ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

“කිරි බිංදු තුනක් වළට වැටෙන කොට නිධානෙ මතුවෙයි...”

“කිරි බිංදු තුනක් වළට වැටෙන කොට නිධානෙ මතුවෙයි...”

වලව්වේ නිධානය ගන්න තෙමස් වියැති බිලිඳියක් ගෙනත්

සමාජයේ බොහෝදෙනා ක්ෂණිකව පොහොසත් වීමේ සිහිනයේ ගැලී ජීවත්වෙති. ඒ සඳහා ඔවුන් නොකරන දෙයක් නැති තරම්ය. ඔවුහු ගස් ගල් හෝ මහ පොළොව පවා පෙරළමින් සිය සිතැඟි ඉටුකරගන්නට මාන බලති. මහ පොළොව දෙබෑකරමින් රන් රිදී මුතු මැණික් සොයති. නොපෙනෙන බලවේගවල පිහිට පතමින් ප්‍රාණය ඇති නැති දේ බිල්ලට දෙමින් ඔවුන් මේ තැත් දරන්නේ සිය ජීවිත කෙටි කලකින් සුඛිත මුදිත කරගැනීමට බවද නොරහසකි.

කුකුළන්, හරකුන්, එළුවන් බිලි දෙමින් ගස් ගල්වල වැඩහිටිනා බව කියන නොපෙනෙනා බලවේගවලට කන්නලව් කරමින් ඔවුන් ඉල්ලන්නේ අහිමි සැප සම්පත්ය. එදා සතුන් බිල්ලට දෙමින් යාග හෝම පැවැත්වූ ඔවුහු අද කිරිසප්පයන් පවා බිලිපූජා සඳහා යොදා ගැනීමට පෙළඹී සිටිති. එලෙස ධන සම්භාරයක් ලබාගැනීමට උත්සාහ දැරූ පුවතක් පසුගියදා ඌව පරණගම පොලිස් වසමෙන් වාර්තා විණ.

එදා එතැන පූජාව සඳහා ලක ලෑස්ති කරගෙන සිටියේ අතදරුවෙකි. සත් වර්ණ සුවඳ මල්, කට්ටකුමන්ජල් හඳුන්කූරු සුවඳින් මුළු කාමරයම පිරී තිබිණි. යාගය පවත්වන පුද්ගලයා සිය මන්තර ජප කරමින් දේව කන්නලව්ව ආරම්භ කිරීමට සූදානම්ව සිටියේය. පතුල නොපෙනෙන තෙක් හෑරූ වළ දෙස කාගේත් නෙත් යොමුවී තිබිණි.

වේලාව රාත්‍රි දොළහට ආසන්නය. අඳුර හතරවට ගිලගෙන ඇත. කන්නලව්ව ඇරැඹෙන්නට ඔන්න මෙන්නය. එකවරම වැදුණු පා පහරකින් කාමරයේ දොර ගැලවී විසිවිණ. සියල්ලෝම තුෂ්ණීම්භූත වූහ.

”පොලීසියෙන්...”

මුළු නිවසේම විදුලිය විසන්ධි වී ඇත. විශාල ඉටිපන්දමක් කාමරයේ දැල්වෙයි.

නිලධාරීන්ගේ දෙනෙත් කාමරය සිසාරා ඇදී ගියේය. අඩි දහහතක් පමණ ගැඹුරට කාමරය ඇතුළත වළක් කපා දමා තිබිණ. එතැන සිටි කවුරුත් පොලිස් අත්අඩංගුවට පත් වෙද්දී හදකම්පා කරවන දසුනකින් නිලධාරීහු යම් අපහසුතාවයකට පත්වූහ.

එතැන තුන්මස් වියේ කිරිකැටි බිලිඳියෙකි. බිලිඳිය ඇකයේ හොවාගත් බිලිඳියගේ් මව ද ඒ අසලම සිටියාය. ඒ දසුන දුටු නිලධාරීන්ට ඇතිවූයේ සැකයකි.

