අඬු මිටි රැගෙන පාරට බට ඕෆ් රෝඩ් ශූරයා
අඬු මිටි රැගෙන පාරට බට
ඕෆ් රෝඩ් ශූරයා
 |
|
ඉන්දික තරග ජයග්‍රහණයකින් පසු
කුසලානයක් සමඟ |
කෝට්ටේ දියවන්නා ඔය අසල මඩ වගුරක ලෑන්ඩ් රෝවර් ජීප් රථ දෙකක් භයානක ලෙස උඩුකුරුව
පෙරළී තිබිණ. මේ අසලින් වෙනත් ගමනක් යමින් සිටි අපේ මාධ්‍ය මිතුරෙක් තම මාධ්‍ය
ආයතනයට ඒ බව වහාම දැනුම් දුන්නේ ය.
ආරංචිය පරිදි ඡායාරූප ශිල්පියෙක් සිද්ධිය වූ
තැනට ගියේ ය. එහෙත් ඔහු ගේ බලාපොරොත්තු කඩ විය. පෙරළා අපේ මාධ්‍ය මිතුරාට
දුරකථනයෙන් කතා කළ ඡායාරූප ශිල්පියා; නෝක්කාඩු බසින් කතා කරන්නට ගත්තේ ය.
“මොනාද මහත්තයා උදේ පාන්දරම ලණු දෙන්නේ. මේක ඇක්සිඩන්ට් එකක් නෙවෙයි සෙල්ලමක්...”
යි ඔහු කියා සිටියේ ය.
“ඒකත් මාර සෙල්ලමක් නේ” යි අපේ මිතුරාට කියැවිණ.
මඩ වගුරක තම ජීප් රථය උඩුකුරුව පෙරළෙන ලෙස රිය පැදවීමත් සෙල්ලමක් ද? ඒ සෙල්ලම
කරමින් සිටියේ තරුණයෙකි. ඔහු අවදානම් සහගත රිය පැදවීමේ ශූරයෙකි. “ෆෝ බයි ෆෝ ඕෆ්
රෝඩ්” යනු ඒ ක්‍රීඩාවේ නමය.
ඝන කැලෑවක ජල කඳුරු, මඩ වගුරු, කඳු හෙල් හා වන සතුන්
අතරින් දින ගණනාවක් රිය පැදවීම මේ ක්‍රීඩාවේ ස්වභාවයයි. ඉන්දික මහේෂ් සංජීව නම් මේ
තරුණයා එදා දියවන්නාව අසල මඩ වගුරක ජීප් රථ පෙරළෙන ලෙස රිය ධාවනය කොට තිබුණේ ද
පුහුණුවීමක් සඳහා ය. පසුගිය දවසක දී ඔහු අපට මුණ ගැසිණ.
“... හුඟ දෙනෙක් ඒ තරම්ම නොදන්නවා වුණාට ලංකාවෙත් මේ වගේ තරග පැවැත්වෙනවා. මොනරාගල,
ඔක්කම්පිටිය, දඹුල්ල, යාල වගේ කැලෑ ප්‍රදේශවල තිබුණු තරග ගණනාවකින් ජය ගන්නත් මට
පුළුවන් වුණා. ඉන් පස්සේ අන්තර්ජාතික තරගවලට ගිහිං ඒ තරගවලදීත් ජයග්‍රහණ ලැබුවා.
දැන් මට තේරෙනවා මේක තමා මගේ ජීවිතය” යි ඉන්දික සංජීව කතාවට මුල පිරුවේය.
“... මගේ තාත්තා රස්සාව කළේ වනජීවි දෙපාර්තමේන්තුවේ. පුංචි කාලේ ඉඳලම කැලෑව හුරු
වුණා. ඔය අතරේ ටිකක් ලොකු මහත් වුණහම කැලෑව ඇතුළේ ජීප් එක එළවන්නත් පුරුදු වුණා.
එහෙම තමයි මේක පටන් ගත්තේ” යි ඔහු අතීතය ආවර්ජනය කරමින් කියයි.
