ඇනකොන්ඩලා සහ මාපිල්ලු

 
 

සන්ධානයට අති විශිෂ්ට ජයක්!

 
 

අන්තර්ජාතික කොටි ජාලය උත්සාහ කරන්නේ රාජපක්ෂ පාලනය අස්ථාවර කිරීමටයි

 
 

පුතේ, කාර් එක ඔයාම තියාගන්න ලොකු වුණාම මා බලන්න එන්න

 
 

ජනාධිපතිවරු හතරදෙනාටම ලැබුණු ආයෝජන ප්‍රමාණයම වත්මන් ජනාධිපතිතුමාට වසර හතරකදී ලැබුණා

 
 

හෝටල් ජීවිතයේ හැම අත්දැකීමක්ම දරුවන්ට උගන්වද්දි උදව් වෙනවා

 
 

අඬු මිටි රැගෙන පාරට බට ඕෆ් රෝඩ් ශූරයා

 
 

මොබිටෙල් උපහාර ලැබූවන්ගේ සෙනෙහෙවන්තයන්ටත් උපහාර

 
 

ළමයින් හික්මවීමට දඬුවම් වෙනුවට උපදෙස් දුන්නා

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලානය

අධිවේගයෙන් දකුණට යමු

අධිවේගයෙන් දකුණට යමු

අද කවුරුත් පවසන්නේ නගරබදත් ගම්බදත් මාර්ග හා පාලම් සියල්ල හොඳටම සාදා ඇති බවයි. එය රටක සංවර්ධනය පෙන්වන මිම්මකි.

කොළඹ - බදුල්ල, කොළඹ - නුවරඑළිය, කොළඹ - තිස්සමහාරාමය, කොළඹ - හැටන් යන ප්‍රධාන මාර්ග මෙන්ම පාණදුර - රත්නපුර, පැල්මඩුල්ල - හම්බන්තොට, මාතර - හක්මණ වැනි ප්‍රාදේශීය ප්‍රධාන මාර්ග ද, දහස් ගණනක් ග්‍රාමීය මාර්ග ද දැන් මනාව හැදී අවසන් ය. සුද්දාගේ කාලෙන් පසු කවුරුවත් අත නොතැබු මහියංගනය 18 වංගුව පාර ද දැන් පුළුල් කර විශාල වෙමින් පවතී.

එම මාර්ග පමණක් නොව රජය දැන් සුපිරි අධිවේගී පාරවල් ඉදිකිරීමට ද අත ගසා ඇත.

මේ අනුව අද කොළඹ - මාතර දක්ෂිණ අධිවේග මාර්ගය ඉදිවෙමින් පවතී. එහි වැඩ කටයුතුවලින් සියයට 65 කට වඩා වැඩ අවසන් ය. ඊට අමතරව කොළඹ - කටුනායක හා කොළඹ මහනුවර අධිවේගී මාර්ග ද කොළඹ පිටත වට රවුම් අධිවේගී මාර්ගය ද ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

මහාමාර්ග අමාත්‍යාංශයේ සැලැසුම් අධ්‍යක්ෂ ඩී.ඩී. මාතරආරච්චි මහතා පවසන පරිදි ළඟදීම ඉදිකිරීම් ආරම්භ කිරීමට නියමිත කොළඹ පිටත වටරවුම් මාර්ගය ප්‍රධාන කොටස් 3 කි. දිග කිලෝමීටර් 29.2 කි. ඉන් ප්‍රථම අදියර මාකුඹුරේ සිට කඩුවෙල දක්වා ඉදිවේ. කිලෝමීටර් 11 ක් වන මෙහි වැඩ කටයුතු මේ වසර අගදි ඇරැඹීමට නියමිතය. ඊට වියදම කෝටි 2700 කි. කඩුවෙල සිට කඩවත දක්වා දිවෙන වටරවුම් පාරේ දෙවැනි කොටස කිලෝ මීටර් 9 කි. ඊළඟට මෙහි තෙවැනි කොටස ඉදිවෙනු ඇත. ඒ කඩවත කෙරවලපිටිය මාර්ගයයි. සම්පූර්ණ ව්‍යාපෘතියට මුළු වියදම රුපියල් කෝටි 10,000 ක් වන බවත්, මින් වැඩි මුදලක් වැය වන්නේ වන්දි ගෙවීම් වලට බවත් මාතරආරච්චි මහතා පවසයි.

වැඩ අවසන් කළ දක්ෂිණ අධි වේග මඟේ කොටසක්

කිලෝ මීටර් 29.2 ක් වන මේ මාර්ගය මගින් දක්ෂිණ අධිවේගී මාර්ගයත් කොළඹ කටුනායක අධිවේගි මග හා කොළඹ මහනුවර අධිවේගි මග එකිනෙකට සම්බන්ධ කරනු ලැබේ. ඒ අනුව ඇත්ත වශයෙන්ම දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කරනුයේ කොට්ටාවේ මාකුඹුරෙනි. කොළඹ මහනුවර අධිවේගි මාර්ගය ආරම්භ කෙරෙනුයේ කඩවත නගරයෙනි.

එමෙන්ම කොළඹ කටුනායක අධිවේගි මාර්ගය ආරම්භ වන්නේ කෙරවලපිටියෙනි. ඒ මගින් මේ අධිවේගී මාර්ග අතර අන්තර් සම්බන්ධතා ඇති කරනු ලැබේ. ඒ අනුව මාතර සිට එන අයට කොළඹ නගරයට ඇතුළු නොවී කටුනායකට හෝ මහනුවරට යාමට පුළුවන. කටුනායක සිට එන අයට කොළඹ නගරය මඟ හැර මහනුවර දෙසට හෝ මාතර හම්බන්තොට දෙසට යාමට පුළුවන. මහනුවර දෙස සිට එන අයට ද එලෙසමය.

කෙරවලපිටිය - කටුනායක අධිවේගී මාර්ගය කිලෝ මීටර් 28 ක් දිගය. එය චීන ආධාර ඇතිව ඉදිවේ. එයට රුපියල් කෝටි 3600 ක් වැය වෙන බව මහාමාර්ග අමාත්‍යාංශය පවසයි. චීන ආධාර ඇතිව එය ඉදිකිරීමට යෝජිතය. ළඟදීම එහි වැඩ කටයුතු ඇරැඹීමට නියමිතය. 2012 දී මාර්ගය ජනතා අයිතියට පවරනු ඇත.

කඩවත සිට මහනුවර දක්වා දිවෙන කොළඹ - මහනුවර අධිවේග මාර්ගය අදියර දෙකකින් ඉදිවේ. සම්පූර්ණ දුර කිලෝමීටර් 90 කි. ප්‍රථම අදියර කඩවත සිට අඹේපුස්ස දක්වාය. දෙවැනි අදියර අඹේපුස්ස සිට මහනුවර දක්වා ඉදිවේ. මේ සඳහා මැලේසියානු රජයේ ආධාර ලැබේ.

දකුණේ සංවර්ධනය දැන් අධිවේගෙන් සිදු වෙයි. ඒ අතර දකුණු අධිවේගී මාර්ගය ද ලහි ලහියේ ඉදිවෙමින් පවතී.

2006 දී ඉදිකිරීම් ආරම්භ කළ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කටයුතු 2010 වසර අවසානය වන විට නිම වනු ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය පවසයි.

රටක ආර්ථික සංවර්ධනය සඳහාත් රටක දියුණුව පෙන්වන කැඩපතක් ලෙසත් මහාමාර්ග සංවර්ධනය අත්‍යවශ්‍ය සාධකයකි.