”බිලි පූජාවක්වත්ද..”

බිලි දීමට ගෙන ආවේ යැයි සැක කරන
කුඩා බිලිඳිය

නිලධාරීහු අවට පිරික්සූහ. එකතැනක වූයේ පලතුරු වලින් පිරීගිය පූජා වට්ටියකි. ඒ අතර ඉදුණු කෙසෙල්ගෙඩි ඇවරියකි. විවිධ මල්වර්ග, බුලත්කොල මත තබා තිබිණ. පොල්තෙල් පිරුණු මැටි පහන් අතර පොල්ගෙඩියකි.

දොඩම්, දිවුල්, අඹ, දෙළුම් වැනි පලතුරු වට්ටියේ පිරී තිබිණ. ඊට ආසන්නයේ රසකැවිලි සහිත කෙසෙල් කොලයකි. හැඳිකැවුම්, වඩේ සහ පුළුටු ආහාර වර්ග දෙක තුනකි. දෙහි ගැට කිහිපයකි. පූජාව සඳහා ගෙනෙන ලද දුම්මල හඳුන්කූරු කහ කුඩු සහ කහ දියර ද ඒ අතරය. පූජාව ඇරැඹෙන්නේ හක්ගෙඩිය පිඹීමෙනි.

බැලූ බැල්මට නිවෙස තුළ ඇති මහ නිධානය ගොඩගැනීම සඳහා කරන්නට සැරසෙන බිලි පූජාවකි. අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපති මයුරසිංහ මහතා දැරිය අතේ තබාගෙන සිටි මව ළඟට ගියේ මෙහි ඇත්ත නැත්ත දැනගැනීම සඳහාය.

”අනේ මහත්තයො.. මම මේ මුකුත් දන්නේ නැහැ.. මම දරුවා ගෙනාවේ කිරිදෙන්න.. ඒ අය මට කිව්වා ඔයාට තියෙන්නේ දරුවට කිරිදෙන්න. කිරි වැක්කෙරෙනකම් දෙන්න.. කිරි බිංදු තුනක් මෙතැනට වැටෙන්න ඕනෑ. එතකොට මුළු ගෙයම හෙළවෙයි... මෙතැන ලොකු වස්තුවක් තියෙනවා. ඒකෙන් කොටසක් දෙනවා.. ගේ හදාගන්න”

ඇගේ කතාව පොලිස් නිලධාරියා එතරම් විශ්වාස නොකළේය. කෙසේ වෙතත් නිවෙස තුළ වළ දමා ඇතැයි කියන නිධානයක් ලබාගැනීමට මොවුන් මෙසේ උත්සාහ දරන බවක් පොලිසියට පෙනෙන්නට තිබිණ. ඇකයේ සිටි කිරිකැටියා කාටත් ප්‍රශ්නයක් ගෙනදුනි. වලව්ව තුළට කාගේත් නෙත් යැවිණි.

එය වසර දෙසීයක පමණ ඈත අතීතයකට හිමිකම් කියන ඉපැරැණි වලව්වකි. රජ පෙළපතකින් පැවැත එන බවක් ද කියැවේ. ඈත ඉතිහාසයේ වලව්ව අසලින් ගලාගිය උකුඇළෙන් ලැබුණු ජලයෙන් ඒ අවට ගොවි ඉඩම් සශ්‍රීක වී තිබුණු බව පැරැණි මුතුන් මිත්තෝ කියති. එලෙස ශ්‍රී විභූතියකට හිමිකම් කිව් එම වලව්ව අද ගරා වැටී ගිය ගොඩනැඟිල්ලකි.