“හැබැයි තාත්තා විශ්‍රාම ගියාට පස්සේ මගේ ජීප් එළවිල්ලත් නතර වුණා. මොකද ජීප් එකක්
කුලියට ඉල්ල ගෙන පදින්න වත් අපිට වත්කමක් තිබුණේ නෑ...”
 |
|
වහලයට උඩින් සැඩ පහර ගැලුවත් වාහනයත් රැගෙන එතෙරට යෑමට දරන වෑයම
|
වත්කම නැතිවුව ඉන්දික ගේ ජීප් පැදවීම පිළිබඳ ආශාව නොනැසී පැවතිණ. තමාටම කියා ජීප්
රථයක් නැති තැන ඔහු කෙළේ; ජීප් රථ අලුත්වැඩියා කරන කාර්මික ශිල්පියකු බවට පත් වීමය.
“... මම දත්මිටි කා ගෙන බලා ගෙන හිටියා. පාරේ යන ලෑන්ඩ් රෝවර්, ඩිපෙන්ඩර් වගේ වාහන
ඇහෙන් දැකලා හිතෙන් හීල්ලුවා.
ඒ දවස්වල රාජගිරියේ කොටියාගොඩ පාරේ වාහන හදන තැන්
කිහිපයක් ම තිබුණා. සමහරු මේ පාරට කිව්වේ පුංචි පංචිකාවත්ත කියලයි. එක එක ජාතියේ
වාහන හදන අය හිටියත් ලෑන්ඩ් රෝවර් ජීප් හදන තැනක් තිබුණේ නෑ.
ඒ සැරේ මම අඬු මිටි,
යතුරු ටිකකුත් හොයා ගෙන පාරට බැස්සා. ජීප් එකක් හදන්න ගෙනාවම මට ඒක එලවලා බලන්නත්
ලැබෙනවා. ඔය විදිහට අනුන් ගේ ජීප් එලවලා මගේ ආසාව ඉෂ්ට කර ගන්න අතරේ ටිකෙන් ටික මේක
ව්‍යාපාරයක් හැටියටත් දියුණු වුණා.” යි හෙතෙම විස්තර කරන්නට විය.
ජීප් රථ පැදවීමේ ආසාව ඉටු කැර ගැනීම සඳහා ම අඬු මිටි කිහිපයක් රැගෙන මහ පාරට බැස්ස
ඉන්දික අද ශ්‍රී ලංකාවේ නම ගිය කාර්මික ශිල්පියෙකි. ලෑන්ඩ් රෝවර් හා නා නා මාදිලියේ
ඩිපෙන්ඩර් රථ සිය ගණනක් ඔහු ගේ ව්‍යාපාරික භූමිය වටා ගාල් කැර තිබේ. එහෙත් ඔහු මේ
තැන දක්වා පැමිණියේ දුෂ්කර ගමනකි. ඒ හරියට ම ඝන කැලෑවක ගිරි දුර්ගයක රිය පදවන
ආකාරයේ ම වෙහෙස දෙන එහෙත් හිතට දිරිය වඩන ඕෆ් රෝඩ් තරගයක් ලෙසින්ම ය.
“... මුල්ම දවස්වල ජීප් එකක් එලවනවා තියා ඒක පිටින් අතපත ගාලා බලනවටත් සමහරු කැමති
වුණේ නෑ. සල්ලි ටිකක් හොයා ගත්තට පස්සේ මට ම කියලා පරණ ජීප් එකක් ගත්තා. මඩ වගුරු,
කඳු පල්ලම්, මුහුදු වෙරළ වගේ තැන්වලට වාහනය දාලා ඒක වැඩ කරන්නේ කොහොමද කියලා
බැලුවා. ඉන් පස්සේ දුෂ්කර කැලෑ ඇතුළට ගිහිං වේගයෙන් එලවන හැටිත් පුරුදු වුණා.
ඔය
අතරේ ලංකාවේ ඕෆ් රෝඩ් රේස් තියෙන තැන්වලට ගිහිං ඒගොල්ලෝ මේක කරන්නේ කොහොමද කියලා
බැලුවා. මට ඉඩක් ලැබුණු හැම වෙලාවෙම පුහුණුවීම් කළා. ඔය අතරේ දැන් මට පුළුවන් කියන
සිතිවිල්ල දැනෙන්න ගත්තම ලංකාවේ තරගවලටත් ගිහිං රේස් පැද්දා. කාලයක් යත්දී ඒවායින්
ජයග්‍රහණය ලබන්නත් වාසනාව තිබුණා.”
