අපේ ආර්ථිකය දළඹු කාලයෙන්
අපේ ආර්ථිකය
දළඹු කාලයෙන්
සමනල කාලයට ඇවිල්ලා
ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ
අධ්‍යක්‍ෂ ජනරාල් චන්න ද සිල්වා
මේ සතියේ රොයිටර් පුවත් සේවය වාර්තා කළේ කොළඹ කොටස් වෙළෙඳපොළ මුළු ලෝකයේ ම අංක එකට
පැමිණ ඇති බවයි. තවත් අංශයකින් කියැවුණේ කොළඹ කොටස් වෙළෙඳපොළ අංක එකට නොව ලෝකයේ අංක
දෙකට පැමිණ ඇති බවයි.
මේ සංඛ්‍යා ලේඛනවලින් කොළඹ කොටස් වෙළෙඳ පොළේ පිබිදීම ඉතා
පැහැදිලිය. මේ කොටස් වෙළෙඳපොළේ පිබිදීම හැම අංශයෙන්ම ශ්‍රී ලංකා ආර්ථිකයේ ඇතිවෙමින්
පවත්නා ප්‍රගමනය වඩා හොඳින් පිළිබිඹු කරන්නේය. මේ කොටස් වෙළෙඳ පොළේ වර්ධනය ගැන එහි
නියාමනය භාර ශ්‍රී ලංකා සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් චන්න
ද සිල්වා මහතා සිළුමිණට අදහස් දක්වා සිටියේ මෙසේය.
කොළඹ කොටස් වෙළෙඳපොළ ලෝකයේම අංක එකට වාර්තා වී ඇති බව අන්තර්ජාතික පුවත් සේවා මඟින්
පසුගියදා වාර්තා කර තිබුණා. ඔබ මේ වර්ධනය කොහොමද දකින්නේ?
සාමය ඇති වීමත් සමඟ කොළඹ කොටස් වෙළෙඳ පොළේ මේ පැහැදිලි වර්ධනය පෙන්වන්නට පටන්
ගත්තා. පැහැදිලි නායකත්වයක් යටතේ සාමය උදාවීමත් සමඟ ශ්‍රී ලංකාවට දේශපාලන
ස්ථාවරත්වයක් උදාවීම මෙලෙස ආයෝජනය වර්ධනය වීමට හේතුවයි. කොළඹ කොටස් වෙළෙඳපොළේ
ගනුදෙනු වාර්තාගත අයුරින් වැඩිවෙලා. දේශීය වගේම විදේශීය ගනුදෙනුකරුවන්ගෙන් විශාල
උනන්දුවක් පසුගිය කාලය තුළ ඇතිවෙලා තිබෙනවා.
මෙරට කොටස් වෙළෙඳපොළ ආර්ථිකයේ කැඩපතක් විදියට ගත හැකිද?
ආර්ථිකයේ ඇතිවන වෙනස්වීම් පෙන්නන එක් දර්ශනයක් තමයි කොටස් වෙළෙඳපොළ. ඒ පිළිබඳ
ප්‍රශ්නයක් නැහැ. කොටස් වෙළෙඳපොළ වැටෙනවා කියන්නේ ආර්ථිකයත් වැටෙනවා කියන එක තමයි.
ඒ වගේම කොටස් වෙළෙඳ පොළ නඟිනව කියන්නේ ආර්ථිකය ඉහළට යනවා කියන එකයි. මින් පැහැදිලිව
අපේ ආර්ථිකයේ වර්ධනයක් පෙන්නුම් කරනවා.
ඇතැම් බටහිර රටවල් ආර්ථික වර්ධනයක් පෙන්වන්න
බැරුව ඉන්න අවස්ථාවක මේ රටේ කොටස් වෙළෙඳපොළේ මිලදී ගැනීම්වල ඉහළ යාම වාර්තාගත
විදියට වැඩිවුණා. මේ සතියේ කොළඹ අපේ කොටස් වෙළෙඳපොළේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය සමස්ත
වෙළෙඳපොළ වටිනාකම රුපියල් බිලියන 1000 නැතිනම් ත්‍රිලියනය ඉක්මවා ගියා.
ඔබ කියන්නේ ත්‍රස්තවාදයෙන් බැට කෑ අපේ ආර්ථිකය මේ උදාවී තියෙන සාමයත් සමඟ අඳුරෙන්
ආලෝකය කරා ගමන් කරමින් තිබෙන බවයි?
මා මේ කතාව මේ විදියට පැහැදිලි කරන්න කැමැතියි. ආලෝකය කරා තමා අපි ගමන් කරමින්
සිටින්නේ. ඔබ දන්නවා දළඹුවා සමනළයා වෙන්න අන්තර් කාලයක් තියෙනවා. දැන් අවුරුදු 30
ක් තිස්සේ මේ ආර්ථිකය ත්‍රස්තවාදයත් සමඟ දළඹු අවදිය ගත කළා. දැන් සමනළ කාලය
උදාවෙලා. අර තිබුණ බිය දැන් නැහැ. මධ්‍යම ආණ්ඩුව සිංහ ධජය යටතේ රට පාලනය කරනවා.
සමහරු මේ ගත කරන්නේ දළඹු අවදියමයි කියල හිතන එකත් ඇත්ත. ඔවුනුත් ක්‍රමයෙන් අවබෝධ කර
ගනිමින් සිටිනවා මේ සමනළ අවදිය තමයි උදාවෙලා තියෙන්නේ කියලා. දැන් තමයි දේශීය
ආයෝජකයෝ අවදිවෙන්න ඕන කාලය. මොකද රටක ආයෝජනයේ පෙරමුණ ගන්න ඕන ඒ රටේම මිනිස්සු. පිට
රටින් මිනිස්සු ඇවිල්ල මේ රට සංවර්ධනය කරනකම් අපට බලා ඉන්න බැහැ. ඒ නිසා පැහැදිලිව
දේශීය ආයෝජන ඉහළ යා යුතුයි. දැන් ඒක එහෙම වෙලා තියනවා.
විදේශ අයෝජන ගැන කියන්නේ කුමක්ද?
මං කිව්වේ මුලින්ම වෙන්න ඕන දේශීය ආයෝජන ඉහළයාම. දේශීය ආයෝජන ඉහළ යනකොට තමයි විදේශ
ආයෝජකයොත් වැඩි වැඩියෙන් එන්න පෙළඹෙන්නේ. ඒකත් වෙමින් තිබෙනවා. නැතිනම් දේශීය
ආයෝජකයොත් උනන්දු නැතිනම් විදේශ ආයෝජකයෝ හිතනවා ඒ රටේ කට්ටිය එන්නේ නැත්තේ ඒ රටේ
ප්‍රශ්න තියනවා කියලා. අවදානමක් තියනවා කියලා. දැන් වෙලා තියෙන්නේ අනික් පැත්ත. අපේ
කොටස් වෙළෙඳපොළ අංක එකට ඇවිල්ලා. මෙතන මහ පරිමාණ විදේශ අයෝජකයන් සීයට එකක් දෙකක්.
දැම්මත් ඒක අති විශාල මුදලක්. මෙතෙන්ට මුදල් දැම්මේ නැතිනම් ඒ විදේශ අරමුදල් වලට
සල්ලි දැමූ උදවිය ඒ අරමුදල් කළමනාකරුවන්ගෙන් අහන්න පුළුවන් මෙච්චර අංක එකේ තැනටවත්
තමුසෙලා සල්ලි දැම්මේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා විදේශ ආයෝජනත් ක්‍රම ක්‍රමයෙන්
වැඩිවේවි. මම කියන්නේ මෙතන මූලික වෙන්න ඕනැ දේශීය ව්‍යාපාරිකයෝ. ඊට පස්සේ විදේශ
ආයෝජන. මේ විදියටයි අපට තිරසාර ආර්ථිකයක් ගොඩනඟන්න පුළුවන්.
හිතපු විදියටම විදේශ මුදල් එනවද කියන ප්‍රශ්නය සමහරු මතු කර තිබෙනවා?
ආයෝජන ගැන හුඟක් වෙලාවට තීරණ ගන්නේ කුමන තැන්වලට සල්ලි දානවද කියල ඒ තීරණ ගන්නේ වසර
මුලදි. ත්‍රස්තවාදය සම්පූර්ණයෙන් පරාජය කළේ වසර මැදදී. එතකොට ඒගොල්ලන්ගේ ආයෝජන යොදල
ඉවරයි. ඉස්සරහට විදේශ අයෝජකයෝ දැනුවත් කිරීමකුත් අපි කරන්න යනවා. කොහොමත් ඉදිරියට
විදේශ ආයෝජනත් අනිවාර්්‍යයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළට ඇදී ඒම වළක්වන්න බැහැ.
