සීල්වීම

 
 

එජාපයට ෆොන්සේකා තහනම්!

 
 

කෝ අර වෙබ් අඩවි?

 
 

මෙවර නුවරඑළිය දිනනවා

 
 

අපේ ජනාධිපතිතුමා හමුවන්න සචින් තෙන්ඩුල්කාර් හදිසියේම ආවේ ඇයි

 
 

ශ්‍රී ලංකා ටෙලිකොම් අලෙවි නියෝජිතයන්ට සම්මාන

 
 

එකම විදුහලේ අවුරුදු 22ක්ම විදුහල්පති ධුරය දැරුවා

 
 

රියැලිටි වැඩසටහන් නිසා නවකයන් අතරමං වෙනවා

 
 

නව යුගයක් කරා යන ගමනට කාන්තාව ද දායක කර ගනිමු

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

අපේ තාත්තා කොහේ හරි ඇති...

ඔබ පැමිණී ඔබම ගියා නැවතුණු තැන අපි ඉන්නම්.....

ඔබ පැමිණී ඔබම ගියා නැවතුණු තැන අපි ඉන්නම්.....

ඒ හැටේ දශකයේ අග භාගයයි. පෞද්ගලිකව ගත් විට මා ළමා වියත් – තරුණ වියත් අතර ගෙවූ රාස්සිගෙ අව්ව වන් වූ යුගයයි. වෙනත් විදියකට කියන්නේ නම් භද්‍ර යෞවනයේ අතිශය චමත්කාරජනක කාල පරිච්ඡේදයයි.

කරුණාසේන ජයලත්ගේ ‘ගොළු හදවත’ නවකතාව හත් අට වතාවක් කියවා ‘ආදරය’ නම් වූ හැඟීම්බර සංකල්පනාවෙන් භාවමය ජීවිතය විචිත්‍රව තිබියදී උතුරා යන ජීවයෙන් යුතු අලුත් තරුණ කටහඬක් ගුවන් විදුලියේ වෙළෙඳ සේවය ඔස්සේ අපට ඇසුණේය.

”මධුමල ලෙස මුදු
මගේ පි‍්‍රයාදර
මිහිරාවිය වෙතටයි!
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි”

මා නියෝජනය කළ භද්‍ර යෞවනයේ සිටි පරම්පරාව ඒ මධුරතර කටහඬ විසින් දැඩිව ග්‍රහණය කර ගන්නා ලදී. මා මිල්ටන් මල්ලවආරච්චි මුලින්ම හඳුනා ගත්තේ ඒ ආකාරයටය.

එදා මෙදා තුර මා අමන්දානන්දයට පත්කළ ප්‍රේම ගීතය “මධුමල” යි. පසුගිය දිනෙක එක්තරා පෞද්ගලික ගුවන්විදුලි සේවාවක් මගේ පි‍්‍රයතම ගීතය කුමක්දැයි විමසුවේය. මා කීවේ ‘මධුමල’ ගීතය බවය. එතරම් මා හද සතපවා ලූ මා හද සනසා ලූ ගීයක් තවත් නොමැත. මා අසා ඇති පරිදි මිල්ටන්ගේ ද පි‍්‍රයතම ගීතය වූයේ මෙයයි.

කරුණාරත්න අබේසේකරගේ කෝමළත්වයෙන් යුතු පද සංකල්පනාවට අමයුරු තනුවක් නිර්මාණය කර තිබුණේ මොහොමඩ් සාලිය.

මිල්ටන් මුලින්ම හර්බට් රංජිත් පීරිස්ගේ් නායකත්වයෙන් යුතු ‘ශාක්‍යයන්ස්’ සංගීත කණ්ඩායමටත් නොයෙල් බී. පෙරේරාගේ ‘ලා සිලනියන්ස්’ සංගීත කණ්ඩායමටත් සම්බන්ධව සිටියේය. ලා සිලනියන්ස් හී ‘හෝයියා හෝයියා’, ‘දහදුක විඳලා දරු හදලා’ යන ගීවල සහාය ගායනය මිල්ටන් ගෙනි.

