පුතේ, කාර් එක ඔයාම තියාගන්න ලොකු වුණාම මා බලන්න එන්න
පුතේ,
කාර් එක
ඔයාම තියාගන්න
ලොකු වුණාම
මා බලන්න එන්න

විදුහල්පති ලබුතලේ සුදස්සන හිමි |
අශේන් පුතා වෙනදා විදිහටම අම්මටයි තාත්තටයි වැඳලා පාසලට ගියා. පාසල පටන් ගන්න පෙර
සුපුරුදු පරිදි යාළුවොත් එක්ක ටිකක් සෙල්ලම් කරන එක මේ වයසෙ කොලු පැටවුන්ගෙ
පුරුද්දක්නෙ. හැමදා වගේම නියමිත වෙලාවට පාසල පටන් ගන්න සීනුව නාද වුණා. එදා සඳුදා
දවසක්. උදෑසන රැස්වීමෙන් පස්සෙ කොලු පැටව් ටික එක්කෙනා පසුපස එක්කෙනා පන්ති කාමරවලට
ඇදුණා.
දඟකාර වයසේ පසුවන මේ කොලු පැටව් ටික හිස් පහත් කරගෙන නිහඬවම පේළියට පන්තිවලට ඇදෙන
හැටි බලා ඉන්න හරි අපූරුයි. මුළු පාසල පුරාම තිබුණෙ හරිම හික්මීමක්. අශේන් පුතාත්
යාළුවො එක්ක පන්ති කාමරයට පිය නැගුවෙ හරිම සතුටින්.
පිරිමි ළමයින් පන් දහසක් පමණ සිප්සත ලබන මේ විදු පියස ගම්පහ බණ්ඩාරනායක
විද්‍යාලයයි. අශේන් පුතා ඉගෙන ගන්නේ 6 වැනි ශ්‍රේණියේ.
පහුගිය වසරෙ ශිෂ්‍යත්ව විභාගයෙන් හොඳට ලකුණු අරන් පාස්වෙලයි පුතා බණ්ඩාරනායකයට ආවෙ.
පුතා මේ පාසලට ඇතුළත් කර ගන්න එක අශේන් පුතා ගෙ අම්මාටයි තාත්තටයි ලොකු
බලාපොරොත්තුව වෙලා තිබුණා. ඒ බලාපොරොත්තුව සඵල කරමින් ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල
අනුව පුතාට මේ පාසලට එන්න ලැබුණා.
බණ්ඩාරනායක විදුහලේ මෙතෙක් හයවැනි ශ්‍රේණිය සඳහා පැවැත්වුණේ පන්ති අටක් පමණයි.
පාසලට තියෙන දැඩි සිසු ඉල්ලුම නිසාම හය වසරේ පන්ති සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාවක්
ආවා. ඒ යෝජනාව සැබෑවක් බවට පත් කළේ පාසල් ආදි ශිෂ්‍ය සංගමයයි.
ඒ අනුව හයවැනි ශ්‍රේණියට අලුතින් ‘අයි’ පන්තිය එකතු වුණා. අශේන් පුතා ඉගෙනුම ලැබුවෙ
මේ ‘අයි’ පන්තියේයි.
විදුහලේ විදුහල්පති ලබුතලේ සුදස්සන හිමි ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ වත්මන්
දියුණුව පසුපස සිටින යෝධ ශක්තිය යැයි කීවොත් එය නිවැරැදි යි.
පිරිමි ළමයින් සඳහා ගම්පහ ප්‍රදේශයේ ඇති විශිෂ්ටතම පාසල බවට මේ පාසල පත්වුණේ
උන්වහන්සේ ගේ අප්‍රතිහත ධෛර්ය නිසයි. විද්‍යාලය සංවර්ධනය වෙමින් නවාංග එකතු වෙද්දී
දරුවන් සඳහා පිහිනුම් තටාකයක් ඉදිකිරීම විදුහල්පති හිමියන්ගේ සිතට පිළිපන් අලුත් ම
අදහස වුණා.
ඒ අදහස ක්‍රියාවට නංවන්න පාසලේ ගුරු භවතුන්, මව්පියන් සහ ආදි සිසුන් විදුහල්පති
හිමියන්ට අතහිත දුන්නා.
කෝටි ගණනක් වැය වන මේ කටයුත්ත තමන් විශ්‍රාම ගැනීමට පෙර ඉවරයක් කර ගැනීම විදුහල්පති
හිමියන් ගේ අදිටන වුණා.
ඒ සඳහා උන්වහන්සේ දිවා රෑ නොබලා වෙහෙසුණා. ක්‍රමෝපායන් සෙව්වා.