කොළඹ
කොටස්වෙළෙඳ පොළ ලොව අංක එක කියල වාර්තා කළේ ලෝක පුවත් ගේන රොයිටර් පුවත් සේවය. මේ
තත්ත්වය ඉතාම සුබදායී ලෙස අපේ සමස්ත ආර්ථිකයටම බලපායි. විදේශ මිලදී ගැනීම්
සම්බන්ධයෙන් මිලියන 600 කට සමස්ත වැඩිවීමක් තියෙනවා. තවත් පැහැදිලි කළොත් විදේශ
විකිණීම් බිලියන 25.2 ක් වෙනකොට විදේශ මිලදී ගැනීම් බිලියන 26.2 ක් වෙලා තියනවා.
රටට ශුද්ධ ගලා ඒම මිලියන 600 යි.
මේ වෙනකොට කොටස් වෙළෙඳපොළේ සියලුම දර්ශක ඉහළ ගිහිල්ලා...?
කොළඹ කොටස් වෙළෙඳ පොළේ සමස්ත මිල දර්ශකය සියයට 108 කින් වැඩිවෙලා තියෙනවා. ජනවාරි
සිට මේ දක්වා මේ වැඩිවීම වෙලා තියනවා. බ්ලුම් බර්ග් පුවත් සේවයට අනුව පේරු රාජ්‍යයේ
මේ අගය අද 110% ක්. මා කලිනුත් කිව්වා වගේ වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයත් රුපියල්
බිලියන 1000 ඉක්මවා ගියා.
මේ වසරේ කොටස් වෙළෙඳපොළ බිලියන 500 කට වැඩිය මාකට් එක
නැගලා. දිනක පිරි වැටුමත් විශාල වශයෙන් වැඩිවෙලා. දැන් කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික
පිරිවැටුම රුපියල් මිලියන 500 ඉක්මවනවා. මේ අවුරුද්දේ පමණක් සමස්ත වෙළෙඳපොළ
පිරිවැටුම දැනට රුපියල් බිලියන 90 ඉක්මවා ගිහින් තියෙනවා.
මේ ආයෝජන වැඩිවීමට තියෙන හේතු සමස්තයක් ලෙස සැලකුවොත්?
පළමුවැන්න කළිනුත් කිව්වා වගේ සාමය උදාවීම. අනික බැංකු පොළිය අඩුවෙලා. ඒ නිසා
වැඩිදෙනෙක් කොටස් වෙළෙඳ පොළට සල්ලි දැමීම වැඩි වාසියක් ලෙස සලකනවා.
බලන්න අපේ කොටස් වෙළෙඳපොළේ මිල ඉපැයුම් අනුපාතිකය මෑතක් වෙනකම් තිබුණේ හත් ගුණයක්.
දැන් මිල/ඉපැයුම් අනුපාතිකය 14 ගුණය දක්වා ඉහළ ගොස් තිබෙනවා. දෙගුණයකින් වැඩිවෙලා.
එකපාර මිල වැඩිවීමක් වෙලා තියනවා. මෙතැන වාසි දෙකක් මා දකිනවා.
එක පැත්තකින් ඒ
වැඩිවුණ අපේ සමාගම්වල එක කොටසක මිල දෙගුණයක් වෙලා. අනෙක් පැත්තෙන් අපේ ආයෝජකයන්ගේ
අනාගතය ගැන තියෙන බලාපොරොත්තුවත් දෙගුණයකින් වැඩිවෙලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ
කලින් තිබුණ කොටසකට දෙගුණයක් ගෙවන්න දැන් ඒගොල්ලෝ කැමැතියි.
කොළඹ කොටස් වෙළෙඳ පොළ අවශ්‍ය තරමින් පුළුල්වෙලා නැතැයි ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා
දෙනවා. ඔබ කියන්නේ කුමක්ද?
විශාල වශයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ පුළුල් වෙන්න අවකාශ තියනවා. එය එසේ විය යුතුයි.
අපේ අසල්වැසි ඉන්දියාවේ එය වෙලා තියනවා. දියුණු වෙන හැම රටකම එය සිදුවෙලා තියනවා.
අපේ ආර්ථිකයෙන් කොළඹ කොටස් වෙළෙඳ පොළ නියෝජනය කරන්නේ 1/3ක පමණ ප්‍රමාණයක්. කොළඹ
කොටස් වෙළෙඳපොළට ආවේ නැති විශාල සමාගම් මේ රටේ තියෙනවා.
