තදියමේ රහස

 
 

කුරේ පසුපස විදෙස් හස්තයක්!

 
 

මට ටිකක් අමාරුයි පැන්ෂන් එක වැඩි කරලා දෙන්න

 
 

මම තොරතුරු තාක්‍ෂණය උපරිම ලෙසින් යොදා ගන්නවා

 
 

කොළඹින් පිටට යන්නේ පිටින් කොළඹට ආ කුණු

 
 

කලාවට මං හරිම කැමැතියි

 
 

ජපන් ගොවීන් සමග අපි ගොයම් කැපුවා

 
 

තොරතුරු තාක්ෂණ සිසුනට EXETEL ශිෂ්‍යත්ව

 
 

වසන්තය මුලතිව් දෙසට

 
 

ටිකිරි හමුව

 
 

මධු කුසලාන

 
 

දේපළ තණ්හාවට නංගී අයියාට වින කරලා

වසන්තය මුලතිව් දෙසට

වසන්තය මුලතිව් දෙසට

උතුරු වසන්තය වැඩ සටහන දැන් උතුරේ දිස්ත්‍රික්ක පහේ සෑම ග්‍රාම නිලධාරී වසමක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.

උතුරු වසන්තයෙන් මුලින් ම අවධානය යොමුවූයේ යාපනය, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවල වාරිමාර්ග, විදුලිය, නිවාස පහසුකම් ලබාදීම කෙරෙහිය.

දැන් උතුරු වසන්තය වැඩ සටහනේ වැඩි අවධානය යොමුවී ඇත්තේ මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල සංවර්ධන වැඩ කටයුතු කෙරෙහිය.

ඒ ප්‍රදේශවල බිම් බෝම්බ ඉවත් කිරීමෙන් පසු විදුලිය ලබාදීමේ කටයුතු හා වාරිමාර්ග පහසුකම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

මන්නාරම යෝධ වැවේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු

ඒ ප්‍රදේශවල ජනතාව යළි පදිංචි කිරීම ඉක්මනින් කළ යුතු දෙයකි. මේ පිළිබඳව ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ද දැඩි අවධානය යොමු කළේය. ඒ අනුව උතුරු වසන්තය පිළිබඳ කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මුලතිව් හා කිලිනොච්චි ප්‍රදේශවල සංවර්ධන කටයුතු අරඹා ඒවා ශීඝ්‍ර ලෙස ක්‍රියාවට නැංවීමට වැඩපිළිවෙළක් ඇරැඹුවේය. ඒ පිළිබඳ මූලික සාකච්ඡාවක් මුලතිව් කිලිනොච්චි ප්‍රදේශවල නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පසුගියදා වවුනියාවේදී පවත්වනු ලැබීය.

කිලිනොච්චි හා මුලතිව් ප්‍රදේශ සංවර්ධනයට උතුරු වසන්තය වැඩ සටහන රුපියල් කෝටි 100 කට වැඩි මුදලක් වැය කරයි.

මාන්කුලම්, කනගරායන්කුලම්, පරන්තන් ප්‍රදේශවල නව පොලිස් ස්ථාන පිහිටුවනු ලැබේ. ඒවාට විද්‍යුත් දුරකථන සබඳතා පවා ලබා දෙනු ඇත. ඒ සමගම කිලිනොච්චි ප්‍රදේශයේ කෘෂි කාර්මික ප්‍රශ්න විසඳීමට වාරි ජලය ලබාදීමට රුපියල් ලක්ෂ 200 ක් ලබා දෙනු ලැබේ.

ත්‍රස්ත ක්‍රියා නිසා හානියට පත් මුලතිව් දිසාවේ සතොස ගොඩනැගිලි ආහාර ගබඩා සමූපකාර ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීමට රුපියල් ලක්ෂ 175 ක් වෙන්කර තිබේ.

බිම් බෝම්බ ඉවත් කරන අයුරු.

කිලිනොච්චි ප්‍රධාන සමූපකාර සමිතිය සහ එහි ශාඛා ප්‍රතිසංස්කරණය කිරීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 200 ක් ලබාදීමට ද කිලිනොච්චි දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධනයට රුපියල් ලක්ෂ 500 ක් ලබාදීමට ද මෙම රැස්වීමේදී එකඟත්වය පළවිය. මීට අමතරව කිලිනොච්චියේ කෘෂිකාර්මික සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 300 ක් ලබාදීමට ද නියමිතය. ත්‍රස්තවාදී ගැටුම් හේතුවෙන් හානියට පත් මුලතිව් දිස්ත්‍රික්කයේ පිහිටි සියලු පාසල් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් ලක්ෂ 400 ක් වෙන් කෙරේ.

