කොළඹින් පිටට යන්නේ පිටින් කොළඹට ආ කුණු
කොළඹින්
පිටට යන්නේ පිටින් කොළඹට ආ
කුණු
පාරිසරික හා ස්වාභාවික සම්පත් ඇමැති පාඨලී චම්පික රණවක
උතුරු - නැඟෙනහිර ත්‍රස්තවාදීන් ගෙන් නිදහස් කර ගත් භූමියේ ඇති ඛනිජ වැලි නිධියේ
සිට සියලු ස්වාභාවික සම්පත් පාරිසරික ඇගැයීමකට ලක් කොට එම සම්පත් රටේ තිරසාර
සංවර්ධනයට යොදා ගන්නා බව ඇමැති පාඨලී චම්පික රණවක මහතා සිළුමිණට පැවසීය.
කුණු කසළ
ගැටලුවට ස්ථිර විසඳුමක් ලබාදීමට මෙන්ම එමඟින් කාබනික පොහොර නිපදවා වසරකට රුපියල්
මිලියන 200 කට අධික මුදලක් රටට ඉතිරි කැර දීමට සූදානම් බවත් හෙතෙම පැවසීය.
සිංහරාජ
වනාන්තරයේ සංචාරක හෝටලයක් ඉදිකිරීමට පරිසර අධිකාරිය අවසර දී ඇති බවට පවතින ප්‍රචාරය
අසත්‍යයක් බවත් ඉකුත් දා කිරිඳිවැල ප්‍රදේශයේ හට ගත් විරෝධය ද පදනම් විරහිත බවත්
ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කෙළේ සිළුමිණ සමඟ සංවාදයකට එක්වෙමිනි.
කුණු කසළ බැහැර කිරීමේ ප්‍රශ්නය කාලයක සිට එක තැන පල් වෙනවා. පරිසර අමාත්‍යංශයත්
නිහඬයි. මොකක්ද දෙන විසඳුම?
කුණු කසළ බැහැර කිරීම පාරිසරික අමාත්‍යංශයට අයිති කාර්යයක් නෙවෙයි. නීතිය අනුව කුණු
කසළ බැහැර කිරීමේ වගකීම පැවරෙන්නේ අදාළ නගර සභාවට හෝ ප්‍රාදේශීය සභාවටයි.
ඔවුන් ඒ
ක්‍රියාමාර්ග නොගන්නවා නම් අපිට පුළුවන් නීතිමය ක්‍රියාමාර්ග ගන්න. නමුත් පරිසර
අමාත්‍යංශය හැටියට කුණු කසළ ප්‍රශ්නය විසඳන්න ජාතික මට්ටමින් පරිසර අමාත්‍යංශයත්
ක්‍රියාත්මක වෙනවා.
කසළ සම්බන්ධයෙන් ලොකු ම අර්බුදය තියෙන්නේ කොළඹ නාගරික සීමාවේ බවයි පෙනෙන්නේ? මේ ගැන
පරිසර අමාත්‍යංශය මැදහත් නොවන්නේ ඇයි?
මීට හේතු කීපයක් බලපානවා. බොහෝ දෙනෙක් හිතනවා කොළඹ කුණු පිට ප්‍රදේශවලට ගෙනිහින්
දානවාය කියලා. නමුත් ඇත්තට ම සිද්ධ වෙන්නේ පිට ප්‍රදේශවල කසළත් කොළඹට පැමිණීමයි.
උදාහරණයක් හැටියට කොළඹ නගර සීමාවේ ජීවත් වෙන්නේ ජනගහනය ලක්‍ෂ 6 යි. නමුත් දවසකට
කොළඹට ඇතුළුවන පුද්ගලයන් ගණන ලක්‍ෂ 8 1/2 ඉක්මවනවා.
ඒ අය ගෙන එන අපද්‍රව්‍ය බැහැර
වෙන්නෙත් කොළඹ නගරයටමයි. අනිත් පැත්තෙන් කොළඹට එන ජනගහණය එදාට වඩා අද වැඩියි. ඒත්
කොළඹ නගරයේ කසළ ඉවත් කිරීමේ ක්‍රම දශක හයකින් පස්සේ වත් නවීකරණය වෙලා නෑ. මේ
සම්බන්ධයෙන් යම් පියවරක් ගත යුතු ව තියෙනවා.
