ඔබ තබා ගිය ආදරේ තවමත් මතකයි අපට
ඔබ තබා ගිය ආදරේ
තවමත් මතකයි අපට
ප්‍රවීණ සංගීතවේදී සරත් දසනායකයන් සමුගෙන ගොස් ලබන 17 වැනිදාට දස වසරක්. මොන තරම්
දිගු කාලයක් ද? ඒත් ගෙවුණු හැම මොහොතක් ම සංඛට දැනුණෙ අද ඊයෙ ගාණට.
සංඛ, සරත් දසනායකයන්ගෙ බාල පුතු. ගෙවුණු අවුරුදු දහය පුරාම දවසට හත් අට වතාවක්වත්
තාත්තා මතක් කරන සංඛ සරත් දසනායක සංගීතවේදියාගෙ ලොකුම රසවතා කිව්වත් වැරැදි නැති
තරම්. තාත්තගෙ ගී ලොවේ මිහිර ඔහුට අමුතු ලොවක් මවනව.
‘සරා සඳේ... සිනාසී’ අපැහැදිලි ලෙස වුණත් වචන උච්චාරණය කරමින් ඔහු ගීයක් මුමුණනව.
සරා සඳේ... විතරක් නෙවෙයි, උන්මාද සිතුවම් - මැවේ මැවේ..., අමර පෙම් ලතාවේ..., රන්
කෙන්දෙන් බැඳ..., සල් සපුනා..., ඉරට අකීකරු..., කීන දං මිටක්..., බිඳු බිඳු කඳුළු
ගලා..., පාට පොදක් තිලකලා..., ගිණිය නොහැකි තරමේ මේ චිත්‍රපට ගී පෙළෙන් කොයික
ඇහුණත් ඒවා තාත්තගෙ වග සංඛ හඳුන ගන්නෙ බොහොම ඉක්මනින්.
25 හැවිරිදි සංඛ තවම ගෙදර හුරතලා. රංගගෙත් ලක්මාලිගෙත් පුංචි මල්ලි. තාත්තා හිටි
කාලෙ වගේ ම අම්මගෙ, අක්කගෙ - අයියගෙ ආදරය මැද හැදෙන වැඩෙන සංඛ, ඒ කාටත් වඩා තවම
ආදරේ තාත්තට.
මේ සමාජෙන් සිදුවන අසාධාරණකම්... කුහකකම්, හිත් රිදීම් කොතෙකුත් දරා ඉන්න අම්ම -
අයියා - අක්කගෙ කලකිරීම ගැන සංඛට තේරුමක් නැහැ. තාත්තගෙ ගීයක් කොහෙන් ඇහුණත්
සතුටින් ඉපිළ යන එක පුතුගෙ සොබාව.
දැන් මගෙ තාත්ති නැහැනෙ..., කතා බහ කරන ඕන කෙනෙක් එක්ක සංඛ ඉස්සරෝම කියන්නෙ ඔය ටික.
“මහත්තය නැති වුණේ 1999 දී. එදා ඉඳන් අද දක්වා රාජ්‍ය කලා උත්සව මේ රටේ කොයි තරම්
පැවැත්වුව ද? සිනමා කලා කොයි උත්සවයකදී වුණත් මහත්තය සංගීතවත් කරපු ගීත අඩුම තරමෙ 8
- 9 ක් වත් ගැයෙනව. ඒත් 1999 පටන් අද වෙනකල් ඒ උත්සවයකටවත් අපිට ආරාධනා පතක් එවල
නැහැ.
පසුගිය ජනාධිපති සම්මාන උලෙළෙ සංගීත අධ්‍යක්ෂවරයා රංග පුතා. නමුත් එයා අපිට බැල්කනි
ටිකට් දෙකක් කාගෙන් ද සල්ලිවලට අරන් දීලයි, මායි දූයි ඒක බලන්න ගියේ. ඒත් රංග
පුතාටවත් එයාගෙ නිසි තැන මේ කලා ලෝකෙ ලැබෙන්නෑ.
මේ ගෙදර පුංචි කාමරේක සර්පිනාව තියාගෙන මහත්තය පුහුණුවීම් කළේ. මෙහෙට නොආපු ගායක -
ගායිකාවක් නැති තරම්. චිත්‍රපට සංගීතයට - ගීත ලොවට මේ තරම් සේවයක් කරපු සරත්
දසනායක, කලා ලොවට මේ තරම් ඉක්මනට අමතක වුණේ කොහොමද කියන එකයි පුදුමෙ...” ඈ ප්‍රශ්න
කරනව.
ඔහු නැති පාළුව - දුක බිරියටත් දරුවන්ටත් වඩා අන් කාට දැනෙයි ද... ඔවුන්ගෙ ඒ දුක
තවත් වැඩිවෙන්නෙ කලා ලෝකෙන් සිදුවන මෙහෙම නොපනත්කම්වලදි.
“කේමදාස මාස්ටර් නැතිවුණු දවස්වල එක්තරා පත්තරේක කතුවැකියක් අවසන් කරල තිබුණෙ
මහත්තය හින්දි ගී අනුකරණය කළ කෙනෙක් ය. කේමදාස මහත්තය නොහිටින්න සරත් දසනායකල වැනි
හින්දි අනුකරණය කරන්නන් වැජඹෙනවය කියල...” මොන තරම් අපහාසයක් ද. මහත්තයගෙ සංගීතයෙ
මිහිර අද පරපුරත් විඳිනව.

බිරිය ප්‍රීති,සංඛ පුතු මැදි කරගත් ලක්මාලි දුව (වමේ),ලේලිය උපේක්ෂා (දකුණේ) සහ රංග |
‘උන්මාද සිතුවම්’, ‘අමර පෙම් ලතාවේ’, ‘පෙම් වෑහෙන’, ‘මියුරු කල්පනා’, ‘ඉරට අකීකරු,’
‘පාට පොදක්’, ‘හද විමන් දොරින්’, ‘රොන් සොයා’, ‘ලෝකයේ වෙනස් වුණේ,’ ‘මී පිරුණු සුවඳ
මල් වනේ,’ ‘සල් සපුනා’, ‘ඉර සඳ වැඳලා’, ‘බොඳ මීඳුම් කඳුවැල්ලේ’, ‘රන් කොන්දෙන්
බැඳ’, ‘නිල්ල නඟන ස්වර්ණ කිංකිණි රාවේ’, ‘මා... එදා’, ‘අම්මලා දුක්ගන්නේ’, ‘කීන දං
මිටක්’, ‘කැන්දම් යන්නම්’, ‘බෝධියේ විහාරයේ’, ‘රැල්ලෙන් රැල්ලට’, ‘ටජ් මහලක්’,
කියාගෙන ගියොත් තව කොයි තරම් ගී පෙළහරක් ද... අඩුම තරමෙ සමරු උත්සවයක්වත් තියන්න
කෘතගුණ නොවන මිනිස්සු, අපහාස නොකර ඉන්නව නම් අපිට ඒ ඇති...”
ප්‍රීති දසනායක ඔහුගෙ ආදර බිරිය මේ සියල්ල දරාගෙන සිටින්නී හද පිරුණු වේදනාවෙන්.
පියකු නැති ලොව පාළුව - හුදෙකලාව - දුක අතරින් ගෙවුණු දස වසර තුළ සරත් දසනායකයන් ගෙ
දූ දරුවන් තම තමන් තෝරාගත් මඟේ ඉදිරියට ආවෙ වෙර වීරියෙන්.
සංගීතයෙ නව මං සොයා යන රංග දසනායක තුරුණු සංගීතවේදියකුගේ ක්ෂේත්‍රයේ නමක්
ගොඩනඟාගෙන. ‘අහස පොළොව සිඹින..., මේ ගීය නෑසූ දෙසවනක් වෙත් ද.. රංගගෙ සුවිශේෂී
සංගීත නාද රටා මුසුවූ වෙළෙඳ දැන්වීම් කොතෙකුත් අපේ ඇහැ ගැටෙනව.
සරත් දසනායකයන් මිය යන විට රංග ඇමෙරිකාවට ගොස් දෙසතියයි. නිව්යෝර්ක් ඉන්ස්ටිටියුට්
ඔෆ් ඕඩියෝ රිසර්ච්’ ආයතනයට ඔහු ඇතුළු වුණේ ශබ්ද පරිපාලනය පිළිබඳ ඩිප්ලෝමා
පාඨමාලාවකට. ඒ වනවිට ලක්මාලි දිල්ලි විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි සාහිත්‍ය පිළිබඳ
උපාධි කටයුතු අවසන් කර ලංකාවේ. අයියා එනතුරු මරණ ගෙදරකට සූදානම් වීමේ බාර දූර වගකීම
කරට ගත් ඈ අම්මත් පුංචි මල්ලිත් අස්වසාලූයේ හිතට දිරි අරන්.
අද රංග ශබ්ද පරිපාලන ආයතනයක හිමිකරුවෙක්. ලක්මාලි ‘ටෙක්නිකල් ඇඩ්වයිසර්’ තනතුරක.
“තාත්තා අසනීප වෙච්චි වෙලාවෙ මට ‘ඩ්‍රයිව්’ කරන්නවත් දන්නෑ. ඒ හින්ද මට තාත්තව
ඉස්පිරිතාලෙ ගෙනියන්නත් කාගෙ හරි උදව් ඕනෙ වුණා. අද රස්සාවෙන් දියුණුවෙන් අයියත්
මාත් හොඳ තැන්වල. අපිට සලකන්න පුළුවන් වෙන කොට තාත්තා නැහැ.
හුඟක් ම දුක හිතෙන්නෙ
අපිටම කරල යන්න ගියා නේද කියල හිතෙන කොට. අපේ පුංචි මල්ලි වෙන කිසිම මන්ද මානසික
ළමයකුට වඩා ෆෝවර්ඩ්. එයාට තබ්ලාව වයන්න පුළුවනි. ඕගන් එක පුළුවනි.
ගිටාර් එකත් එයාම
හදාගත්තු ක්‍රමයකට වයනව. පුංචි කාලෙ පටන් තාත්තා යන හැම රෙකෝඩින් එකකටම එයාව අරගෙන
ගියා. අපිට වඩා ඒ කාලෙ සමාජෙ, කලා ලෝකෙ ගැවසුණේ එයා. තාත්තා ‘කන්ඩක්ට්’ කරන විදියටම
එයත් රිදම් එකට ඒ වැඩේ කරනව.
එයාව කොන් නොකරන්න, වැඩිපුර ආදරේ කරන්න සාමාන්‍ය ළමයකුසේම පිළිගන්න අපිට ඉගැන්නුවෙ
අම්මයි - තාත්තයි. ඇත්තටම තාත්තා නැති අඩුව අපිටත් වඩා දැනෙන්නෙ එයාට. තාත්තා තමයි
එයාගෙ පණ. තාත්තගෙ හොඳම රසිකයත් එයා. 17 වැනිද ළං වෙනකොට එයා හැමෝටම කෝල්ස් දීල
මතක් කරන්න කිය කියා වද කරනව. එයාගෙ එකම සතුට තාත්තගෙ සින්දු අහන එක...”
සියල්ල අසාගෙන සංඛ හිනැහෙයි. ‘මේ මගෙ අක්කා, රංගගේ බිරිය පෙන්වමින් පවසයි. ඈ
උපේක්ෂා, ඔහුගෙ හිස අතගා අස්වසයි.
පියකු නැති හුදෙකලාව - දුක හැර අන් කිසිවක් මේ නිවසේ අඩු නොවේ. ආදරය සහ සෙනෙහසේ
බැඳීම් පමණ ඉක්මවා ඇති සෙයකි.
මිය ගිය කිසිවකුත් යළි නොඑන බව සැබෑ ය. නමුත් ඔවුන් තබා ගිය ආදරය සහ මතකය ජීවත්ව
ඉන්න අයට බලාපොරොත්තු සපයයි. සංඛලාට ද එසේම ය.
ඉනෝකා පෙරේරා බණ්ඩාර
ඡායාරූප - ගීත් ද මැල්
|