මධු කුසලානය
සීපද ටිකත්
අද තාලෙට ගැලපෙන්න
එවරස්ට් කන්ද දුම්බාලා දුම් සිංදු
ප්‍රංසයෙ වැලක මිදි ඉදිලා මී බිංදු
සියොල් නගරෙ හිම වැටිලා හිම බිංදු
නයිල් ගඟේ ඉඳී මලකට රැප් සිංදු
බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
පීසා එකක් දුන්නයි සිලි කවරෙකට
පීසා නොකා බැස ගේ ළඟ කඩයකට
ණය වී පුතේ කිරි දුන්නේ මම නුඹට
සමහරු දැන උගත් කම් ටික පෙන්වන්න
සංරක්ෂණ කරති කෝකත් රැකගන්න
සීපද ටිකත් අද තාලෙට ගැලපෙන්න
පුළුවනි මේ වගේ යළි සකසා ගන්න
(කවිය 2005 සැප්. ඔක්.)
දෙල්තොට චන්ද්‍රපාල
උඩුයටිකුරුව විපරීත වී යමින් පවතින සමාජ ආකල්ප මෙ ලෙස තියුණු උපහාසයට ලක් කරන
දෙල්තොට චන්ද්‍රපාල ප්‍රවීණ පුවත්පත් කලාවේදියකු, ගත්කතුවරයකු, ගීත නිබන්ධකයකු
වශයෙන් කීර්තිමත් නමක් දිනා ගැනීමට පෙර රසික ප්‍රතිචාරයට ලක්වූයේ කිවිවරයකු වශයෙනි.
ගැමි ඌරුව ඔහු ගේ කවියේත්, ගීතයේත් ලේඛනයේත් මනා සංයමයකින් යුතුව තැන්පත්ව තිබිණි.
මාලිනි බුලත්සිංහල ගයන ‘මළ පොතේ අකුරු බෑ කිවු මිනිහා’, බන්ධුල විජයවීර ගයන ‘පුල්ලි
ගොනා ගෙට පැනලා කඹේ කඩාගෙන’ යනාදී ඔහු ගේ ජනපි‍්‍රය ගීත නිබන්ධන ඊයේ අද මෙන් හෙටත්
රසික ප්‍රතිචාරයට ලක්වෙමින් පවතිනු නොඅනුමානය.
එච්.ඇම්. කුඩලිගම කවියා ගේ යොමු කිරීමක් අනුව එවකට ජනතා පත්‍රයේ කතුවරයාව සිටි
ජ්‍යෙෂ්ඨ තම පුවත්පත් කලාවේදී ඩී.එෆ්. කාරියකරවනයන් විසින් පත්තරයෙහි රැඳවූ
දෙල්තොට, සිළුමිණ පුවත්පතෙහි ප්‍රධාන කර්තෘ ධුරය දක්වා ම ආරෝහණය විය.
ජන දින, ජන සතිය, ලංකාදීප ආදි පත්තරවල උප කතු වරයකු වූ දෙල්තොට සිය ප්‍රගතිශීලී
චින්තනය නිසා සමහර ආයතන වලින් විසි වී ගිය නමුදු කාලයාගේ අවෑමෙන් යළිත් ඒ තැන්වලින්
ම ඉස්මතු ව නැගී සිටියේ ය.
ඔහු ඉංගිරිසි සිංහල දෙබසෙහිම හසළ ලේඛකයෙකි.
දයාරත්න රණේපුර
මම ඔබේ බිරිඳ
දිගු කාලයකි වී පෙම් ලොව අබි සේක
මට අමතක නොවන සුබ දිනයකි ඒක
අප අද ලදත් සැප සම්පත් අති රේක
තනි වෙනවා නේද? ඔබ මා නැති දාක
දිවි මාවතක නිසි විදියට නයන යොමා
කට යුතු කෙළෙමි ගුණ දහමට සිරස නමා
නිතරම හිතන්නේ මේ පිළිබඳව තමා
කාගේ පිහිටක්ද නැති දවසකදි මෙමා
එක ඉත්තක පිපුණු මල් දෙක සුවඳ පිරී
දෙපසට වැනේ නම් ඒ මේ අතට හැරී
එය කරුණක් වේවි ඉවසා සිටිනු බැරී
දුව - පුතු සමගි කරවනු මැන කොහොම හරී
වදහළ වදන් බුදුහිමියන් තිලෝ ගුරු
ඇත බණ පොතේ එබසට කළ යුතුය ගරු
අපමණ කුසල් ඇත ඔබ මා එකතු කෙරු
මම ඔබෙ බිරිඳ වෙමි මොක්සුව ලබන තුරු
ගාල්ලේ පී. ගුණසේකර
කවියා
කවියා හරිම සංවේදියි හැඟුම් බරයි
කියනා වචන අනුකූලයි තිරසා රයි
ඊරිසියාව මානය හදවතින් දුරයි
