සංසාරෙන් අපි සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමූ
සංසාරෙන්
අපි සමුගන්නා දා
ඒ ගමනත්
අපි එකට යමූ
සරත් දසනායක අපෙන් වියෝ වී අනිද්දාට දස වසරකි
සෝමපාල ලීලානන්ද
සරත් දසනායක හෙවත් මගේ ආදරණීය මිතුරු ‘දසේ’ මේ ආත්මයේ මට මුලින්ම මුණගැසුණේ හැටේ
දශකය අගබාගයේදී පමණ මරදානේ පවත්වාගෙන ගිය ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ‘සංගීත
මංජරියේ’ දීය.
ඒ වන විට කේමදාස මාස්ටර් ‘කැලෑමල්’ නමින් ගීත නාටකයක් නිපදවමින්
සිටියේය. ඒ සඳහා අලුත් වාදන ශිල්පීන් කීපදෙනකු යොදාගැනීමට ඔහු අදහස් කළේය. නවරත්න
අත්තනායක, වික්ටර් රත්නායක මෙන්ම සරත් දසනායක ද ‘සංගීත මංජරිය’ට එක්වූයේ ඒ අනුවය.
දසේ හා මා එකල රැය පහන් කළේ ද ‘සංගීත මංජරියේ’මය. උදේ හතරට අවදිවන දසේ සරස්වතී
දේවියට වැඳ නමස්කාර කොට සිතාරය වයන්ට පටන්ගනී. ඔහුගේ ප්‍රධාන සංගීත භාණ්ඩය වූයේ
සිතාරයයි. සංගීතඥයකු නොවී දිගටම සිතාර් වාදනය ප්‍රගුණ කළේ නම් දසේ රවි ශන්කර් පවා
අභිබවා යන අතිදක්ෂ සිතාර් වාද්‍ය ශිල්පියකු වන්ට තිබුණු බව මගේ විශ්වාසයයි. වරදවා
වටහා නොගන්න. මා රවි ශන්කර් දෙවැනි කොට සලකනවා නොවේ.
එහෙත් අමරදේවයන් ගේ ‘සන්නාලියනේ’ ගීතයට දසේ මුසුකළ සිතාර් වාදනය සාවධානව අසන මෙන්
මම සහෘද ඔබෙන් ඉල්ලා සිටිමි. වඩා ප්‍රතිභාසම්පන්න රවි ශන්කර් ද, එසේත් නැතහොත් සරත්
දසනායක ද යන්න පිළිබඳ තීරණයකට එළැඹීම මම ඔබටම භාරකරමි.
දසේ, කේමදාසයන් සංගීතය සැපයූ චිත්‍රපට කීපයකම සහාය සංගීත අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු
කළේය. මට මතක හැටියට ඒ ‘සැපත සොයා’, ‘සැනසුම කොතැනද’, ‘ගොළු හදවත’ වැනි සිනමාපටය.
එකල දසේට ගීතයක් ගායනා කිරීමේ මහත් ආශාවක් ඇති වූයේය.
ඔහු ගුවන් විදුලියේ ආධුනික වැඩසටහනකට ගීතයක් ගායනා කළේය. මවු ගුණ ගීතයක් වූ එය රචනා
කරනු ලැබුවේ ම විසිනි. දසේ තමා ගැයූ ගීතය ඇසුවේය. ඔහුගේ මුහුණ පුලුටුවනු මට පෙනිණි.
ඉන්පසු ඔහු මෙසේ කීය.
”සෝමේ මේ මගේ මුල්ම සින්දුව ඒ වගේම අන්තිම සින්දුව“.
ඉන්පසු දසේ කිසිම දවසක ගීත ගායනා කළේ නැත.
දිනක් ආචාර්ය ප්‍රේමසිරි කේමදාස දසේට ලියුමක් ලියා ‘සංගීත මංජරියේ’ තබා ගොස්
තිබුණේය. එහි තිබුණේ වචන දෙකකි.
’වහාම පිටවෙන්න’
කුමන හේතුවක් මත කේමදාසයන් එසේ ලීවේද යන්න අදටත් මම නොදනිමි. ඇතැම් විට එය කාගේ හෝ
කේළමක අනිටු ඵලයක් විය හැකිය. ලියුම කියැවූ දසේ සිතාරයත් රැගෙන ‘සංගීත මංජරියෙන්’
එළියට බැස්සේය. සරත් දසනායක නමැති සංගීතඥයා බිහිවූයේ ඒ මොහොතේදීය.
