ෆොන්සේකාට කවදාවත් ගමනක් නැහැ
ෆොන්සේකාට
කවදාවත්
ගමනක් නැහැ
එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ
ඉඩම් සහ ඉඩම් සංවර්ධන ඇමැති
ජොන්ස්ටන් ප්‍රනාන්දු
එ.ජා.ප.යට ජනතාව පාරට බස්සන්න නොහැකි බවත් පාක්ෂිකයන් එ.ජා.ප.යේ බොරුව වටහා ගෙන ඇති
බවත් එ.ජා.ප. පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ඉඩම් සහ ඉඩම් සංවර්ධන කැබිනට් ඇමති
ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසූයේ සිළුමිණ සමඟ සාකච්ඡාවකට
එක්වෙමිනි. ඇමැතිවරයාට යොමු කළ ප්‍රශ්න සහ ලබාදුන් පිළිතුරු මෙසේය.
* එ.ජා.ප.ය තවමත් ජනාධිපතිවරණ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරනවා. මේ ජයග්‍රහණය පරිගණක
විජ්ජාවක් බව කියනවා?
මේක තමයි එ.ජා.ප. යේ තියෙන කුහකකම. ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස යොදා ගත්තේ
ඡන්දයවත් නැති කෙනෙක්. හබැයි ජනාධිපතිතුමා රට බේරා ගත් නායකයා. මම ලංකාවේ හැම
දිස්ත්‍රික්කයකම සෑම රැස්වීමකටම වගේ ගියා. මිනිස්සු ජනාධිපතිතුමාට මොන තරම් ආදරය
කරනවාද. හැමෝම බලන්නේ අඩුම ගානේ ජනාධිපතිතුමාගේ අතින්වත් අල්ලන්න.
හැබැයි විපක්ෂයේ
අපේක්ෂකයා ළඟට කවුරුත් යන්නේ නැහැ. මූණ දැක්කම බය වෙනවා. ඉතින් ජනාධිපතිතුමා ලක්ෂ
18කින් දිනුවා කියන්නේ අරුමයක් නෙමෙයි. මම එ.ජා.ප.යේ හිටපු කෙනෙක් වගේම හැම
ඡන්දයක්ම පැරදුන අත්දැකීම් ඇතිව කියන්නේ. එ.ජා.ප.ය අද කියන කතාව තමයි ඡන්ද පෙත්සමක්
දානවා කියනවා. ඊළඟට ඡන්දය දූෂිතයි කියනවා. සාක්ෂි තියෙනවා කියනවා.
එහෙම කියන්නේ
පාක්ෂිකයන්ගේ මානසිකත්වය රැක ගන්න. හෙට අනිද්දා මහ මැතිවරණය එනවා. එ.ජා.ප.ය දැවැන්ත
පරාජයකට පත් වෙනවා. ඒ පරාජය අවම කරගන්න ගොතන බොරුවක් තමයි අද එ.ජා.ප.ය කියන්නේ.
ජනාධිපතිතුමා ලැබුවෙ දැවැන්ත ජයග්‍රහණයක්. එය අභියෝගයට ලක් කරන්න බැහැ. ඊට අභියෝග
කරනවා නම් කරන්නේ පිස්සෙක් නැත්නම් මන්දබුද්ධිකයෙක් තමයි.
* රටේ ජනතාව පාරට බස්සවා මහා කලබැගෑනියක් කරන්න එ.ජා.ප.යේ සහ ජ.වි.පෙ. සූදානමක්
තිබෙන බව දැනගන්නට ලැබෙනවා?
ඔවුන් ඔය වැඩේ කරන්න හිටියේ 27 වැනිදා එළිවෙන යාමයේ. හැබැයි රටේ වාසනාවකට ඒක කරන්න
බැරි වුණා. සිනමන් ලේක් හෝටලයේ එක තට්ටුවක් වෙන් කරගෙන ආයුධ සන්නද්ධව හිටියේ රටම ලේ
විලක් කරන්න. දැන් එ.ජා.ප. ජ.වි.පෙ. හවුල අනාථ වෙලා ඉන්නේ.
ඔවුන් දන්නවා ඊළඟ මහ
මැතිවරණයේදී විපක්ෂයට ලැබුණ ඡන්ද ලක්ෂ 40න් ලක්ෂ 20ක් වත් නැවත රජය සමඟ එකතු වෙනවා.
ඒ අඩුවීම වළක්වා ගන්න විපක්ෂය දැන් උත්සාහ කරන්නේ එ.ජා.ප. යට සහ ජ.වි.පෙ.ට ලැබෙන
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන අඩුවීම වළක්වා ගන්න ඔවුන් උත්සාහ කරන්නේ. එහෙම නැතිව
ඔය පෙළපාලි යන්න හදන්නේ රටේ ජනතාවට ආදරයට නෙමෙයි.
