අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය


ටිකිරි හමුව

පොළොන්නරුව වටදාගෙය

පැරැණි පොළොන්නරුව රාජධානියේ පිහිටි දර්ශනීය ස්මාරකයකි පොළොන්නරුව වටදාගෙය. මහා පරාක්‍රමබාහු රජතුමා 12 වැනි සියවසේදී වටදාගෙය ඉදිකරවීය. මෙය වෘත්තාකාර ගොඩනැඟිල්ලකි. ගොඩනැඟිල්ල මධ්‍යයේ බුදුන්ගේ ධාතුන් වහන්සේ නිදාන කර ඇත. එම නිසා මෙයට වටදාගෙය යැයි කියනු ලැබේ. ධාතු නිදන් කළ චෛත්‍යයේ ආරක්ෂාවට වටකුරුවට ගොඩනැඟිල්ල ඉදිකර ඇත. වටදාගෙයට ඇතුළු වන පඩිපෙළ අසල අලංකාර සඳකඩ පහණක් පිහිටා ඇත. එය දෙපස මුරගල් දෙකක් පිහිටා ඇත.

පඩි පේළියෙහි පඩි අටක් ඇත. ඒවා වාමන රූපවලින් සරසා ඇත. එම පඩි පෙළ නැඟ වටදාගෙයට ඇතුළු විය හැක. ගලින් නෙළූ කලාත්මක බුදු පිළිමයක් එහි ඇත. පෙණය සහිත නාග රූප හතරක් ද වටදාගෙයි හි කැටයම් කර ඇත. ගලෙන් කරන ලද කැටයම් ඉතා අලංකාර ය. ගල් කුලුනු 5 ක් බැගින් පේළි දෙකක් වටකුරුවට පිටතින් ද පේළි තුනක් ඇතුළතින් ද ඇත. මෙම ගල් කණු මත ලී පියස්සක් අතීතයේ සදා තිබී ඇත. එක් එක් රජවරුන් වරින් වර වටදාගෙය ප්‍රතිසංස්කරණය කර ඇති බව ඉතිහාසයේ සඳහන් වේ.

ගයාත්‍රි අරුන්දිකා කුමාරිහාමි

7 ශ්‍රේණිය ‘ඒ’,

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය,

පොළොන්නරුව.
 


වන සිරිය

මීදුම් වලා අතරින් එළිය වැටේ
පඳුරු අතර සැඟ වී පිනි බිඳක් ලෙසේ
ළාහිරු වැටී දිදුළන විට රිදී වගේ
රිදී පබලු මෙන් දිස් වේ පිණි බිඳුවේ

හමනා සීත සුළඟින් ගත වෙහෙස නිවා
තුරුලිය වෙළෙයි එක මත එක දැවටීලා
විහගුන් ගී ගයයි සතුටින් එක්වීලා
මේවා නිසා මුළු වනයම පිබිදීලා

ගල් මුල් උඩින් දුවනා මහ සතුන් රැළ
වනයේ ජීව නල ලෙස පවතින ලෙසට
ගස් වැල් සතුන් රැකගමු අප එකමුතුව
එමගින් වන සිරිය ගෙන දෙයි අප සැමට

ඩී.ජී.එස්. ඉරේෂා නාලන්ද

9 ශ්‍රේණිය,

ශ්‍රී අංගීරස දහම් පාසල,

නාලන්දා රාමය, නාලන්ද
 


උදෑසන

හඳහාමි අපට හොරෙන් නොපෙනී යන්නේ
උදෑසනම සියොත් පෙළක් පියඹා යන්නේ
ගස්වැල් මල්වලින් පිරි සුවඳ හමන්නේ
හිරු කුමරා උදෙන් ඇවිත් එළිය බෙදන්නේ

සියොතුන්ගේ ගී නාදය ලොව පුබුදන්නේ
කොක්කු රැලක් මෙන් සිසු කැළ පාසල් යන්නේ
ගොවි මහතුන් උදෑසනම වෙලට ඇදෙන්නේ
උදෑසනක සිරියයි මේ නෙත දැවටෙන්නේ

