අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන
 

ගිනිගත්හේන මැදි මහ විදුහල් ද්‍රවිඩ පාසල සහ අඹගමුව මහ විදුහලේ හිටපු විදුහල්පති නවරත්න වික්‍රමසිංහ

මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරලේ කඩවල වසමේ ගිනිගත්හේන නගරයට යාබද තීනියගල ගමේදී ඔහු උපන්නේ 1927 මැයි මාසේ විසි වැනිදා. විලේගොඩ ආරච්චිලාගේ දොන් නන්දසේන වික්‍රමසිංහ විශ්‍රාමලත් විදුහල්පතිතුමා ඔහුගේ අතීත වතගොත කියන්නට මුල පිරුවේ උපන් ගම හැදුණු හැටිත් විස්තර කරමින්.

පුහුණු ගුරුවරයකු ලෙස මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, රත්නපුර දිස්ත්‍රික්කවල පාසල් දහසයක සේවය කොට ඇති වික්‍රමසිංහ මහතා ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලයීය ද්‍රවිඩ පාසලේ විදුහල්පතිවරයා ලෙසත් අඹගමුව විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙසත් සේවය කොට විශ්‍රාම ලබා දැන් ඇහැලියගොඩ නගරයේ නොතාරිස්වරයකු ලෙස කටයුතු කරනවා.

ජීවිත ගමනේ අසූ තුන්වැනි සැතැපුම් කණුව පසු කරමින් සිටින වික්‍රමසිංහ මහතා තවමත් එදා වගේ ම කඩිසරයි කාර්ය බහුලයි.

නන්දසේන වික්‍රමසිංහ කියල උප්පැන්නෙට නම දැම්මට අම්මා - තාත්තා ඔහුට ආදරේට කීවේ නවරත්න කියලා. ‘නවරත්න’ නමින් හැමෝම ඇමතූ නිසාම අද කවුරුත් ඔහු හඳුනන්නේ ‘නවරත්න වික්‍රමසිංහ’ නමින්.

නවරත්නගේ තාත්තා විලේගොඩ ආරචිලාගේ පීටර් වික්‍රමසිංහ. ඔහු පළවැනි ලෝක යුද්ධ කාලෙ දකුණේ ඉඳන් උඩරටට සංක්‍රමණය වූ මුල්ම ව්‍යාපාරිකයන් කිහිප දෙනා අතරින් කෙනෙක්. අම්මා රාජකරුණා මොහොට්ටි අප්පුහාමිල්ලාගේ මේරි නෝනා. උඩරට වැදගත් පරපුරකට උරුමකම් කී ඈ ඉතාම කරුණාවන්ත නිහතමානී ගෘහිනියක්.

නවරත්න පවුලේ වැඩිමලා. ඔහුට බාල මල්ලිලා දෙන්නයි. නංගිලා දෙන්නයි. නවරත්නගේ ළමා කාලෙයි දෙවැනි ලෝක යුද්ධය පටන් ගත්තේ. රටටම ලොකු අහේනියක් තිබුණු කාලයක්. නවරත්නලාට යමක්කමක් තිබුණා වුණත් රටට බලපෑ ආහාර හිඟය ඔවුන්ටත් දැනුණා. ඒ කාලෙ එක් පුද්ගලයකුට ලැබුණෙ හාල් සේරු බාගයයි. තිරිඟු හෝ බජිරි වගේ ධාන්‍ය ස්වල්පයයි. ගමේ ගොඩේ ජීවත්වුණු ඔවුන්ට කොස්, දෙල්, අල, බතලවලින් වේල පිරිමහගන්නට සිදු වූ අවස්ථා එමටයි.