ඔවුන් කොටස් වෙළෙඳපොළට
පැමිණිය යුතුයි. බලන්න දැන් උද්ධමනය 0ට වැටිලා. බැංකු විසින් තම තැන්පත් කරුවන්ට
ගෙවූ බැංකු පොළිය සියයට 18 සිට සියයට 10ට 11ට පහළ වැටිලා. දැන් බැංකුවේ දානවාට
වැඩිය කොටස් වෙළෙඳපොළට සල්ලි දැමීම වාසි සහගත වෙලා තියෙනවා. කොටස් මිල දිනපතා ඉහළ
යෑම නිසා.
නමුත් තාමත් මේ රටේ ආයෝජකයාට සීයට 17ක් 18ක් වත් නොගෙවා බැංකුවකින් ණයක් ගන්න
බැරිවෙලා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ සමාගම් ඉදිරියේදී බැංකුවලින් ණය ගන්නවාට වඩා
කොටස් වෙළෙඳපොළ මාර්ගයෙන් තම ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාගන්නට කටයුතු කරනවාට සැකයක්
නැහැ.
විශාල සමාගම්වලට විතරද කොළඹ කොටස් වෙළෙඳපොළට ඇතුළු වෙන්න පුළුවන්?
නැහැ ලොකු සමාගම්වලට වගේම පොඩි සමාගම්වලටත් කොටස් වෙළෙඳපොළට එන්න අපි දොර ඇරලා
තියනවා. ඒ නිසා දැන් මේ කවුරුත් ඇස් හැර බැලිය යුතුයි.
ප්‍රධාන පුවරුවේ නම සඳහන් සමාගමක් වෙන්න මිලියන 75කට වැඩිය ප්‍රාග්ධනයක් තියෙන්න
ඕන. දෙවැනි අවශ්‍යතාව එයින් සීයට 25කට වැඩි කොටස් ප්‍රමාණයක් ජනතාවට නිකුත් කර
තිබිය යුතුයි. තෙවැන්න අවුරුදු තුනක කාලයක් ලාබ ලබා තිබිය යුතුයි. දෙවැනි පුවරුව
‘දිරි සවිය’ පුවරුව ඊට වෙනස්. ප්‍රාග්ධන අවශ්‍යතාව මිලියන 35යි. දෙවැනි අවශ්‍යතාව
කොටස්වලින් සීයට 10ක් ජනතාවට නිකුත් කර තිබිය යුතුයි.
ප්‍රධාන පුවරුවේ තමයි සමාගම්වලින් සීයට 90ක්ම තිබෙන්නේ.
මේ ඇතිවන ආර්ථික පිබිදීමත් සමඟ ආර්ථිකය හැඩගැන්වීම ගැන නැවත සලකා බැලිය යුතු බව ඔබ
කලින් කතාකරන කොට කිව්වා..?
මෙය කාලීන අවශ්‍යතාවයක්. දැන් උතුරු නැඟෙනහිර විශාල ආර්ථික වෙනසකට ලක්වෙමින්
තිබෙනවා. මුළු රටේ යටිතල පහසුකම් වර්ධනය ක්‍රමිකව සිදුවෙමින් තිබෙනවා. එය ඉතාම
අවශ්‍යයි. ආර්ථික සංවර්ධනයට. මොකද රටක ආර්ථික සංවර්ධනයේ පදනම යටිතල පහසුකම්
සංවර්ධනය වන නිසා එය රජය හොඳින් කරමින් ඉන්නවා. ඒ නායකත්වය ඉතා වැදගත්. ඒ අතරේම
ලොකු කුඩා නව ව්‍යාපාර මේ පරිසරය තුළ මතු වී ආ යුතුයි.
අපට නව ආයෝජකයන් වගේම ව්‍යාපාරකරණයේ දක්ෂතා ඇති ව්‍යවසායකයන් ද අවශ්‍ය කර තිබෙනවා.
මොකද විවෘත වෙළෙඳපොළ ආර්ථිකය තුළ පෞද්ගලික ආයෝජකයන්ට විශාල කාර්යභාරයක් පැවරී
තිබෙනවා. මේ වගකීම ඔවුන් අවබෝධකරගත යුතුයි.
මේ තුළින් නව පරපුරට රැකියා ලැබෙන්නේ
ආදායම් මාර්ග ඇතිවන්නේ. අද මේ රටේ බැංකු පොළිය ඉතාම ඉහළයි. මේ ඉහළ පොළියට ණය අරන්
ජාත්‍යන්තරව තරගකාරී ලෙස නිෂ්පාදනයේ යෙදීම ව්‍යාපාරිකයන්ට ප්‍රශ්නයක්. ඒ
ව්‍යාපාරිකයන්ට අපි කොටස් වෙළෙඳපොළට එන්න කියල ආරාධනා කරනවා. ලොකු පොඩි සමාගම්වලට
කොටස් වෙළෙඳපොළේ තව ලොකු අවකාශයක් තිබෙනවා.
