කෙහෙතන්ට ගිය සරසවි බිම්

 
 

මිලියන 60000යි: ද්විතීයක පාසල් 1000යි

 
 

මැතිනිය අගමැතිනිය වී වසර 50 යි

 
 

ඩෙංගුවන් පළවාහරින පැළෑටි

 
 

ඩයලොග් ටෙලිකොම්-ඩයලොග් ආසිආටා වෙයි

 
 

බණ්ඩාරනායක මහත්තයාට මල් මාලාව දාන්න කවුදෝ මාව උඩට ඉස්සුවා

 
 

කවුළු දොරින්

 
 

“පුදුමය” භක්ෂණය කිරීම

 
 

වීසා නැතිව අපේ රටට එන අමුත්තෝ

 
 

නියපොත්තෙන් කඩන්න පුළුවන් ගැස්ට්‍රයිටිස් පොරොවෙන් කපන්න ඉඩ තියන්න එපා

 
 

ටිකිරි හමුව

 
 

කවුදෝ ඇවිත් මගේ කටට ගැහුවා

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»

ප්‍රේමකීර්ති අපෙන් සමුගෙන වසර 21 යි

ප්‍රේමකීර්ති අපෙන් සමුගෙන වසර 21 යි

මට ‘රත්නේ’ කියලා කතා කළේ මගේ බිරිඳ සහ ප්‍රේම් විතරයි

සංගීතවේදී වික්ටර් රත්නායක

“මට මුලින්ම ප්‍රේමකීර්ති හඳුන්වලා දුන්නේ පී.එල්.ඒ. සෝමපාල මහත්තයා. මට මතක හැටියට ඒ එක්දහස් නවසිය හැටපහ අවුරුද්ද. ඒ කාලේ ගුවන් විදුලියෙන් විකාශනය වූ සැන්දෑ සේවය භාරව හිටියේ සෝමපාල මහතා. සැන්දෑ සේවයේ විවිධ වැඩසටහන් තිබුණා. සෝමපාල මහතා මට කිව්වා අපේ සංස්කෘතියට, පරිසරයට නැඹුරුවක් තියෙන අලුත් සන්දු හතරක් කරලා දෙන්න කියලා.

එහෙම කියපු පාල අයියා කිව්වා පොඩි මාස්ටර්ට දෙමු කියලා. මං දැනගෙන හිටියේ නැහැ පොඩි මාස්ටර් කියන්නේ කවුද කියලා. මං ඇහුවා පාල අයියේ කවුද පොඩි මාස්ටර් කියන්නේ කියලා. කියන කොටම කොරිඩෝ එකේ අපේ ඉදිරියට කොට කලිසමක් ඇඳලා මුවපුරා හිනැහුන තරුණයෙක් එනවා. පාල අයියා ඔහුට මාව අදුන්නලා දුන්නා. ඒ වෙනකොටත් ගුවන් විදුලියේ මගෙ ගීත යනවා. ඔහු කිව්වා ඔව් ඔව් මම වික්ටර්ව අඳුනනවා කියලා.

ඊට පස්සේ අපි කැන්ටිමට ගිහිල්ලා තේ එකක් බොන ගමන් කතා කළා. මම සින්දු හතරම ප්‍රේමකීර්තිට ලියන්න බාර දුන්නා. ඔහු දවස් දෙකකින් විතර මට සන්දු හතරම ලියලා දුන්නා. වැඩසටහන කරන්න දවස් හතරක් විතර ගියා. නමුත් ඊට පෙර සරල ගී වැඩසටහනක් සඳහා මම ඔහු ලවා ගීයක් ලියව ගත්තා. ඒක තමයි දෙව්රම් වෙහෙරේ ගීතය. ඔහු මට සන්ධ්‍යා සේවයට ලියා දුන්න ගී හතර තමයි මුතු වරුසාවට තෙමිලා මුතු මැණිකේ, හිරු පායන පාන්දරින් හීතල හිරිපොද, ගමේ ලදුන් එක්වෙලා යන ගී.

ඊට පසුව ඔහු මට බොහෝ ගීත ලිව්වා. ඒකාලේ ‘ප්‍රේම්’ ආනන්දයෙන් අයින් වුණ අලුත. මට මතක හැටියට අවුරුදු විස්සක් විතර ඇති. මට මතකයි ප්‍රේම් කියනවා ඔහු මුලින්ම ගුවන් විදුලියට ආවේ සිංදු කියන්න කියලා. ඔහු මුලින්ම ආවේ කරුණාරත්න අබේසේකර මහතාගේ ළමා පිටියට. කරු අයියා ඇහුවලු

”තමුසෙට මොනවද පුළුවන්” කියලා ප්‍රේම් කිව්වලු

“මට සින්දු කියන්න ආසයි” කියලා.

ප්‍රේම් සින්දුවක් කිව්වලු. ඒක අහගෙන ඉඳලා කරු අයියා කිව්වලු

”අයිසේ තමුසෙට සින්දු කියන්න බැහැ මෙන්න මේ ලිපිය කියවනවා” කියලා ළමා පිටියට ඇවිත් තිබුණ ලිපියක් කියවන්න දුන්නලු. ප්‍රේම් ඒක කියවනවා අහගෙන ඉඳලා කිව්වලු.