* රටේ ජනතාව මේවාට රැවටිලා පාරට බහීවිද?
මම නම් හිතන්නේ නැහැ. ජනතාව දැන් බුද්ධිමත්. මම දන්නවා එ.ජා.ප. පාක්ෂිකයෝ දැන්නම්
පාරට බස්සන්න ලැබෙන්නේ නැහැ. රනිල් දැන් කියනවා අලියා ලකුණින් මහ මැතිවරණයට තරග
කරනවා කියලා. ඔහුට අවශ්‍ය වෙලා තියෙන්නේ විපක්ෂ නායක ධූරය ලබා ගන්න විතරයි.
ඒක එ.ජා.ප. පාක්ෂිකයා හොඳටම දන්නවා. දැන් එ.ජා.ප. පාක්ෂිකයා බලාපොරොත්තු වෙන්නේ
ජනාධිපතිතුමා සමඟ එකතුවෙලා තම දරුවාගේ රැකියා ප්‍රශ්නය, ගමේ ප්‍රශ්න, නගරයේ ප්‍රශ්න
විසඳා ගන්න විතරයි. එ.ජා.ප.යට තවත් අවුරුදු ගණනාවකට බලයට එන්න බැරි බව එ.ජා.ප.
පාක්ෂිකයෝ දන්නවා. ඒ නිසා එ.ජා.ප.යේ උත්සාහය සාර්ථක වෙන්නේ නැහැ.
* මාධ්‍ය වාර්තා කර තිබුණා එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක ධූරයක් සරත්
ෆොන්සේකාට ලබාදීමට තීරණය කර තිබෙනවා කියලා?
දැන් රනිල් මේ සූදානම් වෙන්නේ මොකටද කියලා පැහැදිලියි. රනිල් සරත් ෆොන්සේකා ගෙනාවේ
ජනාධිපතිතුමාට මඩ ගහන්න සහ අන්තර්ජාතිත ප්‍රජාවට අවශ්‍ය බොරු සාක්ෂි ලබාදෙන්නයි.
රනිල් වික්‍රමසිංහ නැමැති දේශපාලනඥයාට දේශපාලනය නොතේරෙන සරත් ෆොන්සේකා අහුවෙලා
ඉන්නේ. දැන් නියෝජ්‍ය නායක ධූරයක් ලබා දෙන්න හදන්නේ තවදුරටත් ඔහුව පාවිච්චි කරන්න.
සරත් ෆොන්සේකාට බෝම්බය වැදුන වෙලාවේ මම එ.ජා.ප.යේ වෘත්තීය සමිති නායකයා. සරත්
ෆොන්සේකාට බෝම්බය වැදිලා මැරිලා කියලා ආරංචිවෙලා. ඒක ඇත්තද කියලා හොයලා බලන්න කියලා
රනිල් ඒ මොහොතේ මට කිව්වා. මම සෞඛ්‍ය අංශය බාර මගේ නිලධාරීන්ට කථා කරලා රනිල්ට
කිව්වා සර්, හමුදාපතිතුමා මැරිලා නැහැ කියලා. රනිල් කිව්වා නැහැ මැරිලා ඉන්නේ හොයලා
බලන්න කියලා.
ඒ වෙලාවේ රනිල් මට දහ පහළොස් වතාවක් කථා කරලා ඇහුවේ ෆොන්සේකා මැරුණ නේද කියලා. එදා
මංගල සමරවීර, මනෝ ගනේෂන් බලාගෙන හිටියේ ෆොන්සේකා මැරෙන්නේ මොන මොහොතෙද කියලා. එහෙව්
ෆොන්සේකා තමයි රනිල් සමඟ එකට හිටගත්තේ.
රනිල් කවදාවත් දක්ෂයෙකුට තනතුරක් දෙන්නේ
නැහැ. දුන්නොත් රනිල් දන්නවා ඔහුට නායක ධූරය නැති වෙනවා කියලා. ඒ නිසායි ෆොන්සේකා
වගේ අදක්ෂයෙකුට තනතුරක් දෙන්න හදන්නේ. රනිල් තවදුරටත් ෆොන්සේකා පාවිච්චි කරනවා
තමන්ගේ පක්ෂ නායකත්වය රැකගන්න.
* එ.ජා.ප. මන්ත්‍රී වජිර අබේවර්ධන කියා තිබුණා එ.ජා.ප.ය ජනාධිපතිවරණයට තරග නොකළ බව.
ඒ කතාවේ තේරුම මොකක්ද?
වජිරට ඔය කතාව කියන්න තිබුණේ ජනාධිපතිවරණයට කලින්. එ.ජා.ප. කෘත්‍යාධිකාරී මණ්ඩල
රැස්වීමේදී තීරණය කළා ෆොන්සේකා ජනාධිපති අපේක්ෂකයා කියලා. රනිල් නියෝග කළා සරත්
ෆොන්සේකාට ඡන්දය දෙන්න කියලා. රනිල්, තිස්ස, කරූ රැස්වීම්වලට සහභාගී වුණා. එ.ජා.ප.ය
රැස්වීම් සංවිධානය කළේ.
දැන් වජිර මොනවද මේ පිස්සුවෙන් කියවන්නේ. දැන් වජිර හදන්නේ
මහා මැතිවරණයට පෙර නැවැත වරක් එ.ජා.ප. පාක්ෂිකයන් අන්දවන්න. මගේ මිත්‍ර වජිර
මන්ත්‍රීතුමා හොඳටම දන්නවා එ.ජා.ප.ය පැරැදුණා කියලා. එතුමාගේ විහිළු කථා ජනතාව
හොඳටම දන්නවා.
* එතුමා කියලා තිබුණා හරියට සංවිධානය වුණොත් මහා මැතිවරණය එ.ජා.ප.යට දිනන්න පුළුවන්
කියලා?
මම එතුමාට මොනවත් කියන්නේ නැහැ. හැබැයි දේශපාලන අඳබාලයෝ තමයි මේ වගේ කථා කියන්නේ.
මේ වෙලාවේ මහ මැතිවරණයක් එ.ජා.ප.යට දිනන්න තියා ඒ ගැන හිතන්නවත් බැහැ.
අපේ රටේ මැතිවරණ ඉතිහාසය දිහා බලන්න. ජනාධිපතිවරණයට පසුව තියන හැම මැතිවරණයම
දිනන්නේ ජනාධිපතිවරණය දිනපු පක්ෂය. ජනාධිපතිවරණයට පසුව තියන පළාත් සභා මැතිවරණය මහා
මැතිවරණය සාමාන්‍යයෙන් ජනාධිපතිවරයාගේ පක්ෂය මහ ඉහළින් දිනන්නේ. ඒ නිසා මහ
මැතිවරණයේදී එ.ජා.ප.ය ඉතිහාසගත පරාජයක් ලබනවා. රජය තුනෙන් දෙකේ බලයක් ලබා ගන්නවා.
රනිල් වික්‍රමසිංහගේ න්‍යාය නිවැරැදියි. දැන් තියෙන්නේ අලියාගෙන් තරග කරලා එ.ජා.ප.
මන්ත්‍රී ධූර කීපයක් ආරක්ෂා කර ගැනීම පමණයි. ජ.වි.පෙ.ට එ.ජා.ප.යට හිමි මන්ත්‍රී ධූර
ඩැහැගන්න ඉඩ නොදිය යුතුයි. වජිරගේ පෙනී සිටීම හොඳයි. තව අවුරුදු 15 - 20කින් විතර
තරුණ කණ්ඩායමක් හදාගෙන නායකත්වයට යන ගමන වජිර හදාගැනීම හොඳයි.
* ඊළඟ මහ මැතිවරණයට සරත් ෆොන්සේකා තරග වදින බව කියනවා. ඔහුගේ ඉරණම කුමක් වේවි කියලා
ඔබ හිතනවාද?
ඔහුට අත් විය යුතු ඉරණම අත්වෙලා ඉවරයි. හැබැයි මම කියන්නේ ෆොන්සේකා රට පාවා දෙන්න
උත්සාහ කළාට හමුදාවේ විනය නීති රීති කඩකළාට දඬුවම් කළ යුතුයි. ඔහුට එරෙහිව හමුදා
නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. ඔහුට තේරෙන භාෂාවෙන් පිළිතුරු දිය යුතුයි. ෆොන්සේකා
කියන්නේ රට පාවාදුන් රටේ ජනතාව මුලා කළ පුද්ගලයෙක්. ඒ නිසා ඔහුට ජනතාව සමාව දෙන
එකක් නැහැ. මම හිතන්නේ නෑ එ.ජා.ප.යෙන් ඔහුට නාම යෝජනා ලැබේවි කියලා. සජිත්
ප්‍රේමදාස, වජිර අබේවර්ධන ඒකට ඉඩ දෙන එකක් නැහැ.
ෆොන්සේකාට මහ මැතිවරණයට එන්න වෙන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් පමණයි. ඒ නිසා ඉදිරි
මහ මැතිවරණයේදී ෆොන්සේකාට ඇපත් නැති වෙනවා කියලා තමයි කියන්න වෙන්නේ.
