරයම හේතු කොට ගෙන ඔහු වෛද්‍ය විද්‍යාලයට ද ඇතුළු වී සිටියේ ය. දිනක් ධර්මපාල තුමා හමුවූ විට එතුමා ඔහුගේ නම විමසා සිටියේ ය. එකල ඔහුගේ නම වූයේ ජෝර්ජ් පීරිස් මලලසේකර ය. කරුණාවන්ත ලෙස නම වෙනස් කර ගන්නා සැටි එතුමා තරුණ ජෝර්ජ්ට පැවසුවේ මෙසේ ය.

“මලලසේකර නුඹ හොඳ බුද්ධියක් තියෙන තරුණයෙක්. ඔය පරදේශ නම් වෙනස් කර ගන්නවා.”

(අමර සමර)

ධර්මපාල තුමා සිංහලුන් අවදි කරමින්, ගොඩ නගමින් රට පුරා සංචාරය කළ ගමනේදී ගොඩ වූ එක් තැනක් වූයේ ඉඳුරුවේ පිරිමි පාඨශාලාව ය. එතුමා වෙනුවෙන් තමා විසින් ම සැකසූ කවි පෙළක් ගායනා කළ කොලුවෙකු එතුමාගේ සිතට ප්‍රසන්න විය. ඔහු කැඳවූ ධර්මපාල තුමා “නුඹේ නම මොකක්දැ” යි ප්‍රශ්න කර සිටියේ ය.

“පේද්‍රික් සිල්වා”

“මොනවා, මෙන්න ගොන් තඩියෙක්, වල් අලියෙක්, මුගේ නම පේද්‍රික් සිල්වා ලු. එහෙම වෙන්ට බැහැ. අද පටන් නුඹේ නම පියදාස සිරිසේන.”

සිංහල නවකතා කලාවට එවැනි නමක් එක් වූයේ එලෙසයි. පියදාස සිරිසේන ජාතියම අවදි කරන්නට උත්සාහ දැරූ ලේඛකයෙක් විය. ඉඳුරුව, අතුරුවැල්ල ගමේ උපන් පියදාස සිරිසේන සිය රැකියාව අරඹන්නේ ද පසුව පදිංචිය සඳහා තෝරා ගන්නේ ද මරදාන ය.

අර්වින් සිල්වා ගේ සංස්කාරකත්වයෙන් පළ වූ ‘සිතුමිණ’ සඟරාවේ උප කතුවරයකු ලෙස එම සඟරාවට ‘කවි’ සම්පාදනය කිරීම ඔහුගේ ප්‍රධාන රාජකාරිය විය. මේ අතර ඔහු තවත් රැකියාවක් කරන්නට වූයේ ය. ඒ මරදානේ පිහිටි ලී බඩු සාප්පුවක ය. එහි ලියන්නෙකු ලෙස සේවය බාර ගන්නා විට ඔහුගේ වයස අවුරුදු විසි එකක් විය. මේ අතර ධර්මපාල තුමාගේ ‘සරසවි සඳරැස’ ට ද ලිපි හා කවි පංති රචනා කිරීම ද ඔහු පුරුද්දක් කරගෙන තිබිණි. සරසවි සඳරැස පුවත්පතේ උප කතුකම දක්වා ගිය ඔහු ‘සිංහල ජාතිය’ සඟරාව ආරම්භ කළේ ය. ‘සිංහල ජාතිය’ ගැන කර ඇති එක් හැඳින්වීමක් මෙලෙස ය.

“සිංහල ජාතිය පුවත්පත එකල ජාතික සටනේ මුවහත්ම අවියක් විය. දේශානුරාගය වඩවමින් සිංහල බෞද්ධ සිත් පුබුදු කළ මේ පුවත්පත අමද්‍යප ව්‍යාපාරයේ ද පෙරමුණ ගත්තේ ය.”

“වාසනාවන්ත විවාහය” නැමැති නවකතාව කොටස් වශයෙන් පළවූයේ ද එහි ය.

පියදාස සිරිසේනයන් සිය ලේඛන හැකියාව සෑම විටම යෙදුවේ සිංහල බෞද්ධයා යළි නඟා සිටුවීමේ අරමුණ පෙරදැරි කරගෙන ය. ඔහු අතින් ලේඛනාරූඪ වූ සියලු සාහිත්‍යාංගයන් ඒ අරමුණ ඉටුකරලීමට ඉවහල් විය.

මේ අතර ධර්මපාල තුමාගේ සිංහල බෞද්ධයා පුවත්පතේ ද කතුකම භාරගනිමින් සිය මෙහෙවර උදෙසා අප්‍රමාණ කැපවීමෙන් සේවය කළ නිසා ම වරෙක ඔහුට සිරබත් කන්නට ද විය. ඔහු වෙනුවෙන් ම ඇරුණ පොලිස් පොතක්, පොලිස් අපරාධ විමර්ශන අංශයේ විය. වැලිකඩ බන්ධනාගාරයට ඔහු රැගෙන යනවිට ඒ සමඟ තවත් අයෙක් විය. ඒ ධර්මපාල තුමාගේ සොයුරු ඩී.ඒ. හේවාවිතාරණ ය.