’පිලිප්ස්’ ලේබලය යටතේ තැටියට නැඟුණු මිල්ටන්ගේ මුල්ම ගීත හතර වූයේ ‘ඔරුවක පාවෙන’, ‘මංගලේ නෙත් මංගලේ’, ‘රන්කූඩුව ඔබ සෑදු’, ‘සංසාර සෙවණැල්ල’ ය. කරුණාරත්න අබේසේකර එම ගී හතරම ලියා තිබූ අතර මොහොමඩ් සාලි ඒවා ගී තනු යොදා සංගීතවත් කර තිබිණි.

මිල්ටන් ගේ තවත් අපූර්ව ගීත රැසක් ඒ සමයේදීම හෝ ඊට තදාසන්නව අපට ඇසුණේය. කරුණාරත්න අබේසේකර ලියූ ‘පායා ආ සඳ’, ‘ගමනේ් ගිම් නිවූ එදා’, ‘ලොව සැතපෙන යාමේ’, ‘ඈත එපිට දුර ආකාසේ’, ‘මා නෙත් කැදැල්ලේ’, ‘සිතුම් පැතුම් පොදි ආදරේ’, කේ.ඩී.කේ. ධර්මවර්ධන ලියූ ‘සිහිනෙන් ඔබ මට’, ‘මා හා එදා පිය සාදයේ’, ‘මඟතොට දී හමුවෙද්දී’, ‘ඔබ වෙනුවෙන් මා’, ‘ප්‍රේමකීර්ති ද අල්විස් ලියූ ‘එදා රෑ ගුවන් තොටුපොළේ දී මා’, ‘අවසර නැත මට ඔබෙ අත ගන්නට’ වැනි ගීත මේ අවස්ථාවේදී මා සිහියට නැගෙන්නේ නිතැතිනි. මා කලින් ද කී පරිදි කරුණාසේන ජයලත්ගෙ පෙම් කතා කියවා ජීවිතයට අලුත් අත්දැකීමක් වූ ‘ආදරය’ තවදුරටත් කාල්පනිකව විඳගත්තේ මිල්ටන්ගේ ළයාන්විත ගී හඬෙනි. කොටින්ම කිවහොත් අපේ පරම්පරාවේ එක්තරා භාව ප්‍රකාශකයකු වූයේ මිල්ටන් යැයි කීම අතිශයෝක්තියක් කර නොගත යුත්තකි.

මිල්ටන් පුතු සමඟ

ප්‍රේම විරහ ගී තුළින් මිල්ටන් හෙළි කළේ ස්වකීය වැලපෙන ආධ්‍යාත්මයම බව අපට පසක් වූයේ වයසින් තරමක් වැඩෙද්දීය. මා අසා ඇති පරිදි මිල්ටන් එක්තරා වෙළෙඳ ආයතනයක සේවය කරද්දී එම ආයතනයේ හිමිකරුගේ දියණිය හා පෙමින් බැඳි ඇත. නමුත් චේතනා කෙතරම් පරිශුද්ධ වූවත් පෙම් සටන පරදින අවස්ථා ද ජීවිතයේ ඉඳහිට දක්නා ලැබේ. ඔවුන්ගේ ආදරයේ දුෂ්ටයා වූයේ පන්ති භේදයයි. මිල්ටන් අතමිට හිඟ තරුණයෙක් වූයේය. ඇය සදළුතලේ විසූ කුමාරිකාවකි. ඇයට මිල්ටන් හා අතිනත ගන්ට ඇගේ දෙමව්පියෝ ඉඩ නොතැබූහ.

අවසර නැත මට ඔබෙ අත ගන්නට
බැමි බැඳ ඇත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමිකර ගනිමි ළඳේ

මිල්ටන් මේ ගීයට නගන්නේ තමාගේ හඬා වැටෙන ආධ්‍යාත්මය නොවන්නේද?

