සීල්වීම

 
 

එජාපයට ෆොන්සේකා තහනම්!

 
 

කෝ අර වෙබ් අඩවි?

 
 

මෙවර නුවරඑළිය දිනනවා

 
 

අපේ ජනාධිපතිතුමා හමුවන්න සචින් තෙන්ඩුල්කාර් හදිසියේම ආවේ ඇයි

 
 

ශ්‍රී ලංකා ටෙලිකොම් අලෙවි නියෝජිතයන්ට සම්මාන

 
 

එකම විදුහලේ අවුරුදු 22ක්ම විදුහල්පති ධුරය දැරුවා

 
 

රියැලිටි වැඩසටහන් නිසා නවකයන් අතරමං වෙනවා

 
 

නව යුගයක් කරා යන ගමනට කාන්තාව ද දායක කර ගනිමු

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

අපේ තාත්තා කොහේ හරි ඇති...

තාත්තා නැති වෙන්න කලින් මා දිහා බලාගෙන හුඟාක් හැඬුවා

තාත්තා නැති වෙන්න කලින්
මා දිහා බලාගෙන හුඟාක් හැඬුවා

මිල්ටන් ගේ ආදරණීය දියණිය හර්ෂණී මල්ලවආරච්චි

හෙමින් සැරේ පා නඟනා
දුවේ හර්ෂණි
සිනා සිසී දඟකරනා
දුවේ හර්ෂණී.......

මිල්ටන් මල්ලවාරච්චි ගායනා කළ මේ ගීතය අදටත් බෙහෙවින් ජනප්‍රියයි. ඔහු එදා මේ ගීතය ගායනා කළේ ඔහුගේ දෙවැනි දියණිය හර්ෂණී වෙනුවෙන්. අද ඇය විවාහ වී දරු සුරතල් බලන කාන්තාවක්.

මිල්ටන් මියගොස් පුරා වසර 12ක් ගෙවෙන මේ මොහොතේ අපේ කතාබහට සිය පියාගේ ආදරණීය මතක එක්කරන්නට හර්ෂණී මල්ලවආරච්චි එකතු කරගත්තා.

“තාත්තා ගත කරපු අවිවේකි ජීවිතේ නිසා අපේ පස්සෙන්ම ඉඳගෙන අපේ දේවල් කරන්න ඉඩක් නැති වුණත්, දරුවන්ගේ හැම දෙයක් ගැනම ඉතාම උනන්දුවෙන් ඔහු හොයලා බැලුවා. ගෙදර වගකීම් ඔක්කොම පැවරුණේ අම්මට. ඒ වුණාට ඒ වගකීම් කරන්න සියලු පහසුකම් අම්මට තාත්තා සලසලා තිබුණා.

සංගීත සංදර්ශනයක් නැතිනම් තාත්තා වැඩිපුරම කැමැති වුණේ ගෙදර ඉන්න. ගෙදර හිටියත් තාත්තා වැඩියෙන් කතා බහ කරන කෙනෙක් නොවෙයි. හරිම නිශ්ශබ්දයි. විශේෂයෙන්ම කරන්නේ රූපවාහිනිය නරඹන එක තමයි. ඊට අමතරව ක්‍රිකට් මැච් තිබුණොත් බලනවා. කොච්චර සින්දු කියපු කෙනෙක් වුණත් ඔහු ගෙදරදි නිකමටවත් සින්දු අහපු හෝ කියපු කෙනෙක් නොවෙයි. ඇහුවොත් අහන්නේ පැරණිම හින්දි ගීතයක් විතරයි. මිමුණුවොත් මුමුණන්නේ පැරණි හින්දි ගීතයක් විතරයි.

තාත්තා නිතරම ගෙදර ඉන්න කැමැති වුණු කෙනෙක්. එයාගේ ලෝකේ වුණේ බිරිඳ, දරුවන් සහ පවුල. තාත්තා විවාහ වුණාට පස්සේ සංගීත සංදර්ශනවලටත් ගියේ අම්මත් එක්ක. අපිට මතකයි අපි ලැබුණට පස්සේ ක්ලැරන්ස් අංකල්ලා කට්ටියම එක්ක එකට සංගීත සංදර්ශනවලට ගියා.

ඒ යනකොට අපි සංගීත සංදර්ශනේ තිබෙන තැන ළඟම තියන හෝටලයට බස්සලා තාත්තා සින්දු කියලා එනවා. මට මතක ඇති කාලෙක පටන් තාත්තා තනියම කොහෙවත් ගියේ නෑ. වැඩිය එළියට පහළියට තනියම යන්න කැමැති නොවුණේ ආඩම්බරකමකට නොවෙයි.

තාත්තාගේ නිහඬ බව වගේම ඔහු වැඩි කලබලයක් නැති කෙනෙක්. අපි හතර දෙනා පුංචි කාලේ රණ්ඩු සරුවල් කළත් තාත්තා ටික දවසක් ඉවසීමෙන් බලන් ඉන්නවා. ටික දවසක් බලල තමයි දඬුවම් දෙන්නෙත්. අයියා රනිල් තමයි වැඩියෙන්ම දඟ. එයා තමයි වැඩියෙන්ම තාත්තගෙන් දඬුවම් විඳලා ඇත්තේ.

