අනෝමා ගේ ඉල්ලීම කුමක් විය යුතුද?

 
 

ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ හමුදාපති කාලයේ කළ වැරැදිවලටයි

 
 

1962 ජනවාරි 27 HF කුමන්ත්‍රණය 2010 ජනවාරි 27 SF කුමන්ත්‍රණය

 
 

ජවිපෙට පැරණි වම කරපුමෙහෙවරවත් කරන්ඩ බැරිවුණා

 
 

ජගත් නායකත්වයකට නියත විවරණ ලැබීම

 
 

මිහින් ලංකා ආදායම සියයට 300කින් ඉහළට

 
 

පාසලේදී උගත් හැඳි ගෑරුප්පු හරඹය බකිංහැම් මාලිගාවේදී ප්‍රයෝජනවත් වුණා

 
 

මෝහනය මානසික ශල්‍යකර්මයක්

 
 

ඉගැන්වීමෙන් නොනැවතී දරුවන්ට පාසල් බස්රථ ලබාදුන් ගුරුතුමා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

රන් බණ්ඩේ මස් බණ්ඩේ වූ හැටි

පැරණි ග්‍රැමෆෝන් ගී තැටි සුරකින කුලසේකර මද්දුමගේ

පැරණි ග්‍රැමෆෝන් ගී තැටි සුරකින කුලසේකර මද්දුමගේ

සිරි බුද්ධගයා විහාරේ’, ‘ආදරය නිසා’, ‘මා ඔබේ සුදා’, ‘රාජ පණ්ඩිත නාග විමානේ’, ‘සිළුමිණ සෑය බඳිම්’, ‘සිරි ගන සෑසී’, ‘ගෞතම ශ්‍රී පාද වඳිම්’, ‘නාමෙ නො දිරනා’, ‘මහ බෝධි මුලේ’, ‘දස බලධාරී’.

එච්. ඩබ්ලිව්. රූපසිංහ, රුක්මණී දේවි, ඒ. ආර්. එම්. ඊබ්‍රහිම්, අහමද් මොහිදීන්, එස්. ඒ. ලතීෆ්, එම්. කේ. වින්සන්ට්, ඒ. එම්. යූ. රාජ්, එම්. බී. ජොහර්ෂා, ආර්. ඒ. චන්ද්‍රසේන, එදා ගැයූ මේ කන්කලු අරුත්බර ගී අදත් අපේ දෙසවනට ගෙනෙන්නේ ඉමිහිරි අස්වැසිල්ලක්. නොරටුන්ගේ බලපෑමෙන් මෙරටුන් මුදවා ගැනීමේ දේශාභිමානි අරමුණු මේ හැම ගීයකින්ම ඉස්මතු කිරීම විශේෂත්වයක් වුණා. නිදහස් නිවහල් ජාතියක් ලෙස සිංහලුන් නැගිටුවාලීමට එදා කලාකරුවන් දැරූ තැත අභිමානයෙන් සිහිපත් කළ යුතු කාරණයක්.

“ආදී සිංහලුන් පිටදීප දේස ජයගත්තා” වැනි ගීත ලක්ෂ්මී බායිලා එදා ගැයුවේ මොන තරම් දේශානුරාගයකින් ද? යටත් විජිත පාලනයෙන් රට මුදවා ගැනීමේ අති දැවැන්ත මෙහෙයුමක එදා කලාකරුවන් පෙළ ගැසුණා. අත්වැල් බැඳ ගත්තා.

ඒත් මා අද කතා කරන්න හිතුවේ එවන් ගී දහස් ගණනක් සුරැකිව තබාගෙන අනාගත පරපුරට කවදා හෝ දැකබලා ගැනීමට හැකි වන සේ ඒවා සංරක්ෂණය කරන අපූරු කලාකාරයකු ගැන. ඔහු නාරම්මල කුලියාපිටිය පාරේ හොරොම්බාව දංගොල්ල හන්දියේ කුලසේකර මද්දුමගේ.

කුලසේකර මහතා ග්‍රැමපෝන් ගීත සංරක්ෂක සහ සංගීත සංරක්ෂණ සංසදයේ උප සභාපතිවරයා වගේ ම ‘සත්කෝරළ ප්‍රභාශ්වර කලා සංසදයේ’ ප්‍රධාන සංවිධායකවරයායි. පැරණි ග්‍රැමෆෝන් ගී තැටි සංරක්ෂණාගාරයක උරුමක්කාරයාව සිටින ඔහු එම ගී තැටි අනාගත පරපුරට දැක බලා ගැනීමට සලස්වමින් කරනු ලබන මෙහෙය ගැන සංස්කෘතික බලධාරීන්ගේ අවධානය යොමුනොවීම පුදුමයක්. සිංහල චිත්‍රපට සංරක්ෂණාගාරයක් පිහිටුවිය යුතු යැයි සිනමා උළෙලවලදී දෙසුම් ඇදබාන අපේ සිනමා බලධාරීන්ට කුලසේකර මහතා හොඳ ආදර්ශයක්. ගෙවුණ 21 වැනිදා සිංහල සිනමාවට 63 වසරක් පිරුණත් චිත්‍රපට සංරක්ෂණාගාර සිහිනය උපන් ගෙයිම වැළලී යාමට ඉඩ දීම කොතරම් අපරාධයක් ද?

