අලියා ද? හංසයාද? සීනුව ද? විපක්‍ෂ හවුල අලි අවුලක
අලියා ද? හංසයාද? සීනුව ද?
විපක්‍ෂ හවුල අලි අවුලක
එජාප ඡන්දවලින් ජවිපෙ ගොඩ එනවාට දැඩි විරෝධය
ජනාධිපතිවරණයෙන් ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ම ඉදිරි මහමැතිවරණයට තරග කිරීම
සම්බන්ධයෙන් එ.ජා.පය හා විපක්ෂයේ අනෙකුත් දේශපාලන කණ්ඩායම් අතර මතභේදාත්මක
තත්ත්වයක් හට ගෙන ඇත.
එළැඹෙන මහ මැතිවරණයේදී අලියා ලාංඡනයෙන් තරග කළ යුතු බව එජාප නායක රනිල් වික්‍රමසිංහ
මහතා සහ එම පක්‍ෂයේ බහුතර සංවිධායකවරුන් ගේ මතය වී තිබේ. එහෙත් ජ.වි.පෙ. ත්, මංගල
හා මනෝ ගනේෂන් යන කණ්ඩායම් පෙන්වා දී තිබෙන්නේ හංසයා ලාංඡනයෙන් ම තරග කළ යුතු බවයි.
පරාජිත ජනාධිපතිවරණ අපේක්‍ෂක සරත් ෆොන්සේකා මහතා ගේ මතය වී තිබෙන්නේ ද හංසයා
ලකුණින් මහමැතිවරණය තරග කළ යුතු බවයි. නමුත් එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා
ෆොන්සේකා මහතාට පවසා තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ නියෝජ්‍ය නායක ධුරය බාර ගෙන
අලියා ලකුණ යටතේ තරග කළ යුතු බවයි.
මේ අදහසට විරෝධය පළ කැර ඇති ජ.වි.පෙ මතය වී තිබෙන්නේ එසේ වුවහොත් ෆොන්සේකා මහතා
දෙවැනි තැනට පත්වන අතර ජ.වි.පෙටද රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තරග වැදීමට සිදුවන
බවයි.
එජාපය හා සරත් ෆොන්සේකා මහතා අතර මේ මත ගැටුම පවතින අතරතුර රවුෆ් හකීම් මහතා තෝරා
ගෙන ඇත්තේ වෙනස්ම මාවතක් බවත් අනාවරණය වෙයි. ඒ අනුව උතුරු හා නැඟෙනහිර දෙපළාතේදී
මුස්ලිම් කොංග්‍රසය හා දෙමළ සන්ධානය එක් සහයෝගීතා පෙරමුණක් ලෙස තරග වැදීමට සාකච්ඡා
පවත්වමින් සිටී.
ඒ අනුව එක්සත් ජාතික පක්‍ෂයේ අපේක්‍ෂකයන් කිහිප දෙනෙකුට එම
සහයෝගීතා පෙරමුණ යටතේ තරග වැදීමට සිදුවනු ඇති බවත් පැවසෙයි. මේ අනුව උතුරු හා
නැෙඟනහිර එජාප ඡන්ද පදනම ද අහෝසි වී යනු ඇති බවට එම පක්‍ෂයේ දෙමළ හා මුස්ලිම්
අපේක්‍ෂකයෝ බිය පළ කරති.
කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී මෙන් ම පාර්ලිමේන්තු මැතිවරණයේදීත් හංසයා ලකුණින් තරග
වැදීමට ජ.වි.පෙ දැඩි උත්සාහයක නිරත වන බවත් දැන ගන්නට ඇත. එහෙත් එ.ජා.ප ජ්‍යෙෂ්ඨයන්
තරයේම මත පළ කැර තිබෙන්නේ අලියා ලාංඡනය දිය කර හැරීමට ජ.වි.පෙ ගන්නා උත්සාහයට ඉඩ
නොදිය යුතු බවයි.
තම මතය ජයග්‍රහණය කළ නොහැකි තත්ත්වයක් උද්ගත වුවහොත් ජ.වි.පෙ ට ඉතිරිව තිබෙන්නේ
සීනුව ලකුණින් තරග වැදීම පමණි.
|