අවසානයේ උන්වහන්සේ තීරණයක් ගත්තා. ඒ තීරණය වුණේ තමන් සතු පෞද්ගලික මෝටර් රථය සුපිරි
ත්‍යාගය ලෙසින් නම් කර පිහිනුම් තටාකය තැනීම සඳහා අරමුදල් රැස්කර ගැනීමට ලොතරැයියක්
පැවැත්වීමයි. විදුහල්පති හිමියන්ගේ සිත කෙතරම් සංවේදී එමෙන්ම අධිෂ්ඨානශීලි ශක්තිමත්
එකක් දැයි කාටත් අවබෝධ වුණා.
උන්වහන්සේ ගේ පරිත්‍යාගශීලීත්වයත් අධිෂ්ඨානයත් සනිටුහන් කරමින් මේ ලොතරැයිය
අධිෂ්ඨාන ලොතරැයිය ලෙස නම් කෙරුණා. පාසල් ආදි ශිෂ්‍ය සංගමයේ නොමඳ සහයෝගය මේ
වෙනුවෙන් ලැබුණා. පාසල් සංවර්ධන සමිතිය, ගුරු මණ්ඩලය සහ දරුවන් ද සමඟ එක්ව මේ
අධිෂ්ඨානය ජය ගැනීමට විදුහල්පති හිමියන් පෙරුම් පිරුවා.

අශේන් පුතා |
අධිෂ්ඨාන ලොතරැයිය එහි අරමුණ සාක්ෂාත් කරලමින් පළාත පුරා ජනපි‍්‍රය වෙමින් දහස්
ගණනින් අලෙවි කෙරුණා.
පාසල් සිසු දරුවන්, ගුරුවරුන්, මව්පියන්, අපේ ආදි ශිෂ්‍ය සංගමය සහ ප්‍රදේශවාසීන් මේ
සඳහා නොමඳ සහයෝගයක් ලබා දුන්නා.
මේ සියලු දේ සිදුවෙන්න වැඩි කාලයක් ගතවූයේ නැහැ. අවසානයේ, අධිෂ්ඨාන ලොතරැයිය දිනුම්
අදින දිනයත් උදාවුණා. ඒ පසුගිය 27 වැනි ඉරිදා. විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී
ලොතරැයිය දිනුම් අදිනු ලැබුවා. මේ සුපිරි ත්‍යාගය දිනාගත් වාසනාවන්තයා වුණේ අප
මුලින් සඳහන් කළ අශේන් පුතායි.
සුපිරි ත්‍යාගයට හිමි අංකය සහිත ලොතරැයි පත තමා සන්තකයේ ඇති බවක් පසුගිය සඳුදා
උදෑසන පාසල් එනතෙක්ම අශේන් පුතා දැන ගෙන සිටියේ නැහැ.
පන්තියට පණිවිඩය ලැබෙන වෙලාවෙ ‘අයි’ පන්තියේ පුතාලාට උගන්වමින් තිබුණෙ විද්‍යාව
පාඩම. ගුරුවරයා කෙරෙහි යොමු කරගත් අවධානයෙන් යුතුව සිටි අශේන් පුතා ගේ අවධානය
බිඳුණෙ පන්තියට පැමිණි ‘සර්’ කෙනෙක් නිසයි. ‘සර්’ ටිකට් පොතක අංකය පවසා ඒ ගැන
විපරම් කළා.
අධිෂ්ඨාන ලොතරැයියේ සුපිරි ත්‍යාගය තමන් සතු ටිකට් පොතකට ඇදී ඇති බව අශේන් පුතා දැන
ගත්තේ ඒ වෙලාවෙයි. පුතාට ගෙදර යනකම් ඉවසුම් නැහැ. හැමදාම යන පාසල් වෑන් රිය මෙදා
නම් යන්නේ හරිම හෙමින් කියලා පුතාට හිතුණා. මේ ගැන අම්මටයි තාත්තටයි කියනකම් අශේන්
පුතාට ඉවසිල්ලක් තිබුණේ නැහැ. ගෙදර යනකොට අම්මා නම් ගෙදර ඇවිත්.
අශේන් පුතාගේ අම්මා ගුරුවරියක්. උගන්වන්නේ පුතාලගෙ මීගමුවෙ පිහිටි ගෙදර ආසන්න
පාසලක. චූටි මල්ලියාත් ගෙදර හිටියා. තාත්තා ගෙදර එන්නෙ හවස් වෙලානෙ.