දින 14 ක් ඇතුළත චලෙයි ප්‍රදේශයේ විදුලිය පහසුකම් නංවාලන අතර ප්‍රදේශයේ කෘෂිකර්ම හා ගොවිජන සේවා සංවර්ධන කටයුතු සඳහා ලක්ෂ 250 ක් ලබා දෙන බවත් බැසිල් රාජපක්ෂ මහතා එම සාකච්ඡාවේදී පැවැසීය.

කිලිනොච්චි නගරයේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයක් ද මුලතිව් නගරයේ සහකාර පොලිස් අධිකාරි කාර්යාලයක් ද ස්ථාපිත කිරීමට එහිදී තීරණය විය.

මුලතිව් දිස්ත්‍රික්කයේ වාරිමාර්ග ව්‍යාපෘතිවල වැඩ අවසන් කිරීම සඳහා රුපියල් ලක්ෂ 580 ක් ලබා දෙනු ලැබේ. කිලිනොච්චි දිස්ත්‍රික්කයේ වාරිමාර්ග හා වැව් ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා රුපියල් ලක්ෂ 180 ක් ලබාදීමට ද යෝජිතය. මීට අමතරව කිලිනොච්චි දිස්ත්‍රික්කයේ අධ්‍යාපන කටයුතු සංවර්ධනය කිරීමට රුපියල් ලක්ෂ 500 ක් ලබාදීමට ද එම නිලධාරී සාකච්ඡාවේදී තීරණය විය.

සහන ගම්මානවල සිටි මහලු හා කුඩා දරුවන් 5000 ක් පමණ දෙනා ඔවුන්ගේ පැරැණි ගම් බිම් කරා යවා ඇත. ඒ අයට මාස 6 කට සරිලන වියළි ආහාර හා නිවාස උපකරණ ලබාදීමට ද පියවර ගෙන තිබේ. ආපදා සහන සේවා හා නැවත පදිංචි කිරීම් අමාත්‍යාංශය මෙන්ම ලෝක ආහාර වැඩ සටහන ඊට සහාය දක්වයි.

උතුරේ සහන ගම්මානවල ජනතාව වෙනුවෙන් ජපානය සහ අමෙරිකාව විසින් පරිත්‍යාග කරන ලද ආහාර ද්‍රව්‍ය, බැසිල් රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාරදුන් අවස්ථාව. අමෙරිකාවේ ශ්‍රී ලංකා නියෝජිත ජේම්ස් ආර්. මුවර්, ලෝක ආහාර වැඩසටහනේ ශ්‍රී ලංකා නියෝජිත අද්නන් ඛාන්, ජාතිය ගොඩනැඟීමේ හා වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව්.කේ.කේ. කුමාරසිරි මහතා ද මෙහි වෙති.

මේ අතර උතුරු වසන්තය වැඩ සටහනට දැන් දෙස් විදෙස් ආධාර ක්‍රමයෙන් ගලා එන්නට පටන් ගෙන තිබේ. ඒ අනුව පසුගියදා ජපන් රජය හා අමෙරිකා එක්සත් ජනපදය රුපියල් දස ලක්ෂ 2433 ක් වටිනා ආහාර ද්‍රව්‍ය තොගයක් පරිත්‍යාග කළේය.

මේ ආහාර තොගයට, ජපාන රජය පරිත්‍යාග කළ රුපියල් දස ලක්ෂ 833 ක් වටිනා සහල් මෙට්‍රික් ටොන් 6300 ක් ද, ටින් මාළු මෙට්‍රික් ටොන් 130 ක් ද ඇතුළත් විය. රුපියල් දස ලක්ෂ 1600 ක් වටිනා තිරිගු පිටි මෙට්‍රික් ටොන් 14700 ක්, එළවළු තෙල් මෙට්‍රික් ටොන් 1040 ක් පරිප්පු මෙට්‍රික් ටොන් 3750 ක් අමෙරිකාව පරිත්‍යාග කළ ආහාර අතරවෙයි.

මෙවර මඩු වන්දනාවට වසර 30 කට පසු පූර්ණ පහසුකම් සලසා තිබිණි. ඒ අනුව මඩු දේවස්ථානයට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව තකා රුපියල් ලක්ෂ 1245 ක වියදමින් යටිතල පහසුකම් රැසක් උතුරු වසන්තය මගින් ක්‍රියාත්මක කර තිබිණි. මඩු ප්‍රදේශයට ස්ථිර විදුලි බලයක් ලබාදීමට විදුලි බල මණ්ඩලය රුපියල් ලක්ෂ 60 ක් වැය කළේ ය.

ඒ සමඟම මහාමාර්ග විදුලිය සන්නිවේදන පානීය ජල, ප්‍රවාහන හා සෞඛ්‍ය ඇතුළු සියලු පහසුකම් ද සම්පූර්ණ කර තිබිණි. මඩු වන්දනාකරුවනට සපයා ඇති පහසුකම් පිළිබඳ සොයා බැලීමට උතුර වසන්තය කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා ද නිරීක්ෂණ චාරිකාවකට ද එක් විය.