ඇතැම් විටක මරදානේ එක් එක් ස්ථානවලට රැස්වූ කිහිප දෙනෙකු වට කරගෙන පැවැත්වූයේ සිංහල දේශය, ජාතිය, ආගම හෝ බස ගැන කෙරෙන දේශනයකි. නැතිනම් සාකච්ඡාවකි. එසේත් නැති නම් ඒ වෙනුවෙන් වූ ඇතැම් පෙළපාළියක් ආරම්භ වූයේ ද මරදානෙනි.

සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කිරීමට විරුද්ධ වූ පිරිස් අතර කොමියුනිස්ට් හා සම සමාජ පක්ෂ ප්‍රධාන විය. සම සමාජ පක්ෂය මීට විරෝධය පා සංවිධානය කළ රැස්වීමක්, සමතැන් මුළුව නමින් 1955 දී පැවැත්වුණේ කොළඹ මහ පුරහලෙහිදී ය. මේ රැස්වීමට විරෝධය පාමින් සංඝයා වහන්සේ පෙරහරක් සූදානම් කළහ. පුරහල තෙක් ගිය මේ පරහර ආරම්භ වූයේ ද මරදානේ ශ්‍රී ලංකා විද්‍යාලයෙහි සිට බව ‘ලක් පුබුදුව‘ ග්‍රන්ථයේ රචක ගුණසේකර ජිනදස් එහි සටහන් කර තිබිණි.

මෙතෙක් කී නොකී බොහෝ දේවල් සාඩම්බර උරුමක්කාරයකු ලෙසය මරදාන ගැන අපට හැෙඟන්නේ. බෞද්ධ ආගම, සිංහල ජාතිය, නඟා සිටුවීමේ මහා කාර්යයට තෝතැන්නක් වූ ‘මරදාන’ ගැන තවත් එක් සටහනකින් මේ ලිපිය හමාර කිරීම අපගේ අදහස ය.

දේශීයත්වය හා සිංහලකම කෙරෙහි නිරන්තරයෙන් හිස නැමූ තවත් විද්වතෙකුගේ දෙවන ඉපදීම ද සිදුවූයේ මරදානේ දී ය. ඒ වෙන කිසිවකු නොව එච්.එම්. සිරිසෝම විද්වතා ය. මහාචාර්ය සෙනරත් පරණවිතානයන් ගෙන් පසුව ඇති වූ හිදැස යම් ප්‍රමාණයකට හෝ පියවමින් ඔහු පුරාවිද්‍යා විෂයයට කළ සේවය අනර්ඝය. සුමංගල හිමියන්, ධර්මපාලතුමන් ආදී පිරිස මරදාන භූමියේ ඇති කළ බෞද්ධ පුනර්ජීවයේ පහස නොලැබෙන්නට සිරිසෝම වැන්නවුන් ද බිහි වෙන්නට බැරි බව හැෙඟන්නේ පහත සටහන ඇස ගැටෙන විට ය.

“මරදාන පදිංචියට පැමිණි පසු ජේන් නෝනා (සිරිසෝම මහතාගේ මව) දවස සරි කර ගැනීමට කුලී වැඩ කළා ය. අනේක විධ දුක් ගිනි ඉහිලුවා ය. එකල ප්‍රකට තේ අපනයන ආයතනයක් වූ හැරිසන් සහ ක්‍රොස්ෆීල්ඩ් හි මව සේවය කරන අතරතුර සිරිසෝම පුතු අසල තිබූ මහා බෝධි පාසලට අකුරු කරන්නට ගියේ ය......... උදේ වරුවේ මහාබෝධියට ගොස් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා ඔහු සවස් කල මරදානේ ඕඩේ පන්සලට ගොස් එහි අධිපති බද්දේගම විමලවංස අනුනායක හාමුදුරුවන්ගෙන් සිංහල, පාලි, සංස්කෘත, බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ ය.”

(අමර සමර - 2 කෘතියෙහි)

1937 උපන් සිරිසෝම මරදානට පැමිණ ඉංග්‍රීසි හදාරා පුරාවිද්‍යාඥයකු වීමට මඟ පාදා ගත්තේ 1891 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන්ගේ සභාපතිත්වයෙන් අනගාරික ධර්මපාල තුමන් ගේ සහයෝගය මත ආරම්භ වූ මහා බෝධි සංගමය මහා පිටිවහලක් කරගනිමිනි. මේ මහා වීරයන්ගේ අනුහස් තවමත් මරදාන බිමෙහි ඇත්තා සේ ය.

( මරදාන පිළිබඳව වෙනත් ඇසකින් බැලීමට පෙළඹවීමක් ඇතිකළ ඇල්ලේ ගුණවංශ හිමියන්ට ස්තූතියි.)


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා