ඔබ හිරු ය !

 
 

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන කතාව බොරු

 
 

ශ්‍රීලනිපය යුගයේ අභියෝග බාරගන්නා පක්ෂයයි

 
 

දස මස කුස දැරූ බව අමතක කළා දෝ දරුවා කබර කැලයට විසි කළා දෝ...

 
 

ආහාර මිල අඩු කළ නිසා ලක් සතොස ආදායම දෙගුණ වෙලා

 
 

අපේ ආදරේ අප රකින බව මට විශ්වාසයි

 
 

අම්මා කෙනෙක් වෙන්න ආදරෙන් බලන් ඉන්නවා

 
 

හිම යායේ ශීතලට මැදිවී.....

 
 

සැබෑ නිදහස් සටනේපුරෝගාමියා ශ්‍රීලනිපයයි

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන


හිම යායේ ශීතලට මැදිවී.....

හිම යායේ ශීතලට මැදිවී.....

විශ්වවිද්‍යාලයේ කාර්ය බහුල ජීවිතය අතුරින් කාලය ගෙවෙන්නෙ අපිටත් නොදැනීමයි. අපේ දෙනෙතට මෙන්ම මනසටත් පොත්පත්වලින් හා පරිගණකයෙන් ලබා දෙන වෙහෙස නිවා දැමීමට අප අවට තිබෙන සුන්දර ගස්, කොළ, මල් නිරතුරුව උත්සාහ දරනවා කියලයි මට නම් හිතෙන්නෙ. ග්‍රීෂ්ම සෘතුවෙ අවසාන කාලය ළඟා වෙන බව අපට හඟවමින් කොළ පැහැයට තිබුණු ගහ කොළ සියල්ල තැඹිළි, රතු, කහ වර්ණවලට පෙරළුණා.

මුළු උරාසා ප්‍රදේශයම වර්ණවත් චිත්‍රයක් වගේ පෙනුණත් ජීවිතයේ අනිත්‍යතාව කියා දෙන්නට මෙන් ඒ සුන්දරත්වය තිබුණෙ දින කිහිපයකට පමණි. ළඟ ළඟ එන සීත සෘතුවේදී මුළු පරිසරයම ශ්වේත වර්ණ යායක් කිරීමට හිම පියැලිවලට අවකාශ ලබාදීමට වගේ මේ වර්ණවත් ශාක පත්‍ර දින කිහිපයකින් සුළඟට ගසාගෙන ගියා.

උරාසා ප්‍රදේශය ජපානයේ සෙසු ප්‍රදේශවලට සාපේක්ෂව බලන විට හිම පතනය බහුලව පවතින ප්‍රදේශවලින් එකක්. කෙතරම් ද කියනවා නම් පොළොව මට්ටමේ සිට මීටර 3 – 4ක් පමණ උසකට හිම ගොඩ ගැසෙනවා.

මහල් ගොඩනැඟිල්ලක නම් තුන් වැනි මහල ද ආවරණය වෙන තරමට උසට. උරාසා ගැමියන් සලකන්නෙ මේ තරම් දැඩිව හිමපතනය සිද්ද වෙන්නෙ ඔවුන්ගේ වාසනාවට කියලයි. මේ වැටෙන හිම ජලය වශයෙන් පොළවට උරාගෙන පස සාරවත් කරනවලු. ඒ අනුසාරයෙන් තමයි ‘කොෂිහිකරි’ හාල් වර්ගය මෙතරම් රසවත් වෙන්නෙ.

ප්‍රථම හිම දිනය සමරමින්

කෙසේ වෙතත් මේ දැඩි හිමෙන් ආරක්ෂා වෙන්න ගම්වැසියන් වගේම ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයේ සේවකයන් ද මේ දිනවල කඩිසරව ක්‍රියා කරනවා. නේවාසිකාගාරය තිබෙන්නෙත් විශ්වවිද්‍යාල භූමියෙමයි. මේ නේවාසිකාගාරවල සිට දේශන ශාලා, පුස්තකාලය, කැන්ටිම ආදී වූ සෑම ස්ථානයකටම ගමන් කිරීමට ආවරණය කරන ලද පැසේජ හදනු ලැබුවා.

