|
පිච්චර් පිස්සා
පාඨකයන්ගේ කෙසේ වෙතත් විචාරකයන්ගේ පවා ප්‍රමාණවත් අවධානයකට ලක් නොවුණු චිත්‍රපට
තිරනාටක තුනක් සමකාලීන සාහිත්‍යයේ දක්නට ලැබෙනවා. ඒ තමයි (1). ආචාර්ය පියසිරි
විජයසේකරගේ් බක්කර බිරිය හෙවත් ‘බබී’ (2) ටිකිරි දිසානායකගේ ‘රන් මාළුවා’ (3)
පූජ්‍ය මණ්ඩාවල පඤ්ඤාවංස හිමිගේ ‘හිරෝෂිමා මගේ ප්‍රේමය’ ‘බක්කර බිරිය හෙවත් බබී’ ප්‍රංශ සිනමාකරුවකු වන මාසෙල් පැංඥෝල්ගේ ‘බේකර්ස් වයිෆ්’
නමැති සිනමා පටයේ තිරනාටකය. ‘රන් මාළුවා’ ඉංග්මාර් බර්ග්මාන්ගේ ‘ද වයිල්ඩ්
ස්ට්‍රෝබෙරිස්’ කියන ශ්‍රේෂ්ඨ චිත්‍රපටයේ තිරනාටකය. ‘හිරෝෂිමා මගේ ප්‍රේමය’ ඇලන්
රෙනේගේ ‘හිරෝෂිමා මොන් අමුර්’ චිත්‍රපටයේ තිරනාටකය. (එහි තිරරචනය මාග්‍රට් ඩූරාස්
ගේ) ටිකිරි දිසානායක මීට කලින් බර්ග්මාන්ගේ ‘ද ටච්’ නමැති චිත්‍රපටයේ තිරනාටකයත්
(මකරන්දය නමින්) පරිවර්තනය කොට පළ කළා. මේ වගෙ තිරනාටක පාඨකයන්ගෙන් විචාරකයන්ගෙන්
පමණක් නොව සාහිත්‍ය සම්මාන උත්සවවලින් ද නොසලකා හැර තිබීම හරිම කනගාටුදායකයි.
කෙසේ වෙතත් ඒවායින් දුර්මුඛ නොවී ආචාර්ය පියසිරි විජයසේකර දැන් තවත් තිරනාටකයක්
සිංහලට පරිවර්තනය කොට පළකර තිබෙනවා. ඒකත් මාසෙල් පැංඥෝල්ගේ ම චිත්‍රපටයක තිරකතාවක්.
ආචාර්ය විජයසේකර මේ පොත නම් කරලා තියෙන්නේ ‘ලිං මාමාගේ දෝණියැංදා හෙවත් ලිංදෝ’ යන
නමින්. එහි ඉංගිරිසි නම WELL - DIGGER’S DAUGHTER)
මාසෙල් පැංඥෝල් (1895 - 1974) ප්‍රංශයේ විසූ සුවිශේෂ ගණයේ නවකතාකරුවෙක්;
නාට්‍යකරුවෙක්; චිත්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක්. පැංඥෝල් ශ්‍රී ලාංකේය
සාහිත්‍ය සමාජයට හඳුන්වාදීමේ ගෞරවය හිමිවිය යුත්තේ ජොනී ශ්‍රී වර්ණසිංහට ය කියලා මං
හිතනවා. ඔහු පැංඥෝල්ගේ ‘ටොපෑස්’ කියන නාට්‍යය ‘පුෂ්පරාගය’ නමින් සිංහලට නැඟුවා. එය
අමරදාස සමරවීරගේ නිෂ්පාදනයක් ලෙස 1960 රාජ්‍ය නාට්‍ය උලෙළට ඇතුළත්ව තිබුණා. ආචාර්ය විජයසේකර මං මුලින් ම හඳුනාගත්තේ ජාතික කතෝලික සිනමා පර්ෂදයේ දී. එහිදී අපි
දෙන්නම චිත්‍රපට විනිශ්චය මණ්ඩලයේ සාමාජිකයන් වශයෙන් කටයුතු කළා. ඒ දිනවල ඔහු
පැංඥෝල් ගැන මහත් අභිරුචියෙන් කතා කරපු ආකාරය මට තවමත් මතකයි. ‘බක්කර බිරිය හෙවත් බබී’ පළවුණායින් පසුව පැංඥෝල්ගේ නවකතාවක් පළමුවතාවට සිංහලට