”තමුසෙට සින්දු කියන්න බැහැ. හැබැයි නිවේදකයෙක් වෙන ලක්‍ෂණ තියෙනවා කියලා. ළමා පිටියෙන් ආව ප්‍රේමකීර්ති ද අල්විස් තමයි ඊට පස්සේ බොහෝ දක්‍ෂතාවයන්ගෙන් හෙබි පුද්ගලයෙක් බවට පත්වුණේ.

ඒ කාලේ ගුවන් විදුලියේ ලොකු මාස්ටර් තමයි තිලක සුන්දරමන් ද සිල්වා. පොඩිමාස්ටර් තමයි ප්‍රේම්.”

”ඒ කාලේ මට ඕන කරලා තිබුණා ප්‍රේම්ට කියල අම්මා ගැන ගීයක් ලියව ගන්න. ඒ වෙනකොට පේ‍්‍රම්ගෙ අම්මා ඇස් ඔපරේෂන් එකකට රෝහල් ගතකරලා හිටියේ. ඔහු හිටියේ හිතේ අමාරුවෙන්. ප්‍රේම්ගෙ පවුලේ හිටියේ අක්කයි ඔහුයි පමණයි. පේ‍්‍රම් මට කිව්වා ඔයා අම්මා බලන්න ආවොත් අම්මා සතුටු වේවි කියලා. අපි ගුවන් විදුලියේ ළඟින් ඩබල් ඩෙකර් එකක නැගලා ඇස් රෝහලට ගියා. ඒ යනකොට අම්මගේ ඇස් දෙකම වහලා තිබුණේ ප්‍රේම් අම්මට කිව්වා “අම්මේ මේ දෙව්රම් වෙහෙරෙ සන්දුව කියන කෙනා” කියලා.

ප්‍රේම් කිව්වා වගේම අම්මා සතුටු වුණා. මම ඔහුට කිව්වා “ප්‍රේම් මට අම්මා ගැන ගීතයක් අවශ්‍යයයි” කියලා.

ඊට දවස් දෙකකට පස්සේ ඔහු මට “ආදරයේ උල්පත වූ අම්මා” ගීතය ලියලා ගෙනැත් දුන්නා. මට මගේ ජීවිතයේ රත්නෙ කියලා කතා කරපු දෙන්නයි හිටියේ. එක්කෙනෙක් මගෙ බිරිඳ චිත්‍රා. අනෙක් කෙනා ප්‍රේම්. ඔහු මට ‘රත්නෙ’ කිව්වා. මම ඔහුට ‘ප්‍රේම්’ කිව්වා.”

”මම අත්දැකීමෙන් දන්නා දෙයක් තමයි කුමක් හෝ සිදුවීමකින් දුකකට තැවීමකට පත්වූ වෙලාවක තමයි ප්‍රේම් අතින් අපූරු නිර්මාණ බිහිවී තිබෙන්නේ. ප්‍රේමයේ රස විඳින අතරතුර ‘කුරුල්ලන්ට ගී ගයන්න’ මගේ ගී ලියපු ඔහුම තමයි ප්‍රේමයේ විප්පයෝගයේදි “තනිතරුවේ ඔබ දෙතොල් පෙති ලිහි...” ආදී ගී ලියන්නෙත්. ඔහුට හරි අපූරු ආකල්ප තිබුණා.

ඔහු යම් කම්පනයකදි මෙන්ම සොඳුරු අත්දැකීමක් ලැබුවම ඒ හරහා නිර්මාණාත්මක චින්තනය දියුණු කරනවා. මේ දක්‍ෂතාව හැමෝටම නැහැ.

‘තනිතරුවේ’ ගීතය බිහි වුණේ එක්දහස් නවසිය හැත්තෑපහ අවුරුද්දේ. අපි ‘ස’ ප්‍රසංගය සඳහා ත්‍රිකුණාමලේ ගියා. අපිට ජෙනරල් සුනිල් තෙන්නකෝන් මහතා ත්‍රිකුණාමල යුද හමුදා කඳවුරේ රෑ කෑම දුන්නා. කෑමට පෙර අපි සතුටු සාමිචියේ හිටියේ. ප්‍රේම් පේන්න හිටියේ නැහැ. එකපාරටම ප්‍රේමකීර්ති මුහුදු වෙරළේ ඉඳගෙන ‘තනි තරුවේ’ කියලා මහ හයියෙන් කෑගැහුවා.

ඔහු කිව්වා ලියන්න පුළුවන් කොලේකුයි පෑනකුයි අරගෙන එන්න කියලා. විජිත කොළයකුයි පෑනකුයි අරගෙන ගියා.

’ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා.’

ඒ වෙලාවේ ලිව්වේ එච්චරයි. පහුව දා උදේ තමයි ගීතය සම්පූර්ණ කරලා දුන්නේ.