තණකොළ පියලි මත්තෙන් ගස් වැල්වලට කථා කරමින් කෙළිදෙලෙන් කාලය ගත කරපු සිසු සිසුවියන් “අනේ අපි නිකං හිරකරුවන් වගෙයි” කියමින් මැසිවිලි නඟන්න ගත්තා. ජපානයේ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය (International University of Japan) යන්න සංකේතවත් කිරීමට ඇති  IUJxp  අක්ෂර තුනට ඔවුන් වෙනත් නමක් ආරූඪ කළා.

ඒ තමයි ‘I and You in Jail’ ‘ඔබත් මමත් දැන් සිරකරුවෝය’ කියලා තමයි මේ පාඨයෙන් ඔවුන් කියන්න තනන්නෙ.

මේ ආකාරයට වැට කොටු බැන්දට තවමත් හිම වැටෙන්නෙ නැති නිසාත් ගහ කොළ ඇස නොගැටී සිටීමට නොහැකි නිසාත් මමත් මගේ මිතුරිය රාත්‍රිත් නිතරම ගින්නකදී පිටවීමට ඇති දොරටුව භාවිතා කරමින් වටරවුම් මාර්ගයකින් එළිමහනේ තමයි තවමත් ගමන් බිමන් යන්නෙ.

දෙසැම්බර් මාසයේ පළමු සතියේ දිනයක සවස පුස්තකාලයට යෑම සඳහා මමත් ඇයත් මේ හදිසි අවස්ථාවලදී භාවිතයට ඇති දොරටුවෙන් පිටත් වුණා. දොරටුවෙන් පිටතට එද්දිම ඉතා තදින් හුළං හමන බව දැනුණත් අපි වගේ පෘෂ්ඨිමත් කෙල්ලො දෙන්නකුව ගහගෙන යන්න තරම් ඒ සුළං පහරට පුළුවන්කමක් නැහැ යැයි ඔවුනොවුන්ට කියා ගනිමින් අප සුපුරුදු මාර්ගයට අවතීර්ණ වුණා.

ටික දුරක් යද්දිම අපේ අභියෝගය බාර ගත්තු සුළඟ තව තවත් චණ්ඩ වුණා. “හෝ හෝ” ලෙස හඬ නංවමින් ඇදී ආ මේ දැඩි සුළඟ කපාගෙන ඉදිරියට යෑමට අසීරු වුණා විතරක් නොවේ කෙතරම් උත්සාහ දැරුවත් සුළඟත් සමඟ මා මෙන්ම කුතුහලයට හා ත්‍රාසයට පත්වුණු ඉන්දියානු, මැලේසියානු හා බංග්ලාදේශ සිසු සිසුවියන් දේශන ශාලාවලින් පිටතට පැමිණියේ “හුරේ” හඬ නංවමිනි.

පොදින් පොද වැටෙනා හිම කැටිති සිය දෝතින් ගනිමින් ඒවා සිය දෙකොපුලෙහි, දෙනෙතෙහි තබා සුවය විඳගනිමින් සිය ප්‍රථම හිම දිනයේ අත්දැකීම සමරද්දී සිරමැදිරිය ලෙස ඔවුන් හැඳින්වූ අපගේ විශ්වවිද්‍යාලය සිසුනගේ ප්‍රීති ඝෝෂා සහ සිනහ හඩින් ‘සිරි මැදිරියක්’ ම විය.

1930 දශකයේ ජපානයේ පහළ වූ අද්විතීය ගත් කතුවරයකු වන කවබත යසුනරි මහතා සිය නොබෙල් ත්‍යාග ලාභී නවකතාව වන “යුකි ගුනි” (හිම බිම) සඳහා මෙම ප්‍රදේශය පාදක කර ගැනීමට හේතුව මට වැටහුණේ ශීත සෘතුව ආරම්භ වීමෙන් පසුවයි. පැය 24 පුරාම රැයක් දවාලක් නොමැතිව බලන බලන සෑම දිශාවකින්ම අපට දක්නට ලැබුණේ අඳුරු අහසත් පෙළට වැටෙන හිම කැටිතිත් පසුබිම් කොටගත් සුදු පැහැති ලෝකයක් පමණි.