ශෂිනි කාවින්දි විජේතුංග

6 ශ්‍රේණිය - 1,

විහාර මහ දේවි බාලිකා විදුහල, කිරිබත්ගොඩ
 


අපේ වර්ණ ප්‍රදාන උත්සවය

කුරුල්ලන්ගේ කීචිබීචි නාදයෙන් හිමිදිරු උදෑසන අවදි වූ මා කඩිනමින් ලකලෑස්ති වූයේ අප පාසලේ වර්ණ ප්‍රදාන උළෙලට සහභාගි වන අටියෙනි. පාසලට ගිය අපි විවිධ විශේෂාංග සඳහා සූදානම් වීමු.

අප පාසලේ වර්ණ ප්‍රදාන උත්සවය හැඩගැන්වීම සඳහා පැමිණෙන අපට ඉතාමත් ආදරය කරන ජනාධිපති ආර්යාව වන ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය සියසින් දැකබලා ගැනීමට අපි සිටියේ දැඩි නොඉවසිලිමත් කමකිනි. අපේ උත්සවය ආරම්භ වූයේ රාජපක්‍ෂ මැතිනියගේ පැමිණීමත් සමගමය. සම්භාවනීය අමුත්තන්ගෙන් හා අපේ ආදරණීය මවුපියන්ගෙන් උත්සව ශාලාව පිරී ගියේය. අපේ සොහොයුරියන් ඉදිරිපත් කළ නොයෙක් වූ විශේෂාංගවලින් මුළු උත්සව සභාවම විචිත්‍රවත් විය.

මධුරි ප්‍රසාදනී රණවීර

8 ශ්‍රේණිය,

ශාන්ත ජෝසප් බාලිකා ම.වි.,

කෑගල්ල.
 


සඳ පහන් රැය

වේලාව රාත්‍රී 9 පමණ විය. නිවෙසින් එළියට ආ මම නිවස අසල වූ ජම්බු ගහ යටට පැමිණියෙමි. නිවෙස අසල වූ වෙල් යාය සඳ එළියෙන් බැබළේ. රිදී සඳකිරණ මුළු පරිසරයම වෙලාගෙන ඇත. රන්මිණි කැට ඔබ්බවා කළ විසිතුරු රන් පැහැති රැස්වළල්ලක් සඳවට දැක ගන්නට තිබුණි. සඳේ ලස්සන පෙනෙන්නේ මේ දවස්වලටයි කියා මට සිතිණි.

සිය දහස් ගණන් වූ තරු කැටවල ආලෝකය මද වශයෙන් වැටෙයි. එහෙත් සඳ කිරණ පොළෝතලයට වැටුණු පසු තරුවල ආලෝකය නොපෙනෙයි. එක්වරම වව්ලෙක් ජම්බු ගහේ හැපෙමින් දඟලන්නේ ජම්බු ගහේ ගෙඩි කන්නට කියා මට සිතිණි. එය මට තරමක් බිය උපදවීය. පුරා පැයක් අහස දෙස බලා සිටි මම ගෙතුළට ඇදුණෙමි.

කේ.එච්. චාරුකා රිද්මානි

7 ශ්‍රේණිය ‘එච්’,

රුහුණු විජයබා මහා විදුහල,

තංගල්ල.
 


මේ ඔවදන් සිතට ගන්න

වාහනයක යන විට
නොදන්මන් හිස කිසි විට
නොදැනුවත්ව හිස දැම්මොත්
සිතට ගන්න එවිටම

අඹ වැනි රස පලතුරු
කා ලෙලි විසි නොකරනු
මහ මඟ එය දමා ගියොත්
එවිටම කැඳවයි මරු

මේ ඔවදන් සිතට ගන්න
ඔබේ දිවියට රැස් කරන්න
මහ මඟ අනතුරු ගෙන දෙයි
ඉවසීමෙන් වැඩ කරන්න

ආත්මා සෙව්වන්දි

6 ශ්‍රේණිය ‘සී’,

ඥානෝදය ම.වි., කළුතර
 


අහස

අහස නිල් පාටයි. වලාකුළු පුළුන් වාගෙයි. ඉර පායලා. අහස හරිම ලස්සනයි. ලස්සන පාට පාට මල් පිපිලා. ලස්සන සමනල්ලු මල් වල පැණි බොනවා.