කාටත් පොදුයි කරුණාවයි පියං කරයි
සාමය සතුට නිතරම හදවත පිරිලා
කිසි තැන නොමැත කිසිවකුටත් රිදවාලා
වරදක් දුටුව සැනෙකින් දෙයි පෙන්වාලා
නින්දට ගිය ද ලොව දෙස නෙත යොමුවීලා
ගුණරත්න දූල්ලෑව
වැනසුණිද මිනිස්කම
තුරු වඳුළු වනසමින් සොඳුරු විසිතුරු වනේ
වැසි බිඳක් අයැදිමින් හිස් අහස බල මිනේ
දොස් නඟා නොයෙක මැසිවිලි නඟනු කිම අනේ
පින් සිඳී මිනිස්කම වැනසුනිද? මිනිසුනේ
තන්හාව - රාගය ද ඉසි මාන පුර මිනේ
සන්තාන සන්නසම වයිරයෙන් ගිනි ගැනේ
සංකල්පනා වියරු ලෙස මවනු කිම? අනේ
සුන්දරවූ මිනිස්කම නොහඳුණන මිනිසුනේ
මහත් වද වේදනා විඳ දරා සැම දිනේ
දැයක් ගොඩ නඟනුවට ගවයනුදු වෙහෙ සුනේ
එහෙත් උන් වෙර සිඳුනු සඳෙහි පා කළ ගුණේ
දිවත් එම මස් රසට ගිජුව කිම? මිනිසුනේ
හිස් අතින් නොව මිනිස් පතිරූප ලොව වැනේ
විස්වයම නසනුවට අවි දරන් පෙර මුණේ
විස්මයකි ලොව රැඳුණු උතුම් මිනිසත් ගුණේ
වෙස් වලා ගන එලොව වැඩියෙහි ද? දෙවියනේ
හොරණ
පියසීලි ගුණසේකර සුමනරත්න
නිශාවත
හිරු වියොවින් මුකුලිත වෙත කමලකර
කුමුදු කොඳ නඟයි දැක හස තුසරකර
මෙසේ අසිරි සිරි කව් හද සසලකර
දිසේ රඟනු පන්හිඳ අස සඳ ලකර
පලින් පලම මුරකා යෙදුණ මැදුරුය
මලින් මලම රොන් රස උරන දෙබරුය
ගතින් ගත වෙලී රඟ රඟන සොඳුරුය
වතින් සිත පෙනේ හද මැදුරු අඳුරුය
පඩිපතැ මොණර කොළ ළඟ කොමලඟාය
සුතනඹු සිත් නඟාය දොස් නගාය
රතු ඉර පැන මදුවිත තොල ගගාය
හිමි රෑ මග මගාය අත ගගාය
ගමෙන් බඩ වියත රැකුමට ආ ලන්දූ
අතින් අත යැවෙත පිටියක සේ පන්දූ
කතුන් බලෙන් රෑ වැඩ මුරයක රැන්දූ
බලන් සකි අරුම මත් සලෙලුන් කැන්දූ
නිවන්නට වෙහෙස එන තුරු ගුවන් පතී
යොවුන් මවක් රැය මහමඟ ලැඟුම් ගතී
නිවුන් දෙදරු වැඩි නල වැද සිසිල් ගතී
මවුන් දෙතන කිරි නැති මුත් තුරුල් වෙතී
හෝකන්දර
නිමල් වසන්තකුමාර
අත්කරත්ත කරු

කරත්තයේ බඩු පුරවා අනුන්නේ
තල්ලු කරන් ගිනි අව්වේ දුවන්නේ
දාඩිය මුගුරු ගත දූවිලි දොවන්නේ
මෙහෙවර අගය මුදලාලියි මනින්නේ
සැහැල්ලුවට මිටි කරපිට නැඟෙන්නේ
සහල්, සීනි, පිටි ඇතුළට වඩින්නේ
කහට කෝප්පය කුසගිනි නිවන්නේ
පැතුම් පොදිය නැත දෝතට ලැබෙන්නේ
කරත්තයේ රෝදය කර කැවෙන්නා
බේල් ගණන් රෙදි ඒ මත තිබෙන්නා
නැවුම් සුවඳ නැහැ පුඬුවල පිරෙන්නා
සරම දිය වෙලා ඇඟට ම දිරන්නා
රෑ වේලවත් කන්නට කරවල රසට
බලා සිටිති අඹු දරුවෝ බැස දොරට
වඩම්මවා සිලි බෑගය ඇය අතට
ඔහු කොඳු ඇටය සතපයි පිළ මත බිමට
යටියන පුෂ්පකුමාර
පරසතු සුවඳ
මවු තුරුලේ වැඩුණු යුගයක ලද සුවඳයි
දුටුවේ ලොවක මවුගුණ පිරි ගුණ සුවඳයි
දැනුමැති දා පටන් මා ලැබගත් සුවඳයි
අම්මා සෙවණෙ දැණුනේ පරසතු සුවඳයි