ඒ කාලෙ රෙදි බොහොම හිඟයි. ඇතැම් අවස්ථාවල සරම් මසා ගත්තෙ පිටි ගෝනි හෝදලා වේලාගෙන. පාසල් පොත්පත් හිඟයි. අභ්‍යාස පොත් ලබා දුන්නෙ පාසල් මට්ටමෙන් කූපන් ක්‍රමයට. පාසලේදී මේ පොත් කොටස් කර පස්වැනි පන්තියේ ළමයකුට එක් පොතකුත්, හයවැනි හත්වැනි පන්තියේ ළමයකුට පොත් දෙක බැගිනුත්, ඉහළ පන්තිවල ළමයකුට පොත් තුන බැගිනුත් බෙදා දුන්නා. මදි පාඩුවට පරණ ලිපි ලේඛනවල හිස් පිටු බෙදා දුන්නා. බෝල්පොයින්ට් පෑන් ගැන අහලවත් නෑ. පුංචි ළමයින්ට ගල් ලෑල්ලයි ගල්කූරයි. ඒක පහට යනකල්ම පරිස්සම් කරගෙන අකුරු කරන්නට ඕනෑ.

නවරත්න මුලින්ම ඇතුළත් වුණේ ගිනිගත්හේන රජයේ ආර්. එස්. පාසලට. ඒ 1932 මැයි මාසේ දෙවැනිදා. ඇතුළත් වීමේ අංකයත් ඔහුට හොඳට මතකයි අංකය 545. එදා පුංචි නවරත්න පාසලට ගියේ ගවුමක් ඇඳ පුංචි රන් මාලයක් කරේ දාගෙන. ගිනිගත්හේන නගරෙට මදක් එපිටහට වෙන්න කන්දක් පාමුල අලුතින් ඉදිකළ පාසල පිහිටියේ නවරත්නගේ ගෙදර ඉඳන් පයින් යන දුරක. ඒ කාලෙ පහළ පන්තිවල ළමයි පාසල් ගෙන ගියේ ගල් ලෑල්ලක් ගල්කූරක්, හෝඩි පොතක් පිඟානකුත් කෝප්පයකුත් පමණයි පිඟාන බත් කන්නට. කෝප්පෙ කිරි බොන්ට. පාසල ඇරැඹුණේ උදේ 7.30 ට. පාසල ඇරුණේ 1.30 ට.

හයේ පන්තියෙ සිට ඉහළ පන්තිවලට ග්‍රාමීය අධ්‍යාපනය යටතේ අමතර පැය දෙකක් කෘෂිකර්මය, සත්ත්ව පාලනය, ලී වැඩ, මේසෙන් වැඩ, කොණ්ඩා කැපීම, මැණුම් වැඩ ඉගැන්නුවා. ගව කුකුල්, එළු වගේ ම මසුන් හා මීමැසි පාලනය කළ නිසා ළමයි කණ්ඩායම්වලට බෙදිල නිවාඩු දිනවලටත් පාසල් ගියා. ඒ කාලෙ අධ්‍යාපනය පොත පතට සීමා වුණේ නෑ. පොත් කට පාඩම් කිරීමට ලැබුණෙ දෙවැනි තැනක්. ගෙදර වැඩ, අමතර පන්ති පැවරුම් මේ මොකවත් නෑ. පාසලේ උගත් දේ හරියටම කළා. ගෙදර ඇවිත් ඇති තරම් සෙල්ලම් කළා.

ගිනිගත්හේන කඳුවලින් වටවුණු සුන්දර ගමක්. සමනොළ ගිරි මුදුන් දක්වා විහිදුණු කඳුවැටි අතරින් නිල්ල නිලන තේ වතු යායවල් බලන්න ලස්සනයි. කඳු මුදුන් අතරින් ගලා හැළෙන ශීතල දිය ඇලි දිය දහරා මැව්වේ අපූරු චමත්කාරයක්. නවරත්නලා හැමදාම නාන්න ගියෙ දිය නිල්ලට. දිය නිල්ලෙ වතුර හරියට හිම වගේ ශීතලයි. සීත මීදුමත් පින්නටත් හුරු නවරත්නලාට ඒ ශීතල ඒ හැටි ගණනක් නෑ. දිය නිල්ලෙන් නාන්න යන ගමනෙදි මග දිගට තියෙන ගඩා ගෙඩි කඩා ගෙන කකා ගිය විනෝදජනක ගමන ඔහුට තවමත් මතකයි.

