උස්සන්ගොඩ පිටසක්වළ ජීවින්ගේ
උස්සන්ගොඩ
පිටසක්වළ ජීවින්ගේ
නවාතැන් පොළක්?

මාතර බත් කඩයෙන් ඇඹුල් තියල් මාළුවක් ද කටට සැර ගෙනෙන පොල් සම්බෝලයක් ද සහිත කැකුළු
බත් පිඟාන වහා ගිල දැමු අපි කතරගම දෙසට ගමන් ඇරැඹීමු.
මඟ පිරි සොඳුරු දසුනින් දෙඇස
පුරවා ගනිමින් ද ඒ මඟ වූ බොහෝ දේ ගැන කතා බහ කරමින් ද නෝනාගමට ළඟා වන විට හැන්දෑවට
අත වනන කහ පැහැති වලා පෙළ අහස් වියන සරසමින් තිබිණි. නෝනාගම මන්සන්ධියේදී තවත්
අපූරු ගමනක් යාමට මාතරදීම කතාබහ කරගත් අපි ඒ සොඳුරු මඟ සොයා ඉදිරියටම ඇදුණෙමු.
“මේ අර උස්සන්ගොඩ කන්දට යන්නෙ කොයි පාරෙන් ද මාමෙ”
පිටපලු ලෑලිවලින් ගසා තිබු අපූරු බංකුවේ වාඩි වී උන් තලස්තෑනී පුද්ගලයාට එය එකවර නො
ඇසුණ ද ඔහු දෙවැනුව ඊට කදිමට පිළිතුරක් ලබා දුන්නේ සිනා පිරුණු මුහුණිනි.
ඔහුගේ උපදෙස් පරිදි අපි රතු පැහැති කෙටි සොඳුරු ගුරු පාරට වැටුණෙමු.
ලා පැහැති පස ක්‍රමයෙන් තද රත් පැහැවී දැන් කුණු ලේ පාටට ම හැරවී තිබෙන මේ ගුරු
පාරේ තවත් දුර යා යුතුව තිබිණි. විනාඩි කිහිපයක ගමන සුවදායක නවාතැන් පොළකට අප ඇරලවා
ඇති අපූරුව...
උස්සන්ගොඩ
බොහෝ සංචාරකයනට අමතකව ගිය අභිරහස් සොඳුරු බිම් තීරයට අපි දැන් පය ගසා සිටින්නෙමු.
නවසීලන්තයේ විශාල තෘණ භූමියක ආකෘතිය ගන්නා මේ සොඳුරු බිම සැබැවින්ම කෙතරම් ආකර්ෂණීය
ද?
මේ බිම් තීරයටම ආවේණික වූ කෙටි බිම් තණ විශේෂයකින් පස ආවරණය වූ උස්සන්ගොඩ සුන්දර
කඳු ගැටයක පිහිටි විශාල තැනිතලාවක්.

උස්සන්ගොඩ බිමෙහි ඇති පාෂාණ විශේෂයක් |
විවිධ මතිමතාන්තරවලින් පිරී ගිය අතීතයකට
උරුමකම් කියන මේ අද්භූත භූමියේ දෑස අදහාගත නොහැකි බොහෝ දෙයින් පිරී පවතින්නේ හරිම
අපූරුවට. මේ භූමියේ පස තද රතු පැහැයක එසේත් නොමැතිනම් කුණු ලේ පැහැයක් ගන්නවා.
තෘණ විශේෂ තැනිතලාව පුරා දිව ගියත් ඇතැම් තැන්වල කිසිදු ශාකයක් හටගන්නේ නැහැ. මුහුද
දෙසට නෙරා ගිය මේ කඳු ගැටය ඇතැම් කාලවලදී සංචාරක පක්ෂීන්ගේ පාරාදීසයක්. තවත්
විටෙකදී අපේ රටේ කොතැනකදීවත් හමු නොවන ශාක වර්ග මේ පිටියේදී දක්නට පුළුවන්.
පිටසක්වළ ජීවීන් සමඟ සෘජු සබඳතාවයක් පවත්වා ගන්නා බිමක් ලෙස හඳුන්වන උස්සන්ගොඩ වටා
ගෙති ඇති ජනකතා බොහෝමයි. හනුමන්තා ගෙන ආ බෙහෙත් කන්දෙන් පතිත වූ තවත් කුඩා
කැබැල්ලක් ලෙසටත් ගැමියන් උස්සන්ගොඩ හඳුන්වා දෙනවා.
අපේ රටේ අති දුර්ලභ ඖෂධ වර්ග
රැසක් මේ අද්භූත විස්මය ජනක බිමෙහි දකින්න පුළුවන්. ඉහත ජනකතාවට ඔවුන් මේ ඖෂධ
සාක්ෂි ලෙස ගොනු කොට ගන්නේ හරිම අපූරුවට.
උස්සන්ගොඩ තැනිතලාව පුරාවට තවත් සුවිශේෂි ගල් විශේෂයක් දක්නට ලැබෙනවා. අර්ධ ලෙස
උණුවී වෙනස් හැඩයක් ගත් පාෂාණ ලෙස පෙනී ගියත් තවත් විටෙකදී මේ පාෂාණ රතු පැහැය
උසුලන පස් එක්වී සැදුණු බවයි පෙනෙන්නෙ.
ඔබ පුදුමයටත් ආස්වාදයටත් පත් කරන මේ සොඳුරු බිම් තීරයේ සොඳුරු දසුන් බොහොමයක්
එක්තැන් වී තිබෙන්නේ හරිම අපූරුවට. රතු පැහැති පසත්, ඒ මත වන අද්භූත පාෂාණත් ඒ වටා
බැඳුණු ජනකතාත් අසමින් දැන් ඔබ පිවිසෙන්නේ තැනිතලාවේ ඉම වෙතටයි.