හිත ඇත්නම් පත කුඩා වේද කියූ ලෙසම ශ්‍රී ලංකාවෙන් ජයග්‍රහණ ලැබූ ඉන්දික ඊළඟට කල්පනා
කෙළේ තම හැකියාව ලෝක තරගවලට යොදවන්නේ කෙසේ ද යනුවෙනි.
 |
|
ඉන්දික මහේෂ් සංජීව තම සහායක රියදුරු සමඟ මැලේසියාවේ තරගයක් අතරතුර |
“... වෙනත් රටවල කෙරෙන ‘ඕෆ් රෝඩ්’ රේස්වල වීඩියෝ ගෙන්වා ගෙන බැලුවා. ඒ අය පාවිච්චි
කරන්නේ අලුත් ම තාක්ෂණයෙන් දියුණු වාහන. මමත් ලංකාවේ ඒ වගේ වාහනයක් හැදුවා.
මොකද
මෙතන තියෙන රහස තමා වාහනය පදවන රියදුරයි වාහනයයි කියන්නේ දෙකක් නෙවෙයි එකක්. තමන්ට
තියෙන තරගයේ හැටියට ගැලපෙන්න වාහනය හදා ගන්න අපි දැන ගන්න ඕනේ.
සාප්පුවෙන් ජීප්
එකක් අරගෙන මේ වගේ තරගවලට යන්න බෑ. ඒ නිසා කාර්මික දැනුම හරිම වැදගත්. මේ වගේ
තරගවලදී වාහනය නිතරම කැඩෙනවා.
ඉතාම ඉක්මණින් ඒක හදා ගෙන ආපහු රේස් එකට යන්න ඕනේ.
කඳු හෙල්, ගල් පර්වත, ගංගාවල් මැදින් වාහනය පදවගෙන යන කොට එක තත්පරයක වැරදීමකින්
හැම දේම අනිත් පිට පෙරළෙන්න පුළුවන්. ජීවිතය නැති වෙන්නත් පුළුවන්.
ඒ වගේ ම නැවත
හදා ගන්න බැරි විදිහට ජීප් එක කැඩුණොත් තරගය පරාදයි. ජීවිතයයි වාහනයයි දෙකම
පරිස්සම් කර ගෙනයි මේ අවදානම් තරගයට යන්න වෙන්නේ...”
ඉන්දික පවසන පරිදි; සම්මත රිය ධාවන පථයක කෙරෙන තරගවලට වඩා ඕෆ් රෝඩ් තරග සපුරාම
වෙනස් ය. ධාවන පථයක පෙර පුහුණුවීම් කළ හැකි මුත් ඝන කැලෑවක් මැදින් යන ගමන කලින්
පුහුණු විය නොහැක.
“... හැම ඕෆ් රෝඩ් තරගයක්ම එකකට එකක් වෙනස්. අපි තරගය අතරදීමයි මාර්ගය දකින්නේ.
තරගයට තෝරා ගන්න පරිසරය වගේ ම බාධකත් එකකට එකක් වෙනස්.
ඒවා කලින් දැකලා පුහුණු
වෙන්න විදිහක් නෑ. හැම දේකටම හරියන විදිහට වාහනය සූදානම් කර ගෙනයි යන්නේ. මොකද ඔය
කැලේ ඇතුළේ උදවු කරන්න කවුරුවත් නෑ. ඉන්නේ රියදුරාත් සහායකයාත් විතරයි.”
 |
|
මඩ වගුරු බිමක වේගවත් ධාවනයක |
“... ගල් පර්වත උඩින් යන කොට බොහෝ වෙලාවට වෙන්නේ වාහනය පෙරළෙන එකයි. වට දෙක තුනක්
පෙරළිලා ගිහිං නතර වෙනවා. නමුත් හිත හිතා ඉන්න, සීරීම් තුවාලවලට බෙහෙත් දදා ඉන්න
වෙලාවක් නෑ. ආපහු වාහනය හදා ගෙන රේස් එකට යන්න ඕනේ.