තුනේ පන්තියෙදි ඉංගී‍්‍රසි උගන්වන්න ඕනැ කියල තාත්ත නවරත්න ඇතුල් කළා නාවලපිටියෙ කදිරේෂන් කොලීජියට. ඔය අතරේ දවසක නවරත්නලගේ ගෙට පහළින් අල්ලපු වත්තේ අලුතෙන් පාසලක් ඇරැඹුවා. දැන් ඒ පාසලේ නම ගිනිගත්හේන මධය මහා විද්‍යාලෙ. 1946 ජනවාරි මාසෙ හත් වැනිදා ඒ පාසලේ ආරම්භක උත්සවය බලන්න අහල පහල ළමයිනුත් එක්ක නවරත්නත් ගියා.

අඩි හතළිහක් දිග අඩි විස්සක් පළල බාගා බිත්තිවලින් යුතු තහඩු හෙවිල්ලපු පුංචි ගොඩනැගිල්ලට හේත්තු වෙලා ඔහු උත්සවේ නරඹමින් හිටියා. පාසලට ළමයින් දෙදෙනකු ඇතුලත් කරගත් විදුහල්පතිතුමා සරමකිනුත් කමිසයකිනුත් සැරසී එදෙස බලා සිටි නවරත්නටත් අඬ ගැහුවා. පාසලට ඇතුළත් වූ තෙවැනි ශිෂ්‍යයා ලෙස නවරත්නගේ නම නාම ලේඛනයට ඇතුළත් කළා. හිටපු පාසලෙන් අස්වෙන්නෙත් නැතුවම ඔහු අලුත් පාසලේ ශිෂ්‍යයෙකු බවට පත් වුණා.

නවරත්න කනිෂ්ඨ විභාගෙට පෙනී සිටියේ 1942 දී. විභාගෙ තිබුණේ නාවලපිටිය සෙන්ට් මේරිස් කොලීජියේ. ඒ යුද්ධ කාලෙ හින්ද හැම ළමයෙකුගෙම මේසෙ උඩ ඇඟිල්ලක් තරම් මහත අඟල් හතරක් විතර දිග ලී කෑල්ලකුයි පුළුන් ගුලි දෙකකුයි තියලා තිබුණා. එදින ඒ. ආර්. පී. සංවිධානයෙන් බෝම්බ හෙළීමකදී ක්‍රියා කළ යුතු ආකාරය කියන වැඩසටහනක් පැවැත්වුණා.

අනතුරු හැඟවීමේ නලාව ශබ්ද කළ සැණින් පුළුන් ගුලි දෙක දෙකනේ රුවා ගෙන ලී කැබැල්ල කටින් හපාගෙන මේසය ළඟ දණ ගසා ගෙන සිටින ලෙසත් ශාලාධිපතිතුමා විභාග අපේක්ෂකයන්ට දැනුම් දුන්නා. මේ අලුත් අත්දැකීම විඳීමේ කුතුහලයෙන් පිරුණු ළමයින් විභාගෙට ලියනවට වඩා උනන්දු වුණේ කොයි වෙලාවේ සයිරන් නළාව හැඬවේද යන්න ගැනයි. හොඳ වෙලාවට නළාව ගැහුවේ ප්‍රශ්න පත්තරේට ලිව්වට පස්සෙ.

1945 දී නවරත්න ජ්‍යෙෂ්ඨ පාඨශාලා සහතික පත්‍ර විභාගය සමත් වුණේ පළමු පන්තියේ සාමාර්ථයක් ලබමින්. ඒත් එක්කම ගුරු පත්වීම් සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. නවරත්නටත් ගුරු පත්වීමක් ලැබුණා.