නැ¼ඟුණා. ඒ ‘කඳුරැල්ලේ දිය දහර’ (1995). එය සිංහලට පරිවර්තනය කළේ එලිසබෙත් බෝපේ
ආරච්චි. එය කෙළින් ම ප්‍රංශ භාෂාවෙන් කරපු පරිවර්තනයක්. ආචාර්ය පියසිරි විජයසේකර ගේ පොත් දෙකත් ඍජු ප්‍රංශ පරිවර්තන. ඔහු කාලයක් ප්‍රංශයේ
වෙසෙමින් ප්‍රංශ භාෂාව හැදෑරුවා. 1990 දශකයේ දී විතර ප්‍රංශය යළිත් පැංඥෝල් කෙරෙහි සුවිශේෂ අවධානයක් යොමුකරන්ට
පටන්ගත්තා. සුප්‍රකට ‘ටයිම්’ සඟරාව වාර්තා කරපු ආකාරයට එය පැංඥෝල් උන්මාදයක් දක්වා
දිග් ගැසී තිබෙනවා. එබඳු පසුබිමක පැංඥෝල් වැනි සිනමාකරුවකු, සාහිත්‍යධරයකු ශ්‍රී
ලාංකේය රසිකයන්ට හඳුන්වාදීමෙන් ආචාර්ය විජයසේකරත් එලිසබෙත් බෝපේ ආරච්චි මහත්මියත්
කර ඇත්තේ විශිෂ්ට මෙහෙවරක්. පැංඥෝල්ට ම ආවේණික වූ පැංඥෝලසිකභාවය
(PAGNOLESQUE) ආචාර්ය විජයසේකර මනාව
වටහාගෙන තිබෙනවා. ඔහුගේ පරිවර්තනවල සාර්ථකත්වය ඒකයි කියලා මම හිතනවා. ආචාර්ය විජයසේකර පැංඥෝල්ගේ විතරක් නෙමෙයි තවත් අයගේ පොත් ද සිංහලට පරිවර්තනය කර
තිබෙනවා. ඔහු ඇල්බෙයා කැමුගේ ‘ද අවුට් සයිඩර්’ නවකතාව ‘අමුතුම මිනිහෙක්’ යන නමින්
සිංහලට නැඟුවා. ඒ පොතත් මහාචාර්ය සෝමරත්න බාලසූරියගේ ‘පිටස්තරයා’ පොතත් එකටගෙන
සංසන්දනය කර බැලීම සාහිත්‍යලෝලීන්ට ආස්වාදජනක ක්‍රියාවක් වනු නොඅනුමානයි.
‘පිටස්තරයා’ ත් කැමූගේ ඉහත පොතේ ම සිංහල පරිවර්තනයක්. එසේම මයිකල් ඔන්ඩච්චිගේ ‘රනින් ඉන් ද ෆැමිලි’ පොතත් ‘පරපුරක පුරාකතා’ නමින් ආචාර්ය
විජයසේකර සිංහලභාවයට පත් කර තිබෙනවා. මෙබඳු සුවිශේෂි පරිවර්තකයකු කෙරෙහි පුවත්පත්වල
සාහිත්‍ය පිටු, ශාස්ත්‍රීය පිටු සංස්කරණය කරන මාධ්‍යවේදින්ගේ අවධානය මෙතෙක් යොමු
නොකිරීම ඛේදජනක කරුණක් බොහෝ විට ඔවුන් සම්පත් දායකයන් කරගන්නේ මේ වගේ අය නෙමෙයි.
(සාහිත්‍ය පුස්සන්) පරිවර්තනවේදය පිළිබඳ ශාස්ත්‍රීය වශයෙන් ඉතාම වටිනා නිබන්ධනයක් ආචාර්ය විජයසේකරගේ
පැංඥීල් පරිවර්තන දෙකට ඇතුළත් ව තිබෙනවා. පරිවර්තනකරණය ගැන අලුතින් හා වඩාත්
ගැඹුරින් සිතා බලන්න ඒ නිබන්ධය අපට සලස්වන්නේ මහඟු අවකාශයක්.
ආචාර්ය විජයසේකරගේ
පොත්වල නිමාවත් හරිම අපූරුයි. එය සම්මතය පිටු දකිනවා. මේ අසම්මත ලක්ෂණය මම මීට
කලින් දැක්කේ අර්නස්ට් පෝරුතොට ගරු පියනම (චිත්‍රපට ගැන) පියසිරි නාගහවත්ත (සිනමා
සටහන්) යන අයගේ පොත්වල විතරයි. සු.මි.
|