මිල්ටන් ගේ ආදරණීය බිරිඳ ස්වර්ණා මේ ප්‍රේම සම්බන්ධය පිළිබඳ කතා පුවත තරයේ ප්‍රතික්‍ෂේප කරයි. ඇය වරක් ‘බිරිඳ’ පුවත්පතට මෙසේ කියා තිබුණේය. “තරුණ කාලෙදි එයා කාටහරි මට කලින් ප්‍රේම කරලා ඒක විනාශ වෙලා තියෙන්න ඇති.” (බිරිඳ 1994 සැප්තැම්බර් 26 කලාපය)

අප ඉහත සඳහන් කළේ අප ද අසා ඇති කතාවක් විනා එම කතාවේ සත්‍ය අසත්‍යතාව පිළිබඳ අපට සාක්‍ෂි දෙත නොහැකිය.

කෙසේ වෙතත් මිල්ටන් 1973 දී ස්වර්ණා මාලති හා විවාහ වූයේය. නමුත් අවසන් හුස්ම පොද හෙළන තුරුම ඔහුගේ සිතේ මනෝරම්‍ය බිතුසිතුවමක් සේ රැඳුණේ කුලුදුල් පෙම්වතියගේ ඡායාව යැයි මට සිතේ. මිල්ටන් අසීමිත ලෙස මධුවිතට ඇබ්බැහි වූයේය. ඔහු අකාලයේ මිය යන්නට හේතුවක් වූ බව මා අසා ඇත. ඔහුගේ ජීවිතය දවා අළු කළේ විෂම සමාජ ක්‍රමයේ වරදක් වන දුෂ්ට පන්ති භේදය නොවන්නේද? මුදල් පමණක් ජීවිතය කොට තැකූ ගතානුගතික ධන හිමි පන්තිය නොවන්නේද?

”ඔබ පැමිණි ඔබම ගියා
නැවතුණු තැන මම ඉන්නම්
මගෙ සහයෝගය පතන වෙලාවට
කොහෙ සිට හෝ යළි එන්නම්”

මිල්ටන් ඒ නැවතුණු තැන සිට මිය යන තෙක්ම විරහ ගී ගැයුවේය. එය ඔහුගේ වැලපෙන ආත්මයේ ළසෝ ගීතය වූයේය.

මිල්ටන් තම බිරිය ස්වර්ණා වෙනුවෙන්ද ගීතයක් ගායනා කර ඇත. ඒ ‘ඈත එපිට දුර ආකාසේ’ ගීතයයි.

’ඈත එපිට දුර ආකාසේ
වලාකුළුවලින් රිදී – වලා එබිලා ඇදී
ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ’

මෙරට කැසට් ගීත කලාවේ සමාරම්භකයා මිල්ටන් ය. ලංකාවේ මුල්ම කැසට්පටය වන්නේ විජය රාමනායක ‘තරංගා’ ලේබලය යටතේ නිර්මාණය කළ ‘එනි ටයිම් එනි වෙයාර්’ ය. ඊට මිල්ටන්ගේ ගීත 12 ක් ඇතුළත් වූයේය. පසුව ‘සඳෙන් එහා’ නමින් නැවත නිෂ්පාදනය වූයේ ද එම කැසට් පටයයි.

මිල්ටන් ජීවිතක්‍ෂයට පත් වූයේ අධික බීමත්කමෙන් යැයි කීම එක අතකට අර්ධ සත්‍යයකි. එනම් එහි සියයට පනහක් ඇත්තය. සියයට පනහක් බොරුය. ඔහු කාලයක් එක දිගටම සිහි නැතිවෙන තුරුම බිව්වේය. ඒ බව ඔහුගේ බිරිඳ ස්වර්ණා පිළිගනී.

”එයා බීපු තරම ගැන නම් කියන්න බැහැ. බීම කොයි තරම් ද කියනවා නම් අවුරුදු හතරක්ම ඉස්පිරිතාලේ හිටියා.” (බිරිඳ පුවත්පත – 1994 සැප්තැම්බර් 26 කලාපය)

කෙසේ වෙතත් මිල්ටන් තම ජීවිත කාලයේ අවසාන භාගයේ එයින් වැළකී සිටියේය. ඒ වෛද්‍ය උපදෙස් මතය. ඔහුගේ ලේවල සීනි අඩු වැඩි වීම් (බ්ලඩ් ෂුගර්) තිබූ බැවින් ඔහු බීමට කෙතරම් ඇබ්බැහි වූවත් අකැමැත්තෙන් හෝ තමාට අතීතය මඳකට හෝ අමතක කර වූ මත්පැනින් වියුක්ත වූයේය.