කුරුල්ලෝ අහසේ පියඹනවා. හවසට ඉර බැස ගන යනවා. රාත්‍රියට අහස කළුවරයි. තරු දිළිසෙනවා. හඳහාමි එබී බලයි. රාත්‍රියට අහස හරිම සුන්දරයි.

කෞෂානි ගීතාංජන

2 ශ්‍රේණිය ඒ,

ආරක්ෂක සේවා විදුහල, කොළඹ 2.
 


විශ්වයේ කවුළුව

දහවල් අහසේ හිරු බබළයි. තරුවල වැටුණු විට රෑ අහසේ බබළන්නේ හඳයි. තවත් රෑ වන විට, රෑ අහස සැණකෙළියක් වගෙයි. කහ පාට, නිල් පාට, රතු පාට, සුදු පාට තරු අහස පුරා ම බබළන්නට වෙයි. අපට පෙනෙන ඒ අහස නොනිමි විශ්වයට කවුළුවයි. කවුළුවකින් පෙනෙනුයේ ටිකකි. ඒත් විමැසිල්ලෙන් බැලුවොත් ඉර, හඳ, තරු පමණක් නොව වල්ගා තරු සහ උල්කාපාත පවා දැකිය හැකි ය.

අහස විශ්වයෙන් කොතරම් සුළු කොටසක් ද? පොළොවේ වැලි කැට කොතෙක් ද? ඊට ද වඩා අපමණ ග්‍රහලෝක තරු, චක්‍රවාට ආදියෙන් විශ්වය පිරී ඇත. විශ්වයේ රහස් රැසකි.

ඩබ්ලිව්. ඒ. පුබුදු උමේෂ් වික්‍රමආරච්චි

11 ශ්‍රේණිය ‘ඩී’,

බණ්ඩාරවත්ත පරාක්‍රම මහා විද්‍යාලය, ගම්පහ
 


සුන්දරයි ජීවිතේ...

ගලන කළු නදිය සේ
පිපෙන උත්පල වගේ
හැළෙන වැහි පබළු සේ
සුන්දරයි ජීවිතේ
පායනා හිරු රැසේ
නැඟ එනා රෑ සඳ එළියේ
දිළෙන තරු කැට පෙළේ
සැඟව යයි කඳුළක් නෙතේ
වදන් සිත්තම් පෙළයි
හැඟුම් දම් වියමනයි
සතුට තනුවක් වෙලා
දිවිය ගීයක් වෙලා

හිරුණි ඉරාෂා සිරිවර්ධන

11 ශ්‍රේණිය,

කළුතර බා.වි., කළුතර.
 


ඔබ මගෙ වේවා අම්මේ...

හොඳ ගුණ දම් මට කියලා දැඩි කල අම්මේ
ආදරයේ ගුණ මහිමේ අගය කියා දුන් අම්මේ
දුවේ හොඳට ඉගෙන ගන්න කියා කියපු මගෙ අම්මේ
සංසාරෙන් සංසාරෙට ඔබ මගෙ වේවා අම්මේ
 

ජී.බී. පසිඳි ලංකානී

11 ශ්‍රේණිය ‘ඒ’,

වෑතර මහා විද්‍යාලය, හෝමාගම.
 


මාළු මාමා

මාළු මාළු මාළු
දැන් ගෙනාව මාළු
එන්නකො මගේ යාළු
මගෙන් ගන්න මාළු

සාලයෝ හුරුල්ලෝ
බලයෝ කටුවල්ලෝ
ඉස්සෝ කාරල්ලෝ
මං ගෙනාවෙ ලොකුම දැල්ලෝ

සදීපා රසාංජලී කරුණාරත්න

4 ශ්‍රේණිය,

නිවුන්හැල්ල කනිටු විදුහල,

ඉඹුලාන.
 