මුදලට වඩා පොදුජන සේවය අගනා
කුසලට නොපැකිලව හෙළ වෙදකම කෙරුණා
සසරට තිබෙන දුක දැක බුදුගුණ ගැයුනා
පුතකුට පියකුගේ අම සුවඳක් දැනුණා
ගැදි පැදි දෙනෙත දැක දෙතොලන මුමුණද්දී
නවනළු රසය දැණුනා සිත පිබිදෙද්දී
කවිය පිළිබඳව සිතුවිලි මතුවෙද්දී
පිබිදුනි මසිත පරසතු සුවඳක් දෙද්දී
වේදනාව දුක දොම්නස නැති වෙනවා
සිසිලස සුවය බෝ සෙවණෙන් ගෙන දෙනවා
පහන් සිලක ආලෝකය විහි දෙනවා
බුදු කුටියකින් පරසතු සුවඳක් එනවා
ඈතගම ඊබට් අමරසේන
සැනසෙමි
නිල්වන් වළා රඟ දෙන විට ගුවන පුරා
රන්වන් රුවින් බබළයි සඳ කිරණ සරා
නන්මන් තොසින් ඒ රූසිරි සිරිය උරා
සන්සුන් සිතින් සැනසෙමි ඔබ දකින තුරා
පහළකරගහමුණ සීතා මොරගොඩ
(අ)හිමි පෙම
නුඹෙ සෙනේ ගඟුල දුන් සිහිල් සෙනෙහස් පැනින්
දිවි කෙතම කිරි වැදී ගොයම් මල් පීදුනෙන්
අස්වැන්න ලැබේ යැයි තුටුව ගිය හදවතින්
පේ‍්‍රමයේ මිහිරි සුව පතන්නෙමි සැනසෙමින්
වියෝ දුක දී ගියේ හදවතට සමුදෙමින්
දැනුණි ජීවිතය නියඟයට හසුවුණා මෙන්
පැළ ගොයම වියැළුණා කිරිවදින්නත් කලින්
කෙළෙසෙකින් ඉවසම්ද දුක් ගින්දරක් මෙවන්
වෙන කෙතක් සරු වුණත් නුඹේ සෙනෙහස් ගඟින්
තරහ නැහැ ගඟුල වෙත සමු දෙන්නේ හිත හොඳින්
සමුදෙන්න නොහැක මට මඟ බලන නෙත් කොනින්
හදවතේ සෙනෙහෙ ඇති තුරා ඉන්නෙමි ඉතින්
නිශාමිණි කරුණාරත්න
කොළඹ විශ්ව විද්‍යාලය
ඔබයි ඉරබටු තරුව
හුරු බුහුටිකම් හැඳින සොදින උපදෙස් දිදී
වැරැදි පෙන්වා දුන්නෙ ළ’තෙත් ගුණයෙන් බැඳී
උදාහිරු විලාසෙන අපේ දිවි මග සැදී
ගුරුතුමෙනි, දෙපා මත පියුම් තැබුවත් මදී
සිප් සතර කියා දුනි කරුණාව පෙරදැරි ව
උගත්තෙමි මිනිස්කම සිතේ කහටක් නැතුව
රුව ධනය කුමකට ද හදේ සිසිලස නැතුව
කියා දුන් ගුරුතුමනි ඔබයි ඉරබටු තරුව
සඳහිරු ද මල් පිපෙන මේ මඟුල් සක් වලේ
උපන් දෙවියා ඔබයි පෙන්වු මිනිසගෙ බලේ
තවත් කුමකට රැඳෙනු සංසාර නම් දැලේ
එළි පෙහෙළි කළ මැනව නිවන් යන මං තලේ
මීරිගම
සාගරි කෝරලගේ
නූපන් පුතුට
පහවී නිලඹරෙහි පැවතුන අඳුරු තිර
පුන් සඳ නැගී තිබියදි ලොව එළිය කර
මැදියම් රැයක තුන් මසකට පමණ පෙර
සිහිනෙන් දුටිමි පුත් මා ඔබෙ මුහුණු වර
බලාපොරොත්තුවෙ සටහන් ලයෙහි තියා
මවු තුරුලට එම වැලකිය නොහැක කියා
ඇයටත් මටත් පැවසූ සුදු පුතුනි දයා
අප ජීවනය රසවත් කළ මැනවි ඔයා
මගෙ රුව සමඟ මවගේ පැහැය ගතිගුණ
එක්තැන් කරන් සතුටින් යුතුව අපමණ
වැඩිකල් නොයා සොම්නස මිහිර අරගෙන
පුතුනේ ඔයා මගෙ නිවහනට එනු මැන!
බලාපොරොත්තුවෙ සේයා මව මින්නේ
ගතවෙන හැම පැයේ අප දෙදෙනම ඉන්නේ
කවදද? පුතුනි ඔබ මව් තුරුලට එන්නේ
තව හය මසක් මා කොහොමද? ඉවසන්නේ
ඒ. කේ. ඩබ්ලිව්. පෙරේරා
|