එළිමහන් ක්‍රීඩා කිරීමට අවශ්‍ය වූ විට අපට සිදුවුණේ සිවුවන මහළේ ජනේලවලින් හිම මතට පැනීමටයි. ප්‍රථම මහලේ සිට තුන්වැනි මහල දක්වා හිමෙන් වැසී තිබුණු අතර එම මහල්වල ජනේල විවර කර ගත නොහැකි විය.

දිනකට කිහිප වතාවක්ම ප්‍රාදේශීය කාර්යාලය විසින් ක්‍රියාත්මක කරවනු ලබන බැකෝ යන්ත්‍ර උරාසා ගම පුරා සිසාරමින් හිම ඉවත් කරනු ලබයි. මහමඟ ධාවනය වන වාහනවලට හිම නිසා සිදු වන්නාවූ හානිය අවම කිරීමට පාර පුරා නිරතුරුවම නල මාර්ග මඟින් ජලය ගලා යෑමට සලස්වා තිබිණි.

ග්‍රීෂ්ම සෘතුව නිමවී වර්ණවත් වූ පරිසරය

උරාසා ගම අවට හිම ක්‍රීඩා කළ හැකි ස්ථාන (skit zone) 8ක් පමණ තිබෙන අතර හක්කයි සන් කඳු වැටිය ආශ්‍රිතව පවතින හිම ක්‍රීඩා ස්ථානය මින් ප්‍රමුඛ ස්ථානය හිමි කර ගනී.

දේශීය මෙන්ම විදේශීය හිම ක්‍රීඩා ලෝලීන්ගේ සපැමිණීම නිසා අපේ පුංචි නිහඬ උරාසා ගම මඳක් කලබලකාරී නගරයක ස්වරූපයක් මේ ශීත සෘතුවේ ඉසිලීය.

හක්කයි සන් කන්ද පාමුල සිට කේබල් රථයක නැඟී කන්ද මුදුනට ගමන් කරන හිම ක්‍රීඩකයන් දහස් ගණනක් වර්ණවත් හිම ක්‍රීඩා ඇඳුමින් සැරසී කන්ද පහළට රූටමින් මවන්නේ වර්ණවත් දසුනකි.

සීතල පෙබරවාරියේ දවසක සීතලට හිරිවැටුණු ගත පමණක් නොව සිතද හිරිවැටුණේ ශිෂ්‍ය විධායක කමිටුවේ බාහිර කටයුතු බාර සිසුවා වන තොමෝ සන් ගෙන් අප සියලු දෙනාටම ලැබුණු විද්‍යුත් ලිපියක් නිසාවෙනි. ඔහු එම ලිපියෙන් අසා තිබුණේ සීතල රාත්‍රියක නිරුවත් වීමට කැමැති කවුදැයි කියායි.

 ඉහළට ඇදගත් හුස්මක් පහළට දැමිය නොහැකි සේ ගල්ගැසී මොහොතක් සිටියත් නැවත සැනසුමක් හෙළුණේ පසු සටහන දුටු විටය. ඉන් කියැවුණ් “අතිශයින්ම පිරිමින්ට පමණයි” කියාය.

විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්ගෙන් හා කාර්ය මණ්ඩලයෙන් මේ අරුම පුදුම ඊ මේලයෙහි අරුත විමසා සිටි විට ඔවුන් කියා සිටියේ ඉන් කියැවෙන්නේ උරාසා ප්‍රදේශයේ පැවැත්වෙන ‘නිරුවන් මිනිසුන්ගේ උත්සවය’ (Naked Mans Festival) ගැන බවයි. මින්පසුව ගතවුණු සති කිහිපය ගෙවුණේ අප විශ්වවිද්‍යාලයේ සිසුන් අතුරින් නිරුවත් වීමට යන්නේ කවුරුන්ද යන කුතුහලයෙන් යුක්තවය.