ඒ 1946 මාර්තු මාසෙ පස්වැනිදා ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලෙට. පළමු පඩිය රුපියල් පනස් හයයි. හා හා පුරා කියල අතට ගත් මුල්ම පඩිය නවරත්න තාත්තට ගිහින් දුන්නා. 1954 - 55 වසරවල ඔහු බළපිටිය ගුරු විද්‍යාලෙන් ගුරු පුහුණුව ලැබුවා. පුහුණුවෙන් පස්සෙ මුල්ම පත්වීම ලැබුණේ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කෙ කිවුල්කඩුව පාසලට දුර වැඩි නිසා මාරුවක් ඉල්ලුවාම ලැබුණේ මාතලේ දිස්ත්‍රික්කයේ ඇම්.ටී.මහලකොටුව විද්‍යාලෙට. ඒ පැත්ත කොයි තරම් දුෂ්කර ද කියනවා නම් පාසල පිහිටියේ පොලිස් පාලනයෙන් පිට ගමක.

ඒ ගමේ හැමෝම ගොවියො. පාසලේ සිංහල අවුරුදු නිවාඩුව දුන්නේ පෙබරවාරි මාසෙ අන්තිම සිකුරාදා. ගම්මු හේන් කුඹුරුවල වැඩට යනවා. ළමයි අත් උදව්වට යනවා. අවුරුදු දෙකක් මහලකොටුවෙ උගන්වාපු නවරත්න ගුරුතුමාට ස්ථාන මාරු ගණනාවක්ම ලැබුණා. තරුණ කාලේ ඔහු ජයට ගුරු සංගම්වල වැඩ කළා. ලංකා ජාතික ගුරු සංගමය රජයේ ගුරු සංගමය හා ගුරු පෙරමුණ යන සංගම්වල නාවලපිටිය ශාඛාවේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

නවසිය හැට එකේදී නැවතත් ගිනිගත්හේන මැදි විදුහලේ ද්‍රවිඩ පාසලේ විදුහල්පති ධූරයට පත්වුණා. පළාතේ ද්‍රවිඩ ජනතාව සමඟ හොඳින් ආශ්‍රය කළ නවරත්න ගුරුතුමාට හොඳට දෙමළ පුළුවන්. විදුහල්පතිතුමා සිංහල වුණාට ගුරු මණ්ඩලයේ හිටියේ යාපනේ දෙමළ සහ මුස්ලිම් ජාතිකයන් පමණයි. ජාතිය ආගම හෝ භාෂාවේ කිසිම භේදයකින් තොරව නවරත්න විදුහල්පතිතුමා පාසල පාලනය කළා. ගුරුවරුන් වගේම ළමයින් ගේත් උපරිම සහයෝගය ලැබුණා.

ද්‍රවිඩ පාසලේ ගුරුවරුන් සමඟ ඇතිවූ සුහදතාවය කොතෙක්ද යත් 1972 වසරේදී නුවරඑළිය මණ්ඩලයේ ගුරුවරුන් සියදෙනකු සමඟ යාපනයට ගුවනින් චාරිකාවක් සංවිධානය කරන්නටත් වික්‍රමසිංහ විදුහල්පතිතුමා සමත් වුණා.

ඒ පිළිබඳ වික්‍රමසිංහ විදුහල්පතිතුමා මස්කෙළිය මාණ්ඩලික අධ්‍යාපන නිලධාරීන් ගේ විශේෂ ප්‍රශංසාවට ලක්වුණා. ගුරුවරුන් සමඟ සහයෝගයෙන් යුතුව හොඳ විනයකින් යුතුව සාර්ථක ලෙස පාසල පාලනය කළ වික්‍රමසිංහ විදුහල්පතිතුමා බොහෝ වාරයක් උසස් නිලධාරීන්ගේ විශේෂ ප්‍රශංසාවට ලක්වුණා.

