මධු කුසලාන
යසෝරාවය
තුටින් ඉපිලි ඉපිලී පැන වෙරළ ඉම
දුටින් යොමා නෙත් නිල්වන් නෙරලු බිම
වටින් පෙනෙන සුදසුන් ගැන සොඳුරු තම
කටින් වණා නිම නො කළැකි කරුණ කිම
කිම ලක්මවුනි මේ නිල් වන වදුලුවල
රම ණීය සිනාකැන් ඉසිනේ බමරුදුල
ළැම පිරි බැතින් සිප සනහා නළල තොල
නිම නැති සෙනේහෙන් පැළඳෙන්නට ද ගෙල
ගෙල සිඳ මුලින් දැමුවත් ඔබ රකිමි යන
දළ අදිටනින් සිටි පෙර විරු සෙබළ ගණ
හෙළ මෑණියනි, ඔබ රැක ගත් අයුරු දැන
’හෙළ පියුමුපුල්’ පිපුණේදැයි කියනු මැන
මැන මැන නුදුන් සෙනෙහස් රස ඔබගෙ හදේ
ගෙන දුන් සමගි සාමය දුක් කඳුළු නොදේ
එන - යින් තෙමී දෑ අබිමන් කිරණ පොදේ
දින - පති නැඟිට එයි ඉර සේවයට උදේ
උදේ පහන් දොර මුතුමල්තුහින වැටී
රැඳේ ළතුරු හිස විලසින් දිමුතු කැටී
බඳේ එගිරි නිති නිල් දියකඳුරු ගැටී
හදේ මවන කවි උල්පත් හරිම වටී
ජේ.ජේ. වික්‍රමසේන
තල මල පිපිලා
වඩාගන්ඩ වාගේ සුරඹුන් අහසේ
පුරා පෙරුම්දම් සිටියා සේ රහසේ
උදා තරුව සැඟවී ගිය විට දවසේ
පිපී වැනෙනවා සුදු තලමල රිස්සේ
බමරුන් මොනවටද මැසිවිලි නඟන්නේ
කස්තුරි සුවඳමයි දස දෙස හමන්නේ
මඳ සුළඟටත් ඔහෙ හෙමිහිට වැනෙන්නේ
පිපිලා තල මලක් නැතිවද පෙනෙන්නේ
ගම මැද වදුලු වල ඉහළම අතුගාව
අලුතින් ඉරක් වාගේ අහසින් ආව
ලස්සන වැකි ගොතා පෙර කවියන් කීව
ඒ තල මලම දෝ මේ නැවතත් ආව
මහරු කියයි රහසින් මැසිවිලි මුමුනා
මහ අපලයක් ගෙන ආවලු එහි අමුනා
මලකින් ගමට වන අපලය නැත හඳුනා
තලමල පුබුදුවයි ගම සැනසුම ගෙනෙනා
කවුඩුපැලැල්ල
සෝමරත්න හරස්ගම
සීමා මායිම්
පෙරලෙන්නට නොහැකි සිරුරක නැටිල්ලයි
මොල කැටි යුගත් පා දස අත ගැටිල්ලයි
බිළිඳකු හඬන හඬ දෙසවන වැටිල්ලයි
තිඹිරි ගෙදර සිර කඳවුර තොටිල්ලයි
බොළඳ වදන් පිරි සියුමැලි කටක්ය
එය මත සුපිපි හසරැලි මල් මිටක්ය
ජීවන ගමන අරඹන නැව් තොටක්ය
වැටි වැටි නැගිටිද්දි දොරකඩ වැටක්ය
සෙල්ලම් ගෙයට නැත්තේ ඉඩ කඩක්ය
කාලය දෙපා රිදවන මඩ ගොඩක්ය
කෙළිබිම තුළින් ඇසුනෙන් රළු හඬක්ය
මිදුලෙන් එහා ඉදි කළ ඉඳිකඩක්ය
වර්ණය අනුව සුදු කළු යැයි බෙදීමකි
එමඟින් ජනිත වන්නේ සිත් බිඳීමකි
කෙළිලොල් බවෙන් විය යුත්තේ මිදීමකි
මල්වරවීම යුවතියකට බැඳීමකි
සිහිපත් කළ යුත්තෙ සුදු මල් වට්ටියකි
පින් පැන් මුට්ටියකි පව් පස් කුට්ටියකි
අවසානයේ සිව් රියනක පෙට්ටියකි
නොමිලේ ලැබෙන්නේ මුඩු බිම් කට්ටියකි
සිදුහත් කුමරු අබිනික්මන ගැම්මක්ය
නේරංජනාවෙන් පැන්නේ පිම්මක්ය
දෙගොඩ තලා යන තණ්හා නැම්මක්ය
නිවන් මඟට සංසාරය බැම්මක්ය
කෑගල්ල - චතුර කේ.