වසර 30 කට පසු මෙවර නිදහසේ මරද මඩු වන්දනාවට ලක්ෂ 3 කට අධික පිරිසක් මැදවච්චිය හරහා මඩු ප්‍රදේශයට ගියහ.

මඩු අවට ප්‍රදේශවලත්, මන්නාරමේත්, යෝධ වැව අවටින් බිම් බෝම්බ ඉවත් කිරීම දැන් කරගෙන යයි. නිරීක්ෂණ චාරිකාවකට එක්වුණු බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේ බිම් බෝම්බ ඉවත් කිරීම ලෙහෙසි පහසු කාර්යයක් නොවන බවය. අවතැන්වූවන් ඉක්මනට පදිංචි කරවන ලෙස විදෙස් රටවල් කීවද ඒ අය බිම් බෝම්බ ඉවත් කිරීමේ අමාරුකම ගැන දන්නේ නැතැයි ද කීය.

කෙසේ වුවත් ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු අංශය මගින් ඉන්දීය සාවත්‍රී සමාගම, හොරයිසන් සමාගම ඇතුළු සමාගම් කීපයක සහාය ඇතිව බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු කරගෙන යයි.

බිම් බෝම්බ ඉවත් කිරීමට යොදාගන්නා සුවිශේෂ යන්ත්‍රයක්.

බිම් බෝම්බ ඉවත් කිරීමේ අසීරු බව දැක ගැනීමට එහි ගොස් ඒ කටයුතු දැක බලා ගත යුතු ය. ඒ සඳහා පුහුණු කළ සුනඛයන් හා අති නවීන යන්ත්‍ර සූත්‍ර යොදවා තිබේ. අපේ යුද හමුදා විශේෂඥයෝ මෙන් ම ඉන්දියාවේ යුද හමුදා විශේෂඥයෝ ද මේ කාර්යයේ නිරතව සිටිති.

මන්නාරමේ යෝධ වැව ව්‍යාපෘති ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ද දැන් ක්‍රියාවට නංවා ඇත. මන්නාරමේ යෝධ වැව ව්‍යාපෘතිය මගින් ප්‍රදේශයේ කුඹුරු අක්කර 30000 ක් අස්වැද්දීමට පුළුවන. අවට ජල හිඟයට ද විසඳුමක් ලැබේ. මේ යටතේ ඇළ මාර්ග 160 ක් පුනරුත්ථාපනය වේ. රුපියල් ලක්ෂ 3850 කින් ඉදිවන මේ ව්‍යාපෘතියෙන් ගොවි පවුල් 10000 කට සෙත සැලසේ. ලෝක බැංකු ආධාර මත ක්‍රියාත්මක මේ ව්‍යාපෘතිය මගින් වැව් බැම්ම අඩි 3 ක් ඉහළ නැංවේ. වැඩි ජල ධාරිතාවක් එම වැවේ රදවා ගෙන වියළි කාලයට ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කෙරේ. මන්නාරමේ දිස්ත්‍රික් සංවර්ධනයට පසුගිය කාලයේ රජය රුපියල් කෝටි 250 ක් වැය කර තිබේ.

ඇමෙරිකාව දෙවැනි වරටත් නැවත පදිංචි කිරීමේ පුද්ගලයන් සඳහා පසුගියදා තවත් රුපියල් දස ලක්ෂ 1500 ක් වටිනා ආහාර ආධාර රජය වෙත පිරිනැමීය. පරිප්පු එළවළු තෙල් ආදිය මීට අයත් ය. ජපානය ද නැවත පදිංචි කිරීමේ වැඩසටහනට දිගටම ආධාර කරයි.

පරිසර හා ස්වාභාවික සම්පත් අමාත්‍යාංශය මගින් උතුරු වසන්තය වැඩසටහන සඳහා ප්‍රධාන ක්ෂේත්‍ර 3 ක් ඔස්සේ ව්‍යාපෘති 50 ක් යෝජනා කර තිබේ. ඒ අනුව දින 180 න් ක්‍රියාත්මක වන ව්‍යාපෘති 25 ක් ද 2009/ 2010 මධ්‍යකාලීන වැඩසටහන යටතේ ව්‍යාපෘති 25 ක් ද ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇතැයි පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය පවසයි.