ශක්තිමත් උළු ජනෙල් හැරුණු විට වලව්වේ බොහෝ කොටස් කැඩී බිඳී ගොසිණි. ඒ ආසන්නයේ නව නිවාස ඉදිවෙමින් ඇත. අද මේ වලව්වට හිමිකම් කියන්නේ එම පරපුරේ අවසාන පුරුක් දෙක තුනය. අතීතයේ ජීවත් වූ මුතුන් මිත්තන් ඔවුන් සතු වස්තූන් නිවෙස අභ්‍යන්තරයේ වළදමන්නට ඇතැයි වත්මන් පරපුරේ පදිංචිකරුවකුගේ විශ්වාසයයි.

”රෑට රෑට හීනෙන් පේනවා” මේ ගැන විමසීමේදී සැකකරුවෙක් පැවසීය.

ඔහුට සිහිනයෙන් පවා පවසා ඇත්තේ වලව්ව ඇතුළේ නිධානයක් ඇති බවය. පොලිසිය පවසන අන්දමට ඔහු මේ බව යන්ත්‍ර මන්ත්‍ර ගුරුහරුකම් දන්නා කෙනකුට පවසා ඇත. ඒ අනුව නිවෙස තුළ ඇති නිධානය ලබාගන්නට යාගයක් අරඹා ඇත.

අංජනම් බැලීමක් ද සිදුකර ඇතැයි පොලිසිය සොයාගත්තේය. වලව්වේ කාමරයක් තුළ වස්තු සම්භාරයක් වළදමා ඇතැයි පෙන්වා දී තිබේ. ඒ අනුව වළහෑරීම අරඹා ඇත.

”පහුගිය මාසයක් තිස්සේම මේ කට්ටිය වලව්වේ කාමරයක් හාරන්න පටන්ගත්තා...රෑ දහයට විතර පටන් අරන් මේ අය පාන්දර තුන විතර වෙනකම් වළ හාරනවා. වළෙන් කපන පස් අනිත් කාමරවල ගොඩගහනවා..” ගේ් කඩාවැටෙයි වළ වහලා දාන්න කියලා මං ඒ අයට කිව්වා.. ඒ අය කිව්වේ අලුතෙන් වැසිකිළි වළක් හාරනවා කියලයි..”

”බයවෙන්න එපා. අලුත් ගෙයක් හරි හදල දෙන්නම් කියලත් කිව්වා.. ළඟදි ගෑනු දෙන්නෙකුත් ආවා. එක ගෑනු කෙනකු මාස තුනක විතර ළමයෙකුත් අරන් ආවා. ඒ දෙන්නා එක කාමරයක නිදාගන්නවා.. මම ඇහුවම කියන්නේ දරුවට ග්‍රහ පූජාවකට ආවා කියලයි... වලව්වේ සිටි වැඩිහිටි කාන්තාවන් පොලිසිය හමුවේ එසේ ප්‍රකාශ කළත් අපරාධ විමර්ශන අංශය බාර ස්ථානාධිපතිවරයා කීවේ මෙය නොදැන සිදුවන දෙයක් නොවන බවකි.

වලව්වේ එක් කාමරයක බිම හාරා ඇති වළ ඒ වන විටත් අඩි දාහතකට ආසන්න ගැඹුරකින් යුක්තය.

කාමරයේ හැරූ අඩි 17 ක් ගැඹුරු වළ

වළෙන් පිටතට ගත් පස් පිටස්තර කිසිවෙකුටත් ඇස නොගැටෙන ලෙස වෙනත් කාමරයක ගොඩගසා ඇත්තේය. කෙසේ වෙතත් රහසිගතව ගමට හොරෙන් මෙම ක්‍රියාව දිගටම කෙරීගෙන ගොස් තිබේ. කර්තව්‍යය නිමවන තුරු වලව්වේ වැඩිහිටි යුවළට නිවෙසින් පිටවීම තහනම් කර තිබේ.

වලව්ව ආසන්නයේ මරණ ගෙදරක් තිබී ඇත්තේ මේ අතරය. රාත්‍රී වනතුරු ගමේ තරුණ පිරිස් එහි නතර වී අල්ලාප සල්ලාපයේ යෙදී සිටියහ. නාඳුනන දෙතුන් දෙනෙක් රෑට රෑට වලව්වට රිංගන ආරංචිය ඔවුන් අතර කතා බහ වූයේ මේ අතරය. එය ඔවුන්ට ගෙන ආවේ සැකයකි.