ග්‍රැමෆෝන් ගී තැටි වැනි අපේ පැරණි සංස්කෘතිකාංග සුරැකීම ජාතික වගකීමක් ලෙස සිතන කුලසේකර ඒ සඳහා ලොකු කැපකිරීමක් ද කරනවා. මුලදී විනෝදාංශයක් ලෙස පැරණිතම ග්‍රැමෆෝන් තැටි එකතු කිරීමෙහි නියැළුණු ඔහු පසුව රට වටා ගොස් ඒවා මිලදී ගෙන සුරැකිව තබාගෙන සිටිනවා. 1876 තෝමස් අල්වා එඩිසන් ලොවට හඳුන්වා දුන් පසුව දියුණු කළ අඩි 2 1/2 ක විකාශන මලක් සහිත ඉපැරැණි ග්‍රැමෆෝන් යන්ත්‍රයක් ඇතුළු පසුව විකාශනය වූ යන්ත්‍ර ගණනාවක් ඔහුගේ සංරක්ෂණාගාරයට ඇතුළත්.

ඒ වගේ ම ඉපැරැණි ග්‍රැමෆෝන් ගී තැටි ගබඩාවක් ද ඔහු සතුයි. එකක තට්ටු 6 බැගින් වූ විශාල අල්මාරි 3 ක එම ගී තැටි පිළිවෙළින් අසුරා තියෙන්නේ පහසුවෙන් හඳුනාගත හැකි විදිහටයි. 1906 සිට 1982 දක්වා ගී තැටි දහස් ගණනක උරුමක්කාරයා වූ කුලසේකර මුල්ම ග්‍රැමෆෝන් ගීතය ගැන දරන්නෙ මෙහෙම අදහසක්.

“ලංකාවෙ මුලින් ම දකින්න ලැබෙන්නෙ Internation Talking machine Company (ODEON)  සමාගම කරපු තැටියි. 1906 වසරේ තමයි මුල්ම තැටිගත කිරීම් කරල තියෙන්නෙ. නාඩගම් යුගයේ නිළියක හා ගායිකාවක වූ රද්දොළුවේ ජේන් නෝනා මුල්ම ග්‍රැමෆෝන් ගීතය ගැයූ බවට එක මතයක් තියෙනවා. ඒ වගේ ම බී. එස්. පෙරේරා සංගීතඥයාගේ මව වන ග්‍රේස් මාග්‍රට් ද සිල්වා වර්ණකුලසූරිය මුලින්ම තැටියකට ගීයක් ගැයූ බවට තවත් මතයක් තියෙනවා.

“ඒත් මා ළඟ ඇති මුල්ම තැටි දිහා බලද්දි මුල්ම ග්‍රැමෆෝන් ගායකයා රංගමාලගේ ජෝන් පෙරේරා කියලයි මං කියන්නෙ. පැරණි තැටි ලේබල් සහ තැටි අංක අනුව මෙය මට ඔප්පු කර පෙන්වන්න පුළුවන්. රංග මාලගේ ජෝන් පෙරේරා තමයි ඕඩියන් (ODEON) තැටිවලට මුල්ම යුගයේ වැඩියෙන්ම ගීත ගයා තිබෙන්නෙ. ඉන් පසුව කේ. ජෝන් පෙරේරා, රද්දොළුවේ ජේන් පෙරේරා, මාග්‍රට් ද සිල්වා, ආනා පෙරේරා, එම්. ඩී. පතිරාජ, ඇන් රොම්ලස් ද සිල්වා, බී. ඩී. සිල්වා, රොමානිස් පෙරේරා, ඕදිරිස් අප්පුහාමි, එච්. වෙළුම් පෙරේරා, ජේ. ඩී. මාෂල් පෙරේරා, ජෝන් ගෝමස් වැනි අය ගීත ගායනා කළා.”