පෞද්ගලිකව මම ද එදායින් පසු සංගීත මංජරියට පය නොතැබුවෙමි.
ඒ අතර මට ‘විශ්මය’ නමැති චිත්‍රපටයට සම්බන්ධ වන්ට අවස්ථාවක් ලැබිණි. එහි දෙබස් හා
ගීත කීපයක් ලීවේ මාය. මම එහි සංගීත අධ්‍යක්ෂණය සඳහා දසේ තෝරාගතිමි. එය දසේ සංගීතවත්
කළ මුල්ම චිත්‍රපටයයි.
ඉන්පසු ‘සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට ද මම දායක වීමි. එහි තිරපිටපත මගේය. එහි සංගීත
අධ්‍යක්ෂණය සඳහා මම දසේගේ නම යෝජනා කළෙමි. එහෙත් නිෂ්පාදක සේන සමරසිංහ ඊට ස්වකීය
අකැමැත්ත ප්‍රකාශ කළේය. ඊට හේතුව ලෙස ඔහු දැක්වූයේ ගාමිණී ෆොන්සේකා, මාලිනී
ෆොන්සේකා, ජෝ අබේවික්‍රම වැනි ප්‍රවීණ නළු නිළියන් රඟපාන චිත්‍රපටයක අධ්‍යක්ෂණයට
(මිල්ටන් ජයවර්ධන) තිර රචනයට (මා) නවකයන් යොදාගෙන තිබියදී සංගීත අධ්‍යක්ෂණයටත් තවත්
නවකයකු යොදාගැනීම බෙහෙවින් අවදානම් ක්‍රියාවක් විය හැකි බවය. එය ඔහුගේ පැත්තෙන්
සලකන කල සාධාරණ හේතුවකි.
චිත්‍රපටයක වාණිජමය සාර්ථකත්වය කෙරෙහි එහි එන ගීත තීරණාත්මකව බලපාන බව නිෂ්පාදක සේන
සමරසිංහ දැන සිටියේය. ඒ වන විට දසේ වෙළෙඳ තැටියක් සඳහා එච්.ආර්.ජෝතිපාලගේ ගීත හතරකට
තනු යොදා සංගීතවත් කර තිබිණි. ‘නීල දෑස පුරා’, ‘ටජ් මහලක් තනවන්න’, ‘දිය පොදක්
වෙමින්’, ‘පහන් ටැඹ යට’ එම ගීත හතරය. අපි එම ගීත සේන සමරසිංහට ඇසීමට සැලැස්වීමු.
ගීත සියල්ල ඇසූ ඔහු ඒ අවස්ථාවේදීම සරත් දසනායක තම චිත්‍රපටයේ සංගීත අධ්‍යක්ෂවරයා
ලෙස තෝරා ගත්තේය.
’සදහටම ඔබ මගේ’ චිත්‍රපටයට දසේ මියුරු ගී කීපයක්ම නිර්මාණය කළේය. ‘අමර පෙම් ලතාවේ’,
‘වාසනාව දොර ඇරලා බලනවා’, ‘පෙම් රස වෑහෙන මංගල ගීතේ’ ඉන් කීපයකි.
ඉන්පසු දසේ සේන සමරසිංහගේ ඊළග චිත්‍රපටවල ද (’කස්තුරි සුවඳ’, ‘නිල්ල සොයා’, ‘ආශා
දෑසින්’, ‘මල් කැකුළු’, ‘ඈතින් ඈතට’ වැනි) සංගීත අධ්‍යක්ෂවරයා වූයේය. එම චිත්‍රපටවල
ජනකාන්ත භාවයට දසේ නිර්මාණය කළ මධුර ගී ඉවහල් වූ බව අමුතුවෙන්ම කිව යුතු ද?
සිංහල සිනමාවේ එතෙක් පැවැති හින්දි ගී අනුකාරක ප්‍රවණතාව අහෝසි කොට හින්දි ගී හා
සමානව මියුරු ගී නිර්මාණය කිරීමේ නොමඳ ගෞරවය සරත් දසනායකට අනිවාර්යයෙන් ම හිමි විය
යුතු යැයි මම කියමි.
