ඉවරයක් නැති දේවල්

 
 

සරත් ෆොන්සේකා සහ රජය අතර ගැටුමක් නෑ!

 
 

ඉතිහාසයට බොරු කරන්න බැහැ

 
 

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

 
 

විපක්‍ෂයට යන්ඩ තරම් මොළේ කොළොප්පම් අය රජයේ නැහැ

 
 

ඔබාමාට නොබෙල් සාම තෑග්ග දුන්නේ ඇමෙරිකාවේ තැන රැක දීමටයි

 
 

‘ගම්පෙරළියේ’ නන්දා මාර්ටින් වික්‍රමසිංහයන්ගේ අක්කා වූ ජුලි නෝනා ද?

 
 

අලි කරදර මැද අකුරු කර ලොකු හපන්කමක් කළ පුංචි හපන්නු

 
 

සෙලාන් කොටස් නිකුතුවේ මිලදී ගැනීම් ප්‍රමාණය ඉක්මවයි

 
 

දරුවාගේ සෙල්ලම් බඩු ගොඩට ඉස්කුරුප්පු නියන්-ඇණ මුරිච්චිත් ඕනෑ

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

මස්සිනා ඇතුළට එන්න බැරිව පන්සලේ ගේට්ටුව ළඟ නතර වුණා

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

බටහිර රටවල තණ්හාව ආසියාවේ අපටත් ප්‍රශ්න ඇති කළා

- ජනාධිපති

අටවැනි ආසියානු සහයෝගිතා අමාත්‍ය සමුළුව අමතමින් ජනාධිපතිතුමා කළ සම්පූර්ණ කතාව

‘අප සැම අයිති ආසියාවට, අපට ආඩම්බර විය හැකි ඉතා අනර්ඝ විවිධත්වයෙන් යුතු ඉතිහාසයක් තියෙනවා. ලොව ප්‍රධාන ආගම්වන බුද්ධාගම, ක්‍රිස්තු ධර්මය, හින්දු ආගම සහ ඉස්ලාම් ධර්මය ආරම්භ වුණේ ආසියාවේ. ඉතිහාසයේ විවිධ අවස්ථාවන්වලදී ශිෂ්ටාචාර රාශියක් මේ පොළොවේ ගොඩනැඟිලා තිබෙනවා. එම ආභාෂය අදත් ආසියාතිකයින්ගේ ඉරණම තීරණය කරනවා.

ඈත අතීතයේ දී ආසියාකරයේ ම මනා සම්බන්ධතාවක් තිබුණා. සේද මාවත අප යුරෝපය සමඟ සම්බන්ධ කළා. මේ සේද මාවතින් ශ්‍රී ලාංකීය කුළුබඩුවල රසය යුරෝපය දක්වා පැතිරුණා.

ඈත පෙරදිග වෙළෙඳුන් අපේ දිවයිනට පැමිණියේ වෙළෙඳාම සඳහා. ඈත අතීතයේ පැවැති සහයෝගීතාව යළි පණ ගන්වන්නට ආසියා සහයෝගීතා සංවාදය සංකල්පය ඉතා වැදගත් වෙනවා.

8 වැනි ආසියා සහයෝගීතා සංවාදයේ තේමාව වන ආසියාවේ සාරය තුළින් ලෝක ආර්ථිකය පණගැන්වීම සහ සංවර්ධනය යන්න ඉතාම කාලෝචිතයි. ලෝක ජනගහනයෙන් සියයට 60 කට වඩා ආසියාවේ ජීවත් වෙනවා.

මධ්‍යම පංතියේ ශීීඝ්‍ර වර්ධනය නිසා ලෝකයේ හොඳ වෙළෙඳපළක් බවට ආසියාව පත්වෙනවා. ඍජු විදේශ ආයෝජන විශාල වශයෙන් ආසියාවට හිමිවනවා. ලෝක නිෂ්පාදනයෙන් සියයට 30 කට පමණ ආසියාව දායක වනවා.

එසේම විශාල ස්වභාවික සම්පත් හා පුනර්ජනනීය බලශක්තියෙන් අනූන නිෂ්පාදනයට හැකියාව තිබෙනවා. ආර්ථික වශයෙන් විශාල ලෙස ආසියා මහද්වීපයට ශක්තිය තිබෙනවා. මෙය අපේ ශ්‍රේෂ්ඨ ජයග්‍රහණයන්ගේ සහ නව ශක්තීන්ගේ බලාපොරොත්තුවයි.

කෙසේ හෝ අප අමතක නොකළ යුතුයි අප විවිධ ප්‍රශ්නවලට මුහුණ දෙමින් සිටින බව. විශේෂයෙන් ලෝක ආර්ථිකය පසුගිය දශක කිහිපය තුළ නොවූ විරූ අයුරින් දැඩි තර්ජනයට ලක්වීම. එමඟින් අපනයනය මත රඳා පවතින ආර්ථිකවලට වන බලපෑම සුළු පටු නොවෙයි.

මේ අර්බුදය ආසියාතික කලාපයට පිටස්තර බලවේග විසින් පැටවූ ;දයක්. වෙනත් අය ඇති කළ ගැටලුව නිසා අපේ ආර්ථිකය යළි නඟා සිටුවීමට ඔවුන් උර දිය යුතුයි. බටහිර ප්‍රධාන රටවල රෙගුලාසි හීනත්වය සහ එයින් ඇතිවූ තන්හාව නිසා ආසියාවේ රටවල් මෙන්ම ලොව අනෙකුත් රටවල් ද දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. එම නිසා මෙම අභියෝගවලට නව විසඳුම් සෙවිය යුතුයි.

කලාපයේ වෙළෙඳාම ව්‍යාප්ත කිරීමෙන් හා අපගේ මුල්‍ය වෙළෙඳපොළේ බලපෑම තුළ මෙය අභියෝගයක් නොව අවස්ථාවක් ලෙස අප භාර ගත යුතුයි. එවැනි ක්‍රියාමාර්ග මඟින් ලෝක ආර්ථිකය යහපත් කිරීමට අපට තරගකාරීත්වය වර්ධනය වනවා පමණක් නොව අපගේ අනෙකුත් කලාප සමග වැදගත් සබඳතා ඇති කර ගැනීමට හේතු වනවා. මෙම කාරණාව ආසියානු සහයෝගිතා සංවාදයේ අවධානය දිනා ගත යුතු වනවා.

අප මහද්වීපය මුහුණ දෙන තවත් ගැටලුවක් වන්නේ දරිද්‍රතාවයයි. සැලකිය යුතු පිරිසක් අවස්ථා හා වරප්‍රසාද අහිමිව ආර්ථිකමය හා සාමාජමය වශයෙන් පීඩා විඳිනවා. ආසියා සහයෝගිතා සංවාදයේ තවත් සුවිශේෂි අරමුණක් වන්නේ දරිද්‍රතාවය පිටු දැක ජීවන තත්වය ඉහළ නැංවීමයි.

මෙම ප්‍රශ්නය විසඳීම අපගේ වගකීමයි. මෙය කළ හැක්කේ පහළ මට්ටමේ සාර්ථක වූ ආකෘති හොඳින් අධ්‍යයනය කිරීම මඟින්. අපගේ මහද්වීපයේ අත්දැකීම් තුළින් අපට ඉගෙන ගැනීමට බොහෝ දේ තිබෙනවා. උදාහරණයක් ලෙස ශ්‍රී ලංකාවේ සමෘද්ධි වැඩසටහන තුළින් අපිට ඉගෙනගත හැකි දේ බොහොමයක් තියෙනවා.