උස්සන්ගොඩට අධ්‍යාපන චාරිකාවක ආ සිසුන් පිරිසක්
|
මුහුද දෙසට නෙරා ගිය මේ තැන්නේ සිට මුහුද දෙස බැලීමත් නැවත තැනිතලාවේ මහා කෙළවර
දිහා බැලීමත් දැන් ඔබට හැකියි. ඔබ මීට පෙර කිසිදු අවස්ථාවක නොදුටු ඉන්දියන් සාගරයේ
සොඳුරු මනරම් දසුන් දැන් ඔබට පෙනෙනවා නියතයි. උස්සන්ගොඩ දෙසට ගලා එන මුහුදු රළ ඈත
මුහුදේ සිට බිඳී විසිරෙන අපූරු චිත්‍රය දැන් ඔබේ නෙත් වසා ගනිවී.
බලන්න... කොතරම් සොඳුරු ද මේ දසුන්? සොබාදම් මාතාව මැවූ අප වෙනුවෙන්. උස්සන්ගොඩ
තැනිතලාවේ මුහුද දෙසට වන්නට පිහිටි කෙළවරේ පැයකට ආසන්න කාලයක් මුහුද දෙසට නෙත් යොමා
සිටියහොත් ඔබට මුහුදු දියණිය කොතරම් සුන්දර නර්තනයක යෙදෙනවාදැයි බලාගන්නට කදිම දුලභ
අවස්ථාවක් හිමි වෙනවා.
ඇතැම් විට දී මේ සොඳුරු දසුන් අපට ඇස ගැටෙන්නේ ජීවිතයේ එක්
වතාවක් පමණක් වෙන්නටත් පුළුවන්.
මේ තණබිමට වරින් වර පැමිණෙන අනේකවිධ පක්ෂින්ගේ
රාවයත්, මුහුදු සුළඟ දිගේ ගොඩබිම වෙතට ඇදෙන භූමිය වසා ගත් ශාකයන්ගේ පිපි මල් සුවඳත්
විඳිමින් පැය කිහිපයක් මේ අභිරහස් බිමෙහි ගත කරන්නට ඔබට පුළුවන්.
ඒ වගේමයි. දරු දැරියන් සමඟ එක් දිනක් ගත කරන්නට ද මේ සොඳුරු බිම කදිමයි.
ලොව පුරා පරීක්ෂකයන්ගේ නෙතු යොමුවූ උස්සන්ගොඩ ලස්සන බලන්න ඔබත් එන්න. කතරගම යන
අතරතුරදී මේ බිමට ගොඩ වෙන්න. පෙර ඔබ කිසිදා නොදුටු, නෙත් මවිත කරන දසුන් මේ බිමේ
ඕනෑ තරම්. ඒ ඔබ වෙනුවෙන්.
චතුර ගීතනාත් බණ්ඩාර
ඡායාරූප -
සමන්ත වීරසිරි
|