මුල්ම යුගයේ ග්‍රැමෆෝන් යන්ත්‍ර

1911 වසරේ දෙසැම්බර් 06 වැනිදා “පණ්ඩුකාභය” නාට්‍යය රඟ දැක්වීමෙන් ආරම්භ කෙරුණු ටවර් රඟහල ඇසුරු කරගෙන බිහිවූ නාට්‍යවල ගීත 1930 වසර දක්වා ම තැටිවලට නගා තියෙනවා. ඒවා වැඩියෙන් තැටි ගත කර ඇත්තේ HMV ලේබලය යටතේයි. එදා ටවර් නාට්‍ය ශිල්පීන් වන විල්ප්‍රඩ් පෙරේරා, ඕගන් රුද්‍රිගු, එඩ්වඩ් පතිරාජ, ඇන්. රොම්ලස් සිල්වා, ඇනී බොතේජු, මාෂල් පෙරේරා, විල්බට් ඇන්තනී, ඩබ්ලිව්. සිල්වෙස්ටර්, ලක්ෂ්මී බායි, සුසිලා ජයසිංහ, පසු කලෙක ඇලන් රත්නායක, ජී. දොන් බෙනඩික්ට්, එඩ්වින් පෙරේරා, සෝමාකාන්තා, ලෝරා නෝනා වැන්නවුන් ගැයූ ගී අදත් එම හඬින් ම කුලසේකර මහතා සතුව තිබීම විශේෂයක්.

මුල්ම තැටිගත කිරීම් අතර එකල ජනපි‍්‍රයව පැවැති නූර්ති ගීත මෙන් ම විරිඳු, ජන ගී, තොවිල් කවි, බලි යාග, ධර්මාවන්විත කථා, සිව්පද ධර්ම දේශනා, පන්සිල් සහ සෙත් පිරිත් කැපී පෙනෙනවා. මුලදී පන්සිල් සහ සෙත් පිරිත් තැටිවලට ගයා ඇත්තේ ගිහියන් විසින්.

ඕඩියන් තැටිවලට අමතරව, අනගාරික ධර්මපාල තුමාට ඥාති සම්බන්ධතාවයක් ඇති හේවා විතාරණ නාමයෙන් හේවා තැටි දොන් කරෝලිස් සමාගම නිකුත් කළා. ඉන් පසුව හීස් මාස්ටර්ස් වොයිස් (HMV) කොලොම්බියා, පාර්ලෆෝන්, බ්‍රෝඩ්කාස්ට්, පිලිප්ස්, යං ඉන් තියා, ඩයනා, ග්‍රේට්වෝල්, ලංකා ෆිල්ම් කම්පැනි, සරස්වතී, නැෂනල්, කලාෆෝන්, එක්ස්ටී ලෝටස් යන විවිධ ලේබලයන්ගෙන් තැටි නිකුත් වුණා. නමුත් අප අතර වැඩියෙන්ම දකින්නට ලැබෙන්නේ HMV සහ කොලොම්බියා තැටියි.

කුලසේකර පවසන පරිදි 1906 සිට 1930 දක්වා වූ තැටිවල වැඩිපුර ම ඇත්තේ නූර්ති ගීතය. 1930 සිට 1939 දක්වා නිකුත් වී ඇති තැටිවල නූර්ති ගීවලට වඩා බොදු ගී, සමාජ ශෝධන ගී, පණිවිඩ ගෙන දෙන නාට්‍යමය ගී, දේශාභිමානි කතා, නාට්‍ය හා ඒ හා බැඳුණු ගී දකින්න පුළුවන්. 1939 සිට 1947 කාල වකවානුවේ නූර්ති ගී අඩුවෙන් ද බොදු ගීත වැඩියෙන් ද තැටිගත කර තිබෙනවා.

ඒ වගේම උතුරු ඉන්දියානු ගී තනු මෙන් ම එකම තනුවට ලියැවුණු විවිධ ගී මෙකල තැටිවල දැකිය හැකි විශේෂත්වයක්. සෑම සමාගමක් ම තරගයට මෙන් වෙළෙඳ පොළ ඉලක්ක කරගෙන ගී තැටි නිකුත් කළා මේ කාලෙ. මොහොමඩ් ගවුස්, බී. ඇස්. පෙරේරා, එච්. ඩබ්ලිව්. රූපසිංහ (රූපසිංහ මාස්ටර්) මේවාට සංගීතය සැපයුවා. මෙම ගීත රචනා කර ඇත්තේ බී. එම්. ඩබ්ලිව්. ඇල්බට් සහ යූ. ඩී. පෙරේරා යි. පසු කාලයේ ආනන්ද සමරකෝන් තමා ම ගී රචනා කරමින් සංගීතය සපයනු ලැබීම නව ස්වතන්ත්‍ර ගීත කලාවකට මංපෙත් හෙළි පෙහෙලි කරන්න හේතු සාධක වුණා.

ග්‍රැමෆෝන් යන්ත්‍ර එකින් එක අලුත් වෙමින්...