කොළඹ දිස්ත්‍රික්කයේ කොට්ටාවේ සිට මාතර දිස්ත්‍රික්කයේ ගොඩගම දක්වා කිලෝමීටර් 126 ක් දිගට දක්ෂිණ අධිවේගී මාර්ගය ඉදිවේ. මුළු මාර්ගය සඳහා කිලෝමීටර් 126 ක් දිගට අඩි 80 ක පළල බිම් පෙදෙසක් වෙන්කර ගෙන තිබේ. මේ මුළු භූමියේ වපසරිය හෙක්ටයාර 951.17 කි.

අධිවේගයට ගල් කඩන අධිවේගී මැෂිම

මහරගම, හෝමාගම, හොරණ, බණ්ඩාරගම, මිල්ලනිය, කළුතර, දොඩන්ගොඩ, මතුගම, වලල්ලාවිට, බෙන්තොට, ඇල්පිටිය, කරන්දෙනිය, බද්දේගම, බෝපේ, පෝද්දල, අක්මීමන, ඉමදූව, ගාල්ල, කඩවත්සතර, වැලිපිටිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22 ක ග්‍රාම නිලධාරී වසම් 64 ක් හරහා මෙම අධිවේගී මාර්ගය දිවෙයි.

මේ අධිවේගි මාර්ගය මුල් අදියරේදි එක් පැත්තකට මංතීරු දෙක බැගින් මීටර් 20 ක් පළලට ඉදිවේ. එක් මංතීරුවක් මීටර් 3.5 ක් පළලක් මැද මීටරයක පාර වෙන් කිරීමේ කොටසක් ඇත. දෙපස අතිරේක මංතීරුවක් බැගින් තිබේ. දෙපසම ඉඩම් තීරුවක් වෙන්කර ඇත්තේ ඉදිරියේදී මේ සුපිරි මාර්ගයට තවත් මංතීරු ඉදිකිරීමට ඉඩකඩ ලබා ගැනීමටය.

මේ අධිවේගී මාර්ගයට පින්නදූවේදී ඉදිවන පිවිසුම් මාර්ගයේ සිට ගාල්ල වරාය දෙසට කිලෝමීටර් 5.5 ක් දුරට මීටර් 22 ක් පළලට තවත් කෙටි අධිවේගී මාර්ගයක් ද ඉදිවේ. ගාලු වරාය ඉදිරියේදී සංචාරක වරායක් ලෙස සංවර්ධනය වන බැවින් සංචාරකයන්ගේ පහසුවට එම මාර්ගය ඉදිවේ.

දක්ෂිණ අධිවේගි මාර්ගයට පිවිසුම් මාර්ග 11 කි. කොට්ටාව, කහතුඩුව, ගැලණිගම, දොඩන්දූව, ලෙව්වන්දූව, කුරුදුගහහැතැප්ම, බද්දේගම, පින්නදූව, දිගොඩ, කොක්මාදුව, ගොඩගම යන ප්‍රදේශවල මේ පිවිසුම් මාර්ග පිහිටා ඇත.

පිවිසුම් මාර්ග ඉදිවන ප්‍රදේශවල අලුත්ම නගර බිහිවෙමින් පවතී. ඒ ප්‍රදේශවල ඉඩම් මිල ඉහළ ගොස් ව්‍යාපාරික ස්ථාන බිහිවී සංවර්ධනයත් මේ නිසා ඇතිවේ.

මේ සෑම පිවිසුම් මාර්ගයකම අධිවේගයට පිවිසීමට හා අධිවේගයෙන් ඉවතට යාමට ද්විත්ව තල හුවමාරු මංසන්ධියක් ඇත. ඉන් පිවිසුම් මාර්ගයේ සිට අධිවේගි මාර්ගයට බාධාවක් නැතිව ඇතුළු වීමටත් අධිවේග මාර්ගයෙන් කරදරයක් නැතිව පිටවීමටත් ඉඩකඩ යොදා ඇත. අධිවේගි මාර්ගයේ ගමන් ගන්නා අනෙක් වාහනවල ගමනාගමනයට බාධා නොවන අයුරින් මේ කාර්යය සිදු වේ.

යෝධ පාලම් සඳහා දමන කොන්ක්‍රීට් බාල්ක සෑදීම සඳහා කම්බි සැකිල්ල සාදන අයුරු

දක්ෂිණ අධිවේගි මාර්ගය ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ කොළඹ සිට දකුණු පළාතටත් දකුණු පළාතේ සිට කොළඹටත් ගමනාගමනය සඳහා යන කාලය අඩු කර ගැනීමයි.

මේ මාර්ගය ඔස්සේ කොළඹ සිට මාතරට යාමට ගතවන්නේ පැය 1 1/2 ක පමණ කාලයකි. ඊට අමතරව කොළඹ සිට ගාල්ලට මේ සුපිරි මඟ ඔස්සේ පැයක් ඇතුළත ළඟාවීමට අවස්ථාව ලැබෙනු ඇත.

මේ සුපිරි මාර්ගයේදී කිසිම වාහන තදබදයක් ඇති නොවේ. පැයට කිලෝමීටර් 100 ක සාමාන්‍ය වේගයකින් වාහන ධාවනය කළ හැකිය. වාහනවල ධාවන වියදම ටයර් ගෙවීම ඉන්ධන දැවීම අඩුවේ. වාහනය තුළ ගමන් කරන්නාට ද ගමන සුවපහසු වේ.

සංචාරකයන් වැඩි වැඩියෙන් දකුණට අද්දවා ගැනීමටත් මින් ඉඩ සැලැසේ. පිටරට ආයෝජකයන්ට, ව්‍යාපාරිකයන්ට ඉක්මනින් ගමන් කිරීමට පහසුව ලබාදීම මගින් දකුණේ සංවර්ධනය තවත් වැඩි වෙනු ඇත. නව කර්මාන්ත, ව්‍යාපාරික ස්ථාන, සංචාරක හෝටල් භාණ්ඩ හුවමාරු කිරීමේ ස්ථාන තව තවත් වැඩි කිරීමට ද විශේෂයෙන් දකුණේ ජන ජිවිතයට තවත් ආර්ථික ප්‍රවර්ධනයක් ඇති කිරීමට ද මේ සුපිරි මාර්ගය මගින් මහඟු පිටුබලයක් ලැබෙන බව ගාල්ල - මාතර දිස්ත්‍රික් ලේකම්වරු ද පෙන්වා දෙති.

බස්නාහිර හා දකුණු ප්‍රදේශවල හා ඒ අවට ඇති ප්‍රදේශවල ආර්ථික හා සාමාජික සංවර්ධනයක් ඇති කිරීමට නව කර්මාන්ත හා සේවාවන් ඇති කිරීමට මෙම අධිවේගි මාර්ගය ඉවහල් වේ. අධිවේගි මාර්ගය ඉදිකිරීම නිසා, දැනටමත් ඒ අවට ප්‍රදේශවල ඉඩම් වල මිල පෙර තිබුණාට වඩා දෙගුණ තෙගුණ වී ඇත.

ඉන්දියාවේ 2012 වන විට අධිවේගි මාර්ග කිලෝමීටර් 6000 ක් ඉදිකිරීමට යෝජිතය. චීනයේ 1988 දී අධිවේගි මාර්ග එකක්වත් තිබී නැත. අද එහි අධිවේගි මාර්ග කිලෝමීටර් 8300 ක් ඇත. මේ අනුව අධිවේගි මාර්ග යනු රටක සංවර්ධනයට අවශ්‍ය යටිතල පහසුකමකි. ඒවාට ඇතුළුවීමේදී යම් මුදලක් අය කිරීම ලොව සෑම රටකම සිදුවේ. ප්‍රධාන මාර්ගයේ යන විට වැයවන කාලය, මාර්ග තදබදය නිසා ඇතිවන මානසික හා ශාරීරික පීඩාව වාහනයේ ටයර් ගෙවීම මේ මාර්ගවලදී සිදුවන්නේ නැත.