සෑම වසරකම මාර්තු මාසෙ 03 වැනිදා කියන්නේ මුළු ජපානයටම සතුට ගෙන එන දවසක්. ඒ ජපන් ජාතිකයන් ඉතාම ආශාවෙන් සමරන ගැහැනු ළමයින්ගේ උත්සවය එදිනට යෙදී තිබෙන නිසාය. ගැහැනු දරුවන් සිටින පවුල්වල මවුපියෝ එදිනට විසිතුරු බෝනික්කන් සහිත සැරසිල්ලකින් නිවහනෙහි විසිත්ත කාමරය සැරසීම ද දියණියන් වෙනුවෙන් අලුත් ඇඳුම් මිලදී ගෙන සිය දියණියන් සතුටු කරති.

උරාසා ගමට මේ දිනය තවත් සුවිශේෂී දිනයක් වන්නේ මුලදී සඳහන් කළ ‘නිරුවත් මිනිසුන්ගේ උත්සවය ද මෙදිනට ම යෙදී තිබෙන නිසාය. මෙම උත්සවය පැවැත්වෙන මාර්තු මාසය සීත සෘතුවේ අවසාන මාසයේ වුවද තවමත් හිම පතනය යහමින් සිදු වෙමින් තිබේ.

මෙම වකවානුවේදී සාමාන්‍යයෙන් සවස 6ට පමණ පසු පවතින උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 15ත් 25ත් අතර අගයක් ගනී. මේ නිසාවෙන් නියමිත දින උදෑසන සිට අපගේ රාජකාරිය වූයේ උළෙලට සහභාගී වන්නට සිටින සිසුන්ට උපහාසාත්මක ලෙස සුබ පැතීමයි.

අපගේ සුබ පැතුම්වලට පිළිතුරු වශයෙන් කටමැත දෙඩ වූ ඔවුන් කියා සිටියේ ‘හැඩි දැඩි තරුණයන් වන අපට ඕවත් වැඩද’ කියාය. නමුත් සසළ වන ඔවුන්ගේ දෙනෙත් පැවසූයේ මෙම සීතලට මුහුණ දීමට සැබැවින්ම ඔවුන්ට හැකි වේවිදැයි පුංචි සැකයක් ද පවතින බවයි.

ඉතා හෙමින් කාලය ගෙවුණු එදින දේශන අවසන් වූ පසු සවස 7 පමණ අප සියලු දෙනා විශ්වවිද්‍යාල දොරටුවෙහි නවත්වා තිබුණු විශේෂයෙන් පිළියෙළ කර තිබුණු බස් රථවලට නැඟුණේ හිස සිට දෙපතුල දක්වා හැකි උපරිමයෙන් සීතලයෙන් ආරක්ෂා වන පරිදි උණුසුම් ඇඳුම් වලින් සැරසීගෙනය. මෙම බස් රථ අපව රැගෙන ගියේ උරාසා දුම්රිය ස්ථානය දක්වා පමණි.

ඉටිපහන් ගෙනයමින්

එතැන් සිට මීටර් 100ක් පමණ දුරින් තිබෙන බිෂෝමන්දු පන්සල දක්වා අප ද ගම්වැසියන් ද ගියේ පා ගමනිනි.

අප ලෙස මා මෙහිදී සඳහන් කරන්නේ විශ්වවිද්‍යාලයේ සිසුවියන් පමණක් වන අතර ගම්වැසියන් යැයි පැවසුවේ ගමෙහි වසන දරු දැරියන් ද, තරුණ කාන්තාවන් ද ඉතාමත් වයසක සීයලා සහ ආච්චිලා ගැනය.

මෙම පිරිසට අයත් නොවන පිරිස එනම් විශ්වවිද්‍යාල සිසුන් ද ගමෙහි සිටින තරුණ හා මැදිවියේ ගැමියන් ද අපට පෙර බිෂෝමන්දු පන්සල වෙත ගොස් අදාළ සූදානම් වීමේ කටයුතුවල යෙදෙමින් සිටියහ.