මිල්ටන්ගේ ගීත ගාම්භීරාර්ථයන්ගෙන් තොර හුදු බොළඳ ප්‍රේම විරහාලාප බව සැබෑය. එහෙත් අනුරතිය තුළ කිසියම් ප්‍රමාණයක බොළඳ බවත් උද්ධරණය නොවන්නේද? ළපටි පෙම්කතා - මෝරපු පෙම් කතා කියා දෙවර්ගයක් සාහිත්‍ය කලාවේ නොමැති බව වරක් මා හා කියා සිටියේ කෘතහස්ත ලේඛක සෝමවීර සේනානායකයන්ය. කෙසේ වෙතත් වයසින් වියපත්ව සිටියත් පෞද්ගලිකව මම ද ඒ බොළඳත්වයට කැමැත්තෙමි.

මිල්ටන් විවාහ වූ දා – වමේ සිට කේ.ඩී.කේ. ධර්මවර්ධන, බණ්ඩාර කේ. විජේතුංග, වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක, එම්.එස්. ප්‍රනාන්දු, ජේ.ඒ. මිල්ටන් පෙරේරා.

අපට ජීවිතාභිරමණය කිරීමට ඒ බොළඳත්වයත් අවශ්‍යය. “නැත ලොවේ අන් රසඳුනා ආදරේ සුව සුවදෙනා” යැයි මහඇදුරු සරච්චන්ද්‍රයෝ ‘සිංහබාහු’ නාටකයේදී සුප්පාදේවි ලවා ප්‍රකාශමාන කරති. ඒ සුවදෙන ප්‍රේමයෙන් හද ඔකඳ කරවන්නේ පුංචි පහේ බොළඳත්වයකුත් ඊට මුසුවූ කල්හිය.

ආදරය සම්බන්ධයෙන් ගත් කල්හි මිල්ටන් වැඩි වශයෙන්ම වස්තු විෂයය කර ගත්තේ අපේ භාවමය ජීවිතය දැදුරු කරවන විරහවත් අත්දැකීම්ය. උදාහරණ වශයෙන් ගී ඛණ්ඩ දෙකක් පමණක් මෙහිලා බහාලමි.

මුලදි වුණේ මුළාවයි
වැරැදීම මා අතේමයි
නොසැලී බලා එදා මෙන්
හිඳිමී ඔබේම නාමෙන්

***

මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා
වැටහෙන්නේ බැන්ද ආදරේ
සෝක වේදනා
ඝන අන්ධකාරයේ පාළුවේ කිමිදුණා
තනිවූයේ ඔබ නොවේ මා පවා තනිවුණා

ප්‍රේමය විෂයෙහි එබඳු සංවේදනා විඳ ඇති ප්‍රේමාතුරයන්ට මෙවන් ගී ඔවුන්ගේ භාවමය ජීවිතයට ගෙන එන්නේ වේදනාබර මිහිරියාවක් නොවන්නේද?

පෞද්ගලිකව ගත් විට මගේ පි‍්‍රයතම ගායකයා වන්නේ එච්.ආර්. ජෝතිපාලය. ජෝති වැනි ගායකයකු අපේ රටේ නොඉපදුණා නම් මගේ පි‍්‍රයතම ගායකයා වන්නේ මිල්ටන් ය. මිල්ටන් ගේ කටහඬට සුනිල් ශාන්ත වැනි දැවැන්ත ගායකයන්, සංගීතඥයන් ද පවා පි‍්‍රය කළ බව සමහර විට ඇතමුන් නොදන්නා කරුණක් විය හැකිය.

සුනිල් ශාන්තයන්ට වරක් ගුවන් විදුලි කාර්යාලයේ දී මිල්ටන්ගේ ගීතයක් අසන්ට ලැබිණි. ඔහු එම අවස්ථාවේ එතැන සිටි ගායක ෆීලික්ස් ඇන්ටන් මෙසේ කියා ඇත. “මම හරි කැමැතියි මේ මනුස්සයාගෙ සින්දුවලට. මෙයා සින්දු කියන්නෙ හදවතින්. හරියට ජිම් රිව්ස් වගෙ.

