වටුවෝ පියාඹති

 
 

ශ‍්‍රී ලංකාව විශ්මිතයි!

 
 

සාත්තර වෙනස් කළ සූත්තර කාරයෝ

 
 

“මේ ආණ්ඩුවට, එල්ටීටීඊය වැනි සංවිධාන 10 ක් වුණත් මර්දනය කළ හැකියි”

 
 

ඌවේ යූ.ඇන්.පී.කාරයන්ට උණ හැදිලා වගේ

 
 

කවරයේ කතාව

 
 

තිස් වසරක් තිස්සේ කවියෙන් ජනයා පිනවන කවි චන්දරේ

 
 

ආසියාවේ ප‍්‍රථම ග්ලෝබල් එෆීස් සම්මානය ශ‍්‍රී ලංකාවට

 
 

මමයි මහත්තයයි ඉරිදා දවස්වලට බෙඩ් ෂීට් අරගෙන තැනින් තැන ගියා

 
 

“පොප් කිං” මවන පුවත්

 
 

ටිකිරි හමුව

 
 

ඇසළ අසිරිය

 
 

මගේ නම සුසී මං හිටියෙ ඉන්දියාවේ

වටුවෝ පියාඹති

එකල මෙන් මෙකලද පන්ති කාමරයේදී පාසල් දරුවන්ට පුංචි පුංචි කතා කියවන්නට ලැබේ. මේ පුංචි පුංචි කතාවල ලොකු ලොකු දේවල් අන්තර්ගත වී ඇත.

වටු වැද්දාගේ කතාව එවැන්නකි. ඒ කතාව දරුවන් දැන ගත්තේ ඉතා කුඩා කැලෑසිවල දී ය. වටු වැද්දාට එරෙහිව එක්සත් වූ අයුරු, ඉන්පසු තමන්ගේ රෑන මතට වැටුණු දැල ඔසවාගෙන ඈතට පියාඹා ගොස් වැද්දාට ගොදුරු නොවී නිදහස ලබාගත් අයුරු කියැවෙන ඒ පුංචි කතාව පුංචි උන්ට මතක ඇති මුත් ලොකු මහත් උදවිය කී දෙනකුට මතක තිබේදැයි නොදනිමු.

පාසල් පතපොත දැන් මොඩ්වෙලාය. දේදුනු පාට වෙලා ය. ඩිජිටල් වෙලාය, කොටින්ම ෆැන්ටසි විලාසිතාවක් බවට පත්වෙලා ය.

හාල් ගෝනියක් තරමට බර බෑග් එකක් පිටේ එල්ලාගෙන යාමට සිදුව ඇත. වටු වැද්දාගේ කතාව වැනි පුංචි පුංචි දේවල් ඒ බෑග් එකේ ඇත. වැඩිපුර තිබෙන්නේ මහා ලොකු දේවල් බව ඇත්ත ය. එහෙත් වටිනාම සහ වැදගත් ම දේ නම් මේ පුංචි පුංචි කතා ය.

අපේ රටේ වටු වැද්දා පසුගිය දා නන්දිකඩාල් කළපුවේදී ඝාතනය විය. එහෙත් ඒ නරුමයා අපේ ජනසමාජය මත එලූ දැලෙහි සුන්බුන් කොටස් සහ අන්තර්ජාතික ගැට තවමත් අපේ ගතෙහි දැවටේ.

මතුයම් දවසක වටු පැටවුන් රෑන ඒ සුන්බුන්වල පැටලී කරදරයට පත්වන්නට ඉඩ තිබේ. තැනින් තැන රටින් රට සැඟවී සිටින අවලම් දඩයම් කොල්ලන්ගේ කැටපෝල පහරට ගොදුරු වීමට ඉඩ තිබේ. එහෙයින් සියලු සුන්බුන් ඉවත් කිරීම කල් නො දැමිය යුතු ය.