මඟ දෙපස තිබුණු තාවකාලිකව ඉදිකරන ලද කඩවලින් ‘යකිසොබා’(තෙම්පරාදු කරන ලද නූඩ්ල්ස්), ‘තකොයකි’ (පිටි මිශ්‍රණයක දවටා බදින ලද දැල්ලන්) වැනි ආහාර ද උණුසුම් කොළ පැහැති ජපන් තේද මිලදී ගත් අප ඒවායින් සන්තර්පනය වෙමින් බිෂෝමොන්දු පන්සල වෙත ගමන් කළේ එහි කුමක් සිදු වෙමින් පවතිනු ඇත්දැයි සිතමිනි.

මෙම සාම්ප්‍රදායික උත්සවයට වසර 1200ක ඉතිහාසයක් හිමි බව අපට මෙහි විස්තරය කියාදුන් සීයා කෙනෙකු පැවසීය. පුරාවෘත්ත හා ජනප්‍රවාදයන්ට අනුව බිෂෝමොන්දු විහාරයේ වැඩ වාසය කරන්නා වූ බිෂෝමොන්තෙන් දෙවියන් විසින් ජපානය විදේශ ආක්‍රමණවලින් මුදා ගැනීමට ඇප කැප වන යුද භටයන් හට ආශිර්වාදය හා ආරක්ෂාව සලසන ලද්දේලු.

ජපානය සතුරු ආක්‍රමණයන්ට ලක්නොවී සාමකාමී රටක් ලෙස වැජඹෙන්නේ අදටත් මෙම බිෂෝමන්තෙන් දෙවියන්ගේ ඇල්ම බැල්ම ජපානයට ලබා දෙන නිසාවෙන් බවට ජපන් ජාතිකයන් තුළ විශ්වාසයක් පවතී.

මේ විශ්වාසයට නව මුහුණුවරක් සපයමින් ‘සකනඋළු තමරාමාරො’ නම් පූජකවරයෙක් වසර 1200කට පෙර මෙම උත්සවය පවත්වා ගරු බුහුමන් දැක්වීම ආරම්භ කරන ලදී. එතැන් පටන් ප්‍රදේශ වැසියන් නොකඩවාම වාර්ෂිකව පවත්වා ගෙන එන්නේලු.

කතාවෙන් කතාවෙන් පන්සල් භූ®මිය වෙත ළඟා වුණු අපට දක්නට ලැබුණේ පන්සල් භූ®මිය ආලෝකමත් කිරීම පිණිස දල්වන ලද විශාල ඉටිපන්දම් උත්සවයට සහභාගී වීමට පේවී බලා සිටින මිනිසුන්ය. ඔවුන් සිටියේ නිරුවතින් නොව අඩ නිරුවතිනි.

කපු සුදු පැහැති කොට කලිසමුත් “සරාෂී” ලෙස හඳුන්වන පිරිසුදු කපු උතුරු සළුවකුත් පැළඳ සිටියහ. පන්සල වෙත අපට කලින් ළඟා වූ ඔවුන් සිදුකර තිබෙන්නේ් පන්සලෙහි ඇති ළිඳෙන් දිය ස්නානය කිරීමයි.

උනුන් තෙරපෙමින් පන්සලේ දොරටුව කරා ඇදෙද්දී

බිෂෝමන්තෙන් දෙවියන් ඉදිරිපස පෙනී සිටිය යුතු වන්නේ සිය සිරුරු ඉතාමත් හොඳින් පිරිසුදු කර ගැනීමෙන් අනතුරුවලු. මෙවන් සීතල රාත්‍රියක සීතල වතුර ස්නානය කිරීම නිසාවෙන්ම උත්සවයට සහභාගී වන මෙම පුද්ගලයන් අද දින වීරයෝ බවට පත් වී සිටිති.