”පෙරේදා මෙතැනින් ත්‍රීවීලර් එකක ගැහැනු දෙන්නෙකුත් ගියා. එක්කෙනෙක් පුංචි ළමයෙක් උකුළේ තියාගෙන හිටියේ.. අපිට නොපෙනෙන්න ඒ ළමයා හංගගත්තා. මටත් සැකයි...”

සැකය ඔස්සේ ගමේ තරුණයෝ කීපදෙනෙක් රාත්‍රියේ මේ ගැන විපරම් කිරීමට කතා කරගත්හ. ඒ අනුව කාටත් නොපෙනෙන සේ ඔවුහු රාත්‍රියේ වලව්වට එබිකම් කළහ. තොවිලයකට අවශ්‍ය දොළ පිදේනි කාමරය තුළ තැන්පත් කර තිබෙන අයුරු ඔවුහු දුටුහ. හෑරුණු වළ ද ඔවුන්ගේ නෙත ගැටිණ. නිධානයක් වත් ගන්න යන්ට ද ඔවුන්ගේ සිතේ සැක මතුවිණ.

මේ තරුණයන්ගෙන් වැඩි දෙනෙක් ගම රකින කමිටුවල සාමාජිකයෝය. වහා මේ බව ඌව පරණගම පොලිසියට දැනුම් දෙන්නට ඔවුහු පියවර ගත්හ. ස්ථානාධිපති විජේසිංහගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති මයුරසිංහ අමරකෝන් මහතා වහා ක්‍රියාත්මක විය. තවත් නිලධාරීන් කණ්ඩායමක් ද සමඟ ඔවුහු වලව්වට යන්නට සූදානම් වූහ.

“උඹලා වලව්ව වට කරලා ඈතින් ඉඳපල්ලා... නැත්නම් අපි එනකොට ඕකුන් පැනලා යාවි...”

ඒ අනුව ගමේ තරුණයෝ ක්‍රියාත්මක වූහ. පොලිස් කණ්ඩායම එතැනට පැමිණියේ ඉන් අනතුරුවය. නිධානය ලබාගැනීමට පැමිණි පිරිස ද වලව්වේ කාමරයේ සිටියහ.

පොලිසියට එතැන තිබූ කඩදාසි කොළයක් සොයා ගැනීමට හැකි විය. මැතිවරණ අපේක්ෂකයකුගේ ඡන්ද පත්‍රිකාවක පිටුපස නොයෙකුත් දේ ලියා තිබුණේය. එය නැකැත් පත්‍රය විය.

“ඔබ හා දරුවා පිරිසුදුව සුදු පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී සිටි යුතුය.”

තවත් නොයෙකුත් යාගහෝම එහි සටහන් ව තිබිණ. දරුවාට කිරි දෙන වේලාවල් කිහිපයක් ද එහි විය.

ඒ අනුව පූජාව පැවැත්වෙන නියමිත වේලාවට වළ අසල සිට දරවාට කිරිදිය යුතු බවත් දරුවාගේ කටින් කිරි උතුරා යනතුරුත් කිරි දිය යුතු බවත් ඒත් සමඟ කිරි බිංදු තුනක් වළ මතට වැටිය යුතු බවත් එහි ලියා තිබූ බව පොලිසිය කීය.

ඒත් සමඟ කව්දෝ ඇවිත් ඔබට රහසක් කියාවී ඒ අනුව කටයුතු කළ යුතුය. කිරි වළ මත වැටෙද්දි මුළු වහලම දෙදරුම් කන බව ද ඉන්පසු නිධානය මතු වන බවත් එහි සටහන් වී ඇති බව පොලිස් පරීක්ෂකවරයා කීය. තවද අවසානයේ දරුවා සිය පියාට බාර දී මව නිරුවතින් වළට පැනිය යුතු බව ද එහි ලියා ඇතැයි ද හෙතෙම පැවැසීය.