අන්තර්ජාතික මුල්‍ය ආයතනවල අන්‍යොන්‍ය අවබෝධය සහ සහයෝගය වඩා වැදගත් බව කිව යුතුයි. සැම රටකම පවතින දරිද්‍රතාවයේ මට්ටම වෙනස් වෙනවා. අවශ්‍යතා එකිනෙකට වෙනස් හා යම් සමානකම් තිබුණත් සියල්ලන්ටම එක විසඳුමක් දිය නොහැකියි. අපට උදව්වට එන අය මෙය හොඳින් මතක තබා ගත යුතුයි.

අන්තර්ජාතික මුල්‍ය ආයතන දැන් අපගේ කලාපයේ ප්‍රබල භූමිකාවක් බවට පත්ව තිබෙනවා. ඔවුන් දෙන ආධාරවලට කොන්දේසි පැනවීම තුළින් සිදුවන අසීරුතා පිළිබඳ ඔවුන් සැලකිලිමත් විය යුතුයි. මෙවැනි කොන්දේසි මඟින් දරිද්‍රතාව පිටුදැකීම වන්දියක් ලෙස තබාගත යුතු නැහැ.

මෙම ආයතනවලට වැටහිය යුතුයි සංවර්ධිත ආර්ථික විසින් ඔවුන්ට ම ලබා දෙන සහනාධාර මගින් සිදුවන අසාධාරණය. ඔවුන් ඒ අතර සංවර්ධනය වන රටවලට කියනවා සහනාධාරවලින් ඉවත් වෙන්න කියලා. එසේම සංවර්ධනය වෙමින් පවතින රටවලට සහනාධාර ලබාදීමේ දී එම ආර්ථිකයන් සංවර්ධනයේ දී මුහුණ දෙන අභියෝග කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය යුතුයි.

ලංකාවේ අත්දැකීම් ගැන සලකා බැලුවොත් මා 2005 ජනාධිපතිවරණයට තරග කරන විට මහින්ද චින්තනය නම් මාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මෙම අභියෝග ජය ගැනීමට නිදහස් වෙළෙඳ ආර්ථිකයේ යහපත් ගුණාංග තම දේශීය ආර්ථික ක්‍රියාකාරකම් වලට අන්තර්ගත කළා.

ආර්ථිකයන් සංවර්ධනය කිරීම සහ කුඩා හා මධ්‍යම ව්‍යාපාරවලට දිරි දීම යන කරුණු අපගේ ප්‍රතිපත්තියේ ප්‍රධාන අංග වනවා. ඉන් සමබර හා නවීන ක්‍රමවේදයන් ස්ථාපනය වීම තුළින් දේශීය රටේ ව්‍යාපාරවලට සහාය දෙන අතරතුර විදේශ ආයෝජනවලට ද ඇරයුම් කිරීම උනන්දු කරවීම ඒ තුළින් සිදු වෙනවා.

දරිද්‍රතාවය පිටු දැකීමට අපි තවත් අංශ රැසක් සංවර්ධනය කරනවා. අප වියදමක් දරනවා යටිතල පහසුකම් නඟාසිටුවීමට මෙන්ම තොරතුරු තාක්ෂණයේ ප්‍රගතිය වෙනුවෙන්. අපගේ ආර්ථිකයේ කොඳුනාරටිය වන ගම්බද වැසියන් සවිබල ගැන්වීමට අප පියවර ගන්නවා. රැකියා අවස්ථා වර්ධනය කළ හැකි සංචාරක අංශය ගැනත් අපි අවධානය යොමු කරනවා.

පසුගිය දශක දෙක හමාරක පමණ කාලය තුළදී ශ්‍රී ලංකාවට ප්‍රධාන වශයෙන් බලපෑ ප්‍රශ්නයක් වූයේ නොයෙක් බාධක මැද එහි ස්වෛරීත්වය හා භෞමික අඛණ්ඩතාවය සුරැකීමයි. ඒ නිසා අප රට සහ එහි වැසියන් ආරක්ෂා කිරීමට අපිට වැඩි අවධානයක් යොමු කිරීමට සිදුවුණා.