ප්‍රේම් කියන්නේ අව්‍යාජ ප්‍රේමවන්තයෙක්. අපිට ඒ බව දැනගන්න පුළුවන් ඔහුගේ ගී නිර්මාණ වලින්. ප්‍රේම් ගායකයාව හඳුනා ගෙන ගී ලියූ කෙනෙක්. ඔහු කවදාවත් ප්‍රෙඩීට ලියන ගී මට ලිව්වේ නැහැ. ඒ වගේම මොහිදීන් බෙග්ට ලියූ ගී මට ලිව්වේ නැහැ. ඔහුට ගායකයා පිළිබඳව වගේම ගායනය පිළිබඳව අවබෝධයක් තිබුණා.

ගීතයෙන් ඔබ්බට ගියහම ප්‍රේම් හොඳ නිවේදකයෙක්. දහදොළොස් වතාවකට වඩා ඔහුට මාරුවීම් ලැබිලා ඇති. වැඩ තහනම් වෙලා ඇති. නමුත් ඔහු අකුරට සේවය ඉටු කළා. ‘ස’ ප්‍රසංගයට ගිහිල්ලා පාන්දර ආවත් ඔහු උදේ හයේ ප්‍රවෘත්ති කියන්න වෙලාවට ගිය කෙනෙක්.

ප්‍රේමකීර්ති වියෝවී මේ ගෙවෙන්නේ විසිඑක්වැනි වසරයි. ඒ වසර විසි එක පුරාම ප්‍රේම්ගේ මිතුරු කැල ඔහු වෙනුවෙන් සමරු උත්සව කළේය. මෙවරද ඔවුහු ප්‍රේම්ගේ ගුණ සිහි කළේය. ඒ ඊයේය.

අපි අවුරුදු විසි එකක් ම ඔහු වෙනුවෙන් නොවරදවාම පිංකම් කළා. ඊයේ අපි මහරගම පිළිකා රෝහලට බෙහෙත් ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කළා. ධර්මදේශනාවක් පැවැත්වුවා. මේ හැමදේම කරන්නේ ප්‍රේමකීර්ති ගුණසමරු සංසදය. විසි අවුරුද්දක් පුරා නොකඩවා ප්‍රේම් නම් වූ කලාකරුවා වෙනුවෙන් මෙවැනි දේ කරන්න අපව පොළඹවන්නේ ප්‍රේම් තුළ තිබූ මිත්‍රශීලී භාවය. ඔහු හොඳ සහෘදයෙක්. ඔහු නැති වූ දා සිට මට දැනෙන පාඩුව කියා නිම කරන්න බැහැ. ඊටත් වඩා ඔහුව ඝාතනය කිරීම මේ ජාතියට වෙච්ච විශාල පාඩුවක්.”

සියල්ල සිදුවී හමාරය. වසර විසිඑකක් ගෙවීගොස් ඇත. කාලය වියපත්ව ඇත. ආදරණීය ‘ප්‍රේම්’ අද අප අතර නැත. ඔහු අපෙන් උදුරා ගත්තේ ඔහුට නොව රටට ආදරය නොකළ අයෙකි. එදාටත් අදටත් වඩා වඩා හෙට ඔහු නැති අඩුව දැනෙනු ඇත. ඔහු ලියූ ගීවල වටිනාකම තවත් යුග ගණනක් යනතුරු පවතිනු ඇත.

‘තනි තරුවේ..
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මාත් මෙහෙම මෙතැන ඉන්නවා’


ගුවන් විදුලිය පමණක් නොව ප්‍රේම් රූපවාහිනියත් ජයගත්තා

ප්‍රේමකීර්තිගේ සමකාලීන ප්‍රවීණ මාධ්‍යවේදී

අශෝක තිලකරත්න

මට ප්‍රේම් මුණගැහුණේ මා ගුවන් විදුලියට බැදුණු අලුත. මට මතක හැටියට ඒ එක්දහස් නමසිය හැටනමයේ මාර්තු මාසේ දවසක මම දහවැනි මැදිරියට යද්දි දහවැනි මැදිරියේ දොරින් පුංචි රුවක් මතුවුණා. ඒ වෙනකොට මම ප්‍රේමකීර්ති ගැන අහලා තිබුණට දැකලා තිබුණේ නැහැ. ඒ තමයි පළමු හමුවීම. ඔහු ඒ කාලේ සහන නිවේදකයෙක්. ඔහු මට බෙහෙවින් උදව් කළා. බොහෝ දේ කියලා දුන්නා. ප්‍රේම් කියන්නේ විවෘත හදවතක්. ඔහුගේ ජීවිතයේ බොහෝ පැතිකඩ තිබුණා. නිවේදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකයෙක්, ගීත රචකයෙක් හැටියට ඔහු දක්‍ෂතා පෙන්වූ කෙනකේ.

ප්‍රේම් ගැන කතා කරන කොට මට මතක් වන එක දෙයක් තමයි බොහෝ පෞද්ගලික ගුවන් විදුලි නාලිකා පුරසාරම් දොඩනවනේ ඒ අය තමයි දුරකතනය හා සංවාද මුලින්ම ආරම්භ කළේ කියලා. නමුත් මට මතකයි 1974 අගභාගයේදී විතර ශනිදා සාදය පටන් ගත්තේ. ප්‍රේම් එක්තරා අන්දමක පර්යේෂණයක් කළා. ඒ ගුවන්විදුලි වැඩසටහනට දුරකතනය හරහා අසන්නන් සම්බන්‍ධ කරගෙන. නමුත් ප්‍රේම් දුරකතනය හා ගුවන්විදුලිය අතර තිබූ සීමාව දැනගෙන හිටියා.