* උතුරු නැඟෙනහිර පළාත්වලින් ජනාධිපතිතුමාට ලැබුණු ඡන්ද අඩුවීම මඟින් ලැබෙන පණිවිඩය
මහින්ද චින්තනය පරාජය වීමක් බව සුරේෂ් ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරයා කියා තිබුණා?
ඔය කියන මන්ත්‍රීතුමා නියෝජනය කරන්නේ කොටි දේශපාලන අංශයේ මතය. එල්.ටී.ටී.ඊ. ය
සන්නද්ධව පරාජය කළාට ඔවුන්ගේ දේශපාලන අංශය ක්‍රියාත්මක වෙනවා. ප්‍රභාකරන් දෙමළ
ජනතාවට ආයුධ දුන්නා. සම්බන්ධන් සහ සුරේෂ් ප්‍රේමචන්ද්‍රලා දෙමළ ජනතාවට දෙන්නේ වෛරය.
නමුත් මේවා ඉදිරියේදී වෙනස් වේවි. මහා යුද්ධයකට පසුව රටේ ප්‍රජාතන්ත්‍රවාදයට ඉඩ
ලැබුණා.
මේක පටන් ගැන්මක් පමණයි. දෙමළ ජනතාව ඉදිරියේදී මේවා තේරුම් ගනීවි. උතුරු
නැඟෙනහිරින් ජනාධිපතිතුමාට ඡන්ද අඩු වුණා කියලා දෙමළ ජනතාව මහින්ද චින්තනය පරාජය
කළා, ප්‍රතික්ෂේප කළා කියන කථාව කිසිම පදනමක් නැති කථාවක් පමණයි.
* රටේ මාධ්‍ය නිදහසක් නැහැ කියලා නැවතත් මැසිවිලි නැඟෙනවා?
මම හිතන්නේ ඔය කථාවෙ කිසිම පදනමක් නැහැ. දැන් බලන්න තවමත් ජනාධිපතිතුමාට විරුද්ධව
පත්තරවල මොන තරම් දේ පළවෙනවාද? ජනාධිපතිවරණය කාලේ ජනාධිපතිතුමාට මොන තරම් මඩ
ගැහුවාද? මාධ්‍ය නිදහස නැහැ කියලා කෑගහන්නේ රනිල් වික්‍රමසිංහගෙන් මාසික වැටුප් ලබන
මාධ්‍යවේදීන්.
ඒක මම හොඳටම දන්නවා. මොකද මම එ.ජා.ප.යේ නායකයා සමඟ හිටපු කෙනෙක්.
ෆොන්සේකා ආවානම් ඔය කෑගහන අයට ලියන්න වෙන්නේ තුවක්කුවේ අණට යටත් වෙලා තමයි. ඒ නිසා
රට ආපස්සට ගෙන යන්න එපා යැයි මම ඒ මාධ්‍යවේදීන්ගෙන් ඉල්ලනවා.
* ඉදිරි මහා මැතිවරණය සහ ඊට ඔබේ සූදානම මොනවගේද?
ඉදිරි මහා මැතිවරණය රජය තුනෙන් දෙකක බලයක් ඇතිව ජය ගනීවි. ඒකේ කිසිම සැකයක් නැහැ.
ඔබ ඇහුවා මහ මැතිවරණයට මගේ සූදානම ගැන. මම තවම මගේ දේශපාලන අනාගතය ගැන තීරණය කරලා
නැහැ. මම ජනාධිපතිතුමාට සහාය දෙන්න ඉදිරිපත් වුණේ කිසිම දේශපාලනඥයෙක් තීරණයක් ගෙන
නොතිබූ මොහොතක.
මගේ එකම බලාපොරොත්තුව වුණේ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන්
කැපවීම පමණයි. මම ඇමැතිකමේ දිවුරුම් දීලා අමාත්‍යංශයේ හිටියේ පැයයි. ඊට පස්සේ
අමාත්‍යංශයට ආවේ පෙබරවාරි 3 වැනිදා. මම ජනාධිපතිතුමා සමඟ එකතුවීමත් සමඟම මට තර්ජන
වැඩිවුණා.
ඒ නිසා ජනාධිපතිතුමා මගේ ආරක්ෂාව පවා වැඩි කළා. මම සතුටු වෙනවා කුරුණෑගල
දිස්ත්‍රික්කය ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය විජය‍්‍රහණයක් කරන්න දායක වෙන්න ලැබුණා. ඒ
නිසා මගේ දේශපාලන අනාගතය තියෙන්නේ ජනාධිපතිතුමා අතේ. මම ඒ ගැන ඉදිරියේ දී එතුමා සමඟ
සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා.
සාකච්ඡා කෙළේ
චන්දන බණ්ඩාර
ඡායාරූපය
ගීත් ද මැල්
|