1948 දී අප රට නිදහස ලැබීමෙන් පසු විවිධ ක්ෂේත්‍රයන් හි අත්කරගෙන තිබූ ප්‍රගතිය ත්‍රස්තවාදී උවදුර නිසා පසු බැස්සා. ශ්‍රී ලංකාවට තම විභවයන් ජයගැනීමේ බලාපොරොත්තුව සාක්ෂාත් කරගැනීම සඳහා ත්‍රස්තවාදය මුලිනුපුටා දැමිය යුතුව තිබුණා.

එම නිසා මෙය මගේ රජය බලයට පත්වූ වහාම ගත් වැදගත් තීරණයක්. නමුත් එසේ කිරීමට පෙර සාමකාමීව මේ ප්‍රශ්නය නිරාකරණය කිරීමට අප සියළු මාවත් සෙව්වා.

2009 මැයි 18 වැනි දා අන්තර්ජාතික ප්‍රජාවේ ඇතැම් කොටස් කිසිදා කළ හැක්කක් නොවන බව පැවසුවත් අපි ත්‍රස්තවාදයට එරෙහිව ජයගත්තා. නමුත් මෙම ජයග්‍රහණය සියලුම සාධක නොතකා කළ ජයග්‍රහණයක් නොවෙයි. ත්‍රස්තවාදීන් ඔවුන් මිනිස් පලිහක් වශයෙන් යොදාගත් අවස්ථාවේදිත් අහිංසක සිවිල් වැසියන්ගේ ආරක්ෂාව සහ සුබසාධනය ගැන අප දැඩි අවධානය යොමු කළා.

ප්‍රජාතන්ත්‍රවාදිව පත්වූ රජයක් වශයෙන් අපට උදාර වගකීමක් තිබුණා සිවිල් වැසියන් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් නිදහස් කරගැනීමට. මෙයට ඉවසීමෙන් යුතු දීර්ඝ කාලීන යුද මෙහෙයුමක් සිදු කිරීමට අවශ්‍ය වුණා. එය මා හොඳින් හිතා මතා ගත් තීරණයක්.

සියලු ශ්‍රී ලාංකිකයින් ජාති ආගම් භේදයෙන් සහ භාෂාව නොසලකා සියල්ලන්ටම එක ලෙස සැලකීමට මා සහ මගේ රජය නිතර කැපවි සිටිනවා. මේ නිසා තමයි ත්‍රස්තවාදය ඉතා දරුණු ලෙස පවතිද්දිත් හමුදාවේ මානුෂික මෙහෙයුම් අතරවාරයේදී සිවිල් ජනතාවගේ ආරක්ෂාව සහ සුබසාධනය වෙනුවෙන් කැපවුණේ.

දිවයිනේ යම් ප්‍රදේශවලට බලපෑ ගැටුම්කාරි තත්ත්වය අවසාන කිරීම මව්බිමේ ප්‍රබෝධයට හේතු වී තිබෙනවා. මගේ රජය දැන් ත්‍රස්තවාදයෙන් විනාශ වූ යටිතල පහසුකම් යළි නඟා සිටුවීමට මෙන්ම ආර්ථික සංවර්ධනයට වෙහෙස දරනවා. අප මානව අයිතින් හා අනෙකුත් මූලික අයිතින් අපගේ ජනතාවට ලබාදීමට කටයුතු කරනවා.

ත්‍රස්තවාදය නිසා උතුරු හා නැඟෙනහිර පළාත්වල ප්‍රජාතන්ත්‍රවාදයට දරුණු හානි සිදුව තිබෙනවා. මම ආඩම්බරව කියා සිටිනවා මගේ රජය එම පළාත්වලට මේ මූලික අයිතිය යළි ලබාදී තිබෙනවා කියා. උතුරේ හා නැඟෙනහිර අප මැතිවරණ පැවැත්වුවා.