අද වගේ එදා කවුරුවත් කිව්වේ නැහැ මේ සංවාද කංකරච්චලයක් කියලා. ප්‍රේම්ගේ දිව අග ඕනැතරම් වචන තිබුණා. දහස් ගණන් වචන තිබුණා. ඔහු නිර්ලෝභීව කතා කළා. කතා කළේ අසන්නන්ට දැනෙන්න. ඒ බොහෝම සංවර විදිහට. ඔවුන්ට දැනුම අවබෝධය ලබා දෙමින් තමයි වැඩසටහන් ඉදිරිපත් කළේ.

ඒ වගේම තවත් සුවිශේෂි දෙයක් තමයි ගුවන් යානයක සිට පළමු වරට අත්හදා බැලීමක් ලෙස විස්තර ප්‍රචාරය ගෙන ඒම. ඒ තමයි “සෙවණ අත්වැල” වැඩසටහන සඳහා කළ විස්තර ප්‍රචාරය. එය ඉදිරිපත් කළේ අපේ ප්‍රවීණ නිවේදක පාලිත පෙරේරා සමඟ.

ගුවන් විදුලිය ජයගත්ත ප්‍රේම් රූපවාහිනියත් ජයගත්තා. මං එහෙම කියන්නේ මුල් යුගයේ රූපවාහිනිය සඳහා ඉදිරිපත් වන නිවේදක නිවේදකයන්ට තහංචි තිබුණා. ඒ තමයි රූපය ලස්සන අය විතරයි රූපවාහිනියට එන්න ඕනැ කියන එක. ප්‍රේම්ව රූපවාහිනියට හඳුන්වා දීමේ ගෞරවය හිමිවිය යුත්තේ නැසී ගිය අබේවර්ධන බාලසූරියට. ප්‍රේම් සම්බන්‍ධ මුල්ම වැඩසටහන අඳුන. ඉන්පසුව ශනිදා ආයුබෝවන් වැඩසටහන. එදා ප්‍රේම් රූපවාහිනියට සහභාගි නූනනම් අද වෙනකොට රූපවාහිනියට කරන්න තියෙන එකම දේ ප්‍රවෘත්ති කියන එකයි බණ කියන එකයි විතරයි.


ඔහු නැති අඩුව පුරවන්න කෙනෙක් යළිත් කිසිදා බිහි වෙන්නෙ නැහැ

නිර්මලා ද අල්විස්

නිවෙසෙහි සිටි ඔහුව රැගෙන ගොස් මරාදමන විට සිඟිති පුතුට වයස මාස එකොළහක් පමණි. පූර්ණ සම්පත් පුතු අද යෞවනයෙකි. ප්‍රේමකීර්ති ද අල්විස්ගේ ආදරණීය බිරිඳ සිය පුතු හා එක්ව ප්‍රේමකීර්ති නම් වූ නිර්මාණවේදියා පිළිබඳව සැමරුම් උලෙළක් සංවිධානය කරයි.

මේ තොරතුරු පැවසීමට ඉකුත් දාක නිර්මලා ද අල්විස් මහත්මිය රසඳුනට ගොඩවූවාය.

”ප්‍රේම්ව අපෙන් වෙන්කර මේ ගෙවන්නේ විසිඑක්වැනි අවුරුද්ද. අපි ඔහු වෙනුවෙන් විස්සයි එක (21) සමරු උත්සවයක් සංවිධානය කරනු ලබනවා. මේ සමරු උත්සවයේදි, ප්‍රේමකීර්තිගේ නිර්මාණ පිළිබඳව කැරෙන ප්‍රදර්ශනයක් තියෙනවා. ඊට ඔහු ලියූ ගීත ආදිය ඇතුළත්. ඔහුගේ අත්අකුරින් ලියූ දේ තිබෙනවා. ප්‍රේම් මා ළඟට එනවිට ආවේ පුංචි සූට්කේසයක දැමූ ඔහුගේ ලියැවිලි අරගෙන. ඒ ලියවිලි අතර ඔහු ගුවන්විදුලියට ඔහුගේ අත් අකුරින් ලියූ ඉල්ලුම් පත්‍රය, උප්පැන්නේ සිට ලියැකියවිලි රාශියක් තිබුණා. මේ සියල්ල, ඡායාරූප ආදිය ප්‍රදර්ශනයට ඇතුළත්.

ඒ වගේම ඔහුගේ ගීත පිළිබඳව කැරෙන සම්මන්ත්‍රණයක් පැවැත්වෙනවා මීටම සමගාමීව. ඉන් අනතුරුව ඔහු ලියූ ගී අතරින් ‘ගී ගඟුලෙන් බිඳක්’ ගී සැඳෑව පැවැත්වෙනවා.

උත්සවය අගෝස්තු 13 කොළඹ මහජන පුස්තකාලයේදී උදේ 9.00සිට පැවැත්වෙනවා සියලු කටයුතු සංවිධානය කරන්නේ ප්‍රේම්ට ආදරය කරන තරුණ පරපුර.