අන්න ඒකයි මම කිව්වේ වාහනය
කැඩුණොත් ඉතාම කෙටි කාලයකදී නැවත ඒක හදා ගන්න දැනුම තියෙන්න ඕනේ. මේ වගේ තරගවලදී
ඇඟේ පතේ හයිය වගේ ම හිතේ හයියත් වැදගත්. තාක්ෂණය හා කාර්මික දැනුමත් ඒ වගේමයි” යි
ඉන්දික තම අත්දැකීම් ඇසුරින් කියයි.
“ලෝකයේ භයානකම ඕෆ් රෝඩ් තරගය තියෙන්නේ කොහෙද?” යි අප නැඟු ප්‍රශ්නයට ඉන්දික
පිළිතුරු දුන්නේ අනාගත ඉලක්කයක් පිළිබඳව සිය සිතේ සැඟවුණු බලාපොරොත්තු වසං නො
කරමිනි.
“... ලෝකයේ හොඳම ඕෆ් රෝඩ් තරගය තියෙන්නේ මැලේසියාවේ. 2006 ඉඳලා මමත් මේ තරගයට
පදිනවා. මහා දරුණු වැසි වනාන්තර තමයි තරගයට තෝරා ගන්නේ. එක වතාවක අපිට තිබුණු
ඉලක්කය කිලෝ මීටර 850 ක දුර දවස් දහයකින් නිම කරන්න ඕනේ. රටවල් 18 කින් ලෝකයේ හොඳම
තරගකරුවෝ මේකට එනවා. මේ වනාන්තරවල නිතරම වැස්ස. ගංගා පිටාර ගලනවා. සර්පයෝ, කූඩැල්ලෝ
පිරිලා.
ගිරි දුර්ග, කඳු බෑවුම් හරිම දුෂ්කරයි. මේ ගමනට වුවමනා කරන හැම දෙයක් ම අපි
යන වාහනයේ ම අරගෙන යන්න ඕනේ. කෑම, බීම, ඩීසල්, ඇඳුම්, විතරක් නෙවෙයි නට් එක පවා ළග
තියෙන්න ඕනේ. මොකද මොනවත් ඉල්ල ගන්න පුළුවන් කෙනෙක් ඔය කැලෑවේ නෑ.
අනිත් තරගකාරයොත්
කාටවත් උදවු කරන්නේ නෑ. වාහනය කැඩුණොත් බිමට අඩිය තියන්න බෑ. සර්පයෝ, කූඩැල්ලෝ ඇඟේ
එල්ලෙනවා.
එක දවසක් මට හිතුණා මේ මොන දුකක් ද විඳින්නේ කියලා. නමුත් විශ්වාස කරන්න
දහදුක් විඳගෙන ගමනාන්තයට ආවම දැනෙන සතුට, ආත්ම ධෛර්යය විස්තර කරන්න වචන නෑ. කාටත්
නො පෙනී ඇස්වලින් ගලන සතුටු කඳුළුවල ඒ මුළු කතාවම රැඳිලා තියෙනවා.” යි ඉන්දික සංජීව
කියයි.
“... දවස් 10 ක් වැසි වනාන්තරයක ගත කරන්නේ කොහොම ද? අතරමඟ නවතින තැන් හදලා තියෙනව
ද?” යි අප ඇසූයේ මෝඩ ප්‍රශ්නයක් බව වැටහුණේ ඉන්දික ඊට දුන් පිළිතුරෙනි.
“නෑ... රෑට නවතින්නේ කූඩාරමක් ගහගෙන. ඒක පවා අපි යන වාහනයේම අරගෙන යන්න ඕනේ. ආපහු
පාන්දරින් ම රේස් එකට යන්න ඕනේ. සමහර දාට කිලෝ මීටර එකක දුරක් යන්න මුළු දවසම ගත
වෙනවා. මැලේසියාවේ එක තැනක තිබුණා ගඟක් මැද්දෙන් යන්න, වතුර පාර සැරයි. කඳු ගැටයක්
නැඟලා උඩට ගියාම ආපහු එන්නේ එක සීරුවට බෑවුම. ඒ බෑවුම බැස්සහම හම්බ වෙන්නේ ගඟ.
 |
|
කැලෑ මැදින් දුෂ්කර ගමනක |
ගඟ
මැද්දෙන් ගිහිං ආපහු කඳු ගැටය නඟින්න ඕනේ. ආපහු බෑවුම බැස්සට පසුවයි ගමන් මාර්ගයට
වැටෙන්නේ. සමහර තැන්වල දී වාහනය උඩට ගන්නේ ගහක ගැට ගහපු කඹයක ආධාරයෙන්.