නවරත්න විදුහල්පතිතුමා විවාහ දිවියට ඇතුළත් වුණේ නවසිය හැට එකේ සැප්තැම්බර් දහඅට වැනිදා. ඈ ගිනිගත්හේන ප්‍රාථමික විද්‍යාලේ උගන්වන්නට ආපු තරුණ පුහුණු ගුරුවරියක්. කෑගල්ලේ කුරුම්බාපිටියෙන් පැමිණි ඈ එච්.ආර්.අනුලාවතී. අනුලා - නවරත්න යුවළ විවාපත් වෙලා පදිංචි වුණේ විදුහල්පතිතුමාගේ මහගෙරදමයි. ඔවුන්ගේ කුළුඳුල් දියණිය චම්පා. දෙවැන්නී ලේඛා. තෙවැන්නී ප්‍රියංකා. ඔවුන් තිදෙනාම දැන් රජයේ උසස් රැකියාවල නියැලෙනවා. දෙදෙනෙක් විවාපත්ව දරුවන් සමඟ වෙන්වෙලා.

නවරත්න විදුහල්පතිතුමාත් දියණියනුත් සෝ සයුරක ගිල්වමින් බිරිය අනුලා හදිසියේ අසනීප වී මෙලොවින් සමුගත්තා. එතකොට වැඩුමල් දියණිය සාමාන්‍ය පෙළ විභාගයට මූන දෙන්නට සූදානමින් සිටියා. දියණියන් තිදෙනෙකුගේ බර කරට ගන්නට නවරත්න විදුහල්පතිතුමාට ඔහුගේ අම්මාත් බාල නැඟෙණියත් සහාය දුන්නා. වසර දොළහක් ගුරු සේවයෙහි ඉතා සතුටුදායක සේවා වාර්තා තබා තිබූ සිය බිරියගේ මරණයෙන් පසුව ඇගේ මරණ පාරිතෝෂිකය පිරිනැමීම නුවරඑළිය අධ්‍යාපන කාර්යාලයෙන් පැහැර හැරි බව වික්‍රමසිංහ විදුහල්පතිතුමා අදත් මෙනෙහි කරන්නේ කනගාටුවෙන්. කෙසේ වෙතත් ජනාධිපති කොමිසමට පැමිණිලි කොට එය ලබා ගන්නට වික්‍රමසිංහ විදුහල්පතිතුමා සමත් වුණා.

වසර පහක් පමණ ද්‍රවිඩ පාසලේ විදුහල්පති ධූරය ඉසිලූ වික්‍රමසිංහ විදුහල්පතිතුමාට ස්ථාන මාරුවක් ලැබුණා බදුල්ල දෝව පාසලට. එහි යනවිට එතැන විදුහල්පතිවරයෙක් ඉන්නවා. කන්තෝරුවට දන්වලා යළිත් පත්වීම හදාගත්තා. 1971 දී ගිනිගත්හේනට ආසන්න අඹගමුව මහා විද්‍යාල විදුහල්පති ධූරයට පත්ව ගියා. විදුහල්පතිතුමා ප්‍රාථමික අංශය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළේ ඒ නව අධ්‍යාපන ක්‍රමය හඳුන්වා දෙමින් පැවැති කාලය නිසයි. ප්‍රාග් වෘත්තීය විෂයය හඳුන්වා දෙමින් ඒ ගැන විශේෂයෙන් ප්‍රබෝධයක් පැවැති එකල 1972 වසරේ ප්‍රාග් වෘත්තීය විෂය සංවිධානය හා උසස් ප්‍රතිඵල පිළිබඳ සමීක්ෂණයේදී අඹගමුව මහා විද්‍යාලෙට මස්කෙළිය මණ්ඩලයේ ප්‍රථම ස්ථානය හිමි වුණා.