මට ප්‍රේම්ව හමුවුණේ අසූව දශකයේ මැද භාගයේදි විතර. ඔහුත් සමඟ මා ගෙවූ ජීවිතය ඉතාම සුන්දර එකක්. අද මගේ පුතා තරුණයෙක්. ප්‍රේම් ඔහුට බොහෝ ආදරය කළා. අපි හෝමාගම නිවෙසේ පදිංචි වෙලා ඉන්න කාලේ පුතාගේ හුරතල් වයස. දවසක් පුතා හිටියේ කොට් එකේ.

ප්‍රේම් මොකක්දෝ වැඩක් කරනවා. මම පොතක් බල බලා හිටියේ. පුතා යේ.. යේ.. ගගා අතට දෙන දේ බිම දානවා. ප්‍රේම් සැරෙන් සැරේ ඇහිදලා දෙනවා. පුතාට ඒක සෙල්ලමක් වෙලා. ටිකක් වෙලා යනකොට පුතා සද්ද නැහැ. මම ඇවිත් බැලුවා. බලනකොට ප්‍රේම් පුතා එක්ක කොට් එක ඇතුළේ...

ප්‍රේම් පුංචි දේටත් සැලුන කෙනෙක්. ඔහුගේ මතකයන් මගේ හිත අතීතයට අරගෙන යනවා.

නිවේදකයෙක් විදිහට ප්‍රේම් හුඟක් ඉදිරියෙන් හිටපු කෙනෙක්. ඔහු සම්පත් සාදයෙන් ගෙන ආව ඇතැම් රැවටීම් වලට මමත් අහුවෙලා තියෙනවා. ඔහු අසන්නන්ව රඳවා ගන්න දක්‍ෂයි. ප්‍රේම් නැති අඩුව එදාටත් වඩා අද අපට දැනෙනවා. විශේෂයෙන් නිර්මාණ ක්‍ෂෙත්‍රයට ඔහු නැති අඩුව පුරවන්න කෙනෙක් නම් යළිත් බිහිවේවි කියලා හිතන්න බැහැ.”

සමුගෙන යාමට පෙර නිර්මලාද අල්විස් මහත්මිය පැවසුවාය.


ප්‍රේම් ඔබ ප්‍රේමණීයය

ප්‍රේමකීර්ති ද අල්විස්ගේ කටහඬින් වරක් මම බලවත් කම්පනයකට පත්ව ඇත්තෙමි. ඒ 1988 පෙබරවාරි මස 16 වැනි දින දහවල් වරුවේ මානව හිතවාදි කලාකරු විජය කුමාරතුංගගේ ඝාතනය ගුවන්විදුලියේ හදිසි ප්‍රවෘත්තියක් මඟින් ඔහු සැළ කර සිටි අවස්ථාවේදීය. ඊට වසරකට පසු මම එවන්ම වූ තැති ගැන්මකට ලක්වීමි. ඒ ප්‍රේමකීර්ති ද අල්විස්ගේ කුරිරු ඝාතනයෙනි. මේ රුදුරු මරණවලට වගකිව යුත්තේ කවුරුන්ද යන්න දේශපාලන ප්‍රශ්නයකි. කෙසේ වෙතත් ඔවුන් මෙසේ රටට අහිමි කිරීම අති බිහිසුණු අපරාධයකි.

ප්‍රේමකීර්තිගේ වැඩබිම වූයේ නිවේදන කලාවයි.ඔහුගේ හදබිම වූයේ එසේත් නැත්නම් ඔහු නිරත කලා මාධ්‍යය වූයේ ගීත රචනයයි. මේ මාධ්‍ය දෙකෙන්ම ඔහු නොමඳ නිර්මාණශීලී ප්‍රතිභවක් විදහා පෑවේය. ගුවන්විදුලියේ ‘ශනිදා සාදය’, ‘සොඳුරු සෙවණ’, ‘සැරිසර’ වැනි විචිත්‍රාංගවලින් ද රූපවාහිනියේ ‘අඳුන’, ‘ආයුබෝවන්’ වැනි වැඩසටහන්වලින් ද ඔහු රසිකයන්ගේ ළෙන්ගතු මිතුරකු වූයේය.

ජෝතිපාලගේ ගීයක් මෙන් ප්‍රේම් සිටිනා තැන පාළුවක් නොදැනිණි. වික්ටර් රත්නායකගේ ‘ස’ ප්‍රසංගයේ LP තැටිය අසන විටක හෝ ජෝතිපාලගේ ලන්ඩන් ප්‍රසංගයයේ සංගත තැටිය අසනවිට ප්‍රේම් තවමත් අප අතර යැයි සිතෙන තරම්ය. ඒවායේ නිවේදකයා වූයේ ඔහුය.

නිවේදන කලාවේත් – ගීත රචනයෙත් විවිධ අත්හදා බැඳීම් කරන්න ප්‍රේමකීර්ති පසුබට නොවූයේය. ගුවන්විදුලියේ ‘සැරිසර’ වැඩසටහනින් ඔහු ගුවන්විදුලි මාධ්‍යයේ සීමා මායිම් - නිම්වළලු පුළුල් කළේය. ගුවන්විදුලියත් අසන්නාගේ දුරකථනයත් මුල්වරට එක් කළේ ප්‍රේම් බව ඇතැමුන්ගේ මතයයි. එය එසේම විය යුතුය. ප්‍රේමකීර්ති වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කෘතහස්ත ගුවන්විදුලි සන්නිවේදකයෙක් වූයේය.