මොකද ඒ
බෑවුමේ බ්‍රේක් අහන්නේ නෑ. ලිස්සුවොත් මොකද වෙන්නේ කියලා හිතා ගන්නත් බෑ... ඉතිං ඒ
වගේ තැන් හම්බ වුණාම මුළු දවසක්ම මහන්සි වෙලයි උඩට එන්නේ” යි ඔහු විස්තර කෙළේය.
“මේ අතර අමතක නොවන සිද්ධි එහෙම නැද්ද?” යි අපි කුහුල් සිතින් විමසීමු.
“සිද්ධි ගොඩක් තියෙනවා. 2008 මැලේසියන් තරගය තිබුණේ රෙංගානෝ වැසි වනාන්තරයේයි. එක
දිගටම වහිනවා. ගංගා උතුරනවා.
ඒ වෙන කොට අපි තරගයේ භාගයක් දුරට ගිහිං හිටියේ.
තත්ත්වය එන්න එන්නම දරුණු වුණා. තරගය කොහොම වුණත් ජීවිත බේර ගන්නේ කොහොමද කියලාවත්
විශ්වාසයක් තිබුණේ නෑ. අන්තිමේදී මැලේසියන් ගුවන් හමුදාව හෙලිකොප්ටර්වලින් ඇවිත්
අපිව බේර ගත්තා.
එදා අපි ගොඩට ආවේ අපේ වාහනත් නැතුවයි. තවත් තරගයකදී මගේ වාහනය වට
කිහිපයක් බෑවුමට පෙරළුණා. එදා නම් ජීවිතය බේරුණේ හාස්කමකින් වගේ” යි ඔහු බැරෑරුම්
හඬින් කීය.
“ඉතිං ආපහු මැලේසියන් තරගයට යන්නේ නැද්ද?” යි අපි ඇසීමු.
“... මොකද නැත්තේ මේ අවුරුද්දෙත් යනවා. හැබැයි මේ සැරේ යන්නේ ශ්‍රී ලංකාවට කප් එක
ගේනවමයි කියන විශ්වාසයෙන්. මම දෙපාරක් දෙවැනියාට දිනුවා. මේ පාර ආපහු ලංකාවට එන්නේ
පළමුවැනියා වෙලයි”
ඉන්දිකට සුබ පතන අතර ම අපි ඔහු ගෙන් මේ ගමන ඒමට උදවු කළ අය ගැන ප්‍රශ්න කෙළෙමු.
“... ලංකාවේ උපන්න අපි වාසනාවන්තයි. එදා යතුරු ටිකක් අතට අර ගෙන පාරට බැස්ස මම අද
අන්තර්ජාතික තරගවලටත් යනවා. කැපවීම, දක්ෂතාව හා තමන් ගේ අරමුණ කොහොම හරි ඉටු කර
ගන්නවා ය කියන විශ්වාසය තියෙනවා නම් දෙවියන් බුදුන් ගේ පවා ආශිර්වාදය ලැබෙනවා. මට
යම් යම් ප්‍රශ්න මතු වුණ වෙලාවේ ජනාධිපතිතුමා බොහෝම උදවු කළා. මම එතුමාට බොහෝම
ස්තුතිවන්ත වෙනවා.
ඒ කරපු උදව්වලට මට කරන්න පුළුවන් හොඳම දේ තමා මේ 4 x 4 ඕෆ් රෝඩ්
තරගයෙන් ලංකාව මුල් තැනට ගේන එක. ඒ විශ්වාසයෙන් තමා මම මේ පාර මැලේසියාවට යන්නේ” යි
ඉන්දික ලය පුරවා ගත් හුස්මක් සමඟ කීවේය.
කේ. සී. ජේ. රත්නායක
|