දක්ෂිණ අධි වේග මඟේ පාලමක්

මහාමාර්ග අමාත්‍යාංශයේ සැලැසුම් අධ්‍යක්ෂ ඩී.ඩී. මාතරආරච්චි මහතා පවසන ආකාරයට මාතර - කොළඹ දක්ෂිණ අධිවේගී මාර්ගයේ සම්පූර්ණ වියදම කෝටි 8000 කි. එය 2010 දී ජනතා අයිතියට පැවැරීමට නියමිතය.

මාර්ග සංවර්ධන අධිකාරිය මෙහෙයවන මේ දක්ෂිණ අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව, ජපන් ආර්ථික සහයෝගිතා බැංකුව, ස්කැන්ඩිනේවියානු සංවර්ධන අරමුදල, ස්විඩන් ජාත්‍යන්තර සහයෝගීතා අරමුදල මඟින් මූල්‍යාධාර ලබා දෙයි.

බෙන්තර ගඟ හරහා ඉදිවන මෙරට විශාලතම පාලමත්, කළු ගඟ වැලිපැන්න ලෙව්වන්දූව, ගිං ගඟ, කිහිඹිඇළ, මාකොළ ඇළ ස්ථානවල ඉදිවෙන විශාල පාලම් ද මේ අධිවේගී මාර්ගයේ සුවිශේෂි ඉදිකිරීම්ය.

මෙම මාර්ගය ඉදිවන්නේ ප්‍රධාන කොටස් 4 කින් යුක්තවය. ඉන් මුල්ම කොටස කොට්ටාවේ මාකුඹුර සිට කළුතර දොඩන්ගොඩ දක්වා ඉදිවේ. එහි දුර ප්‍රමාණය කිලෝ මීටර් 35 කි. රුපියල් කෝටි 1633 ක් මේ කොටස සඳහා වියදම් ලෙස ඇස්තමේන්තු කර තිබේ. අධිවේගි මාර්ගයේ මේ කොටසේ ඉදිකිරීම් (මාර්ගයේ පස් වැඩ, ගැඹුරට දමන කොන්ක්‍රීට්වලින්) 55% ක් පමණ අවසන් කර තිබේ.

මේ කොටසේ ඉදිකිරීම්වලදී කළු ගඟ අතු ඔය කැපු ඇළ ඊරියන්ගල ඇළ ආදිය හරහා පාලම් ඉදිකර ඇත. කහතුඩුවේ හා ගැලණිගම ප්‍රධාන පාලම් 2 ක් උඩ අධිවේගය ගමන් කරනු ලැබේ. ඒ කොළඹ - හොරණ හා පාණදුර රත්නපුර මාර්ග ඉහළින් අධිවේගය දිවෙනු පිණිසයි.

අධිවේගය නිසා ගංවතුර ඇතිවීමේ වැඩිම අවධානමක් බලපෑවේ කහතුඩුව ප්‍රදේශයටය. ඒ නිසා ගංවතුර වැළැක්වීමට කළු ගඟ අතු ඔය ඇතුළු ජල මාර්ග පුළුල් කිරීමට ව්‍යාපෘතිය මගින් රුපියල් දස ලක්ෂ 500 ක් වැයකර තිබේ. කිලෝ මීටර් 15 ක් දුරට අවට ඇළවල් පුළුල් කිරීම සිදු කර ඇත. මුළු ව්‍යාපෘතියේම ඉඩම් පවරා ගැනීම සඳහා රුපියල් කෝටි 500 ක් වැයකර ඇත.

2010 දෙසැම්බර් මාසයේ මුල් කොටසේ වැඩ අවසන් කිරීමට නියමිතය.

