 මේ ඔබට වෙන්වූ
දින කිහිපයයි
බොහෝදෙනා සිතුවේ “මානුෂික මෙහෙයුම” යන්න යොදා ගත්තේ “යුද්ධය” යන ගොරෝසු වචනය වසා
සුමට සළුවකින් ආවරණය කිරීමට කියාය.
එහෙත් සැබැවින්ම වන්නියේ තිබුණේ සාම්ප‍්‍රදායික යුද්ධයක් නොව මානුෂික මෙහෙයුමක් බව
අන්තවාදීන් කිහිපදෙනකුට හැර මුළු ලෝකයටම ප‍්‍රදර්ශනය වෙමින් පවතී.ලොව පැවතුන දා සිට
දියත්ව ඇති විශාලතම සහ වඩාත් සංවේදී මානුෂික මෙහෙයුම මෙයයි.
මේ මානුෂික මෙහෙයුම දියත් වූයේ අහිංසක දෙමළ වැසියන් කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් මුදා
ගැනීම සඳහාය. ඔවුන් වන්නියේ කොටු වී සිටියේ ඒ තිරිසනාගේ ප‍්‍රාණ ඇපකරුවන් ලෙසිනි.
ශාරීරික වද වේදනා, මානුෂික පීඩාව පමණක් නොව දරුවන් කිරි ඉල්ලා නඟන විලාපය ද වියපත්
වැඩිහිටියන් කුසගින්නෙන් නඟන කෙඳිරිල්ල ද තවදුරටත් ඉවසා දරා සිටිය නොහැකි තැන මේ
අහිංසක වැසියෝ ලක්ෂ ගණනින් තිරිසනුන්ගේ සීමාවේ සිට මිනිසුන්ගේ සීමාව දක්වා කඩා
බිඳගෙන දිව ආහ.
කුසගින්නේ හඬන දරුවාට කිරි පොදක් ඉල්ලාගෙන අම්මලා ආහ. දරුවා ඇකයට තද කරගෙන සැමියා
සමඟ පැමිණෙන විට කොටි වෙඩි පහරින් මියගිය සැමියා ඇගේ දෙපාමුල මැරී වැටිණි. ඒ මොහොතේ
ඈ දුන් විලාපය පටාචාරාවගේ විලාපයට වඩා දුක්බර වූ බවට සැකක් නැත.
දසමසකට ආසන්න කාලයක් කුස තුළ වැඩෙන දරුවා මෙලොව එළිය දකින්නට දඟලද්දී ඒ ගැනවත්
නොසිතා අහිංසක ගැබිනියන්ට ප‍්‍රභාකරන්ගේ තිරිසන් දේශයෙන් මිදෙන්නට කලපුවේ කරවටක්
ගිලි ගිලී පලා එන්නට සිදුවිය. මේ මානසික ආතතිය නිසාද, ගමන් වෙහෙස නිසාද විළිරුදාව
උත්සන්න වී මානව ශිෂ්ටාචාරයේ සංවේදී මෙන්ම ඛේදනීය සිද්ධියක් ලෙසින් තම දරුවන්
බිහිකරන්නට ඔවුන්ට සිදුවිය.
ඒ පහසුකම් ඇති රෝහලක, රෝහල් වාට්ටුවක සුවපහසු යහනක් මත නොවේ. පලා එන අහිංසක දෙමළ
වැසියන් ගෙන යන රළු බස්රථයක් තුළදීය. එතැන සිටි හමුදා සෙබළියෝ අසීමිත සෙනෙහසකින් මේ
බිළිඳුන් තුරුළු කරගත් දර්ශනය ඒ අහිංසක අම්මලාට ජීවිතයේ අත්විඳින්නට ලැබුණු මහා
අස්වැසිල්ල වූවාට සැක නැත.
එසේම ලෝක යුද වංශකතාවේ සටහන් වන අතිශයින්ම මානුෂීය කතා ප‍්‍රවෘත්තීන් බවට ඒවා
පත්වන්නට ඇතුවාට සැකක් නැත.
අනුරාධපුර රෝහල් වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටි අවතැන් බිළිඳුන් කිරට හඬනවිට ඒ
වනවිටත් වාට්ටුවේ ප‍්‍රතිකාර ගනිමින් සිටි සිංහල අම්මලාට කිරි එරුණේය. මේ උතුම්
මවුවරු ඒ බිළිඳුන්ගේ ගැහෙන දුබල දෙතොල් අතර සිය තන පුඬු තැබූහ. මවුකිරිවල පාට ද රසද
ගුණය ද ශක්තිය ද ජාතියෙන් ජාතියට, වර්ගයෙන් වර්ගයට නොවෙනස් වන බව මේ අම්මලා දැන
සිටියහ.
මේ දර්ශනය මානව හිමිකම් වෙනුවෙන් ඩොලර්වලට කෑගසන මහත්වරුන්ට සහ නෝනා මහත්වරුන්ට
කිසිසේත්ම විශ්වාස කළ නොහැකි දෙයක් වූවාට සැකක් නැත.
සැබැවින්ම දැන් අවශ්‍ය වන්නේ දරුවන්ගේ කුසට කිරිය. මිනිසුන්ගේ කුසට ආහාරය. ඔවුන්ගේ
සිතට අස්වැසිල්ලය. රණ ගී හඬ මැදින් මනුෂ්‍යත්වයේ ගී රාවය ඇසෙන්නට පටන්ගත යුතුව ඇත.
දැන් අවශ්‍ය වන්නේ ගිනි අවි නොව මනුෂ්‍යත්වයේ හස්තයයි.
විජයග‍්‍රහණයේ සතුටේ උණුසුම සමඟින් මනුෂ්‍යත්වයේ උණුසුම ද පැතිර යා යුතුය.
මන්ද මේ අපේම මිනිසුන් බැවිනි. අපේම දූ දරුවන් බැවිනි. අපේම මවුපියන් බැවිනි.
ආරක්ෂක හමුදා කාර්යභාරය අවසන් වෙමින් පවතී. රජයට සියල්ල සම්පූර්ණ කළ නොහැකිය. එකම
රටක මිනිසුන් වශයෙන් අපේ දෑත් ඔවුන් වෙත දිගු කළ යුතු මොහොත පැමිණ ඇත.
මේ ඔබේ අවස්ථාවයි. ජංගි පොඩියක්, චීත්ත කෑල්ලක්, සරමක්, හැට්ටයක් පමණක් නොව
කිරිපිටි ටිකක්, පරිප්පු ග‍්‍රෑම් දෙසීයක්, තුන්සීයක්, හාල් හුණ්ඩුවක් දෙකක් පමණක්
නොව සහෝදරත්වයේ සහ සෙනෙහසේ දයාබර වචන තුනහතරක් ඔවුන් වෙත ප‍්‍රදානය කරන්නට කාලයයි.
දයාවේ ගීතය ගයන තෙක් මනුෂ්‍යත්වය බලා සිටී. මානව හිතවාදයේ කවිය ලියන්නට දැන්
කාලයයි. මහා කරුණාවකින් තෙත් වූ දරු නැලවිල්ලක් ඒ බිළිඳුන්ට ඇසෙන්නට ගායනා කළයුතු
කාලයයි. පාසල් සීනු හෙඩ් මිහිරියාවෙන් ඒ දරුවන්ගේ පපුව පමණක් නොව හිස ද පිරැවිය
යුතු කාලයයි.
ත‍්‍රස්තවාදයේ ගින්න නිවා අළු බිමට සමතලා කොට මනුෂ්‍යත්වයේ මල් උයන දයාවේ වැස්සකින්
තෙත් කරන්නට කාලයයි. |