මිල්ටන් ගැන කලාකරුවන්ගේ අදහස්
මිල්ටන් ගැන
කලාකරුවන්ගේ අදහස්

මේ මස 10 වැනි දිනට යෙදෙන ආදරණීය ගායක
මිල්ටන් මල්ලවආරච්චි ගුණානුස්මරණය නිමිත්තෙනි
පවුල හා
දරුවන් වෙනුවෙන්
වෙහෙසුණා
ප්‍රියා සූරියසේන
“මම සංගීත ක්ෂේත්‍රයට පිවිසෙන්නට වසර දෙක තුනකට පෙරාතුව තමයි මිල්ටන් මල්ලවආරච්චි
කියන අසහාය ගායකයා සංගීත ක්ෂේත්‍රයට පිවිසුණේ. ඒ 1970 දශකය ආරම්භය. මිල්ටන්ව මට
හඳුනා ගන්නට ලැබුණේ සංගීත සංදර්ශනවලදී... එක්තරා සංගීත සංදර්ශනයක දී මිල්ටන් මගේ
ගීතයක් අහලා මට සුබ පතන්න පැමිණියා.
ඔහු මට සුබපතා “ඔයාගෙ ගීත හොඳයි. ලස්සනයි, කට
හඬත් හොඳයි ඉදිරියට යන්න පුළුවන් කියලා” කිව්වා. මම දකින විදිහට මිල්ටන්
මල්ලවාරච්චි කියන ගායකයා ඉතාම නිහතමානී ගතිගුණ තිබුණු පුද්ගලයෙක්. ඔහු ඔහුගේ පවුල,
දරුවන් වෙනුවෙන් වෙහෙසුණා. යුතුකම් ඉටු කළා. ඒ වගේ ම ඔහුගේ පවුලත් මගේ පවුලත් අතර
තිබුණෙ දැඩි මිත්‍රත්ත්වයක්.
අදටත් මගේ දරුවන් සහ මිල්ටන් ගේ දරුවන් අතර ඒ මිතුදම පවතිනවා. ඔහු මට සිටි සුහද
මිතුරෙක්. ඇත්තටම මිල්ටන් කියන්නේ අපේ රටේ හිටිය වටිනා කලාකාරයෙක්. ඔහු කිසිවිටකත්
මුදල් නැති නාස්ති කළේ නැහැ. තැනකට ගියහම වුණත් ඔහුගේ හැසිරීම් රටාව ඉතාම ඉහළයි.
ගායන දිවියේ දී මට හමුවූ සුවිශේෂී මිතුරන් අතරින් අයෙක් විදිහට මිල්ටන් මල්ලවආරච්චි
කියන ආදරනීය ගායකයාට හඳුන්වන්න පුළුවන්.
සරල,
චාම් ජීවිතයක්
ගත කළා
නිහාල් නෙල්සන්
මිල්ටන් කියන්නෙ මාත් එක්ක එදා ඉඳලම එකම විදිහට වෙනස් නොවී සුහදව සිටි මිතුරෙක්. මම
සින්දු කියන්න පටන් ගත්තෙ 60 දශකයේ දී. මිල්ටන් මට අවුරුදු 10 කට පමණ පසු ඒ කියන්නේ
70 දශකයේ දී පමණ ගීත ගායනා ක්ෂේත්‍රයට යොමුවන්නේ.
මිල්ටන්ව මම හඳුනාගත්තේ සංගීත සංදර්ශනවලදීයි. එයා ඇවිත් අපිත් එක්ක සම්බන්ධ වුණා.
එතැනින් පසු අපේ ආශ්‍රය නියම සුහද මිතුරන් බවට පත් වුණා. ඔහු මිය යන තෙක් ම අපි අතර
දැඩි මිත්‍රත්වයක් තිබුණා. සරල චාම් ජීවිතයක් ගත කරපු පුද්ගලයෙක් ඔහු. විහිළු තහළු
කරමින් ජීවිතේ රස වින්ද කෙනෙක්. තමා හම්බ කරන මිල මුදල් ඉතාම අර මිල්ටන්ට
ක්ෂේත්‍රයේ සතුරන් හිටියේ නැහැ. ඔහුත් කාටවත් කරදරයක් හිරිහැරයක් නොවන පරිදි කටයුතු
කරපු සුහද මිතුරෙක්. ඒ වගේ ම හොඳ මනුෂ්‍යයෙක්, රටට සේවයක් කරපු අමරණීය කලාකරුවෙක්
කියා මට කියන්නට පුළුවන්.