සවස 7.30ට පමණ මෙම කණ්ඩායම්වලින් මූලිකත්වය ගෙන ක්‍රියා කළ එක් කණ්ඩායමක් හදිසියේම බෙරයකට තාලයකට ගසමින් ‘සන් - යෝ - සෙයි, සන් - යෝ - සෙයි” ලෙස තාලයට ගසමින් පන්සල් භූ®මියේ සිට පන්සලේ ප්‍රධාන ගොඩනැඟිල්ල දක්වා යෑමට ඇති කුඩා පාරට අවතීර්ණ විය. ඔවුන් අනුගමනය කළ අනෙක් කණ්ඩායම් ද මෙම ගායනයට ඒ ආකාරයටම දායක වෙමින් ඔවුන් හා එක්වූහ.

පන්සල් භූ®මියේ සිට පන්සලේ ප්‍රධාන ගොඩනැඟිල්ල දක්වා ඇති මීටර 50ක පමණ දුර ගමන් කිරීමට මේ ලෙසින් “සන් - යෝ- සෙයි” ලෙස ගයමින් මිනිස්සු 250ක් 300ක් පමණ පැමිණියහ. මොවුන් ගොඩනැඟිල්ල දෙසට ඇදුණේ් ඉතා තදින් ඔවුනොවුන් තෙරපමින් රොත්තට මෙනි.

ඉදිරියට පියවර හතරක් තබන විට පියවර අටක් පමණ නැවත පිටිපසට විසිවෙනු ද දක්නට ලැබිණි. මේ තරමට මොවුන් එකිනෙකා තෙරපෙනු දුටු මා මුලින් සිතුවේ ඔවුන් සීතලෙන් ඇතිවන පීඩාව නිමා කර ගැනීමට එසේ කරනවාය කියාය. නමුත් පසුව දැනගත් කරුණුවලින් පසක් වූයේ එලෙසින් එක් පොදියකට රැස්කමින් පන්සල් ගොඩනැඟිල්ල වෙත යෑම චාරිත්‍රයක් බවයි.

බිෂෝමන්තෙන් දෙවියන් කෙරෙහි විශ්වාසයෙන් පැමිණෙන පිරිස වැඩිවන තරමට සිය රට ආරක්ෂා කර ගැනීමට දෙවියන්ගේ සිත ද වැඩි වැඩියෙන් පෙළඹෙන බව මොවුන්ගේ මතයයි. ඉදින් මහා ජන ගංගාවක් ඇදෙන සේ විදහා දැක්වීමට ඔවුහු ඉතා තදින් රැස්කමින් මහා හ¼ඩින් ‘සන් - යෝ - සෙයි” ලෙස ගායනා කරමින් මහා ජන ගංගාවක් සිටිනා බවට විදහා දක්වති.

මොවුන් සියලු දෙනාම මෙලෙස විහාරස්ථානයට ඇතුළු වූ පසුව ‘සසර - සුරි’ ලෙස හඳුන්වන මෙම පූජාවේ අවසාන අංගය ආරම්භ විය. ‘සසර’ යනු ජපානයේ සාම්ප්‍රදායික සංගීත වාද්‍ය භාණ්ඩයක් වන අතර මෙය තනා ඇත්තේ උණ බම්බුවලිනි.

බිෂමොන් දෙවියන් මෙම ‘සසර’ නම් වාද්‍ය භාණ්ඩයෙන් නැඟෙන සංගීතය ශ්‍රවණය කිරීමට ඉතාමත් ප්‍රියතාවයක් දැක්වූ නිසා වෙන් එම වාද්‍ය භාණ්ඩය වැයීම මෙම උත්සවයේදී ද සිදු කෙරෙන අතර මීට සහභාගී වන අඩ නිරුවත් මිනිසුන් එම තාලයට අනුව පා තබමින් පන්සල් ගොඩනැඟිල්ල තුළ රවුමට ගමන් කිරීමට පටන් ගත්හ. රාත්‍රි 10ට පමණ මෙම උත්සවය අවසාන වූයේ පන්සල් භූ®මියේ දල්වා තිබූ විශාල ඉටිපන්දම් ද ඔසවා ගෙන විත් දේව රූප ඉදිරියෙන් තැබීමෙනි.