දක්ෂිණ අධි වේග මාර්ගය කාපට් කරමින්

කළුතර ගඟ හරහා ඉදිවන පාලම ඇතුළු ප්‍රධාන පාලම් 10 ක්ද පිවිසුම් මාර්ග දෙකකින් ද මේ මාර්ගය සමන්විත වේ. පිවිසුම් මාර්ග දෙක කහතුඩුව හා ගැලණිගම යන ප්‍රදේශවල ඉදිවෙමින් පවතී. අධිවේගී මාර්ගය උඩින් යන ගුවන් පාලම් 19 කින් ද මේ ප්‍රදේශය සමන්විත වේ. මාර්ග සංවර්ධන අධිකාරියේ මෙහෙයවීමෙන් චීන හා ජපන් සමාගම් දෙකක සහාය ඇතිව මෙම කොටසේ ඉදිකිරීම් ලහි ලහියේ සිදුවෙන අයුරු එහි ගිය අපට දැක ගත හැකි විය.

මේ අධිවේගයේ වැඩ පෙරමුණ ගෙන ක්‍රියා කරන්නේ අපේ ඉංජිනේරුවෝය. එමෙන්ම අවශ්‍ය අමුද්‍රව්‍ය ද ඒ ඒ ප්‍රදේශවලින් ම ලබා ගනී. මෙහි මුල් කොටසට අයත් පරගස්තොට ප්‍රදේශයේ අධිවේගයට අවශ්‍ය පස් ලබා ගැනීමට අක්කර 25 ක පමණ ඉඩමක් ඇත. ඒ සමඟම අධිවේගයට අවශ්‍ය කළුගල් ලබා ගන්නා ගල් කොරි ද ඇත.

ඒවා සමහරක් අධිවේගයට අයිති බිම් කොටසේම තිබේ. ඒවා කැඩීම හා ඒවා විවිධ ප්‍රමාණයට සකස් කිරීමට නවීන ගල් මෝලක් ද මෙහි ඉදිකර තිබේ. මේ කොටසේ විශාලතම ඉදිකිරීම කළු ගඟ හරහා පාලමයි. එය ඉදිවන්නේ හොරණ ගලපාත ප්‍රදේශයේය. පාලම මීටර් 310 ක් දිගය. පළල මීටර් 20 කි. විශාල කුලුණු 7 ක් උඩ මෙය ඉදිවේ.

ඊළඟට හමුවන්නේ අධිවේගි මාර්ගයේ දෙවැනි කොටසයි. එය කළුතර දොඩන්ගොඩ සිට කුරුදුගහ හැතැප්ම දක්වා ඉදිවේ. මුළු දුර කිලෝමීටර් 31.7 කි. මෙය බස්නාහිරත් දකුණත් එක්කරන කොටස කීවොත් නිවැරැදිය. 2006 මාර්තු 24 වැඩ ආරම්භ කළ මෙහි වැඩ කටයුතු 2010 අවසනයේදී නිම කිරීමට නියමිතය. වියදම රු. කෝටි 1544 කි.

මේ ප්‍රදේශයේ භූ විෂමතාව විවිධාකාරය. ඒ නිසා ඉදිකිරීම ඉක්මනින් කිරීම අපහසුය. සමහර ස්ථානවල මීටර් 100 ක් පමණ ගැඹුරු වගුරු බිම් ඇත. අඩි 60 - 70 උස ගල් ඇත. මේවා හරහා මේ අධිවේගය ඉදිකිරීම පහසු නැත.

මේ කොටසේ බෙන්තර ගඟ හරහා මෙරට ඉදිවන විශාලම පාලම ඉදිවේ. ඒ සඳහා වියදම රුපියල් කෝටි 400 කි. අතිවිශාල කණු 19 ක් උඩ මෙම පාලම ඉදිවේ. සම්පූර්ණ දුර ප්‍රමාණය මීටර් 780 ක් පමණ වේ. පළල මීටර් 20 කි. මෙම පාලමේ කුලුනු සියල්ලම ඉදිවී අවසන්ය. මේ කුලුනු හරහා විශාල පෙරසවි කොන්ක්‍රීට් බාල්ක දැමීම හා පාලමට කොන්ක්‍රීට් දැමීම දැන් සිදු කෙරේ.