දරුවන් හතර දෙනාටම තාත්තා එක වගේ ආදරේ කළා. අපිට කිසි අඩුපාඩුවක් තිබ්බෙ නෑ. තාත්තා කවදාවත් පිටරට ගියේ නැතිවුණාට අපිව පිටරට යැව්වා. තාත්තා නැති වෙනකොට මල්ලිට අවු. 16 යි. එයාට තමයි අපි වින්ද හැම සැප සම්පතක්ම ටිකක් හරි අඩුවුණේ. රනිල් අයියයි, මමයි, නදීජා නංගියි, තාරක මල්ලියි අම්මයි තාත්තයි එක්ක ඒ ගතකරපු ජීවිතේ හරිම සුන්දරයි. ඒක කවදාවත් අපට අමතක කරන්න බැරිවේවි.

තාත්තා නැතිවෙනකොට අපි කවුරුවත් විවාහ වෙලා හිටියේ නෑ. අයියටයි මටයි දෙන්නටම පේ‍්‍රම සම්බන්ධතා තිබුණා. තාත්තා ඒ අයව ගෙන්නලා කතා බහ කරලා තිබුණේ. ඒ අතරේ තමයි තාත්තා අසනීප වුණේ. ඒ කාලේ එයාට උවමනාව තිබුණා මගේ විවාහය ඉක්මනට කරන්න. නමුත් ඒකට හැකියාව ලැබුණේ නෑ.

තාත්තයි - අම්මයි දෙන්නා විවාහ වුණේ පේ‍්‍රම සම්බන්ධතාවයකින්. මිය යන තුරුම ඒ දෙන්නා හරිම ආදරෙන් ජීවත් වුණා. අපේ අම්මාට ගෙදර වගකීම් ගොඩාක් තිබුණා. දරුවන් හතර දෙනෙක් එක්ක ලොකු වගකීමක්. අම්මා ඒවා ඉවසීමෙන් කරගෙන හිටියා. තාත්තගේ ජීවිතේට අපේ අම්මා ලොකු ශක්තියක් වුණා.

අසනීප වුණු කාලෙවත් තාත්තා ළඟින් අම්මා හෙළවුණේවත් නෑ. ධ්ඛ්උ එකේ ඉන්දැද්දිත් ළඟ හිටියා. ඒ වගේම තාත්තා නැතිවෙලා අවුරුදු 12 ක් ගිහිල්ලත් එදා තාත්තා ඉන්නවටත් වැඩිය අද අපේ අම්ම ගැනත් අපි ගැනත් හොයලා බලන කෙනෙක් ඉන්නවා. ඒ ජයන්ත ධර්මදාස මහතාත්, එතුමාගේ අක්කා වන මාලිනි කරුණාරත්න ඇන්ටිත්. එදා වගේම මාලිනි ඇන්ටි අපේ අම්ම ළඟින්ම ඉන්නවා. අදටත් අම්මා ලංකාවට ආවම මාලිනි ඇන්ටිත් එක්ක ඉන්නේ.

තාත්තා කිසි දවසක කනගාටුවෙන් හිටිය කෙනෙක් නොවෙයි. ආගම දහමට බොහොම ළැදිව හිටපු කෙනෙක්. උදේට මල් පූජා කරලා බුදුන් වැඳලා එයාගේ අම්මගේ ඡායාරූපයට වැඳලා තමයි දවස පටන් ගත්තේ. මොනම හේතුවකටවත් එයාට අම්මට වඳින එක අමතක වුණේ නෑ. ඒ ගුණ දහම් ඔක්කොම අපි පුරුදු වුණේ අපේ තාත්තගෙන්. තාත්තගේ අම්මා සිහි කරලා හැම මාසෙකම අපේ ගෙදර දානයක් දුන්නා. අවුරුදු විසි ගණනක් ගියාට පස්සෙ දවසක් සෝම හාමුදුරුවෝ කිව්වා ‘මිල්ටන් අවුරුද්දකට සැරයක් දානයක් දුන්නම ඇති.

මාසයක් ගානේ ඔය වැඩේ කරන්න එපා කියලා. ඊට පස්සෙ තමයි අවුරුද්දකට වතාවක් දානයක් දෙන්න පටන් ගත්තේ. අද අපිත් හැම අවුරුද්දකම තාත්තා සිහි කරලා දානයක් දෙනවා.

මගේ හිතේ අදටත් තාත්තගේ මතකය අවසන් ඡායාව විදියට රැඳිලා තියෙන්නේ තාත්තා ඉස්පිරිතාලේ ඉන්න දවසක. ඒ කියන්නේ මිය යන්න දවසකට ඉහතදී හවස 5.00 ට විතර මට කතා කළා. එතකොට තාත්තට කතා කරන්න අපහසුයි. උගුරට බටයක් දාලා තිබුණේ. මම ළඟට ගියාම තාත්තා අඬ අඬා මගේ දිහා බලන් හිටියා. මම ජීවිතේටම තාත්තා අඬනව දැක්කේ එදායි. එදා පාන්දර 6.00 ට තාත්තා නැති වුණා.

තාත්තගේ දුව හැටියට මට මේ වෙලාවේ මේ ටිකත් කියන්න ඕන. අපේ තාත්තගේ දරුවන් හැටිය ඉපදෙන්න අපි හතර දෙනාම වාසනාවන්තයෝ. ඒත් තාත්තා එක්ක බොහෝ කාලයක් ජීවත්වෙන්න ඒ ආදරේ විඳගන්න නොලැබුණ එක අපේ අවාසනාව. නමුත් තාත්තා එක්ක ගත කරපු ඒ සුන්දර අතීතය අපි මිය යන තෙක්ම හැමදාම අලුත් වෙවී අපේ හදවත්වල තිබේවි. හැම ආත්මයකම තාත්තගේ ඒ ආදරය සෙනෙහස විඳින්න, ඔහු අපේම තාත්තා වෙන්න ඕන.