ගොවිතැන

‘පෙරදිග ධාන්‍යාගාරය’ නමින් අතීතයේ හැඳින්වුණු ශ්‍රී ලංකාව කෘෂි කාර්මික රටකි.

ශ්‍රී ලංකාවේ ගොවිකම රජකමටත් වඩා ඉහළය. අතීත රජවරු රටේ ගොවිතැන් සරුසාර කිරීමට ඉමහත් සේවාවක් ඉටු කළහ.

වැව් සාදවා, ජලය එක් රැස් කර තබාගෙන, යල මහ දෙකන්නය සරුසාර කරවීමට රජවරු ගොවියන් යොමු කළහ. ගොවිතැන නිවහල් නිදහස් රැකියාවකි.

වී ගොවිතැනින් ප්‍රධාන ආහාරය වන බත සැපයෙන අතර එළවළු ගොවිතැනින් සමබල ආහාර වේලක් සෑදෙයි.

ගොවිතැන් කර ජීවත් වන විට සිතට අභිමානයක් ද, ගතට නිරෝගී සුවයක් ද හිමිවේ.

අපේ රටේ ගොවිතැන් කටයුතු අතීතයේ මෙන් නැවත දියුණු කළහොත් අප රට ඉතා සෞභාග්‍ය සම්පන්න රටක් වනු ඇත.

පී.ජී. ලක්ෂානි වින්ද්‍යා,

6 ශ්‍රේණිය ‘ඒ’,

ජනාධිපති විද්‍යාලය, අඹගස්දෝව, බදුල්ල.
 


මෙරට නාට්‍ය කලාවට ජීවය දුන් සරච්චන්ද්‍ර මහතා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා වර්ෂ 1914 ජූලි 3 වැනිදා රත්ගම ගම්මැද්දේගොඩ නම් ග්‍රාමයේදී උපත ලද්දේය. මොහුගේ පියා තැපැල් ස්ථානාධිපතිවරයෙක් වූ අතර ඔහු චාල්ස් ප්‍රැන්සිස් ද සිල්වා නම් වූයේය. සිසිලින් මොරගොඩ ඔහුගේ මව විය. කුඩා කල පටන්ම සරච්චන්ද්‍රයන්ට නම තබන ලද්දේ යූස්ටස් රෙජිනෝල්ඩ් ද සිල්වා යනුවෙන් වූ අතර ‘එදිරිවීර සරච්චන්ද්‍ර’ යන ආර්ය සිංහල නාමය ලබා ගත්තේ සිංහල සංස්කෘතිය නියෝජනය කිරීමෙන් පසුවය.

එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ පියාට වරින් වර ස්ථාන මාරුවීම් ලැබූ හෙයින් සරච්චන්ද්‍ර දරුවාට ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයට, ශාන්ත ඇලෝසියස් විද්‍යාලයට, පානදුරේ ශාන්ත ජෝන් විද්‍යාලයට, සහ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයට තම අධ්‍යාපන කටයුතු සඳහා යෑමට සිදුවිය. සරච්චන්ද්‍රයන් වර්ෂ 1933 දී කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළත් වී ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගැනීමට සමත් වූයේය.

අනතුරුව වර්ෂ 1939 දී භාරතයේ ශාන්ති නිකේතනයට ඇතුළත් වී දර්ශනය සහ සංගීතය හැදැරු අතර පසු කලකදී ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් ද බටහිර දර්ශනය සහ භාරතීය දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ලබා ගත්තේය.

එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන්ගේ සිත නාට්‍ය කලාවට බොහෝ සෙයින් ඇදී ගියේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දී සේවය කරමින් සිටින අතරතුරදීය. එතුමා එහිදී සිංහල ගැමි නාටක පිළිබඳ පර්යේෂණවල යෙදුණු අතර එහි ප්‍රතිඵලයක් ලෙස ‘සිංහල ගැමි නාටක’ නම් පර්යේෂණාත්මක කෘතිය වර්ෂ 1968 දී ප්‍රකාශයට පත් වූ අතර එම පර්යේෂණයෙහි වැදගත්කම සලකා බලමින් ඔහුට සිංහල අංශයෙහි මහාචාර්ය ධුරය පිරිනැමීමට තීරණය කළේය.