ගීත නිර්මාණයේදී දසේ අනුගමනය කළ ක්‍රමවේදය වූයේ මුලින් තනුව නිර්මාණය කිරීමය.
ඉනික්බිතිව එම තනුවට අනුරූපීව පදමාලාව ගෙතීම ගීත රචකයාගේ කාර්යභාරය වෙයි.
දසේ ගේ සංගීතයේ සුවිශේෂ ලක්ෂණයක් වන්නේ ඔහු අපේ ජන සංගීතයෙන් අත්‍යන්ත පෝෂණයක්
ලැබීමයි. ඔහු තම සංගීත දිවියේ ඉර හඳ සේ සැලකුවේ සී. ද එස්.කුලතිලක සහ
ඩබ්ලිව්.බී.මකුලොලුවය. එසේ වුවත් දසේ එක් සංගීත ප්‍රකාරයකට පමණක් කොටුවූ සංගීතයකු
නොවීය.
ව්‍යවහාර සංගීතයේදී ඔහු ඕනෑම සංගීත සම්ප්‍රදායකින් ද අනුප්‍රාණය ලද්දේය. ඊට
එක් උදාහරණයක් මෙපරිදිය. ‘යෞවන උයනේ පියුම් තටාකේ’ නම් වූ ගීතය චීන ගීතයක ආභාසයෙන්
නිර්මාණය වූවකි. එහෙත් ඒ බැව් කිසිවකු දන්නේ නැත.
සරත් දසනායක නමැති සංගීතවේදියා ගැන පමණක් නොව සරත් දසනායක නමැති මනුෂ්‍යත්වයෙන්
අපරිමිත වූ සුන්දර මිනිසා ගැනත් මට බොහෝ දේ කිව හැකිය. මා දන්නා දසේ රහසින්වත් පව්
නොකළ සත්පුරුෂයෙකි. ඒ අතින් ඔහුගේ බිරිය පින්බර ගැහැනියකි. තම ආදරණීය පියා ගැන දසේ
ගේ දරුවන්ට තුටුපහටුව ආඩම්බර විය හැකි යැයි මම කියමි.
අප එකල දසේට නමක් පටබැඳ තිබිණි. ඒ ‘මරණමේනියා’ කියාය. තම දන්නා හඳුනන අයකුගේ මරණයක්
සිදුවුවහොත් දසේ හත් දවසේ දානය තෙක් මළගෙදර රැඳී සිටී. හට්, පුටු, සිසිල් බීම,
බිස්කට් පමණක් නොව කාඩ් පැක් එක පවා සොයා බලා ඒවා ගෙනැවිත් දෙයි.
තම හිතමිතුරන්ගේ නිවෙස්වල කිසියම් අඩුපාඩුවක් වෙතොත් දසේ තම නිවෙසේ අඩුපාඩුකම්
පසෙකලා එය සපුරාලන්ට ඉදිරිපත් වෙයි. ඔහු එවන් අනුත්තර මිනිසෙකි.
ඇතැම් අවස්ථාවල සුළු සිද්ධියක් මත මම දසේ සමඟ අමනාප වෙමි. එවිට ඔහු මට ලියුමක් ලියා
එවයි.
”සෝමේ උඹ මාව අඬවනවා”
දසේ එවූ ලිපියක ඔහුගේ කඳුළු බොඳවී තිබෙනු මට පෙනේ. එවිට සියලු අමනාපකම් හිරු දුටු
පිනි මෙන් වියැකී යයි. ඔහු සොයා ගොස් තරයේ බදා වැළඳ ගැනීමට මට සිත්වෙයි.
අවසන් වශයෙන් කිවයුත්තේ මෙයයි. දසේගේ ගීතවලට මියුරුභාවය ලැබී ඇත්තේ ඔහුගේ සුන්දර
ආත්මයෙනි. එම ගීවල මධුර මනෝහරභාවයේ පරම රසය එයයි.
ආදරණීය දසේ, සංසාරේ අපි එකට ඉමු. ඒ සංසාරෙන් සමුගන්නා දා ඒ ගමනත් අපි එකට යමු.
සු.මි.
|