වටුවැද්දාගේ කතාව හදිසියෙන්ම සිහිපත් වූයේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ ආරාධනය පරිදි පසුගියදා එක්රැස් වූ සර්වපාක්ෂික සමුළුව පිළිබඳ තොරතුරු දැනගන්නට ලැබීමත් සමඟය. ජනාධිපතිවරයා එහිදී පළ කළ අදහස් මසුරන් කෝටියක් වටී.

“අප අතර පවත්නා අසමානකම් ගැන නොව සමානකම් ගැන සිතන්නට කාලය පැමිණ ඇත. අතීතයේ නොහොඳ නෝක්කාඩු පසෙක තබා හොඳ හිත සමඟ පෙරට යන්නට සුදුසු කාලයයි මේ. බිදී ගිය සිත් යළි සැනසීමට නම් ප‍්‍රතිසංධානය හා සංවර්ධනය උදෙසා කටයුතු කළ යුතු ය.”

අවුරුදු තිහක් තිස්සේ අමානුෂික ත‍්‍රස්තවාදය අපේ රට විනාශ මුඛයට ඇදගෙන ගියේ අප අතර පවතින සමානකම් දෙස නොව අසමානකම් දෙස බලන්නට අප පෙලඹී සිටි නිසා ය. අනෙකාගේ මතයට ගරු කරන්නට තරම් නිහතමානී නොවූ නිසා ය. හොඳ හිත සහ සුහද බව වෙනුවට නෝක්කාඩු ඔසවාගෙන ගමන් ගත් නිසා ය.

මේ නිසා අප ඉදිරියෙහි පතිත වූයේ ආලෝකය නොව අන්ධකාරයයි. ත‍්‍රස්තවාදයට එරෙහිව මානුෂික මෙහෙයුම කි‍්‍රයාත්මක වන සමයේදී පවා වටුවන් අතර සිටි කාකයෝ කාක්... කාක් ගෑහ. එහෙත් කාකයන් පසෙකට තල්ලුකර වටුවෝ දැලත් ඔසවාගෙන ඈතට පියාඹා ගියහ.

නන්දිකඩාල් කළපුවේදී වැද්දා ඝාතනය වූ පසු උතුරු කරයේ මෙන් ම දකුණේ මිනිසුන්ට ද නිදහස ලැබුණේය. එසේ මානුෂික මෙහෙයුම සිදුවෙද්දී ද ඇතැම් කපුටෝ වටුවන්ගේ පියාපත්වලින් අදින්නට වූහ. අන්තර්ජාතික මෙන් ම ජාතික වශයෙන් ද කොටන්නට පටන් ගත්හ.

යුද්ධය ඉවර ය. වැද්දා ද ඉවරය. නැතහොත් වැද්දා ඉවරය. යුද්ධය ද ඉවරය.

එක් යුද්ධයක් ඉවරය. තව යුද්ධයක් පටන් ගත යුතුව තිබේ. ඒ ප‍්‍රතිසංධානය සහ සංවර්ධනයේ යුද්ධයයි.

එක් වුවහොත් ඒ යුද්ධය ජයගැනීම එතරම් අපහසු නැත. මන්ද වැද්දා නැති බැවිනි. දැල් පමණක් නොව දුනු ඊතල ද අසුවෙමින් පවතී.

නෝක්කාඩුව වෙනුවට හොඳ හිත පෙරට එනවිට, අසමානකම් වෙනුවට සමානකම් පෙනෙන විට, වැරැදි වෙනුවට හරි දේ දකින විට, අසුබවාදය වෙනුවට සුබවාදය මෝදුවන විට, අඳුර වෙනුවට ආලෝකය පතිත වනු ඇත. රට පෙරට යනු ඇත.

ඒක පාක්ෂික සමුළු වෙනුවට සර්ව පාක්ෂික සමුළු නිර්මාණය විය යුතු ය. දහසක් මත ගැටී නිවැරැදි මතය මතු විය යුතු ය.

පසුගියදා රැස්වුණු සර්වපාක්ෂික සමුළුව මෙවන් යහපත් ගමනක ශක්තිමත් කඩ ඉමක් ම වේවා.