මට හමුවූ විශිෂ්ටතම මිතුරෙක්
වෝල්ටර් ප්‍රනාන්දු
එම්.එස්. ප්‍රනාන්දු මගේ වැඩිමහල් සහෝදරයා. ඔහු වරක් නවලෝකෙ සංගීත සංදර්ශනයක්
සංවිධානය කළා. මමත් එයට සහභාගි වුණා. ඒ නිවේදකයෙක් විදිහට. මගේ සහෝදරයා මට කිව්වා
නවලෝකෙ එක්කෙනෙකුත් සින්දු දෙකක් කියන්න වේදිකාවට නඟිනවා. ඔහුව රසික ජනතාවට හඳුන්වා
දෙන්න කියලා. පස්සෙ මම ඒ පුද්ගලයාව වේදිකාවට හඳුන්වලා දුන්නා. නමුත් මට ඔහු ගැන
වැඩි මතකයක් තිබ්බෙ නැහැ. ඔහු හින්දි සින්දු 2 ක් කියල වේදිකාවෙන් බහින්න හදනකොට
රසික ජනතාව කෑගහන්න ගත්තා තවත් සින්දු කියන්න කියලා. ඒ අනුව ඔහු හින්දි ගීත 4 ක් ම
ගායනා කළා.
කොහොම හරි විහාරමහාදේවි එකේ සංගීත ප්‍රසංගයක් තිබුණා. මමත් එයට සහභාගි
වුණා. කරුණාරත්න අබේසේකර තමයි එහි නිවේදන කටයුතු කළේ. මම දැක්කා එදා නවලෝක
ප්‍රසංගයේදී මම වේදිකාවට ගෙන ආපු තරුණයාත් පැමිණ සිටිනවා. මිල්ටන් මල්ලවආරච්චි කියන
නම ඒ වෙනකොට මම අහල තිබුණත් රූපයෙන් ඔහුව හඳුනගෙන හිටියෙ නැහැ. එවිටම කරු අයියා
මිල්ටන්ව වේදිකාවට කැදෙව්වා. බලනකොට මිල්ටන් කියන්නේ නවලෝකෙ ප්‍රසංගයේදී මට හමුවූ ඒ
තරුණ ගායකයා.එතැන් සිට ඔහුත් මාත් අතර දැඩි මිතුදමක් ඇති වුණා. මිල්ටන් හුඟාක් මට
උදව් කළා.
මගේ නිවෙස හදන කොට ඒ කාලෙ මට රුපියල් හත්දාස් පන්සියයක පමණ මුදලක් අවශ්‍ය
වුණා බඩු වගයක් මිල දී ගන්න. ඒ අවස්ථාවේ මිල්ටන් ඇවිත් මට ඒ මුදල ලබාදුන්නා. ඒ වගේ
ශ්‍රේෂ්ඨ ගතිගුණ මිල්ටන්ට තිබුණා. මගේ 45 වසක් පමණ වන සංගීත ජීවිතයෙන් මට හමු වූ
විශිෂ්ටතම මිතුරන් අතරින් කෙනෙක් තමයි මිල්ටන් මල්ලවආරච්චි.
පණ වුණත් දෙන
මිතුරෙක් මිල්ටන්
වර්නන් පෙරේරා
මිල්ටන් මම හඳුනන්නේ ඔහු ගායන ක්ෂේත්‍රයට පිවිසෙන්නටත් පෙර සිට. මොකද අපි දෙන්නම
පදිංචි වෙලා හිටියේ පිටකෝට්ටේ. පාසල් ගියේ ආනන්ද ශාස්ත්‍රාලයට. අපේ තරුණ අවධියේ
තරුණයන් වේට්ස් කරන්න ආසා කළා. අපිත් කොන්ක්‍රීට්වලින් ඒ උපකරණ හදාගෙන ව්‍යායාම්
කළා. මිල්ටනුත් අපිත් එක්ක හිටියා. මිල්ටන් ඒ කාලෙ ඉඳලම හින්දි ගීත ගායනා කරනවා.
පැරැණි ඩොලැක්කියක් ගහමින් මොහොමඩ් රාෆි ගේ ගීත ගායනයට මිල්ටන් ආසා කළා. මේ ගායන
හැකියාව දැක්ක ‘ලා සිලනියන්ස්’ බෑන්ඩ් එකේ නායක නොයෙල් රණසිංහ මහත්මයා මිල්ටන්ව එයට
සම්බන්ධ කරගත්තා. මෙහෙම ඉන්න අතරෙ මිල්ටන් ගමේ මඟුල් ගෙවල්වල සින්දු කිව්වා.
පසුව තැටිගත කිරීමක් කරන්න සරසවි ශබ්දාගාරයට ගිය අවස්ථාවේ මිල්ටන් ගේ ගායන හැකියාව
දැකපු පැට්රික් කොරේරා මිල්ටන් ගේ ගීත 4 ක් තැටි ගත කරන්න කටයුතු කළා. ඔරුවක
පාවෙන..., මධු මල ලෙස... වගේ ගීත 4 ක් තැටිගත කළා. දවසින් ඒ ගීත රසිකයින් අතර
ජනප්‍රිය වුණා. ඒ ජනප්‍රියත්වය අදටත් එහෙමමයි. හොඳ හදවතක් තිබුණු කලාකරුවෙක් තමයි
මිල්ටන් මල්ලවආරච්චි. ඔහු තමන්ගෙ මිතුරන්ට පණ වුණත් දෙන හිතවතෙක්.