1947 මුල්ම කතා නාද චිත්‍රපටය වූ ‘කඩවුණු පොරොන්දුව‘ තිරගත වෙද්දී එහි ගී ඇතුළත් ග්‍රැමෆෝන් තැටිය රසිකයින් අතර වඩාත් ජනපි‍්‍රය වුණා. 1925 සිට 1947 දක්වා ගුවන් විදුලියෙන් ප්‍රචාරය වුණේ ද ග්‍රැමෆෝන් ගීතයි. 1948 ගුවන් විදුලිය තැටි කැපීම ආරම්භ කරන ලද අතර පසුව 1970 - 80 දසකයේ  LP සහ EP තැටි ලෙස ලංකා ලේබලය යටතේ ගුවන් විදුලිය වෙළෙඳ පොළට ද තැටි නිකුත් කළා. 1970 වසරේ HMV තැටි ‘ගීතා’ චිත්‍රපටයේ ගීත ඇතුළත්ව ද 1969 කොලොම්බියා තැටි ‘කිංකිණි පාද’ චිත්‍රපටයේ ගීත ඇතුළත්ව ද අවසන් වරට නිකුත් වුණා.

චිත්‍රපට නොවන ගීත 1969 දී ප්‍රෙඩ් සිල්වා සහ ජයතිස්ස හෙට්ටිආරච්චි ගැයූ ‘රයිගමයාණෙනි ගම්පලයාණෙනි’ ගීතය ඇතුළත් EXVEE 1019 තැටියෙන් අවසන් වන බව පවසන කුලසේකර 1977 මිල්ටන් මල්ලවාරච්චිගේ මුල්ම කැසට් පටය නිකුත් වීමත් සමගම තැටි යුගය අවසන් වන බවත් කරුණු සහිතව පෙන්වා දුන්නා.

’සත්කෝරල ප්‍රභාශ්වර කලා සංසදය’ පිහිටුවා එමඟින් ප්‍රදේශයේ පැරණි කලාකරුවන්ගේ ද සුහද සහභාගිත්වයෙන් ‘ග්‍රැමෆෝන් ගී ප්‍රසංග නොමිලේ පැවැත්වීමටත් ඔහු කරන්නේ ලොකු කැප කිරීමක්. එවන් ප්‍රසංගයක් ‘එපා කෝපා පනේ’ නමින් පසුගිය 2 වැනිදා සවස් භාගයේදී ඔහුගේ නිවසේ එළිමහන් රංග පීඨයේදී වර්ණවත්ව පැවැත්විණි. ප්‍රවීණ ලේඛක ඩබ්ලිව්. ඒ. අබේසිංහයන්ගේ දේශනයකින් පසුව ඇරැඹි එම ගී සැඳෑෑව ප්‍රදේශයේ කලාකරුවන්ට මෙන්ම පැරැණි ගීයට පෙම් බැඳි දූ දරුවන් ප්‍රමුඛ අවට ගම්වාසීන්ට අමතක නොවන සොඳුරු අත්දැකීමක් වුණා.

මේ ග්‍රැමෆෝන් ගී සැඳෑවේ විශේෂත්වයක් වුණේ රූපසිංහ මාස්ටර්ගේ වැඩිමහල් පුත් එස්. ඒ. රූපසිංහයන් තම පියාගේ ජනපි‍්‍රය ගීත රැසක් ගයමින් පැමිණි සැවොම ඒ සොඳුරු අතීතයට මොහොතකට වුව රැගෙන යාමයි. ග්‍රැමෆෝන් ගී යුගයේ දේශජ ලක්ෂණ ඉස්මතු කළ රූපසිංහ මාස්ටර් සංගීතවේදියාණන් වෙනුවෙන් මුල්වරට උපහාර උළෙලක් පැවැත්වීම ද කුලසේකර ගේ කෘතගුණවේදීත්වය රටටම පෙන්නුම් කළ අවස්ථාවක් වුණා.

නූර්ති ගීත මෙන් ම ජනපි‍්‍රය නොවූ ග්‍රැමෆෝන් ගී තැටි දහස් ගණනක් සුරැකිව තබාගෙන ඇති කුලසේකර ඒවා සංරක්ෂණය කිරීමේ දෛනික කටයුතුවලට වැඩි කාලයක් යොදවයි. තම ඉඩමේ සවිමත්, ක්‍රමවත්, ගොඩනැගිල්ලක මෙම ඉපැරණි කෞතුක සංස්කෘතිකාංග පිළිවෙළින් අසුරා අනාගත පාසල් දූ දරුවන්ට දැක බලා ගැනීමට හැකි වන අයුරින් සංරක්ෂණාගාරයක් පිහිටුවීම කුලසේකරගේ ඊළඟ සිහිනයයි. උදව් පදව් කෙසේ වුවත් ඒ වෙනුවෙන් රජයේ සංස්කෘතික බලධාරීන්ගේ අවධානයවත් යොමු වන්නේ නම් එය තමාට මහත් ආශිර්වාදයක් වනු ඇතැයි ඔහු නිහතමානීව පවසයි.