අපේ ස්වාධිපත්‍යය සිල්ලරට විකිණීම

 
 

අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක

 
 

මහා බොරුවක් බවට පත්වූ ෆොන්සේකාගේ බොරු සටන

 
 

ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ

 
 

නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි

 
 

රුවල් යාත්‍රා රෙදි නිපැයුම් කම්හලක් දිවුලපිටියේ

 
 

වසන්තය උදාවිය

 
 

සුබ අනාගතයක් උදෙසා පත්වූ ජනපතිට ලොව දසතින්ම සුබ පැතුම්

 
 

යුද්ධ කාලේ ඇන්දේ පිටි ගෝනිවලින් සරම් මහගෙන

 
 

මුතූ... ඔයා හරියට මනමාලියක් වගෙයි (රසදුන නව කථාව)

 
 

කැඩපතින් නොව ටින් පියනෙන් මුහුණ බැලූ දරුවෝ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

පෙම්වතා පසුපස සරනා ජෙනීටාගේ භූතාත්මය


මගේ අම්මා සත්ත්ව කරුණාවෙන් පිරිපුන් මවක්

මගේ අම්මා සත්ත්ව කරුණාවෙන් පිරිපුන් මවක්

ඔහු ශ්‍රී ලාංකේය හෘදයාංගම කථන කලාවේ පුරෝගාමියෙකි. ඒ ඇමතුම නිසාම හෙතෙම මුල් වරට මෙරට රූපවාහිනී රසිකයන් අතර ජනපි‍්‍රය විය. ඒ රූපවාහිනියේ විකාශය වූ ‘නවයයි පහ’ වැඩසටහනෙනි. අනතුරුව නිවේදකයකු ලෙස නැගී ආ හේම නලීන් කරුණාරත්න නම් ඔහු ස්වර්ණවාහිනියේ නිර්මාණ අධ්‍යක්ෂ, වැඩසටහන් අධ්‍යක්ෂ දක්වා ගමනක් ගියේය.

ස්වර්ණවාහිනියේදී ඔහු කළ වැඩසටහන් අතිශය ජනපි‍්‍රය වූ ඒවා විය. ජීවිතයේ නොයෙකුත් දෝලනයන් අතර හිරවූ නලීන් දැන් ‘හෙරිටේජ්’ නම් පෞද්ගලික රූපවාහිනී නාළිකාවේ ප්‍රධානියාය. තමන්ගේ ආදරණිය මෑණියන් ගැන සිතිවිලි අවදි කරන හෙතෙම දැන් මා අබිමුව හිඳී. මම ඔහුගේ සරල කටවහර ඔබට ලියමි.

මගේ අම්මා ඉයුජින් ලීලාවතී කරුණාරත්න. ගුරුවරියක් වශයෙන් දීර්ඝ කාලයක් වැඩ කළා.

වාද්දුවේ තල්පිටියෙ ගෙවල් හදනකම් අප හිටියෙ මතුගම හොරවල කියන අම්මගෙ ගමේ. පියා ගල්බඩ පයාගලගේ චුලසේන කරුණාරත්න.

තාත්තගෙ ගම බෙන්තර. වෘත්තියෙන් විදුලි ඉංජිනේරුවෙක්. අම්මා හොරවල ඉස්කෝලෙ වැඩ කරන කාලෙ මාව මුලකුරට යැව්වෙ මතුගම ශාන්ත මරියා විද්‍යාලයයට. හැබැයි! මුලකුර කීවට ගෙදරදිම අම්මා අකුරු කියවා තිබුණා.

එයා විතරක් නොවේ පුංචි අම්මත් ගුරුවරියක්. අවිවාහකයි. එතුමිය විතරක් නොවෙයි. ගුවන් විදුලියෙ පළමුවැනි නිවේදිකාව ප්‍රභා රණතුංග එයත් අම්මගෙ නංගි.

ඒ නිසා අකුරු කියවීම ගෙදරදිම කෙරුණා. අම්මා පිළිබඳව මට මුල්ම මතකය තියෙන්නෙ ස්කෝලෙ ඇරිලා අම්මා එනකම් පාසල් ගේට්ටුව ළඟ රැඳුණු මොහොතයි. ඇය කුඩයක් අරගෙන තවත් ගුරුවරියක් එක්ක මේ ගුරු පාරෙන් එනකම් මාත් දෑස් දල්වා බලා ඉන්නවා. මේ අතර වාද්දුවෙ ගෙය හැදුවා.

ඊට පස්සෙ මාව යැව්වෙ කොළඹ රාජකීය විද්‍යාලයට. පාණදුරයට ඇවිත් ස්කුල් බස් එකේ නැඟලා යන්නයි අම්මා තාත්තා කීවේ. මේ ගමන අතිශය සුන්දරයි. වාද්දුවට ආවට පස්සෙ අම්මා වත්තල්පොළ මහා විදුහලට මාරුවක් හදාගත්තා. මගේ අයියා මට වඩා අවුරුදු 10 ක් වැඩිමල්.

අපේ වයස පරතරය නිසා මා තුළ පැවැතියේ එක්තරා හුදෙකලාවක්. මට මතකයි අයියා පුංචි කාලෙ පාවිච්චි කළ සෙල්ලම් බඩු, බයිසිකල් වගේ දේවල් මට පසු කාලෙක ලැබෙනවා. අලුත්ම ඒවාත් නොදෙනවා නොවේ. වයස පරතරය නිසා අප දෙන්නා එක්ව සෙල්ලම් කරන්නෙත් නැති තරම්.

මගෙ අයියා දැන් සංචාරක මාර්ගෝපදේශකයෙක්.

ඇය කන කොටත් පූසන් හත් අට දෙනෙක් වටේ. අම්මගෙ සත්ත්ව කරුණාව දන්නා නිසාම ගමේ ඇතැමෙක් හොරෙන් පූසන් ගෙනැවිත් වත්තට අත්හරින එකත් පසුව අපට කරදරයක් වුණා. ඒ කාලෙ භූමිතෙල් කරත්තෙ ගමට එනකොට මට අවශ්‍ය වෙනවා ඒ කරත්තෙ ඇදගෙන යන ගොනාව මොහොතක් වේලා නවත්වාගන්න.

මේකට නූල් සුත්තර දානකොට අම්මා තමයි උදව් කරන්නෙ. තණකොළ කපලා කලින්ම තියා ගන්නවා.

ලාඩප්පා හා නොයෙක් වැල් ජාති හොයා ගන්නවා. ඒ සතාට කන්ඩ දුන්නාම එයා ඉතින්! බොහෝ වේලාවකට යන්නෙත් නෑ. මාත් ඉතින්! ඒවා බල බලා සතුටු වෙනවා. අම්මටත් සතුටුයි. අපේ අම්මා ලබා තිබු පුදුම ගුණයක් තමා පිරිස් බලය.

අම්මා ඉන්නා තැන ගමේ ගැහැනු වටවෙලා උදව් කරනවා. සැන්ටි ආච්චි, ජේන් අක්කා, අමරදාස ගුණපාල එහෙම මතකයට නැඟෙන ප්‍රධාන නම් කිහිපයක්. බොහෝ වේලාවට හොරවල ගමේදි මාව ස්කෝලෙ ගෙනිච්චෙම මේ අය.

එකේ ඉඳන් පහ ශ්‍රේණිය දක්වා මා හිටියෙ අම්මගෙ ගමේ. යාළුවො තමයි සුනිල්, නිහාල්, සිසිර, වගේ අය.

අපේ ගේ ඉදිරිපිට තිබුණු කෝපි ගහේ අත්තක් තමයි මේ පුංචි යාළුවන්ගෙ සාකච්ඡා මණ්ඩපය. අම්මගෙන් තහංචියක් නැත්තෙ මගේ සමකාලීන මිතුරන් හොඳ නිසයි. ඉතින්! නිකම්ම සාකච්ඡා කරන්නත් බෑනේ. සීනිබෝල, හුනුබිජු, ටොෆි, බුල්ටෝත් අවශ්‍යයි. හැබැයි! මේ සාකච්ඡා මණ්ඩපය නිසා පාඩු සිදුවුණේ පොඩි මාමාට.

ඒවාට අවශ්‍ය සල්ලි පොඩි මාමාගේ සාක්කුවෙන් තමයි ගත්තෙ. අම්මා උපේක්ෂාවෙන් අපේ සාකච්ඡා මණ්ඩපේ දිහා බැලුවෙ. මා දන්නා තරමින් අම්මා නිය පිටින් අපට පහරක් ගහලා නෑ.

හරිම සුන්දර අහිංසක කාන්තාවක්. ගුරුවරියක් හැටියට ඇය තුළ පුදුමාකාර නිවුණු බවකුත් තිබුණා.

ගමේ දරුවොත් හරිම ආදරෙයි. ඇය ඉංගිරිසි ගුරුවරියක් නිසා ඉංගිරිසි නම් ඉගෙන ගැනීම ගැන ඇය හරිම උනන්දු වුණා. තාත්තා ටිකක් ඕනෑවට වඩා සමාජශීලියි. කොච්චර ද කියනවානම් කට්ටෙන් රා බීලා ගමේ රවුමක් ගහලා එනතරම් සමාජශිලියි. ඒත් අම්මයි තාත්තයි අතර කවරදාවත් ගැටුම් තිබුණේ නෑ.

අම්මගෙ පුදුමාකාර ඉවසීම වෙලාවකට දුර්වලකමක් කියලා හිතෙන වෙලාවලුත් තිබුණා. ඒත් සමහර දාට උදේට තේ එක හදන්නෙත් තාත්තා. ඒ තරම් සමගියක් තිබුණා.

දෙන්නාම එකතු වෙලා උයනවා. අපේ ගෙදර මස් නම් අරහං. මාළු නම් ඕනෙ තරම්. ගමේ කෙරෙන ශාන්ති කර්ම, තොවිල් බලාන ඉඳලා අපි ගස්වල ‘ස්ටේජ්’ ගහලා නාට්‍ය රඟ දක්වනවා. වාද්දුවෙ ගෙදරදිත් එහෙමයි. එහෙදිත් අම්මට මහ පිරිස් බලයක් තිබුණා.

කඩේට ගිහින් ගෙදරට අවශ්‍ය තුනපහ, මාළු පිනි ටික පවා ගෙනැත් දුන්නෙ අසල්වැසි කාන්තාවො. අලුත් අවුද්දටවත් අම්මා ගෙදරින් පිට යන්නෙ නෑ. සියලු දේ කරන්නෙ අසල්වැසියො.

අම්මා කරන්නෙ කළමනාකරණය කරන එක විතරයි. මා දන්නා හැටියට වාද්දුවෙ ඔය ගෙදරින් අම්මා තරමක් හෝ පිටවෙලා හිටියෙ සුනාමි අවස්ථාවෙදි විතරයි. අම්මා නිතරම මගේ අධ්‍යාපන කටයුතු ඇස ගසාගෙන හිටියා.

විද්‍යා විෂයයන්වලින් අසමත් වෙන විට අම්මා තරමක් කම්පා වුණා. මා කීවා අම්මෙ මා කැමැති කලා විෂයයන්වලට. මට ඒ පාරෙ යන්න දෙන්න කියලා. ඒ ස්වාධීනතාව අගය කළ කෙනෙක් මගේ අම්මා. මට ඒ නිදහස ඇය දුන් නිසා කලා විෂයයන් වලින් පාස්වෙලා සරසවියටත් ගියා.

අම්මා විෂ්ණු කතරගම දෙවියන් තදින් අදහන කෙනෙක්. බාරයක් වුණත් කතරගමට හෝ ශ්‍රී මහා බෝධියට විතරයි. අම්මා ගෙදර පහන් පැලට තියන්න හෙන්දිරික්කා මල් වැව්වා මතකයි. අම්මගෙ ලොකුම විනෝදාංශෙ තමයි කාටත් එපා වුණු පූසන් රැකබලා ගැනීම.

අන්තිම කාලෙත් ඇය ලිස්සලා උකුලු ඇටයක් පලා ගත්තෙත් පූසෙක් අනතුරකට ලක්වෙන්න ගිහින් බේරගන්ට ගිහින්. ඒ තරම් උසස් සත්ත්ව කරුණාවක් අම්මා ළඟ තිබුණා.

අපටත් හොරෙන් අපේ සිත්වලට කරුණාව දයාව ගලා ආවෙ අම්මාගෙන්. මට මොන තරම් කෙණහිලි කළ කෙනෙක් එක්කවත් මා වෛර නොකරන්නෙ අම්මගෙන් ලත් මේ උසස් ගුණාංග නිසයි.

එයා හරිම චාම්. ලොකු ලොකු ආසාවල් නෑ. සුදු සාරි කීපයක් තිබුණා. ඊට අමතරව හුඟාක් ඇන්දෙ දිග ගවුම්. මේ දිග ගවුම් පූසන්ට ගෙදර වටේ කරකැවෙන්ට හොඳම වාහනයක් වුණා.

උන් අම්මගෙ ඇඟේ එල්ලිලා ඉන්නෙ. මාළු, බිත්තර, කරවල වගේ දේවල් වැඩියෙන් උයන්නේ මේ සතුන්ටත් එක්ක. මස් නම් ගෙදර අහලක ගෙනෙන්න තහනම්. අම්මා හරිම ප්‍රායෝගික ඥානයෙන් පොහොසත් කෙනෙක්.

දවස් පහේම ඉස්කෝලේ ගිහින් හවසනෙ ගෙදර එන්නෙ. ඒ හින්දා සෙනසුරාදා තරමක් වේලා මා නිදා ගන්නවා.

ඒ ‘කෝටා’ එක ඉවර වෙන්නම බීපු හින්දා අපේ පවුලෙ කවුරුත් මතට තිත. අම්මා මේ ගැන නම් හරිම සතුටුයි.

මගේ කලා ජීවිතය නැඟි හිටියෙ සොළොස් කලා පිහිටා නැඟෙන චන්ද්‍රයා පරිද්දෙන්. ‘නවයයි පහ’ රට පුරා ජනපි‍්‍රය වෙද්දිත් අම්මා ඒ ගැන කතා කළේ නෑ.

කිසිම දෙයකින් උදම් නොවීම හා කිසිම දෙයකින් කම්පා නොවීම කියන ගුණය ඇයට තිබුණා.

ඒ නිසා අම්මා ඒ ගැන ආඩම්බරයෙන් කාත් එක්කවත් කතා කළෙත් නෑ. මටත් ආසයි අම්මා මේ ගැන මොනවාද හිතන්නෙ කියලා දැනගන්ට.

මා ‘නවයයි පහ’ විකාශය වන වෙලාවට අම්මා කරන්නේ මොනවාදැයි ඉතාම විශ්වාසවන්තයකුට කියා සොයා බැලුවා. අනේ! එයා ඒ වෙලාවෙ වෙනත් නාළිකාවක් බලමින් ජෝතිපාලගේ ගීත අහලා. ඒක තමයි ජනපි‍්‍රයත්වය කියලා අප හිතා සිටින දේ ඇත්ත රහස. හැබැයි!

චෝදනා 17 ක් දාලා රූපවාහිනියෙන් මාව දොට්ට දමපු වෙලාවෙ නම් ඇය තරමක් කලබල වුණා. පොඩි පුතා, අප කියන කරන දේ තුළ අප අවංක නම් අපට වරදින්නෙ නෑ. ඇය මා දිරිමත් කළේ එහෙමයි.

ඊට පස්සෙ මා ස්වර්ණවාහිනියෙ වැඩ සටහන් අධ්‍යක්ෂ කාලෙදි මට අම්මගෙ ගමේ උදවිය කතා කරනවා. දුක සැප සොයා බලනවා. ඒ සැන්ටි ආච්චිට හෙලේනා ආච්චිට සලකන්න පුතේ.

අම්මා ඒ විදියට මට කීවෙ මාව පොඩි කාලෙ බලා කියා ගත් ඒ අය අමතක කරන්න එපා කියන පාඩම කියා දෙමිනුයි. මාත් ඒ අයට අම්මා නැති කාලෙදිත් සැලකුවා. විශේෂ යමක් කියන්ටම ඕනෑ.

මා සෞඛ්‍යදාන බළකායෙ ඉන්න කාලෙ බරවා රෝගිනට උදව් කරන්න පෙළැඹුවෙ මගේ අම්මා.

කළුබෝවිල රෝහලේදී මගේ මේ අත් දෙකෙන් බරවා රෝගිනගේ කකුල් ඇතුළට පාන්කඩ යවලා රෝස පාට පණුවො ඇදලා අරගෙන තියෙනවා.