මහාචාර්ය සරච්චන්ද්‍රයන් ප්‍රථමයෙන් නාට්‍ය කලාවට අවතීර්ණ වූයේ පරිවර්තන නාට්‍ය කිහිපයක් නිර්මාණය කිරීමෙනි. ඒ වර්ෂ 1943 දීය.

මෙතුමා ස්වතන්ත්‍ර නාට්‍ය කලාවට ද පිවිසි අතර වර්ෂ 1951 දී ‘බහින කලාව හෙවත් සංස්කෘතික කොමසාරිස්’ යන නාට්‍ය නිර්මාණය විය. පසුව ‘වෙද හටන’, ‘තරුණ ලේඛකයා’, ‘පබාවතී’ සහ රත්තරන් යන නාට්‍ය ද මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ශූරීන් නිර්මාණය කළේ ජාතික කතා සහ සිංහල ජන කතා පාදක කරගනිමිනි. වසර 5 කට පසු එතුමාගේ නාට්‍යය නැරැඹු ජනතාව පිනවමින් වර්ෂ 1956 දී ‘මනමේ’ නාට්‍යය බිහි වූ අතර එය ‘චුල්ල ධනුග්ගහ’ නම් ජාතක කතාව පදනම් කර ගනිමින් නිර්මාණය වූවකි. අනතුරුව ජාතක කතා සහ ජන කතා වැඩි වැඩියෙන් නිර්මාණය කළේය.

එතුමාගේ විශිෂ්ට සහ එදා සිටම ඉතා ප්‍රකට නාට්‍යයක් වූයේ වර්ෂ 1961 දී වේදිකාවට පැමිණි ‘සිංහබාහු’ නම් නාට්‍යයයි. සිංහබාහු මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ ජනපි‍්‍රයතම නිර්මාණයකි.

ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවට නිරතුරුවම ජීවය දුන් එදිරිවීර සරච්චන්ද්‍ර නම් මිණි පහන වර්ෂ 1996 අගෝස්තු 16 වැනිදා මුකුලිත විය.

ඉඳුරංග ගණනාත් හල්කෙවිදාන

12 ශ්‍රේණිය,

මයික්‍රො උසස් අධ්‍යාපන ආයතනය,

කිරිබත්ගොඩ


 

හංස මෝස්තරය
ලිහිණි බීනු දෙව්මා
4 ශ්‍රේණිය,
ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමය, කොළඹ 07.

අපේ සෙල්ලම් ගෙදර
චේතනා සමුදිනී වික්‍රමසිංහ
3 ශ්‍රේණිය ‘බී’,
හඳපාන්ගොඩ ම.වි., හඳපාන්ගොඩ.

වැසි දිනය
එරන්දිනී සෞභාග්‍යා
7 ශ්‍රේණිය ‘එච්’,
ගෝතමී බා.වි., කොළඹ.

කෝච්චියේ ගමනක්
බිහන්සිත් මන්දිව් කඹුරුගමුව
3 ශ්‍රේණිය ‘සී’,
විද්‍යාලෝක වි., ගාල්ල.

අපේ පවුල
සමුදිත දේෂාන් අමරසිංහ
2 ශ්‍රේණිය ‘ධීර’,
ඩඩ්ලි සේනානායක ම.වි., තෝලංගමුව.

කුකුළන්ට කෑම දානවා
එන්. එම්. තරිඳු බණ්ඩාර
යුද හමුදා විදුහල,
පනාගොඩ හෝමාගම

 

තාත්තා ඡන්දය දානවා
රන්දුනු රත්නායක
7 ශ්‍රේණිය,
ජේ.එම්.සී.ජාත්‍යන්තර පාසල, කොළඹ 09.