ප්‍රාථමික ශ්‍රේණිවල උගන්වන ගුරුවරුන් සඳහා විශේෂ අධ්‍යාපන පුහුණු සම්මේලන පැවැත්වීමට විශේෂයෙන් වෙහෙසුණා. පළමු ශ්‍රේණියේ සිසුන්ගේ විවිධ ප්‍රසංගයක් පවත්වා එයින් ලැබූ ආදායමින් අරමුදලක් පිහිටුවා ගුරු සංගමයේ කටයුතු සඳහා යෙදවීමටත් කටයුතු කළා පහේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල උසස් මට්ටමකට ගෙන එන්නට විදුහල්පතිතුමා සමත් වුණේ ගුරුමහත්ම මහත්මීන්ගේ් විශේෂ කැපවීම මඟිනුයි. වික්‍රමසිංහ විදුහල්පතිතුමාගේ කාලෙ අඹගමුව මහා විද්‍යාලෙ නුවරඑළිය අධ්‍යාපන කලාපයේ ආදර්ශමත් පාසලක් ලෙස උසස් නිලධාරීන්ගේ අගැයීමට ලක්වුණා.

වසර හතක් එහි සේවය කළ වික්‍රමසිහ විදුහල්පතිතුමා යළිත් ගිනිගත්හේන මධ්‍ය මහා විද්‍යාලෙ අංශ භාර ප්‍රධානාචාර්යවරයකු ලෙස පත්ව ගියා. එහිදී ඔහු මුලකුරු කියැවූ දැරියක් පසු කලෙක මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක බවට පත්වුණා. නවසිය අසූ එකේ මැයි පළමුවැනිදා සිට ඇහැලියගොඩ මධ්‍ය මහා විද්‍යාලෙට යළිත් ස්ථාන මාරුවක්. දියණියන් ද කැටුවම උපන් ගම හැරදා වික්‍රමසිංහ විදුහල්පතිතුමා ඇහැළියගොඩ ගෙයක් කුලියට අරන් පදිංචියට ආවා. ඇහැළියගොඩ මධ්‍ය මහා විද්‍යාලෙ ජ්‍යෙෂ්ඨ උපගුරුවරයකු ලෙස සේවය කළා. සිංහල සාහිත්‍ය ගණිතය විෂයයන් ඉගැන්වූ ඔහු ජනප්‍රිය දක්ෂ ගුරුවරයෙක්. ඒ අතරෙම නොතාරිස් විභාගෙට පෙනී සිට ඉහළින් සමත් වුණා.

1984 ජූලි හතරවැනිදා ඔහු විශ්‍රාම ලැබුවේ දෙවැනි ශ්‍රේණියේ විදුහල්පතිවරයකු ලෙස. ඒ වන විට ඇහැළියගොඩ ප්‍රදේශයේ ස්ථානයක් සොයා බලා තිබූ විදුහල්පතිතුමා විශ්‍රාම ගියදාම ප්‍රසිද්ධ නොතාරිස්වරයකු ලෙස රාජකාරි ඇරඹුවා.

ඇහැලියගොඩ ප්‍රදේශයේ ග්‍රාම සංවර්ධන සමිති, ප්‍රජා මණ්ඩල, දහම් පාසල්, සමූපකාර සමිති වගේම අවමංගල්‍යාධාර සමිතිවලත් විවිධ නිලතල දැරූ එතුමා දැනටත් හැකි හැමවිටම සමාජ සේවාවන්ට සහභාගී වෙනවා. ජීවිතයේ සෑම වැදගත් අවස්ථාවක්ම, ලියා සටහන් කරන එතුමා සෑම වැදගත් ලියකියැවිල්ලක්ම සුරැකිව තබාගෙන සිටින්නේ කවදා හෝ කාට හෝ ඒවා ඵලදායක වෙතැයි යන විශ්වාසයෙන්.

ගුරු වෘත්තිය අවංකව හොඳින් ඉටු කළ යුතු මානව මෙහෙවරක් මිස මුදල් උපයන ව්‍යාපාරයක් නොවිය යුතු බවයි ඔහුගේ අදහස. රාජකාරිය හරියට ඉටුකිරීමෙන් ගුරු ගෞරවය රැකගත යුතු අතරම ගුරුවරුන්ගේ ආත්ම ගෞරවය රැකෙන පරිදි ගුරු වෘත්තීය සමිති කටයුතු කළ යුතු බවත් විශ්‍රාමලත් විදුහල්පතිතුමාගේ අදහසයි.