ඒගොල්ලො පැරදුණා තද මදි කියලද කියන්නේ?
ඒගොල්ලො
පැරදුණා තද මදි
කියලද කියන්නේ?
කෘෂිකර්ම ඇමැති
හේමකුමාර නානායක්කාර
දකුණු පළාතේ දී ලැබූ තුනෙන් දෙකේ මැතිවරණ ජයග්‍රහණය රට පුරාම පැවැත්වෙන
මැතිවරණයකදීත් රජයට ලැබෙන මහ ජයග්‍රහණයේ පෙරනිමිත්තක් ලෙස සැලකිය යුතු යැයි
කෘෂිකර්ම ඇමැති හේමකුමාර නානායක්කාර මහතා පවසයි.
සිළුමිණ සමඟ දකුණේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවකදී
ඇමැතිවරයා මේ ප්‍රකාශය කළේය.
එහිදී ඇසූ ප්‍රශ්න කීපයක් හා ඒවාට ඇමැතිවරයා දුන් පිළිතුරු මෙසේය.
* රජය ලත් දකුණු පළාත් සභා මැතිවරණ ජයග්‍රහණයෙන්ම ඔබ සමඟ කෙරෙන මේ කෙටි කතාබහ ආරම්භ
කළොත්...?
මොන පැත්තෙන් බැලුවත් දකුණේ රජය ලබපු ජයග්‍රහණය අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. දකුණේ රජය
ලබපු ජයග්‍රහණය 2/3ක ජයක්. ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද පැවැත්වෙන රටක ලබන්න පුළුවන්
ඉහළම ජයග්‍රහණයක් මේක. මේ අනුපාත ක්‍රමයට.
ආසන ක්‍රමයට නම් මේක සීයට සීයක
ජයග්‍රහණයක්. යම් රජයක් තමන්ට බලය ලැබුණ මුල් කාලයේ මෙවැනි ජයග්‍රහණයක් ලබාගන්න
පුළුවන් වුණත් මේ රජය මේ ජයග්‍රහණය අත්කරගත්තේ ඉදිරියේ ප්‍රධාන ඡන්දයකට යන්න
තිබියදී තම ආයු කාලයේ අවසානභාගයේ පැවැත්වූ ඡන්දයකදී. සාමාන්‍යයෙන් රජයක ආයු කාලය
අවසන් වෙනකොට ඒ රජයට තිබෙන ජනප්‍රසාදය නැතුව ගිහිල්ල විපක්ෂය පැත්තටයි එකතුවෙන්නේ.
අද වෙලාතියෙන්නේ මොකක්ද. රජයේ, ජනාධිපතිතුමාගේ ජනප්‍රියතාව තව තව වැඩිවෙලා විපක්ෂය
සම්පූර්ණයෙන්ම වගේ හේදිලා ගිහිල්ලා. මේ මැතිවරණයෙන් ලංකාව පුරාම තැබූ පළාත් සභා
මැතිවරණ සම්පූර්ණ වුණා.
මේක ප්‍රධාන මැතිවරණයකට කලින් තැබූ ජනමත විචාරණයක් ලෙස
ගත්තට කමක් නැහැ. මේකෙන් ඉතාම පැහැදිලියි ඉදිරියේ රට පුරා පැවැත්වෙන මැතිවරණයකදි
රජයට 2/3කට වැඩි බලයක් ලැබෙන බව.
* මේ ජයග්‍රහණය ආණ්ඩුව බලාපොරොත්තු වූ ප්‍රතිඵලයද?
ආණ්ඩුව නියම තක්සේරුවේ හිටියා. තුනෙන් දෙකක ජයග්‍රහණයක් ලැබුණා. ඇතැම් අපේක්ෂකයයෝ
විවිධ ප්‍රකාශ කරන්න ඇති. නමුත් අන්තිමේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අතිවිශිෂ්ට
ජයග්‍රහණයක් ලැබුණා.
* එජාපය ආණ්ඩුව ලැබූ ජයග්‍රහණය පසුබැසීමක් විදියට පෙන්වන්න හදනවා නේද?
දැන් මේ ජයග්‍රහණය පැරැණි ක්‍රමයට පැවැත්වූවා නම් සියලු ආසන ආණ්ඩුව දිනුම්. අනුපාත
ක්‍රමයටත් රජයට තුනෙන් දෙකක මහා බලයක් ලැබුණා. මේගොල්ලො පැරදුණා මදි කියලද මේ
කියන්නේ. මේ අය මොළේ පරීක්ෂා කරවාගන්න ඕන. පැරැදිලා පශ්චාත් බාගෙත් බිම ඇනිල දැන්
නන්දොඩෝනවා.