මොකක්ද ගන්න යන පියවර?
ප්‍රධානම ප්‍රශ්නය තමා කසළ බැහැර කිරීමට ඉඩම් නැතිකම. මෙය උග්‍ර ප්‍රශ්නයක්. ලංකාවේ
පළාත් පාලන ආයතන 330 ක් තියෙනවා. අපි මේ අය කැඳවලා කසළ ප්‍රශ්නය විසඳිය හැකි වැඩ
පිළිවෙළක් හදලා අපි කිව්වා ඒ වෙනුවෙන් ව්‍යාපෘති යෝජනා ඉදිරිපත් කරන්න කියලා. එවිට
පළාත් පාලන ආයතන නියෝජිතයින් පෙන්වා දුන්නා ඔවුන්ට මුදල් හිඟය, දැනුම නැතිකම හා
තාක්‍ෂණය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙන බවට.
මේ ගැටලුවලට විසඳුම් දීලා ජාතික
ප්‍රතිපත්තියකට යන්න වැඩපිළිවෙළක් හැදුවා. 2012 වන විට කසළවලින් තොර ශ්‍රී ලංකාවක්
කියන තේමාව යටතේ ‘පිළිසරු’ වැඩසටහන ආරම්භ කළා.
මේ සඳහා රාජ්‍ය ආයතන බොහොමයක් ද
සම්බන්ධ කර ගෙන තියෙනවා. පළාත් පාලන ආයතනවලට උදවු කරන්න ඒ අයගෙන් ව්‍යාපෘති යෝජනා
ඉල්ලා හිටියත් 330 න් ඉදිරිපත් වුණේ 79 ක් විතරයි. මේක කණගාටුදායක තත්ත්වයක්.
පිළිසරු වැඩපිළිවෙළට මුදල් හොයා ගන්නේ කොහොමද?
ජාතික පාරිසරික බද්දෙන් ලැබෙන මුදල් තමා යෙදවෙන්නේ. ඒ කියන්නේ පරිසරය දූෂණය කරන අය
ගෙන් ම තමා පරිසරය පිරිසිදු කරන මුදලත් ලබා ගන්නේ. එහෙම නැතිව පාන් පිටි, සීනි වගේ
භාණ්ඩවල බදු වැඩි කරලා ඒ බර ජනතාවට පටවලා නෙමෙයි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙන්නේ.
පළාත් පාලන ආයතන මට්ටමින් කසළ බැහැර කිරීමේ ව්‍යාපෘති 100 මේ වසරේ ක්‍රියාත්මක
කරනවා.
පිළිසරු වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ මූලික අරමුණු තුනක් මතයි. කසල ඇතිවීම
වැළැක්වීම හා අවම කිරීම එකකි. කසල හැටියට එන දේවල් නැවත නැවත පාවිච්චියට පෙළඹවීම
දෙවැනි කාරණය. උදාහරණයක් හැටියට ගත්තොත් පොලිතින් මලු එක් වරකට වඩා පාවිච්චියට
ගැනීමට ජනතාව සූදානම් කිරීමයි. තුන්වැනි අරමුණ ප්‍රතිචක්‍රීයකරණය.
කසළ බැහැර කිරීමට සුදුසු ඉඩම් හිඟය උග්‍ර ප්‍රශ්නයක් බව ඔබ කීවා. එහෙම නම් කසළ කඳු
තියෙන තැන්වල තවත් ගොඩ ගැසෙනවා මිස විසඳුමක් එන ලකුණක් නෑ?
ඕක ප්‍රශ්නයක් තමයි. කසළ බැහැර කරන ඉඩම් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු ගණනාවක්
තියෙනවා. ඒවායේ තීන්දුව එනතුරු කර කියා ගන්න දෙයක් නැතුව ඉන්න වෙලා තියෙන්නේ.