සටන්කාමීන් සිය අවි බිම තබා ප්‍රජාතන්ත්‍රවාදී මාවතට එලඹ සිටිනවා. ඔවුන් දැන් පළාත් හා ජාතික මට්ටමින් ව්‍යවස්ථාදායකයේ සාමාජිකයින් බවට පත්වෙලා තියෙනවා.

අපගේ ප්‍රමුඛ අවධානය යොමු වන්නේ ත්‍රස්තවාදය නිසා අවතැන් වූවන් ඉක්මනින් තම ගම් බිම්වල පදිංචි කිරීමයි. බොහෝ දෙනා සිතනවාට වඩා එය අසීරු කර්තව්‍යයක්. ප්‍රජාතන්ත්‍රවාදී රජයක මූලික අරමුණ වන්නේ අවතැන් වූවන් තාවකාලික නවාතැන් වලින් ඉතා ඉක්මනින් එලඹෙන පළමු අවස්ථාවෙන්ම ඔවුන්ගේ නිවාසවලට යැවීමයි.

නමුත් නැවත පදිංචි කිරීම පරිස්සමෙන් ක්‍රියාවට නැංවිය යුතුයි. ත්‍රස්තවාදීන් විසින් මීට පෙර කෘෂිකාර්මික වැනි ආර්ථික කටයුතු සඳහා යොදා ගත් ගොවි බිම්වල විශාල වශයෙන් බිම් බෝම්බ අටවා තිබෙනවා. එම බිම් බෝම්බ ඉවත් කළ යුතුයි. නමුත් බිම් බෝම්බ ඉවත් කිරීමට කල් ගතවනවා. එය වැරැදීම් අවම කොට පරෙස්සමෙන් කළ යුතුයි.

ත්‍රස්තවාදයට පසු අප ගන්නා ක්‍රියාමාර්ග කෙරෙන්නේ අපගේ වසර 2500 ක් පැරැණි ඉතිහාසයෙන් ගත් ආදර්ශ අනුවයි. මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනැඟී ඇත්තේ බුදු දහමේ එන හරය වන සියලු දෙනාට දක්වන කරුණාව හා ඉවසීම මතයි. ශ්‍රී ලංකාව සියලුම ජාති හා ආගම්වල අනන්‍යතාවට ගරු කරනවා. අප දැන් ත්‍රස්තවාදය තුරන්වූ කාලයක සිටින බැවින් අප රජය මුළු මහත් රටේ ම සහයෝගය ඇතිව ඉතා ඉක්මනින් පුනරුත්ථාපන සහ ප්‍රතිසංධාන කටයුතු වෙනුවෙන් ක්‍රියා කරනවා.

අප විශ්වාස කරනවා ත්‍රස්තවාදය පරාජය කිරීම අන්තර්ජාතික ප්‍රජාවටත් හොඳ උදාහරණයක් වන බව. අපට ලොව මිත්‍ර රටවල සහයෝගය ලැබුණා සේම ප්‍රධාන වශයෙන් ජයග්‍රහණයට හේතු වූයේ අපගේ උත්සාහයයි. බොහෝවිට මින් නිගමනය කළ හැක්කේ රටක ප්‍රශ්න විසඳිය හැක්කේ් රට පිළිබඳ හොඳින් දන්න පිරිසකට පමණයි. සත්‍ය අවබෝධ වූ පිරිසකට පමණයි. එනම් රටේ ම මිනිස්සුන්ට පමණයි.

මම ආසියා සහයෝගිතා සංවාදයේ රටවල් වලට ආරාධනා කරනවා අප රටේ පශ්චාත් අර්බුදකාරී වාතාවරණයෙන් පසු එළඹෙන අවස්ථාවන් ගෙන් ප්‍රයෝජන ගන්නා ලෙස. සියලු මිනිස් අභිලාෂයන්ගේ මෙන් අප ආසියාතිකයින් වශයෙන් අපගේ දර්ශනය විය යුත්තේ සාමූහික ප්‍රයත්නයන් තුළින් අනාගත සාමය සහ සංවර්ධනය ළඟාකර ගැනීමයි.