මේ මැතිවරණයෙන් රජයට විරුද්ධව නොයෙකුත් අවලාද නැගූ එජාපය වගේම ජනතා විමුක්ති
පෙරමුණත් අන්තයටම පරාජය වුණා. සාමාන්‍යයෙන් විපක්ෂයට කියන්නේ විකල්ප ආණ්ඩුවක්
කියලයි. නමුත් මේ විපක්ෂයට ආණ්ඩුව අසලටවත් එන්න බැරිවුණා. තව අවුරුදු විස්සකටවත් මේ
ආණ්ඩුව හොල්ලන්න බැරි බව දැන් විපක්ෂයේම ප්‍රබලයනුත් පිළිගන්නවා.
* හැබැයි විපක්ෂය එජාපය නම් කියන්නේ ඔවුන්ගේ හොඳ කාලය ආරම්භ වී ඇති බවයි?
පළමු කරුණ එජාපය තමන් ලැබූ අන්ත පරාජය ඒ විදියට පිළිගන්න ඕන. ජනතාව ඔවුන්
ප්‍රතික්ෂේප කරලා. ඉතාම සාමකාමී නිදහස් ඡන්දයකින් මේ ජයග්‍රහණය ලබාගන්න
ජනාධිපතිතුමාට හැකිවුණා.
ඇත්ත කතාව නම් ජනාධිපතිතුමා ප්‍රමුඛ මේ රජය ගෙනියන
වැඩපිළිවෙළ ජනතාව සම්පූර්ණයෙන්ම අනුමත කර තිබෙනවා. මානුෂික මෙහෙයුමෙන් රට
ත්‍රස්තවාදයෙන් නිදහස් කරගෙන ඊට සමගාමීව රටේ සංවර්ධනය සඳහා ජනාධිපතිතුමා ගෙනියන
වැඩපිළිවෙළට මේ ඡන්දයෙන් දකුණේ ජනතාව ඉහළින්ම අනුමත කළා.
ගණිත ශාස්ත්‍රය දන්නෙ නැති අය වගේ මේ එජාපයත් ජනතා විමුක්ති පෙරමුණත් කතාකරන්නේ.
දකුණේ එක්සත් ජනතා නිදහස් සන්ධානය 2/3ක බලයක් ගන්නකොට එජාපයට එහි තිබුණ ආසන 19 ආසන
14ට වැටුණා. ජවිපෙට තිබුණ ආසන 14 ආසන 3ට වැටුණා.
වැඩි ඡන්ද ප්‍රමාණය ලක්ෂ පහකට
වැඩියි. මේ රටේ සියලු දේශපාලන බලවේග අතරින් ශ්‍රීලනිපය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස්
සන්ධානය අද අනභිභවනීය බලවේගය ලෙස මතුවෙලා. කිසිකෙනකුට කිසිම පක්ෂයකට අද
ජනාධිපතිතුමා කෙරෙහි මේ රටේ ජනතාව තබා ඇති විශ්වාසය ගැන අභියෝග කරන්න බැහැ.
* හැබැයි එජාප මහලේකම්වරයා නම් පුළුවන් නම් මහ මැතිවරණයක් තියා බලන්නැයි රජයට
අභියෝග කරනවා..?
මුළු විපක්ෂයටම අද කියාගන්න දෙයක් නැතිවෙලා. පුළුවන් නම් මැතිවරණ තියන්න කියනවා.
පස්සේ පැරදිලා පැරදුන පැත්ත හොඳයි කියනවා. මහ මැතිවරණ ඉල්ලන අයට කියන්න තියෙන්නේ
මහමැතිවරණ ප්‍රතිඵලයත් දකුණේ ප්‍රතිඵලයම තමයි කියන එකයි.
දකුණෙදි ලැබූ පරාජයෙන්
පක්ෂ නායකත්වයට එල්ලවන අභියෝග වෙන අතකට හරවන්න ඔවුන් අද එක එක දේ කියමින් ඉන්නවා.
ඉදිරියේ දී එන ඕනෑම මැතිවරණයකට ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණයකට එක්සත් ජනතා නිදහස්
සන්ධානය ජයග්‍රාහී මානසිකත්වයකින් යුතුව මුහුණ දෙනවා. ඡන්දය කියන්නේ ජනතා තීරණය.
බහුතරයේ මතය පිළිගන්න වෙනවා.