මේ සියලු දෑ එදින මහ රෑ මේ කාමරය තුළ වන්නට ඉඩ තිබිණ. ඒත් ඊට ඉඩක් නොලැබුණේ ගමේ තරුණ පිරිස් නිසාවෙනි.

තව සුළු මොහොතක් හෝ ප්‍රමාද වූයේ නම් මෙතැන කිසියම් භයානක ක්‍රියාවක් සිදුවන්නට බොහෝ සෙයින් ඉඩ තිබූ බව ද අපරාධ විමර්ශන අංශය භාර නිලධාරියා කීය.

කෙසේ වෙතත් ගමේ පිරිසගේ විමසිලිමත් භාවය නිසා වන්නට ගිය මහා අපරාධයක් වළකා ගැනීමට ඌව පරණගම පොලිසියට හැකිවිය. වලව්වේ පදිංචි වයෝවෘද්ධ අඹුසැමි යුවළ වෙනම කාමරයක සිටියදී පොලිසියට මුණ ගැසිණ.

“අපිට කොහේවත් යන්න දුන්නේ නැහැ... කිලි අහුවෙයි කියලා...”

අල්ලා ගත් බඩුබාහිරාදිය පරීක්ෂා කරන
ඌව පරණගම පොලිස් නිලධාරීන්

පාලිසිය මේ වන විටත් වලව්වේ පදිංචි ව සිටි සැකකරුවකු ඇතුළු අට දෙනෙකු අත්අඩංගුවට ගෙන වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පමුණුවා ඇත. මාස තුනක් වයසැති කුඩා දැරිය කිසියම් හිරිහැරයකට ලක්ව ඇත්දැයි යන්න පිළිබඳව සොයා ගැනීමට වෛද්‍ය වාර්තාවක් ලබාගැනීමට පොලිසිය කටයුතු කරන බව ද කීවේය. සිද්ධිය වූ ස්ථානයේ තිබූ උදලු, අලවංගු ඇතුළු සියලු ද්‍රව්‍ය හා නැකැත් පත්‍රය පොලිස් බාරයට ගෙන තිබේ.

මාස තුනක් වයසැති බිලිදිය මරා දැමීම සඳහා මෙතැනට ගෙන ආවේ දැයි සොයා ගැනීම පොලිසියේ අරමුණ වී තිබේ.

“දරුවාට ඔක්කාරය හැදෙනකම්ම කිරි දෙන්න කියලා නැකැත් පත්‍රයේ තියෙනවා... දුම්මල ගසමින් යන්ත්‍ර මන්ත්‍ර කියමින් එලෙස හැසිරෙද්දි දරුවාට කිරි හිරවෙන්නත් නැතහොත් වෙනත් අනතුරකට පත්වෙන්නත් පුළුවන්... සමහරවිට ඒකත් බිලි පූජාවක් වන්න බැරිද...”

උප පොලිස් පරීක්ෂකවරයා විමසන්නේය. වස්තු තන්හාවෙන් පෙළෙන මෙවන් පිරිස් ඒ සඳහා ඇත්තෙන්ම කිරි සප්පයා බිල්ලට දෙන්නට හෝ උත්සුක නොවතැයි කියන්නේ කෙසේ ද? එය තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් ව ඇත. නොපෙනෙන බලවේගයක් ඉදිරියේ බිල්ලකට හෝ පූජාවකට හෝ සූදානම් කළ අහිංසක ළදැරිය පොලිසිය හා ගමේ පිරිසගේ විමසිලිමත්භාවය නිසා කාගෙත් උකුළේ නැළවෙන්නේ ය.

පොලිස් පරීක්ෂණ ඇසුරෙන් ලිපිය සකස් විය.