
අලුත් අවුරුද්ද
විලාසිතාවක් නොවේ
අපේ වසන්න උත්සවය හෙට උදාවෙයි.
සමහරුන් මෙය හඳුන්වන්නේ සිංහල – හින්දු අලුත් අවුරුද්ද යනුවෙනි. සමහරු සිංහල අලුත්
අවුරුද්ද කියා ද හඳුන්වති.
අර්ථ නිරූපණ එසේ විවිධ වුවද මේ අපේ අලුත් අවුරුද්දයි.”අපේ” යනු “ශ‍්‍රී ලංකා
වාසීන්” ගේ අවුරුද්දයි. ශ‍්‍රී ලංකා වාසීන්ගේ ප‍්‍රීති උත්සවයයි.
මේ අපේ ජන සංස්කෘතිය දෙස ආපසු හැරී බලන වකවානුවයි. යුගයෙන් යුගයට සංකීර්ණත්වයට
පත්වූ අප ජන සමාජය ආපසු සරල සහ චාම් දිවි පැවැත්ම දෙස හැරී බලන දවස් කිහිපයයි. ඒ
සරලකම සහ චාම්කම යළි අත්විඳින දවස් කිහිපයයි. විෂම සංකීර්ණත්වය විසින් ස්වභාවික
පරිසරයෙන් ඈත් කරනු ලැබූ අප ජන සමාජය යළි දින කිහිපයකට හෝ පරිසරයට සමීප කරන උත්සවය
හෙට ආරම්භ වෙයි.
සරල චාම් බව අපේ පැරණි ජන සමාජයේ ආත්මය බවට පත්වී තිබුණු යුගය සිහිපත් කරමින් අපි ඒ
සාමූහික ජීවන රටාව යළි අත්විඳින්නට සූදානම් වෙමින් සිටින්නෙමු.
එකට ගිනි මොළවමු. එකට අනුභව කරමු. එකට හිස තෙල් ගාමු. එකට ස්නානය කරමු. එකට අලුත්
ඇඳුම් අඳිමු. එකට පන්සල් යමු. එකට කෙළි සෙල්ලම් කරමු. එකට නෑගම් යමු.
හැම දෙයක්ම එකට ය. සාමූහිකත්වය අපේ ජන සමාජයේ ශක්තිය වීය. ශක්තියක් පමණක් නොව
සුන්දරත්වය ද එයම යැයි අපට අලුත් අවුරුද්ද කියා දෙයි.
රොස් පරොස්කම් වියැකී සතුටු සිනා ගම පුරා පැතිර යයි. තුරුලතා දලු දමා නාඹර වී ඇත.
අතු රිකිලි මල් ගවසා පැහැබර වී ඇත. පැණි බොන ගෙඩි කන වන සියොතුන් ගේ නාදය එකම ගීයක්
ලෙසින් ඇසේ. මුළු පරිසරයම සුබවාදී ලක්ෂණ විදහා පායි. ජීවිතයට අපව ආකර්ෂණය කරන්නා වූ
පරිසරයක් මැවී ඇත්තේය. මේ ස්වාභාවධර්මයේ ආශිර්වාදයයි. එසේම ස්වභාවධර්මයේ
අපේක්ෂාවයි. අපට ඇත්තේ ස්වභාවධර්මයේ ආශිර්වාදය ලබා ඒ අපේක්ෂාවන්ට අනුකූලවීම පමණි.
කැවුමක් බදින්නට, අග්ගලා ගෙඩියක් හදන්නට, අච්චාරුවක් දමන්නට, කෙසෙල් කැණක්
ඉදවාගන්නට, අලුත් ඇඳුමක් අඳින්නට, රතිඤ්ඤයක හඬක් නංවන්නට, ඔන්චිල්ලාවක් බඳින්නට
බම්බු වෙඩිල්ලක් හදන්නට, වෙනදාට නොලැබෙන නිදහසක් භුක්ති විඳින්නට සැවොම බලා සිටිති.
සිංහල අලුත් අවුරුද්ද දරුවන්ගේ උත්සවයකැයි යන්න ද එක් මතයකින් කියැවෙයි. එහෙත් මෙය
දරුවන්ගේ උත්සවයක් පමණක්ම නොවේ. වැඩිහිටියන්ගේ ද අවුරුද්ද යි.
මෙය සතා සීපාවාගේ ද අවුරුද්දයි. අපේ ජන ජීවිතයේ හරකබානට ඇති ගෞරවනීය අයිතිය ද
ප‍්‍රකට කරවන්නා වූ උත්සවයකි. ගොවියා ඇතැම් විට තම ගෙදර සිටින අන් සියල්ලන්ටමත් පෙර
තමන්ගේ බත සරිකරන ගවයාගේ කර මත නානු මිශ‍්‍ර තෙල් ගාන්නේ ඒ නිසා විය යුතුය.
එහෙත් අලුත් අවුරුද්ද දැන් දැන් තවත් විලාසිතාවක් බවට පත්ව තිබෙන්නේ ද? ඇතැම්හු
විමසති. එය සාධාරණ විමසුමකි. ගෙදර කැවුම් බැදෙන්නේ නැත. ඒවා සුපර්මාර්කට්වල ඇත.
ඔන්චිල්ලා හෝ පංච කෙළිය පමණක් නොව මල් මල් චීත්තය සහ බෝරිච්චි හැට්ට ඇත්තේ ද
රූපවාහිනී තිරමත පමණි. ඔන්චිලි වාරම් ඇතේතේ ද ඒ විදියටමය.
අප එසේ සිතිය යුතුද?
නැත. අව්‍යාජව සිංහල අවුරුද්ද සමරන, පොඩි එවුන්ට කැවුමක් සාදා දෙන, අලුත් වළඳක,
අලුත් ලිපක කිරිබතක් උයන ගැමි ළඳුන් තවමත් අප ජන සමාජයෙහි විරල නොවේ. ඔවුන්ගේ
දරුවන් හෙට අලුත් ඇඳුමක් ඇඳ නැකතට කිරිබත් කෑල්ලක් අනුභව කරනවාට සැකක් නැත. නැකතට
පිපිරෙන රතිඤ්ඤා කන්දරාව කියාපාන්නේ නිස්කාරන වියදමක් පිළිබඳ ආරංචියක් නොවේ.
අවුරුදු නැකැත් තවමත් අප අතර පවතින බව කියැවෙන අපූරු ආරංචියයි.
අප අසුබවාදීව සිතිය යුතු නැත. සිංහල අවුරුදු චාරිත‍්‍ර වාරිත‍්‍ර අදටත් අප අතර
තිබේ.
සිංහල අලුත් අවුරුද්ද අපෙන් ගිලිහී ගොස් නැත. ජන සමාජය කෙතරම් නූතනත්වයට බද්ධ වුවද
සංකීර්ණත්වයට පත්වුවද සරල බව සහ චාම් බව අත්විඳින්නට අපට දවසක් ඉතිරි කොට තිබේ.
සැබැවින්ම අප හැකි පමණින් උත්කර්ෂවත් කොට සිංහල අලුත් අවුරුද්ද සැමරිය යුතුය. එය
අපට බොහෝ දේ ළඟා කර දෙන බැවිනි.
හෙට අපේ අලුත් අවුරුද්දයි. ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! |