මානුෂික මෙහෙයුමෙන් මේ රටේ දශක තුනක කාලයක් හිටපු
කිසිම නායකයකුට විසඳන්න බැරිව තිබුණ ත්‍රස්තවාදී ප්‍රශ්නය සම්පූර්ණයෙන් ම හරියට
ශල්‍යකර්මයක් කරනවා වගේ ශ්‍රී ලංකා මාතෘ භූමියෙන් ඉවත් කරන්න ජනාධිපතිතුමා සමත්
වුණා. මං හිතන්නේ නිදහස් ලංකාවේ නායකයකුට මුහුණ දෙන්න වුණ ලොකුම අභියෝගය ඒකයි.
ඒක
ඉතාම දක්‍ෂ, එඩිතර ලෙස ඍජු තීරණ අරන් විසඳන්න පුළුවන් වුණේ අපේ ජනාධිපතිතුමාටයි. ඒ
ගෞරවය අද ජනතාව ජනාධිපතිතුමාට යන යන තැන දක්වනවා. අද මායිම් ගම්මාන නැහැ.
ත්‍රස්තවාදීන්ට ලියා දුන්න පළාත් නැහැ. යුද්ධ හමුදාවට පය තබන්න බැරි භූමියක් නැහැ.
එක රටක්. එක නායකයෙක්. ජනාධිපතිතුමා මේ ඇතිකළ දේශපාලන ස්ථාවරභාවය ඊළඟට විසඳන්න
තිබෙන ලොකුම ප්‍රශ්නය විසඳන්න ලොකුම හයිය වෙනවා.
* දැන් මුහුණ දෙන්න තියන ප්‍රශ්නය ලෙස ඔබ සලකන්නේ කුමක්ද?
දුප්පත්කම ජය ගැනීමේ අභියෝගය හා රට සංවර්ධනයේ අභියෝගයයි ඒ. දකුණේ අරඹා තිබෙන යෝධ
සංවර්ධන වැඩපිළිවෙළ දකුණේ ජනතාව අනුමත කළා. සමහරු ඇහැව්වා ඇයි දකුණට විතරක් සලකන්නේ
කියලා.
නැහැ දකුණේ විතරක් නෙවෙයි උතුර, නැඟෙනහිර, බස්නාහිර රට සතර කොනේම මේ සංවර්ධන
කටයුතු එක විදියට කෙරෙනවා. නොරොච්චෝලෙ, ඉහළ කොත්මලේ බලාගාර තියෙන්නේ දකුණෙද. නැහැ.
අවුරුදු ගණන් පටන් ගන්න බැරුව තිබුණ යෝධ සංවර්ධන වැඩ අද සිදුවෙනවා. මහවැලි සංවර්ධන
ව්‍යාපාරයේ හදාගන්න බැරිව තිබුණ රන්ටැඹේ ජලාශය අද හැදෙනවා.
පැරැණි වාරික්‍රම යළි ඒ
ජලාශවල ධාරිතාවය නැවත ස්ථාපිත වන ලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙනවා. හිඟන්නගේ
තුවාලය වගේ තිබුණ යුද්ධය අද නැහැ. කටින් බතල කොළ හිටවන යුගය අද අවසන් වෙලා.
රටක
සංවර්ධනයේ පදනම යටිතල පහසුකම් සංවර්ධනය මාර්ග, පාලම්, බෝක්කු, ගමට විදුලිය ලබාදීම
අද විශාල වේගයකින් රට පුරා කෙරෙනවා. ගම්වල වැව් අමුණු හැදෙනවා. පාරවල් කාපට් කරනවා,
කොන්ක්‍රීට් කරනවා.
වෙළෙඳපොළට ගම වේගයෙන් සම්බන්ධ කෙරෙනවා. පාළුවට ගිය ඉඩම කඩම
කුඹුර යළි අස්වැද්දෙනවා. ගමේ නිෂ්පාදනය ඉහළයාම ජාතික ආර්ථිතය ශක්තිමත් කරන්න තමයි
ජනාධිපතිතුමාගේ මුළු වැඩපිළිවෙළම යොමුවී තිබෙන්නේ. ගමේ නිෂ්පාදනය මුලින් ජාතික
වෙළෙඳ පොළටත් ඉන් අනතුරුව අතිරික්තය ලෝක වෙළෙඳ පොළටත් යැවෙන ආර්ථික යාන්ත්‍රණය
පනගැන්වීම දැන් දිවයිනේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීම මාර්ගයෙන් සිදුවෙනවා.