උතුරු පළාතේ වන සම්පත හා සත්ත්ව සම්පත සංරක්ෂණය කිරීම හා සංවර්ධනය කිරීම උතුරු පළාතට ආවේණික ස්වභාවික සම්පත් හඳුනා ගැනීම, සංරක්ෂණය සහ එම සම්පත් රටේ සංවර්ධන ක්‍රියාවලියට උපයෝගි කර ගැනීම ඒ අනුව සිදුකෙරේ. ඊට අමතරව පරිසර සංරක්ෂණ ක්‍රියාවලියේදී ප්‍රජා සහභාගිත්වය සහතික කිරීම හා එමගින් පරිසර සංරක්ෂණයේ ප්‍රතිලාභ ප්‍රජාවට ලබාදීම මෙන් ම උතුරු පළාතේ පරිසර දූෂණය අවම කර සුවදායි හරිත පරිසරයක් නිර්මාණය කිරීමට පියවර ගැනීම සිදු කරන බව පාරිසරික හා ස්වභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මින් දින 180 යටතේ ක්‍රියාත්මක කරන වැඩසටහන් අතර, උතුරු පළාතේ හරිත ගම්මාන 6 ක් ඉදිකිරීම ප්‍රධාන තැනක් ගනී. ඒ සඳහා අපේක්ෂිත වියදම රුපියල් ලක්ෂ 40 කි. ඒ සමඟම උතුරු පළාත ඇතුළත අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන හා කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන ස්ථාන ඇති කිරීම සඳහා රුපියල් ලක්ෂ 2000 ක් වැය කෙරෙනු ඇත.

නැවත පදිංචි කරන පවුල් 50000 ක් සඳහා වැඩි දියුණු කරන ලද කාර්යක්ෂම දැව උඳුනක් බැගින් ලබාදීමට හා පරිසර හා ස්වභාවික සම්පත් අමාත්‍යාංශය කටයුතු කරනු ඇතැයි එහි සැලසුම් අධ්‍යක්ෂ අජිත් ද සිල්වා මහතා පවසයි. ඒ සඳහා ලක්ෂ 250 ක් වැය කෙරේ.

ඒ සමඟම උතුරේ දිස්ත්‍රික්ක පහ පුරාම ගෙවතු 200 ක් පරිසර හිතකාමී ලෙස සංවර්ධනය කිරීමට කටයුතු කෙරේ.

පරිසර හිතකාමී ගොවි බිම් කට්ටි හෙක්ටයාර් 200 ක් ස්ථාපිත කිරීම, මන්නාරම කිලිනොච්චිය, මුලතිව්, යාපනය, වවුනියාව සඳහා අඩවි වන කාර්යාල 4 ක් ඉදිකිරීම සහ ප්‍රාදේශීය වන කාර්යාල 2 ක් ප්‍රතිසංස්කරණය කිරීම මෙන් ම උතුරේ වනාන්තර ප්‍රමාණය ඇස්තමේන්තු කිරීම ද මේ යටතේ සිදු කෙරේ.

ඒ සමඟම යාපනය, කිලිනොච්චි, මන්නාරම දිස්ත්‍රික්කවල පිහිටි මඩුපාර, චුන්ඩිකුලම්, අභයභූමි ජාතික වනෝද්‍යාන ලෙස වැඩි දියුණු කිරීමට කටයුතු යොදා ඇත. ඒවායේ සත්ත්ව හා ශාක ගහණ සුපෝෂණය කිරීමට ද කටයුතු කෙරේ.

අඩවි වන කාර්යාල 4 ක් ඉදිකිරීම සහ ප්‍රාදේශීය වන කාර්යාල 2 ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ලක්ෂ 170 ක වියදමක් දරයි.

ඒ සමඟම මඩුපාර චුණ්ඩිකුලම් අභයභූමි ජනතාව සඳහා විවෘත කිරීමට ද මඩුපාර චුණ්ඩිකුලම් සහ කෝකිලායි ප්‍රදේශවල නව වනජීවී අඩවි කාර්යාල ස්ථාපිත කිරීම ද සිදුකෙරේ.

ඛනිජ සම්පත් ගවේෂණය කිරීම සඳහා උතුරු පළාත සඳහා නව කලාපීය කාර්යාලයක් පිහිටුවීමට කටයුතු කරන අතර මේ සියලු වැඩකටයුතු ඇමැති පාඨලී චම්පික රණවක මහතාගේ පෞද්ගලික අධීක්ෂණය මත සිදුවේ.

මේ සියලු කටයුතු සඳහා රුපියල් ලක්ෂ 4200 ක මුදලක් වැයවේ යැයි ගණන් බලා ඇත.

මේ සියලු කටයුතු මගින් උතුරට වසන්තය මෙන් ම සියලු ජාතීන් සහෝදරත්වය, සුහදත්වය වර්ධනය වන, මුළු රටම සමෘද්ධිමත් කරන සංවර්ධන සංග්‍රාමයක් සිදුවන බව ද ජාතිය ගොඩනැඟීමේ ඇමැති එස්.එම්. චන්ද්‍රසේන ඇමැතිවරයා කීය.