අමරසිංහ
සුන්දර රාත්‍රියක්
කවියක හඬ ඇසෙයි පැලකින් දුර බෝම
ගැමි පරිසරය සිරියාවයි හැම දාම
නොකියූ කතා එමටයි සිත තුළ තාම
නොනිදා පහන් වන තුරු ඉමු මුළු රෑම
තරු කැට දිළිසි දිළිසී දුර සිනා සලයි
පිණිබිඳු විසිරි විසිරී මල් පනා තලයි
සිත ගත කළඹවා දැවටෙන සුළං වැලයි
හද තුළ වාං දමමින් ආදරේ ගලයි
විහඟුන් ගුලිවෙමින් නිදි ඇති බඩ වැටියේ
මොරදෙන රැහැයි හඬ අඩුවෙයි හිටි හැටියේ
කිරිපැණි ගෙනැල්ල ද පුන්සඳ රන් තැටියේ
ඩිංගක් ඇරල බලමුද කවුළුව කුටියේ
ඇස් කරකවා එබි එබි “හුම් හුම්” ගානා
දැක්කද අන්න කොස් දෙබලේ බකමූණා
මක්කද දොඩන්නේ ඉමු දෙසවන් මානා
උන්දැගෙ අඹුට රහසක් වෙන්නට ඕනා
කන්දට හඳ වැටී යායම කහ පාටයි
නින්දට නොගිය කොරවක් පැටියකු ගාටයි
අන්දර මලේ සුවඳත් වැඩි මහ රෑටයි
සුන්දර ගතිය ඇත්තේ අද වැනි දාටයි
රත්නා ලංකා අබේවික්‍රම
වන මැද නළගන
සුදු මුදු සුමුදු සළු පට විනිවිද පේන
රැළි නග නගා රඟමින් මදහස පාන
රැඟුමින් හඬින් තව කෙනකුට අසමාන
නළඟන ඔබද වන මැද දස්කම් පාන
හකුළන විසුරුවන රැළි සුසිනිදු සේලේ
නලවැල් සමඟ නටමින් සැනසෙන කාලේ
රසදත් හදක වඩවන පිවිතුරු ආලේ
කෙල්ලෙ ඔබ නිසයි මේ කවි මල් මාලේ
වන මැද අඳුරු පාළුව තනිකම අතර
කා වෙනුවෙන්ද රැගුමන් ගැයුමන් නිතර
ආලෝකවත් කළ ජීවිතයක අඳුර
ඔබගෙන් ලබමි සැනසුම සොම්නස මිහිර
විමලා වඩුගේ -
පේරකැටිය
ඇගෙ යෞවනය

ජුකී මැෂිමකට දියකර ජීවිතය
අකා මකා සිව් දෙනකුගෙ හාමතය
තැවුල් සිහින මිස ඈ අත නෑ සතය
ඇගෙ යෞවනය කම්හලකට සිමිතය
තරු පායන ලොවක, තරු විසිවෙන ලොවක
ඉපදුණු පැලක – වී පවුලක ලොකු දුවක
මව, මිය ගිය පසුව ඇය ගෙදරට මවක
මේ දොස කිමෙක ගැඹුරේ තරමද පවක
මැෂිමක අඳෙීනා හඬ දෙසවනෙහි හමයි
දුහුවිලි සුළඟ ඇගෙ දුක්බර නයන තෙමයි
ඩාබිඳු උරන බමරුන් හිස මුදුනෙ බමයි
ලෝකය ඇගෙ අඳුරු සිරකුටියකට සමයි
බෝගන සේන බෝකන්ද
ළඳුනේ
සීතල නුවරඑළියේ හිමිදිරි අරුණේ
තේ දළු නෙළන්නයි අතපය හුරු කෙරුණේ
දහදිය හෙළන අහසට උස කඳු මුදුනේ
ආඩම්බරයි මුළු රටටම ඔබ ළඳුනේ
අතකින් මිටිය ගෙන ඉඳ ගල්වල අයිනේ
කළුගල් තලා රෑ වෙනතුරු වන ගහනේ
ළඳුනේ අපා දුක උහුලන මද් දහනේ
ඔබෙ දහිරියෙනි පවුලක බඩගිනි නිවුනේ
දුම්බර රටා දා ලස්සන පැදුරු වියා
අග හිඟ මකන්නට ඉන් මිල මුදල සොයා
වෙහෙසෙන නිතර පවුලේ බර කරට තියා
ළඳුනේ ඔබෙන් වනිතා ගුණ ඉහළ ගියා
කන්තෝරුවේ - රෝහල් බිම උසාවියේ
පාසල – හමුදාව - වැඩපොළ පොලීසියේ
වෙළෙඳ කලාපය ඇතුළත දිවා රැයේ
ළඳුනේ ඔබේ දහිරිය පැතිරිලා තියේ
නාරන්දෙණියේ
හෙන්රි සෙනෙවිරත්න
ජීවිතයයි කවියයි
ඉපදුණෙ සරසවිය වොරැඳෙන මෙ සිරි දෙසා