නඩුවක් තියෙන නිසා කොළඹ බ්ලුමැන්ඩල් කුණු කන්ද තියෙන භූමිය වත් තවම රජයට පවරා ගන්න
බැරි වෙලයි තියෙන්නේ. මීට කලින් නාගරික සංවර්ධන අධිකාරිය සංවර්ධන කටයුතු සඳහා භූමිය
වෙන් කරලා තිබුණේ නෑ. මේකත් ප්‍රශ්නයක්.
පිටතින් කොළඹට දිනපතා කසළ එන බව ඔබ කීවත් බරපතළ චෝදනාවක් තියෙනවා කොළඹ කුණු පිට
ප්‍රදේශවලට පටවන්න හදනවාය කියලා?
දේශපාලන අගතිය නිසාත් ඔහොම බොරු බොරු ප්‍රචාර කරනවා. කිරිඳිවැල සිද්ධිය ඕකට හොඳම
උදාහරණයක්. කොළඹ කුණු කිරිඳිවැලට ගේන්න යනවාය කියලා මහා බොරු උද්ඝෝෂණ කරනවා.
ඔය
බොරු උද්ඝෝෂණ කරන අය වසංගත රෝගවලට, ඩෙංගු මරණවලට වගකියන්න ඕනේ. මම වගකීමකින් කියනවා
කිරිඳිවැලට මොන හේතුවක් නිසාවත් කොළඹ කුණු අරගෙන යන්න සූදානමක් නෑ.
අපි කිරිඳිවැල ඉඩමක් තෝර ගත්තේ ඒ ප්‍රදේශයේ කුණු කසළ බැහැර කරන්නයි. ඇත්තටම මෙය
ආදර්ශ ව්‍යාපෘතියක්. එතන සාර්ථකව කසළ බැහැර කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළා නම්
එය මුළු රටට ම හොඳ ආදර්ශයක් වෙනවා. නමුත් සමහරු අමූලික බොරු ප්‍රචාර මැද කොළඹ කුණු
අපිට එපා කියමින් ඒ වැඩපිළිවෙළ කඩාකප්පල් කරන්නයි උත්සාහ කෙළේ.
ප්‍රශ්නය හැටියට මතු වුණේ ඔය කියන කිරිඳිවැල භූමියේ තියෙන දැව සම්පත විනාශ කරන්න
යනවාය කියලයි?
ඒ ඉඩම් තියෙන්නේ ෆයිනස් සහ ඇකේෂියා දැව වගාවක්. ඒවා කොහොමත් කපලා ඉවත් කර ගන්නයි
වවන්නේ. එහෙම නැතිව දේශීය වටිනා දැව සම්පතක් ඔය කියන භූමියේ ඇත්තටම නෑ. සමහර තැන්වල
ෆයිනස් හා ඇකේෂියා වගාවන් ඉවත් කරන්න කියලා උද්ඝෝෂණ කරනවා. දැන් කිරිඳිවැල දී
කියන්නේ ඒවා කපන්න එපා කියලයි.
ඇත්තටම කිරිඳිවැල කරන්න යන්නේ කුණු කන්දක් ගොඩගහන්න
නෙවෙයි. පරිසර හිතකාමීව කසළ බැහැර කිරීම පිළිබඳ හොඳම ආදර්ශ වැඩසටහනයි එතන
ක්‍රියාත්මක කරන්න යන්නේ. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් ලබා ගන්නා මේ භූමියේ
හෙක්ටයාර් 25 ක් තියෙනවා. සමහරු කියනවා පහත් බිමක් තෝරා ගන්න කියලා.
එහෙම කළොත්
වැසි කාලයට බරපතල පරිසර දුෂණයක් ඇති වෙනවා. ඒකයි මම කියන්නේ මේවා දේශපාලන අගතීන් මත
කරන බොරු උද්ඝෝෂණ විතරයි. නමුත් මේ වගේ කිහිප දෙනෙක් නිසා රටට ඇති වෙන්නේ වැරැදි
පින්තූරයක්.