 සුපිරි
ත්‍යාගයට හිමිවූ මෝටර් රථය |
අශේන් පුතා ගෙ අම්මා දීපානි ඉක්මනට පුතාගෙ තාත්තාට දුරකථන ඇමතුමක් දුන්නා. දැන්
තාත්තාත් දන්නවා සිද්ධිය. ගෙදර ආ ගමන් තාත්තා ළඟට පුතා දිව ගියා.
“තාත්තේ, සාදුගෙ කාර් එක ඇදිලා තියෙන්නෙ අපිට. ඒත් මේක සාදු ගෙ කාර් එකනෙ. අපි කාර්
එක සාදුට ම දෙමු තාත්තෙ” අශේන් පුතා තාත්තාට කිව්වා.
පුතා ගේ තාත්තා ඩී. ධර්මරත්න මහතා ගණකාධිකාරීවරයෙක්. පුතා ගේ කතාව අහලා තාත්තාට
පුදුමත් හිතුණා.
පුතා රථවාහනවලට දැක්වූයේ පුදුම ඇල්මක්. ඒත් තෑග්ගට ලැබුණු මෝටර් රථය ආපහු සාදුට ම
දෙමු කියනවා.
ඇත්තෙන්ම පිරිමි දරුවන් සෙල්ලම් කාර්වලටත් දක්වන්නේ පුදුමාකාර ඇල්මක්.
මේ වයසේ දරුවෙක් තමන්ගේ පාසල ගැනත් විදුහල්පති හිමි ගැනත් සිතා තෑග්ගෙන් තෑග්ග
උතුම් තෑග්ග ලෙස සලකා එය ආපහු පරිත්‍යාග කිරීමට සිතීම කාටත් පුදුමයක්.
“පුතාගෙ වාසනාවටයි මේ මෝටර් රථය ඇදුණෙ. පුතාට හරිම සතුටුයි. ඒත් එයා කියනවා මේක
සාදුගෙ කාර් එකනෙ අපි ඉස්කෝලෙටම දෙමු කියලා. අපි පුතාගෙ අදහසට විරුද්ධ වෙන්නෙ
නැහැ.” අශේන් පුතුගේ පියා පැවසුවා.
පසුදා උදෑසන පුතා පාසල් එනකොට පුතා එක්ක තාත්තාත් ආවා. ඇවිත් විදුහල්පති හිමියන්
මුණ ගැසී ත්‍යාගය ගැන පුතාගේ අදහස විදුහල්පති හිමියන්ට පැවැසුවා.

වැඩ නිම වෙමින් පවතින පිහිනුම් තටාකය |
විදුහල්පති හිමියන්ට දරුවා ගැන ඇතිවුණේ පුදුමාකාර දයාවක්. කරුණාවක්.
ඒත් උන්වහන්සේ දරුවාගේ අදහස ප්‍රතික්ෂේප කළා.
“පුතේ, මේ කාර් එක ඇදුණේ ඔයාට. දැන් ඒක අයිති ඔයාටයි. ඔයාට මේ වගේ පරිත්‍යාගයක්
කරන්න හිතක් පහළ වීම ගැන මට හරි සතුටුයි.
ඒත්, මේ කාර් එක ඔයා තියාගන්න. හොඳට ඉගෙන ගන්න. ලොකු වුණාම මා බලන්න එන්න.” යැයි
උන්වහන්සේ අශේන් පුතාට කිව්වා.
අවසානයේ අශේන් පුතා ගෙ තාත්තා තීරණයක් ගත්තා. පිහිනුම් තටාක අරමුදල සඳහා මුදල්
පරිත්‍යාගයක් කිරීම ඒ තීරණයයි.
තම පාසලට ආදරය කරන, පුංචි අවදියේ සිටම පරිත්‍යාගශීලීත්වය ඉගෙන ගත් පුංචි අශේන් ගේ
කතාව මුළු පාසල පුරාමත් ඉන්පසු ප්‍රදේශය පුරාමත් පැතිර යෑමට වැඩි වේලාවක් ගත වුණේ
නැහැ.
ඉදිරි දිනයක දී පාසලේ පැවැත්වෙන පුංචි උත්සවයකදී මෝටර් රථය අශේන් පුතුට බාර දෙන්න
දැන් කටයුතු සිදුවෙමින් පවතිනවා.
ඉතින් අශේන් පුතේ, ඔයා පුංචි සන්දියේ මේ පරිත්‍යාගශීලී ගුණාංග ඒ විදිහටම රැකගෙන තම
පාසලටත් එතැනින් ගමටත් රටටත් ජාතියටත් වැඩදායී උදාර පුත්‍රයකු වෙන්න කියා අපත් ඔයාට
සුබ පතනවා.
සේමාලි කැල්ලපත
පිංතූර - සමන්ත වීරසිරි
|