ඇයි ඔබ එහෙම කියන්නේ?
කොටස් වෙළෙඳ පොළේ ගිණුම් හිමියන් ලක්ෂ 4ක් පමණ ඉන්නවා. සමහරු කොටස් එකපාරක් දෙපාරක්
ගත්ත උදවිය. ඔවුන් ගත් කොටස් තබාගෙන ඉන්නවා.
කොටස් සංසරණය අතින් අතට යාම අඩුයි. තව කොටස් සැපයුම වැඩිකරන්න පුළුවන්.
මෙතැනදි කොටස් මිල / ඉපැයුම් අනුපාතය ඉහළ ගොස් ඇති නිසා දැන් අලුත් සමාගම්වලටත්
කොටස් වෙළෙඳපොළට දෙපාරක් නොසිතා ඇතුළු වෙන්න පුළුවන්. වෙලාව ඇවිල්ලා තියෙනවා. අපි
ඔවුන්ට එන්න ආරාධනා කරනවා. අනුබල දෙනවා. මොකද මේ රටේ ව්‍යාපාරවල වර්ධනය මේ රටේ
ආර්ථිකයේත් වර්ධනය වන නිසා.
මං කීවා වගේ තව හුඟක් අයට කොටස් වෙළෙඳපොළට එන්න පුළුවන්. හුඟක් රටවල්වල වනිතාවන්
ගෙදර ඉඳලම තමන්ගේ් කොටස් මිලදී ගෙන ලාබ ලබාගන්නවා.
අපේ වනිතාවෝ තාම ඒ ගැන උනන්දුවක් මදි. මේ වගේ තව හුඟක් කොටස්වලට කොටස් මිලදී ගැනීමට
තැරැව්කාර සමාගම්වලට ගිහින් මධ්‍යම තැන්පතු ක්‍රමයේ ගිණුමක් ආරම්භ කර කොටස් මිලදී
ගැනීම ආරම්භ කරන්න පුළුවන්. තම අනන්‍යතා පත්‍රයක් අරන් කොටස් වෙළෙඳපොළේ සාමාජික
ආයතන 21න් එකකට ගියාම මේ දැනුම ලෙහෙසියෙන්ම ලබාගන්න පු‍්‍රළුවන්.
යුද්ධය තිබූ කාලේ මේ රටේ තිබුණේ දරදඬු අර එක තැනට වෙච්ච දළඹු සමයේ ආර්ථිකයක්. දැන්
එහෙම නැහැ. සමනළයා වුණාම එකතැන ඉන්නේ නැහැ. තැනින් තැනට යන්න ඕන. කොටස් ගන්න ඕන
විකුණන්න ඕන. එතකොට තමයි කොටස් වෙළෙඳපොළ ඉතා ක්‍රියාශීලී වෙන්නේ දැන් මෙය
සිදුවෙමින් තිබෙනවා. අපි ලබන මාසේ සිංගප්පූරුවට ගිහින් ප්‍රධාන ආයෝජකයන් 100ක් එක්ක
කතාකරනවා.
මේ අවුරුද්ද මුල ගත්තම කොටස් වෙළෙඳපොළේ ඇතැම් දිනක පිරිවැටුප රුපියල් මිලියන 15යි.
ජනවාරි මාසයේ දිනක ආදායම මිලියන 18ට අඩු දවස් තිබුණා. අද එය මිලියන 1000යි.
ආර්ථික වර්ධනය ගැන ඔබ ඉතා සුබවාදීවයි කතා කරන්නේ?
ආර්ථිකය පැත්තෙන් අපට ලොකු ගමනක් යන්න පුළුවන්. මා හිතන්නේ අපි සිංගප්පූරුව ගැන කතා
කළාට සිංපගප්පූරුවට වඩා ආර්ථික ශක්තියක් ලබාගැනීමට විශාල සක්‍යතාවයක් මේ රටට
තිබෙනවා. ග්‍රාමීය කෘෂිකර්මාන්තයේ සිට මහා පරිමාණ කර්මාන්ත, සංචාරක කර්මාන්තය දක්වා
මේ හැකියාව විහිදී තිබෙනවා. දැන් ඒ හැකියාවෙන් ප්‍රයෝජන ගැනීම මේ රටේ ව්‍යාපාරික
පංතිය සතු වගකීමක් වෙනවා.
සංවාද සටහන - සරත් පෙරේරා
ඡායාරූපය – විපුල අමරසිංහ
|