ඔය කියන ආදර්ශ ව්‍යාපෘති ගැන ජනතාවට එතරම් විශ්වාසයක් නැති නිසා උද්ඝෝෂණ මතු වෙනවා
වෙන්න බැරිද?
නෑ... බහුතරය නෙවෙයි නොයෙක් වාසි ගන්න සුළු පිරිසක් තමා ඔය බොරු උද්ඝෝෂණ කරන්නේ. මේ
වගේ ආදර්ශ ව්‍යාපෘති ක්‍රියාත්මක කරපු බොහෝ තැන් සාර්ථකයි. බලංගොඩ - හපුතලේ මාර්ගයේ
ගිහින් බලන්න ඒ පාරේ කුණු පොදක් දකින්න නෑ. තවත් ඒ වගේ ස්ථාන ගණනාවක සාර්ථක
ප්‍රතිඵල බලාගන්න පුළුවනි.
මීට කලින් ඔබ ප්‍රකාශ කරලා තිබුණා කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්ද මහා විනාශයක් බවට පත්
වෙන්නත් පුළුවන් කියලා. එවැනි අවදානමක් ගැන ක්ෂණිකව මැදිහත් නොවෙන්නේ ඇයි?
කොළඹ බ්ලූමැන්ඩල් කුණු කන්දේ මීතේන් වායුව විශාල වශයෙන් රැස්ව තියෙන්න පුළුවන්.
පායන කාලයකදී මේ මීතේන් වායුව ගිනි ගන්න ඉඩ තියෙනවා. එතකොට විනාශයක් වෙන්නේ. අනිත්
පැත්තෙන් කොළඹ රෝග පැතිරෙන්නත් මේක හේතුවක්. නමුත් අපිට පියවරක් ගන්න බැරි අධිකරණය
ඉදිරියේ නඩු ගණනාවක් පවරලා තියෙන නිසයි. හදිසි ජාතික කර්තව්‍යයක් හැටියට සලකා
තීරණයක් ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ.
කුණු කසළ කරදරයක් හැටියට පෙනුණත් ඒක සම්පතක් බවට පත් කරගන්න රටවල් ලෝකයේ තියෙනව.
ඇයි අපිට එහෙම වැඩපිළිවෙළක් නැත්තේ?
ඒ ගැන දැන් වැඩ කෙරීගෙන යනවා. කුණු කසල වලින් කාබනික පොහොර නිෂ්පාදනය කරනවා. මේ
මඟින් විශාල ප්‍රතිලාභයක් ලබන්න පුළුවන්. උදාහරණයක් හැටියට රසායනික පොහොරවලට යන
වියදම 1/3 ක් රටේ ඉතිරි කරගන්න පුළුවන්. මුදල්වලින් ගත්තොත් රුපියල් මිලියන 20,000
ක් රටට ඉතිරි කරගත හැකියි. පිළිසරු වැඩසටහන යටතේ ඉදිරියේ දී රටට ඒ ප්‍රයෝජන ලැබෙයි.
යාල වගේ ජාතික වනෝද්‍යානවල ජලය නැතිව සතුන් මැරෙන බවට වාර්තා පළ වෙනවා.
ගෝලීය උණුසුම නිසා ඇතිවන විපර්යාස අද දකින්න ලැබෙනවා. තායිවානයේ ඇති වුණ කාලගුණ
විපර්යාසය එක නිදසුනක්. අද අපේ රටේ රත්නපුර වගේ ප්‍රදේශවලට මහ වැසි ඇද හැලිලා
ගංවතුර තර්ජනයක් එල්ල වෙද්දී රටේ තවත් පැත්තක යාල, පානම වගේ ප්‍රදේශවල දැඩි නියඟයක්
දකින්න ලැබෙනවා.