නැළවුණෙ තිඹිරි ගෙයි මව් නැළැවිල්ල අසා
තොස් වුණෙ විඳ සඳැස විරිතෙහි රසය එසා
ඔප වුණෙ දිවි රුවන මගෙ... හෙළ කවිය නිසා
කතරේ තනිය මැකුමට අති’නත බන්දා
පියවතියකට යොවුනෙහි කවි පද බැන්දා
පැල මැඳුරකට හරවා දූ මිණ ලද දා
කවි පබැඳුවේ සරසවි පැලට ම කැන්දා
දීගෙක යැව් දිනේ දූ කවි පද පබඳා
මා තොස් වුණේ සරසවි හා අම වළඳා
නිම වී යුග ගමන කතරෙහි තනි වුණ දා
සැනසුවෙ සරසවිය නෙක කඳුළැලි පිසදා
මොරටුවේ බර්ටි ඩික්සන්
ප්‍රනාන්දු
හිස් බව සහ දිවිය
සැප කියා සිතෙනමුත් දුක් පඳුරු පැළවෙතී
සිනා මල් තල තලා කඳුළුවැල් උදුරතී
නෙක පැතුම් ඉපදෙතී ඒ සැණින් මියයතී
ජීවිතේ වැලි තලාවක් ය කිසිවක් නැතී
මරණයේ හඬ අසා කෙනෙක් කලබල වෙතී
එය මහා නපුරකැයි කියන්නත් පෙළඹෙතී
බය නසා ගනු පිණිස නෙක ගැයුම් මතුරතී
අනියතය වැළඳගෙන මරණයට හසුවෙතී
අයහපත අයුක්තිය නිදහසේ ඉගිලෙතී
සොඳුරු බව සෙනේහය මර බියෙන් ඇළලෙතී
කපුරු කස්තුරි වගෙයි දකින්නට හොඳගතී
ජීවිතේ දහක් පාඩම් අපට පවසතී
වැල්ලවාය
දඹේගොඩ ජිනදාස
දුක් නොවේවා
දැනගෙන සිටිමි සිතිජය කෙළවර අහස
මම දිවගියේ නැහැ අල්ලන්නට අහස
පැතුවේ නැහැ කිසිදවසක නුබෙ පහස
නොඅසනු මැනවි නොකියමි ඒ රහස
සෙනෙහස අරුත වෙයි තමනට ඇති මනස
නැහැ යොමුකළේ වරදට කැඳවන දිගැස
ළය තෙත් වෙලා ඇමතුවෙ සොයුරකු විලස
වදනක් නොවේවා සිත දුක් ගන්නා විලස
සවුදි අරාබිය
අත්තිඩියේ නිමල් සිරිතිස්ස
වැරැදි වැඩ
දිනෙන් දින හමුව වේ රැළ පුරුදු ලෙසින්
දුකින් රැගෙනවිත් වැලි මැටි නුදුරු දෙසින්
ඔවුන් තුඹස ඉදිකළ පසු නොමඳ තොසින්
පදිංචිය ලබාගෙන ඇත නයකු විසින්
තිරිසන් ලෝකයේ පවතින කරුණු උඩ
දියදම් මව විසින් දී ඇති නමුදු ඉඩ
පෙනුමෙන් ඇතත් ජන්මේ පැවතුමක හැඩ
කවුරුන් කළත් මේවා නම් වැරදි වැඩ
හොරණ – වෑවල වීරසිංහ
එපා
නිලය නිසා හිස උදුමා ගන්න එපා
බලය නිසා අන් අය මැඬලන්න එපා
මිනිසත් බවේ සාරය කෙළසන්න එපා
මුදලට ගිජුව නොපනත් කම් කරනු එපා
සාමය කඩා රට දැය වනසන්න එපා
අනෙකා තමා හට දෙවැනියි සිතනු එපා
පුහුමානයෙන් හිස පුරවා ගන්න එපා
පවතින සිරිත් පාගා සුනු කරණු එපා
දුප්පත් දනන් ගැන අඩුවෙන් සිතනු එපා
පොහොසත් අයට වැඳ වැටිලා සිටිනු එපා
ආගම දහම අමතක කර ඉන්න එපා
රට දැය සමය අඩු මිම්මෙන් මනිනු එපා
ගහ කොළ පරිසරය කෙළෙසා දිනනු එපා
පොදු සම්පත් තනියෙන් පල විඳිනු එපා
මම පමණයි කියා සිත දැඩි වෙන්න එපා
අන් සිත් දුකෙන් පුරවා පැන යන්න එපා
මධුරී අබේවික්‍රම
ඔබේ නිර්මාණ මෙසේ එවන්න
සංස්කාරිකා
මධු කුසලාන - සිළුමිණ කර්තෘ මණ්ඩලය
ලේක්හවුස් - කොළඹ 10
|