නිදහස ලත් දෙමළ ජනතාව බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට ඉඩ නොතැබිය යුතුයි
නිදහස ලත්
දෙමළ ජනතාව
බෙදුම්වාදීන්ගේ ගොදුරුවීමට
ඉඩ නොතැබිය යුතුයි
ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
හිටපු ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත හා තානාපති
ආචාර්ය දයාන් ජයතිලක
මේ
රටේ ජන කොටස් අතර පවතින අන්‍යොන්‍ය අවිශ්වාසය නැති කිරීමට ඉහළ සිට පහළට ගලා යන
දෙබසක් අපේ සමාජයේ තිබිය යුතුª බවත් එසේ නොවී මේ බෙදීම ඉදිරියට ගෙනයන්නට ඉඩ දුනහොත්
ලෝක ව්‍යාප්ත කොටි ජාලය එයින් ප්‍රයෝජන ගනු ඇති බවත් දයාන් ජයතිලක මහතා පවසයි.
සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ජයතිලක මහතා මේ ප්‍රකාශය කෙළේය.
එම සම්මුඛ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට ජයතිලක මහතා දුන් පිළිතුරු
මෙසේය.
* දැන් ජනාධිපතිවරණයෙන් පසුව අපේ රටට අලුත් ගමනකට මුල පුරන්න සිදුවෙනවා. මේ ගමනේදී
මුහුණ දෙන්නට වන අභියෝග ගැන ඔබ සමඟ මේ කෙටි කතාබහේදී මුලින්ම කතා කළොත්..?
ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය ලෙස ලැබුණු මැතිවරණ සිතියම දෙස බැලූවිට රටට මුහුණ දෙන්නට
වන අභියෝග ඉතාම පැහැදිලියි. මගේ කල්පනාවේ හැටියට එම ඡන්ද සිතියමෙන් නිරූපණය වන්නේ
ජනවාර්ගික වශයෙන් පළුදු වූ දේශයක්.
බහුතර සිංහල ජනතාවගෙන් අති බහුතරය එක් ආකාරයකට ඡන්දය දී ඇති අතර දෙමළ හා මුස්ලිම්
ජනතාවගේ අතිබහුතරය ඊට හාත්පසින්ම විරුද්ධ වෙනත් දිසාවකට තම ඡන්දය පාවිච්චි කර
තිබෙනවා. විපක්ෂයේ ඡන්ද සිතියම පෙරළා බැලූවිට එය බොහෝ දුරට දෙමළ ජනතාවගේ නිජභූ®මිය
ලෙස හඳුන්වමින් කොටි සංවිධානය විසින් කරළියට ගෙනැවිත් තිබූ ඊළාම් සිතියමට නෑකම්
කියන බව පෙනී යයි.
* පැරැණි අභියෝග අලුත් වෙමින් නැවත ගොඩනැෙඟනවා..?
ඔව්. පැහැදිලිව ඉදිරියේදී මේ ජනවාර්ගික පළුදුවීම පුළුල් වන්නට ඉඩ නොදී හැකිතරම්
යුහුසුළුව දකුණ හා උතුරු නැඟෙනහිර යාකරන මානුෂික විඥානමය පාලම් ඉදිකිරීම කළ යුතුයි.
* කෙසේ නමුත් මෙවර නිදහස එක් රටක් ලෙස සමරන්නට අපට හැකි වුණා නේද?
මෙදා නිදහස් දිනය සමරන්නට යාමේදී වෙනදාට වඩා ඉමහත් සතුටින් මේ නිදහස සමරන්නට සතුටු
විය හැකි කරුණු බොහොමයක් තිබුණා. දශක තුනකට පසුව රටේ දේශ සීමා ස්වෛරීත්වය අද වෙනකොට
තහවුරු වෙලා. අනෙක් කරුණ රට තුළ රටක් නැතිනම් වෙනම රාජ්‍යයක් නොපවතී. ඊළඟ කරුණ අපේ
රටේ නීත්‍යානුකූල හමුදා හැරෙන්නට සතුරු සේනාවක් නොපවතී.
ත්‍රස්තවාදයට එරෙහි යුද්ධය ජය ගත්තා පමණක් නොව රටේ ස්වෛරීභාවය හා ස්වාධීනත්වය
ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය ද ආරක්ෂාකර ගැනීමට අප සමත්වී තිබෙනවා. එනමුත් භෞමික
වශයෙන් තනි රටක් රාජ්‍යයක් වශයෙන් යළි පවතින ලංකාව, මානසිකත්වයෙන් හා විඥානමය
වශයෙන් තනි රටක් බවට පත්වී නැති බව අව්‍යාජව පිළිගත යුතුය.