ගෝලීය උණුසුම අපිට බලපාන ආකාරය ගැන තවත් නිදසුනක් තබා ඒ. ඇත්තටම
වෙහෙරගල ජල යෝජනා ක්‍රමය ක්‍රියාත්මක නොකළා නම් මීටත් වඩා දරුණු තත්ත්වයක් හටගන්න
ඉඩ තිබුණා. යාල වනෝද්‍යානයේ සතුන්ට විතරක් නෙවෙයි මිනිස්සුන්ට තමා බොන්න වතුර ටිකක්
නැති වෙන්න ඉඩ තිබුණා.
යාල වගේ තැන්වල සතුන්ට අවශ්‍ය වතුර සපයන්න වහාම ක්‍රියාත්මක වුණ බවත් කියන්න ඕනේ.
දැඩි නියඟය නිසා එහේ වැව් - ජල කඳුරු වගේ තැන් හිඳිලා ගියා. පිටතින් වතුර ගෙනැල්ලා
ඒ වලවල් හා වැව් පිරවීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා. ඒ වගේ ම අම්පාරේ පානම වගේ
ප්‍රදේශවල තිබෙන ජලය හිඟය මඟ හරවන්නත් විශේෂ කාර්ය සාධක බලකායේ උදවු ඇතිව ක්‍රියා
කළා.
මිනිස්සු අලි මරා දමනවා. අලි ප්‍රහාරවලින් මිනිස්සු මැරෙනවා. දැන් තත්ත්වය තවත්
උග්‍ර වෙලා?
අපේ වනාන්තර භූමිය ප්‍රමාණයේ හැටියට ඉඩකඩ සෑහෙන්නේ අලි 1200 ත් 2000 ත් අතර
ගණනකටයි. නමුත් දැන් වාර්තා වෙන්නේ අලි 6000 ත් 8000 ත් ප්‍රමාණයක් ඉන්නවාය කියලයි.
1900 වසර වෙන කොට තිබුණු වන සම්පත දැන් 23% ට පහළ බැහැලා. අලි - මිනිස් ගැටුම්
ඇතිවෙන්න මේකත් හේතුවක්. අනිත් පැත්තෙන් ඉස්සර මිනිසුන් වගා කළ කුඹුරු ඉඩම්වල අද
ජීවත්වෙන්නේ අලි.
අලින් සඳහා අලි මංකඩ යනාදිය අවහිර වීම නිසාත් ගැටලු පැන නඟිනවා.
දැනගන්න තියෙන විදියට අලි 1500ක් විතර ගම් ආශ්‍රිතව ගැවසෙනවා. මේ නිසා අලුත්
ප්‍රදේශ හඳුනාගෙන අලි සඳහා ඒ ප්‍රදේශ වෙන්කරන්න වෙනවා. මිනිසුන්ගේ ආරක්ෂාව සඳහා
තියෙන විදුලි වැට තවත් පුළුල් කරන්නත් පියවරෙන් පියවර ක්‍රියාකරමින් ඉන්න බවත්
කියන්න කැමතියි. ලබන වසර වනවිට විදුලි වැට කි.මී. 1000 දක්වා පුළුල් කරන සැලසුමක්
දැනටමත් ක්‍රියාත්මකයි.
උඩවලව වනෝද්‍යානයෙන් ඇත්පැටවුන් හොරකම් කරගෙන ගිය සිද්ධි කිහිපයක් අනාවරණය වුණා.
මේක අහඹු සිද්ධියක්ද? නැත්නම් කාලයක සිට කරගෙන ගිය ජාවාරමක්ද?
උඩවලව - හබරණ වගේ ස්ථානවලින් එවැනි සිද්ධි ගණනාවක් වාර්තා වුණා. ඒවා නතර කරන්න වහාම
ක්‍රියාමාර්ග ගත්තා. අනිත් පැත්තෙන් වල් අලි ගහණය ඉහළ ගියත් රටේ හීලෑ අලි ප්‍රමාණය
ඉතාම හිඟයි. මුළු හීලෑ අලි ගණන 135 දක්වා අඩුවෙලා.
විහාර දේවාලවල පෙරහැරවලට පවා අලි හොයාගන්න නෑ. සමහර අවස්ථාවල පෙරහර කරද්දී කරඬුව
වඩම්මවන්න දුන් ඇතුන් විකුණලා. දැන් ඒ ඇතුන් කොටන් අදින්න දාලා. මේ වගේ විෂමතා
ගණනාවක් තියෙනවා.