ගීත රචනයේදී ඔහු කළ එක් අපූර්ව අත්හදා බැලීමක් නම් ‘සඳට අහස ආදරේදෝ’ නමැති ගීතයයි. එහි ගායක වික්ටර් රත්නායක හා ගායිකා සුජාතා අත්තනායක මෙසේ ගයති.

පද සහනයි - සඳ පහනයි
පද මවනයි - මඳ පවනයි
වසර සසනතුරු - සසර වසනතුරු
අම මාදරෙයි - මම ආදරෙයි

මෙම ගීතය එකල කොයිතරම් ජනපි‍්‍රය වීද කිවහොත් එය ගායනා කරන්නේ රට්ට විත්තනායක සහ අජාතා සුත්තනායක යැයි ඇතැම්හු විසුළුවට මෙන් කීහ.

කොළඹ ආනන්ද මහ විදුහලේ ඉගෙනගන්නා අවදියේ සිටම ප්‍රේමකීර්ති ගුවන්විදුලියට නන් අයුරින් සම්බන්ධව සිටියේය. ඔහු සහන නිවේදකයකු වූයේ 1967 දීය. ප්‍රේමකීර්ති මුලින් කවියෙකි. ඔහු දයා රණතුංග (පසුව දයා අල්විස්) සමඟ එක්ව 1968 දි ‘තනිවුණි දෙදෙනකු මෙසේ’ නමින් කවි පොතක් ලියා පළකර ඇත.

ප්‍රේමකීර්ති ගීත රචනයට එළැඹුණේ 1969 දීය. ඒ බව සාක්ෂාත් වන්නේ 1979 ඔහු ගී ලොවට පිවිස දසවසරක් පිරීම නිමිත්තෙන් වැල්ලවත්ත රාමක්‍රිෂ්ණ ශාලාවේදී ප්‍රසංගයක් පැවැත්වූ බැවිනි. ‘ගී ලොව දසවසක්’ එම ප්‍රසංගයේ නම වූයේය. මල්කාන්ති නන්දසිරි ගයන ‘හද පුද අසුනේ සෙනෙහස බැඳුණේ’ ප්‍රේම් ලියූ මුල්ම ගීතයයි. (මෙකලම ඔහු රංජිත් ලාල්ගේ ‘වෙර’ නම් වූ වාර්තා චිත්‍රපටයේ තේමා ගීතය රචනා කර ඇත.) ඉන්පසු දිය කදුරක් මහ නදියක් වන්නාක්සේ ප්‍රේමකීර්ති සිංහල ගීත සාහිත්‍යය තුළ පෞරුෂ සම්පන්නව නැඟී සිටියේය.

ප්‍රේමකීර්ති වැඩිම ගීත ප්‍රමාණයක් ලියා ඇත්තේ වික්ටර් රත්නායකට යැයි සිතමි. ‘තනි තරුවේ’, ‘දෙව්රම් වෙහෙරේ’, ‘ප්‍රේම පරාදීසේ’, ‘කුරුල්ලන්ට ගී ගයන්න’, ‘මුදු පරම සුවිමිතුරු’, ‘නිවන් දුටු හිමි’... වැනි ගීත රැසක් ඊට නිදසුන් සපයයි. මේ දෙදෙනාගේ නිර්මාණ සුසංයෝගය සිංහල සුභාවිත ගීතයේ පෝෂණයට හේතුකාරක වී ඇත.

ප්‍රේමකීර්ති ලියා ඇති ගීත සංඛ්‍යාව දහස් ගණනකි. ඒවායින් හරවත් ගී මෙන්ම බොළඳ ගී ද දක්නා ලැබේ. මගේ අදහසට අනුව ‘තනි තරුවේ’, ‘දෙව්රම් වෙහෙරේ’, ‘ආදරයේ උල්පත වූ අම්මා’ ‘නිවන් දුටු හිමි’ (වික්ටර් රත්නායක), ‘මේ නගරය’ (මර්වින් පෙරේරා), ‘මා එක්කලා අමනාපව වී දබර’ (මාලිනි බුලත්සිංහල), ‘මිහිරැති වසන්ත කාලේ’ (ෂෙල්ටන් පෙරේරා) ඔහු අතින් විරචිත මනෝරම්‍ය ගී වන්නේය.

ප්‍රේ්ම ගීත රචනයේදි ප්‍රේමකීර්ති දෙවැනි වෙතොත් දෙවැනි වන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්න වැන්නකුට විය යුතුය. ප්‍රේමය තරම් මනරම් කවිකම් දෙන සිතුමිණක් ප්‍රේමකීර්තිට ද නොතිබුණු සේය.