එකිනෙකට අසමමිතික වූ මේ
ජනවාර්ගික හැඟීම් එකට එකතු කළ හැකි පුළුල් ස්වදේශීය සේවයක් සර්ව ලාංකික විඥානයක්
නිර්මාණය කිරීම ඉතිහාසය විසින් අප හමුවට ගෙනැවිත් තිබෙන අභියෝගාත්මක කාර්යභාරයයි. ඒ
අභියෝගය බාරගැනීම අපේ නායකත්වයේත් ජනතාවගේත් යුතුකම හා වගකීමයි.
* ඔබ කතාකරන ප්‍රශ්නය වගේම අතුරු ප්‍රශ්න ගණනාවකටත් අපේ රටට මුහුණ දෙන්න වෙනවානේ..?
උතුරු නැඟෙනහිර හා රටෙන් 2/3ක් පමණ වන අනෙක් පරිවාර පළාත් අතර ඇති මේ වාර්ගික
පළුද්ද නොවිසඳා වෙන කිසිදු ප්‍රශ්නයක් සාර්ථකව විසඳන්න බැරි බව මා අමුතුවෙන් කියන්න
ඕනෙ නැහැනේ. මෙවැනි ප්‍රශ්නයක් තියාගෙන රටක් සංවර්ධන මාවතේ ඉදිරියට ගෙනයාමත්
ගැටලුවක් වෙනවනේ.
* ප්‍රශ්නය ගැන කතාකළත් උත්තරයක් නොලැබුණ දිගින් දිගටම ඇදී ගිය ප්‍රශ්නයක් මේක. ඔබේ
විසඳුම කුමක්ද?
ඔය ආසියාවේ වෙනත් රටවලත් මෙවැනි ප්‍රශ්න විසඳාගත්ත ආකාරයට මේකටත් විසඳුමක් සොයාගන්න
ඕන. එසේ කිරීමට නම් දෙපැත්තම එකිනෙකාට මිත්‍රත්වයේ හස්තය දිගු කළ යුතුයි. මා හිතන
විදියට මේ ඇතිවී තිබෙන්නේ අවිශ්වාසය අන්‍යොන්‍ය අවිශ්වාසය පිළිබඳ ප්‍රශ්නයක්. මේ
අවිශ්වාසය දුරු කිරීම සඳහා ඉහළ සිට පහළට ගලා යන දෙබසක් මේ සමාජයේ අපේ රටේ ඉන්න
සියලු ජන කොටස් අතර ඉඳහිට නොවේ නිරතුරුව සිදුවිය යුතුයි.
එවැනි දෙබසක් නොමැතිව මේ පළුද්ද ඉදිරියට ගෙනයන්නට ඉඩ දුන්නොත් අපේ රට පරාජය කරන්න
කුරුමානම් අල්ලන ලෝක ව්‍යාප්ත කොටි ජාලයට මෙයින් අනිවාර්යයෙන්ම ප්‍රයෝජන ගැනීමට ඉඩ
ලැබෙනු ඇත.
* ඔබ කතා කළ ජනාධිපතිවරණය වගේම ඉදිරි මහ මැතිවරණයේදීත් උතුරු නැඟෙනහිර ජනතාවට තම
ඡන්දය පාවිච්චි කරන්න තවත් අවස්ථාවක් ලැබෙනවා. ඒ ප්‍රදේශවල නිදහස් ඡන්දයකට ඉඩ
ලැබෙන්නේ දශක තුනකට පසුව.
ඔව්. අපට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී එම ප්‍රදේශවල ජනතාව උතුරු නැඟෙනහිරින් තෝරා
පත්කරන නියෝජිතයන් කවරහුද ඔවුන්ගේ ස්ථාවරය කුමක් වේද යන්න ගැන සැලකිලිමත් වෙන්න
සිදුවෙනවා.
උතුරු නැඟෙනහිර ජනතාව විසින් ලංකා ආණ්ඩුව සමඟ දීර්ඝකාලීන කොටස් කරුවන්
ලෙස සිටි ඩග්ලස් දේවානන්දා, ඩී.සිද්ධාර්ථන් වැනි නායකයකු ඔවුන් නියෝජනය සඳහා තෝරා
ගන්නේ නම් සමඟිය ගොඩනැඟීම එතරම් අපහසු නොවනු ඇත. නමුත් අනෙක් අතට උතුරු නැඟෙනහිර
පළාත්වලින් පත්වන අතිබහුතරය දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරනු ලබන අය වන්නේ නම්
ජාතික සමඟිය ගොඩනැංවීම සඳහා ඊට වැඩි සංකීර්ණ පරිශ්‍රමයක් දැරීමට සිදුවනු ඇත.