අපි බලාපොරොත්තු වෙනවා පින්නවල අලි අනාථාගාරය වගේ තැනක් තෝරාගෙන හීලෑ අලි 100කගේ
විතර සංචිතයක් හදලා අවශ්‍යතාව පරිදි අලි ඇතුන් ලබා දෙන්න.
බොහෝ ප්‍රදේශවල වනජීවී නිලධාරීන් හා රජයේ අනෙකුත් ආයතනවල නිලධාරීන් අතර බරපතළ
ගැටුම් ඇති වෙනවා. ඇතැම් ඇමැතිවරු ප්‍රසිද්ධියේ කිව්වා වනජීවී නිලධාරීන් සීමාව
ඉක්මවා ක්‍රියා කරනවාය කියලා?
නීතියේ ප්‍රශ්න තියෙනවා. සමහර විට දෙපාර්තමේන්තු දෙකක් අතර තියෙන විෂය සීමාව හා බලය
තවත් දෙපාර්තමේන්තුවක ක්‍රියාකලාපයක් එක්ක ගැටෙනවා. මේකයි හේතුව. එහෙම නීතියෙන්
ගැටෙන තැන් සංශෝධනය කරන්නත් අන්‍යොන්‍ය අවබෝධයෙන් වැඩ කරන්නත් සූදානම් වුණොත් ඔය
වැනි ගැටුම් ඇති වෙන්නේ නෑ.
සිංහරාජ රක්ෂිතය තුළ සංචාරක හෝටලයක් හදන්න පරිසර අධිකාරිය අවසර දී තියෙන බවට චෝදනා
නැඟෙනවා. මේක සිංහරාජ වනාන්තරයට තර්ජනයක් නෙවෙයිද?
ඔය චෝදනාව ඔප්පු කරන්න පුළුවන් නම් මම ඇමැති ධූරයෙන් හෙට ඉල්ලා අස්වෙනවා.
ඒ කියන්නේ සිංහරාජ රක්ෂිතයේ සංචාරක හෝටලයක් හදන්න අවසර දී නෑ?
ඔව් පැහැදිලිවම කියන්න ඕනේ. සිංහරාජ වනයේ හෝ රක්ෂිත ප්‍රදේශයේ හෝ සිංහරාජ පේරණ
කලාපයට අයිති වන කිසිම තැනක හෝටල් හදන්න අවසර දී නෑ. ඔය බොරුව ප්‍රචාරය කෙළේ
මාධ්‍යවේදීන් දෙතුන් දෙනෙක් විතරයි.
ත්‍රස්තවාදීන්ගෙන් උතුර නැගෙනහිර නිදහස් කර
ගත්තාට පස්සේ රජයට මෙතෙක් හිමි නොවූ විශාල භූමි ප්‍රදේශයක් නැවත එකතු වුණා. ඒ
ප්‍රදේශවල තියෙන ස්වභාවික සම්පත් ගැන තක්සේරුවක් ඇගැයීමක් සිදු කරලා තියෙනවද?
ඒ පිළිබඳව පාරිසරික ඇගැයීමක් කරන්න වැඩ කටයුතු යොදලයි තියෙන්නේ. උතුරු හා නැඟෙනහිර
පළාත්වල මුහුදු තීරයේ වටිනා ඛනිජ සම්පත් තිබෙනවා. ඒ වැලිකැටයේ සිට සියලු ස්වභාවික
සම්පත් පිළිබඳව ඇගැයීමක් කරලා රක්ෂිත නම් කරන්නත් ක්‍රියා කරනවා. මේ ප්‍රදේශවල වගේම
සමස්තයක් වගේම රටේත් තිරසාර සංවර්ධනයකට මුල පුරන වැඩපිළිවෙළක් අරමුණු කරගෙන
තියෙනවා.
සංවාද සටහන
කේ. සී .ජේ. රත්නායක
|