’විකල් මතක මැද පහන් තරුව ඔබ
බොඳවුණු සිහිනෙක අරුණෝදය ඔබ
වැලපුණු වෙරළක දිය බිංදුව ඔබ
ගොළුවුණු දෙතොලක සිනහ සිසිල ඔබ’

යනුවෙන් ඔහු වික්ටර් රත්නායක ගයන ‘ප්‍රේම පරාදීසේ’ නම් වූ ගීතයෙහිලා කියයි. මොන තරම් කලාත්මක සංකල්ප රූපාවලියක් ද?

ප්‍රේම ගීත පමණක් නොව මව් ගුණ ගී (ආදරයේ උල්පත වූ අම්මා, විශාඛාව ඔබ) බුදු ගුණ ගී (දෙව්රම් වෙහෙරේ, සමිඳු පාමුල, නිවන් දුටු හිමි) මෙන්ම උපහාස ගීත (පාන්කිරිත්තා, කැකිල්ලේ රජ්ජුරුවෝ, හඳමාමා, අලුත් කලාවක්) රචනයෙහිලා ප්‍රේමකීර්ති පෑ කුසලතාව අතිමහත්ය. මෙරට උපහාස ගී කලාවක පුරෝගාමියා ප්‍රේමකීර්ති යැයි කීම නිවැරදිය.

ප්‍රේමකීර්ති චිත්‍රපට ගීත රචනයට යොමුවූයේ ‘ලොකුම හිනාව‘ චිත්‍රපටයෙනි. එසේ වුව චිත්‍රපට ගීත රචකයන්ගෙන් අවාසනාවන්තම පුද්ගලයා ප්‍රේමකීර්ති යැයි මම සිතමි. මන්දයත්; එම ක්ෂේත්‍රයේදි ඔහුට තම විපුල ප්‍රතිභාව හා සුවිශද කල්පනා ශක්තිය විදහා පෑමට එතරම්ම ඉඩප්‍රස්ථා නොසැලසුණු බැවිනි.

කෙසේ වෙතත් ප්‍රේමකීර්ති කිසිදා වාණිජමය අභිලාෂ පෙරදැරිකරගෙන ගීත ලීවේ යැයි කිවනොහැකිය. ඔහු වරක් ජනපි‍්‍රය ගායකයකුගේ සරල ගී වැඩසටහනකට ගීත ලීවේ ප්ලේන්ටි පහකටය. ප්‍රේමකීර්ති ඝාතනය කෙරුණු අවස්ථාවේ ඔහුගේ බැංකු පොතේ තිබී ඇත්තේ රුපියල් දෙදහකටත් අඩු මුදලකි.

නැතක් දුක් පීඩා පිරිපත් අනුභව කරමින් ද ආපදා උපේක්ෂාවෙන් විඳ දරා ගනිමින් ද ප්‍රේමකීර්ති තම ජීවිතය පවත්වාගෙන ගියේය.

ප්‍රේමකීර්ති භෞතික වශයෙන් වෙන්ව ගොස් අවුරුදු 21 ක් ගතවී ඇත. එහෙත් ඔහු සදා අමරණීයය. ඔහුගේ නමත් ඔහු ගොඩනඟා ගත් ප්‍රභාෂ්වරයත් ඔහුගේ නිර්මාණත් රසික සිත්හි ඔහු පිළිබඳ තිබෙන්නාවූ අසීමිත ආදරයත් ගිනි අවියකින් විනාශ කළ නොහැකිය. විජය කුමාරතුංග ගෙත් ප්‍රේමකීර්ති ගෙත් ඝාතකයන් නොදැන සිටි සත්‍යය එයයි.


රැකගමි ඔබෙ නම පියාණනේ

පුංචි දියණිය ඔහුට දහසකුත් බලාපොරොත්තු එක්කළේය. ඔහු දියණිය හඬවන්නට රවටන්නට අකැමැති වූයේය. එනිසාම දඬුවම් මාරු ලැබ රුහුණුට හෝ රජරටට ගිය හැමවිට ඔහු දියණියට ලිපි ලිව්වේය. ඇතැම්විට ඔහු දියණියට ගී ද ලීවේය.

’සුරංගිට දුක හිතුණා’ නන්දා මාලනිය ගයන්නේ එවන් ගීයකි. එදා දියණිය වෙනුවෙන් ගී ලියූ, ලිපි ලියූ ආදරණීය තාත්තා වෙනුවෙන් වසර ගණනකට පසුව දියණිය සුරංගි ද අල්විස් ලියූ පැදියකි මේ.

හිස මුදුනත තැබූ රුවන් මලක් සේ
රැකගමි ඔබෙ නම පියාණනේ
නොකෙළෙමි වරදක් නොතබමි කැළලක්
එය මට කිරුළකි පියාණනේ
පිරිහෙන ගුණ දම් නසතිය මනු දම්
උගතිමි ඔබගෙන් පියාණනේ
ඔබ මට හිමි කළ බැබළෙන ඒ නම
මගෙ දරු සුරකිති පියාණනේ


ප්‍රේම්ගේ ජීවිතය උදුරා ගත් ඒ දෛවෝපගත දිනයේ පමණක් නොව ඊට අවුරුදු කිහිපයක සිට ප්‍රේම් සහ මා රාජකාරී කළේ එකම කාමරයක. මුහුණට මුහුණ ලා වාඩිගෙනය.