මිල්ටන්ගේ ගීත බොහොමයක් තනු නිර්මාණය කොට සංගීතවත් කළේ මොහොමඩ් සාලි, එම්.කේ. රොක්සාමි, පැට්රික් දෙනිපිටිය හා ක්ලැරන්ස් විජේවර්ධනය. ප්‍රේමය පිළිබඳ රසාලිප්ත සංකල්පනාවන්ට වඩාත් තීව්‍ර කරවන්නා වූ අභිරම්‍යවත් නාද රටාවන් මෙම ගීතවලට උපයුක්ත කොට ගැනිණි. “මධුමල ලෙස මුදු මගේ පි‍්‍රයාදර මිහිරාවිය වෙතටයි” ගීතය අරන් බලන්න.

ඒ සඳහා මොහොමඩ් සාලි භාවිතා කොට ගත් තනුව ගීතයේ ව්‍යාංගාරුත් තව තවත් කුළුගන්වන සුලු කමනීය එකකි. මිල්ටන්ගේ ගීත කිසිවක් හින්දි ගී තනු අනුකරණ නොවීම ද විශේෂත්වයකි. හින්දි චිත්‍රපට සංගීතයේ දැවැන්ත බලපෑම විශේෂයෙන් නෞෂාඩ් අලිගෙ බලපෑම එවක මෙරට සංගීත ක්‍ෂේත්‍රයේ දැඩිව පැතිර පවතිද්දී ඒ රැල්ල ස්වතන්ත්‍ර මඟකට යොමු කිරීමට වික්ටර්, සනත් මෙන්ම මිල්ටන් ද නිර්මාණශීලීව දායාද වූ බව කිවයුත්තේ ඔවුන්ට කෘතඥතා පූර්වකවය.

මිල්ටන් ගේ මියුරු ගී හඬට වශීකෘත වූයේ හුදෙක් අපේ පරම්පරාව පමණක් නොවේ.

ඇතැම් විට එදා පෙම්වතුන් වූ අපේ පරපුරේ අය පසුව විවාහ වී දරුමල්ලන් ද ලද කල්හි යොවුන් වියේ පෙම්වතුන් වූ ඒ දරුමල්ලන්ද මිල්ටන්ගේ ළයාන්විත ගී ඇසුවේ මහත් සේ ආශක්තවය. ඔවුන්ගේ ජීවිත ද රංජනය කිරීමට මිල්ටන්ගේ ගී සමත් වූයේය.

මිල්ටන් මිය ගියේ නවලෝක රෝහලේය. ඔහු තරුණ වියේදී රැකියාවක යෙදුණේ නවලෝක සමූහ ව්‍යාපාරයේය. එම ව්‍යාපාර සමූහයටම අයත් රෝහලක ඔහු අවසන් හුස්ම හෙළීම දෛවෝපගත සිදුවීමකි. මිල්ටන් රෝහලේ සිටියදීම ඔහුට අනේකවිධ ආකාරයෙන් සහයෝගය දුන් නවලෝක සමූහ ව්‍යාපාරයේ ජයන්ත ධර්මදාස හා මාලිනී කරුණාරත්න යන අය මිල්ටන්ගේ බිරිඳ ස්වර්ණා සිහිපත් කර ඇත්තේ කෘතවේදීවය.

මීට දොළොස් වසරකට ඉහත මාර්තු මාසයේ එක්තරා ශෝකාකූල වූ දිනයකට (10 වැනිදා) මගේ කල්පනා ලොව ඇදී යයි. බොරැල්ල කනත්තට උඩින් මදටිය පැහැ ගත් අහස් කුසේ අඳුරු වැහි වලාවක් රැඳී තිබිණි. ඒ මිල්ටන් අපෙන් සදහටම සමුගත්දාය. මැදි වියේ පසුවන නමුත් තවමත් නොවියැකී ගිය සුන්දරත්වයෙන් යුතු සුදුවත හැඳි කතක් මගේ නෙත ගැටිණි. ඈ අත තිබූ රතු ඇන්තූරියම් මල දෑසින් ගිලිහුණු කඳුළු බිඳුවකින් මඳක් තෙත්ව තිබිණි.