සියයට 65ක වැඩ අවසන් වී ඇත. බෙන්තර ගඟ හරහා මෙතරම් දිග පාලමක් ඉදිවන්නේ ගඟේ දෙපස ඉවුරු හා ගංවතුර බලපාන ප්‍රදේශයක් අසුවන පරිදිය. ඒ අනුව ගංවතුර ඇතිවුවහොත් ඒවා කුලුනු අතරින් ගලා යනු ඇත. මේ පාලම මෙරට විශාලතම පාලම ලෙසත් දක්ෂිණ අධිවේගයේ ලොකුම හා දිගම පාලම ලෙසත් මේ සුවිශේෂි පාලම ඉතිහාස ගත වෙන බව දක්ෂිණ අධිවේගයේ මෙම පාලම බාරව කටයුතු කරන ඉංජිනේරු පී. අරම්පොළ මහතා කීය.

විශාල ගුවන් පාලම් 6 ක් විශාල පාලම් 6 ක් මෙහි ඉදිවේ. මේ කොටසේ පිවිසුම් මාර්ග 3 කි. ඒ දොඩන්ගොඩ ලෙව්වන්දූව සහ කුරුදුගහ හැතැප්මයි.

අධිවේගයේ ඊළඟ කොටස කුරුදුගහ හැතැප්ම හා පින්නදූව අතර කොටසයි. එහි දුර කිලෝමීටර් 31 ක් වන අතර සම්පූර්ණ ලෙස ඉදිකිරීමට රුපියල් කෝටි 2410 ක් වැය වෙන බව ඉංජිනේරුවරුන්ගේ මතයයි. මෙහි සම්පූර්ණ ඉදිකිරීම්වලින් සියයට 87 ක් දැන් අවසන් වී තිබේ. මෙම ප්‍රදේශයේ වැඩි දුර ප්‍රමාණයක් හොඳින්ම කාපට් කර ඇත. සමහර ස්ථානවල දෙපස වැටවල් ද ගසා ඇත. 2010 මාර්තු හා අපේ‍්‍රල්වල මේ කොටසේ වැඩ සම්පූර්ණයෙන් අවසන් කිරීමට නියමිතය.

ආසියානු සංවර්ධන බැංකු ආධාර යටතේ ඉදිකිරීම් සිදු කෙරේ. මේ ප්‍රදේශයේ කොන්ක්‍රීට් පාලම් 16 ක්, යකඩ පාලම් 39 ක් හා තවත් කුඩා බෝක්කු හා පාලම් 350 ක් ඉදිවී තිබේ. කුරුදුගහ හැතැප්ම පින්නදූව අතර අධිවේගි මාර්ගයේ පිවිසුම් මංසන්ධි 3 කි. ඒ බද්දේගම නායාපාමුල හා පින්නදූවයි.

දක්ෂිණ අධිවේගයේ ඉතිරි කොටස කිලෝමීටර් 30.5 දිග පින්නදූව - ගොඩගම (මාතර) කොටසයි. මංතීරු 4 කට ඉදිවන මේ කොටසේ ඉදිකිරීම් සියයට 50 ක් දැන් අවසන් කර තිබේ. දිගොඩ, කොක්මාදුව හා ගොඩගම යන ප්‍රදේශවල මේ කොටසට පිවිසුම් මාර්ග ඇත. මේ කොටසේ මුළු වියදම රුපියල් කෝටි 1633 කි.

සමස්ත අධිවේගයේ ඉදිකිරීම්වලින් සියයට 65 ක පමණ වැඩ අවසන් වී ඇත. 2010 අවසානයේදී මේ අධිවේගය ඔස්සේ රථ ධාවනය කරවනු ඇතැයි මහාමාර්ග අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි. එවිට රටත් ජනතාවත් තවත් අධිවේගයෙන් සංවර්ධන කරා පිය නගනු ඇත.