ගුවන් විදුලියේ ප්‍රේම් රාජකාරි කළ අවසන් දිනයේ රාජකාරි නිමා කොට ඔහු නිවෙස බලා පිටත්ව ගියේ මා සමඟ ඔහුගේ රථයෙනි. කොට්ටාව හංදියෙන් මා ඇරලවූ ප්‍රේම් ඊට පසුදා මා දුටුවේ හෝමාගම රෝහලේ මෘතශරීරාගාරයේ සිමෙන්ති ලෑල්ලක් මත සීතලව මරණය වැළඳගෙන සිටි අයුරිනි. මේ අත්දැකීම මා ජීවිතයේ ලද ඉතා දුක්ඛදායක අත්දැකීමකි. මේ හේතුව නිසාම ප්‍රේම් පිළිබඳ හද උතුරා යන තරම් ආදරයක් මා තුළ තිබුණද ඔහු ගැන කතා කිරීම, ලිවීම, සිතීම මට බෙහෙවින් අසීරු කරුණක් වී ඇත.


ප්‍රේමකීර්ති ගැන විවිධ මත

අපි එක්ව සිටියෙමු. එක්ව වැඩ කළෙමු. එක්ව සිනාසුණෙමු. එහෙත් එක්ව හඬන්නට ඔබ අද නැත.

ඔබ පීනනු ඉවුරට වී බලා සිටියෙමි. පීනන්නට ඉගැන්වූයේ අයියේ ඔබය. එදා මෙන් තැනකින් ගිලී නැවතත් තව තැනකින් මතුව එනු මැන... මම බලා සිටිමි.


ප්‍රේමකීර්ති ලියූ කවි

දාස් පෙති මල්

එදා අඳුරු රාත්‍රියකි
ඔහු ගුරු පාරට ආවේය
කලුවරේ පිය මැන්නේය
හිටි අඩියේ පාරට පැනගත් සොරුන්
පිරිසක් ඔහු වටකර ගත්හ. ඔහුගේ
මුදල් පැහැරගන්නට තැත් කළහ. බැරිම
තැන ඔහු කෑ මොර දෙන්නට හදත්ම
එක් සොරෙක් ඔහුගේ ළය පසා
කරගෙන යන්නට පිහිපාරක් ඇන්නේය.
ඔහු මැරී වැටුණි
බියපත් සොරුන් ඔහුගේ මළකඳ
දෙපයින් බිම දිගේ
ඇදගෙන ගොස් අසල වූ පාලු කුඹුරක
මඩෙහි ඔබා යටකර දැමීය
ඊළඟ මාසයේ දියණිය ඔහු එනතුරු මඟ
බලමින් සිටියාය
එහෙත් ඔහු ආයේ නැත
ඔහුට කුමක්වී දැයි කිසිවෙක් නොදත්හ
පාලු කුඹුරක දාස්පෙති මල් දාහක් පිපී තිබුණි

(මේ ප්‍රේමකීර්ති කලකට ඉහත ලියූ කවියකි; මෙම කවියේ අත්දැකීමත් ප්‍රේමකීර්තිගේ කුරිරු ඝාතනයත් එකිනෙක සසඳා බලන්න.)

වයලට්!

දැන් අප එක වහලක් යටය
දරුවන්ද සිටී
එහෙත් නොඉවසුමත්
සීමාරහිත බවත්
සුඛාන්තයත්
වැඩිපුර හමුවන්නේ නැත
ලක්ස්ප්‍රේ ටින්වලින් වැහිලා නොඉවසුම
සමූපකාරයෙයි සීමාරහිත බව
ගෙවල් කුලියද – ලයිට් බිලද සුඛාන්තය!
වයලට්! මට සමාවෙන්න!
කන්තෝරුවේදී මිසිස් ජුලියට්ට මා දැකීමත්
මට මිසිස් ජුලියට්ව දැකීමත්
මේ අතරතුර තෘප්තියක් වී තිබේ.

ඡන්ද දායකයෝ

කාඩ් කුට්ටමේ
ආසියාත්
රැජිනත්
බූරුවාත් ඇත.

ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ වාඩිවෙති

ලින්ටන් කැරපොත්තන්ට බයය
කතා කරන්නේ අහස්යානා ගැනය
සැල්ටන් අහස්යානාවලට බයය
කතා කරන්නේ කැරපොත්තන් ගැනය
ජොන්සන් කැරපොත්තන්ටත් අහස්යානාවලටත්
දෙකටම බයය
විල්සන් ඒ දෙකටම බය නැත

වාරයෙන් වාරයට
කාඩ් කුට්ටමේ
ආසියාත්
රජ්ජුරුවෝත්
රැජිනත්
බූරුවාත්
කැපෙමින් – වැටෙමින් – නැගිටිමින්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
වටේ මාරුවෙති

එහෙත්
ලින්ටන්
සැල්ටන්
ජොන්සන්
විල්සන්
තාමත් උන් හිටි තැන්වලමය
ලින්ටන් කැරපොත්තන්ට බයය
සැල්ටන් අහස් යානා වලට බයය
ජොන්සන් දෙකටම බයය
විල්සන් දෙකටම බය නැත


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා