කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

 
කනත්තෙන් බිහිවූ ජනපි‍්‍රය සංස්කෘතික සංවාදය

කනත්තෙන් බිහිවූ ජනපි‍්‍රය සංස්කෘතික සංවාදය

ජෝති හෙවත් එච්. ආර්. ජෝතිපාල මිය ගියේ අපූරු දවසකය. ඒ අසූහතේ හත්වැනි මාසේ හත්වැනිදාය. ඒ වන විට ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු වූ පේ‍්‍රම් දිසානායක ‘විචිත්‍ර’ නමින් සිනමා පුවත්පතක් සංස්කරණය කරමින් සිටියේය. එහි අදෘශ්‍යමාන අර්ථපතියා වූයේ ආචාර්ය සරත් අමුණුගම ය.

ජෝතිපාලගේ මළගමට ආ අතිමහත් කලා ලෝලී ජනකාය දුටු ආචාර්ය අමුණුගම විස්මයෙන් ඇළලී ගියේය. ප්‍රබල සමාජ හා සංස්කෘතික හර පෙරළියක් සිදුව ඇති බව ඔහුට ප්‍රත්‍යක්ෂ වූයේය. මේ හර පෙරළිය ගැඹුරින් වටහා ගැනීමේ සියුම් අන්තර්ඥානයක් ද ඔහු සතුව තිබිණි. ඒ ඔහු සමාජ විද්‍යාඥයකු වූ බැවිනි.

ජෝතිපාලගේ අභාවය නිමිත්තෙන් ‘විචිත්‍ර’ පත්‍රය විශේෂ අතිරේකයක් පළ කළේය. ආචාර්ය අමුණුගම ද ඊට ලිපියක් ලීවේය. ‘බිඳ වැටුණු සංස්කෘතික බලකණුව‘ නම් වූ එකී ලිපියෙන් හෙතෙම කියා සිටියේ ජෝතිපාල උසස් ගායකයකු බව නොවේ. ආචාර්ය අමුණුගම අවධාරණය කළේ නූතන සිංහල සංස්කෘතියේ ප්‍රබල හර පෙරළියක් සිදුව ඇති බවයි. ඊට හේතු දෙකක් ඔහු සඳහන් කළේය. එකක් ජනගහණයේ අනුපාතයයි. අනික බහුජන මාධ්‍යයේ විකාශනයයි.

නූතන සිංහල සංස්කෘතිය හැඩ ගැසෙන්නේ ලාංකේය ජනගහණයෙන් සියයට හැටක් පමණ වන අවුරුදු තිහට බාල නව තරුණ වෙළෙඳ පොළේ අවශ්‍යතා අනුව බව කියු ආචාර්ය අමුණුගම, ජෝතිපාල මේ තරුණ කල්ලියේ සංස්කෘතික වීරයකු බව ප්‍රකාශ කළේය.

ආචාර්ය අමුණුගමගේ පූර්වෝක්ත ලිපියේ ආ මතිමතාන්තරවලින් කිපුණු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ඊට පිළිතුරු ලිපියක් එක්තරා ඉංගී‍්‍රසි පුවත්පතකට ලීවේය. එම ලිපියේ වැදගත්කම දුටු විශිෂ්ට පුවත්පත් කලාවේදියකු වූ බී. ඒ. සිරිවර්ධන එම ලිපිය පසුව ‘ඇත්ත’ පුවත්පතේ ද (සිංහලට පරිවර්තනය කොට) පළ කළේය. සරච්චන්ද්‍රයන්ගේ පිළිතුර මහා සංස්කෘතික සංවාදයකට මුල පිරුවේය. පසුව ‘ජයදේව‘ යන ආරූඩ නමකින් ඉංගී‍්‍රසි පුවත්පතකට ලිපි ලියු මහාචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, රෙජි සිරිවර්ධන, අජිත් සමරනායක වැනි විද්වත්හු ද එකී සංවාදයට මතවාදීමය වශයෙන් එක්වූහ.

මේ අතර තවත් ප්‍රවීණ සිනමා කලා විචාරකයකු වූ සිරිල් බී. පෙරේරා ද ජෝතිපාලගේ කාර්ය සාධනය අගය කරමින් ලිපියක් ලියු බව මෙහිලා සඳහන් කළ යුතුය.

ආචාර්ය අමුණුගම තමන්ට එරෙහිව ලියැවෙන ලිපිවලට පිළිතුරු සැපයුවේ ද තම පළමු ලිපිය පළ කළ ‘විචිත්‍ර’ පුවත්පතටමය. ඒ අනුව ‘විචිත්‍ර’, මෙරට ජාතික තලය දක්වා දිව ගිය සංවාදයක් ආරම්භ කළ සුවිශේෂ සිනමා පුවත්පතක් ලෙස පුවත්පත් කලා ඉතිහාසයට එක්වෙයි. ‘ජෝතිපාල හා පොදුජන සංස්කෘතිය’, ‘ජෝතිපාල සහ සරච්චන්ද්‍ර’, ‘ජෝතිපාල සහ සමරනායක’ යන සිරස්තලවලින් යුතු ආචාර්ය අමුණුගමගේ පිළිතුරු ලිපි ඒ වන විට සංස්කෘතිය හා සම්බන්ධයෙන් මෙරට සංස්ථාපිතව පැවැති ආචිර්ණ කල්පිත අදහස් දැඩි විවේචනයට හසු කරන්නක් වූ බව එම ලිපි සියල්ල කියවු පාඨකයකු වශයෙන් මට කිව හැකිය. ‘කනත්තේ සංස්කෘතිය’ නමින් ප්‍රකට වූ එකි ජනපි‍්‍රය සංස්කෘතික සංවාදයට අදාළ ලිපි සියල්ල පොතක් ලෙස පළවන්නේ නම් ඉතා වැදගත් යැයි ද මම සිතමි.

විවිධ පුවත්පත් හා සඟරා හරහා දික් ගැස්සි ගිය යථෝක්ත සංවාදයට ඉහත කී විද්වතුන් පමණක් නොව තවත් ලේඛකයෝ ද එක්වූහ. නාමිකව සඳහන් කළොත් ගාමිණි විජේතුංග, නිහාල් පීරිස්, සිරිමල් විජේසිංහ, කථිකාචාර්ය අත්තනායක එම්. හේරත්, දීප්ති කුමාර ගුණරත්න, සමන් වික්‍රමආරච්චි, හෙන්රි වර්ණකුලසූරිය, මනුබන්දු විද්‍යාපති, චන්ද්‍රරත්න බණ්ඩාර, චන්ද්‍රසිරි දොඩංගොඩ, සුජීව ප්‍රසන්නආරච්චි, පී‍්‍රති බණ්ඩාර ධනපාල, කීර්ති ගුණවර්ධන, දර්ශන මේදිස්, නිශාන්ත ද අල්විස් ඔවුන් අතර වූහ.

ඒ හැරුණුකොට එකල ලියැවුණු පොත් කීපයක් ද ජනපි‍්‍රය සංස්කෘතිය මාතෘකා කොට ගත්තක් විය. නිහාල් පීරිස්ගේ ‘අමරදේවලා, නන්දා මාලිනිලා, රූකාන්තලා සහ අපි’, සේනක සෙනෙවිරත්නගේ ‘ජනපි‍්‍රය සංස්කෘතිය සහ ජනමාධ්‍ය’ යන පොත් දෙක ඒ අතර විශේෂය. ‘සාහිත්‍යය සමාජ විද්‍යාව පිළිබඳ හැඳින්වීමක්’ යන මැයෙන් මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියු පොතකට ද ජනපි‍්‍රය සංස්කෘතිය ගැනවූ ලිපියක් (ජනපි‍්‍රය සංස්කෘතිය සහ සමාජ විද්‍යා පර්යේෂණ) ඇතුළත්ව තිබිණි.

මහාචාර්ය සරච්චන්ද්‍ර තම පිළිතුරු ලිපියේ මෙවැන්නක් කියා ඇත. “අමුණුගම කවරදාක හෝ ජෝතිපාලගේ ගායනාවලට සවන් දී තිබේ ද? සවන් දුන්නා නම් එය කොපමණ වේලාවක් ඉවසා සිටීමට ඔහුට හැකිවූයේ ද යන්න මම නොදනිමි. එම ගීවල අඩංගු සාහිත්‍යය වෙත ඔහු කවරදාවත් සිත යොමු කැර තිබේ ද? වැඩිහිටි ශ්‍රාවකයකුගේ බුද්ධියට ඒවා අපහාසයක් බව ඔහු සිතන්නේ නැද්ද?”

මහාචාර්ය සරච්චන්ද්‍ර යනු ගැඹුරු සංගීත කලා රස විඥානයකින් හෙබි විද්වතකු බවට කිසිදු තර්කයක් නොමැත. ඔහු ශාන්ති නිකේතනයෙන් ද රාගධාරී සංගීතය හැදැරුවෙකි. මහාචාර්ය සරච්චන්ද්‍රයන් සංගීතය අරභයා දැක්වූ එකම මතවාදය වූයේ දේශීය සංගීතයක් තැනීමට භාරතීය සංගීතය පදනම් කර ගැනීම හැර අන් මඟක් අපට නොමැතිය යන්නය. (බලන්න ඩබ්ලිව්. බී. මකුලොලුවගේ ‘අභිනව මූලික ගීත’ නම්වූ ග්‍රන්ථයේ පෙරවදන) ජෝතිපාලගේ ගීත ඔහු විචාරය කරන්නේ එබඳු ශාස්ත්‍රීය පසුබිමක් සහිත වටාපිටාවක් මැද්දේය.

එසේ වුවත් මහාචාර්ය සරච්චන්ද්‍ර සේම අන් විචාරකයන් ද වරද්දා ගත් එක් තැනක් ඇත. ඒ නම් ‘වචන’ මූලික කරගත් විචාර මිනුම් දඬුවලින් ගීත හෝ සංගීතය විචාරය කිරීමට පෙලඹීමයි. මේ දුබලතාව සිනමා කලාවේ ද දැක්ක හැකිය. ජෝතිපාල ගැයු ගීවල පදමාලා විමසා බලන කල්හි ඒ ගීතවලින් බහුතරය බොළඳ පේ‍්‍රම විරහාලාප බව සැබෑය. එසේම බොහෝ ගී තනු හින්දි චිත්‍රපටවල ගී අනුකරණය. එසේ වුවත් ජෝතිපාලගේ හඩේ තිබු මියුරු බවත් විශේෂයෙන් චිත්‍රපට පසුබිම් ගායනයේදී ඔහු සතුව තිබු තිර කටහඬක් (SCREEN VOICE) මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රමුඛ බමුණුකුල විචාරකයන්ගේ ප්‍රශංසාවට කිසිදා ලක්වූයේ නැත.

මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ විවේචනාත්මක පිළිතුරු ලිපිය හුදෙක් ජෝතිපාලට එල්ල වුවක් පමණක් යැයි මම නොසිතමි. එය එක්තරා සංගීත සම්ප්‍රදායකට, එක්තරා සංගීත ප්‍රකාරයකට එල්ල වූ පොදු විවේචනයක් ලෙස හඳුනා ගැනීම වැදගත් ය. එක් පැත්තකින් මහාචාර්ය සරච්චන්ද්‍රයන්ද අනිත් පැත්තෙන් පී. ඩන්ස්ටන් ද සිල්වා වැනි සංගීත ඥානයක් තිබු ගුවන්විදුලි බලධරයන් ද එක්තරා කලකදී ගුවන්විදුලියෙන් බටහිර සංගීතය පිටු දුටුවේ සංගීතය යනු එක් සම්ප්‍රදායක් පමණක් යන මතිභ්‍රමයේ රැඳී සිටි බැවිනි. ඒ අරභයා පුළුල් විග්‍රහයක් ආචාර්ය තිස්ස අබේසේකර විසින් සංගීතය සම්බන්ධයෙන් ලියනු ලැබු ලිපිවලින් ඉදිරිපත් කෙරී ඇත.

මෙරට ජනපි‍්‍රය සංස්කෘතියේ සමාරම්භකයා ජෝතිපාල නොවේ. ඔහු එක්තරා සංස්කෘතික බලකණුවක් පමණි. ජෝතිපාල ජීවතුන් අතර සිටියදී පවා මේ රටේ ජනපි‍්‍රය සංස්කෘතිය පැවතුණේය. දේශපාලන වේදිකාවට පමණක් නොව මැයි දින උත්සවවලට පවා ගායක ගායිකාවන් යොදවාගෙන ඒවා සංගීත සංදර්ශන බවට පත්කරන ලද්දේ එවක සිටි දේශපාලනඥයන් පවා මේ ජනපි‍්‍රය සංස්කෘතිය මැනැවින් හඳුනාගෙන සිටි බැවිනි. අපේ මැයි දිනය කාබාසීනියා කළේ ජනපි‍්‍රය සංස්කෘතිය බව ආචාර්ය අමුණුගම පැහැදිලිවම පෙන්වා දී ඇත. මැයි දින වමේ බලය බිඳීමට ජේ. ආර්. හා පේ‍්‍රමදාස වැනි දක්ෂිණාංශික නායකයන් ජනපි‍්‍රය සංස්කෘතිය යොදාගත් ආකාරය ආචාර්ය අමුණුගමගේ විමසුමට හසු වූවකි.

ප්‍රවීණ කවියකු වන පරාක්‍රම කොඩිතුවක්කු ‘ජෝති රශ්මි’ නමින් කාව්‍ය සංග්‍රහයක් ලියා පළකිරීම, ජාතික රූපවාහිනිය ‘සමන් මල් පියල්ලේ’ නමින් ස්වර්ණ ජෝති සංගීත සම්මාන උළෙලක් පැවැත්වීම (එහි සියලු ගෞරවය එවක රූපවාහිනි සංස්ථාවේ සභාපති ව සිටි ආචාර්ය ආරියරත්න ඇතුගලට හිමිවිය යුතුය) ජෝතිපාල ප්‍රමුඛ කොටගත් ජනපි‍්‍රය සංස්කෘතික සංවාදයේ ප්‍රතිඵල සේ මම දකිමි.

ජෝතිපාල මියගොස් දසවසරක් පිරීම නිමිත්තෙන් මම ‘සරසවිය’ පුවත්පතට ආචාර්ය සරත් අමුණුගම සමඟ කළ සාකච්ඡාවකදි අමුණුගම මහතා ප්‍රකාශ කළේ තමා තවමත් (දසවසරකට පසුත්) ජෝති, සංස්කෘතික බලකණුවක් සේ සලකන බවය.

එසේ වුවත් මීට දෙවසරකට ඉහත (2008 සැප්තැම්බර් 02) කරු පරණවිතාන ලියූ ‘සිවුවැනි ආණ්ඩුවේ දේශපාලනය’ නම් වූ ග්‍රන්ථය දොරට වැඩීමේ උළෙල දා දේශනයකට ආ ආචාර්ය අමුණුගම තම කතාවේදී ජනපි‍්‍රය සංස්කෘතිය විවේචනය කරන ආකාරයේ ප්‍රකාශ කීපයක්ම කළේය. එහෙත් ඔහු එයින් ජෝතිපාල අරභයා තමා දැරූ ආකල්පය වෙනස් කළ බවක් ප්‍රකට නොකළේය. ඔහු කී දේ නිශ්චිතව දැක්වීමට මෙහිදී අපහසු වුවත් ඔහු කීවේ මෙවැන්නක් බව නම් පැහැදිලිය.

”ජනපි‍්‍රය සංස්කෘතියෙන් අපේ රටේ තිබෙන සම්භාව්‍ය සංස්කෘතිය යටපත් වෙන්න දෙන්න නරකයි. ජනපි‍්‍රය සංස්කෘතිය තිබිය යුතුයි. එය බැහැර කළ යුතු නැහැ.

නමුත් විනෝදාස්වාදය පිණිස ජනපි‍්‍රය සංස්කෘතියත් බුද්ධි ප්‍රබෝධය පිණිස සම්භාව්‍ය සංස්කෘතියත් සමබර ආකාරයෙන් පවත්වාගෙන යා යුතුයි.”

මේ කරුණු කෙසේ වෙතත් වසර 23 කට පසු අපට සාක්ෂාත් වන්නේ එදා මෙන්ම අදත් ජෝතිපාල සංස්කෘතික වීරයකු, සංස්කෘතික බලකණුවක් වන බවය. ආචාර්ය අමුණුගම පසුකලෙක කීවාක් සේ අප ජෝතිපාල අගය කළ යුත්තේ ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් සිංහල සුභාවිත ගීතයට ඉෂ්ට සිද්ධ කළා වූ යුග කාරක මෙහෙවරද බුහුමන් පෙරදැරි කොටගෙනය. අද අපට වුවමනා ජෝතිපාල සේම පණ්ඩිත් අමරදේවයනුත් පණ්ඩිත් අමරදේවයන් සේම ජෝතිපාල ද අගයන සංස්කෘතික සමාජ පරිසරයකි.


ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි.
ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු
webmanager@lakehouse.lk