ඈ කවුරුන් විය හැකි ද? මිල්ටන්ට මේ භවයේ දී අත්පත් කර ගත නොහැකි වූ පරෙවි රැජිනය නොවිය හැකිද ඒ? මා සිතේ නැඟුණේ එවන් වූ ප්‍රශ්නාර්ථයකි.

විශේෂ ස්තූතිය ‘ෆාස්ට් ඇඩ්’ අධිපති ප්‍රේම් දිසානායක මහතාට.

මිල්ටන් ගැයූ මියුරු ගී

බිරිය ස්වර්ණා වෙනුවෙන් ගැයූ ගීතය

ඈත එ පිට දුර ආකාසේ

වලාකුළුවලින් රිදී - බලා එබිලා ඇදී

ස්වර්ණ වර්ණ තරුවක් දිලිසේ

 

මගෙ දෑසේ ආලෝකේ දීලා

උතුරාවි ඒ රශ්මි මාලා

පුරවන්න මේ පාළු ජීවේ -

පායන්න රන් තාරකාවේ
 

රෑ මෙන් ම දහවල් මුළුල්ලේ

ඒ තරුව හිනැහී නිදැල්ලේ

මගෙ ජීවිතේ මල් කැදැල්ලේ

දිලිසේවි නො නිවී තුරුල්ලේ
 

පද - කරුණාරත්න අබේසේකර

සංගීතය - මොහොමඩ් සාලී

ලොව සැතපෙන යාමේ
 

ලොව සැතපෙන යාමේ

ඔබේ සෙනෙහස අවදි වෙවී

මගෙ දෙසවනට කියයි

පෙර නොඇසුව මිහිරි කවි
 

සිතුවම් ඇඳ සිහින පොතේ

මී පුරවා පැතුම් විතේ

සලු පොරවා සිසිල ගතේ

ඔබ පියඹා යයි...//

සිහින සුවැති සිතුවිල්ලේ

මහද හොවා නැළවිල්ලේ

අහස සදා සැනැසිල්ලේ

ඔබ පියඹා යයි...

 

පදය - කරුණාරත්න අබේසේකර

තනුව - මර්වින් පෙරේරා

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා...

 

ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා

යළි ඔබ සවනේ නොරැඳී නොගැටී

සුළඟේ මිලින වුණාවේ...

දවනු දැනේ සිසි කිරණ පවා...
 

සිසිල නොදේ මඳ පවන පවා...

ඔය මුව පියුමේ තොල්පෙති අතරේ

ඔහුගේ නම රැඳුණාවේ...
 

ඔබ වෙනුවෙන්...
 

සුවඳ දැනේ ඔබෙ උදය හවා

කඳුළු නැගේ මට රැයද දිවා

ඔබ මුව පියුමේ තොල් පෙති අතරේ

ඔහුගේ නම රැඳුණාවේ...
 

ඔබ වෙනුවෙන්...
 

පද - කේ. ඩී. කේ. ධර්මවර්ධන

තනුව - සෝමපාල රත්නායක

මංගලේ නෙත්...
 

මංගලේ නෙත් මංගලේ

හංස දේනුවෙ පෙම් විලේ

පීනා පීනා රැල් තුරුල්ලේ

පාවෙනූ සිතු සේ ජලේ//

මංගලේ නෙත් මංගලේ

සීතලේ ගැහෙනා හදේ මේ

උණුසුමේ සුව දී මවා

නිසසලේ රැඳෙනු සිනා සී

නො පියඹා උදයේ හවා

දෑසෙ බැල්මයි

නීල කැල්මයි//

මත් කරයි තවුසා පවා//
 

මංගලේ නෙත් මංගලේ...
 

ආදරේ නමැති පොතේ හි

මුල් පිටේ රූපේ ඔබයි

ඒ පොතේ ලියවී තිබෙන්නේ

මා හිතේ ආශා තමයි

කියනු ළං වී

බලමු ළං වී

නැකත පෑහෙනවා සුබයි//

මංගලේ නෙත් මංගලේ...
 

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - මොහොමඩ් සාලි

පියාපත් සලා ...
 