මේ දෙආකාරයටම නොවී උතුරු නැඟෙනහිර ඡන්ද දායකයන් මේ දෙපිරිසටම ආණ්ඩුව සමඟ සිටින අර
දෙමළ නායකයන්ටත් දෙමළ ජාතික සන්ධානයටත් ඡන්දය දුනහොත් මේ කාර්යභාරය එතරම් අමාරු
නොවනු ඇතැයි සිතනවා.
* යුද්ධයට පෙර වගේම යුද්ධයට පසුවත් ශ්‍රී ලංකාවට තිබුණ ජාත්‍යන්තර බලපෑම ගැන
කවුරුත් දන්නවා. ඒ ගැන ඔබ කියන්නේ කුමක්ද?
පසුගිය සති කීපය හා මාස කීපයේ කැනඩාව ඇතුළු බටහිර යුරෝපා රටවල වෙසෙන කොටි හිතවාදී
දෙමළ ප්‍රජාව විසින් ජනමත විචාරණ කීපයක් පවත්වා ඇති බව අප මතක තබාගත යුතුයි.
මේවායේදී අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ වෙනම රාජ්‍ය සංකල්පය තහවුරුවීමයි. පිටරට වෙසෙන
මේ ශ්‍රී ලංකා රාජ්‍ය විරෝධී කොටස් හා අපේම උතුරු නැඟෙනහිර පළාතේ ජනතාව අතර පවතින
සම්බන්ධයට වැඩි සම්බන්ධයක් ආණ්ඩුව හා මේ ජනයා අතර ගොඩනැඟිය යුතුව තිබුණා. මෙතැනදි
අසල්වැසි ඉන්දියාවේ අතර මැදි කාර්ය කොටස හා සහයෝගය අපට ඉමහත් සේ ප්‍රයෝජනවත් වනු
ඇති.
නමුත් එලෙස ඉන්දියාවේ සහයෝගය ලබාගැනීමට නම් අපගේම ව්‍යවස්ථාවේ වලංගු කොටසක්
ලෙස පවතින 13 වැනි සංශෝධනය කටුගා ඊට අඩු බලතල සහිත පළාත් සභා හෝ වෙනස් ඒකකයක්
නිර්මාණය කිරීමට ඉදිරිපත්ව ඇති අදහස අත්හැර දැමිය යුතුව තිබෙනවා. එසේ නොවන්නේ නම්
උතුරු නැඟෙනහිර පළාත්වල ජනතාව දේශපාලන වශයෙන් අපෙන් වියෝවී ගොස් ඉන්දියාවත් පැත්තක්
නොගෙන සිටියොත් බටහිර වෙසෙන කොටි හිතෛෂී දමිළ ජාතිවාදී බලවේගවලට තමන්ගේ ප්‍රයත්නය
සාර්ථක කරගැනීමට විශාල ඉඩකඩක් සපයනු ඇති.
* යුද්ධය දිනුවා වගේම ලෝක ජනමතයත් අපේ පැත්තට දිනාගත යුතු වෙනවා. ඒ සඳහා කුමක් කළ
යුතුª බවද ඔබ කියන්නේ?
ඡන්ද ප්‍රතිඵලය හා මැතිවරණ ක්‍රියාදාමය ගැන බටහිර ජනමාධ්‍යවල පසුගිය කාලයේ විවේචන
දකින්න තිබුණා. ඇමෙරිකානු තානාපති කාර්යාලය හා යුරෝපා හවුලෙන් මේ ජයග්‍රහණය ගැන
ප්‍රශංසනීය පණිවුඩ නිකුත් වුණත් මේ පිළිබඳව බටහිර අගනගරවල නායකත්වයෙන් ප්‍රශංසනීය
පණිවුඩ නිකුත් වී නැහැ. මෙයින් ගම්‍ය වන්නේ එම රටවල මනාව සංවිධානය වී සිටින කොටි
හිතෛෂීන් යැයි කිව හැකි ඇතැම් දමිළ ජන කොට්ඨාසවල බලපෑම්වලට එම රටවල රාජ්‍යයන් හා
ජනමාධ්‍ය ආයතන ලක්වී ඇති පරිමාවයි.
මේ අරගලය සාමකාමී ශීතල යුද්ධයක් වශයෙන් වසර ගණනාවක් පවතින අරගලයක් වන අතර ම ලෝක
ජනමතය නොමග යවන මේ අරගලයෙන් දැනට අප ජයගෙන නැත.