මේ වගේ අසහාය ගායකයකු ගැන මාධ්‍ය මඟින් හෝ රසිකයන් අතර මේ වගේ ඔහු ගැන මතකය අවධි
කරන එක ගැන අපිට ආඩම්බරයක්.
ලොකු පොඩි කාටත්
එක වගේ සැලකුවා
ඉන්ද්‍රානි පෙරේරා
මිල්ටන් මල්ලවආරච්චි මම හඳුනාගත්තේ ඔහු එතරම්ම ජනප්‍රිය නැති කාලෙක. ඔහු ඔහුගේ පළමු
සංගීත තැටිය කරපු වෙලාවේ එහි පිටපතක් මටත් ගෙනැවිත් දුන්නා. මට මතකයි මමයි නංගියි
මුළු දවසම ඒ ගීත ඇහුවා. එතරම්ම ලස්සනයි. ඒ සින්දු ලංකාවෙම ජනප්‍රිය වුණා. ඔහු
ලංකාවේ නොම්බර එකේ ගායකයකු බවට පත් වුණා. ඔහු හුඟක් ගායනා කළේ ප්‍රේම ගීත. තරුණ
තරුණියන් අතර ඒවා බොහොම ජනප්‍රියයි. මිල්ටන්ගේ පෞද්ගලික ජීවිතය ගත්තොත් ඔහු ඉතාම
හොඳ පවුල් ජීවිතයක් ගත කළා. ඔහුගේ දරුවන් හොඳම පාසල්වලට යවා ඉගැන්නුවා. වෙන
ගායකයෙක් මිය ගියාම ඔහුගේ පවුලේ උදවිය බොහෝ අසරණ වෙනවා.
නමුත් මිල්ටන් තමන්ගේ පවුලේ
අයට ඔහු නැහැයි කියලා කාටවත් අතපාන්න ඉඩ තිබ්බේ නැහැ. ඔහු තමන්ගේ බිරිඳට, දරුවන්ට
යමක් ඉතුරු කළා. සමාජයේ වැදගත් විදිහට දිවිගෙවන්න මඟ සැලසුවා. ඒ තරමට ඔහු අනාගතය
ගැන කල්පනාකාරීව වැඩ කළ පුද්ගලයෙක්. ඉතාම මිහිරි හඬක් තිබූ දක්ෂ ගායකයෙක්. ඒ වගේ ම
අපි රෑ සංගීත සංදර්ශනවලට ගිහින් එනකොට ඔහු ඉතා මිහිරිව පිරිත් කියනවා. අහන් ඉන්න
ආසයි. ඉතාම නිහතමානී ලොකු පොඩි කාටත් එකවගේ සැලකූ උතුම් මිනිසෙක් මිල්ටන්
මල්ලවආරච්චි කියන්නේ.”
සංගීත ක්ෂේත්‍රයට ආවේ
‘ලා සිලනියන්ස්’ හරහා
නොයෙල් රණසිංහ
අපි පදිංචිව හිටියේ පිටකෝට්ටේ. මිල්ටන් මල්ලවආරච්චි මාත් එක්ක තමයි ගායනා
ක්ෂේත්‍රයට අවතීර්ණ වුණේ. ඒ මම ආරම්භ කරපු ‘ලා සිලනියන්ස්’ සංගීත කණ්ඩායම හරහා.
මිල්ටන්ට ඉතා ලස්සන කටහඬක් තිබුණා. ඔහුට හොඳින් හින්දි සින්දු කියන්න පුළුවන්කම
තිබුණා. මේ නිසා මම ඔහුට ආරාධනා කළා අපිත් එක්ක එකතු වෙලා සින්දු කියන්න එන්න
කැමැති නැත්ද කියලා. ඔහු මගේ ආරාධනාවට අනුව අපිත් එක්ක එකතු වුණා. කොහොම හරි අපේ
බෑන්ඩ් එකේ පටිගත කිරීමක් සරසවි ශබ්දාගාරයේ තිබුණා. එහිදී සින්දු 4 ක් පටිගත කළා.
‘දහදුක විඳලා’, ‘තරුණ ජීවිතේ අපේ’, ‘හොයියා හෝයියා’ වැනි ගීත හතරක් පටිගත කළා.
එහිදී ‘හොයියා හෝයියා...’ ගීතය පැය තුනක් පටිගත කරන්න වුණා. මගේ උගුර බැරැන්ඩි
වුණා. එයින් මිල්ටන්ට අවස්ථාව උදා වුණා ඒ ගීතයේ කොටසක් ගායනා කරන්නට, අපේ ගීත
අහගෙන හිටියා ඒ කාලෙ ජනප්‍රිය සංගීත අධ්‍යක්ෂකවරුන් කීප දෙනෙක්ම ෆැට්රික් කොරේරා
මහත්මයා මිල්ටන් ගේ කට හඬ අහලා සන්තෝෂ වෙලා මිල්ටන් ගේ ගීත හතරක් පටිගත කළා. ඒවා
ඉතා ජනප්‍රිය වුණා. පසුව ලංකාවේ අංක එකේ ගායකයෙක් බවට මිල්ටන්ට පත්වන්නට අවස්ථාව
ලැබුණා.
|