පසුගිය වසර 7 ක කාලය තුළදී ආසියානු සහයෝගිතා සංවාදයේ සහයෝගය සඳහා ක්ෂේත්‍ර 20 ක් හඳුනාගෙන තිබෙනවා. දැන් අවධානය යොමු කළ යුත්තේ ඒ ගත් තීරණ ක්‍රියාත්මක වනවා දැයි සොයා බැලීමටයි.

මෙම සංවාදය හොඳ ගමන් මගක යනවා. එමඟින් අපගේ ජනතාව තුළ ආසියානු සහයෝගිතා සංවාදය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැඟේවී. ඔබගේ සාකච්ඡාවලට වැදගත් යැයි සිතන අදහස් කිහිපයක් මම දැන් අවසාන වශයෙන් සඳහන් කරන්නම්.

ආසියානු සහයෝගිතා සංවාදය වසර 7 ක් පැවැත්වීමත් සමඟ එහි නිල ව්‍යුහයක් තිබිය යුතුයි. එමඟින් අපගේ දර්ශනය සාක්ෂාත් කර ගැනීමට ඉවහල් වේවි. මේවා අතරට කාලගුණ විපර්යාසවලින් වන හානිය සාර්ථකව අවම කිරීම, පරිසරය සුරැකීම, තිරසාර සංවර්ධනය, රැකියා අවස්ථා වැඩි කිරීම, ආහාර සුරක්ෂිතතාවය වැඩි කිරීම, සාක්ෂරතාවය වර්ධනය කිරීම සහ ස්ත්‍රී පුරුෂ සම තැන ඇති කිරීමේ අවශ්‍යතාව.

අපගේ දැඩි අවධානය යොමුවන්නේ ගෝලීය ලෙස සැමට බලපාන කාලගුණ විපර්යාස සහ ආහාර සුරක්ෂිතභාවය පිළිබඳවයි.

අවසාන වශයෙන් අප අවධානය යොමු කළ යුතු වන්නේ ආසියානු සහයෝගිතා සංවාදයට වඩාත් විශාල දේශපාලන දර්ශනයක් අවශ්‍ය බවයි. මේ නිසා මම යෝජනා කරනවා රටේ නායකත්ව මට්ටමින් හෝ රාජ්‍ය මට්ටමින් රැස්වීම් පැවැත්වීමට.

විවිධ පෙරමුණු හා සීමා වලින් එල්ල වී තිබෙන තර්ජන හමුවේ ආසියාව තම නිදහස යළි දිනා ගැනීමට උත්සාහ දැරිය යුතුයි. ආසියාතික රටවලට තමන්ගේ ජනතාවගේ සහයෝගීතාව එක්සත් බව ඉතිහාසයේ උරුමයන් සහ හැකියාවන් මත රඳා පැවැතීම මඟින් යළි නැඟී සිටිය හැකියි.

20 වන ශත වර්ෂයේ දී ආසියාව නිදහස ලැබුවා. පෙර පරම්පරාවල දේශ පේ‍්‍රමීන්ගේ උත්සාහය නිසා අපගේ මහද්වීපය යටත් විජිත හා විදේශීය ඇඟිලි ගැසීම්වලින් නිදහස් වුණා. දැන් කාලය එලඹ තියෙනවා.

අපගේ මුතුන් මිත්තන්ගේ විජයග්‍රහණයන් මත පදනම්වූ අපගේ මහාද්වීපය යළි එක්ව ක්‍රියාකරමින් පිබිදවීමට. එසේ කළහොත් 21 සියවස ආසියාවට හිමිවූ බව ඉතිහාසයේ රන් අකුරෙන් ලියැවේවි.