දේශීය වශයෙන් ජනමතය දිනා ගැනීමේදී ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් ලද ආකාරයටම ගෝලීය
වශයෙන් ලෝක දේශවාසීන්ගේ ජනමතය දිනා ගැනීම සඳහා කිසියම් ඡන්ද ව්‍යාපාරයක නියැලීමට
අපට සිදුවනු ඇත. එය බලහත්කාරයෙන් කරන්න බැහැ. ලෝකවාසීන්ගේ හොඳ හිත ධනාත්මකව දිනා
ගැනීම සඳහා ලෝක ව්‍යාප්ත මට්ටමේ දැවැන්ත ප්‍රචාරක ව්‍යාපාරයක් අවශ්‍ය කරනවා. ඒ
ගෝලීය ඡන්ද ව්‍යාපාරයත් අප දැනට ආරම්භ කර නැත.
දැවැන්ත පරිමාණ දැනුවත් කිරීමේ වාද විවාද සිත් දිනා ගැනීමේ අපේ ඇති තතු පහදා දීමේ
ප්‍රචාරක කටයුතුවල යෙදීම සකල ලෝක වාසීන්ගේ සිත් දිනා ගැනීම සඳහා අවශ්‍ය වෙලා
තියනවා.
* ජනාධිපතිවරණයට පසුව විපක්‍ෂයට අත්වී ඇති ඉරණම ගැන කියන්නේ කුමක්ද?
විපක්‍ෂය සීසීකඩ විසිර ගිය තත්ත්වයක තියෙන්නේ. අධිරාජ්‍ය ගැති, ඊළාම් හිතෛෂී බලවේග
ජනතාවගේ් ඡන්දයෙන් විශාල පරාජයක් මේ මැතිවරණයේදී අත්කර ගත්තේ. අද මේ විසිර ගිය
විපක්ෂය එකට තරග කරනවාද වෙන් වෙන්ව තරග කරනවාද යන උභතෝකෝටියක ඉන්නේ. අනිත් එක මේ
රටේ ජනතාවට අමතක වෙලා නැහැ රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවෙලා සිටි වසර දෙකේ මේ රටට
කළ හානිය.
මේ ඡන්දයේදී ෆොන්සේකා රනිල් දෙමළ ජාතික සංධාන හවුල ජාතික ආරක්‍ෂාව වැනි
අංශවලින්කෙසේ බලපාවි ද වගේ ප්‍රශ්න ගැන ජනතාවට ප්‍රධාන ලෙස බලපෑවා. ඔවුන්ට සහාය
දුන් ජනතා විමුක්ති පෙරමුණත් මේ ඡන්දයේදී ඉතාම දුර්වල තත්ත්වයකට පත්වුණා.
* මේ ගැන කතා කිරීමේදී විපක්‍ෂයේ ප්‍රධාන පක්ෂය එජාපය ගැන කතා කරන්නම වෙනවා?
එජාපය කියන්නේ දේශ හිතෛෂී නායකත්වයක් තිබුණ රටේ නිදහස දිනා ගත්ත, රට ගොඩනඟන්න විශාල
මෙහෙයක් කළ පක්ෂයක්. එජාප නායකත්වයේ බොහෝ දෙනෙකු එල්ටීටීඊ යේ ගොදුරු බවට පත්වුණේ ඒ
නිසයි. එජාප ප්‍රබල නායකයන් ඝාතනය වුණාට පස්සේ පක්‍ෂය පීලි පැනලා. ඒ පක්‍ෂ නායකත්වය
ජනතා සැකයට ලක් වෙලා.
පැහැදිලිව මේ රටට ශක්තිමත් විපක්‍ෂයක් ඕන. මේ ජනතාවට ද්‍රෝහීව කටයුතු කළ එජාප
නායකත්වයේ වෙනසක් පක්‍ෂය යළි ගොඩනගන්න අවශ්‍ය කරනවා. රට හැදෙන්න කළින් පක්‍ෂය
හැදෙන්න ඕන. ජනතාවට ද්‍රෝහීව දෙමළ ජාතික සන්ධානය වැනි කොටි හිතෛෂීන් සංවිධාන එක්ක
සන්ධානගත වීමෙන් එජාපය වැළකෙන්න ඕන.
ආර්. ප්‍රේමදාස මහතා වැනි එජාප නායකයන් වැඩ කළේ ඩග්ලස් දේවානන්ද, සිද්ධාර්ථන් වැනි
කොටි විරෝධී දෙමළ නායකයන් එක්ක. රනිල් සන්ධානගත වුණේ ගිවිසුම් ගැහුවේ එක්කෝ කොටි
එක්ක නැතිනම් කොටි හිතෛෂීන් එක්ක.
* ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ජයග්‍රහණයට ප්‍රබල බලපෑමක් කළ ගැමි හා
කාන්තා බලවේග ගැන කියන්නේ කුමක්ද?
එල්ටීටීඊ යට විරුද්ධව යුද්ධ කරන්න ආවේ හමුදාවට බැඳුණේ ගමේ තරුණ තරුණියෝ. මේ තරුණ
තරුණියන් තමයි කොටින්ගේ රුදුරු වෙඩි උණ්ඩ බෝම්බ හමුවේ මැරී වැටුණේත් අවසානයේ
ප්‍රභාකරන් ඔහුගේ සගයන් සමඟම විනාශ කරන්න කැපවී රණ බිමේ තමපරම යුතුකම රට වෙනුවෙන්
ඉටු කළේත්. මොවුන් සියලු දෙනාම ගැමි ගර්භාෂයෙන් ජනිත වූ දරුවෝ. දැන් මේ ජනතාව
කිසිසේත්ම නොසලකා අරින්න බැහැ. ඔවුන්ගේ ජීවිත ගොඩනගන්න විශේෂිත වැඩපිළිවෙළක් ඕන
කරනවා.
ආර්ථික සංවර්ධනයේ ප්‍රතිලාභ යුහුසුළුව ජනතාවගේ එදිනෙදා ජීවිතයේ වෙනසක් කරන ආකාරයෙන්
බෙදා දිය යුතුයි. බඩුමිල ඉහළ යන ජීවන වියදම නිසා ජනතාව සැබෑ ලෙසම පීඩනයකට ලක්වෙලා
ඉන්නේ. සංවර්ධනය ගැන කතා කරමින් සංඛ්‍යා ලේඛන මතම රැඳී ඉන්න බැහැ. ජනතාවගේ ජීවිත
හොඳ පැත්තට යන වෙනසක් අද ඕන කරනවා. රටේ අනාගතයට බලපාන සෞඛ්‍ය, අධ්‍යාපනය වැනි
අංශවලට විශාල ආයෝජනයක් ඕන එහි ගුණාත්මක තත්ත්වය යළි ඉහළ නැන්වීමට.
අධ්‍යාපන අංශයම ගත්තොත් මීට දශක ගණනකට ඉහත අපේ විශ්වවිද්‍යාල තිබුණේ ඉතාම ඉහළ
තත්ත්වයක. අපේ අවාසනාවට අද ඒ අංශය තියෙන්නේ ගරා වැටුණ තත්ත්වයක. ජාත්‍යන්තරව
ගත්තොත් අප සමඟ තරගයට එන එතෙර ඊළාම් වාදය කරගහගත් බටහිර ඉහළ අධාපනය ලැබූ පිරිස
පරදවන්න අපේ අධ්‍යාපන පද්ධතිය 1950, 1960 ගණන්වල තිබුණ ඉහළ තත්ත්වයටවත් පත් කරගත
යුතුයි. එසේ නොකළහොත් අපට දිනන්න බැරි වෙනවා. එසේ අපේ තරුණ පරපුර අනාගත දැනුමෙන්
සන්නද්ධ නොකළොත් ආසියාවේ ප්‍රාතිහාර්යයට අපට සහභාගි වෙන්න බැරි වෙනවා.
* යුද්ධය නිසා රටට ආර්ථිකයට තිබුණ අභියෝග දැන් නැහැ. ඒ නිසා රජයට රට ගැන ආර්ථිකය
ගැන අලුතෙන් හිතන්න ඉඩක් තිබෙනවා?
මා කියන්නේ තිස් අවුරුදු යුද්ධය ඉවරයි. යුද්ධය නිසා අපට මේ අධ්‍යාපන, සෞඛ්‍ය අංශවල
විශාල අයෝජනයක් කරන්න බැරිවුණා. දැන් යුද්ධය ඉවරයි. ඒ නිසා විශාල ආයෝජනයක්
අවශ්‍යයයි මේ අංශවල ඉහළ දියුණුවක් ඇති කරන්න. නිරෝගී, උගත් පරපුරක් යළි බිහි
නොවුණොත් රටටත් ජනතාවටත් ඇත්තේ අඳුරු අනාගතයක්. යුද්ධයෙන් දිනුවත් මේ වැදගත් අංශ
දෙකේ දියුණුවක් ඇති වුණේ නැතිනම් අපට රටක් ලෙස ඉදිරියට යන්න බැරි වෙනවා. අනාගත සැබෑ
සංවර්ධනයේ පදනම වන්නේ අධ්‍යාපනය කියා කිව හැකියි.
සාකච්ඡා කෙළේ
සරත් පෙරේරා
|