ඒ පුරුද්ද ඒ ශක්තිය මට ලබා දුන්නෙ අම්මගෙ සත්ත්ව කරුණාවයි. මට මතකයි ඒ කාලෙ සුසිල් පේ‍්‍රම් ජයන්ත් ඇමැතිතුමාත් සෞඛ්‍යදානෙ ලොක්කෙක්.

තමන්ට ගැළපෙන හිත ගිය කෙනෙක් තමා විතරක් නොව තමාටත් ආදරය කරන කෙනෙක් විවාහයට ගන්න කියා දුන්නෙ අම්මා.

ඒ විදියටයි මා විවාහයකට ගියෙ. අදත් මට වරදක් වෙලා නෑ.

අවුරුදු 88 ක් පමණ අම්මා ජීවත් වුණා. ඇය මිය යන මොහොත වෙනකම් ඉතාම නිරවුල් මනසක් ඇයට තිබුණා මතකයි. අම්මා ඒකට හේතුව හැටියට දැක්කෙ කාටවත් හිංසා නොකැර අවිහිංසාවෙන් ජීවත්වූ නිසයි කියන පාඩම මට උගැන්නුවා.

අම්මා සායි බබා තුමන්ට කාලයක්ම ගෞරව කළා.

එතුමා වෙනුවෙන් බජන් කීවා. ඒ බජන් වැඩියෙන්ම අම්මා වෙනුවෙන් කීවෙ මමයි. ඒ පුරුද්ද නිසා කොළඹ ආවම පහුගිය කාලෙ තුවාල වුණු හමුදා සෙබළුන් හෝ රෝගියකු හරි ගෙන යන ‘ඇම්බියුලන්ස්’ එකක් දැක්කමත් මට ඒ බජන් මුල පාඨ කියැවෙනවා.

අම්මගෙන් මට කාන්දු වුණු වැදගත්ම ගුණය ඒක. අම්මා එක මිණිපිරියක් දැක්කා. ඒ මගේ දූ.

ඒ නිසා ඇය මගේ දුවට හරිම ආදරෙයි. අවුරුද්දට නැකතට ගෙදර නැති පුතෙක් හැටියට මා හිටියෙ.

ඉතින්! අම්මට නැකැත් කරන්න විදියක් තිබුණෙ නෑ. මගේ කථන කලාව ගැන ඇගෙන් යමක් අහගන්න මා කොච්චර නම් උත්සාහ ගත්ත ද? අම්මා අන්තිම කාලෙදි තමයි ඒ ගැන මට වචනයක් කීවෙ. මා ඒ පාඩම හරියටම ඉගෙන ගත්තා.

“පුතේ උඹ, නිවේදන කටයුතු කරනවා හොඳයි. ඒත් උඹ කතා කරගෙන යනකොට හිටි ගමන් වචනවල අන්තිම අකුර ගිලිනවා. එහෙම කරන්ඩ එපා. වචනයක අරුත දෙන්න ඉස්පිලි පාපිලි ඔක්කොම කියැවෙන්න ඕනෑ. නැත්නම් මේක අඩුවක්...

මේක නම් මට හොඳටම දැනුණා. ඊට පස්සෙ තමයි මා ඒ ගැන වඩාත් උනන්දු වුණේ. ස්වර්ණවාහිනියේදි මා කළ ‘මයුර සංදේශය’ වැඩ සටහන බලලා ඇය හරියට සතුටු වුණා.

‘දිල්රුබාව‘ වාදනය කරනවා බලන්නත් ඇය ආසයි. ඒ වගේ ම ටවර් හෝල් ශිල්පින් වෙනුවෙන් කළ “හද බැඳි ගීතා” වැඩසටහනත් ඇය අගය කළා.

ඇය තුළ වූ සෞන්දර්යවාදි ගැහැනිය මා හඳුනා ගත්තේ ඒ මොහොතේදි. වැඩිය නොපෙන්වුවත් ඇය තුළ ද මා මෙන්ම සෞන්දර්යවාදිනියක් හිටියා.

මට ජීවිතය පමණක් නොව සෞන්දර්යයද, දිරිය ද, කැපවීම ද, නොසෙල්වෙන ගුණය ද, දයා කරුණා ගුණය ද ඉගැන්වුවෙ අම්මා බව මට සහතිකයි.