ගමට
විදුලිය ගෙනයාම අද වෙනදාට වඩා වේගවත් වෙලා. බලශක්තියත් අනාගත සංවර්ධනයට ඉතාම වැදගත්
වෙනවා. අඛණ්ඩ බලශක්තියක් වගේම ලාබදායී බලශක්තියක් රට සංවර්ධනයට ඉතාම අවශ්‍යයයි. මේ
රටේ උගත් තරුණ පරපුරට වැඩි වැඩියෙන් රක්‍ෂා දෙන්න අලුත් කර්මාන්ත, නිෂ්පාදන
ව්‍යාපාර අරඹන්න පුළුවන් වෙන්නේ මේ විදියේ යටිතල පහසුකම් ඇති කරපු වාතාවරණයක් තුළ
පමණයි.
* කොහොමත් දේශීය වගේ ම විදේශීය අභියෝගවලටත් රජයට මුහුණ දෙන්න වෙලා තියෙනවා නේද?
මේ අභියෝග ඇතැම් බටහිර රටවල දේශීය විදේශීය ඒජන්තයන් ඇතුළු එන්ජීඕ සංවිධාන ඇති
කරපුවා. ත්‍රස්තවාදය අවසාන කරන්න ඔන්න මෙන්න කියල තියන අවස්ථාවේ ඇතැම් බටහිර රටවල
ඇමැතිවරුන් පවා මේ රටට ඇවිල්ලා අභියෝග කරන්න උත්සාහ කළා.
ආර්ථික සම්බාධක පනවනවා
යැයි එක්සත් ජාතින්ගේ සංවිධානයේදී අසමත් රාජ්‍යයක් ලෙස මානුෂික අයිතීන් අහිමිවීම්
ගැන චෝදනා කරන්න උත්සාහ කළා. ඒ අභියෝග සියල්ල ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය තුළ
රජයට ජයගෙන රට ඉදිරියට ගෙනියන්න පුළුවන් වෙලා තියෙනවා.
ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම්
හිලරි ක්ලින්ටන් හමුදාවට විරුද්ධව එල්ල කළ ස්ත්‍රී දූෂණ චෝදනා අන්තිමේ එරට රාජ්‍ය
දෙපාර්තමේන්තුවටම නිවැරැදි කරන්න සිදුවීම දෛවයේ සරදමක්. මෙරටට පැමිණි ඉන්දීය
තමිල්නාඩු මන්ත්‍රී කණ්ඩායමත් පිළිගත්තා සරණාගත කඳවුරුවල වසන ජනතාවට අවශ්‍ය පහසුකම්
දෙන්න රජය සියලු පියවර ගෙන තිබෙන බව.
ඉන්දීය මහ ආණ්ඩුව හැම වෙලේම මානුෂික මෙහෙයුමේ
මුල ඉඳලම ලංකාව මුහුණ දෙන ප්‍රශ්න විසඳගන්න අවශ්‍ය සහයෝගය ලබා දුන්නා.
ජනාධිපතිතුමාගේ නිවැරැදි නායකත්වය යටතේ කිසිවකු ඉදිරියේ දනින් නොවැටී ස්වාධීන
රාජ්‍යයක් ලෙස නැගී සිටින්න අද අපේ රටට පුළුවන් වී තියෙනවා.
* දැන් මේ දිනවල මැතිවරණයක් ගැන කතා කෙරෙනවා. මුලින් එන්නේ ජනාධිපතිවරණය ද මහ
මැතිවරණය ද?
එය තීරණය කළ යුත්තේ ජනාධිපතිතුමායි. මොන මැතිවරණය මුලින් ආවත් රජයට ප්‍රශ්නයක්
නැහැ. මොකද ජනතාව ඉන්නේ රජය සමඟ. අනෙක් පක්‍ෂවල නායකයන්ට ඒ අයගේ අනුගාමිකයන්ගෙන්ම
ඔළුව බේරගෙන ඉන්න බැරිවෙලා තියන අවස්ථාවක රටට ඍජු නායකත්වයක් දෙන්න ජනාධිපතිතුමා
සමත් වුණා.
එතුමාත් සමඟ සංසන්දනය කරන්න නායකයෙක් මේ රටේ නැහැ. අප දන්නා කාලයේ
ත්‍රස්තවාදය ජයගත් නායකයා ලෙස එතුමා නමක් දිනා ගත්තා. ත්‍රස්තවාදය අද මුළු ලෝකයටම
තර්ජනයක්. නමුත් ත්‍රස්තවාදය පරාජය කරන්න ඒ කිසි නායකයෙකුට බැරිවෙලා තියනවා. ඒ
නිසාම තමයි කැනඩාවේ ප්‍රධාන පුවත්පතක් කියා සිටියේ නෝබල් සාම තෑග්ග දෙන්නත් ඉතාම
සුදුස්සා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බව.
සංවාද සටහන
සරත් පෙරේරා
|