පියාපත් සලා මම ඔබ සොයා එමි රැයේ

නවාතැන මගේ ඔබෙ හද තුළයි සොඳුරියේ//
 

මල් ගොමු පිස එන මද නල අතරමඟක දී

මා එන මඟ වළකන්නට බලා උනි රැඳී//

දසත සැරිසරා සෙව්වෙමි ගුවන් තල අරා

නො දැක ඔබෙ රුව සෝකය නැඟෙයි හද පුරා
 

පියාපත් සලා...
 

සෙවණ ලදිමි තුරු ගොමුවල එය නො වෙයි සුවේ

ගිමන නිවන මහද අරණ තුරුල ඔබ පි‍්‍රයේ//

වෙහෙස නොම බලා සොයනෙමි සසර සැරි සරා

සිහින ලොවක දී හෝ ඔබ එන්න මා කරා

පියාපත් සලා...
 

පද රචනය - සිරි කුලරත්න

සංගීතය - එම්. කේ. රොක්සාමි

ගමනේ ගිම් නිවූ එදා...
 

ගමනේ ගිම් නිවූ එදා සැනසුම් පවන් සලා

ඔබ මා දවයි දිවා රෑ හද සෝ සුසුම් හෙළා//
 

මතකේ තිබේ ද ඒ යුගේ මාගෙ චේතනා

වැටහෙන්නෙ බැන්ද ආදරේ සෝක වේදනා

ගන අන්ධකාරයේ පාළුවේ කිමිදුණා

තනි වූයෙ ඔබ නො වේ මා පවා තනි වුණා
 

ගමනේ ගිම් නිවූ එදා...
 

ඔබ මංමුළා වෙලා ගියා පෙම් පහන් නිවා

අහිතක් හිතන්නෙ නැහැ පි‍්‍රයේ සිහිනෙකින් පවා

අද ඔබගෙ ජීවිතේ කතරකී වාලුකා

හිනැහෙන්න යළි දිලී දෛවයේ තාරකා
 

ගමනේ ගිම් නිවූ එදා...
 

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - එම්. කේ. රොක්සාමි

මා නෙත් කැදැල්ලේ
 

මා නෙත් කැදැල්ලේ

සැතපීලා නිදැල්ලේ

දැවටී රන් දැලේ

හද පුරා සැනසීලා

ආයෙත් ඉගිල්ලී පියඹාලා පිපාසෙන්

නො තළා මල් කැලේ රොන් සොයාලා...

රොන් සොයා...
 

බඹර තුඩු හා නැතී - කුමුදු මලකින් පෙතී

ගෙනෙමි දුර ඈත විලකින් නෙළා//

ඒ මැද ඔබෙ යහන සාදන්නෙ නාදල්ලෙනුයි

සුවඳ උරා...
 

මා නෙත් කැදැල්ලේ...
 

අරුණ පිනි බිංදුවයි - පියුමෙ මකරන්දයයි

හොවමි මේ කුලක කලතා නිවා//

මින් මතු කිසිදාක යන්නෙහි ද

හද රන් ලෙනේ...

පහන නිවා...
 

මා නෙත් කැදැල්ලේ...
 

පද රචනය - කරුණාරත්න අබේසේකර

තනු නිර්මාණය - මර්වින් පෙරේරා

සංගීතය - වික්ටර් රත්නායක

සංසාර සෙවණැල්ල
 

සංසාර සෙවණැල්ල ලෙස ආ පතාලා

සුංගාර රස දෙන්න කලතා පෙරාලා කලතා පෙරාලා//
 

ආදර නදියේ ගිලි ගිලි පිරියේ//

පීනා පීනා යමු පෙම්බරියේ//

රළ පාර ඉවසන්න සැපත ඉදිරියේ සැපත ඉදිරියේ
 

සංසාර සෙවණැල්ල...
 

මා මඳ සුළඟයි ඔබ මුදු සුවඳයි//

පෑහී පෑහී එකට හමා යයි//

හද මාගෙ පිළිගන්න එය ඔබගේ ම යි එය ඔබගේ ම යි

සංසාර සෙවණැල්ල...

 

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - මොහොමඩ් සාලි